නායකත්වයේ උත්තරීතරභාවය පසුපස අධිකාරිවාදයේ සෙවනැල්ල

ටෙරන්ස් පුරසිංහ

සිංහල-බෞද්ධ ජාතිකවාදයෙන් බෞතීස්ම ලැබූ රාජපක්ෂවාදය පොහොට්ටු දේශපාලනයේ පදනම් සාධකය බවට පත්ව තිබේ. රාජපක්ෂ පවුලේ දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගර්භාෂයෙන් ඉපදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාරය උරාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුළු පක්ෂයක් බවට පත් කළේය. එය සිදු වූයේ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයේ දුබතාව සහ බැසිල් රාජපක්ෂගේ දක්ෂ සංවිධාන හැකියාව හේතුකොට ගෙනය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික දෘෂ්ටියෙන් එම පක්ෂ ඉතිහාසයේ දරුණුතම පාවාදීම සිදු කළේ 2014 නොවැම්බර් මාසයේදී එම පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයාය. රාජපක්ෂවාදයේ පරාජය උදාකළ ප්‍රධාන සාධකය ඔහු විය. මෙසේ සිරිසේන කෙරෙහි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා තුළ හටගත් වෛරය ප්‍රකාශයට පත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය වීමෙනි. පොදු ජන පෙරමුණ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල කේන්ද්‍රකරගෙන බිහි වූ දේශපාලන පක්ෂයක් විය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාපකයා මහින්ද රාජපක්ෂ නොවූවද එකී උත්තරීතර නායකයා ඔහුය. ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවරෙක්දැයි තීරණය කිරීමේ සම්පුර්ණ බලය එම පක්ෂයේ උත්තරීතර නායකයා වන මහින්ද රාජපක්ෂ වෙත හිමි වන බව පසුගියදා බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ වල උත්තරීතර නායකයින් නොමැති අතර එබඳු උත්තරීතර නායකයින් සිටින්නේ ෆැසිස්ට්වාදී පක්ෂ වලය. උත්තරීතර නායකත්වය නිරපේක්ෂ වූවකි. එනම් නායකත්වය සාමාජිකත්වයට වඩා උතුම්ය. නායකත්වය සකලවිධ ගුණාංග වලින් පරිපූර්ණය. බුද්ධියෙන්, විචක්‍ෂණභාවයෙන්, වීරත්වයෙන්, මානවවාදයෙන්, දේශප්‍රේමයෙන්, රාජ්‍යතාන්ත්‍රිකභාවයෙන් පරිපූර්ණය. නායකයා අතින් වැරදි සිදු නොවේ. නායකයා අධිමානුෂික වේ. එනම් නායකයා මනුෂ්‍යත්වය ඉක්මවූවෙකි. ඔහු ජන සමාජයේ ආදර්ශය වේ. ඔහු ජාතියේ ප්‍රතිමූර්තියයි. එහෙයින් තීරණ ගැනීමේ පරම අයිතිය ඇත්තේ නායකයාටය. ජනතාව ප්‍රශ්න කිරීමෙන් තොරව එම තීරණ වලට හිස නැමිය යුතුය. මක් නිසාද යත් තීරණ ගැනීම පිළිබඳ කිසිදු දැනුමක් හෝ හැකියාවක් ජනතාවට නොමැති බැවිනි.

පාලකයාගේ උත්රීතරභාවය ඉස්මතු කිරීමෙන් එසේත් නැතහොත් නායකයාගේ උත්තරීතරභාවය ඉස්මතු කිරීමෙන් ජනතාව නායක වන්දනාවට පෙළඹෙන අතර ජනතාව පාලකයා නැතහොත් නායකයා අන්ධානුකරණය කිරීමට පෙළඹෙනු ඇත. එමගින් සාමාජිකත්වයේ නිෂ්ක්‍රීය අවනතභාවය සලසා ගැනීමට නායකත්වය සමත් වේ. නිශ්ක්‍රීය අවනතභාවය යනු ප්‍රශ්න කිරීමෙන් තොරවූ අවනතභාවයයි.

