මියගිය මිනිසුන්ගේ ඇටකටු මත, ජීවත්වන මිනිසුන්ගේ අරගලය

සටහන සහ ඡායා -ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

අප පසුගිය ලිපියෙන් පැවසූ අයුරින්ම මන්නාරම සමූහ මිනීවළෙහි ඇතුලු පැත්තේ වූ අර්බුදය මීට සතියකට පෙර පුපුරා ගියේය. හටගෙන තිබූ අර්බුදයන්ට සාපේක්ෂවම ප්‍රතිඵල ලැබුණු බැවින් මන්නාරම සමූහ මිනීවළ සමාජය තුළ මහත් ව්‍යාකූලත්වයක් ඇති කළේය. අස්ථි සාම්පල හය සඳහා ඇමරිකාවේ බීටා ඇනලිටික් ආයතනය මගින් කරන ලද රේඩියෝ කාබන් කාල නිර්ණ වාර්තාවේ දෘඩ පිටපත මන්නාරම මහේස්ත්‍රාත්වරයාට ලැබීමත් එය මහජනයාට විවෘත කිරීමත් සමග සමූහ මිනීවළෙහි කැනීම් තාවකාලිකව නතර කර දැමීමට සිදුවූයේය. දැන් සමාජයේ බොහෝ දෙනා මේ මිනීවළ සම්බන්ධව සිතන්නේ කුමක්ද? බොහෝ දෙනකුට නොපෙනෙන එහි සැබෑ අර්බුදය පැන නැගී තිබෙන්නේ දැන්ය. ලැබී තිබෙන කාබන් කාල නිර්ණ වාර්තාව මත පදනම්ව මෙම සමූහ මිනීවළේ මිහිදන්වූ විශාල පිරිසක් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම වෙනුවට වළ වසා දැමීමෙන් මෙය අවසන් විය යුතුද?

හදිසි කාල නිර්ණ ඇයි?
කාබන් කාල නිර්ණයට සාම්පල රැගෙන යාමත්, ජිනීවා සමුළුව ආරම්භ වීමත්, කාබන් කාල නිර්ණ වාර්තාව ලැබීමත්, මහේස්ත්‍රාත්වරයා එය පිළිනොගෙන දෘඩ පිටපත එනතුරු බලා සිටීමත්, දැන් එය අර්ථදක්වන ලෙස ඇමරිකාවේ විද්‍යාගාරයෙන් ඉල්ලා සිටීමත්, ඒ අර්ථදැක්වීම එනතුරු බලා සිටීමත් එකම නාටකයක කොටස් වැනිය. කාබන් කාල නිර්ණයකට සාමාන්‍යයෙන් සාම්පල යැවීම සිදුවන්නේ එම කැණීම අවසානයේ බව එහි වෝහාරික පුරාවිද්‍යා කටයුතු භාරව සිටින පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කැනීම සිදුවන මුල් කාලයේ අප සමඟ පවසුවේය. මෙවන් කැණීමක පූර්ණ වපසරිය නියෝජනය කරන තවත් වාර්තා රැසක් සකස් කිරීමේ කටයුතු කෙරෙමින් තිබුණි. එසේ නම් මන්නාරම මිනීවළේ ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කරන අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ කාබන් කාල නිර්ණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙළඹවූයේ කවුද, ඔහු ගෙන තිබෙනුයේ තනි තීරණයක් නම් එම තීරණය ගැනීමට හේතුව කුමක්ද යන පැනයන් ඇතිවේ. එහි සිදුවූ පුරාවිද්‍යා කැනීම් කටයුතුවලට අනුව නම් එය වැරදි තීරණයකි. ඊට අනුව දින ලබා ගැනීමක් සිදු කරන්නේ කැනීමක් අවසන් වූ පසුවය. කැනීම අතරමග කාල නිර්ණ සිදුකරන්නේ නැත. මේ සම්බන්ධව විමර්ශනය භාර නිලධාරියා පැවසුවේ ප්‍රායෝගික ක්‍රියාවලියේ දී එවැනි තීරණ ගැනීමට සිදුවන බවත් එය තමන්ගේ තනි තීරණයක් නොව විමර්ශන කණ්ඩායමේ සාමූහික තීරණයක් ලෙස සිදුවූවක් බවයි.
