ඉතිහාසය සමග සෙල්ලම් කිරීම

වික්ටර් අයිවන්

‘ලංකාවට වැරදුණේ කොතැනද’ යන හිසින් වන මගේ ලිපියට ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ මාර්තු 8 කලාපයේ ප්‍රති විවේචනයක් පළවී තිබෙනු දුටු විට ක්ෂණික වශයෙන් මා තුළ ඇතිවූයේ ආස්වාදයකි. මා ශාස්ත්‍රීය සංවාද හා වාද විවාදවලට කැමතිය. පළවී තිබෙන විවේචනය ඇවකාඩෝ කලෙක්ටිව් ( Avocado Colletve ) යන ආරූඪ නමකින් ලියා තිබෙන බව පෙනුණු විට මා තුළ ඇතිවූයේ සතුටක් නොව කනගාටුවකි. තෝරා ගත් නමින් පෙනෙන්නේ එය තනි පුද්ගලයකුගේ ක්‍රියාවකට වඩා එකට එකතු වූ පුද්ගලයින් කිහිපදෙනකුගේ ක්‍රියාවක් බවය. නියම නම නැතිව පළකරන දේවල් සැලකෙන්නේ කැලෑ පත්තර ලෙසය. ශාස්ත්‍රීය සංවාදයක් ගරිල්ලා සංවාදයක් බවට හරවා ගත්තේ ඇයිද කියා තේරුම් ගැනීම අමාරුය. මා ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ලියන ලද පිළිතුර රාවයේ පළකරන්නේ එහි එන කරුණු රාවය පාඨකයින්ටද වැදගත් වන නිසාය.

මා ලංකා ඉතිහාසය විග්‍රහ කරන ආකාරය විවේචකයාගේ හෝ විවේචකයන්ගේ විරෝධයට හේතුවී තිබෙන බව පෙනේ. එය මාගේ පුදුමයට හේතුවන්නේ නැත. තමන්ගේ ස්වර්ණමය යුගය මුලදී දකුණු ඉන්දියානු දෙමළ ආක්‍රමණිකයන් විසින්ද, ඉන්පසුව යුරෝපීය ආක්‍රමණිකයන් විසින්ද විනාශ කළේ යැයි කියන විශ්වාසයක් සමහර සිංහල උගතුන් අතර පවා පවතී. මෙම විවේචකයා හෝ විවේචකයන් කෙරෙහි එම ජනප්‍රිය ආකල්පය බලපා තිබෙනවා විය යුතුය.

එහෙත් මා ඒ දේවල් දකින විදිය ඊට වෙනස්ය. ලංකාවේ ළඟම අසල්වැසියා ලෙස සැලකිය හැකි දකුණු ඉන්දියාවේ තිබුණු රාජ්‍යයන් අතරින් කවර රාජ්‍යයක් හෝ බලවත් වූ විට එහි තිබුණු අන්‍ය රාජ්‍යයන්ට පහරදී ඒවා අල්ලා ගනිමින් එම බලවතා සිරිතක් වශයෙන් ලංකාවද ආක්‍රමණය කළේය. ඒ කාලයේදී රටවල් අල්ලා ගැනීම රාජ්‍යයක බලවත්කම පෙන්නුම් කරන ලක්ෂණයක් වශයෙන් මිස එය වරදක් ලෙස සැලකුණේ නැත. ලංකාවද බලවත් වූ සමහර අවස්ථාවලදී දකුණු ඉන්දියාව ආක්‍රමණය කළ අවස්ථා තිබුණි. අභ්‍යන්තර යුද්ධ හා ආක්‍රමණික යුද්ධ ඒ කාලයේ සියලු රටවලට ආවේණික සාමාන්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඒ කාලයේ සිදුවූ කිසිදු ආක්‍රමණයක් සිංහල සභ්‍යත්වය විනාශ කිරීමේ දුෂ්ට අරමුණින් කරන ලද ආක්‍රමණ ලෙස සැලකිය නොහැකිය. එවැනි ආක්‍රමණ තිබියදීත් ලංකාවේ සිංහල – දෙමළ ජනතාව අතර වාර්ගික සමගියක්ද, බෞද්ධ හින්දු ජනතාව අතර ආගමික සමගියක්ද තිබුණි.

