ජයරාජපුර, කවයන්කුලම මිනිසුන්ට වැලි ගැසීම

සටහන සහ ඡායා ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

කුඹුක්කඩවල, කරුක්කුමඩුව වැව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මීට කලකට පෙර ප්‍රදේශයේ දේශපාලඥයන්ගේ මැදිහත් වීමෙන් ආරම්භ කළත් දැන් එහි සිදුවෙමින් පවතින්නේ වැව සංවර්ධනය වෙනුවට වැවත්, වැව් තාවුල්ලත්, අවට ගම්මානත්, මාර්ගත් විනාශ වන ආකාරයේ වැඩපිළිවෙළක් බව පැහැදිලිය. “වැව් සංවර්ධනය කරනවා කියලා වැවේ බැම්මට එක පස් පිඩැල්ලක් දැම්මේ නෑ. වැව කපලා පස් මෙහේ ගේනවා. මෙවැනි පස් කඳු ප්‍රමාණයක් කරුක්කුමඩු වැවේ කපන්නේ කොහොමද. වැවක රොන්මඩ ඉවත් කරන ක්‍රමවේදයක් තියනවා. අද ඒක ඉක්මවා ගිහිල්ලා. විශාල වළවල් කපලා. මාළු අල්ලන්න ගමේ මිනිස්සු මේවාට බහිනවා. මිනිස්සු ඒවයේ වැටිලා මැරුණත් කවුද වගකියන්නේ. ගොවි සංවිධානේ සභාපතිත් නිදි. මේ ගමේ මිනිස්සු වතුර නැති කාලේ නාන්නත් යන්නේ වැවට. දැන් තැනින් තැන විශාල වළවල් කපලා, ගස් ටික ගලවලා දාලා. හරක් වැව් තාවුල්ලේ ඉස්සර තණකොළ කෑවා. දැන් වැව් තාවුල්ලක් නෑ, පස් ගොඩක් විතරයි.” ඒ හඬ ජයරාජපුර ගම්වැසියකු වන දිසානායකගේය.

කරුක්කුමඩුව වැව සංවර්ධනය කිරීමක් වෙනුවට දැන් වැව අවට දක්නට ලැබෙන්නේ වෙනත් මහා පරිමාණ ව්‍යාපාරයක සලකුණුය. වැව අවට ප්‍රදේශයේ තැන තැන පොළොවේ විශාල වශයෙන් පැතිරුණු වළවල් කැපීමක් සහ වැලි සහිත පස් රැගෙන යාමේ ව්‍යාපාරයක් මහා පරිමාණයෙන් එහි සිදුවෙමින් තිබුණි. ඒ අවට හරිතමය ආවරණයටත් මේ හේතුවෙන් හානි සිදුවී තිබෙන බව දැක ගත හැකිය. ගම්මාන කීපයක යන්තමින් හෝ තවමත් ඉතිරිවී පවතින පරිසර සම්පතද මේ වන විට බලවතුන්ගේ මැදිහත්වීමෙන් විනාශ කරමින් සිටින බව පැහැදිලිය. ගම්වැසියන් යටත් කර ගැනීමේ සහ ඔවුන්ගේ කටවල්වලට මුඛවාඩම් දැමීමේ උපක්‍රමද ඔවුන් සිදුකරමින් සිටින අයුරු ගම්වැසියෝ පැහැදිලි කරති. ඒවාට පිටතින් යන්නන්ට මැර බලය යොදා නිහඬ කිරීම සිදු කැරෙයි.

