පවතින අර්බුදයට දේශපාලන ප්‍රතිචක්‍රීකරණයක් අවශ්‍යයි.

මහින්ද හත්තක

රාජ්‍ය වියදම්වලින් සියයට විසිපහක් නාස්තිකාර වියදම්යැයි විගණකාධිපති පැවසු බව පසුගිය සතියේ රාවය පුවත්පතේ පළවිය. මෙම වාර්තාව රටේ සියලු දෙනාගේම බරපතළ අවධානයට ලක්විය යුතු කරුණකි. රාජ්‍ය වියදමෙන් සියයට විසිපහක් යනු සුළුපටු මුදලක් නොවේ. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමෙන් සම්මත කළ මෙම වසරේ මාස නමයක් සඳහා වූ අයවැය අනුව රාජ්‍ය වියදම රුපියල් මිලියන 3149කි. ඉන් සියයට විසිපහක් යනු රුපියල් මිලියන 787.25කි. මුදල් ඇමතිවරයා ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව මෙම වසරේ අයවැය පරතරය එනම් ආදායමට වැඩි වියදම රුපියල් මිලියන 169කි. එය දළ වශයෙන් රාජ්‍ය වැයවලින් සියයට 4කට වඩා මදක් වැඩිය. එනම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පවත්වා ගත යුතුයැයි දක්වා ඇති අයවැය පරතරයට වඩා මදක් වැඩිය. මෙම පරතරය පියවා ගැනීමට මුදල් ඇමතිවරයා යෝජනා කරන්නේ මහජනතාවගෙන් අය කරන බදු මුදල් ඉහළ දැමීම සහ විදෙස් සහ දේශීය මුදල් වෙළෙඳපොළෙන් ණය ගැනීමෙනි.

එහෙත් විගණකාධිපති දක්වා ඇති ආකාරයට රජයේ ආයතන සහ දෙපාර්තමේන්තුවලින් සිදු කරන නාස්තිය වැළැක්විය හැකි නම් අපට අයවැය පරතරය පහසුවෙන්ම පියවා ගැනීමට අමතරව නව ආයෝජන සඳහා විශාල මුදලක් එනම් වියදම වශයෙන් දක්වා ඇති මුදලෙන් සියයට විස්සක් වැනි ප්‍රමාණයක් වෙන් කළ හැකිය. මෙම තත්ත්වය අඩුම ගණනේ වසර දහයක් පවත්වා ගත හැකිනම් අපගේ වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වා ගෙන චීනය අත්කර ගත් ආකාරයේ සංවර්ධනයක් අපගේ ජීවිත කාලය ඇතුළතම ළඟා කරගත හැකිය. එවිට ශ්‍රී ලංකාවට දැනට ලබා ගෙන ඇති විදේශ ණය ගෙවීමට තවත් ණය ගැනීමේ අවශ්‍යතාවක් නැත.

රාජ්‍ය මුදල් කළමනාකරණයේ දී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ඒ ඒ අමාත්‍යාංශවලට වාර්ෂික අයවැයෙන් වෙන් කරන මුදල් ප්‍රතිපාදන වසර අවසන් වන විට විවිධ හේතුන් මත වැය කිරීමට නොහැකි වීමය. එම ප්‍රමාණය සාමාන්‍යයෙන් සියයට දහයක් වනු ඇතැයි සමහර විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එම ගණන් බැලීම අනුව මෙම වසරේ ඉදිරි මාස නමය සඳහා වෙන් කර ඇති මුදල්වලින් වැය නොවන ප්‍රමාණය රුපියල් මිලියන 314ක් විය හැකි වන අතර ඊට නාස්තිවන ප්‍රමාණය ද එක් කළ විට මුළු රජයේ වියදම් වලින් සියයට තිස් පහක් වැනි ඉහළ මුදලකි. එනම් රජයේ වියදම්වලින් තුනෙන් එකකට වඩා වැඩි මුදලකි. එය යහපත් ආර්ථික කළමනාකරණයක් යටතේ හෝ සුදුසු තත්ත්වයක් නොවේ.

