පර්පචුවල් අධ්‍යක්ෂවරයෙක් රටින් පිටවී ගිහින්

ආර්. අබේනායක

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගැනීමට සිටි පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ තවත් අධ්‍යක්ෂවරයකු වන අජාන් ගාර්දිය පුංචිහේවා යන අය රටින් පිටවී ඇතැයි ලැබී ඇති තොරතුරු මත ඔහු ගෙන්වා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඔහු ඇතුළු 25 වැනිදා අත්අඩංගුවට ගත් පිරිස, අත්අඩංගුවට ගතහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අදාළ උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇත්තේ පසුගිය 14 වැනිදා වන අතර බැඳුම්කර සිද්ධියට අදාළව පරිගණක සාක්ෂි හා දුරකතන වාර්තා මකා දැමීම පිළිබඳවද අදාළ සැකකරුවන්ට ඉදිරියේදී නඩු පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

මීට අමතරව බැඳුම්කර වංචාව ගැන ජනාධිපති කොමිසමේ වාර්තාව හෙළිකර ඇති, ශනිල් නෙත්තිකුමාර නමැත්තකු අනිකා විජේසූරියට හා ඇයගේ සහෝදරයා වන විජිත විජේසූරියට තර්ජනය කළ බව කියන සිද්ධිය ගැනද නුදුරේදීම නඩු පැවරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ■