සුදු ආධිපත්‍යවාදය පුපුරා යයි

එස්. නන්දලාල්

පසුගිය සිකුරාදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි ඉස්ලාම් දේවස්ථාන දෙකකට කඩා වැදුණු ගිනි අවිධාරී සාහසිකයෙක් ඒවායේ යාඥාවල නිරතව සිටි ඉස්ලාම් ලබ්ධිකයන් පිරිසකට දිගට හරහට වෙඩි තැබී ය. 49 දෙනෙක් එතැනම මරු දුටහ. මේ වනවිට මරණ සංඛ්‍යාව 50 බව වාර්තාවේ.

මෙය නවසීලන්ත ඉතිහාසයේ සිදුවූ මේ ආකාරයේ ප්‍රථම ප්‍රහාරය වෙයි. මෙබඳු පූර්ව අත්දැකීම් එරට වැසියන්ට නැත. ලොව ඉතා සාමකාමී මෙන් ම ජීවත් වන්නට පතිරූප දේශයක් ලෙස අබිසෙස් ලත් නවසීලන්තයේ දේවස්ථානයක් තුළ මෙවැන්නක් සිදුවීම ලොවම මවිතයට, කම්පාවට සහ සංවේගයට පත් කළ බව අමුතුවෙන් කිවයුතු නැත. කම්පාවට පත් ලොව පුරා රාජ්‍ය නායකයන් මෙන්ම වෙනත් වැදගත් පුද්ගලයන් ද විසින් එරට රජය වෙත ශෝක පණිවිඩ එවා තිබිණි.

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නම් කළා ය. ඒ මහා ජන සංහාරය හඳුන්වන්නට වෙනත් ආකාරයක් නැත. තුවක්කුකරු හෙවත් ත්‍රස්තයා බ්‍රෙන්ටන් ටැරන්ට් නම් 28 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ නම තමන් කීවේ එක් වරක් පමණක් බවත් පුනරුච්ඡාරණයක් නොකරන බවත් අගමැතිනි ආර්ඩන් පසුගිය සඳුදා එරට පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළා ය. ඒ ප්‍රකාශයට ගෞරව පිණිස සහ කුමන හේතුවක් නිසා හෝ මනුෂ්‍ය ඝාතනය යනු නීච අමනුෂ්‍ය ක්‍රියාවක් ය යන ස්ථාවරයේ අප ද සිටින නිසා මෙහි මින්මතු කිසි තැනෙක ඔහුගේ නම සඳහන් නොකෙරෙනු ඇත.

ඔහු කිසිම ආකාරයකින් ආරක්‍ෂක අංශවල අවධානයට ලක්ව සිටියකු නොවේ. ශරීර සුවතා මධ්‍යස්ථානයක සේවය කොට ඇති ඔහු අසාමාන්‍ය හැසිරීමක් ප්‍රකට නොකළ බව එහි හිමිකරු මාධ්‍යයට පවසා තිබිණි. එහෙත් ඔහු නිතිපතා විදේශ සංචාරවල යෙදුණු අයකු බවද ඔහු කියයි. සාමකාමී පරිසරයක දිවි ගෙවා ඇති මේ පුද්ගලයා සතුව A පන්තියේ ගිනි අවි බලපත්‍රයක් වූ අතර ඒ අනුව ඕනෑ තරමක් ගිනි අවි තමන් සන්තකයේ තබා ගැනීමට ඔහුට නීතියෙන් බාධාවක් නොමැත. ඔහුගේ විනෝදාංශ වී ඇත්තේ දඩයම සහ සංචාරයේ යෙදීමයි. ඔහුගේ දඩයම් සගයන් පවසන පරිදි එම ක්‍රීඩාවේ දී ඔහු තරමක් අමුතු හැසිරීම් ඇතිව සිටියෙකි. ඔහු දඩයම් කළේ විනෝදයට නොව සතුන් සමග තරහකින් මෙනි’යි එක් අයකු මාධ්‍ය සමග පැවසූ බව සඳහන් ය.

