ජාතික විද්වත් සංවිධානයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන….

සමන් රාමනායක

පෙබ. 19 වැනි දින ජාතික විද්වත් සභාව විසින් රට හමුවේ තබන ලද ජාතික ප්‍රතිපත්ති මාලාව පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය.
ලියුම්කරු සෞඛ්‍ය සේවයට සම්බන්ධව කටයුතු කරන බැවින් ජාතික විද්වත් සභාවේ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රතිපත්තීන් ගැන අදහස් පළකිරීමට කැමැත්තෙමි.
අද පවතින සෞඛ්‍ය සේවාව පිළිබඳව ජනතාව තෘප්තිමත්ද? අතෘප්තිමත් නම් ඒ කවර කාරණාවලටද? වර්තමාන සෞඛ්‍ය සේවාව අකාර්යක්ෂමද? සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන ගැටලු මොනවාද? මේවා පිළිබඳව මුලින් මනා අවබෝධයක් ලබා ගතහොත් විද්වත් සභාවේ ප්‍රතිපත්තීන් පිළිබඳව ගැඹුරින් සලකා බැලීමට පුළුවන.

දත්ත නැති සෞඛ්‍ය සේවය

ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ නිවැරදි තොරතුරු නොතිබීමයි. තොරතුරු තාක්ෂණය අතින් ඉතාමත්ම දියුණු යුගයක්ව පැවතියත් අප සතුව ඇත්තේ නේවාසික රෝගීන් පිළිබඳ තොරතුරු පමණි. සෞඛ්‍ය සේවාවේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනුයේ බාහිර රෝගී අංශයෙන් වුවත් එම රෝගී තොරතුරු එක්රැස් කිරීමක් සිදු නොකරයි. උදාහරණයකට වර්තමානය වනවිට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන දියවැඩියාව වැලඳුණු රෝගීන් කොපමණ සිටීද, යන තොරතුරු අප සතුව නැත. විද්වතුන් වැඩි අවධානයක් යොමුකර ඇති වකුගඩු රෝගය සම්බන්ධයෙන් වුවද සවිස්තරාත්මක තොරතුරු බලධාරීන් සතුව නැත. එම රෝගය බහුතරයකට වැලඳී ඇත්තේ දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගවලට ද්විතීයිකවය. වකුගඩු රෝගීන් සිටිනුයේ ඊට අමතරවය. හඳුනාගත් කාලීන වකුගඩු රෝගීන් කොපමණ සිටීද, ඉන් කොපමණ ප්‍රමාණයකට රුධිර කාන්දුකරණය අවශ්‍යද, යන තොරතුරු අප සතුව නැත. ආසියාවේ විශාලම වකුගඩු රෝහල පොළොන්නරුවේ ඉදිවෙමින් පැවතියත් ඉන් සේවා ලබාගැනීමට තරම් රෝගීන් සංඛ්‍යාවක් එම පළාතේ සිටීද යන තොරතුරු බලධාරීන් සතුව නැත. නිවැරදි තොරතුරු නොමැතිව සැලසුම් සකස් කිරීම සම්පත් වෙන් කිරීම වැනි කිසිවක් හරියාකාරව සිදු කළ නොහැක.

බිඳ වැටුණු සෞඛ්‍ය පරිපාලනය

අද වන විට ජනතාවට තෘප්තිමත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට නොහැකිවීමට ප්‍රධාන හේතුව වී තිබෙනුයේ සෞඛ්‍ය පරිපාලනය බිඳ වැටී තිබීමයි. එම නිසා එහි සියලු අංශයන් දූෂණයට හා අකාර්යක්ෂමතාවට ලක්වී ඇත. ගිලන් රථයට යොදන ඉන්ධන ටිකේ සිට සියලු මිලදී ගැනීම් හා වැය කිරීම් දූෂණයට ලක්වී ඇත. සියලු අමාත්‍යාංශවලට වඩා අතිකාල හා දීමනා සඳහා වැය කරනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි. විශේෂඥ වෛද්‍යවරුද, සාමාන්‍ය වෛද්‍යවරුද, හෙදියෝද, පරිපූරක වෛද්‍යවරුද යනාදී සියලුදෙනා මේවා ලබති. එහෙත් බොහොමයක් නියමිත සේවා නොකරයි. වසරකට ප්‍රමිතියෙන් තොරවීම හා කල්ඉකුත්වීම වැනි කාරණා නිසා අපතේ යන ඖෂධ ප්‍රමාණය අතිවිශාලය. මේ සියල්ල පරිපාලනයේ වැරදිය. සෞඛ්‍ය සේවාවේ මාරු මණ්ඩල ක්‍රියාත්මක වන්නේම නැත. සමහර හෙදියෝ වසර 20-25ක් එකම රෝහලේය. පරිපාලන තනතුරු බොහොමයක් වැඩබලන ඒවාය. අවම ලෙස සෞඛ්‍ය ආයතනවල නියමිත පැමිණීම හා රැඳී සිටීමවත් සිදු නොවේ. විනය ක්‍රියාමාර්ග ගැනීම් සුළු සේවකයන්ටය. බාහිර රෝගී අංශවල මේ තරම් දිගු පෝලිම් ඇත්තේ මේ කරුණු නිසාය. මේ තරමට සෞඛ්‍ය පරිපාලනය බිඳ වැටීමට හේතුවී ඇත්තේ එය වෘත්තීය මාෆියාවක් විසින් ග්‍රහණය කරගෙන සිටීමයි. එම වෘත්තීය මාෆියාව පරාජය කිරීමට විද්වතුන්ගේ යෝජිත ප්‍රතිපත්තීන් ප්‍රමුඛතාව ලබාදී නොමැත.

