අසන්ධිමිත්තා ජීවිතය අනතුරකද?

විමලනාත් වීරරත්න

සොබාදහම මගින් ස්ත්‍රිය ප්‍රතිකල්පනාවකට පත් කරන යුගයක් කෙදිනක හෝ බිහි වෙයිද? පුරුෂයා සාමාන්‍යයෙන් විටින් විට ප්‍රතිකල්පනාව පිළිගන්නා පුද්ගලයකු වී ඇති බවට බවට සාක්ෂ්‍යය තිබේ. ස්ත්‍රිය සිය ගතිසොබා චක්‍රයේ ශීඝ්‍රයෙන් ගමන් කරන්නියක බව ඇය සිය ප්‍රතිකල්පනාව මොහොතින් මොහොත සිඳ බිඳ ගැනීමෙන් ප්‍රත්‍යක්ෂ වෙයි. අශෝක හඳගමගේ නවතම සිනමා කෘතිය වන අසන්ධිමිත්තා හි එක් සංරචකයක් ලෙස පෙනී යන්නේ ස්ත්‍රියගේ කල්පනාව හා ප්‍රතිකල්පනාව අතර සමාජ සංසිද්ධියක් ගොඩ නැගීමයි. වැදගත්ම දේ එම සමාජ සංසිද්ධිය මගින් ඉතා ප්‍රශස්ත ලෙසට ලංකාවේ සමාජ අභ්‍යන්තරයේ මජර ගලන තත්ත්වය හෙවත් කුණුවීම ප්‍රතීයමාන කර දැක්වීමය. සමාජයේ ඇතුළතින් ඕදිය ගැලීම හා මතුපිටින් බුදුන් වඳිමින් සිටීම මුළු රටම නිතර දෙවේලේ දකින යථාර්ථය බවට පත්ව තිබේ.

අසන්ධිමිත්තා යනු හුදු පුද්ගල බද්ධ සිනමාවක් නොවේ. එය සමාජානුබද්ධය. සමාජයේ සෑම කෙනෙක්ම පළමුව පැවැත්ම සොයති. ඔවුන් දෙවනුව සොයන දෙය වන්නේ අනන්‍යතාවයි. පැවැත්ම සෙවීම ප්‍රාථමික වන අතර අසන්ධිමිත්තා සේම සමාජයේ අති බහුතරයක් පැවැත්ම සෙවීමේ සිහින චාරිකාවක නිරත වෙති. අසන්ධිමිත්තා මෙන්ම විකී නිරත වන්නේ එම සිහින චාරිකාවෙහිය. ඊළඟට මිනිසාගේ ද්විතීයික එහෙත් මහේක්‍ෂ අරමුණ වන අනන්‍යතාව සෙවීම එක්තරා ව්‍යාජයක් බව හඳගම අසන්ධිමිත්තා තුළ සාධනය කිරීමට වෙර දරයි. එය නම් විකීට සහ අසන්ධිමිත්තාට මුණු ගැසෙන ධනවත් යැයි පෙනෙන පවුලත් අනන්‍යතාව වෙනුවට පැවැත්ම සොයන පිරිසක් ලෙස පිළිබිඹු කිරීමෙනි. ආර්ථික පැවැත්ම තහවුරු වූ පසු අනන්‍යතාව සෙවීම ජීවිත යථාර්ථය නම් මෙම මධ්‍යම පාන්තික පවුලට අදාළව එ එසේ නොවේ. ස්ත්‍රීන් කිහිප දෙනෙක් හුදෙකලා වීම නම් වූ අඩුව පැවැත්මට බාධා කරයි. එවිට පැවැත්ම විෂයෙහි විකී සහ අසන්ධිමිත්තා මෙන්ම මධ්‍යම පාන්තික පවුල අතර වෙනසක් නැත. දෙපාර්ශ්වයම සොයන්නේ එකම දෙයකි.
‘මම කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කළ ජීවිතය මේක’ එක්තරා අවස්ථාවක විකී අසන්ධිමිත්තා හමුවේ කරන එම ප්‍රහසනාත්මක ප්‍රකාශය ප්‍රතිකල්පනාත්මකය. එහෙත් ස්ත්‍රී- පුරුෂ දෙපාර්ශ්වයේම චිත්තාවේග සකස් වී ඇත්තේ එබඳු ප්‍රතිකල්පනාවක් නොඉවසන පසුබිමකය. ගෙදර වැඩ සියල්ල කර දෙන මිනිහෙක් සිටීම ගැහැනියකට අවාසියක් වන්නේ නැත. එහෙත් ගැහැනියකගේ සමාජ විඥානය ඊට ඉඩ නොදේ. ස්ත්‍රී සමාජ විඥානය සකස් වී තිබෙන්නේ පිරිමියා හැම විටම මුදල් හරිහම්බ කළ යුතුයි යන පදනමිනි.