සිංහල ශිෂ්ටාචාරයේ පරිහානිය

සිංහල ශිෂ්ටාචාරයේ දියුණුව හා අසිරිමත්ම කාලය ලෙස සැලකිය හැක්කේ සිංහල රාජධානිය රජරට පැවති කාලයේදීය. බී.එච්. ෆාමර්ට අනුව එහි බිඳ වැටීම කෙරෙහි දකුණු ඉන්දියානු ආක්‍රමණද විටින් විට ඇතිවූ අරාජික තත්ත්වයන් සේ ම මැලේරියාවද බලපෑවේය.
ඒ ගැන සෙනරත් පරණවිතාන ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසයේ දෙවැනි කාණ්ඩයට කර තිබෙන විග්‍රහයද ඉතා වැදගත්ය. ඔහු එහිදී මහා පරාක්‍රමබාහු රජතුමාද, එම පරිහානියට වගකිවයුතු චූදිතයකු බවට පත් කරයි.

එම විග්‍රහය මෙසේය.

“පරිහානියේ බීජ දඹදෙණිය යුගයේදී මතුවූ නමුත් ඒවා වපුරන ලද්දේ ඊට සියවසකට හෝ දෙකකට පෙරය. එකොළොස්වන සියවසේ මුල්හරියේ චෝල ආක්‍රමණයේදීත්, වැරදුණු කැරලි ගණනාවේදීත් සිංහල රාජ්‍යය නැවත පිහිටුවීමෙන් කෙළවර වූ යුද්ධවලදීත් දහස් ගණන් රටවැසියන් මියයන්නට ඇත. විජයබාහු රජුගේ දීර්ඝ රාජ්‍ය කාලයේදී බෙහෙවින්ම සාමය පැවති හෙයින් යළිත් ශක්තිමත්ව නැගී සිටීමට ජාතියට ඉඩ ලැබුණේය. එහෙත් ඊළඟ අවුරුදු හතළිහේම කැරලි පැවති බැවින් ඒ කාලයේදී රට පිරිහී ගියේය. ජලායන මාර්ග නොසලකා හරින ලද්දේය. ඔවුනොවුන්ට සතුරු වූ පිරිස් අතර පැවති යුද්ධවලදී බොහෝ දියුණු ගම්මාන විනාශ කරන ලද්දේ කෙසේදයත් ඒවායේ සලකුණක් පවා ඉතිරි වූයේ නැත. පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී දියුණු යුගයකට මුල පුරන ලදි. එහෙත් ඔහු සිහසුනට ළඟාවූයේ දහස් ගණන් රටවැසියන්ගේ මිනී කඳන් මැදින් ගමන් කිරීමෙනි. රෝහණයේ ඇතිවූ කැරලි කිහිපයේත්, ඒවා මැඬ පැවැත්වීම සඳහා පටන් ගත් යුද්ධවලත් ප්‍රතිඵලය වූයේ ශක්තිසම්පන්න මනුෂ්‍යයන් දහස් ගණනක් මරණයට ගොදුරුවීමය. පරාක්‍රමබාහු රජතුමා පෙර නොවූ විරූ උසස් තත්ත්වයකට රටේ සම්පත් දියුණු කරවූ බව සැබෑය. එහෙත් ඔහු පිටරටවල දිගින් දිගට කළ යුද්ධ නිසා මනුෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් මැරුම් කන්නට ඇත. ඔහුගේ පරිපාලනයේ අධික වේගය නිසා ඔහුගේ රාජ්‍ය කාලය අවසානය වන විට රට වෙහෙසට පත්ව තිබෙන්නට ඇත. නිශ්ශංකමල්ල රජුගේ අහංකාරෝන්මාදයෙන් රට දියුණු වූයේ නැත. රටවැසියන් අතරින් හොඳ සෞඛ්‍යයක් හෝ කාය බලයක් ඇතිව සිටි පිරිස් දහතුන්වන සියවසේ මුල් හරියේදී මේ රජවරුන් දෙදෙනාගේ මහන්තත්ත කාමයට බිලිවන්නට ඇත. රෝහණය විදේශ ආක්‍රමණවලට ගොදුරු නොවීය. එහෙත් එහි ඇතිවූ කැරලි නිසා ඒ තරම්ම විපත්ති සිදුවූයේය. පරාක්‍රමබාහු රජතුමා විවිධ රටවලට යවන ලද සේනාවන්ට රෝහණ හමුදාද ඇතුළත්වන්නට ඇත. මේ පරිද්දෙන් ජාතිය බෝ කිරීමට ඉතිරි වූ පිරිස වනාහී කාර්යක්ෂමභාවයෙන් හා වීර්යයෙන් ඉතා උසස් අය නොවූහ. පසු කාලයේ ඇතිවූ අමාරුකම්වලට මුහුණපෑමේදී අහිතකර ස්වාභාවික බලවේගයන්ට විරුද්ධව සටන් කිරීමටත් පිටරටවලින් පැමිණෙන සතුරන්ගේ ආක්‍රමණ මැඬ පැවැත්වීමටත් වුවමනා කායික හා මානසික ශක්තිය ඔවුන්ගේ දරු මුණුබුරන් වූ ඊළඟ පරම්පරාවන්ට තිබුණේ නැත.” (පිටුව 677)

