මාධ්‍ය විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තිය ඩැරිල් ඩිමොන්ටෙ නික්ම යාම

නාලක ගුණවර්ධන

ravaya@nalaka.org

මාධ්‍ය කලාව අතිශයින් කලබලකාරී වැඩක්. විශේෂයෙන්ම දිනපතා පුවත්පතක, ටෙලිවිෂන් නැතිනම් රේඩියෝ පුවත් කාමරයක හෝ පුවත් වෙබ් අඩවියක සේවය කරන මාධ්‍යවේදීන්ට සහ කතුවරුන්ට නිතිපතා තිබෙන අභියෝගය නම් නිසි කලට හා නිසි ප්‍රමිතියට ප්‍රවෘත්ති, විමර්ශන සහ විශේෂාංග ආදිය සම්පාදනය කිරීමයි.
මේ අස්සේ නවකයන්ට ගුරුහරුකම් දීම, ඔවුන් දිරිමත් කිරීම හා අනාගත මාධ්‍යවේදීන් විය හැකි මාධ්‍ය සිසුන්ට ඉගැන්වීම ආදී මාධ්‍ය වෘත්තීයට අදාළ පුළුල් තලයේ වගකීම් ඉටු කරන ජ්‍යෙෂ්ඨයන් ඕනෑම රටක සිටින්නේ ටික දෙනෙක් පමණයි.
ඒ අතරින්ද පරම්පරා කිහිපයක මාධ්‍යවේදීන්ට පරමාදර්ශයක්, දිරිගන්වන්නෙක් සහ ප්‍රබෝධක ආවේගය ( inspiration& ) සපයන්නෙක් බවට පත් වන්නේ කලාතුරකින් බිහි වන මාධ්‍ය දැවැන්තයෙක් පමණයි.

ඉන්දියාවේ එවැනි මාධ්‍ය දැවැන්තයකු වූ ඩැරිල් ඩිමොන්ටෙ ( Darryl D’Monte& ) 2018 මාර්තු 16 වනදා හදිසියේම නික්ම ගියා. ඒ අඩ සියවසක මාධ්‍ය ක්‍රියාකාරිත්වය සපුරන්නට මාස කිහිපයක් ඉතිරිව තිබියදී.

ඔහුගේ වියෝව ගැන කම්පා වන සහෘදයන් ඉන්දියාව සහ ලෝකය වටේ පැතිර සිටිනවා. වසර 25කට වැඩි කලක් ඔහු ඇසුරු කළ මා එයින් එක් අයෙක්.

බොම්බායේ (දැන් මුම්බායි නගරයේ) ඉසුරුබර පවුලක උපන් ඩැරිල්, උසස් අධ්‍යාපනය ලැබුවේ බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් සරසවියේ. උසස් මධ්‍යම පාන්තික සමාජ පසුබිමක් තිබූ ඔහුට ඉන්දියාවේ විදේශ සේවයේ, සිවිල් සේවයේ හෝ පෞද්ගලික අංශයේ ඉහළ තනතුරකට යා හැකිව තිබුණා. එහෙත් ඔහු පත්තර කලාව සිය වෘත්තිය ලෙස තෝරා ගත්තා.
1969දී ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු වසර ගණනාවක් එම පත්‍රයේ ඉරිදා සඟරාව සංස්කරණය කළා. පසුව ඉන්දියන් එක්ස්ප්‍රස් පත්‍රයේ කතුවරයා ලෙස සේවය කළ ඔහු, යළිත් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමාගමට ආවේ බොම්බාය කේන්ද්‍ර කර ගත් ඔවුන්ගේ විශාලතම සංස්කරණයේ කතුවරයා ලෙසයි.

(රටේ විශාලත්වය නිසා ඉන්දියාවේ ජාතික පත්‍ර හැම එකක්ම පාහේ ප්‍රධාන නගර හා ප්‍රාන්ත කිහිපයක් කේන්ද්‍ර කොට ගෙන තමන්ගේ සංස්කරණය මුද්‍රණය කරනවා.)

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ බොම්බාය කතුකම යනු ඉන්දියානු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මුදුන් මල්කඩ ලෙස හැඳින්විය හැකියි. දේශපාලන සහ ව්‍යාපාරික නායකයන් මෙන්ම බොලිවුඞ් සිනමා කර්මාන්තයේ ප්‍රතිරූපධාරින් සමඟ නිතර ගැවසෙන්නට ලැබෙන මෙම තනතුර දරණ සමහරුන් මාන්නාධික වුවත්, ඩැරිල් කිසිදු තනතුරක් නිසා තමන්ගේ මිත්‍රශීලී සහ විනෝදකාමී චරිත ගතිය වෙනස් කළේ නැහැ.

