සැඟවුණු අමුත්තා

ටිරන් කුමාර බංගගමආරච්චි

2015 යහපාලන ආණ්ඩුව බලයට එන්නේ හොරු අල්ලන බවට ප්‍රතිඥා දෙමිනි. එහෙත් සිදුවන්නේ බලා ඉද්දීම යහපාලන ආණ්ඩුව හොරුවීමය. තක්කඩි බවට පත්වීමය. 2015දී රාජක්ෂලා හොරුය. දූෂිතයන්ය. මිනීමරුවන්ය. එහෙත් යහපාලන මුල් වසර පහ ගෙවෙන තැන ඊළඟ මැතිවරණයක් ගැන කතාවන තැන ඇහෙනුයේ රාජපක්ෂලා නැවත කරළියට ඒමක් ගැනය. බලය ඉල්ලා සිටීමක් ගැනය.

යහපාලන ආණ්ඩුව ආ මුල තාජුඩීන් ඝාතනය රාජපක්ෂලාගේ වැඩකි. තාජුඩීන් මුස්ලිම් ජාතිකයකු වුවත් සිරුර පවා ගොඩ ගත්තේය. එහෙත් යහපාලනයේ මුල් කාලය අවසන් වන තැන මහින්ද රාජපක්ෂම කියනුයේ තාජුඩීන් මියගියේ රිය අනතුරකින් බවත්, එයද මිනීමැරුමක් ලෙස තමන් කළ බවට යහපාලනය චෝදනා කළ බවය.
මේ නම් පුංචිපහේ දේශපාලන සරදමක් නොවේ. යහපාලන ආණ්ඩුව හුස්ම අදිද්දී මහින්ද කරනුයේ එළිපිටම ඔක්සිජන් බටය ඇද දැමීමකි. ජනතාව වුව සිතනුයේ එහෙම ලෙඩ ආණ්ඩුවක් තියෙනවට වඩා මරා දැමීම යහපත් බවය. මේ මානසිකත්වය උදා කළේ කවුද? එදා මිනීමැරුමක් රිය අනතුරක් කළ රාජපක්ෂලා අද වසර පහක් ගෙවෙන තැන නැවත එම මිනීමැරුමම රිය අනතුරක් බවට පත් කිරීම කෙසේ විය හැකිද? එය විය හැක්කේ ඔවුන්ගේ පරණ බලය නැවත ඇඟට විත් නොවේද? දැන් නැවත බලපුළුවන්කාරයන් වී ඇත්තේ රාජපක්ෂලාම නොවේද? හැම තැනම කතාබහ රාජපක්ෂලා ගැන නොවේද? නැවත බලයට එන්නේ මොන රාජපක්ෂද? අද දේශපාලනයේ සියලු කතාබහ එය නොවේද? එසේ නම් කාට හෝ දැන් නැවත රාජපක්ෂලා හොරු, මිනීමරුවන්, දූෂිතයන් යැයි කෑගසා කිව හැකිද? වසර පහක් යන තෙක් යහපාලන ආණ්ඩුවට රාජපක්ෂලාගේ එක හොරකමක්, මිනීමැරුමක්, දූෂණයක් හෙළි කළ හැකිවීද? මේ ආණ්ඩුව තවදුරටත් ඒ ගැන කතා හෝ නොකළ යුතුය. ඇත්ත නම් දැන් දෙගොල්ලෝම හොරුය. තක්කඩිය. ඒ නිසා ඒ මුහුණුවරින්ම මුහුණ දෙනු විනා එකිනෙකා සුදනන්වීමට මාන නොබැලීමය.

