අපරාධය සහ ගණිතය

දුෂ්‍යන්ත මහබදුගේ

මගේ තාත්තා දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු ඉපදුණු පරම්පරාවේ සාමාජිකයෙක්. දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමග ලොව පුරා ජනගහනයේ ශීඝ්‍ර වැඩිවීමක් සිදුවුණා. ලොව උපත් සංඛ්‍යාවේ ඇතිවූ මෙම ශීඝ්‍ර වෙනස හැඳින්වූයේ බේබි බූම් ( Baby Boom ) නමින්. බේබි බූම් කාලය තුළ ලොව උපත ලද්දන් බේබි බූමර්ස් ( Baby Boomers ) යනුවෙන් හඳුන්වනු ලැබුවා. 1946-1964 දක්වා කාලය තුළ උපත ලැබූවන් මෙම වර්ගීකරණයට ලක්වූ අතර, ඔවුන්ගේ පරම්පරාව හඳුන්වනු ලැබුවේ බේබි බූම් ජෙනරේෂන් ( Baby Boom Generation ) යනුවෙන්. එබැවින් මගේ තාත්තාට දෙවන ලෝක යුද්ධයේ අත්දැකීම් තිබුණේ නැහැ. එහෙත් කුඩා කාලයේ මගේ සීයා විටින් විට පැවසූ දෙවන ලෝක යුද්ධය පිළිබඳ තොරතුරු පාසල් අවධියේදී ඒ පිළිබඳව දැනුවත් වන්නට මා පෙළඹූවා. ඇමරිකාවේ යුද නායකත්වයත්, බි්‍රතාන්‍යයේ දේශපාලන නායකත්වයත් නොවන්නට දෙවන ලෝක යුද්ධයේදී සතුරු පාර්ශ්වය පරාජය කිරීම සිහිනයක් විය හැකිව තිබුණු බව මා දැනගත්තා. මා නිතරම සිතූ කාරණාවක් තමයි, යම් හෙයකින් එසේ නොවන්නට අද ශ්‍රී ලංකාවේ ජීවත් වන මාගේ මව් භාෂාව ජර්මානු හෝ ජපන් විය හැකිව තිබුණු බව, ජර්මානු තාක්ෂණය, බුද්ධිය සහ සංවිධානාත්මක හැකියාව ඒ වනවිට ලොව සියලුම රටවල්වලට වඩා ඉහළින් පැවතුණා. එවැනි යාන්ත්‍රණයක් බිඳ දමා ලෝක යුද්ධයක් ජයග්‍රහණය කිරීම සිතිය නොහැකි තරම් අභියෝගයක්. එම අභියෝගය ජයගන්නට උර දුන් ශ්‍රේෂ්ඨ මිනිසුන් කිනම් ආකාරයක විශිෂ්ටයන්වීද යන්න මගේ හිත පතුළේ රැඳුණා.

සිනමාවට ලොල් මාගේ ප්‍රියතම කාලපරිච්ඡේදයක් ලෙස දෙසැම්බර් මාසය සැලකිය හැකිය. එයට හේතුව එළැඹෙන නව අවුරුද්දේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙල ඉලක්ක කරගෙන හොලිවුඞ් විශිෂ්ට සිනමා නිර්මාණ ගොන්නක් තිරගත කරන්නට දෙසැම්බර් මාසය පුරුද්දක් ලෙස තෝරාගෙන තිබෙන නිසයි. 2014 දෙසැම්බර් මාසයේ ද ඉමිටේෂන් ගේම් ( The Imitation Game ) නම් විශිෂ්ට චිත්‍රපටය නැරඹීමේ භාග්‍යය මට උදාවෙනවා. එය සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩ නැගුණක්. එම කතාවට මුල්වී තිබුණේ ලොව විසූ ශ්‍රේෂ්ඨතම ගණිතඥයකු මෙන්ම නූතන පරිගණක විද්‍යාවේ පියා සහ කෘත්‍රිම බුද්ධියේ ( Artificial Intelligence ) පියා ලෙසද බුහුමණට ලක්වෙන බි්‍රතාන්‍ය ජාතික ගණිතඥ ඇලන් ටියුරින් දෙවන ලෝක යුද සමයේ, ජර්මානු කෝඞ් බ්‍රේක් ( Code Break )  කරන්නට නැතහොත් ගුප්ත සංඥා බිඳලන්නට දැරූ උත්සාහයයි. ගණිතයට උපන් ඇල්මක් ඇති මා හට ඇලන් ටියුරින් චරිතයට ආසක්ත වීමට ගතවූයේ චිත්‍රපටයේ ධාවන කාලයටත් වඩා අඩු කාලයක්. එම නිසා රාමනූජන්, ජෝන් නෑෂ්ට පසු මෙම ලිපි පෙළේ තුන්වන චරිතය ලෙස ඇලන් ටියුරින් ගැන පාඨක ඔබට හඳුන්වා දෙන්නට මා අදහස් කළා.