1838දී බි්‍රතාන්‍යය ජාතිකයන් විසින් අරඹන ලද, දැන් ඉන්දියානු ව්‍යාපාරිකයන් සතු පෞද්ගලික සමාගමකින් ප්‍රකාශයට පත් කරන ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත, ඉංග්‍රීසි බසින් පළ කෙරෙන ලොව වැඩියෙන්ම අලෙවි වන පුවත්පතයි. (2017 අග වන විට දිනකට පිටපත් මිලියන 3.1ක් අලෙවි වුණා.)

කතුවරයාගේ තනතුරට සරිලන ලෙස සමාගමෙන් වාහනයක් සහ රියදුරකු ලබා දී තිබුණත් ඩැරිල් නිවස සහ කාර්යාලය අතර බොහෝ විට ගමන් කළේ දුම්රියෙන්. දිනපතා පැය එකහමාරක් පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීම නිසා පොදු ජනයාගේ ගැටලු සහ දුෂ්කරතා සිය අත්දැකීමෙන්ම ඔහු දැන සිටියා.

එසේම සමස්ත ශ්‍රී ලංකාවේ ජනගහනයට සමාන නිවැසියන් සංඛ්‍යාවක් (මිලියන 22) වෙසෙන මුම්බාය මහා නගරයේ මහා වාහන තදබදයට හොඳම විසඳුම පොදු ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීම බව ඔහු දිගින් දිගටම අවධාරණය කළා.

මහා නගරයක සැලසුම් කිරීම සහ කළමනාකරණය කෙසේ විය යුතුද යන්න ගැන ඔහු විද්වතුන් සමග නිතර සාකච්ඡා කළා. රොමෑන්ටික් ලෙස ගමට ආවඩනවා වෙනුවට ආසියානු නගර මානව වාසයට වඩාත් හිතකර පරිසරයක් බවට පත්කරගන්නා ක්‍රමෝපායන් ඔහු සොයා ගියා.

ඩැරිල් තමන්ගේ දේශපාලන නැඹුරුව හෝ පෞද්ගලික ආගමික ඇදහිලි කිසිවක් තමා සංස්කරණය කළ පුවත්පතට ආරෝපණය කළේ නෑ. මාධ්‍ය ග්‍රාහකයන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් ක්‍රියා කරන නියෝජිතයකු ලෙස තමන් ඕනෑම සමාජයීය දේශපාලනික සහ වෙනත් ප්‍රශ්නයක සියලු පැතිකඩ මැදහත් ලෙසින් ඉදිරිපත් කළ යුතු බව ඔහු දැඩි සේ විශ්වාස කළා.

අන්ත වාමාංශික මෙන්ම අන්ත දක්ෂිණාංශික දේශපාලන චරිත, කැරලිකරුවන් සහ සියලුම ආකාරයේ සුළුතරයන් සඳහා සිය පුවත්පත්වල ඉඩ වෙන් කරන අතර, විද්‍යාවට කලාවට හෝ ක්‍රීඩාවට දක්ෂයන් ඉන්දියාවේ ඕනෑම තැනකින් සොයා ගෙන එන්නට යයි තමන්ගේ මාධ්‍යවේදීන්ට නිතර දිරිමත් කළා.

කුල හීනයන් ලෙස සාම්ප්‍රදායිකව ඉන්දීය සමාජයේ කොන් කරනු ලැබ සිටින දලිත් ( Dalit ) ජනයා අතරින් බිහි වූ නිර්මාණ සාහිත්‍ය රටටම හුවා දැක්වීමට සිය පත්‍රයේ ඉරිදා සංග්‍රහයේ සම්පූර්ණ කලාපයක් ඔහු වෙන් කළේ 1970 ගණන්වලදී. මෙවැනි අසම්මත දේ කිරීමට ඩැරිල් කවදත් හපනෙක්.

බහුවාර්ගික සහ බහුආගමික ජනතාවක් සිටින ඉන්දියාවේ මාධ්‍යවලට වාර්ගික ආතතීන් උග්‍ර කරන්නටත් සමනය කරන්නටත් ලොකු හැකියාවක් තිබෙනවා. දේශපාලනික හෝ ව්‍යාපාරික ග්‍රහණයට හසු වූ මාධ්‍ය බොහොමයක් කරන්නේ තම පටු අරමුණු උදෙසා ජන සමාජය භේද කිරීමයි.