රාජපක්ෂලා

මෙරට දේශපාලන රාජපක්ෂලාගෙන් තොරවේයැයි 2015 සිතූ බොහෝ අයට වසර පහක් ගෙවෙන තැන සිතන්නට සිදුව ඇත්තේ 2020 එනුයේ මොන රාජපක්ෂද යන්නය. තම රාජපක්ෂ පාලනය ඉදිරියටම ගෙන යනවාද? නැතහොත් සිරිසේන නැවත බලයට ගෙන්වා තමා අගමැති වනවාද යන්න මහින්ද අතේ ඇති තුරුම්පුවකි. මහින්ද රාජපක්ෂට ජනාධිපති තනතුරට ඉල්ලන්න බැරි නිසා ඔහු නිත්‍ය අගමැති වී ඇත. එයට ඔහුට ඕනෑතරම් ජනාධිපතිවරු ඇත. ඒ අතර ප්‍රබලම සිරිසේන හා ගෝඨාභයය. චමල්, බැසිල් හෝ වෙන කවුරු වුව ජනප්‍රිය චරිත නොවේ. ජනතාව දිනාගත හැකි ආකර්ෂණීය චරිත නොවේ. බැසිල් වුව නිතර කියනුයේ දිනන අපේක්ෂකයකු දැමිය යුතු බවය. මහින්ද සමග හදිසි ආණ්ඩු පිහිටවූ සිරිසේන ඒ මුවාවෙන් සිතූයේ මහින්ද සමග එක්ව ඉදිරියට යන්නටය. එහෙත් හදිසි ආණ්ඩු බිඳ වැටීමත් සමග ඒ දෙපළගේ හිත්ද පළුදු වී ඇත්තේ ඒ නාටකයෙන් දෙදෙනාම තුවාල ලැබූ බැවිනි. එහෙත් එයින් අපූරුවට රනිල් ගොඩයතැයි සිතුවද ඔහුද කියන තරම් ප්‍රජාතන්ත්‍රවාදියකු නොවන බව නිතර නිතරම ඔප්පු කළේය. ඒ නිසාම රනිල් ඇදහූ බොහෝ අය දැන් කරු අදහන තැනට තල්ලු වී ඇත්තේ ඒ නිසාය.