ජන ජීවිතයට බලපෑම්

වැව අවටින් රැගෙන එන වැලි සෝදා වෙන් කිරීමේ කටයුතු සිදුවන්නේ ජයරාජපුර ප්‍රදේශයේම තවත් විශාල ඉඩමකය. එය යන්ත්‍ර සූත්‍ර ගණනාවක් සහිතව ක්‍රියාත්මක වන්නකි. ඒ අතර විශාල පොකුණු වැනි වූ ඉවත් කරන ලද ජලය පිරුණු වළවල්, විශාල කඳු ලෙස ගොඩ ගැසුණු සෝදා ඉවත් කරන පස් කඳුය. “අපි දන්නා කාලයේ සිට මේ ඉඩම රජයට අයත් ඉඩමක්. ඒ කාලයේ මේ ඉඩමේ වගා කළ අය හිටියා. දැන් මේවාට ඔප්පු තියනවා කියලා කවුරුහරි කියනවා නම් ඒකට ප්‍රාදේශීය ලේකම්වරයාත් වගකියන්න ඕනෑ. මේ ඉඩම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් විය යුතුයි. මේකේ මොකක්හරි යටි කුමන්ත්‍රණයක් තියනවා. මේ වැලි කර්මාන්තයේ වැඬේ මුලින් පටන්ගත්තේ යූඑන්පී එකෙන් ඡන්දය ඉල්ලූ බාලසූරිය මහත්මයායි. එතනින් එහා දේශපාලන මැදිහත්වීම මොකක්ද කියලා අපි දන්නේ නැහැ. අපි මේකට කැමති වුණේ නැහැ. මොකද මේකෙන් ගමට කිසිම ප්‍රයෝජනයක් නෑ. ගොවිතැන් කරගෙන, සතුන් බලාගෙන, කුලී වැඩ කරගෙන හිටිය ජනතාවක් මේ ගමේ හිටියේ. ස්වාභාවිකව ගලාගෙන යන ජල පහරක් මෙතැන තිබුණා. ඒ ඔක්කෝම දැන් අවහිර වෙලා. අපේ ගෙවල්වලට මේකේ දූවිලි එනවා. සම්පූර්ණ ජන ජීවිතය අඩාල වෙලා. මේවා කාටද කියන්නේ. කාට කිව්වත් විසඳුමක් නෑ. යූඑන්පී එකට ගහපු කතිරය ගැනත් අපි කනගාටු වෙනවා. පිට ගම්වලින් ඇවිත් ගමේ මිනිස්සු කියන කිසිවක් ගණන් නොගෙන මේ ව්‍යාපාර කරගෙන යනවා. මේවා කළාට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජන ජීවිතයට ප්‍රශ්නයක් වෙන්න බැහැ.” ඒ දිසානායකය.

කරුක්කුමඩුව වැව පසුගිය වසරේ වාන් දැමූ අවස්ථාවේ එහි ජලය පිටවීමට තිබූ මාර්ග අවහිරව තිබූ බැවින් මදුරන්කුළිය, කුඹුක්කඩවල මාර්ගයේ ජයරාජපුර ප්‍රදේශයේ පාලමක් ද කඩාගෙන යාමෙන් පාර දෙකඩ වූයේය. මාර්ගය අවහිර වන ලෙස එවැන්නක් සිදුවූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණ ද ඊට හේතුව කුමක්දැයි කිසිවකු සොයා බලා තිබුණේ නැත. “වැවෙන් පස්, වැලි අරන් මෙතෙන්ට ගේනවා. මෙතන තියාගෙන හෝදනවා. වැවේ වාන් ඇළ දිගේ දැන් වතුර පිටාර දාන්න බෑ. ඒවා ඔක්කෝම මේ පස් කඳුවලට අවහිර වෙලා. වාන් වතුර වෙනදා මේ ඉඩම හරහාත් ගලාගෙන ගියා. දැන් වතුර බැහැලා ගන්න බෑ මොකද හරස් කරලා ඉඩමේ පස් කඳු ගොඩගහලා. මේ සැරේ පස් ගොඩගහලා නිසා පාරේ බෝක්කුව කඩාගෙන ගිහින් පාර දෙකඩ වුණා. ඒක හැදුවේත් නැහැ. දැනට බයිපාස් එකක් දාලා තියෙන්නේ, ඒ කළෙත් වැලි ගෙනියන අයයි. අවුරුදු දෙකකට කලියෙන් වැලි ප්ලාන්ට් එකක් දාන්න බලපත්‍ර තියනවා කියලා පටන් ගත්තා. පස්සේ පස් මේ ඉඩමේත් දැම්මා කාගෙන්වත් අවසර ගත්තේ නෑ. මේකේ කාටවත් ඔප්පු තිබුණේ නෑ.” ගම්වැසියකු වන වසන්ත පවසයි.