අප දන්නා පරිදි අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (ඕඑම්පී) විසින් පසුගිය කාලයේ මෙම කැනීමට අනුග්‍රහය දැක්වීම ආරම්භ කරයි. ඊට හේතු වන්නේ කැනීම් කණ්ඩායමට අවශ්‍ය මූලික වියදම් හෝ නොලැබී යාමය. ඉන් දෙමසකට පමණ පසු ඕඑම්පී විසින් වෛද්‍ය රාජපක්ෂට සතියක සයිප්‍රස් චාරිකාවක්ද ලබා දී තිබුණි. ඊට ඕඑම්පී සාමාජිකයන් කීපදෙනකුද සහභාගි වූ බවත් එය සයිප්‍රසයේ සමූහ මිනීවළවල් පිළිබඳ අධ්‍යයන චාරිකාවක් බවත් ඔහු පැවසුවේය. අපට හැඟෙන පරිදි නම් කැනීමට අනුග්‍රාහකත්වය දරන පාර්ශ්වයක් සමඟ කැනීම සිදුවන අතරමැද විමර්ශනය භාර ප්‍රධාන නිලධාරියා චාරිකාවල නිරතවීම ද ආචාරධර්මවලට පටහැනිය. එමෙන්ම ඔහු මෙම විමර්ශනයේ දිගින් දිගටම පවත්වාගෙන ආ බව කී විනිවිදභාවයට එය හානියක් නොවන්නේ ද යන ගැටලුවද මතුවේ.

කාබන් කාල නිර්ණය යනු
අස්ථි තුළ කොලජන් නම් ප්‍රෝටීන තිබෙන අතර එහි කාබන් නම් මූලද්‍රව්‍යය පවතී. අස්ථිවල ඇති එම කොලජන්වල ඇති කාබන් භාවිතයෙන් කාබන් කාල නිර්ණය කිරීම සිදුවේ. සමාන්‍යයෙන් කාබන්වල පරමාණුක භාරය 12කි. එහෙත් අවකාශයේ පරමාණුක භාරය 14වන කාබන්ද තිබේ. එහි ආකෘතිය ද වෙනස් අතර එය විකිරණශීලීය. මිනිසුන්, ගහකොළ, සතුන් වැනි ජීවීන් ජීවත්වන කාලය තුළ පරමාණුක භාරය 12 කාබන් මෙන්ම 14වන කාබන් අවකාශයෙන් අවශෝෂණය කරගනු ලබයි. අවශෝෂණය කරගෙන තිබූ විකිරණශීලී කාබන් එම ජීවියා මිය ගිය පසු වියෝජනය වීම ආරම්භවේ. එලෙස ජීවියෙක් අවශෝෂණය කරගත් සම්පූර්ණ කාබන් 14න් අර්ධයක් වියෝජනය වීම සඳහා අවුරුදු 5730ක් ගතවන බව ඇමරිකානු භෞතික විද්‍යාඥ විලාඞ් එෆ්. ලිබී(Willard F. Libby) විසින් 1946 සොයා ගනු ලැබීය. එය අර්ධ ජීව කාලය ලෙස නම් කරනු ලබයි. ඒ අනුව යමක අන්තර්ගත කාබන්වලින් කොපමණ වියෝජනය වී තිබුණේද යන කාරණය මත එය කොපමණ පැරණිද යන්න සොයා ගත හැකිය. එම වියෝජන ක්‍රියාවලිය ආරම්භ වන්නේ ජීවියකු මිය ගිය දිනයේ සිටය. එබැවින් එම රසායනික සූත්‍රයට අනුව මිය ගිය දිනය අනාවරණය කරගත හැකිය. ඊට අනුව අවුරුදු 50000ක් යන තුරු කාලය නිර්ණය කළ හැකිය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඕනෑම අයකුට අන්තර්ජාලය හරහා ද ලබා ගත හැකිය.

ප්‍රතිඵල සදහා බලපෑ හැකි සාධක
අස්ථිවල ඇති මේ කාබන් 14 විකිරණශීලී බැවින් විවිධ රසායන ද්‍රව්‍ය, අධික තාපය ආදී බාහිර සාධක මගින් එම කාබන් 14 ප්‍රමාණය වෙනස්විය හැකිය. එවැනි බාහිර බලපෑම්වලට මැදිවූ සාම්පලවල ඇති කාබන් 14 පරිමාණය සොයා කාල නිර්ණයට අදාළ රසායනික සූත්‍රයට ආදේශ කළ විට පිළිතුරක් ලැබුණත් ඉන් ලැබෙන කාලය නිවැරදි වන්නේ ද නැත.
