ක්ෂුද්‍ර මූල්‍ය ණයෙන් සුද්ද වූ මිනිස්සු

රසික ගුණවර්ධන

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලංකාවේ ක්‍රියාත්මක වන්නේ උගුලක ආකාරයටය. ඒ උගුලේ ඇති භයානක ස්වරූපය නිසාම ක්ෂුද්‍ර මූල්‍ය ණය යන්න රටේම අවධානයට ලක්වන මාතෘකාවක් බවට පරිවර්තනය වෙමින් පවතී. පසුගියදා අගමැතිවරයා දඹුල්ලේදී පවසා තිබූයේ තම රජය ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට කටයුතු කරන බවයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය ඡන්ද ගුණ්ඩුවක් වන තරමටම ප්‍රශ්නය දුර දිග ගොස් ඇත.

අය-වැය යෝජනාවේදී මුදල් අමාත්‍යවරයා ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සම්බන්ධව ප්‍රකාශයක් සිදු කළේය. ඒ අනුව ණය කපා හරින්නේ ලක්ෂයකට අඩු සහ 2018 වර්ෂයේ ජූනි, ජූලි සහ අගෝස්තු යන මාසවල ණය වාරික ගෙවා නොමැති ණයලාභීන්ගේය. එහෙත් මුදල් අමාත්‍යවරයා ගම්මානවලට ගොස් පවසා තිබුණේ වෙනත් කාරණයකි.
“අපට මුදල් ඇමතිතුමා කීව ඔයාල කවුරුවත් ණය ගෙවන්ඩ එපා. රජයෙන් ඔක්කොම ණය කපල දානව කියලා. ඒක හින්ද අපි ණය ගෙවන්නෙ නැතුව හිටියා. එතකොට ණය එකතු කරන අය ඇවිල්ලා අපට බණිනවා රජයෙන් ණය කපන්නෙ නෑ, අපට කොහොමහරි ගෙවන්ඩ කියලා” මැදිරිගිරියේදී හමුවූ රේණුකා එසේ පැවසුවාය. මුදල් අමාත්‍යවරයා ඇතුළු රජය තමන්ගේ පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් ජනතාව රවට්ටන්නේ ඒ ආකාරයටය. ඔවුහු දැනට ජීවිත 171 බිළිගත් මේ මානව ව්‍යසනය ඉතාම කෲර ලෙස සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් උපයෝගී කරගනිමින් සිටිති.

මීට කාලයකට පෙර ගොවි ජනපද ගිලගන්නා භයානකම සතුරා වූයේ වකුගඩු රෝගයයි. වර්තමානයේ ඒ අතීත සතුරාගේ වෙස් ගෙන ඒ තරමටම ගොවි ජනතාව පීඩාවට පත් කරනා උවදුරක් බවට ක්ෂුද්‍ර මූල්‍ය ණය පත්වී ඇත. ගොවි ගම්මානයක වකුගඩු රෝගියකු නැති ගෙයකින් අබ මිටක් සොයා ගැනීමට නොහැක්කා සේම ක්ෂුද්‍ර මූල්‍ය ණයට ගොදුරු නොවූ නිවසක් සොයා ගැනීම අපහසුය. එය තහවුරු වන්නේ අප සිදු කළ සමීක්ෂණයක් ඔස්සේ ගොවි ගම්මාන වලින් 70%ක් තරම් වූ පිරිසක් ක්ෂුද්‍ර මූල්‍ය උගුලට ගොදුරු වී ඇති බව හෙළිවීම හරහාය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ විනාශකාරී බව සහ ඊට හේතු වූ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත පාඨක ඔබට අවබෝධ කර ගැනීම උදෙසා පොළොන්නරුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක් කේන්ද්‍ර කරගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ණයලාභීන් දෙදහස් පන්සීයකට අධික ප්‍රමාණයක් හරහා තෝරාගත් සියයක ණයලාභීන්ගේ නියැදියකින් සැකසුණු සමීක්ෂණ වාර්තාවක තොරතුරුද මෙම ලිපියට අප පාදක කර ගන්නෙමු.

