සෙමි සහ නොර්මල් භේදය මගීන් ගසා කෑමද?

දිනී ජයසේකර

“හපුතලේට යද්දි ගත්තේ රුපියල් 306යිනේ? එද්දි රුපියල් 443ක් වෙන්නේ කොහොමද?”
ඒ මීට මාස කිහිපයකට ඉහත දී කොළඹ බදුලු බස් රථයක මගියෙක් සහ කොන්දොස්තර කෙනෙක් අතර වූ කතාබහකි. මගියා විසින් ඒ ඉදිරිපත් කළ ගැටලුවට කොන්දොස්තරවරයා පිළිතුරු දුන්නේ මෙසේය.
“මිස් එක එක බස් වල එක එක ගණං.. අනික මේක සෙමි.”
එසේ පැවසූ කොන්දොස්තර, මගියා විසින් ලබා දුන් රුපියල් 500 මාරු කර ඉතිරිය රුපියල් 50ක මුදලක් මගියාගේ අත තබනු ම දුටුවෙමි. රුපියල් 306 සහ 443ක මුදල සම්බන්ධව කොන්දොස්තර ගැටලුවක් ඉස්මතු කළද ඉතිරි රුපියල් 7 සම්බන්ධව මගියා කොන්දොස්තරවරයාගෙන් කිසිත් නොවිසුවේය. එහිදී මගියාගෙන් මා ඇසුවේ “ඔයා දන්නේ නැද්ද මේ බස් එක සෙමි කියලා?” එවිට මගියාගේ පිළිතුර වූවේ “නැහැ” යන්නය.
ගැටලුව බස් රථයේ ගමන් ගන්නා මගීන්ගේවත්, බස් රථයෙන් ලැබෙන ටිකට්පතේවත්, ගමන් ගන්නා මාර්ගයේවත් නොවන බව පැහැදිලිවම කිව යුතුය. මෙහිදී ප්‍රධාන ගැටලුව රැඳී ඇත්තේ සෙමි සහ නෝමල් කියන කොටස් දෙකේදීය. මේ ඒ සම්බන්ධව සොයා ගිය බස් කතාවකි.
සෙමි සහ නෝර්මල්
සෙමි යන්නෙන් අර්ධ සුඛෝපභෝගීත් නෝර්මල් යන්නෙන් සාමාන්‍ය සේවා ලෙසත් දෙවර්ගයකට වෙන් කර ඇත. මේ අතර සුඛෝපබෝගී බස් ගමනාගමනයද සිදු වේ. සුඛෝපභෝගී සේවාවන් හි මිල ගණන් පැහැදිලිව පෙනෙන අතර ගැටලුව ඇත්තේ සෙමි සහ නෝර්මල් බස් රථවලය. මේ හේතුවෙන් බසයේ ගමන් ගන්නා මගියා දැඩි අපහසුතාවන් වලට පත් වන අවස්ථා එමටය. එහිදී සෙමි සහ නෝමල් යන කාරණා දෙක හඳුනා ගැනීම සඳහා වර්ණයක් යොදා ඇත. සෙමි (අර්ධ සුඛෝපබෝගී) නිල් වර්ණයෙනුත් නෝර්මල් (සාමාන්‍ය සේවා) කහ වර්ණයෙනුත් දක්වා ඇත. එය රූට් අංකයට ඉහලින් හෝ පැත්තෙන් යොදා ඇත.
වර්ණයකින් බසයක් වෙන් කර හඳුනාගැනීමට සාමාන්‍ය පුද්ගලයෙකුට හැකි වූවද තරමක් වයසින් වැඩි පුද්ගලයෙක් මෙහිදී අපහසුතාවයන්ට පත් වීමේ සම්භාවිතාව වැඩිය. හේතුව ඔවුන්ගේ ඇස් පෙනීමේ දුර්වලතා සහ මතක ශක්තියේ ඇතිවන ගැටලුය. මේ සම්බන්ධව අරවින්දගේ අදහස මෙබඳුය.
“සමහර අය අතේ ගාණට සල්ලි තියන් බස් එකට නගින්නේ. නොදැනුවත්ව එහෙම බස් එකකට නැග්ගාම ඇත්තටම අපි වුණත් අපහසුතාවයට පත් වෙනවා. මේක හරි අසාධාරණ වැඩ පිළිවෙලක් විදියටයි මම දකින්නේ.”
