යාන්ඔය ජල උගුලෙන් නාය ගිය ජීවිත

දිනී ජයසේකර

“බඩගින්නට කන්න දෙයක් නැතිම තැන දරුවයි මායි වට්ටක්ක තම්බගෙන කනවා.”
එසේ පැවසුවේ මාවතවැව ආරියවතීය.

එකල සහලින් ස්වයංපෝෂිත වූ මාවතවැව මෙකල යාන්ඔයට බිලි දී ප්‍රදේශවාසීහු වට්ටක්කා අනුභව කරති. යම් හෙයකින් ඔවුනට සිදුවී ඇත්තේ කන්න දීපු අත හපාකෑමක් වැනි සිදුවීමකි. කුඹුරු අක්කරවලින් සහල් අස්වැන්න ලැබූ ඔවුහු මේ වන විට යාන්ඔයට බිලිගත් ඉඩම්වල මායිම් පෙන්නමින් කඳුළු හංගති.
“කිසි කෙනෙක්ට කීවට වැඩක් නැහැ. චැනල්වලින් එනවා වොයිස් කට් ගන්නවා අපේ දුක කපනවා, කපල ටීවී එකේ දානවා. ඉතින් කොළඹ මිනිස්සු හිතන්නෙ මුන්ට මෙච්චර කරලත් මදි කියලා.”

මේ වන විට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නකු නැත. ඔවුන් වෙනුවෙන් සවන් දෙන්නකු නැත. ඔවුන් වෙනුවෙන් කැප වෙන්නකු ද නැත. එහෙත් යාන්ඔය ව්‍යාපෘතිය ගමට ඒමට ප්‍රථම බලධාරීන්ද, නිලධාරීන්ද, දේශපාලකයෝද, මාධ්‍යයද යන සියල්ලෝම ඔවුන් වෙනුවෙන් සිටින බව අඟවා පෑළ දොරෙන් පැන ගියහ. ඔවුන් දැන් සිටින්නේ අන්ත අසරණව කිසිත් කරකියා ගත නොහැකි තත්ත්වයකය. තමන්ගේ දේපළ සියල්ල රටේ තිරසර සංවර්ධනය උදෙසා බිලි දී කන්න බොන්න නැතිව ඉන්න හිටින්න පැළක් නොමැතිව ඔවුහු දුක් විඳිති. මේ ඔවුන්ගේ කතාවයි.

සම්පූර්ණ යටවීම්

2015 වර්ෂයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවතවැව ඇතුළු ගම් කිහිපයක් සම්පූර්ණ යටවීම්වලට හසුවී ඇත. පුහුදිවුල, වාගොල්ලෑගඩ, ඇලියාකඩ, වාහල්කඩ සහ මාවතවැව යන ප්‍රදේශ යන ඒවා සම්පූර්ණ යටවීම් ලෙස නම් කළ හැකි ප්‍රදේශය වේ. මෙයින් බොහොමයක් කුඹුරු ඉඩම්ය. අනෙක්වා නිවාසස්ථානය. ප්‍රදේශවාසීන් ආසන්න වශයෙන් 2725ක් මේ වන විට අවතැන්ය. එයින් සමහරුන්ට වන්දි මුදලින් කොටසක් ලැබී ඇත. තවත් අයට තවමත් සතපහක මුදලක් ලැබී නොමැත. මේ ප්‍රදේශවලට අමතරව ඒ අවට ඇති ප්‍රදේශ ද ඉදිරියට යටවීමේ අවදානම් තත්ත්වයක් ඇති බවට අදහස් දැක්වූවේ අර්ජුන ප්‍රියලාල් ය.

“මෙහෙට තවම හරිහමන් වැස්සක් වැටුණෙ නැති නිසා මේ අවට මිනිස්සු බේරිලා ඉන්නවා. හරියට වැස්සොත් මේ සේරම යටවෙලා යනවා. ඒත් තවමත් කිසිම රජයකින් මේකෙ අවදානම් කලාප මේවාය කියලවත් කියල නැහැ. යාන්ඔයට වතුර දාද්දිත් අපි දන්නෙ නැහැ. මගක් දුරක් යටවේගෙන එනකොට තමයි අපිට කීවෙ අයින් වෙන්න කියලා. එහෙම වෙලා තියෙද්දිවත් තවමත් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් යොදලා නැහැ. කාට කියන්නද?”