බී.එච්. ෆාමර් කියා තිබෙන ආකාරයට පෘතුගීසීන් ලංකාවට එනවිටත් සිංහල ශිෂ්ටාචාරය වේගයෙන් පිරිහී යමින් පැවතියේය. රජරට මුල් කරගත් පැරණි කීර්තිමත් යුගය ගෙවී ගොස් තිබුණි. අතීතයේ තිබූ ශ්‍රේෂ්ඨ වෙහෙර විහාරවලින් වැඩි කොටසක් වල්බිහිවී තිබුණි. දොන් ලොරොන්සෝද අල්මේදා අහම්බෙන් මෙන් පැමිණෙන්නට බොහෝ කාලයකට පෙරම පරිහානියේ හා කැඩී බිඳී යාමේ ක්‍රියාවලිය ඇරඹී තිබුණි.

බි්‍රතාන්‍ය යුගය

බි්‍රතාන්‍යයන් උඩරට රාජ්‍යය අල්ලා ගන්නා විට එම සමාජය පැවතියේ ඉතා නූගත් දුප්පත් හා නොදියුණු තත්ත්වයකය. උපදින දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් මරා දැමීම ජන ජීවිතයේ සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබුණි. එහි එදා පැවති ඛේදජනක තත්ත්වය පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි හොඳම ඓතිහාසික මූලාශ්‍රය රොබට් නොක්ස්ගේ පොතය. අපේ අදහස් විවේචනය කරන විවේචකයා හෝ විවේචක කණ්ඩායම රොබට් නොක්ස්ගේ පොත වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් පිළිගත්තේ නැත. වාර්තාගත සංඛ්‍යා ලේඛන නොතිබූ කාලයක දරුවන් මරා දැමීම්වලට අදාළ ප්‍රමාණයන් ගැන කතා කිරීමට අවශ්‍ය අධි මානසික ශක්තිය මට ලැබුණේ කෙසේදැයි ප්‍රශ්න කර තිබෙන්නේ හාස්‍යයකින් යුතුවය. ඒ ගැන ඔවුන්ට තිබෙන දැනුමේ දුප්පත්කමේ තරම ගැන මේ ලිපියේ අන් තැනක කතා කරන්නට බලාපොරොත්තු වෙමි.
උඩරට රාජ්‍යය අල්ලා ගත් තැන් සිට නිදහස දක්වා තවත් වසර 133ක් බි්‍රතාන්‍යයෝ රට පාලනය කළෝය. ඒ කාලය තුළ පැවති පරණ රජ කාලයට සාපේක්ෂව රටේ ඇතිව තිබුණ දියුණුව විස්මජනක දියුණුවක් ලෙස සැලකිය හැකිය. එම කරුණද නිෂේධ කරන්නට හෝ බොරු කරන්නට කරුණු ඉදිරිපත් කර තිබුණි. රටක් විදේශ බලවතකු අතට පත්වීම යහපත් දෙයක් ලෙස සැලකිය නොහැකි වුවත් පරණ අපේ රජවරුන්ගේ වැඩවසම් පාලනය තවදුරටත් පැවතියේ නම් 1948 වන විට ලංකාව තිබෙනු ඇත්තේ ආසියාවේ බැබලෙන රටක් වෙනුවට ඉතාමත් අවාසනාවන්ත හා කාලකණ්ණි රටක තත්ත්වයකය. එසේ වී නම් ලංකාවේ සිටිනු ඇත්තේ නිදහස් පුරවැසියන් නොව, කුලය අනුව වැඩවසම් සේවාවන් කරන ප්‍රවේණිදාසයින්ය.

