නිට්ටඹුව පොලිසිය කාන්තාවන්ට තඩිබාබු හැටි

නිමල් අබේසිංහ

ජීවිත කාලයටම පොලිසියකට පයක් ගසා නොතිබුණු ඇයට වයස අවුරුදු 68ක් ගෙවෙද්දී නිට්ටඹුව පොලිසියට ගොස් විඳින්නට සිදු වූ අමිහිරි අත්දැකීම කිසිදා සිතින් බැහැර නොයනු ඇත.

මාර්තු 08 වැනිදා රාත්‍රියේ සිය බාල දියණියගේ සැමියා පා පහරක් එල්ල කිරීම හේතුවෙන් ඇය නිට්ටඹුව පොලිසියේ කළ පැමිණිලි විභාගය පැවැත්වුණේ මාර්තු 14 දිනයේදීය.
කරුණාවතී අමරසිංහ නම් 68 වියැති ඕ තමන් ලැබූ කටුක අමිහිරි නින්දා සහගත අත්දැකීම සිහිපත් කරද්දී ද සසල වන්නීය. හෘදය රෝගයකට අමතරව තවත් රෝග කිහිපයකින් පෙළෙන කරුණාවතී සිය දියණියටත්, මිණිබිරියටත් නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපති සහ තවත් නිලධාරින් පිරිසක් සිදු කළ නින්දාසහගත සිද්ධිය සිහිපත් කළේ තවමත් නොනැසුණු කම්පන තත්ත්වයෙන් යුතුවය.

“ අපි පොලිසියට යනකොට බාල දුවගේ ස්වාමි පුරුෂයා වන චමින්දත් ඇවිත් හිටියා. මගේ තනියට මගේ දුවත් මිනිබිරියන් දෙදෙනාත් ගියා. පොලිස් නිලධාරියෙක් අපේ පැමිණිල්ල විභාග කළා. චමින්ද පොලිසියේ කූඩුවට දැම්මා. ඊට පස්සේ එයා කීවා මේක සමථ මණ්ඩලයට තමයි දාන්න වෙන්නේ කියලා. ඊට පස්සේ දුව කීවා අපට නඩුවක් ඕනෑ. අම්මා තනියම ගෙදර ඉන්නේ ඒ වේලාවටත් ඇවිල්ලා ගැහුවොත් එහෙම මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඒ මහත්තයා කීවා එහෙනම් එච්. කිව්. අයි. මහත්තයා එනකල් ඉන්න කියලා. අපි විභාග කරපු කාමරයෙන් එළියට ඇවිත් එච්. කිව්. අයි මහත්තයා එනකල් වාඩිවෙලා හිටියා.” කරුණාවතී සිද්ධිය පිළිබඳ කතාව ඇරඹුවේ එලෙසය.
දේවාලය හිස මත කඩා වැටෙයි

මවත් දියණියත් පමණක් ඔහුගේ කාමරයට ගියහ. කාරණය විමසා සටහන් පොත ගෙන්වාගෙන මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා චූදිතයා සිය කාමරයට ගෙන්වා ලුණු ඇඹුල් ඇතිවම බැණ වැදී ඇත. එපමණකින් නෙැනැවතී මාස හයකට හිරේ යවන බවටද තර්ජනය කර තිබේ. එයිනුත් නොනැවතී චමින්දට ඇප දීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනාට ද බැණ වැදී එළවා දමා ඇත. ඇප දීමට නම් චමින්දගේ බිරිඳට පැමිණෙන ලෙසටද පවසා ඇත. ඒ අතරේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරිනියකද කැඳවා ගන්නීය. ඔහු සූදානම් වූ පිළිවෙල අනුව දැන් චමින්දට එරෙහිව සැබවින්ම නීතිය ක්‍රියාත්මක වන බව පැමිණිලිකරුවන්ට දැනෙයි.

ඔය අතරේම එච්. කිව්. අයි. මහත්තයාගේ හෑන්ඞ් ෆෝන් එකට කෝල් එකක් ආවා. එයා කතා කාලේ ‘ඔව් මන්ත්‍රීතුමා එන්න. මම ඔෆිස් එකේ ඉන්නවා කියලයි. ඒ ටික වේලාවකින් අත්තනගල්ලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් වන උපුල් කියන එක්කෙනා ආවා. ඊට පස්සේ අපට එළියට යන්න කීවා. ඊට පස්සේ චමින්දත් මන්ත්‍රී ළඟම පුටුවේ වාඩිවෙලා හිටියා. තව ටිකකින් චමින්දත් හිනාවීගෙන ඇවිත් අපි ඉස්සරහම පුටුවක වාඩි වුණා. තවත් ටිකකින් මන්ත්‍රීවරයත් එළියට ඇවිත් යන්න ගියා.’ කරුණාවතී කතාවේ ඉතිරි කොටස ඇරඹුවාය. මෙතෙක් නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන බව ප්‍රදර්ශනය කළ නිට්ටඹුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක්ගේ වෙස් පෙරලෙන්නේ මෙතැන් සිටය.