කෙසේ වෙතත් තවදුරටත් සිරිසේන සමග ඉදිරියට යනවාද ගෝඨාභය සමග අලුත් ගමනක් යනවාද යන දෙලොවක මහින්ද හිරවී ඇත. ශ්‍රී ලංකා එක අතහැර යෑම එජාපයට වාසි බව දේශපාලන වාටිවල නැවත ඇසෙන කතාවය. මේ කතාබහ පසුගිය පළාත් පාලන මැතිවරණයේදීත් ඇසිණි. එජාපය එය ඕනෑවටත් වඩා විශ්වාස කළේය. එහෙත් පොහොට්ටුව තනිව විශිෂ්ට ලෙස ජය ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට දෙකඩ වී තිබුණද එහි බහුතරය මහින්දවාදීහුය. අනෙක් අතට මහින්දට විරුද්ධ වූ ශ්‍රී ලංකාකාරයන්ට තම බලප්‍රදේශ හෝ ජයගත නොහැකි විය. කොටින්ම ඔවුහු පරාජය වූහ. එසේ නම් ශ්‍රී ලංකා එක රාජපක්ෂලා වෙනම ඉල්ලනවා කී සැණින් පොහොට්ටු බවට පත්වන්නේය. මන්ත්‍රීවරු කොයි සිටියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතාව රාජපක්ෂලා වැලඳ ගත්තේය. ඇත්ත නම් ශ්‍රී ලංකා එක ළංකර ගත්තද නොගත්තද ඒ ඡන්ද මහින්දගේ බවය. දයාසිරි මොන මට්ටමේ කතා කීවද ශ්‍රී ලංකා එකක් දැන් නැතිය. එය මහින්දගේ ඡන්දය. මහින්ද ගෝඨාව දැම්මද සිරිසේනව දැම්මද? එයට වටිනාකමක් ඇත. එහෙත් කොහේවත් නැති සිරිසේන දානවාද? එලෙස දමා රනිල් කළා සේ නැවත සිරිසේනට ජනපති පුටුවේ ඉන්දනවාද? එසේ නැතහොත් තම සහෝදරයාට ඒ තැන දෙනවාද යන තැනදී මහින්ද හිරවී ඇත. වෙල්ගම වැනි තනි දේශපාලන චරිතයක් දෙකක් කෑගසුවද ගෝඨාභය ප්‍රතික්ෂේප කරන පොහොට්ටුකාරයෝ අඩුය. මහින්දට අගමැතිකම කොහොමත් ස්ථිර වුවද හිතුවක්කාරයකු වන ගෝඨාට වඩා එතැනදි සිරිසේන විශ්වාස බව කිව යුතුය. එහෙත් ලේ ප්‍රබල වීමට ඉඩ ඇත. ලේ ප්‍රබල වුවද මෙහිදී වැදගත්ම දේ නම් 19 වැනි සංශෝධනය යටතේ අගමැති ප්‍රබල වුවත් රනිල්ට ඒ ප්‍රබලකම මතුකර ගන්නට නොහැකි වූ මුත් ඊළඟට එන අගමැති කවුරු වුව එසේ නොවී සිටිය හැකියැයි කිව හැකිද? මහින්දගේ ආශිර්වාදයෙන් ජනපති වන අය ඉන්පසු මහින්දට වුවමනා ලෙස වැඩ කළ යුතුය. එහෙත් එතැනදි ගෝඨා මහින්දට අවනත වේද? මහින්ද පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා සිරිසේන කළහොත් ඔහුට මහින්දගේ පදයටම නටන්නට සිදුවේ. රනිල් සමග කළ කෙළි මහින්ද සමග කරන්නට නොහැකි වනු ඒකාන්තය. එහෙත් ජනතාව ලෙස ශ්‍රී ලංකා සහ පොහොට්ටු පාක්ෂිකයන් ගෝඨා තෝරාගෙන අවසන්ය. එයින් මිදෙන්නට මහින්දට කොහොමත් බැරිය. අවසානයේ මහින්දට ගෝඨාවම තෝරා ගන්නට සිදුවනු ඇත. එමෙන් මීට කාලයකට පෙර කී දේ නැවත මතක් කළ යුතුය. එනම් රාජපක්ෂලා සැවොම එකය. ඔවුන් බලය රැකගැනීමේදී එකාවන්ව එකතු වන බවය.

සිරිසේනගේ භූමිකාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර කීවේ ශ්‍රී ලංකා එකේ ජනාධිපති අපේක්ෂයා ජනාධිපති සිරිසේනම බවය. ඒ කතාවට විරුද්ධ වූයේ සිරිසේනම ගෙනා මහ ඇමති ඉසුර දේවප්‍රියය. එදා සිරිසේනගේ හඬක් වූ ඉසුර දැන් රාජපක්ෂවාදීය. කෙසේ වෙතත් දයාසිරිද තම අදහස ඉල්ලා අස්කර ගත්තේය. ඒ අනුව තවම ශ්‍රී ලංකා එකේ අපේක්ෂකයා නම් කර නැත. දැන් කල්වේලා ඇතිව අපේක්ෂකයන් නම් කිරීමට සැවොම බයය. ජනපති සිරිසේන තමා නැවත ඉල්ලන බව නොකීවද ඒ වෙනුවෙන් හැකි උපරිම වැඩ කරමින් සිටී. ඔහු දූෂණය තුරන්කිරීමේ පස් අවුරුදු සැලැස්මක් ගෙන එන්නේ ඇයි? මේ වසරේ යන්න ඉන්නවා නම් පස් වසරක සැලසුම් කුමටද? හොරකම් පිළිබඳ සොයා බලන කොමිසම් පත් කොට ඒ කොමිසම් වාර්තා පවා කඳු ගසා තිබියදී මහින්ද සමග හොර ආණ්ඩුවක් හැදූ සිරිසේන දැන් කෙසේ හෝ බලනුයේ නැවත බලයට එන්නටය. ඒ මහින්දගේ පිහිටෙනි. කට ඉක්මන් කර ඒ තත්ත්වය නැතිවෙතැයි ඔහු ඉක්මන් නොවෙයි. ඔහුටද වුවමනා මහින්ද ලවාම තම අපේක්ෂකයා තමා බව කියවා ගන්නටය. මෑත දේශපාලනයේ බංකොළොත්ම සහ කැතම දේශපාලනයක නියැළි චරිතයක් වේ නම් ඒ සිරිසේනය. ඔහු තරම් දේශපාලන අනාථයකු නැති තරම්ය. ඔහුව කවුරු හෝ කර තබාගෙන යතැයි සිතිය නොහැකිය. ශ්‍රී ලංකා එකෙන් ඔහු අපේක්ෂකයා වුවද ඔහුට අන්ත පරාජයක් මිස ලැබිය හැකි ජයත් නැත.