2012 අගෝස්තු මස 16 වන දින යාන්ඔය ජල ව්‍යාපෘතිය සදහා මුල් ගල තැබීය. 2012 අගෝස්තු මස සිට 2014 දෙසැම්බර් වන තෙක් ප්‍රදේශවාසීන් දෛනිකව තම වැඩකටයුතු සිදු කරමින් සිටිත් 2015 වර්ෂය වන විට එය අඩාල විය. පවුල් සී සීකඩ විසි විය. පොල්ගස් මුදුන් පමණක් ඈතට පෙනෙන්නට විය. එබැවින් මිනිසුන්ගේ මතකයන් පමණක් මේ වන විට ශේෂව ඇත.

මාවතවැව ප්‍රදේශවාසීන්

“අපිට හිස් කොළයක් දීල කීවා මේක අත්සන් කරන්න කියලා. අපි බෑ කීවට පස්සෙ කීවා මේකෙ තියෙන්නෙ අපි කැමැත්තෙන් අපේ ඉඩම් රජයට ලබා දෙනවා කියලා. මේක අත්සන් නොකළොත් අපිට වන්දි මුදල් ලැබෙන්නැහැ කීවා. ඒ නිසා අපි ආයෙමත් බෑ නොකිය අත්සන් කළා. මොකද ඉඩමුත් නැති වෙලා වන්දිත් නැතිවෙයි කියන බය අපිට තිබුණා. ඒ මදිවට ගමට කරන්ට් එක අරන් අවුරුදු දෙකයි. පාර කාපට් කරලත් අවුරුදු දෙකයි. ඒ ටික කරගන්න අපි නොවිඳපු දුකක් නැහැ. ඒත් අන්තිමට ඒ සේරම යාන්ඔයට යට වුණා. ජනාධිපතිට 10 වතාවකට වැඩිය ලියුම් ලියල දැනුවත් කරල තියෙනවා මේ ගැටලුව ගැන කියලා වැඩක් නෑ.” යන්නෙන් ඒ. කරුණාරත්න පැවසුවේය.

ගම වෙනුවෙන් කැපවූවන් බොහෝය. මෙම සිදුවීම් ගෙන බලන විට ඔවුන් මෙතෙක් දුරකට සිදු කර ඇත්තේ ගඟට ඉණි කපන්නාක් වැනි ක්‍රියාවන්ය. මේ හේතුවෙන්ම ඔවුන් පීඩාවට පත්ව ඇත. මානුෂීය හැඟීම් පරයා ගැටුම්කාරී මිනිසුන් බවට ඔවුහු පරිවර්තනය වී සිටිති. හුදෙක් මෙවැනි ගැටලු හමුවේ ඔවුනට එසේ සිදු නොවූවා නම් ගැටලුවකි. තම දෛනික ජීවිත කැප කරමින් මුදල් උපයා තමන්ටම වාසය කිරීමට සාදාගත් ගෙවල් දොරවල් නටඹුන් වනවා දැකීමට කිසිවකු කැමති නැත. තමන්ගේ වගාබිම් යාන්ඔයට යට වනවාටත් කිසිවෙක් කැමති නැත. හේතුව ඔවුන් සහ අපි කවුරුත් අඹුදරුවන් සමග තම පවුල සමග සතුටින් කාලය ගත කිරීමට ආසාවක් දක්වන නිසාය.

“අපි නම් ඉතින් දන්නව මේ ඔය අපේ ඉඩකඩම් බිලි ගත්තා කියලා. අපි මෙච්චර කාලයක් හම්බ කරපුව වතුරෙ ගියා කියලා. ඒත් පොඩි දරුවන්ට ඕව තේරෙන් නැහැනේ. අවුරුද්දක් එනවා. 2015 ඉඳල අවුරුදු කීයක් අපිට මගහැරුණද? අපි දරුවන්ට මොනවද කියන්නෙ? අඳින්න ඇඳුමක් අරන් දෙන්න විදියක් නැහැ. බඩකට පිරෙන්න කෑම වේල් දීගන්න විදියක් නැහැ.” එසේ පැවසුවේ චාන්දනීය.

එවිට රෝහිණී ප්‍රියාංකා අදහස් දැක්වූවේ මෙසේය.