1992 දෙසැම්බරයේ මුම්බායි නගරයේ හින්දු-මුස්ලිම් ප්‍රචණ්ඩත්වය නැවත හිස එසවූ අවස්ථාවේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා කතුවරයාව සිටියේ ඩැරිල්. 700කට වැඩි දෙනෙකු මිය ගිය ඒ අවාසනාවන්ත සිදුවීම් පිළිබඳ තහවුරු කර ගත් තොරතුරු වාර්තා කරන අතර, එය ඉතා සීරුවෙන් සහ සංයමයෙන් කිරීමට ඔහු වගබලා ගත්තා.

වෙනත් පත්තරවල කතුවරුන් සිය වාර්ගිකත්වය මත පදනම් වී පක්ෂග්‍රාහී වාර්තාකරණයක යෙදෙන විට ඩැරිල් යටතේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්ගික ගැටුම් සමනය සඳහා දිගටම පෙනී සිටියා.

හින්දු අන්ත දක්ෂිණාංශික ශිව්සේනා වැනි කණ්ඩායම්වලට මේ අපක්ෂපාතී බව දරා ගන්නට බැරි වුණා. මෙය අන්තවාදීන් කෙතරම් කෝපයට පත් කළාද කියනවා නම්, ‘මේ මිනිහා හිතන්නේ ඔහුගේ පත්තරය ටයිම්ස් ඔෆ් පාකිස්ථාන් කියලද? මේකාට ජාත්‍යානුරාගයක් ඇත්තෙම නැද්ද?’ ශිව්සේනා ප්‍රසිද්ධියේ වාචික ප්‍රහාර එල්ල කළා.
ඒ කිසිවකින් නොසැලී අදින සහ අභීත ලෙස සිය මාධ්‍යකරණය දිගටම කිරීමට අවශ්‍ය පෞරුෂය ඩැරිල්ට තිබුණා. එමෙන්ම මාධ්‍ය හිමිකරුවාගේ බලපෑම්වලට නතු වීමට ඔහු කිසි විටක සූදානම් වූයේ නැහැ.

කතුවරුන්ගේ නිදහසට ගරු කළ ලිබරල් හිමිකරුවකු කලක් තිස්සේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමාගම ව්‍යාපාරික මට්ටමෙන් කළමනාකරණය කළා. ඔහු පුත්‍රයන් විදෙස් අධ්‍යාපනය ලබා සිය රට පැමිණ අනවශ්‍ය ලෙස කර්තෘ මණ්ඩල තීරණවලට බලපෑම් කරන්න පටන් ගත්තා. මෙයට විරෝධය දක්වමින් ඩැරිල් ඩිමොන්ටෙ ඇතුලු ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු එක් වරම ඉල්ලා අස්වුණා. ඒ 1994 පමණ කාලයේ.

ඉන් පසු ගිය වී ගිය වසර 25 ඩැරිල් සක්‍රීය වූයේ නිදහස් මාධ්‍යවේදියකු ලෙසයි. දෙස් විදෙස් මාධ්‍ය රැසකට ඔහු තීරු ලිපි සහ වෙනත් විශේෂාංග ලිපි රචනා කළා. හැම එකක්ම හොඳින් තොරතුරු ගවේෂණය කර, මනාව විශ්ලේෂණය කොට හුරුබුහුටි ඉංග්‍රීසියෙන් ලියනු ලැබූ ඒවායි. ඕනෑම සංකීර්ණ සමාජයේ ප්‍රශ්නයක් විවිධ මානයන්ගෙන් විග්‍රහ කිරීමේ දක්ෂකම ඔහුට තිබුණා.

පොදු උන්නතිය සඳහා පෙනී සිටිය යුතු ජනමාධ්‍ය, ඒ වෙනුවට ව්‍යාපාරික, දේශපාලනික හෝ මතවාදී උවමනා සඳහා ක්‍රියා කිරීම මාධ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ ගරා වැටීමකට හේතු වන බවට ඔහු අනතුරු ඇඟවුයේ 1990 දශකයේ සිටයි.

මේ ජනප්‍රියවාදී ප්‍රවාහයට එරෙහිව උඩුගං බලා පිහිනීමට ධෛර්යය තිබූ කතුවරුන් හා මාධ්‍යවේදීන් හඳුනා ගන්නටත් ඔවුන් හැකි තරම් දිරිමත් කිරීමටත් ඩැරිල් සිය කාලය සහ ශ්‍රමය කැප කළා.

