ස්වර්ණවාහිනියේ සමබර ප්‍රවෘත්ති

රසික ගුණවර්ධන

ස්වර්ණවාහිනියේ මාධ්‍ය සේවකයෝ සිය හාම්පුතුන්ට එරෙහිව ගෙනගිය අරගලය ලිපිය ලියන විටත් එලෙසමය. අරගලයට හේතුව අත්තනෝමතික පාලනය සහ සේවකයන් මර්දනය කිරීම යන කාරණා අරභයාය. එකී විරෝධතාවට පාදක වූ සිදුවීම සැකවින් මෙසේය.

පසුගිය මාර්තු මස 18 වැනි දින දිවා විවේකයේදී ආයතනයේ සේවකයන් 250ක පමණ පිරිසක් ආයතනයේ රථ ගාලට රැස්වී වෘත්තීය සමිතියක් පිහිටුවීමට අදාළව සාකච්ඡා කොට තිබුණි. එයින් අනතුරුව මාර්තු මස 19 වන දින උදෑසන එකී වෘත්තීය සමිති පිහිටුවීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළ සේවකයින් 15 දෙනකුගේ සේවය අත්හිටුවීමට ස්වර්ණවාහිනී ප්‍රධාන විධායක නිලධාරියා තීරණයක් ගෙන තිබුණි. ඊට හේතුව ලෙස ඔවුන් දන්වා තිබුණේ අදාළ රැස්වීම හේතුවෙන් ආයතනයේ දෛනික රාජකාරි වලට බාධා පැමිණීමත් රැස්වීමට සහභාගි වූ සේවකයන් නියමිත වේලාවට රාජකාරි ස්ථානවලට වාර්තා කිරීමට අපොහොසත් වීමත් යන කරුණුය.

පාලන අධිකාරියට සේවකයන් ඉවත් කිරීමට විවිධ තර්ක ගෙන එමින් විවිධ කාරණා ඉදිරිපත් කළ හැකිය. ඒවායේ සත්‍යාසත්‍යභාවය දන්නේ සේවකයන් සහ පාලනාධිකාරිය පමණි. එහෙත් පෞද්ගලික වේවා රජයේ වේවා ඕනෑම ආයතනයක සේවකයන්ට වෘත්තීය සමිතියක් පිහිටුවාගෙන සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට හා කතා කිරීමට අයිතියක් ඇත. එය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම පවරා ඇති අයිතියකි. කෙසේ වෙතත් ඒ අයිතීන් කොළ කෑල්ලකට පමණක් වූ අයිතීන් බවට සීමා වී ඇත්තේ අද ඊයෙක සිට නොවේ. ලංකාවේ එකදු පෞද්ගලික විද්‍යුත් නාලිකාවක හෝ වෘත්තීය සමිති පිහිටා නැත. ඊට ආයතනික පරිපාලන අවසර ලබා දෙන්නේ නැත.
ස්වර්ණවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරියා අභියෝග කොට ඇත්තේද, උල්ලංඝනය කොට ඇත්තේද සේවකයන්ට ඇති අයිතියයි.

සේවකයන් ඊට විරෝධය පළ කරමින් ප්‍රවෘත්ති විකාශයන් ඇතුලු දෛනික සජීවී විකාශනයන්ගෙන් ඉවත් වී ඇත. සේවකයන් තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ඉතාම වැදගත් ඉදිරිගාමී කටයුත්තකි. ස්වර්ණවාහිනි සේවකයෝ ප්‍රකාශ කරන පරිදිම ආයතනයේ වැඩසටහන් තෝරා ගැනීම විකාශය කිරීම හෝ නොකිරීම සාමාන්‍ය පටිපාටියෙන් පරිබාහිරව ඒවා තීරණය කොට ඇත්තේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසිනි. එපමණක් නොව ආයතනයේ සේවකයන්ගේ සියලු අයිතිවාසිකම් කප්පාදු කිරීමටද ඔහු කටයුතු කර ඇත. ස්වර්ණවාහිනියේ සේවකයෝ වෘත්තිය සමිති පිහිටුවා ගැනීමට උත්සාහ කොට ඇත්තේ ඒ හේතුවෙනි.