“ප්‍රාදේශීය ලේකම්ගෙන් අපිට මාසික ජීවිතාධාර ලබා දෙන්න කියල ඉල්ලීමක් කළා. එතනදි කීවා ගෙවල් අහිමිවෙච්ච අයට මුදලක් ලබා දෙන්නම් කියලා. ඊට පස්සෙ අපි කීවා එහෙම බැහැ හැමෝටම ලබාදෙන්න කියලා. ඒකට කැමති වුණා. ඒත් අපිට තවම ඒ මුදල ලැබුණේ නැහැ. ඒකත් බෙදල තියෙන්නෙ පවුලෙ එක්කෙනකුට රුපියල් 2000 ගාණේ. හතරදෙනෙක් ඉන්න පවුලකට ලැබෙන්න රුපියල් 8000ක මුදලක්. පවුලෙ හතර දෙනෙක්ට වැඩියෙන් හිටියත් ඒ රුපියල් 8000ක මුදලම තමා ලැබෙන්නේ. අද කාලෙ ඒ වගේ මුදලකින් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? දරුව ඉස්කෝලෙ යවන්න ඕනෙ. පන්ති යවන්න ඕනේ. කන්න බොන්න ඕනේ. මේ හැම දේකටම ඒ මුදල මදි. ඉස්සර කුඹුරු තියෙනකොට කුලී වැඩක් හරි කරල කීයක් හරි අතට ගත්තා. ඒත් දැන් ගමේ කුලී වැඩක්වත් නැහැ. සේරම යට වුණාට පස්සෙ තවත් මොනවද?”
“2004 සුනාමි ආව වෙලේ අවතැන් වුණු අයට ගමේම අය එකතු වෙලා හාල්, පොල්, තුනපහ සියල්ලම යැව්වා. සාමාන්‍යයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ම සහල් අස්වැන්න හොඳටම ගන්නෙ මාවතවැව ගමෙන්. ඒත් දැන් අපිට සහනධාර වුවමනා වෙලා ඉන්නේ. කන බොනවට වඩා අපිට ගොඩක් හිතට අමාරු අපි ගොඩනගා ගත්ත දේවල් ගැනයි. සුනාමිය ස්වාභාවික විපතක්. ඒත් මේක ස්වාභාවික විපතක් නිසා සිද්ද වෙච්ච දෙයක් නෙවේනේ. මේ වෙද්දි ගොඩ ඉඩම්වලින් 80%ක් විතර නොපෙනෙන්නම යටවෙලා. මඩ ඉඩනුත් නොපෙනෙන්නම 75%ක් විතර යටවෙලා. අපිට D6 කියන ගමේ පදිංචිවෙන්න කියලා කියල තියෙනවා. ඒත් ඒවගෙ කිසිම පහසුකමක් නැහැ. තනි කැළෑ ඒවා. අනික කුඹුරු කරපු මිනිස්සු ඔහෙ ගියාම ජීවත් වෙන්නෙ පස් කාලද? රස්සාව කරගන්න බැරිව ජීවත් වෙන්නෙ කොහොමද? ඒක මේ කාටවත් තේරෙන් නැහැ.” එසේ පැවසුවේ සඳමාලිය.

1995ට වයස

“1995දි මගෙ වයස අවුරුදු 9යි. මේ වෙනකොට මට වයස අවුරුදු 32යි. මගෙ මහත්තය නැහැ. මායි මගෙ දරුවො දෙන්නයි තනියම ජීවත් වෙන්නේ. මගේ අක්කර 10ක් යාන්ඔයට යටවුණා. ඒක මගෙ තාත්තගෙන් මට ලැබුණේ. මම ඒකට ඔප්පුව හදන්න ගියාම මට කීවා මට අඩු වයස් නිසා ඔප්පු දෙන්න බැහැ කියලා. ඒත් දැන් මට අවුරුදු 32යි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කියනවා ලිපි ලේඛනවල අන්තර්ගත වෙලා තියෙන්නෙ මෙහෙම නිසා ඔප්පු ලියන්න බැහැ කියලා.
මගෙ අක්කර 10න් අක්කර හතරයි ඇස්තමේන්තු කරල තියෙන්නේ. අක්කර බාගෙට ලක්ෂ දෙකයි. ඒකත් කොටසින් කොටස. කොළ 5ක් විතර ඇවිත් තිබුණා මට. ඊට පස්සෙ මට අර අක්කර බාගෙට දීපු ලක්ෂ දෙක ගන්න එන්න කියල තිබුණා. ඒත් මම ඒක ගත්තෙ නැහැ. අක්කර 10ට අක්කර 4ක වන්දියක් මට මොනා කරන්නද? මම ඒක මගෙ දරුවන්ට දෙන්න තියන් හිටපු ඉඩම්. මම මොනවද මගෙ දරුවන්ට කියන්නෙ? අපේ ඉඩම් රජයට පූජා කළා කියල කියන්නද?” එසේ පැවසුවේ සරණිය.
එය සරණිට පමණක් සිදුවූවක් නොව. ප්‍රදේශය සියල්ලන්ටම පාහේ සිදුවූ සිදුවීමකි. තමන්ගේ අක්කර භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක්වත් සමහරුන්ට හිමි වී නොමැත. මෙවැනි අසාධාරණ ගැන අදාළ බලධාරීන් දැනුවත්ව සිදුවනවාද නොදැනුවත්ව සිදුවනවාද නොදනී.