වෙරෝනිකා පැවසුයේ මෙවැන්නකි. “මම මේ ගමට ඇවිත් අවුරුදු තිස් පහක් විතර වෙනවා. ඒ කාලේ පාර හොඳට තිබුණා, බස් ගියා. මේ ව්‍යාපාර පටන් ගත්තාට පස්සේ පාර ඔක්කෝම කැඩිලා. පාර හදන්නෙත් නෑ. බොරළු, වැලි අදිනවා මේ පාරේ. ඒත් පාර හැදෙන්නේ නැහැ. පාර හදන්නේ නැත්නම් පස් දාලා වතුර ගහලා ගෙනියන්න කියලා අපි මේ අයට කීවා, එහෙම කීවා කියලා පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති මගෙන් ඇහුවා චණ්ඩිද කියලා. මම කීවා චණ්ඩි නෙමෙයි අපිට පයින්වත් යන්න එන්න ඔයාලාගේ අතින් ඉටුවෙන්න තියන කාරිය ඉටුකරලා දුන්නොත් ඇති කියලා.”

වැලි සෝදන ස්ථානයේ ජලය පිරුණු වළවල්වල වැටී ගම්වැසියන්ට අයත් ගවයන් තිදෙනෙක් ද මියගිය බවට ඔවුහු චෝදනා කළෝය. එම ඉඩමේ මීට ඉහත ගොවිතැන් කළ අය වූහ. ඔවුහු පවසන්නේ එම ඉඩම්වලට ඔප්පු නොතිබූ අතර ඒවා රජයට අයත් ඉඩම් බවය. “මෙතන කාටවත් එතකොට ඔප්පු තිබුණේ නෑ. මම ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දුන්නා මේක නිදහස් කරලා දෙන්න කියලා. එතකොට කීවා හදලා දෙනවා කියලා. ආයේ පස්සේ ගියාම කීවා බලපත්‍ර තියනවා කියලා. ග්‍රාම නිලධාරීත් ඒ කාලේ කීවේ මේක රජයේ ඉඩමක් කියලායි.” නිලූකා දමයන්තිගේ අදහසය.

ඒ අවට ගම්වැසියන්ට මෙම වැලි සේදීමේ කර්මාන්තය මහා කරදරයක් බවට පත්ව තිබේ. ඔවුන් පවසන්නේ උදෑසන හතහමාරේ පමණ සිට රාත්‍රී දහය පමණ වන තුරුම එහි කටයුතු සිදුවන බැවින් එහි ශබ්දය, දූවිලි ආදී ගැටලු රාශියකින් අවට වැසියන් පීඩා විදිති. එම ස්ථානයේ පොළව යටට විද නළ යොදා වතුර ගෙන වැලි සේදීම සිදුවන බැවින් ඒ ආසන්නයේ වූ පොදු ළිඳේ ද වතුර හිඳී යන බවත් සත්තුන්ට වතුර දීම, ස්නානය, සේදීම ආදියට ගම්වැසියන් වූ ස්ථානයක් ද ඒ අනුව අහිමිව ගොස් තිබෙන බවටත් ඔවුහු චෝදනා කළෝය.

ගම්වැසියන්ට බලපෑම්

මේ අතර කවයන්කුලම ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ බොරලු හෑරීමත්, මෙම වැලි ව්‍යාපාරයත් සියල්ල නිසා පීඩාවට පත්ව සිටින මිනිසුන්ට විරෝධතාවක් හෝ දැක්වීමට කිසිදු ඉඩක් මේවා පිටුපස තිබෙන බලවත් හස්තයන් විසින්ලබා දෙන්නේ නැත. අප කරුක්කුමඩුව ප්‍රදේශයේ සිටින විටත් ගම්වැසියකුට දුරකථනයෙන් අමතා ආනමඩුව හිටපු විපක්ෂ නායක ප්‍රේමසිරි මුණසිංහ පවසා තිබුණේ බොරළු වළ දෙසට අපට යෑමට ඉඩ නොදෙන ලෙසයි. ඒ අතර එම ප්‍රදේශවාසියකු වූ ජූඞ් නැමැති පුද්ගලයකු පැමිණ අප සමග සිටි ගම්වැසියකුගෙන් විමසුවේ “උඹද එක්ක ආවේ, වැලි ප්ලාන්ට් එක පැත්තට ගියා නේද, මෙයා තනියමද අවේ, පිරිමි අයත් ආවාද?” යනුවෙනි. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම වැලි සහ බොරලු ව්‍යාපාරවලට ආරක්ෂාව සපයන්නේ මෙම ජූඞ් නම් පුද්ගලයාය. ඔහු වරින් වර විවිධ දේශපාලඥයන්ගේ කටයුතුවලට සහාය දක්වන්නෙක් බවත් ගම්වැසියන් බිය වද්දා එම කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට සහාය ලබාදෙන බවත් ගම්වැසියෝ පවසති. මේවාට එරෙහිවන්නන් හොඳින් හෝ නරකින් නිහඬ කිරීම ඔවුන්ගේ ක්‍රමය බව ඔවුහු පවසති. ගම්වැසියන් නිහඬ කරමින් සිදුවෙමින් පවතින මෙවන් විනාශ දැකීමට පිටස්තර අයකුට යෑමද ඒ අනුව පහසු නැත.

