රට තුට්ටු දෙකට දැමීම

විමලනාත් වීරරත්න

මහින්ද රාජපක්ෂ ළඟ තබාගෙන ජනපති එජාප රජය දූෂිත යැයි කියන විට රාජපක්ෂ රජය දූෂිත නැතැයි යන්න ඉන් හැඟෙනවාද? ජනපති මෛත්‍රීපාල සිරිසේන යනු බූරුවා ක්‍රීඩාවේ නොයෙදුණත් බූරුවා පොළේ ක්‍රීඩාව කෙරෙන ආකාරය නරඹමින් සිටි අයෙකි. නීතියට අනුව බූරුවා ගැසීමත්, බූරුවා පොළේ ගැවසීමත් එක සේ වැරදි ක්‍රියාය. එබැවින් ඔහුගේ නායකත්වය යටතේ එජාපය වෙතින් සිදුවූ වැරදිවලට ජනපති වගකීමෙන් බැහැර කෙරෙන්නේ නැත. අනෙක් අතට ඔහු රනිල්ට සියලු පව් පටවා රාජපක්ෂ ආණ්ඩුව දූෂිත නැතැයි හඟවන්නට තැත් කළත්, මෛත්‍රීපාල මහතාද එම රජයේ ප්‍රමුඛ නායකයෙකි. වැඩවසම් නායකයාගේ සෑම කුප්ප වැඩකටම හෙතෙම වසර දහයක් පුරා අත ඉස්සුවේය. 2014 නොවැම්බර් 21දා ඉන් විතැන්ව මෛත්‍රීපාල මහතා කීවේ ඉවසවා ඇති කියාය. අනතුරුව ගෙවුණු කාලය තුළ ජනපති මෛත්‍රීපාල රැස්වීම් කිහිපයකදීම අඬන්නට ඔන්න මෙන්න ඉරියව්පාමින් රටට කීවේ රාජපක්ෂලා තමාව තුට්ටු දෙකට දැමූ බවය. ඒ කියූ විදියට මහින්ද රාජපක්ෂ ඔහුට කර නැත්තේ සමහරුන්ට කළා සේ කාමරයකට කැඳවා ගෙන ගොස් කන අතගෑම පමණි. අඬා දොඬා මේ දුක්බර පීඩිත අතීතය මතක් කරන ගමන් ජනපති වැඩිදුරටත් කීවේ රාජපක්ෂලා සෑම ව්‍යාපෘතියකින්ම ගසා කෑ බවය.

අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වූ ඉකුත් 18දා පැවති උත්සවයේදී ඔහු මහින්ද රාජපක්ෂ ළඟ තබාගෙන දූෂණයට විරුද්ධව කතා කළේ කමර මුඛයෙන්ද යන ප්‍රශ්නය පැන නොනගී. ඔහු මේවා කියන්නේ 2014 නොවැම්බර් 21 හා ඊට පසු අවස්ථා කිහිපයකදී දුක කියූ මුඛයෙන් නම් නොවන බව පැහැදිලිය. වසර හතරක් ගතවන විට රටේ නමගිය නීල හොරුන්ට අපි හරන්ති කළා නෙමෙයි කියන්නට හා වත්මන් ආණ්ඩුව අන්ත දූෂිත යැයි කියන්නට හැකි පසුබිමක් සකස් කළෝ කවරහුද? ජනාධිපතිගේ හා අගමැතිගේ කොන්ද පණ නැති පාලනය තනිකරම ඊට වගකිව යුතුය. මහ බැංකුවක් මංකොල්ල කෑ ලෝකයේ එකම මහ බැංකු අධිපතිවරයා බිහිකළ එජාපය හරන්තිකළාට විරුද්ධව හරිහමන් පියවරක් ගත නොහැකිව නව දොරකඩම වසාගෙන සිටින්නේ තම භූමිකාව වසර හතරක් ඇතුළත අතිශයින්ම විරූපී හා කුණුවූ තත්ත්වයට පත්ව ඇති නිසාය. එවිට ඔවුන්ට ජොන්ස්ටන් වත්කම් බැරකම් නීතිය උල්ලංඝනය කර ඇති බවට රජයෙන් ගොනුකර තිබුණු නඩු හතරකින් නිදහස් වුවත් ඒ ගැන අදහසක් පළ කළ නොහැකිය. සතොස ගනුදෙනුවෙන් ජොනී නිදහස් වන විටත් එජාප නායකයෝ මුඛ පූට්ටු වී සිටියහ. මේවා දේශපාලන පළිගැනීම් යැයි ජොනීලා, මහින්දානන්දලා, ගෝඨාභයලා, බැසිල්ලා වේලාසනම ගැලවීමට කියු දේ ආණ්ඩුව ඔප්පු වන්නට හැරියේය. එසේ වූයේ චූදිතයන් ඇත්තටම නිවැරදි නිසාද? එසේ නැතහොත් තොපි අපි දෙපිරිසට හරන්කිතයටත් වඩා අන්ත නිසා අප එකිනෙකා ආවරණය කරගත යුතුය යන පදනමින්ද?