වෘත්තීයභාවය අහිමි කර ගත් වෘත්තිකයෝ

වර්තමාන සෞඛ්‍ය සේවාව තුළින් ජනතාවට විශ්වාසවන්ත වගකියන සේවාවක් නොලැබී එය දූෂිත, අකාර්යක්ෂම, පීඩාකාරී තත්ත්වයකට පත්වී ඇත. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එම සේවාවේ නියැලෙන්නන්ගේ වෘත්තීයභාවය මේ වන විට වළපල්ලට ගොසින් තිබීමයි. එම වෘත්තිකයන්ගේ පරමාර්ථය මුදල් ඉපැයීමට සීමාවී ඇත. පුද්ගලික චැනල් සේවාවේ රෝගීන් හිතූ ලෙස ගසා කෑමට ලක්වේ. පුද්ගලික අංශයේ රෝගීන් බියගන්වා සිදුකරන අනවශ්‍ය ශල්‍යකර්ම ප්‍රමාණය එන්න එන්නම වැඩිවෙමින් පවතී. අනවශ්‍ය ලෙස නිතර චැනල් සේවයට ගෙන්වා ගැනීම ආදිය මගින් රෝගීන් ගසා කෑමට ලක්වී ඇත. බොහෝ පුද්ගලික රසායනාගාරවලින් රෝගීන් යොමු කිරීම වෙනුවෙන් වෛද්‍යවරු කොමිස් මුදල් ලබා ගනිති. ඖෂධ ලිවීම වෙනුවෙන් කොම්පැණිවලින් සන්තෝෂම් ලබා ගනිති. අද වන විට පුද්ගලික රසායනාගාරවල ප්‍රමිතිය ඉතා පහළය. බොහෝ දුරට ඔබ අතට පත්වන රසායනාගාර වාර්තාවේ අඩංගු වෛද්‍යවරයාගේ මුද්‍රාව තබා ඇත්තේ මාසික මුදලකටය. වෘත්තිකභාවය ආරක්ෂා කිරීමට ඇති වෛද්‍ය හෝ හෙද සභා මේ වනවිට වෘත්තීය සමිති හෝ දේශපාලන අතකොළු වී හමාරය. පුද්ගලික වෛද්‍ය සේවය නියාමනය කිරීම වැනි ලස්සන වචනවලින් මේවාට ප්‍රායෝගික විසඳුම් ලබාදිය නොහැකිය. අද වනවිට රාජ්‍ය සෞඛ්‍ය සේවය සහ පුද්ගලික සෞඛ්‍ය සේවය එකිනෙකට වෙන් කිරීම යන මංසන්ධියට තීරණාත්මක ලෙස අප පැමිණ ඇත. මෙවැනි කාරණා ගැන විද්වතුන් ගැඹුරින් සිතා බලා ඇති බවක් නොපෙනේ. නැතහොත් වෘත්තිකයන් අමනාපවේ යැයි සිතා හෝ බියවේයැයි සිතා හෝ ඒ පිළිබඳව අවධානය යොමු නොකර සිටින්නට ඇත.
ජනතාව පීඩාවට පත්වී ඇති සෞඛ්‍ය සේවාවට අදාළ අනෙක් ප්‍රධාන ගැටලුව නම් ප්‍රධාන රෝහල්වල ඇති රෝගීන්ගේ තද බදයයි. ඒවායේ දිගු පෝලිම්ය. එක ඇඳේ රෝගීන් දෙතුන් දෙනාය. බිමත් රෝගීන්ය. ඊට සාපේක්ෂව ප්‍රාදේශීය රෝහල්වල නේවාසික රෝගීන් ඉතා අඩුය. සම්පත් අපතේ යන තරම්ය. විද්වතුන් මේ තත්ත්වය දකිනුයේ ප්‍රාදේශීය රෝහල්වල සම්පත් හිඟකම නිසා ඇති වූවක් ලෙසය. එහෙත් සැබෑ කරුණු නම් ලංකාව තුළ ප්‍රධාන රෝහල්වලට රෝගීන් යොමු කරන නිසි ක්‍රමවේදයක් නොමැතිකම නිසා මේ තත්ත්වය ඇතිවී ඇත. (Refferal System) දියුණු රටවල ඕනෑම අයකුට ඕනෑම රෝහලකට යා නොහැකිය. ඒ සඳහා නිසි ලෙස යොමුවිය යුතුය. ලංකාවේ මේ ක්‍රියාවලිය සිදුකිරීමට වෛද්‍යවරු හරස් වෙති. ඒ තම චැනල් සේවයට පහර වදින නිසාය. එහෙත් ප්‍රාදේශීය ජනයා ප්‍රාදේශීය රෝහල් හරහා සේවය ලබා විශේෂඥ සේවයට පමණක් ප්‍රධාන රෝහල්වලට යොමු කරන ක්‍රමවේදයකට ගියහොත් මෙම රෝගී තදබදය අවම කරගත හැකිය. මේවා ක්‍රියාත්මක කිරීමද අභියෝගයකි. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නට යෑමේදී සියලුම දිස්ත්‍රික්කවල ප්‍රධාන රෝහල් ශික්ෂණ රෝහල් ලෙස නාම පුවරු ගසා මධ්‍යම රජයට පවරාගෙන ඇත. පළාත් සභාවලට අයත්වන්නේ මූලික රෝහල් හා ප්‍රාදේශීය රෝහල් ටික පමණි. එම නිසා දිස්ත්‍රික්කවල සෞඛ්‍ය සේවාව දියුණු කිරීමේදී විශාල ගැටලු ප්‍රමාණයක් පැන නැගී ඇත.