මව්වරුන්

“මගේ දරුවා අසනීපවෙලා ඉස්පිරිතාලෙ ඉන්නකොට මම කීව දරුවට අසනීප නිසා වාරික ගෙවන්ඩ අමාරුයි මට ටික කාලයක් දෙන්ඩ කියල. එතකොට ඒ මහත්තුරු කීව ළමය මැරිල මිනිය ගෙදර තිබ්බත් කමක් නෑ, වාරිකේ ගෙවන්ඩ ඕන කියලා.” මැදිරිගිරියේ තුෂාරි සිය බිළිඳු දරුවාද උකුලේ හොවාගෙන හඬමින් අප හා එසේ කීවාය. තුෂාරි සේ ම ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත් මවුවරුන් ගණන බොහෝය. නියැදි සමීක්ෂණයට අනුව තෝරාගත් කාන්තාවන් සිය දෙනා අතුරින් අනූතුන්දෙනෙකුම මව්වරුන්ය. ඒ මව්වරුන් අනූතුන්දෙනාගේම දරු එකතුව එකසිය අසූ හයකි.
මවක් පවුලක කොඳු නාරටිය වැනිය. පවුල කළමනාකරණය කරන්නේ ඊට ජීවය පොවන්නේ මවයි. මව්වරුන් ක්ෂුද්‍ර මූල්‍ය උගුල විසින් ඩැහැගත් කල අසාධ්‍ය වන්නේ සමස්ත කුටුම්බයයි.

පියවරු රැකියාවලට යති. මව්වරු නිවෙස්වලට වී දරුවන් බලා කියා ගනිති. ගොවි ගම්මානවල කුටුම්බයේ හැඩරුව එසේය. තමන්ගේ දුක පැවසීමට අප හමුවීමට එන බොහෝ මව්වරු සිය දරුමල්ලන්ද ඔසවාගෙන පැමිණෙති. විටක කලාතුරකින් පියකු දෙන්නකු පැමිණෙන නමුදු ඔවුන් දරුවන් ඔසවාගෙන නොපැමිණෙති.
“ණය ගෙවන්ඩ සල්ලි නැතිවුණහම මම ගේ ඇතුළෙ හැංගෙනවා. එතකොට ණය එකතු කරන මහත්තුරු ඇවිල්ල දරුවට බැනල යනවා.” ගල්කුලමේ සකුණි අප හා පවසයි. මව්වරුන් හරහා මෙසේ අඳුරු අනාගතයකට පාර කැපෙන්නේ දරුවන්ටය. එනම් රටේ අනාගත පරම්පරාවටය. දරුවකුට තමන්ගේ මාපියන් යනු වීරයන්ය. තමන්ගේ වීරයන් බැනුම් අසනා විට, බියේ කැළෑ පැන සැඟවෙන විට දරුවන්ගේ මානසිකත්වය බිඳ වැටෙන්නේ නැතිද? එය වඩා අනර්ථකාරී ලෙස බලපාන්නේ ඔවුන්ගේ අනාගතයටය.
“මහත්තයගෙ රස්සාවත් නැතිවුණා. මට වාරික ගෙවන්ඩ බැරි තත්ත්වයක් තිබ්බේ. ණය එකතු කරන්ඩ එන සර්ල කීව. එයා එක්ක බුදිය ගත්තොත් වාරික ටික එයා ගෙවන්නන් කියල. මේ ණය හින්ද අපේ ගෙදර හැමදාම රණ්ඩු. මගේ දරුවොවත් මට දැන් වඳින්නෙ නෑ. මම කවුද කියල දාන්ඩ එපා. මේ විස්තර කවුරුවත් දන්නෙ නෑ.” එක් මවක් අප සමඟ පැවසුවාය.

