පොලිස් අධිකාරිවරයා ජනාධිපති ආරක්ෂක අංශයේ නිසා වැඬේ ඉවරද?

ටිරන් කුමාර බංගගමආරච්චි

 

ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරිවරයකුගේ පුත්‍රයකු විසින් පදවන ලද ඩිෆෙන්ඩර් රථයක හැපී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා දින පහළොවක් පුරා ජීවිතය අල්ලා ගන්නට උත්සාහ කළ අරගලය අත්හැර දමා තිබුණි. අවිනීත රියදුරන් විනීත කරන්නට රැකියාවේ යෙදුණ සරත්චන්ද්‍ර මහතාට මිය දෙන්නට සිදුවූයේද තම වෘත්තියේම ඉහළ නිලයක් දරන අයකුගේ පුත්‍රයකුගේ අවිනීත හැසිරීම නිසාය. මෙය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට අනුව මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමක් වන බැවින් එලෙස තැත් කර ඇත්තේද පොලිසියේම උණට හැදුණ පොලිස් පුත්‍ර රත්නයක් වීම මේ විවිධ මාන ගන්නට හේතුවී ඇත. පොලිසිය ඇතුළේම ප්‍රශ්නයක් වන මෙය පොලිසියේ වුව ලොකුකම මත ප්‍රශ්නය ජයගනු නියතය. ඒ අනුව මියගිය අයට සාධාරණය පෙනි පෙනී අසාධාරණයක් වන්නට ඇති ඉඩ වැඩිය. මන්ද මියගිය පුද්ගලයාට වඩා ඝාතනයට තැත් කළ පුත්‍රයාගේ පියා පොලිස් ප්‍රබලයෙක් වන බැවිනි. රටේ ඉහළ ප්‍රභූවරයකුගේ ආරක්ෂකයෙක්ද වන බැවිනි.
මේ රටේ යුද්ධයටත් වඩා පුද්ගලයන් මියයනුයේ රිය අනතුරුවලිනි. එය දැන් දැන් වැඩිය. මෙයද එවැනි තවත් එක් රිය අනතුරක් පමණි. මීට පෙර පැපිලියානේදී වෛද්‍යවරියක් පොලිස් නිලධාරියකු ඇතුළු පිරිසක්ම යට කළාය. එහිදී පොලිස් නිලධාරියා මියගිය අතර එයින් දුක්විඳින සදාකාලික රෝගීහුද සිටිති. එහෙත් මහා ලොකු සාධාරණයක් වීද? එදාද අජිත් රෝහණ පොලිසියේ ගැලවුම්කරුවා විය. එයින් ගැලවුණේ වෛද්‍යවරිය මිස වෙන කවුද? එසේ නම් මේ සිද්ධියේ වුව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ කතා පොලිස් කතා ලෙසම බැහැර කළ නොහැකිද?
එහෙත් මෙහිදී කිවයුත්තේ සල්ලිකාර සහ දේශපාලක පුත්තුන්ට නීතිය නීතියක් නොවන්නේ ඇයිද යන්නය. ඔවුන්ගේ පියවරු ඉතිහාසය පුරා නීතිය නවන නැවිල්ල පුතුන්ද අපූරුවට ප්‍රයෝජනයට ගන්නා බවය. දහම් සිරිසේන සමාජ ශාලාවක පිස්සු කෙළි කල ජනපති සිරිසේන ජනපති වූ අලුතම හිරිකිතයකින් තොරව බේරා ගත්තේය. යහපාලනය එයින්ම ස්ථාපිත විය. ජනපති සිරිසේනට වැලි රාජු (මල්ලි) ගේ වැඬේ වැරදිය. පුතාගේ වැඬේ නිවැරදිය.
මේ නිසාම ප්‍රභූ පුත්තුන්ගේ නමගිය අයගේ පුත්තු කරන වැඩ විශේෂ සැලකිල්ලට යොමු කළ යුතුය. එහි මර්වින්ගේ පුතා නොව සිරිසේනගේ පුතා වුව එකය.
පොලිස් පරීක්ෂක හැපුණු මොහොතේ රෝහලට ගෙන ගියේ නම් බේරා ගන්නට තිබුණා යැයි උපකල්පනයකි. රාත්‍රී සමාජශාලාවල පිස්සු කෙළ පාන්දර ගෙවල්වලට ඉගිල්ලෙන මේ සල්ලිකාර පුත්තු එන්නේම මදන විසෙනි. එදා යට වූයේ පොලිස් නිලධාරියකු නොවී සාමාන්‍ය අයකු නම් අද අජිත් රෝහණගේ දිව නැමෙනුයේද පොලිස් අධිකාරීවරයාගේ පුතා වෙනුවෙනි. ඇත්ත එයය.
මේ අයගේ මානුෂිකකම් ගැන කතා කිරීම පළක් නැත්තේ කවුරු වුව රිය අනතුරක් වූ විට තමාගේ වැරදි ගොන්නක් ඇත්නම් මුලින් කරනුයේ පැන යෑමය. එය මෙවරද සිදුවිය. වාහනය පදවන්නේ පොලිස් අධිකාරිවරයාගේ පුතාය. බීමතින් සිටීමත් සාමාන්‍ය දෙයකි. එන්නේ සමාජ ශාලාවල සිටය. උපරිම පිස්සු නටාය. පියා නිසා කාව හැප්පුවද බේරා ගන්නා ලයිසමක් ඇතැයි පුතා සිතන්නටද ඇත. පුතුන්ගේ වීරයා පියා වන බැවිනි. ජනපති සිරිසේන, මහින්ද රාජපක්ෂ පුතුන් බේරා ගන්නේ නම් අනෙක් පියවරු එසේ නොකරයිද? මේ සිද්ධියට අදාළව පැමිණි රථයේ සිටි මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයාද හසුවේ. ඔහු පිටුපස ඉඳගෙන ගිය නිසා මහින්දානන්දගේ පුතා අහිංසකු වී ඇත. මේ එකට පිස්සු කෙළ එකට ඉන්න එවුන්ය. මට එලවන්න බැරි නිසා එකකු එලවූ කල වරදකරු ඔහු විතරද? රට ගැන කැක්කුම ඇති මහින්දානන්දගේ, පුතාට අපි මොහුව රෝහලට ගෙන යමු යැයි ඉදිරිපත් විය නොහැකිද? එතන එහෙම එකකු සිටිය නොහැකිය. මන්ද සියලුදෙනා බලය ඕනෑවටත් වඩා ඉහට ගත් වුන්ය. මොවුහු මෙරට නීතිය ගැන තඹේකට ගණන් නොගනිති. නීතියක් තිබුණේ නම් අද අලුත්ගමගේද හිරේ බව පුතා දනී. එබැවින් දැන් සියල්ල සිදුවී හමාරය. දරු තිදෙනකුට පියෙක් අහිමි විය. ඒ අඩුව මහින්දානන්දට නොදැනේ. ඔහුගේ පුතාට කෙසේවත් නොදැනේ. පොලිස් අධිකාරී වුව තම පුතා හිරේ යෑම ගැන විස්සෝප වනවා හැර මියගිය අයට සාධාරණයක් විය යුතුයැයි නොසිතනවා විය හැක. එසේ නම් අධිකරණය ගැන කුමක් කියමුද?