තුසිතපුර නැවත පදිංචි කිරීම්

යාන්ඔය ජල ව්‍යාපෘතිය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේද ග්‍රාමසේවා වසම් 6ක් මේ වන විට සම්පූර්ණව යටව ඇත. පඹූරුගස්වැව, මහසොරොව්වැව, හා පැටියාව, පුලියංකුලම, දික්වැව, පෙත්තෑව යනු ඒවාය. පුලියංකුලම යාන්ඔයට බිලිවූ පසුව එහි වාසය කළ වැසියන් තුසිතපුරයේ නැවත පදිංචි කැරිණි. එසේ පදිංචි කළද ඔවුන්ගේ ඕනෑඑපාකම් සඳහා කිසිදු වැඩපිළිවෙළක් රජය විසින් මේ වන තෙක් යොදා නොමැත. ගෙවල් සාදා ගැනීමට ඔවුන්ට යම් තරමකින් වන්දි මුදල් ලැබී තිබුණි. එහෙත් අනු පවුල් සඳහා ලැබී තිබූ වන්දි මුදල රුපියල් ලක්ෂ එක හමාරක පමණ මුදලකි. ලක්ෂ එකහමාරකින් ඉන්න හිටින්න නිවසක් සාදාගත හැකිද යන්න ගැටලුවකි. සාමාන්‍යය නිවසක අඩිතාලමක් යෙදීම සඳහා ආසන්න රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය වේ. එහිදී ලක්ෂ එකහමාරක මුදලකින් කළහැක්කේ කුමක්ද? මේ නිසා අනුපවුල් බොහොමයක් වරිච්චි බිත්ති යෙදූ මැටි ගෙවල්වල වාසය කරති. මේ සම්බන්ධව නන්දාවතී කීවේ මෙවැන්නකි.

“අපිට තුසිතපුරයෙ නැවත පදිංචි කරනව කීවම අපි හිතුවෙ ඇත්තටම එහෙ තුසිතපුරය වගේ ඇති කියලා. ඒත් ආවම තමයි තේරුණේ අපි කලින් කොච්චර හොදින් ජීවත් වුණාද කියලා. අනුපවුල් වලට අක්කර බාගයයි දුන්නේ. ප්‍රධාන පවුල්වලට අක්කරයක් දුන්නා. ඒත් මට අක්කර පහක් තිබුණා. අන්තිමට ලැබුණෙ සොච්චමයි. රස්සාවක් කරගන්න විදියක් නැහැ. ඒ කාලේ අපි ගොවිතැන් කරල ජීවත් වුණේ. දැන් ගොවිතැන් කරන්න දිහාවක් නැහැ. කුලී වැඩක් කරල ජීවත් වෙන්නත් කුලී රස්සා නැහැ. එක්කො ළඟ ටවුමට යන්න ඕනෙ කුලී වැඩක් හොයාගන්නත්. ඒ ගිහිනුත් රෑ වෙලා එන්න බැහැ. මොකද හවස හය පහුවුණු ගමන් ගමට අලි එනවා. රෑ වෙලා ගමනක් බිමනක් යන්න විදියක් නැහැ.
කුඹුරු ඉඩම්වලට භූමි ලැබිල තියෙනවා. ඒත් අපිට ඒවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාවිච්චියට අවසර දීල නැහැ කියනවා. ඒ කාලේ අපි යුද්දෙ නිසා බැට කෑවා. දැන් මේ රජය නිසා අපි දුක් විඳිනවා.”

