2019 ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද?

විපුල කරුණාතිලක

ඉදිරි ජනාධිපතිවරණය ඉතාම අවිනිශ්චිත වන්නේ ගොඩනැගී ඇති දේශපාලන බලවේග පෙළගැස්ම අනුව කිසිදු පාර්ශ්වයකට ප්‍රකාශිත ඡන්දයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ගත නොහැකි වීම නිසාය. මීට පෙර පැවති සෑම ජනාධිපතිවරණයකදීම ප්‍රධාන පාර්ශ්ව දෙකට අනෙක් දේශපාලන බලවේග බෙදී යාම දක්නට ලැබුණි. බලවේග දෙකේ ප්‍රධාන දෘෂ්ටිවාද දෙකක් මත සංවිධානය වීම සාමාන්‍ය දේශපාලන හැසිරීම විය. තවත් සැලකිය යුතු විශේෂ කරුණක් වන්නේ ඉදිරිපත් වන අපේක්ෂකයා පරාජය කිරීමට වීම අපේක්ෂක පාර්ශ්වයේ යම් පිරිසකට අවශ්‍ය නොවීමයි. 2015 අවසන් ජනාධිපතිවරණයේදී මෛත්‍රී ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය මර්දනය යහපාලනය නමින් දෘෂ්ටිවාදයක් ගොඩනගාගෙන තිබුණි. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශප්‍රේමය, යුරෝපයේ කොටි විදේශීය කුමන්ත්‍රණ නමින් දෘෂ්ටිවාදයක් ගොඩ නගාගෙන තිබුණි. එහිදි මහින්දගේ දෘෂ්ටිවාදයට වඩා මෛත්‍රීගේ දෘෂ්ටිවාදයට වැඩි පිරිසක් ආකර්ශණය කර ගැනීමට හැකියාව ලැබුණි. මෛත්‍රීපාලගේ දෘෂ්ටිවාදයට ජනතාව ආකර්ෂණය කර ගැනීමට තීරණාත්මක වැඩ කොටසක් කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සුළු ජාතීන්ගේ අයිතීන් ආදිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානය. මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ තීරණාත්මක වැඩ කොටස කරනු ලැබුවේ භික්ෂූන් වහන්සේලාය.

දැනට පවතින දේශපාලන බලවේග වල ගතිකයන් සැලකූ විට ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකකට බෙදීම ඉතා අපහසුය. ප්‍රධාන කණ්ඩායම් දෙකට අවශ්‍ය දෘෂ්ටිවාද දෙකක් ගොඩ නැගීමට අපහසු වී ඇත්තේ ගොඩ නගන දෘෂ්ටිවාදය අතර බැඳියාවක් ඇති පිරිස බෙදීමට ඇති අපහසුතාවයි. උදාහරණයක් ලෙස දූෂණ විරෝධය යන දෘෂ්ටිවාදය තව දුරටත් ප්‍රධාන පක්ෂ දෙකටම ප්‍රයෝජනයට ගත නොහැකි වීමයි. යහපාලනය යන්න දැනටමත් හාස්‍යට ලක් වී ඇත. එක්සත් ජාතික පක්සයේ රනිල්, චම්පික එකතුවේ දෘෂ්ටිවාදය බවට පත් වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් ජාතික සංවිධානයයි. මෙම සංධානයට යන දෘෂ්ටිවාදයට සජිත් ප්‍රමදාස ප්‍රමුඛ නව මන්ත්‍රීවරුන් පවා එකග කරවා ගැනීමට අපහසු වී ඇත. මෙම දෘෂ්ටිවාදයේ නිර්මාතෘ වන චම්පික රණවක බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂය ජයගතහොත් අගමැති තනතුර ලැබීමේ තත්ත්වයක් ඇත. චම්පික දැනටමත් ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධි ජනපති ප්‍රයත්නයට එරෙහි වීමේ ගෞරවය තමන්ට හිමි විය යුතුයි යන්න ස්ථාපිත කර ඇත. එය පරාජය කිරීමට කටයුතු කළ දෙමළ ජාතික සංධානය, ජානතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන සියල්ල අවතක්සේරු කර ඇත. චම්පික මේ සියලු බලවේග අවතක්සේරු කරන්නේ තමන්ට එම බලවේග නතුකර ගැනීමට නොහැකි නිසාය. ඔක්තෝබර් 26 වන විට එක්සත් ජාතික පක්ෂයට නීතිපතිට එරෙහිව නඩු පැවරීමට දක්ෂ නීතිඥයෙක්වක් සිටියේ නැත. නීතිපතිට එරෙහිව නඩු පවරණු ලැබුවේ විපක්ෂ නායක විසිනි. විපක්ෂනායකවරයාගේ නීතිඥය වූයේ කනගීෂ්වරන්ය. තනාපති කාර්යාල ප්‍රමුඛ යුරෝපීය ප්‍රජාව දැනුවත් කිරීමේ කටයුතු කරනු ලැබුයේ උයන්ගොඩ නිහාල් ජයවික්‍රම ජෙහාන් පෙරේරා වැනි සිවිල් සංවිධාන සාමාජිකයන්ය. ජෙහාන් ජනාධිපතිට එරෙහිව මහජන විරෝධතා සංවිධානයට ප්‍රමුඛත්වය ගන්නේ ජනතා විමුක්ති පෙරමුණය. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද හා චම්පිකගේ හැසිරීම මත සිවිල් ප්‍රජාතාන්ත්‍රික සංවිධානය යන දෘෂ්ටිවාදය තිරසර කළ හැකිද යන්න සැක සහිතය. ජනතා විමුක්ති පෙරමුණ කිසි දිනක චම්පික උගුලේ නොවැටෙනු ඇත. සිවිල් සංවිධානද චම්පිකගේ උගුලේ නොවැටෙනු ඇත.

