බියට හැකිලෙන සතුටට දිගහැරෙන ජීවිත – ප්‍රවීණ චිත්‍ර ශිල්පී කොල්වින් සෙට්ටිනායක සංවාදයක

එන්. ලංකා මාගම්මන

කොල්වින් සෙට්ටිනායකගේ ‘විරෝධකාල්පනිකයා’ 9වැනි චිත්‍ර දැක්ම මාර්තු 22 සිට 25 දක්වා පෙ.ව. 6.00 තෙක් කොළඹ ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී පැවැත්වේ.
‘විරෝධකාල්පනිකයා’ චිත්‍ර ප්‍රදර්ශනයේ ආරම්භය ගැන කතා කරමුද?

1972 දී තමයි මගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් මුලින්ම පැවැත්වූවේ. ඒ ගෝල්ෆේස් පිට්ටනිය ඉදිරිපිට තිබුණු සමුද්‍රා හෝටලයේදී. මගේ පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනය විවෘත කරන්න ආවේ මහගම සේකරයන්. ඉන් අනතුරුව වරින් වර චිත්‍ර ප්‍රදර්ශන කීපයක් විවිධ ස්ථාන වල පැවැත්වූවා. ‘විරෝධකාල්පනිකයා’ කියන නම මට ලැබෙන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සිරිල් බී. පෙරේරාගෙන්. ඔහු පවසන ආකාරයට මගේ රේඛා චිත්‍ර වෙනත් අයගේ රේඛා චිත්‍ර වලට වඩා වෙනස් බවත් තියනවා. ඒ වෙනස දේශපාලනික වෙනසක් ලෙසයි ඔහු දකින්නේ. ඒ නිසා සිරිල් බී. පෙරේරා මගේ රේඛා චිත්‍ර වලට යෙදුව නම මගේ චිත්‍ර ප්‍රදර්ශනයට යොදාගන්න මා කටයුතු කළා.

ඔබගේ රේඛා චිත්‍ර කලාව තුළ දිග මිනිස් රූප මෙන්ම හැකිලී ගිය මිනිස් රූප දැකිය හැකි වෙනවා. මෙයින් කියවෙන දේශපාලන අරුත කුමක්ද?

අපේ ජීවිත පීඩනයට පත් වුණු ජීවිත. අනිත් අතින් අපි පීඩිත පන්තියේ මිනිස්සු. මේ පීඩිත ජීවිතවලට එදිනෙදා ලැබෙන අත්දැකීම් ප්‍රමුඛතා කරගෙන මගේ රේඛා චිත්‍ර කලාව ගොඩ නැගෙනවා. මේ පීඩිත ජීවිත බියට හැකිලෙනවා. මේ ජීවිත සතුට, ආසාව ඇතිවූ විට දිග හැරෙනවා. බියට හැකිලෙන සතුට නිසා දිග හැරෙන මිනිසුන් මගේ චිත්‍ර රේඛා හරහා පෙන්නුම් කිරීමට මට හැකි වුණා. මිනිසුන්ගේ සිතට ජනිත වන බිය සහ සතුට දේශපාලනික හේතූන් මත ඇති වෙන්න හැකියාව තියෙනවා. අපේ ජීවිත වැඩි වශයෙන් පීඩාවට පත් වූ ස්වභාවයකුයි මම දකින්නේ. ඒ අත්දැකීම තමයි මගේ ප්‍රකාශනය වුණේ. මා තුළ වූ චිත්‍ර ඇදීමේ කුසලතාව මේ අදහස් තුළින් තවත් තියුණු වුණා. ඒ ඔස්සේ විවිධ ස්වරූපයේ මිනිස් රූප කැන්වස් එකක් මත එළිදක්වන්න මම පෙළඹුනා. චිත්‍ර කලාව පිළිබඳ මට ගුරුවරයෙක් හිටියේ නැහැ. මා කුඩාකළ පාසල් ගිය විදුහලේ පවා චිත්‍ර ගුරුවරයෙක් හිටියේ නැහැ. කෙසේ නමුත් ජීවිත අත්දැකීම් තුළින් අප ඇසුරු කළ විද්වතුන්ගෙන් ලද පන්නරය මගේ රේඛා චිත්‍ර කලා පෝෂණයට ඉවහල් වුණා.

