දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට ප්‍රමාණවත් රාජ්‍ය අනුග්‍රහයක් නෑ

වෛද්‍ය කීර්ති ගුණසේකර – ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංවිධානයේ සභාපති

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

ආනයනික පිටිකිරිවල පිරිසිදුබව, ගුණාත්මකබව, සහ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙන විවාදාත්මක සංවාදයක් ඇරඹී තිබෙනවා. ඒ සංවාදය තුළ මතු කෙරෙන කාරණා අතරින් ඔබගේ විශේෂ අවධානය යොමුවෙන්නේ කුමන කාරණාවන්ටද?

ආනයනික පිටිකිරි සම්බන්ධයෙන් මේ වගේ කතාබහක් ටික කාලයකට කලිනුත් මතුවුණා. පිටිකිරිවල මෙලමයින් තිබෙන බවට එහිදී අනාවරණය කෙරුණා. දැන් ඒ ප්‍රශ්නය ඉවරයි. අලුතෙන් මතුවී ඇති සාකච්ඡාවට මුල්වෙන්නේ නවසීලන්තයෙන් ගෙන්වන පිටිකිරි සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙක් කළ කිසියම් හෙළිදරව්වක්. ඒවායේ මේදය සකස් කර තිබෙන්නේ ඌරන්ගේ මේදය යොදාගනිමින් විය හැකි බවට සැක මතු කිරීමක් එහිදී සිදුවුණා. ආනයනික පිටිකිරිවල තත්ත්ව පරීක්ෂා කරන ක්‍රමවේද ක්‍රියාත්මක වුවත් ඒවායේ සීමාසහිතකම් තියනවා. ඒ නිසා මොන ආකාරයේ තත්ත්ව පරීක්ෂා කිරීම් සිදුකළත් ආනයනික පිටිකිරි සෑම විටම නියමිත ප්‍රමිතිගත තත්ත්ව යටතේම පාරිභෝගිකයා අතට පත්වෙන බවට සහතික විය නොහැකියි. ප්‍රමිතියෙන් බාල නිෂ්පාදන වෙළෙඳපොළට එන්නට ඉඩකඩක් තියනවා. මේකට හොඳම විසඳුම රටේ කිරි පරිභෝජනය දේශීය වශයෙන් සම්පූර්ණ කරගැනීමයි. එහෙම කළොත් පිටිකිරි ආනයනය සඳහා වාර්ෂිකව පිටරටට ඇදී යන විශාල මුදල් ප්‍රමාණයත් ඉතිරි කරගත හැකියි. ප්‍රමාණවත් රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණොත් ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම අපහසු දෙයක් නෙවෙයි.

ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

වාර්ෂිකව රට තුළ සිදු කෙරෙන සමස්ත කිරි පරිභෝජනය දේශීය වශයෙන්ම නිෂ්පාදනය කර ගැනීමයි රට කිරිවලින් ස්වයංපෝෂිත වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. දැනට අපේ රටේ කිරි පරිභෝජනයේ සමස්ත අවශ්‍යතාව සකස්වී තිබෙන්නේ දේශීය දියර කිරිවලින් සහ ආනයනික පිටිකිරිවලින්. වාර්ෂිකව කිරි ලීටර් 500කට ආසන්න ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කෙරෙන අතර, පිටරටින් කිරි මෙටි්‍රක් ටොන් 99,000ක් විතර වාර්ෂිකව ආනයනය කරනවා. ඒ අනුව ලංකාවේ පරිභෝජනය සඳහා වන වාර්ෂික අවශ්‍යතාව කිරි ලීටර් මිලියන 1300කට ආසන්නයි. එහෙත් වාර්ෂික පරිභෝජන අවශ්‍යතාවයෙන් අපි දැනට රට තුළ නිෂ්පාදනය කරගන්නේ 40%ක් පමණ ප්‍රමාණයක්. 60%ක් ආනයනය කරනවා. ඒ කියන්නේ අපි වැඩිපුර පාවිච්චි කරන්නේ පිටිකිරි.

මීට දශක හතරකට විතර කලින් පිටිකිරි කියලා වෙළෙඳපොළක් ලංකාවේ දකින්නට තිබුණේ නෑ නේද? කොහොමද මේ විදිහට කෙටි කාලයක් තුළ ජනතාව විශාල වශයෙන් පිටිකිරි පරිභෝජනයකට හුරුවෙන්නේ?