ඔහු පවසා සිටින ආකාරයට යම් කිසි අසාධාරණයක් එයින් සිදු වන බව සත්‍යය. සෙමි සහ නෝර්මල් වශයෙන් වර්ණ යොදා වෙන් කර ඇත්තේ කාරණා කිහිපයක් නිසාය. ඔවුන් පවසනාකාරයට සෙමි යනුවෙන් සඳහන් කර ඇති බස් රථ වල තුනේ ආසන තිබේ නම් ආසන සංඛ්‍යාව 54කි. කර්ට්න් යොදා ඇත. ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ඇතුල් කර ගැනේ. අතරමග බස් නැවතුම් පලවල්හි බස් රථය නොනැවත්වයි. නෝර්මල් බස් රථය එයින් වෙන් වන්නේ ආසන සංඛ්‍යාවට වඩා මගීන් බස් රථයට නග්ගවා ගැනීම. අතරමග බස් නැතුම් පලවල් වල බස් රථය නැවැත්වීම යන කරුනු කිහිපය මූලික කරගෙනය. (පැය බාගෙන් බාගෙට සෙමි සහ නොර්මල් යන බස් ධාවනයේ යෙදේ.)
වෙනසක් නැහැ
මේ කාල සීමාව වන විට අපට සෙමි බස්රථ වල මෙන්ම සාමාන්‍ය බස්රථ වලද කර්ට්න් දැක ගත හැකිය. ඒ වගේම ආසන සංඛ්‍යාවට වඩා මගීන් අතරමගදී නග්ගවා ගන්නේය. මේ හේතුවෙන් යම් යම් කරුණු ඉදිරිපත් කර සෙමි සහ නෝර්මල් ලෙස වෙන් කර තිබුණද කිව යුත්ත වන්නේ අය කරන මුදල පමණක් වෙනස් වන බවය. මේ සම්බන්ධව මහානාමගේ අදහස වූයේ,
“සෙමි කීවට කිසි වෙනසක් නැහැ. මිනිස්සු හිටගෙන යනවා. ගාන විතරයි වැඩි. වෙලාවකට එක එක ගණන් ගන්නවා. බිලුත් කඩනවා. ඒත් මේ සම්බන්ධව හොයල බලන්න කවුරුත් නැහැ. අපි කතාකළොත් ලෝකේ නැති ඒවා කියනවා. ඉතින් අපි කියලත් මොනවා කරන්නද?”
ඕනෑම මාර්ග අංකයකට සංශෝධිත වූ ගාස්තුවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇත. එසේ පැවතියදීත් නානප්‍රකාර ගාස්තු අය කිරීම සම්බන්දව යම් ගැටලුවක් ඇතිවෙමින් පවතින බව සඳහන් කළ යුතුය. අර්ධ සුඛෝපබෝගී සහ සාමාන්‍ය සේවා යනුවෙන් එකම වර්ගයේ බස් දෙකකට වර්ණ දෙකක් යොදා සෙමි සහ නෝර්මල් ලෙස බෙදා ගමනාන්තයේ යෙදෙන බවක් මේ වන විට දකිනට තිබෙන බව කිව යුතුය. මෙහි කිසිදු වෙනසක් දක්නට නොමැති අතර වෙනස ඇත්තේ බස් ගාස්තුවේ පමණක් වීම සාධාරණද යනුවෙන් ප්‍රශ්නයක් යම් කෙනෙකුට ඉස්මතු කළ හැකිය. එහිදී අපහසුතාවට පත් වන්නේ මගියා මිස බස් රියදුරාවත් බස් කොන්දොස්තරවරයාවත් නොවන බව පැහැදිලිය.
ගාස්තු දෙවර්ගය
උක්ත කරුණු අනුව සෙමි සහ නෝර්මල් අතර ඇත්තේ ගාස්තු ගැටලුව පමණක් බව පැහැදිලිවම කිව හැකිය. විශේෂයෙන්ම දුරගමන් සේවා බස්රථ වලදී අනවශ්‍යය ගමන් වියදම් දැරීමට සිදුවන බව මගීන්ගේ චෝදනාවකි.
“කොළඹ ඉදල බදුල්ලට නෝර්මල් එකක නැග්ගොත් රැපියල් 354යි බැරි වෙලාවත් සෙමි නැග්ගොත් රුපියල් 500ටත් වඩා වියදම් වෙනවා. ඊට වඩා හොඳයි ඉන්ටර්සිටි නැග්ගනම් කියලා හිතෙනවා. සෙමි නෝර්මල් කියලා කිසි වෙනසකුත් නැහැ. දෙකම යන්නෙත් එක වෙලාවට. අනික එහෙම සෙමි නෝර්මල් තියෙනවනම් ඒක එකම රූට් එකේ නොතියා තැන් දෙකක තියන්න ඕනි. එහෙම තිබ්බනම් මගියත් දැනුවත් වෙනවනේ මෙතන නෝර්මල් අනික් තැන සෙමි කියලා. එහෙම කරන්නෙත් නැහැ එකම රූට් එකේ ගහනවා. අපි නැගලා ටිකට් ගන්නකොට වැඩියෙන් අය කරන්නෙ ඇයි ඇහුවාම සෙමි කියනවා. ගොඩක් අය සෙමි නෝර්මල් බලනවා අඩුයිනේ. යන්න ඕන රූට් නම්බර් එක විතරනෙ බලන්නේ. ඇතතටම හරි අසාධාරණ වැඩ පිළිවෙලක්. අපි හැමෝම මුදල් හම්බ කරන්නේ හරි අමාරුවෙන්. ගමේ යන්නෙත් හරි අඩුවෙන්. ඇයි වියදම වැඩීනේ…”
එය අධිකාරිගේ අදහසය.