එහෙත් මෙම සිදුවීම හුදෙකලාව ස්වර්ණවාහිනියේ පමණක් සිදුවන සිදුවීමක් නොවේ. මාධ්‍යවේදීන්ගේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් තමන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් මාධ්‍ය යොදා ගන්නා මාධ්‍ය හිමිකරුවන් ස්වර්ණවාහිනියේ සේම අනිකුත් මාධ්‍ය ආයතනවල ද සිටින බව සැබෑවකි. ස්වර්ණවාහිනියේ මෙම විරෝධතාව අනෙකුත් විද්‍යුත් නාලිකාවල ප්‍රචාරය නොවන්නේ ඒ හේතුවෙනි. ඔවුන්ට සදාචාරාත්මකවද හෘදය සාක්ෂියට එකඟවද මෙම සිදුවීම ප්‍රචාරය කළ හැක්කේ නොවේ. මක්නිසාදයත් ස්වර්ණවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරියා බෙදන හැන්දෙන්ම අනෙකුත් පෞද්ගලික වේවා රජයේ වේවා මාධ්‍ය ආයතන වල ප්‍රධාන විධායක නිලධාරීන්ද සිය සේවකයන්ට බෙදන බැවිනි. එසේ වුවහොත් මේවා දැක තමන්ගේ සේවකයෝද කුලප්පු වනු ඇතැයි ඔවුන්ට සිතීමටද පුළුවන. ස්වර්ණවාහිනියෙන් මතුවූ මෙම ලණු පොට නතර වන්නේ අනෙකුත් මාධ්‍ය ආයතන වල බාල්ක වලිනි.

මෙය එක්තරා ආකාරයකට සැඟව පැවති සංඛ්‍යාත කොල්ලයකි. මාධ්‍ය ආයතන විසින් මුදල් දී ලබා ගන්නා සංඛ්‍යාත වල හිමිකම ඇත්තේ පොදු මහජනතාවටය. එනිසා මුදල් දී ලබා ගත්තද එම සංඛ්‍යාත තමන්ගේ පටු පෞද්ගලික අරමුණු වෙනුවෙන් යොදා ගැනීම නිවැරදි කාරණාවක් වන්නේ නැත. එහෙත් සිදු වන්නේද, සිදු වූයේද එයයි. ස්වර්ණවාහිනියෙන් ආරම්භ වූ මේ හඬ ගමන් කළ යුත්තේ එතැනටය. එසේ නොමැතිව ආයතනික විධායක නිළධාරියා අනවශ්‍ය ලෙස මැදිහත් වීම යන සරල පොදු කාරණයට නොවන බව අපගේ අදහසයි. කෙසේ වෙතත් ඊට අවශ්‍ය ප්‍රතිවිරෝධය ස්වර්ණවාහිනියෙන් හෝ ඇරඹීම වැදගත්ය.