සෞඛ්‍යයේ අනාගත අභියෝග

සෞඛ්‍ය සේවාව සම්බන්ධ ජාතික ප්‍රතිපත්තීන් නිර්මාණය කිරීමේදී අනාගත සෞඛ්‍ය අභියෝග පිළිබඳව අවධානය යොමු කළ යුතුය. විද්වතුන් එවැනි අභියෝග ලෙස බෝ නොවන රෝග වර්ධනය, මානසික රෝගීන්ගේ වර්ධනය හා වයස්ගත ජනගහනයේ වැඩිවීම ගැන අවධානය යොමු කර ඇති නමුත් ඒ සඳහා ඉදිරිපත් කර ඇති ක්‍රියාමාර්ග බොහොමයක් ගැඹුරු අධ්‍යයනයකින් සහ විශේෂඥ සහය ලබාගැනීමකින් තොරව යෝජනා කර ඇති බවක් පෙනේ. ලංකාවේ ප්‍රමාණවත් තරම් මානසික රෝග වෛද්‍යවරුන් නොමැත. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මනෝ වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් වෘත්තීය පුහුණුව ආදී අංශ දියුණු වී නොමැත. සියදිවි හානිකර ගැනීම් මත්ද්‍රව්‍ය භාවිතය ආදිය අවම කිරීම සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් කෙරෙහි අවධානයක් යොමුකර ඇති බවක් නොපෙනේ. ලංකාවේ දැනට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය සඳහා පහසුකම් සහිත හරිහමන් ආයතන නොමැත.