බි්‍රතාන්‍ය පාලනයේ අවලස්සන හා අඳුරු පැති තිබුණේය. එහෙත් ඊට පෙර තිබූ ඝන අන්ධකාර තත්ත්වය සමග සසඳන විට පරාධීනත්වය රටට උරුම කර දෙන ලද ප්‍රතිඵලය ඉතා යහපත් වී යැයි කිව හැකිය. බි්‍රතාන්‍යයන් ලංකාව අල්ලා ගත්තේ ඔවුන්ගේ යහපත පිණිස මිස අපේ යහපත පිණිස නොවන බවට සැකයක් තිබිය නොහැකිය. ඔවුන් ලංකාවෙන් ඵල ප්‍රයෝජන ලැබුවේය. කැරලි ඇතිවන විට ඒවා අනුකම්පා විරහිතව මර්දනය කළේය. විදේශීය පාලකයින් නොව දේශීය පාලකයින්ද කැරලිවලට ඉඩ දෙන්නේ නැත. කැරලි මර්දනය රාජ්‍යයට ආවේණික නෛසර්ගික ලක්ෂණයකි. විශේෂයෙන්ම 1818දී ප්‍රධාන කොට ඌව වෙල්ලස්ස කලාපයේ ඇතිවූ කැරැල්ල මැඬ පවත්වන ලද්දේ ඉතා කුරිරු ආකාරයකටය. නිදහස ලැබී ස්වදේශීය පාලනයක් ඇතිවූ විට උද්ගතවූ දේශීය කැරලි මර්දනය කෙරුණේ ඉතාමත් කුරිරු ආකාරයකටය.

ඇඟ බද්ද, ධාන්‍ය බද්ද වැනි මහජනයා පීඩාවට පත් කරන බදු ක්‍රම බි්‍රතාන්‍ය පාලනයේ සමහර කාලවලදී ක්‍රියාත්මක විය. එවැනි පීඩාකාරී බදු ක්‍රමය ඊට පෙර කන්ද උඩරට රාජ්‍යයේද, ඊටත් පෙර කාලවලදීද තිබුණි. මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේදී ගොවීන් අස්වැන්නෙන් 6න් පංගුවක් බදු ගෙවූ බව සඳහන්ය. එම බද්දෙන් අඩක් ධාන්‍යවලින්ද, ඉතිරි අඩ මුදලින්ද ගෙවිය යුතු විය. 13 වන සියවසේදී ගොවීන් ගතකළේ කොතරම් කටුක ජීවිතයක්ද යන්න හා බදුවලින් ඔවුන් විඳි පීඩාවන් පිළිබඳ කදිම විස්තරයක් පූජාවලියේ සඳහන් වේ.

බි්‍රතාන්‍ය පාලන කාලයේදී වතු වගාවට අවශ්‍ය ඉඩම් ලබාදීම සඳහා මුඩුබිම් පනතක් මගින් කැලෑ ඉඩම් පවරා ගනිමින් ඉතා අඩු මිලකට යුරෝපීය වැවිලිකරුවන්ට සේ ම වතු වගාවට යොමුවීමට කැමති ස්වදේශීය ධනවතුන්ටද ඉඩම් ලබා දුන්නේය. වතු වගාව වැවිලිකරුවන්ට හොඳ ආදායම් උපයා දෙන මාර්ගයක් ලෙස ක්‍රියාකරනවාට අතිරේකව රටේ පොදු දියුණුව කෙරෙහිත් බලපෑ වැදගත් ආර්ථික මාර්ගයක් ලෙස ක්‍රියා කළේය.
බි්‍රතාන්‍ය පාලන යුගය තුළ ප්‍රාදේශීය පදනමක් මත සකස් වූ නවීන පාලන ක්‍රමයක්ද, වෙළෙඳාම මත පදනම් වූ නවීන ආර්ථික ක්‍රමයක්ද ඇතිවිය. ඒ සමග දේශපාලන වශයෙන් හා ආර්ථික වශයෙන් රට ඒකාබද්ධ කිරීමටද හේතුවිය.