උදාහරණය කිහිපයක් ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 2018.12.27 දිනට සංශෝධිත ගාස්තු සටහන අනුව සාමාන්‍ය ගණනය කිරීමක් කර දැක්වුවහොත් සෙමි (අර්ධ සුඛොපබෝගී) බස්රථයක් මාර්ග අංක 02 හරහා කොළඹ සිට මාතර දක්වා දිවෙනවානම් එහි ගමන් ගාස්තු රුපියල් 335 කි. නෝර්මල් (සාමාන්‍යය සේවා) බස්රථයක් ඉහත වූ මාර්ග අංකය ඔස්සේ කොළඹ සිට මාතරට ගමන් කරන්නේනම් එහි ගමන් ගාස්තුව රුපියල් 223කි. එහිදී රුපියල් 112ක වෙනසක් දක්නට ලැබේ.
සෙමි (අර්ධ සුඛෝපබෝගී) බස්රථයක් මාර්ග අංක 15 කොළඹ සිට යාපනය දක්වා ගමන් කරන්නේනම් එහි ගමන් ගාස්තු රුපියල් 825කි. නෝර්මල් (සාමාන්‍ය සේවා) බස්රථයක් ඉහත මාර්ග අංකයේම ගමන් කරන්නේනම් එහි ගමන් ගාස්තුව රුපියල් 550කි. එහිදී රුපියල් 275ක වෙනසක් දක්නට ලැබේ.
සෙමි (අර්ධ සුඛෝපබෝගී) බස්රරථයක් මාර්ග අංක 99 කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරන්නේනම් ගමන් ගාස්තු රුපියල් 531කි. නෝර්මල් (සාමාන්‍යය සේවා) බස්රථයක් ඉහත මාර්ග අංකයේම ගමන් කරන්නේනම් එහි ගමන් ගාස්තු රුපියල් 354කි. එහිදී වෙනස රුපියල් 177කි.
විශේෂයෙන්ම කොළඹ කේන්ද්‍රියව දුරගමන් සේවා බොහොමයත් ක්‍රියාත්මක වේ. එහිදී සෙමි සහ නෝර්මල් වශයෙන් බස් ගාස්තු දෙකක බස් දෙවර්ගයක් ධාවනයේ යෙදීම තේරුමක් නොමැති අතර එයින් මගියා යම් අපහසුතාවයකට පත් වන බව ඒත්තුගැන්වේ. නැතිනම් බළධාරීන් විසින් එයට විදිමත් වැඩ පිළිවෙලක් යෙදිය යුතුය. එසේත් නොමැති නම් මගියා අපහසුතාවයට පත් නොවන පරිදි නිසි කළමනාකරණයක් යුතුව, බස් ගාස්තුවට සරිලන ආකාරයට මගියාට ගමනේ ප්‍රමිතියත් ලබා දීම කළ යුතුය.
ගැමුණු විජේරත්න
වෙනසක් නැහැ
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති
අර්ධ සුඛෝපබෝගී බස් සහ සාමාන්‍ය බස් අතර කිසිදු වෙනසක් නැහැ. එයින් මහජනතාවගෙ මුදල් අවභාවිතයක් විතරයි වෙන්නේ. අර්ධ සුඛෝපබෝගී කියන සංකල්පය අවශ්‍යය නැහැ. සාමාන්‍ය බස් සේවාව පමණක් ඇති. නිශ්චිත මිලක් යොදාගන්න පුළුවන් මගියට. එයින් මගියා අපහසුතාවට පත් වීමත් වැළකෙනවා.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය
ඇත්තටම අපි කැමති අර්ධ සුඛෝපබෝගී කියන බස් සංකල්පය අයින් කරන්න. මොකද එහි කිසි සාධාරණීය වැඩ පිළිවෙලක් නැහැ. මේ වන විට අර්ධ සුඛෝපබෝගී බස්රථය සහ සාමාන්‍ය සේවා බස්රථය වෙනස් වන්නේ ගාස්තුවෙන් පමණයි. මේ හේතුවෙන් අපිත් අර්ධ සුඛෝපබෝගී සංකල්පය අයින් කරලා නියමිත බස් ගාස්තුවක් යොදන්න.