පිපාසිත ලෝතලය

ප්‍රභාස්වර

මනුෂ්‍ය ශරීරයෙන් 70%ක්ම සෑදී ඇත්තේ ජලයෙන් වන අතර පෘථිවි තලයේ මතුපිටින් 70ක් ද ජලයෙන් සමන්විත වේ. ගහකොළ සතා සීපාවා සහ මනුෂ්‍යයාට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනුයේ ජල සම්පතයි. පෘථිවිය මතුපිට තිබෙන ජලස්කන්දයෙන් 97.5% ක්ම අයත්වන්නේ සාගරවලටය. තවත් 1.75ක් ඇත්තේ ගල් ගැසුණු හිම තට්ටු වලය. එවිට, එදිනෙදා භාවිතය සඳහා ඉතිරිව තිබෙනුයේ 0.75%වැනි සොච්චම් ප්‍රතිශතයකි. මෙම සීමිත, ස්වාභාවික සම්පත ඉතා සීරුවෙන් කළමනාකරණය කිරීමේ වැදගත්කම, ලෝ වාසීන්ගෙන් බහුතරයක් වටහාගෙන නැතැයි, සිංගප්පූරුවේ ලී කවාන් යූ සරසවියේ ජල විශේෂඥ අසිත් බස්වාස් පවසයි. උස්බෙකිස්තානය හා කසකස්තානය අතර පිහිටි, ලොව හතරවැනි විශාලතම ලවන මුහුද ලෙස සැලකුණු අරල් සාගරය වත්මනෙහි ශීඝ්‍රයෙන් සිඳීයමින් පවතී. අවුරුදු 03ක් පිට පිටම වර්ෂාව නොමැති වීම නිසා 2018දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරය, දැඩි නියඟයකට මුහුණ දුන්නේය. තෙවසරකට පසු වැසි වැටුණු මොහොත වන විට එම නගරයේ ජලාශ්‍රවල ජල මට්ටම 20%කටත් අඩුවෙන් පැවතිනි. 2014දී බ්‍රසීලයෙහි සාඕ පෝලෝ නුවර ජල මූලයන්හි සැපයුම් හැකියාව 05% දක්වාම පහත වැටුණේ රටම භීතියට පත් කරමිනි.

ජල හිඟය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම ‘ජල සංවර්ධන වාර්තාවට’ අනුව, ලොව ජයග්‍රහණයෙන් 1/4ක් හෙවත් මිනිසුන් බිලියන 1.9ක් අද දිවිගෙවන්නේ ජල සම්පත බෙහෙවින් හිඟ භූමීන් තුළය. මීට සියවසකට පෙර තත්ත්වය හා සැසඳීමේදී, වත්මන් ජල භාවිතය හය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. 2050 වනවිට එය තවත් 50%කින් වැඩිවීමට නියමිතය. දැන් වාර්ෂික ගෝලීය ජල පරිහරණය කියුබික් කිලෝ 4600 මට්ටමට ළඟා වී ඇති හෙයින් 2050 වන විට ලෝක ජනගහණයෙන් බිලියන 3.2ක පිරිසක් උග්‍ර ජග හිඟයකට මුහුණ දෙනු ඇතැයි පැවසේ. එම ජල අර්බුදයට බඳුන් වනු ඇත්තේ ලොව දුගී රටවල් පමණක් නොවේ. ඊට ඕස්ටේ්‍රලියාව, ඉතාලිය, ස්පාඤ්ඤය හා ඇමරිකාවද අයත් වනු ඇත. ජල ඉල්ලුම් ඉහළ යාමට බලපාන ප්‍රධාන කාරණා ත්‍රිත්වය වන්නේ, ජනගහනය වැඩි වීම, ආර්ථික සංවර්ධනය සහ කාලගුණ විපර්යාස හට ගැනීමයි. අද බිලියන 08කට ආසන්නයේ සිටින ලෝක ජනගහනය, 2050 වන විට බිලියන 10.2 දක්වා වැඩිවීම නොවැළැක්විය හැකිය. මෙකී ජනගහනය වර්ධනය සිදුවනු ඇත්තේ, දැනටත් ජල හිඟයන්ගෙන් පීඩා විඳින අප්‍රිකානු හා ආසියානු කලාපයන්හීය. දැනටත් ගෝලීය ජල පරිභෝජනයෙන් 70%ක් ම වැය වන්නේ කෘෂි කර්මාන්තය වෙනුවෙනි. වැඩිවන ජනගහනය සඳහා වැඩිපුර ආහාර නිපදවිය යුතු හෙයින්, නුදුරු අනාගතයේදී කෘෂි භෝග වගාව හා අදාළ ජල භාවිතය තවදුරටත් ඉහළ යනු ඇත. ලොව ජල පෝෂක භූමිවලින් 60%කට හිමිකම් කියන්නේ රටවල් 09කි. ලොව ජනගහනයෙන් 36%ක්ම වෙසෙන්නේ චීනය හා ඉන්දියාව තුළ වන නමුත්, මේ දෙරට සතුව ඇත්තේ ගෝලීය ජල පෝෂක භූමි ප්‍රමාණයෙන් 11%ක් පමණි. අතීතයේදී කලට වේලාවට ලැබුණු දකුණු ආසියානු මෝසම් වැසිද දැන් ඇද හැලෙන්නේ කිසිදු පිළිවෙළක් නැති අමුතු රටාවකටය. එහෙයින්, ඒ ගැන බලාපොරොත්තු තබාගැනීම අවදානම් ක්‍රියාවක් බවට පත්ව තිබේ.