මෙබදු නායකයින් සම්බන්ධයෙන් දැක්විය හැකි රමණීය නිදසුන වන්නේ දෙවැනි ලෝක සංග්‍රාමය අවධියේ ජර්මනියේ නාසිවාදී නායකයා වූ ඇඩෝල්ෆ් හිට්ලර්, ඉතාලියේ ෆැසිස්ට්වාදී නායකයා වූ බෙනිටෝ මුසෝලිනී හා ස්පාඤ්ඤයේ ජෙනරල් ප්‍රැන්කෝය. උත්තරීතර නායකයින් ලෙස ප්‍රතිරූපය ගොඩනගා ගෙන සිටි මොවුන්ගේ දේශපාලන ව්‍යාපාරවල මූලික තේමාව වූයේ උන්මන්තක ජාතිවාදයයි. හිට්ලර් වරක් ප්‍රකාශ කළ පරිදි ‘දෙවියන් වහන්සේ ජර්මන් ජාතිය මෙලොවට බිහි කළේ ලෝකය පාලනය කිරීම සඳහාය.’ ජාතික සමාජවාදය යනුවෙන් හැදින් වූ නාසිවාදය හා ෆැසිස්ට්වාදය සමාජවාදයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ පරම සතුරු මතවාදයක් විය. ජාතිවාදය හෙවත් දේශප්‍රේමය දූෂකයන්ගේ, වංචනිකයන්ගේ හා ඝාතකයින්ගේ ශීතාම්භර පටය හෙවත් ඊනියා දේශපාලන මතවාදය බවට පත් වී තිබේ. ජර්මන් ධනපති පන්තියේ උන්නතිය පිණිස මැද පන්තිය උමතු කිරීම හා මැද පන්තිය නිලංකාර කිරීම සඳහා හිට්ලර් විසින් උපයෝගී කරගනු ලැබූ මතවාදය වූයේ ජර්මන් ජාතිවාදයයි. හැට දෙලක්ෂයකට අධික යුදෙව් සංහාරය ජර්මන් හමුදා විසින් දියත් කරනු ලැබුවේ ජර්මන් ජාතියේ ශ්‍රේෂ්ඨත්වය උදෙසාය. මුසෝලිනීගේ සහ ප්‍රැන්කෝගේ ක්‍රියාවන්ද එසේ විය. මෙසේ උත්තරීතර නායකයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒකාධිපති වූහ. මෑත කාලීනවද එබඳු උත්තරීතර නායකයින් හඳුනා ගැනීමට ලැබේ. ඉන්දුනීසියාවේ සුභර්තෝ, ඉරාණයේ ෂා රජු, උගන්ඩාවේ ඉඩි අමීන්, බංගලාදේශයේ එර්ෂාඞ්, පකිස්තානයේ සියාඋල්හක්, ලිබියාවේ ගඩාපි, චිලියේ පිනෝචේ, එබඳු උත්තරීතර (ඊනියා) නායකයෝය. ඔවුන්ගේ වගතුග අනුව දූෂිත, ජනඝාතක, චෞර ඒකාධිපතීහුය. රට, ජාතිය හා ආගම රැක ගැනීම ඔවුන්ගේ ඊනියා සටන් පාඨ විය. රාජ්‍ය අධිකාරීවාදය හා ජාතිකවාදය අතර ඍජු සම්බන්ධය හඳුනා ගත හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එල්ල වන ප්‍රබලතම අභියෝගය මෙයයි.

උත්තරීතර නායකත්වය පිළිබඳ සංකල්පය මේ වන විට ලාංකීය දේශපාලන කරලිය තුළ ඉස්මතු වී තිබේ. 2005 සිට 2015 දක්වා ක්‍රියාත්මක වූ රාජපක්ෂ රෙජීමය සමයෙහි සිදු වුණු දූෂණ වංචා සහ මිනිස් ඝාතන සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල වෙත චෝදනා සම්භාරයක් එල්ල වුවද යහපාලන ආණ්ඩුවේ නිද්‍රාශීලී පිළිවෙත හේතු කොට ගෙන මේ වන තෙක් පැහැදිලි අධිකරණමය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක නොවීමේ පරිසරය තුළ රාජපක්ෂ පවුලේ නිර්දෝශීභාවය පිළිබඳ මතය ජනතාව තුළ පැතිර යාමෙන් යළිත් රාජපක්ෂ පවුල දේශපාලන කරලියේ වීරයෝ බවට පත් වෙමින් සිටිති. මෙහි වගකීම මුළුමනින්ම වත්මන් ආණ්ඩුව වෙත පැවරෙන අතර අනාගතයේ ඇති විය හැකි ප්‍රතිවිපාක ඉතා දරුණු විය හැක.