අසන්ධිමිත්තාට මුණ ගැසෙන විකී ඔහු කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කළ ජීවිතය යන්නට අවංකය. ස්ත්‍රියට අනුව පිරිමියා කළ යුතු යැයි සිතිය හැකි වැඩ දෙකක් පමණක් චිත්‍රපටය පුරා විකී ඉටු කරයි. ඒ දෙකම අසන්ධිමිත්තාගේ ප්‍රතිකල්පනාවට හසුවනුද පෙනේ. එකක් වන්නේ අශ්වයන්ට ඔට්ටු අල්ලා රුපියල් පන්දහසක් දිනා එය අසන්ධිමිත්තාට නොමසුරුව දෙන අවස්ථාවය. ඒ මොහොතේ මුදල් ලැබුණත් සාම්ප්‍රදායික ස්ත්‍රියක් නම් කියනු ඇත්තේ ඔය වැඬේ ආයේ කරන්න එපා වැනි දෙයකි. දෙවැන්න වන්නේ තරුණ කොන්දොස්තර අසන්ධිමිත්තාගේ නිතඹ මිරිකූ අවස්ථාවේදී විකී කොන්දොස්තරගේ බෙල්ලෙන් අල්ලා පහර දීමය. අසන්ධිමිත්තා එය වළකා කියන්නේ කොන්දොස්තර තමාට උපකාර කරන්නකු බවය. ඉඳහිට නිතඹ මිරිකුවත් කොන්දොස්තරට පහර දීම අසන්ධිමිත්තා අනුමත කරන්නේ නැත. එය ඇය තුළ වන ප්‍රතිකල්පනාවය. වැඩට යන විට බත් මුලක් බැඳ දෙන, වළං සෝදන, ගේදොර මිදුල පිළිවෙළකට තබාගන්නා, දරුවන්ට පාඩම් කියදෙන ඔවුන්ට බුදුන් වඳින්නට හුරු පුරුදු කරන සැමියකු ගැන අසන්ධිමිත්තා දයාර්ද්‍රය. එහෙත් විකීගේ රැකියා විරහිත බව ඇය මුහුණ දෙන පුද්ගලික ප්‍රශ්නයකටත් වඩා සමාජීය ප්‍රශ්නයකි. ඉන් පෙනී යන්නේ ස්ත්‍රී ප්‍රතිකල්පනාවට වුව සමාජ බලපෑම් එල්ල වන ආකාරයත් හා මිනිසකුගේ පුද්ගලික ජීවිතයට සමාජ ජීවිතය නමැති පරිභාහිර කාරණය මගින් බලපෑම් කරන ආකාරයත්ය.

මෙම චිත්‍රපටය හැඳින්වීමට යොදා ඇති පර්යාය පාඨය වන රාත්තල් තුන්සීයක් බර ආදරයක් යන්න මිනිස් ජීවිතය පිළිබඳ තියුණු උත්ප්‍රාසයකි. ඒ ආදරයේ බර දැරිය හැකිදැයි යන්න පරීක්ෂා කර බැලීමට සාමාන්‍යයෙන් රාත්තල් 120-130 බර මිනිසකු පෙළඹේද? විකී මෙම ප්‍රතිවිරෝධය පිළිගන්නා පුද්ගලයකු ලෙස පෙනෙයි. ඒ වෙනුවට ඔහු අපේක්ෂා කරන ජීවිතය පුරුෂ භූමිකාවේ ප්‍රතිකල්පනාත්මක ආභ්‍යාසයකි.