මෙම ගණන් බැලීම රජයෙන්ම ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන අනුව කෙරෙන සරල ඉදිරිපත් කිරීමකි. විගණකාධිපති පෙන්වා දී ඇති සංඛ්‍යා ලේඛන අනුව පවා නිසි ආර්ථික කළමනාකරණයක් පවතින්නේ නම් මෙම රට ආර්ථික අගාධයකට පත්විය යුතු නැත. ආයෝජනය සඳහා විදේශික සමාගම්වලට අතපෑමට සිදුවන්නේ නැත. රටේ සංවර්ධනයට අවශ්‍ය සම්පත් රට තුළින්ම සම්පාදනය කර ගැනීමේ ඉඩකඩ පවතී.

එහෙත් එසේ සිදු නොවන්නේ ඇයි?

විගණකාධිපති ගණන් බලා ඇත්තේ පවතින තත්ත්වය යටතේ සිදුවන නාස්තිය යි. අයවැයෙන් වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන අපතේ යවන ආකාරයයි. රාජ්‍ය ව්‍යුහයේ පවතින අකාර්යක්ෂමතාව සහ දුර්වලතාව ගැන විමසා බැලීමක් ඔහු කරන්නේ නැත. රටේ බදු ගෙවන ජනතාව තමන්ගෙන් බදු සහ විවිධ ආකාරයේ රඳවා ගැනීම් වශයෙන් ලබා ගන්නා මුදල් තමන් විසින්ම පාර්ලිමේන්තුවට තෝරා පත් කරන ලද නියෝජිතයන් නිසි ආකාරයට පරිහරණය කරන්නේද යන්න ද සලකා බැලිය යුතු වැදගත් කරුණකි.

බදු ගෙවන ජනතාව යන්නෙන් අදහස් වන්නේ ආදායම් බදු ගෙවන ජනතාව පමණක් නොවන බව ද සිහි කළ යුතුය. මේ රටේ සෑම පුරවැසියකුගෙන්ම තීරුබදු, රේගු බදු, වටිනාකම් මත එකතු කරන බදු වශයෙන් විවිධාකාරයේ බදු මුදල් අය කෙරේ. ඇත්තෙන්ම උපයා ගත් ආදායම් මත බදු ගෙවන ප්‍රතිශතය ඉතා පහත් මට්ටමක පවතී. එය රාජ්‍ය ආදායමේ අනුපාතයක් වශයෙන් පසුගිය දශක කීපය තුළ පහත වැටෙමින් තිබිණ. ඒ වෙනුවට විශාල සමාගම්වලට සහ ආයෝජකයන්ට විවිධාකාරයේ බදු සහන සහ දිරිගැන්වීම් ද සැලසේ. එම නිසා රජය නඩත්තු කිරීමේ වැඩිම බර දරන්නේ ජීවිතය ගැට ගසා ගැනීමට පැය විසිහතරම අනවරත අරගලයක යෙදෙන සාමාන්‍ය ජනතාවයි. රජයේ විදේශ ආදායම්වලින් බහුතරයක් ලැබෙන්නේ මැද පෙරදිග ඉතාමත් දුෂ්කර තත්ත්වයන් යටතේ රැකියා කරන කාන්තාවන් ගේ ශ්‍රමයෙන් සහ මෙරට ඇඟලුම් කම්හල්වල සේවය කරන කාන්තාවන්ගේ දාඩිය මහන්සියෙන් උපයා ගන්නා මුදලෙනි. එම නිසා රජයේ ආදායම් වැය කරන ආකාරය ගැන පාලකයන් මුලින්ම වගකිව යුතු වන්නේ එම ජන කොටස්වලටය.

අපේ රට දරුණු ආර්ථික අගාධයක් හමුවේ පවතින නමුත් රජය කරවන අය ක්‍රියා කරන්නේ රට ගොඩ නැගීම පසෙක තබා දුප්පත් ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල්වලට සැබෑ වටිනාකමක් ලැබෙන ආකාරයෙන් ද යන්න විමසා බැලීම වටී.

