දික්වැල්ල පොලිසිය උසාවිය නොමග යවයි

නිමල් අබේසිංහ

ඉඩම් ආරවුලක් නිසා ඇති වූ ගැටුමකින් එක් පාර්ශ්වයක අයකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවට දේශපාලන හිතවත්කම් මත අධිකරණයට ව්‍යාජ තොරතුරු දක්වමින් අනෙක් පාර්ශ්වකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දික්වැල්ල පොලිසිය උත්සාහ කර තිබේ.

මෙම ආරවුල සිදුව ඇත්තේ 2019 මාර්තු 10 වැනිදා රාත්‍රී 8.30 ට පමණ වන අතර දෙපාර්ශ්වයම දික්වැල්ල පොලිසියේ පැමිණිලිද සටහන් කොට ඇත.

ඒ අනුව 2019 මාර්තු 19 වන දින එක් පාර්ශ්වකරුවකු වන මහී ගලප්පත්ති පොලිසියට පැමිණ ඇති අතර ඔහු එදින පොලිස් අත්අඩංගුවට ගෙන පසු දින (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙහි පැමිණිලිකරු වන රත්නසිරි ධර්මදාස යන අය බරපතළ තුවාල සහිතව මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බවට අධිකරණයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කරුණු ඉදිරිපත් කර ඇත.

රාවය මේ පිළිබඳව මාතර මහ රෝහලෙන් විමසනු ලදුව එහි ප්‍රකාශකයකු අවධාරණය කර සිටියේ රත්නසිරි ධර්මදාස නමැති අයකු මාර්තු 19 හෝ 20 දින තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන නැති බවයි. රත්නසිරි ධර්මදාසගේ බිරිඳ දික්වැල්ල ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වන අතර ඇයගේ පෙළඹවීම මාතර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ ප්‍රබලයකුගේ උවමනාව මත දික්වැල්ල පොලිසිය හා මාතර දිස්ත්‍රික්කයේ ඉහළ පොලිස් නිලධාරියකුගේ උපදෙස් පොලිසිය අධිකරණයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවද රාවයට දැනගන්නට ඇත. මේ පිළිබඳව විමසීමට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. එම්. මාරපන දික්වැල්ල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද කුලසේකර සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ විය. ■