අසන්ධිමිත්තාහි දැක්වෙන සියලු සිදුවීම් සිදුවූ දේවල් හෝ සිදු නොවූ දේවල් විය හැකිය. පළමු රූප රාමුවේ දැක්වෙන පරිදි අසන්ධිමිත්තා බස්රියේ අසුන්ගෙන සිටියි. අසුනින් තුන්කාලක්ම ඇගේ විශාල ශරීරය විසින් අයිතිකරලෙන තිබෙන නිසා වෙනත් මගියකු ඉතිරි ඉඩෙහි අසුන් ගැනීමට නොපෙළඹෙයි. කිසියම් පිරිමියකු සමග එකට ඉඳගෙන යාමට අසන්ධිමිත්තා රිසිය. විකී නමැති පුද්ගලයා ඇයට සමීප වී ඇගේ අඟ පසඟ ස්පර්ශ වන ලෙස හැසිරීම ගැන ඇයට ඇත්තේ ප්‍රහර්ෂයකි. ඇය බස් රියෙන් බසින තැනින් බැසීමට ඇගෙන් විකීට නිහඬ ආරාධනයක් ලැබෙයි. එහෙත් ඔහු එතැන නොබසියි. අසන්ධිමිත්තා නිවසට යන පාරට හැරෙන්නේ තනිවමය. එනම් විකී ඇය සමග ඇවිත් නැත. විකී නොපැමිණියේ නම් ඉහත සියලු සිදුවීම් සිදුවීද නැත. එවැනි සිදුවීමක් නොවී ප්‍රක්ෂකයා දකින සියලු සිදුවීම් අසන්ධිමිත්තාගේ මනෝ භ්‍රාන්තියක් විය නොහැකිද? මෙහි දැක්වෙන චිත්‍රපටකරුවා අසන්ධිමිත්තාගේ කුලී නිවසේ නිවසේ හිමිකරු හමුවූ අවස්ථාවක ඔහු පවසන්නේ විකී නමැත්තෙක් ඒ ගෙදර සිටියේ නැති බවකි. විකී සිටියේ අසන්ධිමිත්තාගේ මනසේම විය හැකිය. තමා සමග එන ලෙස අසන්ධිමිත්තා ඉංගිතයෙන් විකීට ඇරයුම් කරයි. ඇගේ නැවතුම්පලෙන් ඔහු බස් රියෙන් පසින බවක් පෙනෙන්නට නැතත් පසුව විකී ඇය පසුපස එයි. එනම් සිදුවීම අසන්ධිමිත්තාගේ මනස තුළ සිදුවෙයි. වැදගත් වන්නේ විකී එන නොඑන එක නොවේ. අසන්ධිමිත්ගේ මෙම කාල්පනික ලෝකයේ සිදුවීම් තුළින් ජීවිතවල උත්ප්‍රාසයත් ජීවිත විලෝපනයත් නිරූපනය වීමය. විකී නිවසේදී අසන්ධිමිත්තා කියනා ඕනෑම දේකට එකඟතාව පළ කරන සැහැල්ලු ආකාරයෙන් එම උත්ප්‍රාසය තීව්‍ර කැරෙයි.