මහින්ද මෛත්‍රීගේ මත්ද්‍රව්‍ය විරෝධය, දූෂණ විරෝධය, මහින්ද පන්සල් යෑම වැනි දෘෂ්ටිවාද එකතුව පාවෙන ඡන්දදායකයන් ආකර්ෂණය කිරීමට හේතු වන්නේ නැත. දේශප්‍රේමය තවදුරටත් මහජනයා, ආකර්ෂණය කිරීමට හේතු වන්නේ නැත. තවද මහින්ද හා මෛත්‍රීට තමන්ගේ දෘෂ්ටිවාද තුළ ඒකමිතිය පවත්වා ගැනීමට නොහැකි වී ඇත. පොහොට්ටු පක්ෂයේ පිරිසක් තමන්ට ප්‍රමුඛත්වය ලැබිය යුතු බවට අභ්‍යන්තර අරගලයක් රැගෙන යති. ගෝඨාභය රාජපක්ෂගේ බැඳියාවන්ට වෙල්ගම වැනි අය කැමති නැත. බැසිල් රාජපක්ෂගේ කණ්ඩායමට ගෝඨාභය රාජපක්ෂගේ පිරිස කැමති නැත. බොහෝ දුරට මහින්ද, ගෝඨාභය, බැසිල් යන බලවේග තුනම එකතු කරන සාධකය මෛත්‍රී වුවහොත් එතන තරඟකාරීත්වය එජාපයට අභියෝගයක් වනු ඇත. නලින්ද සිල්වා යෝජනා කර ඇත්තේද මෙයයි. ගැටලුව ගොඩනගා ගන්නා දෘෂ්ටිවාදය කුමක්ද යන්නයි. මෛත්‍රීගේ දූෂණ විරෝධය මහින්ද නිසා විහිළුවක් බවට පත් වෙයි.

දෙමළ ජාතික සංධානයට මෛත්‍රී මහින්ද දෘෂ්ටිවාදය සමග එකඟ විය නොහැකිය. ඔවුන් බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට සහයෝගය දෙනු ඇත. මුස්ලිම් දේශපාලන පක්ෂද තමන්ට වැඩි කේවල කිරීමක් ඇති එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙනු ඇත. තීරණාත්මක පාර්ශ්වයක් වන ජනතා විමුක්ති පෙරමුණට රනිල් ප්‍රමුඛ තරඟයට හෝ මෛත්‍රී මහින්ද පාර්ශ්වයට සහයෝගය දීම කළ හැකිද යන්න ප්‍රශ්නකාරීය. මේ වන විට ඔවුන් පෙනී සිටින දූෂණ විරෝධි සටන් පාඨය සමග ප්‍රධාන දේශපාලන බලවේග දෙකටම සහයෝගය දිය නොහැකිය. සිවිල් සංවිධාන වලටද තම පරමාදර්ශය සමග ප්‍රධාන දේශපාලන බලවේග දෙකටම සහායෝගය දිය නොහැකිය. පසුගිය ජනාධිපතිගේ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු විසිර වීමට එරෙහි වීම යන කාරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදුන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වය කිසි අවස්ථාවක අගය කළේ නැත. ඒ නිසා ඔවුන්ද සිටින්නේ කලකිරුණු ස්වභාවයකය.

ඒ අනුව 2019 ජනාධිපතිවරණය දිනීමේ ප්‍රධාන සාධකය වීමට නියමිතව ඇත්තේ ප්‍රධාන පාර්ශ්ව දෙක තුළ අභ්‍යන්තර අර්බුද ඇති කර අනෙක් පාර්ශ්ව වාසිදායක තත්ත්වයක් ඇති කිරීම පමණි. උදාහරණයක් ලෙස රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සන්ධානය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට සජිත් ප්‍රේමදාස ලවා එය පරාජය කිරීමය. මෛත්‍රීපාල ප්‍රමුඛ සන්ධානය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට බැසිල් රාජපක්ෂ ලවා එය පරාජය කිරීමය. එම නිසා ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය වීමට නියමිතව ඇත්තේ තමන්ට ප්‍රතිපක්ෂ පිලේ තමන්ට පක්ෂපාතී පිරිස වැඩි කර ගැනීම තුළින් පමණි. එය දැනටමත් ප්‍රධාන පාර්ශ්ව දෙක ආරම්භ කර ඇත.