ජීවිත කාලය පුරාම ඉංග්‍රීසි බසින් මාධ්‍ය කලාවේ නිරත වුණත්, ඉන්දියාවේ දේශීය භාෂාවලින් පළ කැරෙන මාධ්‍යයවලට බිම් මට්ටමින් සාමාන්‍ය ජනයාට වඩාත් සමීප විය හැකි බව ඔහු දැන සිටියා.

ඒ අනුව ඒ මාධ්‍යවල සක්‍රීය තරුණ මාධ්‍යවේදීන්ට ලෙහෙසියෙන් නොලැබෙන විදෙස් පුහුණුව හා ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථා සලසා දීමට ඔහු බොහෝ වෙහෙස වී කටයුතු කළා. කිසි අධිපතිවාදී ආකල්පයකින් තොරව දක්ෂයන් හඳුනා ගෙන ඔවුන්ට අතහිත දීම දශක ගණනාවක් තිස්සේ කළ සැටි මා හොඳාකාර දන්නවා. (ඔහු පුවත්පත් කතුවරයකුව සිටින කාලයේ තරගකාරී පුවත්පතක හොඳ වාර්තාවක් හෝ ලිපියක් පළ වූ විට එය ප්‍රසිද්ධියේම අගය කිරීම පුරුද්දක්ව තිබූ බව සමකාලීනයන් කියනවා.)
ඩැරිල් පරිසරය සහ සංවර්ධනය ගැන ගවේෂණාත්මකවත් තුලනාත්මකවත් වාර්තා කිරීම පිළිබඳ විශේෂ උනන්දුවක් සහ නිපුණතාවක් දැක්වූවා. 1970 දශකයේ ඉන්දියාවේ සහ ගෝලීය මට්ටමින් මතු වී ආ පරිසර සංරක්ෂණය පිළිබඳ මහජන උනන්දුව, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට ලක්වන පරිදි පුරෝගාමී වාර්තාකරණයක ඔහු නිරත වුණා.
පරිසරවේදී අනිල් අගර්වාල් 1980දී විද්‍යාව සහ පරිසරය පිළිබඳ කේන්ද්‍රය ( CSE ) ආරම්භ කළ පසු ඉන්දියාවේ දත්ත මත පදනම් වූ ස්වාධීන පාරිසරික ඇගයීම් සිදුකිරීම ඇරඹුණා. ඩැරිල්, කතුවරයකු ලෙස මෙම ස්වාධීන විශ්ලේෂණවලට හැකිතාක් මාධ්‍ය ආවරණය ලබා දුන්නා.

1980 දශකයේ මුලදී මාස කිහිපයක අධ්‍යයන නිවාඩුවක් ලබා ගෙන ඉන්දියාවේ කාර්මිකකරණය, පරිසරයට සහ සොබා සම්පත්වලට බලපාන ආකාරය ගැන පොතක් ලිව්වා. Temples or Tombs? Industry versus Environment: Three Controversies (1985) නම් එම පොතෙන් සංවර්ධන ව්‍යාපෘති සහ සංරක්ෂණය අතර යම් තුලනයක් පවත්වා ගන්නට ඉන්දියාවට තිබෙන දැවැන්ත අභියෝගය උදාහරණ තුනක් හරහා ඔහු සාකච්ඡා කළා.

දැවැන්ත වේලි ව්‍යාපෘති, මහා පරිමාණයෙන් වාරි කර්මාන්ත සහ ගල් අගුරු බලාගාර ආදිය සංවර්ධනයේ සංකේත ලෙස සැලකුනු යුගයක, ඔහු එම ප්‍රතිලාභම ලබා ගත හැකි වඩාත් මානව හිතවාදී සහ පරිසර හිතකාමී විකල්ප ක්‍රමෝපායන් සොයා ගියා.

පරිසරය ගැන උනන්දු වන බොහෝ මාධ්‍යවේදීන් අවධානයට ලක් කරන්නේ වනාන්තර, වන සතුන් හා පරිසර දූෂණය වැනි මාතෘකා ගැනයි. මේවායින් ඔබ්බට ගොස් දුගී බව, ඌන සංවර්ධනය සහ රාජ්‍ය පරිපාලනයේ දූෂිත බව ආදී සාධක සොබා සම්පත් කළමනාකරණයට අහිතකර ලෙස බලපාන හැටි ඔහු ගවේෂණාත්මකව පෙන්වා දුන්නා.
හරිත කෝණයෙන් එහාට ගොස් දුඹුරු වර්ණ පාරිසරික ප්‍රශ්න ගැනත් වාර්තා කළ යුතු බව ඔහු සෙසු පරිසර හිතකාමී මාධ්‍යවේදීන්ට නිතර මතක් කළා.