හඳගම නිමවන සමාජ අභ්‍යන්තරයේ කුණු වීම දැකීමට අප අසන්ධිමිත්තාගේ මනෝභ්‍රාන්තියට අනුයාත විය යුතුය. විකී ඇය පසුපසින් පැමිණි බව විශ්වාස කළ යුතුය. කෘත්‍රිම කොන්ඩය ගැලවූ විට විකී තුළින් පෙනෙන වැහැරුණු මිනිසා මගින් ජීවිතයේ එක් පැතිකඩක් කියවාගත හැක්කේ අසන්ධිමිත්තාගේ මනෝ භ්‍රාන්තිය විශ්වාස කළහොත්ය. ඇයටත් එම වැහැරුණු සිරුර අපුලය. විකීගේ ජවසම්පන්න දේහය වෙනුවට අසන්ධිමිත්තාට ලැබී තිබෙන්නේ විකීගේ වැහැරුණු දේහයයි. අවසානයේ ඇයට විකී වෙනුවට තමා ජීවත් වන සමාජයේ යථාර්ථය භාර ගැනීමට හිත හදා ගැනීමට සිදුවෙයි. එය සමස්ත සමාජයම මුහුණ දුන් තත්ත්වයකි. එනම් යහපාලනය දක්වාම පිරිපුන් අපේක්ෂාව වෙනුවට සමාජයට ලැබුණේ වැහැරපු හා අබලි පැවැත්මකි. අසන්ධිමිත්තා තුළ අනපේක්ෂිතය අද්විඳීමට සලසා තිබෙන ආකාරය සමාජ අත්විඳීමට සමාන්තරය. අසන්ධිමිත්තා මුල් වරට විකීගේ තට්ට හිස හා වැහැරුණු සිරුර දකින්නේ උදෑසනය. ඇය සමග රාත්‍රීය පුරාම සයනයේ සිටි මිනිසා තම පිරිපුන් පරිකල්පනය නොවීම නිසා ඇය තැති ගැන්වෙන්නීය. අනතුරුව සොරෙක් ගෙට ඇතුල් වී ඇති බව අසල්වැසියන්ට කීවත් විකී ඒ කිසිවකුට නොපෙනෙයි. එනම් ගෙයි වෙනත් කිසිවකු නැත. ඇත්ත මෙන්ම ප්‍රබන්ධයද වන මනෝ භ්‍රාන්තියකින් අප නොපෙළෙමුද? ජීවිතය යනු කවර ස්වරූපයක් හෝ ගත් පරිකල්පනයම නොවේද?

සමාජ කුණු වීම දක්නට ලැබෙන්නේ අසන්ධිමිත්තා හා විකී ඇතුළත් සමාජ ස්ථරය තුළ පමණක් නොවේ. අසරණ සරණ සේවය ඔස්සේ හඳුනාගැනීමට ලැබෙන පවුලේ තත්ත්වයද ඛේදජනකය. එම පවුලේ නැගණියට විවාහ යෝජනාවක් කිරීම මූලික ඉලක්කය ලෙස විකී හා අසන්ධිමිත්තා නිවසට ඇතුළු වුවත් ක්ෂණිකව ඒ අදහස වෙනස් කර ගන්නා