1912දී එංගලන්තයේ උපත ලැබූ ඇලන් ටියුරින් 1931දී ගණිතය හැදෑරීම සඳහා කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. 1934දී උපාධිය සම්පූර්ණ කළ ඇලන් 1934දී කින්ග්ස් කොලේජ් ( King’s College ) එකට බැඳුණේ සම්භාවිත ප්‍රමේයය ( Probability Theory ) පිළිබඳව ඔහු කර තිබූ පර්යේෂණය වැඩි දුරටත් කරගෙන යාමට. ඉන්පසු ටියුරින් ගණිතමය තර්ක ශාස්ත්‍රය ( Mathematical Logic ) පිළිබඳව ආචාර්ය උපාධියක් සඳහා පර්යේෂණ කිරීමට ගණිතය සඳහා ලොව ප්‍රමුඛතම විද්‍යායතනය වන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයට ( Princeton University ) ඇතුළත් වුණා.

1938 ආචාර්ය උපාධිය ලබා නැවත එංගලන්තයට පැමිණි ටියුරින් 1939දී දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමගම බි්‍රතාන්‍ය රජයේ කේත සහ රහස් ලේඛන විධි පිළිබඳ පාසලට ( Government Code and Cypher School ) බැඳුණා. එහිදී ඔහු ජර්මානු හමුදා සන්නිවේදනය සඳහා භාවිත කරන ගුප්ත සංඥා ( Code Breaking ) බිඳලමින්, ඔවුනතර සිදුව රහස් පණිවුඩ නිරාකරණය ( decipher ) කරමින් ඒවා මිත්‍ර පාර්ශ්වයේ යුද වාසි සඳහා භාවිත කිරීමට අවස්ථාව සලසා දීමට මූලිකත්වය ගෙන කටයුතු කළා. එම ආයතනය තුළදී ප්‍රමුඛතම ජර්මානු ගුප්ත සංඥා ප්‍රභේදය වූ එනිග්මා කෝඞ් ( Enigma Code ) එක බිඳ දැමීමට ටියුරින් සමත් වුණා. ඔහුගේ එම කර්තව්‍යය ජර්මානු පරාජයට කෙළින්ම බලපෑ ප්‍රමුඛතම සාධකය වූ අතර, ටියුරින්ගේ එම දස්කම දෙවන ලෝක යුද්ධය වසර 2කට කලින් අවසන් කළ බවද ඒ හේතුවෙන් මිනිස් ජීවිත මිලියන ගණනක් රැකුණු බවත් පිළිගැනෙනවා.

ටියුරින්ට ඔලිම්පික් ක්‍රීඩකයකු වීමේ අවස්ථාවක් මගහැරුණේ කෙස් ගහෙන්. දිගු දුර දිවීම විනෝදාංශයක් කරගෙන සිටි ටියුරින් 1948 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට මැරතන් ඉසව්වෙන් සහභාගිවීම සඳහා තෝරා ගැනීමේ තරගවලට සහභාගි වී පස්වැනි තැන ලැබීම නිසා ඔලිම්පික් වරම් අහිමි වූ නමුදු, තෝරා ගැනීමේ තරගයේ ඔහුගේ ධාවන කාලය වූ පැය 2 මිනිත්තු 46, එවර ඔලිම්පික් මැරතන් රන් පදක්කම් ලාභියාට වඩා අඩුවුණේ මිනිත්තු 11කින් පමණයි.