කාලගුණ විපර්යාස

මිහිතලය උණුසුම් වීම නිසා සිදුවන කාලගුණික විපර්යාස, මනුෂ්‍ය වර්ගයා වෙත විවිධ ව්‍යසන හා විපත් ගෙන එයි. ගත වුණු දශක දෙක තුළ පමණක් ගංවතුර, කුණාටු හා නියඟයන් වැනි ස්වාභාවික විපත් වලින් පීඩාවට පත්වුණු ලෝ වාසීන්ගේ සංඛ්‍යාව මිලියන 300කි. 2018 සැප්තැම්බර් මාසයේදී නැගෙනහිර ඇමරිකාව හරහා හඹාගිය ෆ්ලෝරන්ස් සුළි කුණාටුව සහ එම මොහොතේම නැගෙනහිර ආසියාවට කඩාපත්වුණු මැන්ග්කුටි සුළි සුළඟ යන දෙකම හට ගත්තේ, මිනිසුන් විසින් අවට පරිසරයට මුදා හරින විෂ වායුන් මගින් සාගරය උණුසුම් වීම නිසා යැයි පරිසර විiාඥයෝ අවධාරණය කර සිටියහ. ජල කළමනාකරණයේදී ලොව ප්‍රමුඛයා ලෙස සැළකෙන්නේ ඊශ්‍රායලයයි. ඉන්දියාවට මෙම විෂයේදී හිමිවන්නේ අන්තිම තැනයි. ඉන්දියාවේ යමුනා නදියේ ජලය කොතරම් අපිරිසිදුද කිවහොත්, එහි වතුර මිලිලීටර් 100ක් තුළ අඩංගු (මිනිස් මළ සමඟ රැඳි) කෝලිෆෝමි බැක්ටීරීයාවන්ගේ ගණන බිලියන 1.6කි. ජලය මි.ලි 100ක් තුළ කෝලිෆෝම් බැක්ටීරියාවන් 500කට වැඩි සංඛ්‍යාවක් වේ නම් එම වතුර ස්නානය සඳහා වුවද නුසුදුසුය. ඉන්දියාවේ පරිසර දූෂණ පාලක මණ්ඩලයට අනුව, යමුනා ජලයේ අඩංගු කොලිෆෝම් ප්‍රමාණය, තිබිය හැකි යැයි පිළිගැනෙන මට්ටමට වඩා මිලියන තුනකින් වැඩිය. එහෙත් දෛනිකව මෙහි දියබුං ගසමින් පාචනය හදාගන්නා බැතිමතුන් ගණන දහස ඉක්මවයි. ජල විදුලිය ලබා ගැනීම පිණිස ගංගා නම් ගඟේ ඉහළ කොටසෙහි වේලි බැඳීම නිසා, 1970 දශකය හා සසැඳීමේදී එහි සැඩ පහර 2018 දී 50%කින් පමණ අඩු වී ඇති වග වාර්තා විය. පරිසර දූෂණය නිසා ඇතිවන ගෝලීය උණුසුම මගින්, වර්ෂ 2100 වනවිට හිමාල පර්වතයේ ඇති ජල උත්පාදක උල්පත්වලින් 30%ක්ම විනාශ වනු ඇතැයි නේපාල ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