‘අඳුර හා එළිය’ සිත්තරකු හට හරි වැදගත්. ඒ වගේම වර්ණ වලට හැඟීම් තියනවා. ඔබ මෙම රේඛා චිත්‍රවලට යොදා ඇති වර්ණ වෙනස් අදහසක් මතු කිරීමට භාවිත කරන්නේ කෙසේද?

මගේ රේඛා චිත්‍ර වලට ඉතා සෞම්‍ය වර්ණ යොදාගෙන තියෙනවා. ඒ සඳහා විශේෂිත හේතුවක් තියෙනවා. කඩතොලු වු රේඛා රටාවත් සමඟ දුක, සන්තාපය, විශේෂිතව පෙන්නුම් කිරීම සඳහා සෞම්‍ය වර්ණ සංයෝජනයක් මේ සඳහා මා උපයෝගී කරගනු ලැබුවා. බෙල්ල දිගටි රූප, බඩ, පිටකොන්ද ගෑවුණු රූප, වකුටු වූ රූප, දිග ඇරුණු රූප, අශ්‍රීත අඳින ලද රේඛාව අනිත් චිත්‍ර වලට වඩා ප්‍රබල අරුත් ඇති කිරීමට සමත්. වර්ණ චිත්‍ර වලට වඩා මගේ රේඛා චිත්‍රවල කළු වර්ණය නැත්නම් සුදු වර්ණය මිශ්‍ර චිත්‍ර පමණක් තිබෙනවා. වර්ණ මෙන්ම පරාස චිත්‍ර වලටත් මා රේඛාව භාවිත කරනවා. මා අදින ලද රේඛාවෙන් එයට භාවිත කරන වර්ණ චිත්‍රවල හරය තවදුරටත් කුළු ගැන්වීමටයි යොදා ගන්නේ. ඊළඟට ආලෝකය සිත්තරකුට වැදගත් වෙනවා. ‘අඳුර හා එළිය’ අතර සිත්තරකුගේ ගමන් මග තීරණය වෙනවා. මා බොහෝ විට දිස්නය දෙනු ලබන වර්ණ මගේ චිත්‍ර කලාව තුළ භාවිත වෙන්නේ නැහැ. අවශ්‍ය තැනකට වර්ණ යොදනවා මිස වර්ණ රැසක් ගල්වන්න මා කැමති නැහැ. චිත්‍රය වෙතින් මා උද්දීපනය කිරීමට බලාපොරොත්තු වන අදහස ගෙනහැර දැක්වීමට පමණක් අවශ්‍ය වර්ණ යොදා ගැනීම මගේ ක්‍රමය වෙනවා.

මම රේඛා චිත්‍ර වලදී අර්ථසෞන්දර්යය ප්‍රමුඛ කරගන්නවා, වර්ණ සෞන්දර්යයට වඩා. ශිල්ප හරඹ වලින් අර්ථයට වඩා වැඩි යමක් එකතු කරන්න මා බලාපොරොත්තු වෙනවා. ඇක්ටලික් (ෆැබ්රික්) ඔයිල්, පැස්ටල් කියලා මට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මේ ඕනෑම තීන්ත වර්ගයක් භාවිත කරමින් ගුණාත්මක අර්ථාන්විත චිත්‍රයක් ලබා ගැනීම තමයි මගේ එකම අරමුණ වන්නේ. අනිත් අතට වර්ණ වලට හැගීම් තියෙනවා. අප සෑම විටම අදින්න ඕනේ පින්තූර නෙවෙයි. චිත්‍ර තමයි අපි අදින්න ඕනේ. කැමරාවෙන් කරන කාරණය පින්සලෙන් කරන්න අපි මහන්සි වෙන්න ඕනේ නැහැ. මගේ චිත්‍රවල අදහස ජනිත කරන්න අවශ්‍ය වූ විට පමණක් වර්ණ යෙදවීම සිදු කරන ලද කලු සුදු රේඛා චිත්‍රය පිළිබඳ මගේ වැඩි කැමැත්තක් තියනවා. කලු සුදු රේඛා චිත්‍ර හැම අතින්ම අනිත් චිත්‍ර සමග සංසන්දනයේදී බලවක් වන බවයි මගේ අදහස. ස්වභාවධර්මයා සමග කුඩා කල සිටම ජීවත් වන මනුස්සයකුට ස්වභාවධර්මයාගෙන් පිට යන්න හැකියාවක් ඇත්තේ නැහැ. මගේ චිත්‍ර කලාවටත් ස්වභාවධර්මයාගේ අභාසය ඇතුළත් වෙනවා.