මන්ත්‍රීවරයා පිටත්ව ගිය පසු නැවතත් මව සහ දියණිය මුලස්ථාන පොලිස් පරීක්ෂකගේ කාමරයට ගොස් ඇත.

‘ඇයි තමුසෙලා තවම මෙහෙ.’

‘ඇයි සර් අපිට ඉන්න කියලා කිවේ.’ දියණිය මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට කීවාය.

‘සර් නඩුවක් දානවා කීවේ අපි ආවේ ඒකටයි.’ ඒ දියණියගේ හඬය.

‘තමුසෙලා මට නීතිය උගන්වන්න එනවද? මම නීතිය කරන්නම්. දෙන්නාගෙම අයිඩින්ඩි කාඞ් දෙක දෙනවා.’ මූලස්ථාන පොලිස් පරීක්ෂක දිල්රුක් පොලිස් පොතේ යමක් ලියමින්ම ඔවුනට පවසා ඇත.

‘අපි අයිඩින්ටි කාඞ් ගෙනාවේ නෑ. අපි යනවා ගම්පහ එස්. එස්. පී. මහත්තයා ළඟට.’

දියණියගේ බසින් කිපුණු මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. එස්. පී. ළඟට බැරිනම් පොලිස්පති ළඟට පලයල්ලා මම බය නෑ.

කියමින් අසල සිටි පොලිස් නිලධාරිනියකට කාමරයේ දොර වසන මෙන් කළ ඉඟිය කරුණාවතී දුටුවාය. ඇය වහාම දියණියගේ අතින් ඇදගෙන කාමරවෙන් එළියට පැමිණ මිණිබිරියද කැඳවාගෙන පොලිසියෙන් එළියට බසින්ට සූදානම් වූවාය.

පොලිස් කාන්තා රංචුවක්

එවිටම කාන්තා පොලිස් නිලධාරිණියන් දෙදෙනකු පැමිණ ඔවුන්ව රඳවා ගන්නට උත්සාහ කළද එය මඟහැර කොළඹ නුවර මාර්ගයට පිවිසෙන්නට ඔවුන්ට හැකි විය. ඒ අතරේ පොලිස් ජීප් රථයක් හා යතුරු පැදියකින් පොලිස් කාන්තාවන් රංචුවක්ද නිලධාරීන් කිහිප දෙනකුද පැමිණ ඔවුන්ගේ ගමන අවහිර කරමින් අතින් අදිමින් පොලිස් වාහනය තුළට ඇදගෙන නැවත පොලිසියට කුදලාගෙන යන්නට උත්සාහ කළත් මර බිය නිසාම ඔවුන් බිම වැටෙමින් දඟලමින් බේරි කොළඹ නුවර මාර්ගය දිගේ මීටර් පන්සීයක් පමණ දුරට පැමිණ රෝයල් වෙළඳ සැල අසලට පැමිණ තිබිණ. පොලිස් නිලධාරින් ඔවුන් තිදෙනා වට කරගෙන සිටි අතර කාන්තාවන් ඔවුන්ව ජීප් රථය තුළට කුදලාගෙන යාමට උත්සාහ කර ඇත. එලෙසින්ම පොලිස් කාන්තාවන් ඔවුන්ට පහර දුන්නා පමණක් නොව, අමු තිත්ත කුණුහරුපයෙන් තොපි පොලිසියට ගෙනිහින් මරනවා යනුවෙන් තර්ජනය කළ බව මේ කාන්තාවන් දෙදෙනා පැවසූහ.

මේ වන විට ජනතාවද මේ වටා රැස්ව සිටියද පොලිසිය සිය අත්සාහය අත්හැර නැත. මොකක් හරි ලොකු වැරැද්දක් කරලා ඇති. මේ මිනිස්සුත් ගාල්ලේ වගේ අරන් ගිහින් මරන්නද දන්නේ නැ. වැනි වදන් මිනිසුන් අතරින් කියවුණු බව තමන්ට ඇසුණු මුත් පොලිසියට බියෙන් කිසිවකු තමන් බේරා ගන්නට නම් නොපැමිණි බව කරුණාවතී කියන්නීය.