වන රක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අලි වැටක් යොදා තිබුණද එයින් විදුලිය නිකුත් නොවේ. එයට හේතුව වන්නේ එම ප්‍රදේශ සඳහා තවම විදුලිය ලබා නොදීමය. මෙවැනි අනාරක්ෂිත පදිංචි කිරීම් සුදුසුද නුසුදුසුද යන්න අදාළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළ යුතුය. ඒ වගේම ජලය යනු ප්‍රධාන මිනිස් අවශ්‍යතාවකි.
“ළිං කැපුවට වැඩක් නැහැ. වතුර නැහැ. අනික ඒව බොන්න බැහැ. දවසකට ලීටර් 1000යි දෙන්නේ. ඒකෙන් ඕන සේරම කරගන්න.” එසේ පැවසුවේ තුෂාරය.

පාසල තවම හදනවා

“දරුවො පාසල් යවන්න විදිහක් නැහැ. එහා ගමේ පාසලට තමයි ළමයින්ව යවන්න වෙලා තියෙන්නේ. ඒත් ඒ පාසලේ ගුරුවරු ළමයින්ට කියනවා කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරුවෙන් නැහැ කියලා. මොන හේතුවක් නිසා එහෙම කියනවද කියල දන් නැහැ. මේ නිසා මගේ දරුව දැන් පාසල් යන්නෙ නැහැ ගෙදරට වෙලා ඉන්නවා. පාසල හදල ඉවර වුණු දවසක පාසලට යවනවා.”

තුෂාර එසේ පැවසුවත් දරුවන්ට මේ වන තෙක් අධ්‍යාපනය අඩාල වීම ගැටලුවකි. 2015 වර්ෂයේ සිට ඔවුන් විඳි දුක් හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය විටින් විට ඇදවැටීම්වලට ලක්ව ඇත. එය එතරම් සාමාන්‍යය කොට සැලකිය නොහැක. එය පවුලේ ගැටලුවක් නිසාවත් රජයේ ගැටලුවක් නිසාවත් ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල නොවිය යුතුය.
“2019 ජනවාරි මාසෙ තමයි ඉස්කෝලෙ හදන්න ගත්තේ. මාස හයෙන් හදල ඉවර කරනවා කීවා. ඒත් දැන් පාසල හදන එක නවත්තල තියෙන්නේ. ඇයි කියල ඇහුවාම කියනවා බාසුන්නැහේ වැටිලා කොන්ද කැඩිල හොඳවෙලා එනකන් ඉන්න වෙනවා කියලා. මොන දෙයියන්ට කියන්නද මෙව්ව?” එසේ කීවේ තිලකය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේද යාන්ඔය ජල ව්‍යාපෘතිය නිසා පීඩා විඳින්නෝ බොහෝය. ඔවුහු තමන්ගේ සියල්ල යාන්ඔය ජල ව්‍යාපෘතියට පරිත්‍යාග කර කඳුළු බොති. මා දන්නා පරිද්දෙන් කිසිදු රටක රටේ ඉදිරි වර්ධනය උදෙසා ඉදිකරන ව්‍යාපෘති වලට මහජනතාවගේ දේපළ සූරා කමින් ව්‍යාපෘති සිදු නොකරන්නේය. එහෙත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාලකයින් මේ සිදු කරමින් සිටින්නේ කුමක්ද? යාන්ඔය ජල ව්‍යාපෘතිය ඒ අවට ප්‍රදේශවාසීන්ට මර උගුලක් වූයේ කෙසේද? ඔවුන්ගේ ගැටලු සඳහා පිළිතුරු ලබා දෙන්නේ කවදාද?
අපි වන්දි ගෙවමින් ඉන්නෙ.

හොරොව්පතාන සහකාර ප්‍රාදේශීය ලේකම්
ආර්. සෙන්නි

මේ වන විට අපි වන්දි ගෙවමින් ඉන්නේ. දැනට පන්සිය දෙනකුට වන්දි මුදල් සම්පූර්ණයෙන් ලබාදීල ඉවරයි. ඉතිරි අයටත් හැකි ඉක්මනින් වන්දි ලබා දෙනවා. එහිදී අපි අක්කරයකට කන්න වන්දි 35000ක් දෙනවා. ඊට අමතරව මාසික ජීවිතාධාර ලබා දීමේදී පවුලේ එක පුද්ගලයෙක් සඳහා රුපියල් 2000ක මුදලකුත් පවුලේ හතර දෙනෙක් සිටිනවා නම් රුපියල් 8000ක මුදලකුත් දෙන්න නියම කරල තියෙනවා.