මේ පුද්ගලයා කිසියම් කල්ලියක හෝ සංවිධානයක හෝ කල්ට් එකක සාමාජිකයකු නොවේ. එහෙත් ඔහු 2010 තරම් ඈතක සිට සුදු ආධිපත්‍යවාදී ( White supremacy/white supremacism ) සංවිධානවල වැඩමු`ඵ යනාදියට සම්බන්ධ වී සිට ඇති අතර දැඩි ලෙස ඉස්ලාම් භිතිකාවෙන් ( Islamophobia ) පෙ`ඵණු අයකු බව ද සඳහන් ය වසර දෙකකට අධික කාලයක් තිස්සේ ඔහු මෙබඳු ප්‍රහාරයක් ගැන සිහින මවමින් සහ සැලසුම් කරමින් සිට ඇති බව පැවසේ. ඔහු විසින් සකස් කරන ලදුව මේ ප්‍රහාරය එල්ල කළ දින උදෑසන තෝරාගත් විද්‍යුත් තැපැල් ලිපිනවලට යොමු කරන ලද පිටු 73ක ප්‍රමාණයේ දීර්ඝ ලියැවිල්ල සනස් කිරීමට ද කාලයක් ගතවන්නට ඇත. අගමැතිනි ආර්ඩෙන්ගේ ලිපිනයට ද එයින් එකක් යොමු කොට ඇති නමුත් පොදු තැපෑල නිසා අගමැතිනියගේ අවධානය ඒ කරේ යොමු නොවූ බව ද අග්‍රමාත්‍ය කාර්යාලයයේ ප්‍රකාශිකාවක් මාධ්‍යයට පවසා තිබිණි. කෙසේවෙතත් ඒ ලියැවිල්ලේ මෙබඳු ප්‍රහාරයක් එල්ල කරන බවට සඳහනක් නොමැත.

ත්‍රස්තයා වෙඩිතැබීම් සිදු කළේ සිය ශීර්ෂාවරණයේ සවිකළ කැමරාවක් ක්‍රියාත්මක වෙමින් තිබියදී ය. එයින් පටිගත වූ රූපරාමු ඔහු විසින් ම අන්තර්ජාලයට මුදාහැර තිබිණි. ඒ අනුව බොහෝ දෙනා එය නරඹා ඇත. එහෙත් ජනමාධ්‍ය ආයතන සදාචාර හේතු මත එම විඩියෝව විකාශ කිරීමෙන් වැළැකී සිටියෝ ය. කෙසේවෙතත් අපේ රටේ ජනමාධ්‍යවලට එබන්දක් නැති නිසා අපට ද සවස 6.55 ප්‍රවෘත්ති විකාශයකින් එය නැරඹීමේ ‘භාග්‍යය’ උදාවිය.

ඔහුගේ තුවක්කුවල සුදු පැහැයෙන් වාක්‍යංශ වගයක් පින්තාරු කර තිබෙනු දැකිය හැකි විය. බැලූ බැල්මට ඒ කිසියම් ආකාරයක තුවක්කුවල වෙළෙඳ ලකුණු විශේෂයක් ලෙස පෙනුණ ද එහි වූයේ ඔහු විසින් ලියන ලද හෝ මුද්‍රණය කොට අලවන ලද හෝ විවිධ පුද්ගල නාමයන් ය. ඒ වනාහි විවිධාකාර ත්‍රස්ත ප්‍රහාර එල්ල කළවුන්ගේ සහ වින්දිතයන් බවට පත් වූ තැනැත්තන්ගේ නම් ය. ඒ අතර මෙහි මතු සඳහන් කෙරෙන 11 වියැති දැරියගේ නම ද වේ.