රනිල්ගේ කැපවීම

රනිල් මේ මොහොතේ උපරිම කැපවන්නේ තමන්ම අනාගත එජාප අපේක්ෂකයා වන තැන සිටය. ඒ සඳහා ඔහු තනි ගමනක් යයි. පන්සල්වල යමින් මහින්ද භූමිකාවද ඉටුකරමින් සිටී. රණවිරුවන්ව සිරිසේන මෙන්ම රනිල්ද වැලඳ ගෙන ඇත. මේ සියල්ල අනාගත ඡන්ද සූදානමය. එහෙත් රනිල්ද ජනාධිපතිවරණයට එන්නේ තමන්මයැයි කියන්නට ඉක්මන් වන්නේ නැත. තමා ජනාධිපති අපේක්ෂකයා වී අගමැති සජිත් කිවහොත් එජාපයේ ගමන ශක්තිමත් වනු ඇත. එහෙත් දහනවය සමග ශක්තිමත් අගමැති බැවින් සජිත් අගමැති බව කියන්නට රනිල්ද දෙවරක් හිතනු ඇත. මේ අනුව බලන කල නායකයෝ සැවොම උගුලක හිරවී සිටිති. මහින්ද මෙන්ම රනිල්ද ඊළඟ අපේක්ෂකයා තේරීමේ උගුලේ හිරවී සිටිති. මහින්ද කාගේ වුව අගමැති වනවිට රනිල් කල්පනා කරනුයේ සජිත්ට අගමැතිකමදී අවැඩක් කරගන්නවාද යන්නය. එහෙත් නාමිකව හෝ රනිල් සිටින තාක් කල් සජිත් හිස ඔසවන්නේ නැත. ඒ පක්ෂපාතීකම හෝ නිවටකම ස්ථිරය. ඒ නිසා මේ මොහොතේ කරු දමනවාට වඩා රනිල්ට වාසි සජිත් අගමැති කිරීමය. කරු ගෙන ඒමට අද සිවිල් සංවිධාන එකමුතුව උත්සාහ කරනු පෙනේ. ඔවුන්ට ගැළපෙන නායකයා කරුය. කරු ඕනෑම මොහොතක ඒ අයගේ කරුවක් කරගත හැකිය. අගමැති ලෙස කරු පත්වුවහොත් ඔහුට දහනවයේ බලය දෙන්නට මේ පුරවැසි නඩය උත්සාහ කරනවා නියතය. ඔවුන් දැන් අනාගත එජාප නායකයා ලෙස තෝරාගෙන ඇත්තේ කරුවය. ඒ අය නොබෝදා කරු වෙනුවෙන් දමන දැන්වීම දුටුවිට කරු තරම් කෙනෙක් ඇත්දැයි හිතෙන තරම්ය. ඒ වාක්‍ය ලැජ්ජාසහගතය. එජාපය විනාශ කළේ කරුය. ඒ මහින්ද ළඟට බල්ටි ගසාය. නිකන් නොව දාහත් දෙනකු සමගය. එහෙත් ආපසු ආවේ තනියමය. ගම්පහදී පබාටත් පරාජය වූ කරු මෙතරම් වීරයකු වී ඇත්තේ මේ නොබෝදා මහින්ද සිරිසේන ආණ්ඩුවේදී කතානායක ලෙස ක්‍රියා කළ විදිහ අනුවය. එවිට කරු නැටුවේ මේ අද දැන්වීම් පළුකරන පුරවැසි සංවිධාන එකමුතුවට ඕනෑ පදයටය. කවුරු කවුරුත් තමන්ගේ පදයට නටන කෙනා හොඳම කෙනා ලෙස තෝරති.