අධිකරණයේ දොර වැසීම
මේ සිද්ධියත් සමග වන අනෙක් අපූරු දේ නම් මෙම නඩුව විභාග වන ආකාරයය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මෙම නඩුව අසනුයේ දොරගුළු දැමූ අධිකරණ ශාලාවකය. එතරම් වසන් කිරීමක් කා වෙනුවෙන්ද? මහින්දානන්ද වෙනුවෙන්ද? ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයා වෙනුවෙන්ද? එසේ නම් මේ අත පෙවීම පොලිස් අධිකාරිවරයාගේ ප්‍රභූන්ගෙන් විය නොහැකිද?
මෙරට අධිකරණ සංවිධාන පනත අනුව, දොරගුළු දැමූ ශාලාවක නඩු ඇසිය හැක්කේ වෛවාහක කරුණු සම්බන්ධ නඩුවක සහ දරුවන් සම්බන්ධ නඩුවකය. මේ දෙකටම නොවැටෙන මෙම නඩුවට මාධ්‍යවේදින් ඇතුළු පිරිස් ඉවත් කොට දොරගුළු වසාගෙන නීති විරෝධීව සිදුවූයේ කෙසේද? මෙයත් එක්තරා ආකාරයක දරුවන් සම්බන්ධ නඩුවක් නිසාද? එසේ නම් අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරුන්ගේ විනය ගැන ක්‍රියාත්මක විය යුතු නැද්ද? විමර්ශනය කොට පියවර ගත යුතු නැද්ද?
මේ සිද්ධිය දෙස විමසුම් ඇසින් බලන්නේ නම් සියල්ල සිද්ධවන්නේ ඒකපාර්ශ්විකව බව පැහැදිලිය. ජනපති සිරිසේන මීට පෙර අනතුරුවලට ලක්වූ අය බලන්නට රෝහලට ගොස් ඇත්ද? මෙය විශේෂ වන්නේ ඇයි? තම ආරක්ෂකයකුගේ පුත්‍රයා මේ වැඬේ කළ නිසා නොවේද? අනෙක් අතට තව අන්තයක මහින්දානන්දද සිටී. ඔහු මාධ්‍යයට බණ කියුවාට පුත්‍රයා බේරා ගන්නට රාජපක්ෂ ළඟ වැඳ වැටෙනවා ඇත. රාජපක්ෂ එයට පිහිට පතනුයේ කාගෙන්ද? නැවත සිරිසේන මහත්මයාගෙන්ය. හැප්පුණු මිනිසා නැවත හප්පා යන්නට තරම් වීරයන් වූ නිසා අධිකරණය දොරගුළු ලාගෙන නඩු අසන්නේද? ක්ෂණිකව ඇප දෙන්නේද? නැත. ඒත් හප්පපු අය ඉන්නා තැන් ලොකුය. හැම පැත්තක්ම එක පැත්තකට බර වෙද්දී අජිත් රෝහණ මද්දුම බණ්ඩාර පන්නයේ වීරයකු වන්නට හදනුයේ සරත්චන්ද්‍ර බේරා ගන්නටද? එය එසේවිය හැකිද? එසේ වනු ඇතැයි සිතන්නට තරම් අප ළාමක විය යුතුද?