බි්‍රතාන්‍ය ආණ්ඩුව රාජකාරිය වශයෙන් හැඳින්වුණු කුල ක්‍රමය මත පදනම් වූ පැරණි වැඩවසම් ප්‍රවේණිදාස ක්‍රමය අවලංගු කොට උත්පත්තියෙන් නියම කළ ජීවන මාර්ගයක් වෙනුවට තමන් කැමති ජීවන මාර්ගයක් තෝරා ගැනීමේ නිදහස ජනතාවට ලබා දුන්නේය. රජයට තිබූ වෙළෙඳ ඒකාධිකාරය අහෝසි කොට නිදහස් වෙළෙඳ ක්‍රමයක් ඇති කළේය. සමහර අය භුක්ති විඳිමින් සිටි නීතිමය වරප්‍රසාද අහෝසි කොට නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන ලෙස සලකන තත්ත්වයක් ඇති කළේය. පොදු අධිකරණ ක්‍රමයක් හා පොදු නීති ක්‍රමයක් ඇති කළේය. ආණ්ඩුකාරයාට තිබූ ඒකාධිපති බලතල ඉවත් කොට විධායක හා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා දෙකකින් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ඇතිකර දෙමින් මහජනයාට සර්වජන ඡන්ද බලයද ලබා දුන්නේය. නවීන අධ්‍යාපන ක්‍රමයක් සමග නවීන පාසල් ක්‍රමයක්ද ඇතිකර දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොත්පත් කියවන වාද විවාද කළ හැකි අකුරු උගත් සමාජයක්ද ඇතිවිය.

ඉතිහාසය කියාදීම

සිංහලයන්ගේ අතීත ශිෂ්ටාචාරය ගැන අනුරාධපුර හා පොළොන්නරුව යන රාජධානි ආශ්‍රයෙන් පැවති ශ්‍රී විභූතිය ගැන එනම් ඔවුන්ගේ කලා ශිල්ප, වාරි කර්මාන්ත හා ආගමික සාහිත්‍ය ගැන ගවේෂණය කරමින් ඒ ගැන පොත් ලියමින් අපට අපේ ඉතිහාසයට කියා දුන් පළමු ගුරුවරුන් ලෙස සැලකිය හැක්කේ ඒ කාලයේ ලංකාවේ සිවිල් සේවකයන් ලෙස සේවය කළ යුරෝපා නිලධාරීන්ය.

ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් මහාවංශය, රාජරත්නාකාරය හා රාජාවලිය අළලා කාණ්ඩ තුනක පොතක්ද, ලංකාවේ ස්වදේශීය නීති හා චාරිත්‍ර අළලා කාණ්ඩ දෙකක පොතක්ද ලියා පළ කළේය. ජෝන් ඩොයිලි සිංහල පළාත්වල තිබෙන නීතිරීති එකතු කොට සිංහල ආණ්ඩුක්‍රමය ගැන පොතක් ලීවේය. විලියම් ට්‍රොල්ෆ්‍ර බාලාවතාරය නමැති පොත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේය. සැමුවෙල් ට්‍රොල්ෆ්‍රි, සිදත් සඟරාව ඉංග්‍රීසියට පරිවර්තනය කළේය. ජෝර්ජ් ටනර් මහාවංශ ටීකාව පදනම් කොටගෙන ලංකාවේ ඉතිහාසය ගැන පොතක්ද මහාවංශය ගැන විවේචනාත්මක සංග්‍රහයක්ද ලියා පළ කළේය. එමසන් ටෙනන්ට් ලංකා ඉතිහාසය ගැන කාණ්ඩ දෙකක පොතක් ලීවේය. එච්.ඩබ්ලිව්. කොඞ්රින්ටන් ලංකා ඉතිහාසය පිළිබඳ පොතක් ලියන ලද අතර ලංකාවේ ඉඩම් බුක්තිය ගැනද පොතක් ලීවේය. විල්හෙම් ගයිගර් මහාවංශයේ සංස්කරණයක් පළ කරන ලද අතර ඊට අතිරේකව දීප වංශයේ හා මහා වංශයේ ඓතිහාසික සංවර්ධනය ගැන පොතක්ද සිංහල ව්‍යාකරණ ගැන තවත් පොතක්ද ලීවේය. ගයිගර් සිවිල් නිලධාරියකු නොවූවද ඒ කටයුතු සඳහා ඔහු යොදා ගත්තේද ඒ සඳහා අවශ්‍ය වියදම් දරන ලද්දේද ලංකාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුව විසිනි. සංස්කෘතික, පාළි හා සිංහල සාහිත්‍යය නාමාවලියක් හැදීම සඳහා ජේම්ස් ද අල්විස් යොදා ගත්තේද ලංකාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුව විසිනි. ජේම්ස් ද අල්විස් විසින් 1852දී සිදත් සඟරාවේ ඉංග්‍රීසි පරිවර්තනයක් කරන ලද අතර ඒ සඳහා අවශ්‍ය වියදම් දරන ලද්දේද ලංකා ආණ්ඩුව විසිනි. 1877දී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හා බටුවන්තුඩාව පඬිතුමා ලවා මහාවංශයේ සිංහල පරිවර්තනයක් කරවන ලද්දේද ලංකාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුව විසිනි. එල්.සී. විජේසිංහ මගින් 1879දී චූලවංශයේ සිංහල පරිවර්තනයක් කරවූයේද ලංකා ආණ්ඩුව විසිනි.