පසුගිය 21 වැනි දින ගම්වාසීන් මගට බැස කරුක්කුමඩුව කනිෂ්ඨ විද්‍යාලය අසල පාර හරස් කර බොරලු ප්‍රවාහනයට ඉඩ නොදෙමින් විරෝධතාවක් පවත්වන්නට පියවර ගෙන තිබුණේ දිගින් දිගටම තමන් ලක්වන පීඩාවන් තවදුරටත් දැරීමට නොහැකිවන තැනය. සෑම දිනකම පාරේ අධික වේගයෙන් ටිපර් ධාවනය වීමත් පාසල තුළට දූවිලි ඒමත් අදී හේතු පාසලේ කටයුතුවලට ද බාධා ඇති කර තිබෙන බවට එම පාසලේ ගුරුවරු මෙන්ම මාපියන් ද චෝදනා කරති. “අපි ඉස්කෝලේ ළඟ උද්ඝෝෂණයක් කළා. දූවිලිවලට හැමදාම ළමයි අසනීප වෙනවා. පාරේ ටිපර් වේගෙන් යනවා. මුන්දලම පොලීසියේ ඕඅයිසී නැහැ කියලා රණවීර කියලා පොලිස් නිලධාරියෙක් ආවා. එයා කීවා සඳුදා වෙනකම් පර්මිට් තහනම් කරනවා කියලා. අපි පොලීසියට ලියුමක් භාර දුන්නත් ඕඅයිසී නැති නිසා ඒක භාර ගන්නත් බැහැ කීවා. ඒත් පහුවදා පාන්දරම වෙනදාටත් වඩා බොරලු ඇද්දා. අපි ආපහු ඉස්කෝලේ ළඟ පාර හරස් කළා. පස්සේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් ඇවිත් කීවා සිකුරාදායි සෙනසුරාදායි විතරක් අදින්න දෙන්න සඳුදාට ප්‍රාදේශීය ලේකම් හැමෝම කැඳවලා සාකච්ඡා කරමු කියලා. ප්‍රාදේශීය ලේකම්, මුන්දලම පොලීසියේ ඕඅයිසී දෙන්නාම නිවාඩුයි කියලා ඒකත් වෙන්නේ නැහැ. පාරේ මෙහෙම තත්ත්වයක් තියෙද්දී කොහොමද බලපත්‍ර දීලා තියෙන්නේ කියලායි අපිට දැනගන්න ඕනෑ. පාර මීට කලියෙන් මේ විධියට තිබුණේ නැහැ. බෝක්කුව කැඩිලාත් අවුරුද්දක් වෙන්න ළඟයි. පාර හදනවා කියලා සැරෙන් සැරේ බෝඞ් දානවා විතරයි. සල්ලි පාස්වෙලා කියලා කියනවා. ඒත් හදන්නේ නෑ. ඒවා අපි පොඩි කාලේ ඉඳලාම අහනවා. බොරලු ටිකයි වැලි ටිකයි ඇදගන්න යන්තම් වළවල් වහගෙන යනවා.” ඒ ගම්වාසී තරුණයෙක් වූ හර්ෂ මධුෂංකය. ගම්වැසියන් පවසන්න්නේ පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී සියල්ල මේ දේශපාලන බලවතුන් ආරක්ෂා කිරීමට මිස තමන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු නොකරන බවය.