වාහනය හොර එකක්
සරත්චන්ද්‍ර මහතා අනතුරට ලක් කරන ඩිෆෙන්ඩර් රථය කෑලි එක් කළ එකකි. එනම් එය මෙරට හොරට නිපදවන එකකි. මේ පොලිස් අධිකාරීවරයකුගේ පුතෙකි. එසේ නම් වාහනය මිලදී ගන්නට ඇත්තේ පොලිස් අධිකාරිවරයා විය නොහැකිද? ඔහු දැනුවත්ව නොවේද? එසේ නම් හොර බඩු ගත් අධිකාරිවරයා තවදුරටත් රැකියාවේ තබාගත යුතුද? ඔහුට රැකියාවේ නියැලෙන්නට සදාචාරයක් ඇත්ද? සදාචාර කතා කිරීම විහිළුවක් වුවත් මතක් කළෙමු. මේ සිද්ධිය තුළ වැරදි තොගයක් එළියට පැමිණ ඇත. සැබැවින්ම පොලිස් අධිකාරිවරයාගේ පුතා වෙනුවට වෙන එකෙකු හිරේ යනවාද? කවුරු දනිත්ද? දොරගුළු ලාගෙන ප්‍රශ්න විසඳන උසාවි තුළ ඇත්ත දකින්නේ කවුද? අධිකාරිවරයා දේව ගණයේ නොව බලන්න එන වුන්ගේද ඇස් වසා ප්‍රශ්න විසඳන කල සත්‍යය යනු කුමක්ද?
මේ සියලු කාරණා දෙස බලන කල සරත්චන්ද්‍ර මහතාත් පොලිසියේ වුව ඔහුගේ පොලිස් බලය අඩුය. බොරැල්ල රථවාහන අංශයේ ප්‍රධානියා ලෙස ඔහු ඕනෑතරම් මේ නඩු උසාවියට ගෙන ගොස් ඇත. ඒවා කොතෙක් සාධාරණව කළාද යන්නත් අසාධාරණව කළාද යන්නත් අත්දැකීම් ඔහුට ඇත. එහෙත් අවසානයේ ඔහුගේ සිද්ධියට නම් කිසිදු සාධාරණයක් වෙතැයි අපට නොසිතේ. මන්ද ඔහු මියගියේ ඔහුට වඩා බලපුළුවන්කාර පොලිස් ලොක්කකුගේ පුතකු අතින් බැවිනි.
ඔහු වෙනුවෙන් අද පෙනී සිටින එකම පුද්ගලයා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණය. ඔහුගේ ඕනෑවටත් වඩා උනන්දුවම සැක උපදවයි. ප්‍රශ්නය ඔහුගේ උනන්දුව සරත්චන්ද්‍ර මහතා වෙනුවෙන්ද? පොලිස් අධිකාරිවරයා වෙනුවෙන්ද යන්නය. මියගිය සරත්චන්ද්‍ර පැත්ත ගෙන පොලිස් අධිකාරිවරයා තරහා කරගන්නට තරම් අජිත් රෝහණ නීතිඥතුමා මෝඩද? අපි එසේ සිතිය යුතුද?
මේ සිද්ධිය අළලා පොලිස්පතිතුමාට කළ හැකි දෙයක් වීද? ඒ නම් මේ ඩිෆෙන්ඩර් අනතුරෙන් පසු රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිත ප්‍රදේශවල රාත්‍රී කාලයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමය. එලෙස සෝදිසි මෙහෙයුම් දියත් කොට දින දෙකකදී බීමත් රියදුරන් 527ක් අත්අඩංගුවට ගත් බව පුවත් මැවුණි. මේවා පය බරවාට පිටිකර බෙහෙත් බැඳීම්ය. රාත්‍රී සමාජශාලාවලට කොතරම් ප්‍රභූවරු, ප්‍රභූ පුතුන්, ධනපතින් යන්නේද? එසේ නම් මේ අල්ලා ගත් අය අතර ඒ කී දෙනෙක් සිටිය යුතුද? අල්ලා ගන්නා වුන් කීදෙනකුට පොලිසිය සැලියුට් දමා යවනවා ඇද්ද? මේවා සියල්ල බොරු මවාපෑම්ය. කාව රවටනු පිණිසද?
සරත්චන්ද්‍ර මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරනු හැර වෙන යමක් ඉතිරිව ඇද්ද? වන්දියක් නම් ලැබෙනු ඇත. එහෙත් එය ජීවිතයක් තරම් වටීද? සරත්චන්ද්‍ර මහතාට සාධාරණයක් වනු ඇත්ද?