විකී තරුණ වැන්දඹුව සිය ඉලක්කය බවට පත් කර ගනී. පැවැත්ම මිස අන් කිසිවක් වැදගත් නොවීමත් පැවැත්ම සඳහා ක්ෂණිකව ස්ථාවරයන් වෙනස් කිරීමත් සමාජයේ මජර ගලන තත්ත්වයෙහි කදිම පිළිඹිඹුවකි. විකී අතින් කවර විදියේ වරදක් සිදු වුවත් ඔහු උදේ සවස බුදුන් වඳින මිනිසෙකි. සමාජය පුද්ගලයා පිළිගන්නේ දැක ප්‍රත්‍යක්ෂ කර ගන්නා දේ අනුවය. එසේ බලන විට රහසේවත් පව් නොකරන මතුපිටින් බුදුන් නොවඳින හා රහසේ පව් කිරීමට පෙළඹෙන හා මතුපිටින් බුදුන් වඳින යන පුද්ගල දෙවර්ගය අතරින් සමාජයේ ඉහළ පිළිගැනීම ඇති කරගෙන තිබෙන්නේ දෙවැන්නාය. පළමු වර්ග සමාජයට අවිශ්වාසසහගතය. නොදැමුණු අසන්ධිමිත්තාගේ දරුවන් උදේ සවස බුදු පුදට යොමු කරන්නේ විකීය. ඔහු ඇතැම් විටක දරුවන්ට පාඩම් හා ගුණගරුක ඇවැතුම් පැවතුම් ගැන කියා දෙයි. එමගින් විකී අසන්ධිමිත්තා තුළ ඔහු පිළිබඳව හෘදය සංවේදීත්වය මෙන්ම අනුකම්පාවද අවුළුවයි. පැවැත්ම සඳහා පාරාජිකා වන නමුත් බුදුපිළිමයක් පසුකර යන විට බස්රියේ අසුනින් නැගිට මහත් භක්තියෙන් ඊට වඳියි. විකීගේ සිට මහින්ද රාජපක්ෂ දක්වාම සමාජය අපේක්ෂා කරන ශික්ෂාව ප්‍රදර්ශනය කිරීමෙහි තිබෙන වරද කුමක්ද? සමාජය අපෙක්ෂා කරන ශික්ෂාව ප්‍රකට කරමින් පැවැත්ම සඳහා මිනී මැරීමෙහි ලොකු වරදක් සමාජයට නොපෙනෙයි. රට පාලනය කළ රළු දේශපාලකයකුගේ සිට රට පාලනය කිරීමට සිටින රළු දේශපාලකයකුගේ දක්වා ස්ථාවරය මෙන්ම ඔහු සමාජය පිළිගන්නේ මෙම සුහුරු උපාය නිසාය. මෙහි ඇති කුණු වූ තත්ත්වය ප්‍රදර්ශනය වන්නේ එම ආචීර්කල්පිතයෙන් විතැන්ව බැලුවහොත් පමණි. එහෙත් ජන සමාජය සමාජ සිදුවීම් දෙස එසේ බලන්නේ නැත. එබැවින් කුණු වූ තත්ත්වය දිගටම පවතියි.