පරිසර දූෂණය

වැසිකිළියකට නොයා එළිපහළියේ මළපහ කරන ලෝ වාසීන් බිලියනය අතරින් මිලියන 600ක්ම වෙසෙන්නේ ඉන්දියාවේය. ඉතිං මේ මිනිස් අසූචි ඉන්දියාවේ සියළු ඇල, දොළ, ගංගා වෙත ගලාවිත් ඒවා බෙහෙවින් දූෂණය කරනු ලබයි. 2014 වසර අවසානය වන විට ඉන්දියානු ආණ්ඩුව, ගංඟා දෙපස දිවි ගෙවන ඉන්දියානුවන් හට වැසිකිළි මිලියන 92ක් සාදා දුන් නමුත් අර්බුදය ඉන් විසඳී නොමැත. 1970 දී ඉන්දියාව තුළ දියත් කෙරුණු ‘හරිත විප්ලවය’ හරහා රට ස්වයංපෝශිත වීමෙන් පමණක් නොනැවතී එය ලොව ප්‍රධාන ආහාර අපනයනකරුවකු බවටද පත්විය. මෝසම් වැසිවලට පමණක් බර තබා කටයුතු කළ ඉන්දියානු කෘෂි කර්මාන්තය, නළ ලිං සහ ඉලෙක්ටි්‍රක් පොම්ප ඔස්සේ භූගත ජලය උකහා ගැනීම ආරම්භ කළේ හරිත විප්ලවය නිසාය. එහිදී ඉහළ ඵලදාවක් කෙටි කළක් ඔස්සේ නෙලාගත හැකි ධාන්‍ය ඉන්දියානු භූමිය තුළ වගා කෙරුණු අතර ඒවා සඳහා රසායනික පොහොර මහා පරිමාණයෙන් යොදාගැනුනි. 1950දී සහල් ටොන් මිලියන 35.1ක් නිපැයූ ඉන්දියාව, 2004 වන විට සහල් ටොන් මිලියන 87ක් දක්වා තම නිෂ්පාදනය ඉහළ නංවාගත්තේ හරිත විප්ලවය නිසාය. එහෙත් ඉන්දියාවේ භූගත ජලය අද ෆෝලෝරයිඞ් හා ආසනික් වැනි රසායනික ද්‍රව්‍යන්ගෙන් දූෂණය වී ඇති හෙයින් (බිහාර් ප්‍රාන්තයේ පමණක්) නල ළිං ජලය පාලනය කළ මිලියනයක් පමණ ජනතාව පාද විරූපී වීමේ රෝගයෙන් (Skeletal Fluorosis) පීඩා විඳිති.

භූගත ජලයේ ආසනික් හා ෆ්ලෝරයිඞ් සුළු වශයෙන් අඩංගු වීමේ ගැටලුවක් නැතත්, ඒවා අධික වීම හේතුවෙන් වතුර පරිභෝජනය කරන පුද්ගලයින්, පිත්තාශ, පෙනහළු හා සමේ පිළිකාවන්ට ගොඳුරු විය හැක. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව ජලය ලීටරයක් තුළ තිබිය හැකි උපරිම ෆ්fා්රයිඞ් ප්‍රමාණය මිලිග්‍රෑම් 1.5කි. එහෙත් බිහාර් ප්‍රාන්තයේ පානීය නල ජලය ලීටරයක ෆ්ලෝරයිඞ් මිලි ග්‍රෑම් 16ක් අඩංගුය.

නව තාක්ෂණය

කෘෂිකර්මයේදී පාත්තිවලට ජල ධාරාවන් මුදා හැරීමේ ක්‍රමවේදය නිසා 50%ක ජල නාස්තියක් සිදුවන වග නෙදර්ලන්ත කෘෂි විiාඥයකු වන ආර්ජන් හොක්ස්ට්‍රා පවසයි. පැලයක මුලට අවශ්‍ය වන තෙතමනය පමණක්, එැතැනට සම්බන්ධ කළ නලයක් මගින් මුදා හැරීමේ ‘බිංදු ජල ක්‍රමය’ උපයෝගි කරගත හොත් ජල සම්පත 97%කින් රැකගත හැකි යැයි ඔහු කියයි. ජලය අඩුවෙන් වැය වන භෝග වගා කිරීමට ගොවීන්ව හුරු කරන සංස්කෘතියක් හැම රටක්ම පාහේ අනුගමනය කළ යුතු යැයි හෙතෙම අවධාරණය කරයි.