නාස්තියට සහ අනවශ්‍ය වියදම් ගැන හොඳම උදාහරණය ලබා දෙන්නේ රටේ පළමු පුරවැසියා වන ජනාධිපති සිරිසේන මහතා ය. ඔහුගේ විදේශ සංචාර සඳහා වැය වන මුදල්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම් කළත් ආරක්ෂක හේතූන් මතයැයි ප්‍රතික්ෂේප කරනු ඇත. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඔහු ගුවන් මගින් යාපනයට ගිය ගමන් වාර ගැන වියදම් විස්තර ලබා ගැනීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේ ආරක්ෂක හේතුන් මතයැයි සඳහන් විය. කෙසේ වුවත් ඔහුගේ විදෙස් ගමන් බිමන් සංඛ්‍යාව අනුව ඒ සඳහා මහත් වියදමක් දරන බව පැහැදිලි ය. ඔහු විදෙස් ගමන් සඳහා කෙතරම් රුචියක් දක්වන්නේ ද යත් පාර්ලිමේන්තුවේ ජනාධිපති වැය ශීර්ෂය ගැන පැවැත්වන විවාදය නොතකා කෙන්යාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගි වීමට රටින් පිටව ගියේය. අවම වශයෙන් අයවැය විවාදයේ දී කෙරෙන විවේචන වලට පිළිතුරු දීම හෝ ඔහු වැදගත් කොට සැලකුවේ නැත.

ඔහුගේ ගමනට තවත් ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සහ විජේදාස රාජපක්ෂ මහතා ද එක් කර ගත්තේය. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සම්මන්ත්‍රණයක් වූ එහි සහභාගිත්වය අපේක්ෂා කෙළේ විෂය භාර ඇමතිවරුන් හෝ අදාළ නිලධාරීන් ය. එහෙත් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ලංකාව වෙනුවෙන් සහභාගි වූයේ රටේ ජනාධිපතිවරයාය. ඇත්තෙන්ම එම සමුළුවට සහභාගි වූ එකම රාජ්‍ය නායකයා වූයේ ද ඔහු ය.

මීට අමතරව සිංගප්පූරුවේ පැවති නිලධාරී මට්ටමේ සමුළුවකට ද ජනාධිපති සිරිසේන මහතා දූත පිරිසක් සමග සහභාගි වූයේය. ඊට පෙර, දින පනස් දෙකේ දේශපාලන අර්බුදයේ උණුසුම පහවී යෑමටත් පෙර තායිලන්තයේ නිවාඩුවක් ගත කිරීමට ද ඔහුට කාලය තිබිණ. මෙවැනි විදෙස් ගමන් බිමන් සඳහා වැයවන මහජන මුදල් නාස්තියක් ලෙස විගණනය වන්නේ නැත. ඒ වියදම් සඳහා නිසි අනුමැතිය සහ වියදම් වවුචර ඉදිරිපත් කරන නිසාය. එහෙත් ඒවා සැබැවින්ම මහජන මුදල් නාස්ති කිරීමකි. නිලධාරියෙකු සහභාගි විය යුතු කාර්යකට ජනාධිපති සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහභාගිවීමෙන් සිදුවන්නේ වියදම වැඩිවීමක් පමණි. නිලධාරීන් සහභාගි වීමේදී වැයවන මුදල මෙන් දහ දොළොස් ගුණයක වියදමක් දැරීමකි.

විදෙස් ගමන් බිමන් පමණක් නොව, ඇමති මණ්ඩලයක් සකස් කර ගැනීමේ දී හෝ සැලකිල්ලට ගන්නේ රටේ ආර්ථිකයේ අවශ්‍යතා නොව පාලක පක්ෂයේ දේශපාලන අවශ්‍යතාවයි. බලයේ සිටින දේශපාලන පක්ෂයේ හෝ පක්ෂ එකතුවේ නායකයාගේ අවශ්‍යතාව වන්නේ තම බලය සුරක්ෂිත කර ගැනීම සඳහා කණ්ඩායමේ මන්ත්‍රීන්ට නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති හෝ කැබිනට් ඇමති හෝ කැබිනට් නොවන ඇමති තනතුරු ලබා දීම ය. පසුගිය දෙසැම්බර් මාසයේ දිව්රුම් දුන් අලුත්ම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යාංශ සහ කැබිනට් නොවන අමාත්‍යංශ වෙන් කර ඇත්තේ රටේ සංවර්ධනයට නොව දේශපාලන සංවර්ධනය ප්‍රමුඛතාව කර ගෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