ලංකාවේ වයස්ගත ජනගහනය දිනෙන් දින වැඩිවෙමින් පවතී. 2020 වනවිට එය 15%ක් වනු ඇත. බෝනොවන රෝගවල බලපෑම් නිසා මෙම වැඩිහිටියන්ගෙන් බහුතරයක් රෝගීන්ය. අනෙක් අතට ස්වභාවිකව ඉන්ද්‍රියයන්ගේ ඇතිවන දුර්වලවීමද, රෝග ලෙස ලේබල් වේ. මෙය අනාගතයේදී සෞඛ්‍ය සේවාවට විශාල අභියෝගයකි. වැඩිහිටි දිවිය කායික හා මානසික ලෙස නිරෝගීව ගතකිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලංකාවේ ගොඩනැගෙමින් නොපවතී. විශ්‍රාම වැටුප නොලබන යහපත් ආර්ථිකයක් නොමැති වැඩිහිටියන්ට රජයෙන් ලැබෙන්නේ ප්‍රමාණවත් නොවන සොච්චම් මුදලකි. වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශයම දිරිමත් කළ යුතුය.
නිරෝගීභාවය පෝෂණ්‍ය හා ඍජුවම බැඳී පවතී. එමෙන්ම බුද්ධිමත් අනාගත පරපුරක් සඳහාද පෝෂණය වැදගත්ය. පෝෂණ ඌනතා සහිත දරුවන් හඳුනා ගැනීමට වඩා වැදගත් වන්නේ පෝෂණ ඌනතා ඇතිවීමට බලපාන හේතුවලට පිළියම් යෙදීමයි. ප්‍රෝටීන මන්දපෝෂණය හා රක්තහීනතාව ලංකාවේ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවලින් එකකි. මෙහි විසඳුම මාංසජනක ආහාර සඳහා දිරිදීමයි. ඒත් ඒ සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් නොමැති අතර රාජ්‍ය ආයතන හා ජනමාධ්‍ය මාංසජනක ආහාර පරිභෝජනය අඩු කිරීමට කටයුතු කරයි.

යූනියන්වලට හිරවුණු ලාංකීය සෞඛ්‍ය සේවය

සෞඛ්‍ය සේවාවේ යාන්ත්‍රණය අද වනවිට හැම අතින්ම හිරවුණු ගල්ගැසුණු ස්වභාවයක පවතී. දුර්වල පරිපාලනය, අත්තනෝමතික ලෙස ක්‍රියාකරන වෘත්තීය සමිති, මුදල් මතම සේවය කරන වෘත්තික මාෆියා විසින් ලංකාවේ සෞඛ්‍ය සේවය දූෂිත, අකාර්යක්ෂම, පීඩාකාරී තවදුරටත් මහජන ගෞරවය බිඳගත් සේවාවක් බවට පත්වී ඇත. මෙහි දිග පළල ගැන විද්වතුන් අවධානයක් යොමු කර ඇති බව නොපෙනේ.  Satallitte Specialized Services  වැනි ඉතා නිර්මාණශීලී ප්‍රයෝජනවත් යෝජනා ක්‍රියාත්මක කිරීමට මෙම තත්ත්වය මත ඉඩක් නොමැත. ජනතාවට නගරයට නොයා ප්‍රාදේශීය රෝහලෙන් තම සේවා ලබාගැනීමට නවීන තාක්ෂණය යොදා ගැනීම මෙමගින් ඉඩ සැලසෙන නමුත් චැනල් සේවාවට බලපෑමක් වන නිසා මෙවැනි යෝජනා කොතෙකුත් ඇතත්, ක්‍රියාත්මක කිරීමේ ඉඩ නොසැලසේ. පර්යේෂණ සිදුකරන වෛද්‍යවරුන්ට මූලික වැටුපෙන් 35%ක් දීමනා ලැබෙන නමුත් මොනවාහරි දෙයක් ලියා මුදල් ලබාගන්නවා විනා සෞඛ්‍ය සේවාවේ දියුණුවට හේතුවන පර්යේෂණ බොහෝ අල්පය. මෙම දූෂිත අකාර්යක්ෂම සිස්ටම් වෙනස් කරන ප්‍රායෝගික යෝජනා කිසිවක් විද්වතුන්ගේ යෝජනා අතර නැත. විද්වතුන්ගේ යෝජිත ප්‍රතිපත්ති තුළින් වෘත්තිකයන්ට තර්ජනයක් නොවන බවට ඒත්තු ගන්නා ඔවුන් තම ගොඩට දාගැනීමේ යටි අරමුණක් තිබුණේදැයි යමකුට සිතුණහොත් එයද අසාධාරණ නොවේ.

ජාතික විද්වත් සභාවේ යෝජිත ප්‍රතිපත්ති අතර ඉතා ප්‍රබල වර්තමාන සෞඛ්‍ය සේවාවේ හැරවුම් ලක්ෂය සටහන් කිරීමට සමත් යෝජනාව වන්නේ රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියයි. එහෙත් එය විද්වතුන් කිහිපදෙනකු කෙටුම්පත් කර සම්මත කරගැනීමෙන් පමණක් ප්‍රතිඵලදායක නොවනු ඇත. රෝගීන්ගේ අයිතිවාසිකම් ගැන මහජනයාට අධ්‍යාපනය ලබාදිය යුතුය. ඔවුන්ගේ යෝජනා ලබාගත යුතුය. එමගින් ජනයාට උනන්දුවක් ඇතිවනු ඇත.