ඔබ පුවත්පත් කිහිපයකම චිත්‍ර ශිල්පියෙක් ලෙස කටයුතු කරනු ලැබුවා. ඒ අතීතරයත් මතක් කරමුද?

මගේ කුඩාම කාලයේ සිට තිබුණු එක බලාපොරොත්තුවක් තමයි කවදාහරි දවසක පුවත්පතක චිත්‍ර ශිල්පියකු වෙනවා කියන අදහස. තලංගම ජයසිංහ, ගෞතමදාස, ජී.එස්. ප්‍රනාන්දුලා වගේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ අය පත්තරවල අදින හැටි දැකලා පුදුම විදිහට ඒ චිත්‍ර පිළිබඳ පැහැදීමක් ඇති වුණා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයෙන් පසුව පුවත් පතක සේවය කරන්න උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ‘මිහිර’ පත්තරේ මැද පිටු දෙක මට ලැබුණා. ‘මිහිර’ පුවත්පතේ අලෙවිය ඒ කාලේ ලක්ෂයක් විතර ඇති. කාලයක් මිහිර පුවත්පතේ වැඩ කරලා ඉන් ඉවත් වී ‘ලස්සන’ කියන සතිපතා පළ වන කලා පුවත්පතක වැඩ කළා. ‘ලස්සන’ පුවත්පතේ කර්තෘ හැටියට එවකට වැඩ කටයුතු කළේ මාක් ඇන්ටනී මහත්මයයි. මාක් ඇන්ටනී සිංහබාහු නාට්‍යයේ පළමු සිංහයා. එතනදි මට තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා හමුවුණා. තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාගේ ඇසුර මගේ චිත්‍ර කලාවට ලොකු පිටුබලයක් වුණා. චිත්‍රයක් කවියක් වගේ විය යුතුයි කියන අදහස එතුමා නිසා මට ලැබුණු අදහසක්. චිත්‍රයක් හුදු සටන් පාඨයක් නොවියයුතුයි, කියන අදහස එතුමා මට කියා දුන්නා. ඉන් අනතුරුව මා ‘ඇත්ත’ පත්තරේ චිත්‍ර ශිල්පියා බවට පත් වුණා. ඇත්ත පත්තරයට එන යන විවිධ දේශපාලන අදහස් දරන විද්වතුන්ගෙන් මගේ ජීවන අද්දැකීම්ද පෝෂණය වුණා. බී. ඒ. සිරිවර්ධන, සිරිලාල් කොඩිකාර, එස්. ජී. පුංචිහේවා, සයිමන් නවගත්තේගම, සුනන්ද මහේන්ද්‍ර, සරත් අමුණුගම, වැනි බුද්ධිමතුන් සමග නිතර ඇසුරු කරන්න කතාබහ කරන්න මටද අවස්ථාව ලැබුණා. අද මා චිත්‍ර ශිල්පියෙක් හැටියට ඉන්න ස්ථානය තීරණය වුණේ ඔවුන්ගෙන් ලද ඇසුර නිසා මා ලබපු පන්නරය මතයි.

ඔබ යම් අවස්ථාවකදී පවසනවා චිත්‍රයක් කවියක්වගේ විය යුතුයි කියලා. ඔබ ‘ඇත්ත’ වගේ පත්තරයක ඒ අද්දැකීමට සමීප වෙන්න උත්සාහ කළේ කෙසේද?