රජරට අතහැර තෙත් කලාපයට සංක්‍රමණයවීමෙන් පසු 11 වන පරාක්‍රමබාහු රජුගේ පුත් විජයබාහු කුමාරයා 1262දී අතහැර දමා තිබූ අනුරාධපුරය හා පොළොන්නරුවට යෑමෙන් පසු කිසිදු රජෙක් අවුරුදු 500ක් තරම් කාලයක් තිස්සේ වන්දනාමාන කරගැනීම සඳහාවත් අනුරාධපුරයට හෝ පොළොන්නරුවට ගොස් නොතිබුණි. රජරට ප්‍රදේශය මුළුමනින්ම වනාන්තරවලට යටවී බොහෝ දුරට ජන ශූන්‍ය ප්‍රදේශ බවට පත්ව තිබුණි. කැලෑවෙන් වසාගෙන තිබූ පොළොන්නරුවේ නටබුන් නගරය සොයා ගන්නා ලද්දේ බි්‍රතාන්‍ය හමුදාවේ ලුතිනන්වරයකු වූ එච්.එම්. ෆෑනන්ය. ඔහු ඒ ගැන ලියන ලද සටහන් 1860 අගෝස්තු 1 වැනිදා ලංකා ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළ කරන ලදි. 1845දී පිහිටුවා ගන්නා ලද රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව පැරණි සෞභාග්‍යය ගැන සොයා බැලීමට ආණ්ඩුව උනන්දු කරවන සංවිධානයක් ලෙස ක්‍රියා කළේය. එම සංවිධානයේ ලංකා ශාඛා නිර්මාතෘවරයා වූ විලියම් ජෝන්ස් ප්‍රාචීණ භාෂා පිළිබඳ පඬිවරයකු විය. අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ප්‍රධාන නටබුන් 1871දී ඡායාරූප ගත කොට ප්‍රසිද්ධ කරන ලදි.

පුරාවිද්‍යා පර්යේෂණ ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය මගපෙන්වීම් ලබා දුන්නේ ග්‍රෙගරි ආණ්ඩුකාරයාගේ තීරණයක් මත 1873දීය. 1876 කොළඹ කෞතුකාගාරය පිහිටුවන ලද අතර, 1877දී ලංකාවේ ප්‍රධාන නටබුන් පිළිබඳ සැලසුම් හා ඒවාහී ඡායාරූප රැසක් පළ කරන ලදි. පී. ගොල්ස්මිඞ් ( Goldschmidt ) නමින් වන ජර්මන් මහාචාර්යවරයා අනුරාධපුරය, පොළොන්නරුව හා මිහින්තලේ තිබෙන සෙල් ලිපි එක්රැස් කිරීමට යොදවා තිබුණි. ඔහු තිස්සමහාරාමයේ හා කතරගම සෙල් ලිපි පරීක්ෂා කරමින් සිටියදී වැලඳුණු උණකින් මිය ගියේය. ඉන්පසු ආචාර්ය මුලර් ඒ සඳහා යොදා ගන්නා ලද අතර 1887දී ඔහු එම කාර්යය සම්පූර්ණ කොට ලංකාවේ පැරණි සෙල් ලිපි යන ග්‍රන්ථය ( Ancient Inscriptions ) 1881දී පළ කරන ලදි. ලංකාවේ පුරා විද්‍යා පර්යේෂණ විධිමත් තත්ත්වයකට ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ ඒ.සී. බෙල්ටය. ඔහු තුන් කෝරළයේ හා හතර කෝරළයේ ආරම්භ කරන ලද එම කාර්යය අනෙක් ප්‍රදේශවලටද ව්‍යාප්ත කළේය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවක් ඇති කිරීමට ආණ්ඩුව එකඟ කරවා ගත්තේද ඔහුය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1890දී පිහිටුවන ලද අතර ලංකාවේ ඓතිහාසික වැදගත්කමක් ඇති නටබුන් ආරක්ෂා කිරීම සඳහා වන පනතක්ද 1900දී නීතිගත කරන ලදි.

නොදන්නාකමද? උද්ධච්චකමද?