පෙබරවාරි 10 දින ඇරඹුණු නවසීලන්ත – බංග්ලාදේශ් ක්‍රිකට් චාරිකාවේ තුන්වන ටෙස්ට් තරගය ආරම්භවීමට නියමිත ව තිබුණේ ඊට පසු දින එනම් මාර්තු 16 වැනි සෙනසුරාදා ක්‍රයිස්චර්ච්හි හේග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ ය. එබැවින් කණ්ඩායම් දෙකම එදින එහි පුහුණු කටයුතුවල යෙදෙමින් සිටියෝ ය. බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායමේ සියලු සාමාජිකයන් ඉස්ලාම් ලබ්ධිකයන් වන අතර ඔවුන් 15 දින ක්‍රයිස්ට්චර්ච් වෙත ළඟාවී ප්‍රහාරයට ලක් වූ අලු-නූර් දේවස්ථානයට නුදුරු හෝටලයක ලැගුම් ගෙන සිටියෝ ය. ඔවුන් සිය සාමාන්‍ය සිකුරාදා යාඥාව සඳහා පැමිණෙන්නට නියමිත ව තිබුණේ ඒ දේවස්ථානයට ය.

එක්කෝ බංග්ලාදේශ් කණ්ඩායම මිනිත්තු කිහිපයක් පමා විය; නැත්නම් ඝාතකය මිනිත්තු කිහිපයක් ඉස්සර විය. ඈතින් ඇසුණු නුපුරුදු වෙඩි හඬ නිසා ඔවුන් ප්‍රවාහනය කළ බස්රියේ රියැදුරු සිය ගමන නවත්වා හරවා ගෙන ආපසු යන්නට සූදානමින් සිටි බව පැවසේ.

තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය වූ එය අවලංගු කරන ලද අතර බංග්ලාදේශ් කණ්ඩායම එදින ම පෙරළා සිය මවු රට වෙත පැමිණියෝ ය.
බංග්ලාදේශ් ක්‍රිකට් ක්‍රීඩකයන්ට හානියක් විණි නම් ලොව ම මීට වඩා කම්පා වනු ඇත.

ඝාතකයා මුල දී සිය ඝාතන ක්‍රියාව සඳහා තෝරාගෙන තිබුණේ ක්‍රයිස්ට්චර්ච් නගරය නොව වෙනත් නගරයක මුස්ලිම් දේවස්ථානයකට බව සඳහන් ය. ඔහු ඒ අදහස වෙනස් කළ හේතුව අපැහැදිලි වන අතර සඳහනක් ද නොමැත.

කෙසේවෙතත් ක්‍රයිස්ට්චර්ච් නගරයටම ප්‍රහාරයක් එල්ල කරන්නට මීට තෙමසකට පෙර ද ඔහු සැලසුම් කළ බව ද ඇතැම් තැනක සඳහන් ය.
ප්‍රහාරය සිදු වී පැයක් යන්නට මත්තෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරු ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් උසාවිය වෙත ඉදිරිපත් කරන ලදුව අප්‍රේල් 05 දක්වා රිමාන්ඞ් ගත කරන්නට නියෝග විය. ක්‍රයිස්ට්චර්ච් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ඔහු සැලසුම් සහගත ව එක් පුද්ගලයකු මරා දැම්මේ ය යන චෝදනාව ඔහුට විරුද්ධව ගොනු කරන බවයි. අනෙක් ඝාතන ගැන පසුව වාර්තා කෙරෙනු ඇත. වැඩිදුර චෝදනා ගොනු කරන්නට කාලයක් නොතිබුණු බව පොලීසිය පවසයි. ඉදිරියේ දී සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරනු ඇත.

නවසීලන්තයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරෙන ප්‍රථම පුද්ගලයා ඔහු ය.

මේ සිද්ධිය නවසීලන්තයට පෙර නොවූ විරූ අත්දැකීමක් නිසා කවර නීතියක් යටතේ ඔහුට නඩු පවරනු ලැබිය යුතු ද යන්න විවාදයට බඳුන් වී ඇත.