තමා කරන ලද වරදකට අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් සාමාන්‍ය හොරෙකුට උසාවියට පෙත්සමක් ඉදිරිපත් කළ හැකිද? එහෙත් ගෝඨාභයට හා කරන්නාගොඩට එම වරප්‍රසාදය හිමිය. ඒ අනුව ගොස් මධුෂ්ගේ පුංචිඅම්මාද කොලුවා අත්අඩංගුවට නොගන්නා ලෙස පෙත්සමක් භාර දුන්නාය. මේ නම් පුදුමයක් නොවේ. මෛත්‍රීපාලලා, රනිල්ලා විසින් පුදුමය උපද්දවන ලද රටකි. ආණ්ඩුවේ වසර හතරක නපුංසක පාලනය හොඳින්ම ප්‍රයෝජනයට ගන්නා පුද්ගලයා ගෝඨාභය, කරන්නාගොඩ හෝ ජොනී නොවේ. මහින්ද රාජපක්ෂය. ඔහු පසුගිය දිනක රගර් ක්‍රීඩක තාජුඩීන් මියගිය ආකාරය බලාගෙන සිටියා සේ කීවේය. තාජුඩීන් පැයට කි.මී. 175ක වේගයෙන් ගොස් වාහනය තාප්පයක ඇනගෙන මිය ගියේය. ඒසා වේගයෙන් යනවිට කවරෙකුට එම රථයට කිට්ටුවීම කළ හැකිද යනුවෙන් ඔහු නයිට් රයිඩර් බලන ළමයකු සේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. සිරිලියගේ ඩිෆෙන්ඩරයක් තාජුඩීන් නමැති නයිට් රයිඩර්ශේ පසුපසින් පැන්නීම, කාරයට ගිනි තබා ඇති බවට සලකුණු හමුවීම, නයිට් රයිඩර්ගේ මුදල් පසුම්බිය සැතපුම් කිහිපයක් ඈතින් වැටී තිබීම, මතු නොව නයිට් රයිඩර්ගේ අස්ථි කොටස් අස්ථානගතවීම, ඒ පිළිබඳ වගකිවයුතු ආනන්ද සමරසේකර වරද පිළිගැනීම, රාජපක්ෂ පුතුන් සමග නයිට් රයිඩර්ට තිබුණු ආරාවුල ආදී මෙකී නොකී තවත් බොහෝ දේවල් රාජපක්ෂ සිනාසිසී සැහැල්ලුවෙන් කළ කතාවෙන් බැහැර කර තිබිණි. මේ ඉඩ රාජපක්ෂට හදා දුන්නේ මෛත්‍රීගේ හා රනිල්ගේ තුට්ටු දෙකේ පාලනය විසිනි. දැන් මෛත්‍රීට සිදුව තිබෙන්නේ 2015 ජනාධිපති වනවිට වැරදියි කියූ රාජපක්ෂලාගේ සියලු අත්තනෝමතික ක්‍රියා ගැන මුඛ පූට්ටු කරගෙන සිටීමටය.

ජනපති වැඬේ කරන්නට පෙර කයිවාරු ගසා පසුව වැඬේ අවුලට පත්වූ පසු දුක කියන උද්ධච්ච සහ කපටි ගැමියකු සේය. අල්ලස් කොමිසමේ කටයුතු පිළිබඳ දැන්වීමක් නිර්මාණය කිරීමේදී සැලසිනේ ආයතනයේ ප්‍රධානීන් අල්ලස් ලබාගත් බව ජනපති ඉහත රැස්වීමේදී කීවේය. මේවා කතා පවත්වන විට පමණක් කීවාට පළක් නැත. සැලසිනේ රාජ්‍ය ආයතනයකි. එහි අල්ලස් ගත් නිලධාරීන් ගැන දැන් හෝ පරීක්ෂණයක් කළනොහැක්කේ ඇයි? ඔවුන් පසුගිය කාලය තුළ පුවත්පත්වලට රජයේ දැන්වීම් ලබාදී ඇතැමුන්ට මුදල් ගෙවීම් නොකිරීම ගැනත් පරීක්ෂණ කළ හැකිය. එම මුදල් කොල්ලකෑවේ කවුද කියා සොයා බැලිය හැකිය. මෙරට ඕනෑම දේකට ඇස්තමේන්තුවක් සකස් කිරීමේදී දේශපාලකයන්ට හා නිලධාරීන්ට වෙන්විය යුතු මුදල්ද ඊට ඇතුළත් කැරෙන බවද ජනපති කීවේය. මෛත්‍රීපාල යනු රටේ ජනාධිපතිද? ගමේ පොලිසියකට, බිරිඳ පැන ගිය බවට දුක කියාගෙන එන අටපහ නොදත් ගැමියකුද යන ප්‍රශ්නය ඔහුගේ චර්යාව දකින විට පැන නැගේ.

ඔහු මහත් උජාරුවෙන් කියන්නේ කුඩුවලට මරණ දඬුවමට ලක්වූවන් එල්ලන බවය. මේ පසුබිම තුළ ඔහුට එය කරන්නට වෙන්නේ නැත. 1971දී හොඳ පපුවා නම් වූ පුද්ගලයා එල්ලුවාට පසුව තාම කිසිවකු එල්ලා නැත. වසර 43කට ආසන්න කාලයක් ගතවී ඇත. ඇමරිකාවෙන් අලුගෝසු පුරප්පාඩුවට පුද්ගලයකු පැමිණ ඇති බවත් දැනගන්නට තිබේ. පිටරටින් කඹයක්ද ගෙන්වා ඇත. මහින්ද රාජපක්ෂ, ජනපතිව මේ විදියටම තම මාස කිහිපයක් කඬේ යවා අවසානයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයට ගෝඨාභය නම් කළහොත් ජනපති කරන්නේ කුමක්ද? එවිට ඕනෑ නම් ගෙන්වූ කඹය ප්‍රයෝජනයට ගත හැකිය. මන්ද මේ අඬෝඇඬියාවන්හි හා කෙප්පවල කෙළවරක්ද තිබිය යුතුය.