ජිනීවා: මඟහැර සිටිනු නොහැකිය

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය මෙවර ජිනීවා සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව 2015 30/1 ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ බරපතළ අවධාරණය කිරීමකි. 2017 34 1/1 යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනා මුළුමනින් ඉටු කරන බවට පොරොන්දු වී තිබුණි. ජාතික ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය ප්‍රතිපාදන සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, යුද කටයුතු සඳහා උතුරේ ජනයාගෙන් ආරක්ෂක හමුදා භාරයට ගත් ඉඩම් නිදහස් කිරීම, මානව හිමිකම් තහවුරු කිරීම මෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කළ ආරක්ෂක අංශවල සාමාජිකයන්ට හා රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිප්‍රකාරව ක්‍රියා කිරීම එම යෝජනා සැකෙවින් දැක්විය හැකිය. මේවා අතර බලවත්ම හා මෙරට තුළ විවාදාපන්න යෝජනාවක් වූයේ දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමය. සිදුවී ඇතැයි කියන යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික විනිසුරන් හා විෂය පිළිබඳ මෙරට නීති ප්‍රවීණයන්ගෙන් සමන්විත යුක්තිය පසිඳලන දෙමුහුන් විශේෂ අධිකරණයක් පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකාව සිය පූර්ණ එකඟත්වය පළකර තිබුණි. 2015 වසරේදී ජිනීවා සැසියට සහභාගි වූ එවකට විදේශ අමාත්‍ය ධුරය දැරූ මංගල සමරවීර එහිදී ප්‍රකාශ කළේ ඉතා ඉක්මනින් උක්ත යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවය. එහෙත් නව මානව හිමිකම් කොමසාරිස්වරිය 2019 මාර්තු 08 වැනිදා ජිනීවා සැසියේදී, ලංකාණ්ඩුව උක්ත යෝජනා කෙරෙහි අනවධානයෙන් කටයුතු කර තිබෙන බව ප්‍රකාශ කළාය. 2017 සිටම මෙම අවධාරණය ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහිදී සිදු කැරිණි.
2015 ආරම්භය වනවිට අන්තර්ජාතික තලයේ ලංකාව නරකම මට්ටමට පිරිහී තිබුණි. ඒ යුද්ධයේදී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබඳව ප්‍රචලිතව තිබුණු තත්ත්වයත්, ඒවා ගැන පසු විමර්ශනයක් නොමැති වීමත්, උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ළඟාකර දීම කෙරෙහි මන්දෝත්සාහීව මිලිටරි විසඳුම අවසාන විසඳුම ලෙසට රාජපක්ෂ ආණ්ඩුව නොනිල වශයෙන් දරමින් සිටි මතයත් හේතුවෙනි. විශේෂයෙන්ම 2015 ජනවාරි පත්වූ නව රජයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම විදේශ ඇමතිවරයා මේ කළු පැහැය සමහන් කරගැනීමට සැලකිය යුතු වෙහෙසක් ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව කෙරෙහි යළි අන්තර්ජාතික වශයෙන් තරමක් හොඳ නමක් ඇතිවිය. ජිනීවා යෝජනාවලිය ඉටුකිරීමට පොරොන්දුවීමත් සමග ලංකාව කෙරෙහි ඉස්මතුවීමට නියමිතව තිබුණු සම්බාධක තත්ත්වය පහවී යනු දක්නා ලැබුණි. එහෙත් ඉන්පසු කිසිවක් සිදු නොවුණි. එනිසාම ඉකුත් වසරවල ජිනීවා සැසියට ලංකාව සහභාගි වූයේ හිස් අතිනි. 2018 වසර දක්වාම හැම අවස්ථාවකම ලංකාවට සිදුවූයේ යෝජනා ඉටු කිරීමට තවදුරටත් කාලය ලබාගැනීමටය. ඒ හැම අවස්ථාවකදීම අවශ්‍ය තරම් කාලය ලැබුණි. එහෙත් සැසිය අවසන් වූ සැණින් ලංකාව ඒ සියල්ල අමතක කර යළි මාස ගණන් කිසිවක් නොකර සිටියේය. මේ ක්‍රමයට ලෝකය රැවටීම හැමදාමත් කළ නොහැක්කකි. වත්මන් රජයට මේ ගැන පියවරක් ගැනීමට ධෛර්යය ඇති බවක්ද නොපෙනේ.
මෙහිදී ලංකාව මුහුණදෙන බරපතළම ප්‍රශ්නය වන්නේ මෙරට දැඩි ජාතිවාදී ස්ථාවරයක් දරන බලපෑම් කණ්ඩායම් නිසා උතුරේ ප්‍රශ්නයට අදාළ කිසිදු තීන්දුවක් ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට ආණ්ඩුව ගත් තැත ව්‍යර්ථ කැරිණි. ඔවුන්ටද එය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමේ අවංක වුවමනාවක් නොතිබුණි. මෙම වැඩසටහනෙහි බරපතළම විරුද්ධවාදියා වූයේ සංඝ සමාජයයි. රටේ මූලික නීතිය පිළිබඳ වැදගත්ම ලියවිල්ලට ආගමික සංස්ථාවට අත පොවන්නට ඉඩදීම දේශපාලන සංස්ථාව සිය වගකීම පැහැර හැරීමකි. ඇතැම් භික්ෂූහු මේ විෂය පිළිබඳව කිසිවක්ම නොදැන වාගාලාප ප්‍රචාරය කර රටවැසියා නොමග යැවූහ. කඨින පිංකම්වලදී පවා උන්වහන්සේලා ව්‍යවස්ථාවෙන් රට බෙදෙන බව කීහ. ඊට ශක්තිමත්ව මුහුණදීමට ආණ්ඩුවට නොහැකි වූයේය. මේ තත්ත්වය තුළ දෙමුහුන් අධිකරණයක් පිහිටුවීම සිහිනයක් බව ජනපතිට හා අගමැතිට තේරුම් යන්නට ඇත. එහෙත් එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියෙහි වැදගත් මර්මස්ථානයක් නම් හා අන්තර්ජාතික වශයෙන් වූ පොරොන්දුවක්ද වන නිසා ආණ්ඩුව එය යථාර්ථයක් කරගැනීමට ප්‍රෝත්සාහී විය යුතුය.
අනෙක් අතට ලංකාවට තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ අභ්‍යන්තර දේශපාලන අවුල් වියවුල්ය. ඒවා විසඳා ගැනීමට නොහැකි රටක් වඩා සංකීර්ණ ප්‍රශ්නයකට අතගසන්නේ කෙසේද යන ප්‍රශ්නයත් ලංකාව හමුවේ තිබෙන අභියෝගයකි. එහෙත් අන්තර්ජාතික වශයෙන් දිගින් දිගටම ලංකාවට සත්‍යය මගහැර සිටීමට අවස්ථාව නොලැබෙනු ඇත. මෙවර ජිනීවාවලදීද එම අනතුරු ඇඟවීම මානව හිමිකම් කොමසාරිස්වරියගේ කතාවෙන් ගම්‍යමාන කැරිණි.