බි්‍රතාන්‍යයන් අපට විකෘති කිරීමකින් තොරව අපේ සැඟවුණු ඉතිහාසය මතුකර දුන්නේය. අපට හිමි අභිමානයක් වී නම් එය යටපත් කරන්නට උත්සාහ කළේද නැත.
ඔවුන් ලංකාව අත්පත් කරගන්නා අවස්ථාවේදී ලංකාව තිබුණ තත්ත්වයෙහි හා නිදහස ලබාදී ලංකාව අත්හරින විට ලංකාව තිබූ තත්ත්වය අහසට පොළොව තරම් වෙනස්ය. ඔවුන් අප සූරාකෑවා විය හැකිය. එහෙත් ලංකාව සිය ඉතිහාසයේ ලොකුම දියුණුව හිමිකර ගත්තේ පරණ රජ කාලයේ නොව බි්‍රතාන්‍ය පාලන කාලයේදීය. එය ඓතිහාසික සත්‍යයක් වන නිසා එය ප්‍රකාශ කරන්නට ලැජ්ජා විය යුතු නැත. මාගේ විවේචකයා හෝ විවේචක කණ්ඩායම ලියන ලද පිළිතුරේ නිෂේධ කළ හැකි බොහෝ කරුණු ඇතත් එහි තිබුණු ඒ සියල්ල ගැන කතා කිරීම තේරුමක් නැත. එහි තිබුණු ලොකුම තර්කය ලෙස සැලකිය හැකි පහත දක්වන උද්ධෘත පාඨයේ එන ප්‍රශ්න දෙකට පමණක් පිළිතුරු දෙමි. එය මෙසේය.

“මහනුවර රාජධානිය සමයේ ජීවත් වූ සාමාන්‍ය ගොවි ජනතාව සැබැවින්ම දුෂ්කර ජීවිතයක් ගත කරන්නට ඇත. එහෙත් 18 වන ශතවර්ෂයේ පැවති එම තත්ත්වය පිළිබඳව වාර්තාගත සංඛ්‍යා ලේඛන නොමැති පසුබිමක් තුළ ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන මවා පෑ හැකි ආකාරයේ අධි මානුෂික ශක්තියක් අයිවන්ට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව අපි පුදුමයට පත්වෙමු. අයිවන් මෙහිදී මහනුවර රාජධානි සමයේ ජීවත් වූ සාමාන්‍ය ගොවි ජනතාවගේ දිළිඳුකම පැහැදිලි කිරීම සඳහා උපයෝගී කරගෙන තිබෙන්නේ ලංකාවේ සිරකරුවකු සහ රට පිළිබඳ සීමිත දැනුමක් තිබුණු රොබට් නොක්ස්ගේ අදහස්ය.

පළමුවෙන්ම මා නොක්ස්ගේ ග්‍රන්ථයට ලැබෙන ඓතිහාසික වැදගත්කම සනාථ කිරීම සඳහා රැල්ෆ් පීරිස්ගේ උපුටා දැක්වීමක් ඉදිරිපත් කරමි.

“ලංකාව ගැන ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද ප්‍රථම ඓතිහාසික කෘතිය වනුයේ රොබට් නොක්ස්ගේ ‘ලංකාව පිළිබඳ ඓතිහාසික වෘතාන්තය’ (1681) නම් ග්‍රන්ථයයි. මෙම ග්‍රන්ථය ලිවීමේදී කර්තෘගේ පරමාර්ථය වූයේ ‘විචිත්‍ර වූ විදේශීය ජනතාවගේ’ අරුම පුදුම සිරිත් ගැන විස්තරයක් ඉංග්‍රීසි පාඨකයන් හමුවේ තැබීමය. කෙසේ වෙතත් සත්‍යයම වූ මානව විද්‍යාත්මක පර්යේෂණ කෘතියක් ඒ මගින් සැපයීමට කර්තෘ සමත් විය. ඔහු කරන විවරණයේ දීර්ඝභාවය සලකා එම විවරණයට ඇතුළත් ඡේදය අවසන් කළ වාක්‍ය පමණක් මෙහි සඳහන් කරමි. “නොක්ස්ගේ කෘතිය ඒ හෙයින් මධ්‍යකාලීන සමාජය පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගත හැකි මාර්ගයක් වශයෙන් නොක්ස්ගේ ග්‍රන්ථය ශතවර්ෂ දෙකකට අධික කාලයක් මුළුල්ලේ ගෞරවයට පාත්‍රවිය. ” රැල්ෆ් පීරිස්ගේ සිංහල සමාජ සංවිධාන” නමැති කෘතියේ ‘මූලාශ්‍ර පිළිබඳ විස්තර නමැති පරිච්ඡේදයෙනි.