චුදිතට නීතිඥ සහාය ලබාගන්නට ප්‍රමාණවත් අවස්ථාවක් නොවුණු නිසා එරට නීතිය අනුව ඔහුට රජයේ නීතිඥයකුගේ සහාය ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙන ලදි. එහෙත් නීතිඥ සහාය අනවශ්‍ය බවත් තමා වෙනුවෙන් තමාම පෙනී සිටින බවත් ඔහු අධිකරණයට දන්වා ඇත. ඔහු මුග්ධයකු හෝ උන්මත්තකයකු හෝ නොවන බව ඉන් තහවුරු වෙයි.
තුර්කි ජනපති ටිසෙප් එර්දගොන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ලන්ඩන් පුරපති සදික් ඛාන් ඝාතනය කළ යුතු පුද්ගලයන් ලෙස ඔහුගේ ලියැවිල්ලේ සඳහන් ය.
තමා දිළින්දකු බවත් කම්කරු පවුලකින් පැවත එන්නකු බවත් එහි සඳහන් ය. තවත් තැනෙක තමා සුද්දකු බවත් බටහිර මිනිසකු ලෙස සිතන බවත් සුදු මිනිසුන්ට සංක්‍රමණිකයන් නිසා බොහෝ කරදර විඳින්නට සිදුව ඇති බවත් ඔහුගේ අදහසයි. සුද්දන්ට අයත් දේපළ සුද්දන් නොවන ආක්‍රමණිකයන් විසින් අල්ලා ගනු ලැබ ඇතැ’යි ද ඔහු සඳහන් කරයි. ඔහුගේ එම ලියැවිල්ලේ ඉස්මතු වනුයේ තනිකරම සුදු අධිපතිවාදයයි.

ඝාතනයට ලක්වූවන් සියල්ලන්ම පාහේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, සහ පලස්තීනය යන රටවලින් කලකට ඉහත සංක්‍රමණය වූ දැනට එරට පුරවැසිබව ලබා ගත් අය යි.

ආන්දෝලනයට තුඩු දී ඇති තවත් කාරණයක් නම් 2017 අප්‍රෙල් 07 දින ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් 11 හැවිරිදි එබා ආකර්ලන්ඞ් නමැති දැරිය ගැන ඔහු කර ඇති සඳහනයි. ඇය මරණයට පත් වූ ප්‍රහාරය එල්ල වන විට ඔහු එතැන සිට ඇත. ඉන් ඇතිවූ කම්පනය මේ ඝාතන සැලසුමට තමා පෙළැඹවූ බවට සඳහනක් ඔහුගේ සටහනේ ඇත. මෙය දැරියගේ පවුලේ අය කෝපයට පත් කළ බව ඬේලිබීස්ට් වාර්තාවක දැක්වේ. “දැන් ඉතින් සැනසිල්ලේ අපට ඇය ගැන වැලපෙන්නවත් විධියක් නෑ” ඔවුන් පවසා ඇත.

අගමැතිනි ආර්ඩෙන් සිද්ධිය වූ දින ම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කැර සිටියේ වර්තමානයේ පවත්නා අසීමිත ගිනි අවි පරිහරණයට සීමා ඇති කරන්නට තමන් බලාපොරොත්තු වන බවයි. මිලියන තුනකට අධික පිරිසකට කිසි වග විභාගයකින් තොරව ගිනි අවි බලපත් ලබා දී ඇති බව ද ඇය පෙන්වා දී ඇත. මේ වනවිට අදාළ සංශෝධන කෙටුම්පත් කිරීමට මූලික කටයුතු අරඹා ඇති බව ද සඳහන් ය.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ වනාහි සුදු ආධිපත්‍යවාදය පුපුරා යාම බවයි. මෙය නරක පූර්වාදර්ශයක් වනු ඇති අතර අනුගමනය කරන්නන් ද සිටිය හැකි ය. එසේම අන්තවාදී ජිහාඞ් කල්ලි විසින් ප්‍රති ප්‍රහාර එල්ල කරනු ඇති ය යන මතය ද බැහැර කළ නොහැක්කකි. පසුගිය සඳුදා නෙදර්ලන්තයේ උර්ටෙක් හි පොදු ප්‍රවාහන සේවා රියකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් තිදෙනකු මියගිය අතර අට දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රහාරයේ අරමුණු අපැහැදිලි වන අතර ඒ සඳහා වගකිවයුත්තා ලෙස සැක කරමින් අත්අඩංගුවට ගන්නා ලද තුර්කි ජාතික ගොක්මන් ටැනිස් ප්‍රකට අපරාධකරුවකු බව සඳහන් ය.