රූප රචනය විෂයෙහි හඳගම විසින් අසන්ධිමිත්තා විවාදාපන්න තලයකට පත්කොට තිබේ. විකීගේ පිරිපුන් සිරුර මෙන්ම වැහැරුණු සිරුර සංඥාර්ථවේදී අරුතකින් භාවිත කරන හඳගම එම උපක්‍රමය අභ්‍යාස කරන ක්‍රමය ඔස්සේ ක්ෂිතිමය අද්දැකීමක් ලබා දෙන්නේ විකීට සමීප වන ගැහැනුන් දෙදෙනාට පමණක් නොවේ. මේ ක්ෂිතිමය අදැදැකීම සමස්ත සමාජයම අත්විඳින එකක් බව පිරිපුන් විකී සහ වැහැරුණු විකී වියුක්තව නොගෙන අසන්ධිමිත්තා සංඥාර්ථමය අරුතකින් කියවීමේදී තේරුම් ගත හැකිය.

තරුණ වැන්දඹුව විකී හමුවීමට කාමරයට යන අවස්ථාවේ ඔහු සිටින්නේ පොරෝනයකින් මුළු සිරුරම වසාගෙනය. ඒ ඊට මොහොතකය පෙර ලද භයානක අද්දැකීමක් නිසාය. වැන්දඹුව පොරෝනය ඇද ඉවත් කිරීමත් සමඟ ඇය එක්විටම දකින්නේ තට්ට හිස සහිත වැහැරුණු සිරුරක් ඇති මිනිසාය. සමාජය අත්විඳිමින් සිටින්නේත් ඒ ක්ෂිතිමය අද්දැකීමය. තරුණ වැන්දඹුව ඇතුළු වීම සඳහා දොරගුළු නොලා තිබෙන අවස්ථාවේ සෙමින් දොරට තට්ටු කරන ශබ්දයට විකී මහත් ප්‍රහර්ෂයෙන් යුතුව ඇඳෙන් බිමට පැන දොර විවර කරන විට කාමරයට ඇතුළු වන්නේ දහවල් ඔහුට නින්දා කළ මහළු ස්ත්‍රියය. ගොදුරු කර ගන්නාද යම් මොහොතක ගොදුරක් බවට පත් වීම මෙම ක්‍රමයේ ස්වභාවයයි. එය ඉතා තීව්‍ර වන්නේ එතෙක් වේලා නැගිට ගැනීමටවත් නොහැකිව රෝද පුටුවක සිටි මහළු ස්ත්‍රිය ක්ෂණයෙන් නැගිට තුවක්කු බටයක් මානාගෙන විකී මෙල්ල කර ගැනීමෙනි. මෙහි ප්‍රබල සංඥාව නම් අප දකිමින් සිටින්නේ අර්ධ යථාවක් හා අර්ධ ප්‍රබන්ධයක් යන්නය. ජීවිතය තුළ ප්‍රබන්ධයෙහි වැඩි ප්‍රතිශතයක් තිබෙන බවය. එම කාමරය තුළ සිදුවූවා යැයි දැක්වුණු සියල්ල කිසිසේත්ම සිදු නොවූ දේවල්ද විය හැකිය. ප්‍රබන්ධය ජීවිත යථාර්ථය තුළ සුවිශේෂි කාර්යභාරයක් කරන බව පෙනෙන්නේ මේ තත්ත්වය තුළය. විකී මළ සිරුරක් ලෙස අසන්ධිමිත්තාගේ මිදුල මැදට රැගෙන ඒමත් පැවැත්ම පිළිබඳ කල්පනාව තුළ මතුවිය හැකි තත්ත්වයකි. මන්ද ජීවිතය හැම විටම ක්ෂිතිමය අත්දැකීමකට මෙන්ම අනතුරකට මුහුණලා සිටගත් බවත් හැඟෙන හෙයිනි.

විකී සහ අසන්ධිමිත්තා මෙම නිවසට පැමිණියේ අක්කා සහ මල්ලී ලෙසිනි. ගතමනාවක් සොයා ගැනීමේ අරමුණින් එසේ පැමිණියත් විකී ආගන්තුක නිවසේ ගැහැනියකට ළං වීම අසන්ධිමිත්තා තුළ ලිංගික රෝෂයක් උපද්දවයි. ස්ත්‍රිය තුළ ඉඳහිට හෝ සම්ප්‍රදායවාදයට එරෙහි ප්‍රතිකල්පනාව මතුවිය හැකි වුවත් ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නයේදී තමාට අහිමි වීම ඔවුන් ප්‍රකෘතිය තුළට කැඳවයි. වාහන අංගනයේ ටිකට් දෙන රැකියාව අහිමි වී අසන්ධිමිත්තා නිවසට පැමිණ ‘හරි අසාධාරණයි අනේ’ කියන අවස්ථාව හා ආගන්තුක නිවසේදී විකීට තරුණ වැන්දඹුව සමග ලිංගික එක්වීමක නොයෙදෙන ලෙස අභිනයෙන් කරන තර්ජනය වැනි අවස්ථා ස්ත්‍රී ප්‍රකෘතියයි. විටින් විට ප්‍රබන්ධය තුළින් පැවැත්මේ සංස්කෘතිය කඩා වැටීමත් සමාජ ඛේදයත් චිත්‍රපටයෙන් ප්‍රාදූර්භූත වෙයි. ඒ සඳහා තුන්දෙනකු මරන්නට වුවමනා නැත. ඒ සියල්ල කෙළවර වුයේ චිත්‍රපටකරුවාගේ ගෙදර මෙන් විය හැකිය. චිත්‍රපටකරුවාගේ ගෙදර මහා කලබාගෑනියක ලකුණු දිස් වුවත් එහි කිසිවක් සිදු වී නැත. එහෙත් ජීවිතයේ ගතිකය හා සමාජ ගතිකය අල්ලා ගත හැකි දේවල් කිහිපයක් චිත්‍රපටකරුවාගේ කුටුම්භය කේන්ද්‍රීයව බාහිරට විදාරණය වී තිබේ.