වෘත්තීය සමිතියක් පිහිටුවීමට කටයුතු කිරීම යන කාරණය මත සේවකයන් ඉවත් කිරීමම විශාල මර්දනයකි. එවැනි සුළු සිද්ධියකට පවා සේවකයන් සේවයෙන් ඉවත් කර ඉන් පසුව ඇතිවන ප්‍රතිරෝධය වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය භටයන් ගෙන්වාගැනීමට ස්වර්ණවාහිනී පාලනාධිකාරියට සිදු වන්නේ එහෙයිනි. ස්වර්ණවාහිනී පාලනාධිකාරියට අවශ්‍ය වී ඇත්තේ මෙතරම් කාලයක් හිටියා මෙන් තමන් කරන කියන දේ බලාගෙන සිටින සේවකයන් පිරිසක් බව පැහැදිලිය. එය ස්වර්ණවාහිනියේ පමණක් නොව සියලුම මාධ්‍ය ආයතන වල ඛේදාන්තය හෙළි කරවන්නකි. එය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවල සැබෑ තත්ත්වය මතු කරවන්නකි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ මාධ්‍ය මාෆියාවකි. බොහෝ මාධ්‍ය හිමිකරුවෝ මාධ්‍ය යොදා ගන්නේ තමන්ගේ දේශපාලනික ඕනෑ එපාකම් වෙනුවෙනි. මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙන් කරන ගුවන් කාලය කොපමණද රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වෙන් කරන ගුවන් කාලය කොපමණද අනුර කුමාර දිසානායක වෙනුවෙන් වෙන් කරන ගුවන් කාලය කොපමණද යන්න තීරණය කරන්නේ ඔවුන් විසිනි. එසේ ඔවුන් විසින්ම තීරණය කොට අපක්ෂපාතී වාර්තාකරණයය යනුවෙන් ලේබල් ගසා ජනතාව ගොනාට අන්දයි.

මාධ්‍ය ආයතන උදේ හවස කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවය. යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳවය. මේවා මවාපෑම්ය. තමන්ගේ ආයතනයේ සේවය කරන සේවකයන්ට පවා අයිතිවාසිකම් නොදෙන සාධාරණයක් ඉටු නොකරන මාධ්‍ය ආයතන රජයට හෝ වෙනත් ඕනෑම අයකුට රටේ මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්නැයි කියන්නේ කෙසේද?

මාධ්‍ය නිදහස

මේ කාලසීමාව මාධ්‍ය නිදහස පිළිබඳව ගැඹුරින් සහ ප්‍රබලව කතා වන කාලසීමාවකි. එසේ සිදුවී ඇත්තේම මාධ්‍ය නිදහස මේ වන විට සීමාවට ලක් වන බැවිනි. ආයතනයක ප්‍රධානියා වේවා එසේ නැතිනම් වෙනත් අයකු වේවා මාධ්‍යවේදියකුට නියෝග කරන විට හෝ ඔහු විසින් ප්‍රකාශයට පත් කරනු ලබන හෝ විකාශයට පත් කරනු ලබන කාරණා පිළිබඳව තීරණය කරන තැනකට පැමිණීමම මාධ්‍ය නිදහස සීමා කිරීමකි. මක්නිසාදයත් මාධ්‍යවේදියා සහ මාධ්‍ය යනු සම්පූර්ණයෙන්ම හිමිකාරීත්වයෙන් පරිබාහිරව පවතින බැවිනි. හුදෙක් මාධ්‍ය හිමිකරුවා යනු වෙළෙන්දෙකි.

ස්වර්ණවාහිනියේ පමණක් නොව අනෙකුත් මාධ්‍ය ආයතන වලද ස්වර්ණවාහිනියේ සේම හැසිරීමක් පෙන්නුම් කළ ද එම සේවකයෝ කිසිවිටක ඊට එරෙහිව පෙනී සිට නැත. ස්වර්ණවාහිනියේ සේවකයෝ මෙවර පෙනී සිටියේ ප්‍රශ්නය කරවටක් ගිලී තමන්ට එය පාරාවළල්ලක් වූ තැනය. ඒ නිසා මාධ්‍ය නිදහසක් උවමනා යැයි කියන මාධ්‍යවේදියෝ ද තමන්ගේ මාධ්‍ය ආයතනයේ ලොක්කන්ගේ මර්දනයට යටත් වී සිටිති.