ජවිපෙ

ජවිපෙ සිටිනුයේ විස්සට සහය දෙන්නේ කවුද ඔහුට අපගේ සහය කියන ස්ථාවරයේය. මහින්ද එය ප්‍රතික්ෂේපම කර නැත. ඒ අනුව හෙට දවසේ විස්සට සහය දෙන බව කී විට ජවිපෙ සහය මහින්දටද? නැතහොත් රනිල් කිවහොත් විස්සට තමා සහය දෙන බව එවිට නැවත සහය රනිල්ටද? ජවිපෙ තේරුම් ගතයුත්තේ අද සියලු පක්ෂ ලෙසම ඔවුන්ද බංකොළොත් වී ඇති බවය. ඔවුන්ගේ දේශපාලනය ජනප්‍රියව වී ඇත. එහෙත් ඵලදායී වී නැත. එජාපයට ගමනක් යන්නට නම් අවැසි දෙමළ සහ මුස්ලිම් ඡන්දය. ඒ නිසා දෙමළ සන්ධානය තරම් එජාපයට කිසිවෙක් නොවටී. දෙමළ ජාතික සංවිධානයට වුව එජාපය තරම් කිසිදු පක්ෂයක් විශ්වාස කළ නොහැකිය. ඒ අනුව බලන කල දෙමළ ජාතික සන්ධානය තරම් ජවිපෙ කිසිසේත්ම කැපී නොපෙනේ. විස්ස යනු ජවිපෙ පවා දන්නා බොරුවකි. එහෙත් ඔවුහු ඒ බොරුව පෙන්වමින් කාලය කති. එජාපය, ශ්‍රී ලංකා සහ පොහොට්ටුව තරම්ම ජවිපෙ කරනුයේත් බොරුවය. මේ බව දන්න නිසාම අවසානයේ ජනතාව තෝරා ගනුයේ ප්‍රධාන පක්ෂ දෙක පමණි.

දේශපාලන ඔස්තාද්ලාගේ අදහස ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු පක්ෂයක් සැලකිය යුතු ජයග්‍රහණයක් නොලබන බවය. එහෙත් මේ යන රටාව අනුව පැහැදිලිවම එක් පාර්ශ්වයක් විශිෂ්ට ලෙස දිනන බව කල් තබාම කිව යුතුය. ලංකාවේ දේශපාලනය සූදුවකි. එයට ඕනෑම අයකුට ඔට්ටු ඇල්ලිය හැකිය. මෙතෙක් කළේ එලෙස ඔට්ටු අල්ලා දිනූ අය දේශපාලන විචාරකයන්, විශ්ලේෂකයන් වීමය. ඉන්පසු දිනන පැත්තට තල්ලු වී තම වාසියට වැඩ කිරීමය. ඒ අතින් දේශපාලකයා තරමටම දේශපාලන දැනුම් ඇත්තෝද, චින්තකයෝද දූෂිතයෝය. එහෙව් රටේ ජනතාව එකකු රජ නොකර පුටුව හිස් කරන්නේ නැත. ජනතාව පුදුම කර ජනාධිපති අපේක්ෂකයා නම් කරන එක දැන් සියලු පාර්ශ්වවල සතුට වී ඇත. එය ජනතාවටද සතුටක්ය. ජනතාව වුව අටෝරාසියයක් ප්‍රශ්න තිබුණද දහඅතේ කල්පනා කරනුයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයන් කවුද කියාය. දිනවන්නේ ඉන්පසුවය.