එයට එක් උදාහරණයක් වූයේ පිරිසුදු පානීය ජලය සහ සනීපාරක්ෂාව පිළිබඳ ඔහු දැක්වූ දැඩි උනන්දුවයි. වැසිකිළි නොතිබීම සහ තිබුණත් නිසි ලෙස භාවිත නොකිරීම හරහා මහජන සෞඛ්‍ය ප්‍රශ්න පමණක් නොව වෙනත් සමාජයීය සහ අධ්‍යාපනික ප්‍රශ්න ද උග්‍ර වන සැටි ඔහුගේ ලිපිවලින් මතු කෙරුණා.

මා විටින් විට ඉන්දියානු මාධ්‍ය දැවැන්තයන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් ගැන ලියන්නේ ඔවුන්ගේ චරිතවලින් මා දැන උගත් දේ බෙදා ගන්නටයි. මා පූර්ණකාලීනව මෙරට පත්‍ර කලාවේ නිරතව සිටි වසර කීපයේදී මාධ්‍ය දෙටුවන්ගෙන් බලාපොරොත්තු වුණු එහෙත් හරි හැටි නොලැබුණු ගුරුහරුකම් සහ අවංක දිරිගැන්වීම් මට ලැබුණේ ඉන්දියානු මාධ්‍ය දෙටුවන්ගෙන්.

ඩැරිල් සහ මා අතර පරම්පරාවක වයස් පරතරයක් තිබුණත්, අපේ බුද්ධිමය සහ වෘත්තිමය මිතුදමට එය බාධාවක් වුණේ නැහැ. 2000 දශකය පුරාම පාහේ ඉන්දියාවෙත්, තව ආසියානු රටවල් කිහිපයකත් මාධ්‍යවේදීන් පුහුණු කිරීමට අප දෙදෙනා සහයෝගයෙන් ක්‍රියා කළා.

ඕසෝන් ස්ථරය ක්ෂය වීම, ගෝලීය දේශගුණ විපර්යාස, ජෛව විවිධත්ව සංරක්ෂණය ආදි විද්‍යාත්මකව සංකීර්ණ මාතෘකා තේරුම් ගන්නේ කෙසේද ඒවා පිළිබඳව සාමාන්‍ය ජනයාට වැටහෙන පරිද්දෙන් මාධ්‍ය වාර්තාකරණය කළයුත්තේ කෙලෙසද යන්න ගැන බොහෝ ශිල්ප ක්‍රම මා ඔහුගෙන් උගත්තා.

දශක ගණනාවක් පුරා ඩැරිල් සමඟ සමීපව වැඩ කළ ජ්‍යෙෂ්ඨ ඉන්දියානු මාධ්‍යවේදිනියක වන කල්පනා ෂර්මා සිය සහෘදයා ගැන මේ සතියේ මෙසේ ප්‍රණාමය පුද කළා: “මා දන්නා තරමට දුම්රියෙන් නිතර ගමන් කළ එකම ඉන්දියානු පත්තර කතුවරයා වූයේ ඩැරිල්. ඔහු තම මාධ්‍යකරණයේදී ප්‍රවර්ධනය කළ පොදු හරයන් සහ අභිලාෂයන්, පෞද්ගලික ජීවිතයේ ද ක්‍රියාත්මක කිරීමට සැම විටම උත්සාහ කළා. ඔහු ලෙහෙසියට පහසුවට වැඩ කළේ නෑ. මානව හිමිකම් රැකීම, පරිසර සංරක්ෂණය, සංස්කෘතික රැක ගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම වැනි සෑම කාර්යකදීම ඔහු දැඩි කැපවීමක් සහ උද්යෝගයක් සහිතව ක්‍රියා කළා. කිසි දිනෙක මාධ්‍ය ආචාරධර්ම හෝ මාධ්‍ය ක්ෂේත්‍රයේ ගරුත්වය පාවා දුන්නේ නැහැ. ඔහු වැනි පරමාදර්ශී මාධ්‍ය චරිත වඳවෙමින් යන සත්ත්ව විශේෂයක් බවට පත්ව තිබෙනවා!”