එංගලන්තයේ සමීක්ෂණ ආයතනයක් විසින් පළ කර තිබෙන The Swelling of Collagen in Alkaline Solutions නම් සමීක්ෂණ වාර්තාවේ swelling in solutions of sodium Hydroxide යන කොටස යටතේ Joane H’Bowes  සහ R.H. Kenten විසින් සෝඩියම් ක්ලෝරයිඞ් කොලජන්වලට බලපෑම් ඇති කරන ආකාරය පිළිබඳව පැහැදිලිව සඳහන් කර තිබේ. ඉන් කියැවෙනුයේ ද සෝඩියම් ක්ලෝරයිඞ් එහි රසායනික විපර්යාසයන් සිදුවන බවය. එසේ නම් වසර ගණනාවක් සෝඩියම් ක්ලෝරයිඞ් එනම් ලුණු වතුරේ තිබූ අස්ථිවල කාබන් කාල නිර්ණයකින් ලැබෙන්නේ නිවැරදි ප්‍රතිඵලය යැයි විද්‍යානුකූලව සනාථ වන්නේ නැත. එම කාබන් පරීක්ෂණයත්, එහි වූ කාබන් ප්‍රමාණයත් නිවැරදි වුවත් ඉන් ලැබෙන ප්‍රතිඵලය නිවැරදිවේ යැයි කිව නොහැකිය. මේ අස්ථි සාම්පල සෝඩියම් ක්ලෝරයිඞ් සමඟ තිබුණාදැයි ඇමරිකාවේ බීටා ඇනලිටික් විද්‍යාගාරයට අදාළ වන්නේ ද නැත. එය වානිජ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන විද්‍යාගාරයක් බැවින් ඔවුන්ගේ කාර්යය වන්නේ ලැබෙන අස්ථි සාම්පලවලට අදාළ මුදල් අයකර එම අස්ථි සඳහා කාබන් කාල නිර්ණය කර ප්‍රතිඵලය එවීමය. අස්ථි තිබූ වෙනත් පාරිසරික තත්ත්වයන් හෝ සෝඩියම් ක්ලෝරයිඞ් ගැන ඔවුන්ට පාරිභෝගියන්ගෙන් විමසීමට අවශ්‍ය නැත. නිවැරදි සාම්පලය යැවීමේ වගකීම ඇත්තේ සාම්පල ලබාදෙන අය අතේ මිස ඔවුන් අත නොවේ.

විෂය පථ පටලා ගැනීම
සාමාන්‍යයෙන් සමූහ මිනී වළක අපරාධ විමර්ශනයක් සිදුකිරීමට අධිකරණ වෛද්‍යවරයාට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග ලබාදෙනු ලබයි. විමර්ශනය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රවීණතාව තිබෙන අය පිළිබඳ මහේස්ත්‍රාත්වරයාට දන්වා අධිකරණ නියෝගයකින් ඒ අය ගෙන්වා ගැනීමට අධිකරණ වෛද්‍යවරයාට පිළිවන. එවිට එම කණ්ඩායම මහේස්ත්‍රාත්ගේ අධීක්ෂණය යටතේ ප්‍රවීණයන්ගේ අදහස් යටතේ ද එම විමර්ශනය සිදුකරනු ලබයි. ඒ අනුව මෙවැනි කැනීමක සාම්පල ගන්නේ, රසායනාගාරය සමග සම්බන්ධවන්නේ, රසායනාගාරයේ ප්‍රතිඵල ගෙන්වා ගන්නේ, ඒවායේ අර්ථය පහදා දෙන්නේ ද අදාළ විෂයන්හි ප්‍රවීණයන් විසිනි. එහෙත් මේ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයාට ප්‍රධාන විමර්ශන නිලධාරියා ලබාදුන් වාර්තාව ඔහු පිළිනොගත් අතර තමන්ටද වාර්තාවේ දෘඩ පිටපතක් ගෙන්වා ගත් අතර එය ඔහුට අර්ථ දැක්විය නොහැකි නමුත් මහජනතාවට එය විවෘත කළේය. මහේස්ත්‍රාත්වරයා හෝ ප්‍රධාන විමර්ශන නිලධාරියා මහජනයාට මෙම වාර්තාව අර්ථ දක්වන්නේ නැත.