අපේ රටේ සිදුවන කිරි නිෂ්පාදනය මදි නිසා පිටරටින් පිටි කිරි ගෙන්නලා බොන්නට හුරුකරවීමක් සිදුවෙලා තියනවා. ඒක සිදුවුණේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි සොයා බැලීමක් කරලා නෑ. කොහොම හරි දැන් අපේ අය වැඩිපුර බොන්න පුරුදු වෙලා තියෙන්නේ පිටිකිරි. මොකද ඒක පහසුයිනේ. ඒ ඇරුණු කොට පිටිකිරි බීමෙන් මිල පැත්තෙන් හෝ ගුණාත්මක පැත්තෙන් පාරිභෝගිකයාට විශේෂ ලාභයක් ලැබෙන්නේ නෑ. ගුණාත්මකභාවය පැත්තෙන් බැලුවොත් පිටිකිරි බොනවට වඩා දියර කිරි බොන එක වඩාත් හොඳයි. ඉන්දියාව, ඇමරිකාව, ඕස්ටේ්‍රලියාව වගේ රටවල් සමඟ බලනකොට ලංකාවේ ඒක පුද්ගල කිරි පරිභෝජනය ඉතාම අඩුයි. ඒ ඉහළ පරිභෝජනයත් ඒ රටවල් සම්පූර්ණ කරගන්නේ දේශීය නිෂ්පාදනයෙන්. ලංකාවේ පවතින සාපේක්ෂව අඩු පරිභෝජනයෙනුත් වැඩි ප්‍රමාණයක් විදේශීය නිෂ්පාදිත පිටිකිරි.

ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කරගන්නට සිදුවිය යුතුව ඇත්තේ මොනවාද?

ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට රජයේ මැදිහත්වීම අනිවාර්ය කොන්දේසියක් වෙනවා. කිරි ගොවියන්ට රජයෙන් සහන ලබාදිය යුතුයි. සතුන්ගේ පෝෂණ මට්ටම දියුණු කළ යුතුයි. වසරකට එක පැටියෙක් ලබාගන්න පුළුවන් විදිහට සතුන්ගේ පෝෂණ සහ සෞඛ්‍ය තත්ත්වය දියුණු කරන්න ඕනේ. දැනට අපේ රටේ පැටියෙක් ලැබෙන කාලය සාමාන්‍යයෙන් වසර එකහමාරක් විතර වෙනවා. එහෙම වෙලා තියෙන්නේ සතුන්ගේ පෝෂණ මට්ටම අඩුවීම. පෝෂණ මට්ටම අඩු වෙනකොට ප්‍රජනන හැකියාව අඩුවෙනවා. පෝෂණය වැඩි දියුණු කිරීමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ හොඳ තෘණ වර්ග සතුන්ගේ ආහාරයට ලබාදීමයි. ඒ සඳහා තෘණභූමි ඇති කොට පවත්වාගත යුතු වෙනවා. ගම්බදව සිටින සුළු පරිමාණ කිරි ගොවීන්ට පවා තෘණ වගාවට අවශ්‍ය පහසුකම් රජයෙන් ලබාදිය යුතුයි. එහෙම නැතිව ඒක කරන්න බෑ. ලංකාවේ ඕනෑ තරම් පුරන් වෙච්ච ඉඩම් තියනවා. ඒ ඉඩම්වල තෘණ භූමි ඇති කළ හැකියි. එහෙත් දැනට එහෙම දෙයක් වෙන්නේ නෑ. දිගුකාලීන වශයෙන් ගත්තොත් සතුන්ගේ ප්‍රමාණය වැඩි කිරීමත් කළ යුතු වෙනවා. ඒ වගේම රට පුරා විධිමත් කිරි එකතු කිරීමේ ජාලයක් ස්ථාපිත කර පවත්වාගෙන යා යුතුයි. එහෙම නැතිනම් දොවාගන්නා කිරි පවා අපතේ යා හැකියි. කිරි ගොවියාට අභිමානයෙන් ජීවත්වීමට පුළුවන් වෙන විදිහට ඉහළ මිලකට කිරි මිලදී ගත යුතුයි. දිවයින පුරා ශක්තිමත් පශු වෛද්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීමත් සිදුවිය යුතුයි. පශු වෛද්‍ය සේවාවට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතුයි. දැනට මේවා සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති තරම්.

කිරි නිෂ්පාදනය සඳහා පමණක්ම සතුන්ගේ ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කොට පවත්වාගෙන යාම ප්‍රායෝගිකද? සමගාමීව මස් පිණිසත් සතුන් යොදා ගැනීමකින් තොරව එලෙස කිරීමේ ප්‍රායෝගික හැකියාවක් නොමැති බවට අදහසක් ඉදිරිපත්ව තිබෙනවා.

කිරි සඳහා පමණක්ම නොවෙයි මේ සතුන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහාත් විශාල වශයෙන් යොදාගන්න පුළුවන්. අද රසායනික පොහොර භාවිතය කියන එක ලෝකයේම ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා. වස විස නැති ආහාර සඳහා විශාල උනන්දුවක් ලෝකය පුරාම ඇතිවෙලා තියනවා. ගොම පොහොර කියන්නේ ඉතාම හොඳ කාබනික පොහොරක්. කිරි සඳහා දායකත්වයක් නොදෙන හරකුන්ගෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරනවා නම් ඒක තවත් සාර්ථක කර්මාන්තයක් කරගත හැකියි. ඉන්දියාවේ ඒක සාර්ථකව සිදුවෙනවා. ගොවීන්ට හොඳ ආදායමක් ලබාගන්න පුළුවන්. ඒත් එයටත් රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වෙනවා.