පොලිය

මේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය උගුලක් බවට ප්‍රතිනිර්මාණය වීමට බලපා ඇති ප්‍රධානතම හේතුව නම් අය කරන අධික පොලියයි. අපට ගම්මානවලදී හමුවූ බොහෝ දෙනා ලතැවෙන්නේ ණය වාරිකයේ පොලී මුදල සොයා ගැනීමට නොහැකිවය. ඉන් බොහෝ දෙනා සතියකට වතාවක් ගෙවිය යුතු මුදල රුපියල් එක්දහස් පන්සීයකට වඩා ඉහළය.
පොලියේ ප්‍රතිශතය කෙසේ වෙතත් සමීක්ෂණයට තෝරා ගත් ණයලාභීන් සියදෙනා අතුරින් තිස්පස් දෙනකුම තමන් ලබාගත් ණය මුදලට අදාළව තමන් ගෙවිය යුතු පොලී ප්‍රතිශතය පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැත. වඩා භයානක වන්නේ එයයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගම්මානවලට පැමිණ පවසන්නේ ලබාදෙන ණය මුදලයි. එහිදී ඔවුන් එම ණය මුදලට අය කරනා පොලී ප්‍රතිශතය පිළිබඳව ප්‍රකාශ නොකරන බව ගම්මු අප හා පැවසීය. “අපි පොලිය කීයද අහපුවහම පොලිය ගැන කියන්නේ නෑ. පොඩි ගාණයි ගෙවන්ඩ තියෙන්නෙ කියනවා.” අතෝරක් නැතිව ඇසෙන දුක් අඳෝනා අතරින් එකකු පවසයි. දරිද්‍රතාවයෙන් සිටින ජනතාවට කවුරුන් හෝ පැමිණ මුදල් ලබාදෙන විට දුර දිග නොබලා ඒ මුදල් ගැනීම ශාස්ත්‍රීයව තර්ක කර පරාජය කළ හැකි වුවද මානුෂීයව මේ දෙස බලන විට එහි ඇති ගැටලුව පෙනේ. වරක් අපට වවුනියාවේ මායිම් ගම්මානයකදී හෙළිවූයේ සමස්ත ගම්මානයටම ණය ලබා දී ඇත්තේ 220% තරම් වූ පොලියකට බවයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ඇතැම් ආයතන ඒ ආකාරයෙන් ජනතාව උගුලේ හෙළමින් කටයුතු කරන විට ඊට එරෙහිව විරෝධයක් සමාජය තුළින්ම ගොඩ නැගෙනා විට රජය සිදු කළේ අය කළ හැකි උපරිම පොලිය 35% බවට පත් කිරීමයි. එය ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල උවමනාවට රජය විසින් සිදු කරන ලද්දක් වැනිය.
බංගලාදේශයේ ආදර්ශය

ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමවේදය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වූ බංගලාදේශයේ එය ක්‍රියාත්මක වූ ස්වරූපය අළලා ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද Beyond Ending Poverty  (දිළිඳුකම තුරන් කිරීමෙන් ඔබ්බට) ග්‍රන්ථය හරහා ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තිරසාර හා දිළින්දන්ට සහනදායී ආකාරයට ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ප්‍රතිපත්ති අතර දැක්වෙන්නේ ර්‍ණ27% වැනි විශාල පොලී අනුපාත දිළිඳු පවුල්වලට දැරිය නොහැකි නිසා අවම පොලී අනුපාත අයකිරීම සහ අයකළ හැකි උපරිම පොලී අනුපාත සඳහා සීමාවක් (cap) හඳුන්වා දීම” සිදු කළ යුතු බවයි.

මේ කාරණව නියැදි සමීක්ෂණය අදාළ තොරතුරු සංසන්දනය කර බලන විට පැහැදිලි වන්නේ එකී නිර්දේශ ලංකාවේ ක්‍රියාත්මක නොවන බවයි. සමීක්ෂණයට අනුව 26%- 35% දක්වා වූ පොලී අනුපාතයන්ට යටත්ව ණය ගත් පිරිස සිය දෙනා අතුරින් හතළිස් හතර දෙනෙකි. එසේම ඉන් එක් කාන්තාවක් ණය ලබාගෙන ඇත්තේ රජය විසින් පැනවූ උපරිම පොලී අනුපාතය වන 35% සීමාව ඉක්මවා දුන් ණය මුදලකිනි.