පළාත් සභා පිහිටුවීමේ දී වැදගත් සාධකයක් වූයේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉල්ලීමට අමතරව ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ වගකීම එම ප්‍රදේශවලට පැවරීමේ මූලධර්මය ක්‍රියාත්මක කිරීම ය. බලය විමධ්‍යගත කිරීම අර්ථවත් වන්නේ එවිට ය. එහෙත් මධ්‍යම ආණ්ඩුවේ කැබිනට් ඇමති තනතුරු බෙදා දීමේ දී පළාත් සභාවලට පැවරෙන කාර්යන් සඳහා ද ඇමතිවරුන් පත් කර ඇත. මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමතිවරයකු සහ නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමතිවරයකු සිටී. මහ නගර සැලසුම් සහ නගර සැලසුම් වශයෙන් විෂයන් බෙදා වෙන් කිරීමේ තර්කානුකූලභාවය තේරුම් ගත හැකි වන්නේ දේශපාලන වුවමනාව සැලකිල්ලට ගැනීමෙන් පමණි. උසස් අධ්‍යාපනය, අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉවත් කර ඇත්තේ ද කිසියම් දේශපාලන අරමුණක් අනුවය. මෙසේ පුද්ගලයන් දිනා ගැනීම සඳහා ඇමති තනතුරු හෝ නියෝජ්‍ය ඇමති තනතුරු බෙදා දීම විගණනයේ දී නාස්තියක් ලෙස සැලකෙන්නේ නැත. ඒවා නාස්තිකාර වියදම් ලෙස විගණනය වන්නේනම් එම ප්‍රතිශතය සියයට පනහ දක්වා ඉහළ යන බවට කිසිම සැකයක් නැත.

අනෙක් අතට මෙතරම් විශාල අමාත්‍යාංශ සංඛ්‍යාවක් පවත්වාගෙන යන නමුත් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයේ වර්ධනයක් දක්නට නැත. ඇත්තෙන්ම සිදුව ඇත්තේ කාර්යක්ෂමතාව වඩාත් පහත වැටී වියදම් ඉහළ යෑමක් පමණි. රජය සතු ව්‍යවසායන් 300කට අධික ප්‍රමාණයක් පාඩු ලබන තත්ත්වයට පත්ව ඇත්තේ එම නිසාය. මෙම ආයතන නඩත්තු කිරීම සඳහා යොදවන මුදල් ද නාස්තියකි. ඒවායේ සිදුව ඇතැයි කියන නාස්තිය සහ දූෂණ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරන ජනාධිපති කොමිසන් සභා හෝ වෙනත් කොමිසන් සභා තවත් මුදල් නාස්තියකි. මෙම රජය බලයට පත් වූ විගස දූෂණ, වංචා, බලය, රාජ්‍ය සම්පත් සහ වරප්‍රසාද අයථා ලෙස යොදා ගැනීම පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසන් සභාවෙන් එවැනි අවස්ථා 34ක් ගැන නිශ්චිතවම කරුණු දක්වා ඇත. එවැනි වැරදි කරන ලදැයි සැලකෙන පුද්ගලයන් නම්කර දණ්ඩ නීති සංග්‍රහය යටතේ එම පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති ප්‍රතිපාදන ද පැහැදිලිවම දක්වා ඇත. වසර හතරකට වැඩි කාලයක් ගත්වුව ද ඒ කිසිවෙකුට එරෙහිව මෙතෙක් පියවර ගෙන නැත. එසේ වුවත් දූෂණ සහ වංචා සෙවීමට තව තවත් ජනාධිපති කොමිසන් සභා පත් කරයි. ඊට අමතරව දූෂණ සහ වංචා නතර කිරීම සඳහා මහජන මුදල් නාස්ති කරමින් ක්‍රියාත්මක වැඩ සටහන් ද එළිදක්වයි.

දූෂණය සහ වංචාව පිළිබඳව නැගෙන චෝදනා නිදහස් ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාම මැතිවරණ වේදිකාවේ දී ඉස්මතු කර දැක්වූ ජනප්‍රිය මාතෘකාවකි. එම නිසා අල්ලස් සහ දූෂණය ගැන පරීක්ෂා කොට නීතිමය පියවර ගැනීමට විශේෂ පනතක් ද පාර්ලිමේන්තුවෙන් ඒකමතිකව සම්මත කෙරිණ. මෙම කොමිසම පිහිටුවීමෙන් පසුව අල්ලස් හෝ දූෂණ ගැන නැගෙන චෝදනාවල අඩුවක් වූයේ නැත. ඇත්තෙන්ම ඒවායේ සංඛ්‍යාව සහ අදාළ මුදල්මය වටිනාකම සිතා ගැනීමට හෝ නොහැකි ආකාරයෙන් ඉහළ ගොස් ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි පවා අල්ලස් ගැනීමේ චෝදනා මත අත් අඩංගුවට පත්විය. එමනිසා එම කොමිසමෙන් අල්ලස් හෝ දූෂණ මැඩලීමට ප්‍රමාණවත් සේවයක් ඉටු වූයේයැයි කිව නොහැකිය.