මා ‘ඇත්ත’ පුවත්පතේ දේශපාලන කාටුන් ඇන්දේ නැහැ. අනික ඒ කාලේ දේශපාලන කාටූන් අදවාගේ අපහාසයට අදින්නෙත් නැහැ. සිරිලාල් කොඩිකාර එක දවසක් මට කිව්වා පොඩි කාටූන් එකක් අදින්න කියලා. ඒ සඳහා ඔහු මට අදහසක් දුන්නා. අදහස තමයි ඒ කාලෙ අගමැතිනිය වැල් දොඩම් වගාව සඳහා වෙනම ව්‍යාපාරයක් ගෙන ගියා. හැබැයි ලංකාවේ ඒ වන විට වැල් දොඩම් වගාවට හොඳ වෙළෙඳපොළක් තිබුණේ නැහැ. මා අදින ලද කාටූන් එක වුණේ වැල් දොඩම් ගෙඩිය වෙළඳපොලක් ලැබෙනකම් පැහෙන්නේ නැතුව තියන එකයි. ඒ වගේ කාටූන් වලින් කාටවත් අපහාසයක් වුණේ නැහැ.

‘ඇත්ත’ පත්තරේ විශේෂාංග වලට තමයි මා චිත්‍ර ඇන්දේ. සයිමන් නවගත්තේගමගේ ‘සුද්දිලාගේ කතාව’ චිත්‍ර කතාවක් ලෙස ඇත්ත පුවත්පතේ මා ඇන්දා. ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රයට නගද්දී සයිමන් මහතා මගේ පිටුපස්සට ඇවිල්ලා චිත්‍රය අදින විදිහ බලාගෙන ඉන්නවා. ඔහු ඇසුරු කරන්න වටින පුද්ගලයෙක්. මා ‘ඇත්ත’ පත්තරේ වැඩ කරන කාලේ ‘පීරවී’ කියන මලයාලම් චිත්‍රපටය නැරඹුවා. එම චිත්‍රපටයේ තාත්තා විශ්වවිiාලයට ගිය පුතා ගෙදර එනකම් මග බලාගෙන ඉන්න දර්ශනය මගේ හදවත කම්පනය කළා. ‘ඇත්ත’ පත්තරේ වැඩ කරලා මමත් රෑ වෙලා ගෙදර යනකල් ස්ටේෂන් එක ගාව අපේ තාත්තාත් මා එනතුරු බලාගෙන ඉන්නවා. කළුතර ස්ටේෂන් එකේ ලෑලි බංකුවේ වාඩිවෙලා අපේ තාත්තා බලාගෙන හිටිය හැටි අදත් මට මතක් වෙනවා. තාත්තා ස්ටේෂන් එක ළඟ ඉඳන් ගෙදර යනකල් මාත් එක්ක වචනයක්වත් කතා කරන්නේ නැහැ. ගෙදර ගිහින් තියන දෙයක් කලා තාත්තාගේ ඇදේ මා නිදිය ගන්නේ. ඒ සෙනෙහස මගේ චිත්‍ර ශිල්පයට බොහෝ සෙයින් බලපෑම් කරනු ලැබුවා. මගේ චිත්‍ර වලට මානව දයාව එක්වුණේ තාත්තාගෙන්.

ඔබ චිත්‍ර කලාවට අමතරව නවකතා රචකයෙක්?