ඒ අනුව පැහැදිලි වන්නේ රජයේ නියාමනයේ දුර්වලතාව සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය දිළිඳුකම තුරන් කිරීම සඳහා මෙහෙය වීමට රජය අපොහොසත් වීමයි. පැහැදිලි ලෙසම රජය විසින් ණය ලබාදෙන ආයතනවලට සිය මඬි තර කරගැනීමට මෙය ව්‍යාපාරයක ස්වරූපයෙන් පමණක් පවත්වාගෙන යාමට ඉඩකඩ ලබාදී ඇති බවයි. මිනිසුන් උගුල් වල පැටලීමට තරම් ග්‍රාමීය දරිද්‍රතාව ඉහළ දැමූ මේ රට අවුරුදු හැත්තෑවක් තිස්සේ පාලනය කළ පාලකයෝ තව දුරටත් ඔවුන් මියැදෙන තෙක්ම දරිද්‍රතාවයේ ගිල්ලවති.

මෙහෙයවීමේ සහ දැක්මේ දිළිඳුකම

අධික පොලිය හැරුණුකොට ගැමි කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය උගුලේ සිරකිරීමට තවත් හේතුවක් බවට පත්වූයේ ඵලදායී ආයෝජන වල ඔවුන්ට සිය ණය මුදල් ආයෝජනය කිරීමට නොහැකි වීමය. ණයකදී ලබාගත් මුදලට වඩා මුදලක් ඒ ණය පියවීමේදී ගෙවිය යුතු බැවින් ලබාගන්නා ණය ආයෝජනය කළ යුත්තේ ප්‍රතිලාභී ආකාරයටය. එය ඉතාම සරල කාරණයක් වන නමුදු දරිද්‍රතාවයේ පතුලේම ගිලී සිටින ග්‍රාමීය කාන්තාවන්ට ඒ සඳහා මඟපෙන්වීම් සහ දිරි ගැන්වීම් අවශ්‍ය වේ. ඒ සඳහා ඉතාම හොඳ නිදර්ශකයන් බංගලාදේශයේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය තුළින් හමුවේ. එහිදී ණය ලබාදීමේ වැඩපිළිවෙල සේම එය මෙහෙයවීමද ඉතාම විශිෂ්ට අයුරින් සිදුවිය. කාන්තාවන්ට ණය ලබා දී ඔවුන්ට අවශ්‍ය වන්නා වූ පුහුණුව ලබාදීම, වෙළෙඳපොළ නිර්මාණය කරදීම හෝ වෙළෙඳපොළ හඳුන්වා දීම ඇතුළු පරිපූර්ණ වූ නියාමන සහ නිරීක්ෂණ ක්‍රියාවලියක් එහිදී ක්‍රියාත්මක විය. ඒ හේතුවෙන් කාන්තාවන්ට වඩා ඵලදායී ලෙස සිය ආයෝජන සිදු කිරීමට අවස්ථාව සැලසුණි.

එහෙත් ලංකාවේ සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් වූ ක්‍රියාවලියකි. ලංකවේදී සිදුවූයේ ණය ලබාදීම පමණි. ඒ හේතුවෙන් බොහෝ ණයලාභීන් තමන්ට හුරු පුරුදු ක්ෂේත්‍රයන්ගේ ඒ ණය මුදල් ආයෝජනය කළ අතර ඇතැමෙන් ලබාගත් ණය මුදල් පෞද්ගලික අවශ්‍යතා සඳහාද වැය කර ඇතිවග එකී ප්‍රදේශවල කළ සංචාරයන්හිදී නිරීක්ෂණය විය.
උක්ත නියැදියට අනුව ලබා ගත් ණය මුදල් අතුරින් කොටස් හතළිස් හතක් යොදොවා තිබුණේ ගොවිතැන් කටයුතු සඳහාය. තවත් ණය කොටස් හතළිස් හයක් ව්‍යාපාර කටයුතු සඳහා යොදවා තිබූ අතර සෞඛ්‍යම කටයුතු සඳහා නිවාස, අධ්‍යාපන කටයුතු සඳහා සහ වැසිකිළි සෑදීමට වැනි කටයුතු සඳහා ද ණය කොටස් යොදවා තිබූ බව සමීක්ෂණය හරහා හෙළිවිය.