කබළෙන් ළිපට

මාර්තු 26 වැනි දින ගම්වැසියන් පස්දෙනකු පොලීසියට කැඳවීමට ද මුන්දලම පොලීසියේ වැඩබලන ස්ථානාධිපති කටයුතු කර තිබුණෙන් ඒ පිළිබදව අප එදින මුන්දලම වැඩබලන ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරුය. “එහෙම ප්‍රශ්නයක් තිබුණා. පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් පැමිණිල්ලක් දාලා තියනවා තමන්ගේ වාහනවලට බාධා කරනවා කියලා. අද මම මිනිස්සුන්ට සාකච්ඡාවකට එන්න කීවා, නැත්නම් උසාවි දාන්න තමයි තියෙන්නේ. දූවිලි එනවා කියනවා. මෙච්චරකල් ඇදපු අයට ප්‍රශ්නයක් වුණේ නෑ. පර්මිට් තියනවා. කොච්චර කාලයකට ද කියලා නම් දන්නේ නෑ. මෙච්චර කල් ඇදපු එක එක සැරේ දවසින් වෙනස් කරන්න බෑනේ. සාකච්ඡාවක් තියන දවස අද තීරණය කරනවා.” යනුවෙනි. ගම්වැසියන් පොලීසියට ගෙන්වීම සම්බන්ධයෙන් විමසූ විට ඔහු පැවසුවේ, “ඕඅයිසී මහත්තයා දන්නවා. එයාට ගන්න” යනුවෙනි.

මුන්දලම පොලීසියේ ස්ථානාධිපති සමන් ඒකනායක අපට පැවසුවේ මෙවැන්නකි. “භූ විද්‍යා පතල් එකෙන් පර්මිට් දීලා බොරලු ඇදලා තියනවා. මට මතක විධියට පොලීසියට පර්මිට් එකේ කොපි එවලා තියනවා. දිසාපතිතුමාගේ සංවර්ධන කමිටු රැස්වීමේදී තමයි ඒ පර්මිට් එක අනුමත කරලා තියෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ පාර හදලා නෑ. පාරේ සමහර තැන් බොරලු. එතකොට දෙපැත්තට දූවිලි යනවාලු. පාරට වතුර ගහලා අදින්න කියලා කොන්දේසියක් දීලා තියනවාලු. වතුර ගහලා අදින්නේ නෑ කියන එකයි මිනිස්සුන්ගේ ප්‍රශ්නය තියෙන්නේ. පාර හදලා දෙන්න කියලාත් කියනවාලු.” ගම්වැසියන් පොලීසියට ගෙන්වීම පිළිබඳ ඔහු පැවසුවේ මෙවැන්නකි. “වැඩබලන ඕඅයිසී කීව විධියට පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති පැමිණිල්ලක් දාලා තියනවා. ඒ නිසා එන්න කියන්න ඇති. බලපත්‍රය එයාගේද දන්නේ නෑ. වැඩබලන කෙනාගෙන් අහන්න. මම ප්‍රාදේශීය ලේකම්ට කීවා බොරලු අදින්න දෙනවා නම් භූ විද්‍යා පතල් එකට, මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දැනුම් දෙන්න කොන්දේසි ලබා දෙන්න කියලා.අපිට මැදිහත් වෙන්න බෑනේ. භූ විද්‍යා පතල් එකෙන් පර්මිට් එකක් දෙනවා නම් ඒ අය දැනගන්න ඕන ක්ෂේත්‍ර පරීක්ෂණයක් කරලා දෙන්න. හැමදාම චෝදනා කරන්නේ පොලීසියට නේ. මහජනයා කියනවා නම් මේකෙන් ඒ අයට හානියක් වෙනවා කියලා, දෙපැත්තෙන් දූවිලි එනවා ඉස්කෝලෙක උගන්වන්න බෑ කියනවා නම් එතැන වැරැද්දක් තියනවා. අපි හැමදාම මහජනයාත් එක්ක ඉන්න එපැයි.” යනුවෙනි. එහෙත් මහජනයා සමග සිටින්නේ කවුද යන්න අපට ඇති ගැටලුවකි. පීඩනයට ලක්වන ගම්වැසියන්ට කළ හැකි දෙයක් නොවූ තැන ඔවුහු මග හරස්කර ඇත. ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන තුරු වැඩ නතර කරන බවට පොලීසිය පොරොන්දු වුවත් එය සිදුවී ද නැත. අවසානයේ පොලීසියට ගෙන්වන්නේද ගම්වැසියන්ය.