කෙසේ හෝ මාධ්‍යට මේ බව සැලවී එතැනට පැමිණ සිද්ධිය කැමරාගත කළද පොලිසිය සිය උත්සාහය අත්හැර නැතුවා සේම මේ තිදෙනා රැගෙන යන්නට පැමිණි දියණියගේ සැමියාටද දෙනෝදාහක් මැද තර්ජනය කරන්නට මේ තුච්ච පොලිස් නිලධාරීහු ක්‍රියා කළහ. කෙසේ වෙතත් ඔවුන් අවසානයේ වාහනයකින් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හමුවට ගොස් ඇති අතර පසුව රෝහල් ගතව ප්‍රතිකාර ලබාගෙන ඇත.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය දිගේ මීටර් 500ක් පමණ දුරක් අතරත් ප්‍රසිද්ධියේ කාන්තාවන් තිදෙනකුට හිරිහැර කරන්නට පහර දෙන්නට අවමන් කරන්නට නිට්ටඹුව පොලිස් නිලධාරීන් සහ නිලධාරිණියන්ට හයියක් ලැබුණේ කෙසේද? මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එතරම් හයියක් ලබා ගත්තේ දේශපාලන රූකඩයක් නිසාද යන්නත් සොයා බැලිය යුතුය.

මේ වනවිට තිබෙන තොරතුරු අනුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ. එයින් පමණක් සෑහීමකට පත්ව ඉහළ නිලධාරීන් අතපිසදාගෙන තිබෙන වගත් පෙනේ.

එහෙත් මෙම සිද්ධියට සම්බන්ධ වූ කාන්තා පොලිස් නිලධාරීන් වන එස්. අයි. නිශාන්ති, කාන්තා උප පොලිස් පරීක්ෂිකා වසුන්දරා, කාන්තා පොලිස් නිලධාරිණි ආර්. එච්. එම්. ගුණතිලක පොලිස් කොස්තාපල් 1483 ජේලර් කොස්තාපල් 32117 යන පිරිස නිට්ටඹුව පොලිසියේ යෙහෙන් වැජඹෙති. ඔලොක්කුවට සිනාසෙමින් සිටින ඔවුහු එයින් අඟවන්නේ අනේ උඹලා අපිට මොන කෙංගෙඩියක් කරන්නද යනුවෙන් නොවේද? ඒ අතරේ මෙම ස්ථානයේ අත බැඳ ගත් සිවිල් පුද්ගලයෙක්ද සිද්ධියට සම්බන්ධ බවක් කැමරාගත කළ රූප රාමු තුළින් දක්නට ඇත. ඔහු මෙම සිද්ධියේදී ක්‍රියා කරන ආකාරයද අයහපත්ය.

කාකිකෝට් බෑයක් ඇඟලාගත් පමණින් තමන්ට කළ නොහැකි දෙයක් නැතැයි සිතන ඔලමොට්ටල මිනිසුන් බොහෝ පිරිසක් පොලිසිය තුළ සිටින බවට මෙයට වඩා හොඳ නිදසුන් තවත් කුමටද? පෑනයි පොතයි තිබෙන්නේ අපේ අතේ යැයි උජාරුවෙන් උදම් අනන මේ කාකිකෝට් කාරයින් පොලිසියට සිදුකරන්නේ මහම අවමානයකි. එලෙසම මේ කාන්තාවන් තිදෙනා (වයස 16ක දරුවකුද ඇතුළුව) පොලිසියට ගෙන ගියේ නම් ඔවුන් කුඩු අලෙවිකරුවන් වීමට වුව ඉඩ තිබිණ. පොලසියට භාවනා අභ්‍යාස කරවන පොලිස්පති පූජිත් ජයසුන්දරට මේ ගැන වගේ වගක් නැත. පොලිස් කොමිසම මානව හිමිකම් කොමිසම මෙවැනි ප්‍රසිද්ධ සිදුවීම් දැක දැකත් පැමිණිලි ලියා ඇඟිල්ලෙන් අනින තුරු බලා සිටිනවා විය යුතුය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිසිය තමන් යටතට පවරා ගන්නේ ද මේවා වලකන්නට විය හැකි මුත් ඔහුගේ භූමිකාව ද පුස්සක් බව මෙවැනි සිද්ධිවලින් තහවුරු වී හමාරය.