1952දී ටියුරින්ව අත්අඩංගුවට පත්වුණේ සමලිංගික ක්‍රියාවල යෙදෙන්නෙක් බවට චෝදනා ලබමින්. එවකට සමලිංගිකත්වය යනු අපරාධයක් ලෙසයි බි්‍රතාන්‍යය නීතිය පිළිගත්තේ, අධිකරණය ඔහුට විකල්ප දෙකක් ඉදිරිපත් කළා. එකක්, ඔහුගේ සමලිංගිකත්ව ස්වභාවය අපරාධයක් ලෙස පිළිගෙන සිරදඬුවමකට යටත්වීමයි. අනෙක නම් රසායනික අණ්ඩහරණය නැතහොත් ( Chemical Castration ) නම් ක්‍රියාවලියට මුහුණදීමයි. බි්‍රතාන්‍ය අධිකරණය තීරණය කළේ හෝර්මෝන ශරීරගත කිරීම මගින් ඔහුගේ ලිංගික ප්‍රාජකය ( Sex Drive ) නැතිකර, එයින් ඔහු සමලිංගික ඇසුරේ යෙදීම වැළැක්වීමයි. සිරගතවීම දරාගත නොහැකි වූ ටියුරින් රසායනික අණ්ඩ හරණය භාර ගත්තා. ඒ අනුව ඔහුට වසරක් යනතුරු හෝමෝන චිකිත්සාවට ( Hormone Therapy ) ලක්වීමට සිදුවුණා. එම හේතුවෙන් ටියුරින් ලිංගික බෙලහීනතාවට ( Impotent ) ලක්වුණා සේ ම ඔහුගේ පියයුරු නෙරා එන්නටත් පටන් ගත්තා. ඒ වාගේම අපරාධකාරයකු ලෙසට හංවඩු ගැසුණු නිසා ටියුරින්ට ඔහු කළ රජයේ රැකියාව අහිමි වුණා. ඉන්පසු මැන්චෙස්ටර් නගරයට ගිය ටියුරින් හුදෙකලාව පර්යේෂණ කරන්නට පටන් ගත්තා. එලෙස අසමසම පර්යේෂණ කරමින් සිටි ටියුරින්ගේ මියගිය සිරුර 1954 වර්ෂයේ එක් දිනක ඔහුගේම ඇඳ මත තිබියදී ඔහුගේ නිවස පිරිසිදු කරන්නාට හමුවුණා. සයනයිඞ් ශරීර ගත කරගෙන ටියුරින් සිය දිවි නසාගෙන තිබුණා. ඇඳ මතම ටියුරින්ගේ මළ සිරුර ළඟ අඩක් කෑ ඇපල් ගෙඩියක් හමුවුණා. සයනයිඞ් ශරීර ගතවී තිබුණේ ඇපල් ගෙඩියෙන් බවට මරණ පරීක්ෂක තීරණය කළා. ලෝසුප්‍රකට ඇපල් සමාගමේ ලාංඡනය ඇලන් ටියුරින්ට කළ ප්‍රණාමයක් ලෙස එක් ඉතිහාසඥයෙක් හුවා දැක්වූයේ, නූතන පරිගණක විද්‍යාවේ පියා ලෙස සැලකෙන ටියුරින් සයනයිඞ් පෙඟූ ඇපල් ගෙඩියක් අනුභව කර සිය දිවි නසාගත් බැවින්, ඇපල් සමාගමේ ලාංඡනය ලෙස අඩක් කෑ ඇපල් ගෙඩියක් තෝරා ගත් බවයි.

ටියුරින්ගේ පර්යේෂණ සහ නවෝත්පාදනවල පූර්ණ බලපෑම ලොවට දැනුණේ ඔහු මියගොස් කලකට පසුයි. පරිගණක විද්‍යාවට ඔහු කළ බලපෑම වෙනුවෙන් පරිගණක ක්ෂේත්‍රයේ ජයග්‍රහණයක් සඳහා වාර්ෂිකව පිරිනැමෙන ලොව උසස්ම සම්මානය නම් කර ඇත්තේ ටියුරින් අවෝඞ් ( Turing Award ) නමින්. ඒ වාගේම 2015දී බි්‍රතාන්‍ය රජය දත්ත විද්‍යාව සහ කෘත්‍රිම ඥානය පිළිබඳ පර්යේෂණ කිරීමට ආරම්භ කළ ජාතික මධ්‍යස්ථානය ( National Center for Data Science and Artificial Intelligenece ) නම් කළේ ද ඇලන් ටියුරින් ඉන්ස්ටිටියුට් නමින්. ඒ වාගේම වර්තමානයේ යන්ත්‍රයක කෘත්‍රිම ඥානය පරීක්ෂා කර බැලීමට කරන පරීක්ෂණය හඳුන්වන්නේ ටියුරින් ටෙස්ට් යන නාමයෙන්.

සමලිංගියෙක් වීම යන චෝදනාවට ටියුරින්ට චෝදනා නගමින් බි්‍රතාන්‍යය අධිකරණය ඔහුට පැනවූ දඬුවම විසි එක්වැනි සියවස ආරම්භ වන විට අප්‍රසාදයට ලක්වී තිබුණා. වසර 2013දී එනම් ටියුරින් මියගොස් වසර 59කට පසු, දෙවන එළිසබෙත් රැජින ඇලන් ටියුරින්ට ක්ෂාමාදානය ( Pardon ) දෙමින් ඔහු මුහුණ දුන් චෝදනාවලින් නිදහස් කළා. 2009දී බි්‍රතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් බි්‍රතාන්‍ය රජය විසින් ඔහුට දැක්වූ ඉතාමත් අයුතු සැලකීම සම්බන්ධව ප්‍රසිද්ධයේ සමාව ගත්තා. ඔහුගේ වදන් මෙසේ සටහන් කළ හැකියි. යුද ජයග්‍රහණය වෙනුවෙන් දැක්වූ ඉමහත් දායකත්වයට බි්‍රතාන්‍යය ඔබට ණයගැතියි. බි්‍රතාන්‍ය රජය වෙනුවෙනුත්, ඒ වාගේම ඔබ නිසා අදටත් නිදහසේ ජීවත් වන හැම වෙනුවෙනුත්, මා කියන්නට කැමතියි, අපට සමාවෙන්න. ඔබ මීට වඩා ඉතාමත්ම උසස් සැලකුම් ලැබිය යුතුව තිබුණා.