බලපත්‍ර පිළිබඳ ස්ථානාධිපතිවරයා පැවසුවේ එහි පිටපතක් වැඩබලන ස්ථානාධිපති සතුව ඇති බැවින් ඔහුගෙන් විමසන ලෙසත් ඔහුට මතක නැති බවත්ය. ජනාධිපතිවරයා කල්පිටියට පැමිණි දිනයේ හවස සිට තමන් තවම සිටින්නේ නිවාඩු පිට බැවින් ඊට මැදිහත්වීමට නොහැකි බව ඔහු පැවසුවේය. අප නැවත මුන්දලම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිගෙන් විමසූ විට ඔහු පැවසුවේ එය සමතයකට පත් වූ බවත්, 29 වනදාට ප්‍රාදේශීය ලේකම්වරයා හමුවන ලෙස ගම්වැසියන්ට උපදෙස් දුන් බවය. මේවා සම්බන්ධව බලපත්‍ර තිබෙන බවත් ඒවායේ තමන් නොබැලූ බැවින් කාලසීමා ආදිය ගැන තමන් දැනුවත් නැති බවත් ඔහු පැවසුවේය. අංජන සඳරුවන් සභාපතිවරයා විසින් දමා තිබෙන පැමිණිල්ලේ අංක සහ පැමිණිල්ල පිළිබඳ අප විමසූ විට ඔහු පැවසුවේ, 25 වන දා දැමූ පැමිණිල්ල 26 වන දා උදේ ඔහු ඉල්ලා අස්කරගත් බවකි.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයෙන් දැනගැනීමට ලැබුණු පරිදි මේ වන විට කවයන්කුලම ග්‍රාම නිලධාරී වසමේ බොරලු කැණීම් බලපත්‍රයක් තිබෙන්නේ ගුරුගොඩයාය නම් ඉඩමේ හිමියා වන එච්.එම් ලක්ෂ්මන් සූරසිංහ නම් පුද්ගලයාටය. එම බලපත්‍රයේ කාලයද 2019.04.28 දිනෙන් ඉකුත්වීමට නියමිතය. කවයන්කුලම ග්‍රාම නිලධාරීවරයා වන එම්.එම්.අයි.එස් කුමාරගෙන් අප කළ විමසීමේ දී ඔහු සඳහන් කළේ බලපත්‍රය තිබෙන්නේ ඔහුගේ ඉඩම් හිමියා වන ඔහුගේ නමට වුවත් කොන්ත්‍රාත් පදනම මත එය වෙනත් අයෙක්ට ලබා දී තිබේ දැයි තමන් නිවැරදිව නොදන්නා බවය. ප්‍රවාහන බලපත්‍රය තිබෙන්නේ වෙනත් අයෙකුට විය යුතු බවද ඔහු පවසයි. ඒ.එම්.සී.ජේ අධිකාරී නමැති පුද්ගලයාට ද කැණීම් බලපත්‍රයක් තිබුණ ද එයද මේ වන විට කල් ඉකුත්ව ඇති බැවින් එය අලුත් කරගැනීමට නියමිත බව ද ඔහු පැවසුවේය. ජයරාජපුර ග්‍රාම නිලධාරී එච්.ඒ.ඩී මධුෂංකගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ වැලි පිරිසිදු කරන ඉඩම සම්බන්ධයෙන් සහ එම කටයුතු හේතුවෙන් ගැටලු තිබෙන බැවින් ඒ පිළිබඳව පියවර ගැනීමට මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දන්වා තිබෙන බවය.

“මේ මගඩිය හොයන්න. ඉඩම් මංකොල්ලයක් තියනවා, පරිසර දූෂණයක් තියනවා, ජනතාවගේ ජන ජීවිතය අඩාල කළ ක්‍රමවේදයක් තියනවා. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් දේශපාලනයට යට කරලා තියනවා. කිසිම දේශපාලන පක්ෂයක් මේ මදුරන්කුළිය මහකුඹුක්කඩවල ප්‍රධාන පාර හැදුවේත් නෑ. පිටින් ආව පුද්ගලයන්ට ගමක් යට කරන්න දෙන්න බෑ.” ඒ ගම්වැසියන්ගේ වදන්ය.