පසුගිය වසර දහය ඇතුළත සිදුව ඇතැයි චෝදනා කෙරෙන රුපියල් දශ ලක්ෂ දහයට වඩා වැඩි වංචා හෝ දූෂණ ගැන පවරා ඇති නඩු පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඉල්ලීමක් කෙරිණ. ඒ අනුව අදාළ කාලය තුළ පවරා ඇත්තේ එකම නඩුවක් බව හෙළි විය. 2017 වසරේ දී පවරා ඇති එම නඩුව ද තවම නිම වී නැත. අප දන්නා ආකාරයට අල්ලස් හෝ දූෂණ සිද්ධීන් විමර්ශනය කිරීමට මනා හැකියාවන් සහ නිපුණතා ඇති කාර්ය මණ්ඩලයක් ද එම කොමිසමේ සිටිති. බොහෝ චෝදනා ගැන විමර්ශන කටයුතු ද නිම වී ඇත. එහෙත් කුමන හේතුවක් නිසා හෝ නීතිමය පියවර ගැනීමක් සිදු වන්නේ නැති තරම් ය.

ඉහත සඳහන් කළ විමසුමට අදාළව එම කොමිසමෙන් ලබා දී ඇති තොරතුරු අනුව 2009 සිට 2018 දක්වා කාලය තුළ එම කොමිසමේ සේවක වැටුප් සහ අනෙකුත් දීමනා සඳහා වැය කර ඇති මුදල රුපියල් දශ ලක්ෂ 2356 කි. මෙම මුදල සම්පූර්ණයෙන්ම අපතේ යැවීමක් ලෙස රටේ පුරවැසියන් වන අපට හැඳින්විය හැකිය. මෙම කොමිසමෙන් මෙතෙක් සිදු කර ඇත්තේ පහළ මට්ටමේ පොලිස් නිලධාරියකු හෝ වෙනත් සුළු නිලධාරියකු අල්ලසක් ලබා ගැනීම ගැන නඩු පැවරීම පමණි. මහා පරිමාණ දූෂණ හෝ වංචා ගැන කෙරෙන විමර්ශන අවසානයේ සැඟවෙන්නේ ලිපි ගොනු තුළය.

සාගරයේ පාවෙන මහා අයිස් කන්දකින් ඇසට දිස් වන්නේ ජලයෙන් ඉහළට මතුව ඇති කුඩා හිසක් පමණි. ජලයෙන් සැඟව ඇති මහා අයිස් කන්දේ වපසරිය දැන ගත හැකි වන්නේ එහි ගැටී දියබත් වූ විටය. විගණකාධිපති ගේ වාර්තාවෙන් දැක්වෙන්නේ ද අපේ ආර්ථිකය සහ දේශපාලන දේහය වසා ඇති දූෂණ සහ වංචා කන්දේ කුඩා හිසක් පමණි. එහි වපසරිය තේරුම් ගත හැකි වන්නේ ද රටම කිඳා බසින ආර්ථික සහ දේශපාලන අර්බුදයකට ලක් වූ විට පමණි. පසුගිය ඔක්තෝබර් 26 වැනිදායින් ඇරඹුණ දේශපාලන නාටකය එවන් අර්බුදයක පෙරහුරුවකි.

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගැන සිහින මවන, අනාගත පරම්පරාව ගැන බලාපොරොත්තු රඳවන අපට, රට කරවන දේශපාලකයන් මෙන්ම ඔවුන්ට තෝතැන්නක් වූ සමාජ ආර්ථික ක්‍රමයද වෙනස් කිරීමට නවතම දේශපාලන උපාය මාර්ග සහ පරිපාලන ව්‍යුහයන් ගැන සිත් යොමු කිරීමට කාලය පැමිණ ඇත.