“මම පත්කර තිබෙන්නේ සමූහ මිනීවළේ කැණීම් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට පමණයි. මේවා දැන් තිබෙන්නේ අධිකරණය භාරයේ බැවින් වාර්තාව සම්බන්ධව කතා කිරීමට හෝ එය අර්ථදැක්වීමට මට අධිකරණයෙන් අවසර ලබාදී නැහැ. එහි පවත්වාගෙන ආ විනිවිදභාවය ගැන පමණක් මට කතා කළ හැකියි. හැමෝම ඉදිරියේ සාම්පල ගෙන, සීල් කර, උසාවියේ මහේස්ත්‍රාත්වරයා භාරයේ තිබුණා, පසුව පොලිස් ආරක්ෂාව යටතේ අධිකරණ නිලධාරීන් දෙදෙනෙක් ගුවන්තොටුපොළට ගෙනැවිත් මට භාරදුන්නා, නිරීක්ෂකයින් තිදෙනෙක් සමග එය රැගෙන විත් මම විද්‍යාගාරයට භාරදුන්නා. ඒ නිසා එම සාම්පල්ම රසායනාගාරයට ගෙනගොස් භාරදුන් බවට කිසිදු සැකයක් නැහැ.” අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ පවසයි. කාබන් කාල නිර්ණ වාර්තාව අර්ථනිරූපණය කිරීමට තමන් හෝ මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධ ප්‍රවීණයන් නොමැති බැවින් වාර්තාවේ අර්ථනිරූපණයක් මහේස්ත්‍රාත්වරයා විසින් බීටා ඇනලිටික් විද්‍යාගාරයෙන් ඉල්ලා සිටි බවත් මහාචාර්ය රාජ් සෝමදේව විසින්ද වාර්තාව කියවා බැලුවත් මෙහි අර්ථනිරූපණයක් කිරීමට අධිකරණයෙන් තවම දෙපාර්ශ්වයටම බලය පවරා නොමැති බවත් ඔහු පවසයි.
“මේ කැනීමට සම්බන්ධ ප්‍රධාන විමර්ශන නිලධාරීන් සියලුදෙනා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබිය යුතුයි. මම දිගින් දිගටම කියන පරිදි කාබන් ඬේටින් කියන්නේ තවත් එක වාර්තාවක් පමණයි. ඒක මතම සියල්ල පදනම් වන්නේ නැහැ. පුරාවිද්‍යා කණ්ඩායමේ සොයාගැනීම්, ඒ අයගේ අදහස්, වෝහාරික වෛද්‍ය විද්‍යා වාර්තා, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා සහ අනෙකුත් මීට සම්බන්ධ වූ ප්‍රවීණයන්ගේ අදහස් සියල්ල මේ සඳහා සැලකිල්ලට ගත යුතුයි. නිවැරදි අවසාන තීරණයකට එළඹිය යුත්තේ ඒ සියල්ල සලකා බැලීමෙනුයි. ඒ සාකච්ඡාව කරන තුරු දැනට කැනීම් කටයුතු නතර කර තිබෙන්නේ තාවකාලිකව පමණයි.”වෛද්‍ය රාජපක්ෂය.
අපට මතුවන ගැටලුක්ව නම් මෙම විමර්ශනයේ පුරාවිද්‍යා කැනීම් භාර නිලධාරියා ලෙස මහාචාර්ය රාජ් සෝමදේව පත් කර සිටියදී, ඔහු විසින් කාබන් කාල නිර්ණ වාර්තා රාශියක් කියවා අර්ථ දක්වා ද ඇති බවට සාක්ෂි ද තිබියදී මෙම වාර්තාව ඔහු ලවා අර්ථ දක්වා නොගන්නේ ඇයිද යන්නය. මේ වන විට මහේස්ත්‍රාත්වරයා ඇමරිකාවේ බීටා ඇනලිටික් විද්‍යාගාරයෙන් අර්ථදැක්වීමක් ඉල්ලා ඇති අතර එය ලැබෙන තුරු දැන් කැනීම නතර කර තිබේ. මෙහි වෝහාරික පුරාවිද්‍යා විෂය පථය, වෝහාරික වෛද්‍ය විද්‍යා විෂය පථය මෙන්ම අධිකරණයේ විෂයපථය ද වෙන් කර ගැනීම මේ වන විට අසීරු වී තිබෙන බව පෙනෙයි.

වාර්තාවෙන් පසු කතන්දර
“කැනීම් සිදුවන අතරතුර කාබන් කාල නිර්ණයක් සිදු කළ නිසා දැන් එහි ප්‍රතිඵලය අනුව මහජන මතයක් ගොඩනැගී තිබෙනවා. මෙම විමර්ශනය අවසානයේ ලැබෙන විද්‍යාත්මක ප්‍රතිඵලය ඊට වෙනස් වුවහොත් දැනටම ඇති කර තිබෙන මහජන මතය ආපසු හැරවීම අපහසුයි.” ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. එමෙන්ම සමූහ මිනීවළෙන් සොයාගත් ද්‍රව්‍ය සහ ඇමරිකානු රසායනාගාරය විසින් රසායනික සූත්‍රයට අනුව ලබා දී තිබෙන ප්‍රතිඵල අතර විශාල නොගැලපීමක් තිබෙන බැවින් එය පිළිගැනීමට අපහසු බවද ඔහු පවසයි. එම අස්ථිවලට ලුණු වතුර වැනි බාහිර සාධකවල බලපෑමෙන් එහි ඇති කොලැජන් ප්‍රෝටීනවල රසායනික සංයුතිය වෙනස්වීමෙන් මෙවැනි ප්‍රතිඵලයක් ලැබිය හැකි බව ද ඔහු සඳහන් කරයි.