මගේ පළමු නවකතාව වන්නේ ‘අට්ටාලය’ නවකතාවයි. මාරවිල ප්‍රදේශයේ මා ජීවත් වූ කාලයේ මා ලද අත්දැකීම් පදනම් කරගෙන තමයි ‘අට්ටාලය’ නවකතාව ලියවෙන්නේ. ඔවුන්ගේ ජීවිතයම හරියට අට්ටාලයක් උඩ තියනවා වගෙයි. පොඞ්ඩක් බුරුල් වෙනකොට කොහොමහරි තද කරලා බැදගෙන තියාගන්න උත්සාහ කරනවා. එහෙම පැලැස්තර දාලා ගෙනියනවා මිස ඒ ජීවිතයට තව මොනවා කරන්නද? මාරවිල වෙන්නප්පුව ප්‍රf්ද්ශයේ මිනිස් ජීවිතත් ඔය වගේ කියලයි මට දැනුණේ. ඒ ජීවිතවල මොනයම් වූ පිළිවෙළක් මා දැක්කේ නැහැ. දරුවෝ බෝට්ටු වලින් ඉතාලි යන සංස්කෘතියක් තමයි ඒ පැත්තේ තියෙන්නේ. ‘අට්ටාලය’ තුළින් මා කතා කරනු ලබන්නේ එවැනි සංස්කෘතියක් ගැනයි. ඉන් අනතුරුව මා ‘ළන්දු’ කියලා ළමා පොතක් කළා. ඒ පොතේ තේමාව වෙන්නේ අම්මා නැති දුවෙක් ගැනයි. ‘සරස්වතී’ කියා කවි පොතක් කළා. ඒ වගේ පොත් කීපයක් මා අතින් නිර්මාණය වුණා.මීට අමතරව වේදිකා නාට්‍ය කීපයක්ද මා නිර්මාණය කරනු ලැබුවා. ‘ඉසුරු බර සිටු පුතෙක්’මගේ පළමු වේදිකා නාට්‍ය වුණා. මෙම නාට්‍ය කළුතර ඉන්න කාලේ තමයි කළේ. එහි ප්‍රධාන නළු භූමිකාව කළේ ධර්මසිරි බණ්ඩාරනායකයි. 1980 පළමුවරට ධර්මසිරි වේදිකාවට නැග්ගේ ඉසුරු බර සිටු පුතෙක් නාට්‍යයෙන්. සරත් ගුණරත්න, කාලෝ විජේසිරි, කේ. ඒ. මිල්ටන් පෙරේරා, වෙළේගෙදර රණසිංහ, බෙනට් සෙට්ටිනායක, වාගේ කළුතර කල්ලියෙන් තමයි මේ වේදිකා නාට්‍ය කරනු ලැබුවේ. ඉන් අනතුරුව සිහින දකින්නා කියලා වේදිකා නාට්‍යක් කළා. සිහින දකින්නා මේ ළඟකදී නව නිර්මාණයක් ලෙස චන්ද්‍රසෝම බිංදුහේවා සමග නිර්මාණය කළා.

ඔබ බතික් කලාව තුළත් අත්දැකීම් බහුලව තියන කෙනෙක්?

බතික් කලාවත් චිත්‍ර කලාව මෙන්ම භාවමය ශිල්පයක්. මගේ අරමුණක් තියනවා ඉදිරියේදී බතික් සම්බන්ධ කරගෙන චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න. බතික් වල කැඩෙන ඇඹරිලා යන තැන්වලින් ජීවිතය දකින්න පුළුවන් වෙනවා. බතික් විසිරෙන ආකාරය දිහා නරඹලා ජීවිතයේ සුන්දරත්වය දකින්න පුළුවන්. ඔය දෙක අතර අඳින චිත්‍රය මොන තරම් අර්ථ සම්පන්න වෙයිද? ලංකාවට බතික් කලාව උරුම වන්නේ ඉන්දුනිසීයාවෙන්. සෝමා උඩබාගේ තමයි ලංකාවේ බතික් කලාවට අඩිතාලම දමන්නේ. ඉන් අනතරුව විපුල ධර්මවර්ධන, බුද්ධි කීර්තිසේන, වැනි අය බතික් කලාව ප්‍රගුණ කරනු ලැබුවා. මා ‘ඇත්ත’ පුවත්පතින් අයින් වුණාට පසුව බුද්ධි කීර්තිසේනගේ බතික් ෆැක්ටරියට ගියා. මුල් කාලයෙන් පසුව ළමුන් 300ක් වගේ සමන්විත විශාල ආයතනයක් බවට එය පත් වුණා. එහි ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙසයි මා වැඩ කළේ. මගේ යටතේ මෝස්තර නිර්මාණ ශිල්පියෙක් ලෙස එංගලන්තයේ ඉගෙනුම ලබා පැමිණි මංගල සමරවීර නමැති නිර්මාණශීලී තරුණයා වැඩ කළා. ඇත්තටම ඒ තරුණයා නිර්මාණශීලි දක්ෂයෙක් බව එදා මම වටහා ගත්තා.