ඉහළ ගිය අනුපාත වලින් යුත් විදේශ ණය මුදල් ඇසුරින් සිදු කළ ඉදිකිරීම් මගින් ඇස් නිලංකාර කරවන මායාකාරී භෞතික සංවර්ධනයක් මවා පෑමෙන් රාජපක්ෂ රෙජිමය සමාජයේ සාමාන්‍ය ජනතාව අතර ප්‍රබල ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තේය. දකුණු අධිවේගී මාර්ගය, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යනාදී මහා පරිමාන ව්‍යාපෘතීන් ඉදිකිරීම රාජපක්ෂ රෙජිමය යටතේ සිදු වුවද එම ව්‍යාපෘතීන්ගේ ඵලදායිතාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් පැන නැගිණි. වරාය හා ගුවන් තොටුපල වැනි ව්‍යාපෘතීන් අතිශය අලාභ ගෙන දෙන ව්‍යාපෘතීන් විය. එම ව්‍යාපෘතීන් සඳහා චීනයෙන් ණය ලබා ගත්තේ 5%ත් 8% අතර පොලී අනුපාත වලිනි. ප්‍රතිලාභ නොලැබුණු එම ඉදිකිරීම් පිළිබඳ දැනුමක් සාමාන්‍ය ජනයාට නොතිබුණි. ඕනෑම රටක මහා පරිමාන ඉදිකිරීම් සිදුවන විට පහළ තලයට මුදල් ගලා යාම සාමාන්‍යයෙන් සිදු වන්නකි. මහාපරිමාන කොන්ත්‍රාත්කරුවන්ට දේශපාලනඥයින්ට අති විශාල මුදල් කුට්ටි හිමිවන විට පහළ මට්ටමේ කොටස් වෙත (ප්‍රාදේශීය සභා මට්ටමේ) සුළු පරිමාන මුදල් කුට්ටි හිමිවීම සාමාන්‍ය තත්ත්වයකි. එහි ප්‍රතිපලය වූයේ රාජපක්ෂ රෙජිමය යටතේ යටතේ ප්‍රදේශීය වශයෙන් බලපුළුවන්කාර පිරිස් නිර්මාණය වීමයි. පෙහොට්ටු දේශපාලනයේ පෙරටු බල ඇණිය එම කණ්ඩායමයි. එය පැහැදිලි වශයෙන් උන්මත්තක ජාතිවාදි බලවේගයකි. රාජපක්ෂවාදය නැවත තහවුරු කිරීමට ප්‍රයන්ත දරන්නේ එම කණ්ඩායමයි.

පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙය වීම යටතේ සිදු වූ නාගරික සංවර්ධනය කෙරෙහි නාගරික මැද පාන්තික බලවේග වල දැඩි ප්‍රසාදයක් පවතී. එහෙත් එම නාගරික සංවර්ධනය පසුපස පැවති අධිකාරිවාදය පිළිබඳ ඔවුන්ට පැහැදිලි වැටහීමක් නොතිබේ. විශේෂයෙන් කොළඹ නාගරික ප්‍රදේශයේ දිළිඳු පැල්පත් ඉවත් කිරීමේදී ඍජු වශයෙන් හමුදා බලය යෙදවීම සිදු විය. එම හමුදා බලය ඉදිරියේ උද්ඝෝෂණ හා විරෝධතා යටපත් වී ගියේය. නාගරික අලංකාරය සඳහා දුප්පතුන්ගේ ජන ජීවිතය පාගා දමන ලදී. ඇතැමුන් පෙන්වා දෙන්නේ සංවර්ධනය පවත්වාගෙන යෑම සඳහා මර්දනයද අවශ්‍ය බවයි. එමගින් සමාජ සාධාරණත්වය වළ පල්ලට යනු ඇත.
රාජපක්ෂවාදය පිටුපස ප්‍රබල භික්ෂු බලවේගයක්ද පවතී. සිංහල බෞද්ධ අධිපතිවාදය රටතුළ තහවුරු කිරීම හා සුළුතර ජන කොටස් මැඩලීම එම භික්ෂු බලවේගයේ මූලික අරමුණ වේ. එහෙයින් දූෂිත රාජපක්ෂවාදය සුජාතභාවයට පත්කිරීම සඳහා එම භික්ෂු බපවේගය නිරන්තරයෙන් කටයුතු කරන බව පෙනේ. විශේෂයෙන්ම වත්මන් යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය යටතේ රට කොටස්වලට බෙදී යාම පිළිබඳ ගල් පැලෙන මිථ්‍යා මතය ගෙන හැර පෑම බෞද්ධ බලවේගය විසින් සිදු කරනු ලැබේ.

යහපාලන ආණ්ඩුව 2015 දී බලයට පත් වීමත් සමග රටතුළ සාපේක්ෂ වශයෙන් තහවුරු වූ නිදහස යටපත් කර දමා නැවත අධිකාරීවාදී බිහිසුණු පාලන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා රාජපක්ෂවාදය ඉස්මතු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වී ඇති අතර එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිණිස රාජපක්ෂ උත්තරීතර නායකයා වශයෙන් ඉස්මතු කිරීමට දරන ඊනියා ප්‍රයත්නය සමාජයේ බුද්ධිමත් ජනතාව නිසි පරිදි අවබෝධ කර ගත යුතු වේ. එසේ නොවුනහොත් ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් වලට අත්වන ඉරණම ඛේදජනත විය හැක. සමාජය තුළ විනයක් ඇති කිරීම සඳහා රාජපක්ෂවාදය තහවුරු කිරීම පිළිබඳ කතිකාව සමාජගත වී ඇති අතර එය ආකර්ශනීය ක්‍රියාමාර්ගයක් ලෙස පෙනී ගියද සමාජයේ විනය තහවුරු කිරීම නමැති සංකල්පය පසුපස ඇත්තේ දරුණු ඒකාධිපතිවාදී සෙවනැල්ලක් බව තේරුම්ගත යුතුය.