රටේ බොහෝ දෙනා දැන් සිතා සිටින්නේ කාබන් කාල නිර්ණය නිවැරදි බවත් පෘතුගීසීන් හෝ ලන්දේසීන් මත වරද පැටවිය යුතු බවත්ය. සමූහ මිනීවළෙහි විමර්ශනයට අදාළ අනෙකුත් ප්‍රධාන කරුණු කිසිවක් ඒ අයට දැන් අදාළ නැත. තවමත් කැනීම් අවධියේ වන මිනීවළෙහි විමර්ශන අදියරට නොපැමිණි බවත්, අවසන් වාර්තාවක් එළියට ඒම දක්වා ක්‍රියාවලියකට යමින් සිටිය දී අතරමග හදිසියේ කාබන් කාල නිර්ණයකට සාම්පල යැවීමේ හේතුව කුමක්ද කියා හෝ ඔවුන්ට අදාළ නැත. ආයතන ගණනාවක් සම්බන්ධවී කෙරෙමින් තිබූ මේ දැවැන්ත විමර්ශනයේ තවත් වාර්තා රැසක් පැමිණිය යුතු බවත්, කාබන් කාල නිර්ණය එක් වාර්තාවක් පමණක් බවත් එය වෙනස් වීමට බලපෑ හැකි සාධක තිබූ බවත් ඒ කිසිවකුට අදාළ නොවන බව ද පෙනෙන්නේය. මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි යැයි අනුමාන කිරීමෙන් මහාචාර්ය රාජ් සෝමදේව අස්ථි සාම්පල ලබා ගන්නා අවස්ථාවේ කැණීම් ස්ථානයේ සිටම ‘කාබන් ඬේටින් පරීක්ෂණය යනු දේවභාෂිතය යැයි සිතන්න එපා’ යනුවෙන් කළ ප්‍රකාශය ද බොහෝ දෙනා නොදන්නවා ඇත. මේ කාබන් කාල නිර්ණ වාර්තාව අවසන් සහ නිරවද්‍යම ප්‍රතිඵලය යැයි දැන් ඔවුහු සිතති. මේ සමග සියවස් ගණනකට ඉහත ඉතිහාස කතා ද නැවත කරළියට පැමිණ තිබේ. ඇතැම් පාර්ශ්වයන්ට මේ ලැබුණු ප්‍රතිඵලයෙන් සතුටු වීමට හෝ දුක් වීමට ද හේතු තිබේ. තවත් අය සිතන්නේ කාබන් කාල නිර්ණයට එහා තවත් කතාවක් නොමැති බවය. තවත් පුද්ගලයන් කැනීම් කටයුතු කළ නිලධාරීන් සමග තිබෙන පෞද්ගලික අමනාපකම්වලට ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාවක් ලෙස මෙය යොදා ගන්නා බව පෙනේ. මෙවැනි බොහෝ කතන්දර මේ ප්‍රතිඵල සමග කරළියට පැමිණ තිබෙන්නේය. කණගාටුව නම් එහි මිහිදන්වූ මිනිසුන්ට දරුවන්ට යුක්තිය ඉටු කිරීමේ අරමුණ පසෙකලා දැන් ජීවත්වන්නවුන් මේ ඇටකටු මත වාදබයිලා කියමින් සිටීමය.
මියගිය මිනිසුන්ගේ ඇටකටු මත දැන් තිබෙන්නේ ජීවත්වන මිනිසුන්ගේ පොරයකි. එක් පැත්තකින් එය දේශපාලන අරගලයකි, තව පැත්තකින් පෞද්ගලික අරගලයකි, ආචාරධර්ම පිළිබද අරගලයකි, ජනමාධ්‍ය අරගලයකි. ගිනි කන්දක් පුපුරා නිවී ගිය බව පෙනෙන්නේය. එහෙත් එහි තවමත් කැලතෙමින් තිබෙන ලාවා පිටතට නොපෙනෙන්නේය. ඊළඟ පිපිරීම වඩා දරුණුය.