අලිගැටපේර කිලෝවක් නිෂ්පාදනය කිරීම පිණිස ජලය ලීටර් 2000ක් වැය වේ. කපු කිලෝවක් නිපදවීම සඳහා ජලය ලීටර් 9359 ක් වැය කළ යුතුය. තක්කාලි කිලෝවකට වැය කළ යුතු ජල ප්‍රමාණය ලීටර් 214කි. එහෙත් මස් මාංශ නිෂ්පාදනය සඳහා විශාල ජල ප්‍රමාණයක් වැය වෙයි. කුකුල් මස් කිලෝවක් වෙනුවෙන් ජලය ලීටර් 4325ක් ද, එළුමස් හා හරක් මස් සඳහා පිළිවෙලින් ජලය ලීටර් 10,412ක් සහ 15,415ක් වැය කළ යුතු වේ. චීනය, ඉන්දියාව වැනි රටවල ධනවතුන්ගේ ප්‍රමාණය ඉහළ යනවිට මස්, මාංශවලට තිබෙන ඉල්ලුමද සීඝ්‍රයෙන් වැඩි වේ. පසුගිය වසර 50 ඇතුළත ගෝලීය මාංශ පරිභෝජනය හතර ගුණයකින් ඉහළ ගොස් තිබේ. මුහුදු වතුර පිරිපහදු කර පානීය ජලය බවට පරිවර්තනය කරන ‘සියුම් පෙරහන්’ තාක්ෂණය, 1960 දශකයේදී ඊශ්‍රායලය වෙත හඳුන්වා දුන්නේ ඇමරිකානු විiාඥයකු වන සිඞ්නි ලොඑබ් විසිනි. වර්තමානයෙහි ඊශ්‍රායලය මුහුදු වතුර කියුබික් ලීටර් මිලියන 600ක් වාර්ෂිකව පිරිපහදු කරන අතර 2030 වන විට එය බිලියන 1.1 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කොට ඇත. සිය රටවැසියන් භාවිත කොට ඉවතලන අප ජලයෙන් 86%ක් නැවත පිරිසිදු කොට භාවිතයට ගැනීම ඊශ්‍රායලයේ පරිචයයි. මාලදිවයින, සිංගප්පූරුව, කටාර් රාජ්‍යය, ඇමරිකාව, චීනය, මෝල්ටා, ඇන්ටිගුවා, කුවේට්, බහමාස් හා බහරේන් වැනි රටවල්ද දැන් දැන් මුහුදු ජලය පිරිපහදු කිරීමේ දැවැන්ත ව්‍යාපෘතීන්ට යොමුව සිටී. ලොව පුරා එවැනි සාගර ජලය පිරිපහදු කරන පොම්පාගාර 15,906ක් මේ වන විට ස්ථාපිත කර තිබේ. මුහුදු වතුර පොම්පාගාර වලින් ඉවත් කරන ලවණ, මිරිදිය මසුන් බෝ කිරීමේ ව්‍යාපෘතීන්වලට අමුද්‍රව්‍යක් සේ යෙදීමට ඊශ්‍රාලය කටයුතු යොදා ඇත. එහෙත් මෙම ‘සියුම් පෙරහන්’ තාක්ෂණය හඳුන්වාදීම සඳහා වැය වන දැවැන්ත ප්‍රාග්ධනය, දුප්පත් රටකට දැරිය නොහැකිය. සිංගප්පූරුව සිය පාරජම්බුල තාක්ෂණය ඔස්සේ රටේ සියලුම අප ජලය 100%කින් පිරිපහදු කොට නැවත ප්‍රයෝජනයට ගැනීමට සමත් වී ඇත. වසර පුරාම වර්ෂාපතනයක් සහිත බර්මුඩාව, හැම රට වැසියකුටම වැසි වතුර ගබඩා කිරීමේ ටැංකි ඉදි කිරීමට නියෝග කොට තිබේ. නිවාස සැළැස්ම තුළ වහලයෙන් වැටෙන වැහි වතුර රැස් කිරීමේ ටැංකියක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ පාරිභෝජනයට ඇති ජලයෙන් 30% අපතේ යන වග වාර්තා වී තිබේ. ජල හිගයේ තර්ජනය මතු දා ගේ දොරකඩට එන තෙක් බලා නොසිට බර්මුඩාව මෙන් වැසි ජලය එක්රැස් කිරීමේ සද්කාර්යය වෙත ශ්‍රී ලාංකිකයින් පෙළැඹවීම නොපමාව සිදු කිරීමට බලධාරීන් පියවර ගත යුතුය.