ඒත් බොහෝ විට කතා බහට ලක්වන්නේ රජයන් විසින් සිදු කරන මාධ්‍ය නිදහස සීමා කිරීම සම්බන්ධවය. එහෙත් අප සිතන ආකාරයට වඩා වැදගත් වන්නේ මාධ්‍ය ආයතන හිමිකරුවන් විසින් ඒවායේ අන්තර්ගතය තමන්ට වුවමනා ආකාරයට හැසිර වීමට සිදුකරන්නා වූ ඒකාධිපති මැදිහත් වීමයි. මාධ්‍ය නිදහස ඉතාමත් සෘජු ලෙසද වඩා බලපෑම් සහගත ලෙස ද අහිමි වන්නේ මේ මැදිහත්වීම් හරහාය.

කීවේ ඇත්තද?

ස්වර්ණවාහිනියේ සේවකයෝ ප්‍රශ්නය තමන්ගේ වූ පසු කියන මේ කතා ඔස්සේ ප්‍රේක්ෂකයන්ට වැදගත් සේම ප්‍රබල ප්‍රශ්නයක් පැන නැගෙනු ඇත. එනම් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියාට යටත් වී ඔවුන් මෙතරම් කාලයක් කීවේ ඇත්තද යන්නයි. එසේ නම් මේ ප්‍රශ්නය තමාගේ වනතෙක් ඔවුන් කියා ඇත්තේ ප්‍රධාන විධායක නිළධාරියාට අවශ්‍ය දෑය. බොහෝ විට මෙම තහනම ඉවත් කළ සේවකයින් නැවත සේවයට බඳවා ගැනීමෙන් පසුව සුපුරුදු පරිදි නැවතත් ක්‍රියාත්මක වීමට ඉඩ ඇත.

රජය

යහපාලනය යැයි කියා මුලින් පැමිණි, දැන් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මහ ඉහළින් කතා කරන මාතෘකාවක් වන්නේ මාධ්‍ය නිදහසය. ඔවුහු විටින් විට විවිධ උපහැරණ ගෙන හැර පාමින් මාධ්‍ය නිදහස තමන්ගේ පාලන කාලසීමාව තුළ ඉතා ඉහළින් ලබා දුන් බවට පුරසාරම් දොඩති. අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පවා විටින් විට කියන්නේ ජනමාධ්‍ය ස්වාධීන විය යුතු බවයි. එහෙත් එකී රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරු පවා මේ සිදු වීම සම්බන්ධව කිසිදු නිවේදනයක් හෝ නිකුත් කර නොමැත. එහෙව් ඇමතිවරු තව ටික කලෙකින් ජනමාධ්‍ය නිදහස ගැන නැවත උදම් අනනු ඇත.
එසේම ස්වර්ණවාහිනිය අයත් ඊ. ඒ. පී ව්‍යාපාර ජාලය පසුගිය කාලයේ දරුණු කඩාවැටීමකට ලක් වූ අතර එයට අයත් ඊ. ටී. අයි. මූල්‍ය ආයතනයේ සිදු වූ මූල්‍ය වංචාව මේ වනවිටත් නොවිසිඳුණු තවමත් කතාබහට ලක්වන ප්‍රධාන ප්‍රශ්නයකි. ඒ පිළිබඳව රජය අනුගමනය කරන ක්‍රියාවලිය නම් ඊ. ටී. අයි පාර්ශ්වය ආරක්ෂා කිරීමත් වින්දිතයන් පිළිබඳව කිසිදු සැළකිල්ලක් නොදක්වා සිටීමත්ය. යහපාලන රජය වේවා වෙනත් රජයක් වේවා ඒ සෑම දෙනාටම අවශ්‍ය තමන්ගේ බලය රැක ගැනීමට මාධ්‍ය යොදා ගැනීමේ අරමුණ විනා මාධ්‍ය ස්වාධීන කිරීමේ අවශ්‍යතාවක් නොවේ.
ඒ නිසා බලයට පැමිණීමට පමණක් මාධ්‍ය වල ස්වාධීනත්වය ගැන කතා කළද මෙවැනි සිදුවීම් හමුවේ ඔවුන් මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටී යැයි සිතීම විහිළුවකි.