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවම ප්‍රකාශ කරන ආකාරයට වී ගොවිතැනේ අක්කරයකින් ලැබිය හැක්කේ බුසල් අසූවක වී අස්වැන්නකි. එහෙත් අම්පාර වැනි ප්‍රදේශවල අක්කරයකින් වී බුසල් එකසිය විස්සක් පමණ ලැබිය හැකි වෙයි. ඒ අනුව උපරිමය වන වී බුසල් එකසිය විස්සට ගණන් බැලූ විට ලබිය හැකි උපරිම ආදායම රුපියල් හතළිස් දහසකි. ඒ අනුව රුපියල් හතළිස් දහසක ආදායමක් ලබා විශාල පොලියක් ඇති ණය මුදලක වාරිකද ගෙවා ඊළඟ කන්නය තෙක් එනම් මාස හයක් පමණ ජීවත්වීම පැහැදිලි ලෙසම ප්‍රායෝගික නොවේ. එසේම මෙම සියලුම ආකාරවල ක්ෂුද්‍ර මූල්‍ය ණය නැවත අයකිරීම සිදුවන්නේ යම් කාලයකට පසුව නොවේ. ඒ සඳහා පොලිය ණය ලබා දුන් දිනයේ සිටම අය කෙරෙන අතර ණය ලබා දුන්නාට පසුව ඉතාම ආසන්නයේ ණය වාරික එකතු කිරීමටද පුද්ගලයෙක් පැමිණේ.

වී ගොවිතැනට පසු වැඩිම ණය ප්‍රමාණයක් ලබා ගෙන තිබූයේ ව්‍යාපාර කටයුතු සඳහාය. එහිදී බොහෝ පිරිසක් තෝරාගෙන තිබූයේ සිල්ලර වෙළෙඳාමයි. “මම මුලින් කඬේට බඩු ටිකක් ගන්ඩ රුපියල් පහළොස් දාහක් ගත්තා. ඊට පස්සෙ ඒ ණය ගෙවා ගන්ඩ බැරි වුණු හින්දා ඒ ණය ගෙවන්ඩ තව ණයක් ගත්තා.” ගල්කුලමේ සකුණි එසේ කීවාය.
අනෙක් පසින් මෙහිදී නිසි මෙහෙය වීම සහ වෙළෙඳපොළ අවස්ථාවන් හඳුනා ගැනීමේ දුර්වලතාවද කැපී පෙනෙන කාරණාවකි. “මම ගත්තෙ වඬේ කරත්තයක් දාගන්ඩ.” ඇළහැර බෙදුම් ඇළේ කුසුමා අප හා පවසයි. ඇය ලබාගෙන තිබූ මුදල රුපියල් පනස් දහසක් වන අතර ඒ සඳහ ඇයගෙන් අයකර ගන්නා මාසික පොලිය 28% කි. මේ ආකාරයට වූ නැවත ගෙවීම පිළිබඳව සැලසුමෙන් තොර ණය ලබාගැනීම් බොහෝය.

ගැමි කාන්තාවන් හරහා ඔවුන්ගේ අධ්‍යාපනය උපයෝගී කරගෙන නිවැරදි යාන්ත්‍රණයක් සැකසුවහොත් නැවත ණය උගුලක නොවැටී සිටීමට ඔවුන්ට හැකියාවක් ඇත. එය ඔවුන්ටම නැගී සිටීමට අවස්ථාවක් වනු ඇත. අප මැදිරිගිරිය ප්‍රදේශයේ කළ සංචාරයකදී දැකගත හැකිවූයේ කාන්තාවන් පිරිසක් එකතු වී පිහිටුවා ගෙන ඇති සමිතියක් හරහා ඔවුන් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවයි. ඔවුන් දිනකට රුපියල් පහ බැගින් ඉතිරිකර මේ වන විට ඔවුන් සතුව රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදක් ඇත. ඔවුන් ඒ මුදල් සාමාජිකයන් අතරේම ඉතාම සුලු පොලියක් යටතේ ලබාදෙන අතර ඒ හරහා ඔවුහු විවිධ ආකාරවල ස්වයං රැකියාවල නිරතවෙමින් සිටිති.
එවැනි වැඩසටහන් සෑම ගම්මානයකම ක්‍රියාත්මක කළහොත් ක්ෂුද්‍ර මූල්‍ය උගුල වෙත ජීවිත පිදීමට අවශ්‍ය නොවනු ඇත.