දැන් මම එම විවේචනයේ එන ඔවුන්ගේ පුදුමයට හේතුවූ මගේ අධි මානුෂික ශක්තියට අදාළ කතාවට එමි. ඔවුන්ගේ උපහාසයට හේතුවී තිබෙන්නේ කන්ද උඩරට රාජ්‍ය කාලයේදී උපතේදී ස්වාභාවිකව මැරෙන දරුවන්ගේ අනුපාතිකය සේ ම මරා දමන ලද දරුවන්ගේ අනුපාතිකයද ඉහළ මට්මටක පැවති බවට මගේ ලිපියේ එන සඳහනකි.
මේ උපුටා ගැනීම කරන්නේද උඩරට රාජ්‍යයේ සමාජය ගැන විශිෂ්ට පර්යේෂණයක යෙදුණු රැල්ෆ් පීරිස්ගේ එම පර්යේෂණ ග්‍රන්ථයෙනි.

“සිංහලයන් අතරද බහුපුරුෂ සේවනයට තුඩු දෙන ස්ත්‍රී පුරුෂ විෂම අනුපාතයක් යටත් පිරිසෙයින් පළාත් කිහිපයක වුවද දක්නට ලැබෙන්නේද දරුවන් මරා දැමීම නිසා බව නිසැකය. නරක ග්‍රහයක් ලබා උපන් දරුවන් හාමතේ තැබීම, මැරෙනතුරු බිම හොවා තැබීම, වතුරෙහි ගිල්වීම, වතුර භාජනයකට හිස ඔබා තැබීම ආදියෙන් හෝ පණපිටින්ම පිළිස්සීමෙන් හෝ මරා දමන ලද බව නොක්ස් විසින් සඳහන් කොට ඇත. (217 පිටුව)

“1812දී ඇහැළේපොළ අධිකාරම් තුමා අණක් නිකුත් කරමින්ද දරුවන් මරා දැමීම තහනම් කළේය. “ ළමයි තුන් හතර දෙනකු ලැබීමෙන් පසු උපදින දරුවන්ද, අසුභ නැකතට උපදින අයද එසේ නැත්නම් දුප්පත් මාපියන්ට උපදින දරුවන්ද මරා දැමීම සාමාන්‍ය සිරිතක්ව තිබුණි. සමහරවිට මාපියන් විසින්ම මෙවැනි දරුවෝ ගලක ගැසීමෙන් හෝ දියේ ගිල්වීමෙන් මරා දමනු ලැබූහ. ස්ත්‍රී පුරුෂ අනුපාතිකයේ තිබූ විසමතාවද 1820දී ජනගහනය පිළිබඳ වාර්තා සකස් කිරීමට භාරවූ නායකයන්ගේද සැලකිල්ලට භාජනය වූ කරුණක් විය. එවකටත් දරුවන් මරා දැමීම සිදුවන බව ඔවුහු නිසි අනුමානයක් නොමැතිව ප්‍රකාශ කළහ. එමෙන්ම මිනීමැරුමක් බව ඔප්පු නොවන පරිදි ජීවිතක්ෂයට පැමිණ වූ ක්‍රමද ඔවුහු සවිස්තර ලෙස දැක්වූහ.” (එම පිටුව 217)

මා උපුටා දක්වා තිබෙන ළදරුවන් මරා දැමීමට අදාළ සිද්ධීන් සනාථ කරන සාක්ෂි පොතේ කතුවරයා පාද සටහන් මගින් ඉදිරිපත් කර තිබෙන බවද කිව යුතුය.
එක්තරා ඓතිහාසික අවස්ථාවකදී ලොකු දියුණුවක් පෙන්නුම් කර තිබෙන ජාතියක් ඊට පසු තවත් ඓතිහාසික අවස්ථාවකදී ලොකු නොදියුණුවක් පෙන්නුම් කිරීම ලැජ්ජාවට කාරණයක් කරගත යුතු නැත. එවැනි ජාතියකට නැවත නැගී සිටීමට අවශ්‍ය කරන විචාර බුද්ධිය හා චිත්ත ශක්තිය හිමි කරගත හැක්කේ ඇත්ත වසන් කිරීමෙන් නොව තේරුම් ගැනීමෙනි.