නරිවාදමෙන් කියවෙන දේශපාලනය තේරුම් ගැනීම

මහින්ද හත්තක

“යුද්ධය පැවති කාලයේදීවත් අපේ ආණ්ඩුව මේ රටේ විදුලිය කැපුවේ නැහැ. දිගටම ජනතාවට විදුලිය දුන්නා. බැණුම් අහ අහ නොරොච්චෝලේ හැදුවා. කෙරවලපිටිය හැදුවා. එදා අපි බැණුම් අහ අහ අපහාස විඳගෙන නොරොච්චෝලේ හදලා තිබුණේ නැත්නම් අද ජනතාවට දිගටම ඉන්න වෙන්නෙ කරුවලේ. මේ විදිහට ජනතාවට විදුලිය දීගන්නවත් බැරි ආණ්ඩුවක් මේක. මේ අයට සැලසුම් නැහැ.”

මෙම ඡේදය උපුටා ගත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නාවලපිටිය ප්‍රදේශයේ පන්සලක පැවති උත්සවයක් අමතා කළ කතාවෙනි. විදුලි පංකාවකින් හෝ ගිනියම් වූ වාතයෙන් සහනයක් ලබාගත නොහැකි, වැඩපොළේ හෝ ගොවිපොළේ වැඩ හමාර වී අඳුරේ අතපත ගාමින් ගෙදර යන කවරකුට වුවද ඉහත සඳහන් ප්‍රකාශය ඇසෙන විට ඇති වන්නේ සාධාරණ කෝපයකි. රාජපක්ෂ ආණ්ඩුව නොතිබෙන්නට මුළු රාත්‍රි කාලයම ගත කිරීමට සිදුවන්නේ අඳුරේය. නොරොච්චේලේ ඉදිකිරීමට දොස් පැවරීම සම්පූර්ණයෙන්ම වැරදිය. ඒ ආකාරයෙන්ම හම්බන්තොට වරාය ගුවන් තොටුපොළ ඉදිකිරීම විවේචනය කරන්නේ රාජපක්ෂලාට දොස් පැවරිය යුතු නිසාය. එම නිසා බැණුම් අහ අහ හොඳ වැඩක්ම කළ රාජපක්ෂලාට නැවත බලයට පැමිණීමට මග පෑදිය යුතුය.

“සෑම අතින්ම රට අගාධයට යන නිසා පසුගිය දවස්වල අපි ආණ්ඩුව ගත්තා. දවස් 52ක් කිව්වට ආණ්ඩුව කරන්න පුළුවන් වුණේ දවස් 14 යි. ඉතිරි ටික උසාවියෙන් අක්‍රීය කළා. ඒ දවස් 14ට අපි ජනතාවට සහන දුන්නා. ලෝක ඉතිහාසයේ කිසිම දිනක රජයක ක්‍රියාකාරිත්වය උසාවියකින් අක්‍රිය කරලා නැහැ පළමු වතාවට ලංකාවේ ඒ දේ වුණා. අද ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ආණ්ඩුව උදා කරලා තියෙනවා.”

මේ උද්ධෘතය ද ඉහත කී පන්සලේ දීම කරන ලද කතාවෙන් ගත්තකි. මෙයින් නොකියා කියන්නේ බලයේ සිටින අය පමණක් නොව අධිකරණය පවා රටේ ජනතාවට හොඳ දෙයක් කිරීමට ඉඩ නොදෙන්නේය යන්නයි. ජනතාවට සහන ගොඩක් ලබාදීමට සැලසුම් කර තිබුණ නමුත් උසාවි නියෝගයකින් රාජපක්ෂගේ ආණ්ඩුව අක්‍රිය කළ නිසා එය කළ නොහැකි විය. උසාවි නියෝගයකින් ආණ්ඩුවක් අක්‍රීය කිරීමක් ලෝකයේ වෙනත් කිසිම තැනක සිදුව නැත. දේශපාලකයන්ගේ කතාවලට පමණක් සවන් දෙන කෙනකුට රාජපක්ෂලාට ජනතාවට සහන සැලසීමට අවශ්‍ය වුවත් ඊට කිසිවකු ඉඩ දෙන්නේ නැතැයි යන්නට එහා සත්‍යයක් ඇතැයි සිතෙන්නේ නැත. එම නිසා ජනතාවට සහනයක් ලබා ගැනීමට නම් රාපක්ෂලාට විරුද්ධවන සියලුදෙනා දේශපාලන වශයෙන් සහ වෙනත් තැන්වලින් ඉවත් කළ යුතුය.

මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ අයගේත් ඔවුන්ට ආවඩන අනෙකුත් අයගේත් මෙවැනි ප්‍රකාශනවලට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ ඉඩ ලැබෙන නමුත් ඊට වෙනස් මතයකට හෝ මෙම ප්‍රකාශනවල සාවද්‍යතාව දැක්වීම වැදගත්යැයි ඒවාට ඉඩක් සැලසීමට උනන්දුවක් නැති නිසා මහජන මතය ද ඒ අනුව හැඩ ගැසීමට ඉඩ ඇත. අනෙක් අතට ගොබෙල්ස් න්‍යාය අනුව බොරුවක් දිගටම පවසන විට එය සත්‍යයක්යැයි හුදී ජනයාට දැනෙනු ඇත. ඒ අනුව ඡන්ද විමසීම්වලදී ඔවුන් හැසිරෙනු ඇත.

එහෙත් දේශපාලන පක්ෂවලට අනුගත නොවූ නිරීක්ෂකයන් තුළ දේශපාලකයන් මෙවැනි සාවද්‍ය ප්‍රකාශ නැතිකම් අතේ පැළවෙන බොරු කියන්නේ ජනතාව පහසුවෙන් මුළා කළ හැකි නිසාද, නැතිනම් ජනතාවගේ කැමැත්ත දිනා ගැනීමට ඔවුන්ට කීමට වෙනත් දෙයක් නැති නිසාදයි සැකයක් ඇති වේ.

පළමුවෙන්ම අද අප හැමට බලපාන විදුලිබල අර්බුදය දෙස බලමු. ඇත්තෙන්ම මෙම ආණ්ඩුවටත් ඊට පෙර පැවති ආණ්ඩුවලටත් ක්‍රම ක්‍රමයෙන් වැඩිවන විදුලිබල ඉල්ලුම සැපයීමට හරවත් සැලැස්මක් නොතිබුණ බව පැහැදිලිය. නොරොච්වෝලේ ගල්අඟුරු විදුලි බලාගාරය ඉදි කිරීමට විරෝධයක් පැන නැගුණේ එය රාජපක්ෂ ආණ්ඩුවෙන් සැලසුම් කළ නිසා නොවේ. එය පරිසරය හෝ දිනෙන් දින වර්ධනය වන විද්‍යාත්මක හා තාක්ෂණ දැනුම සැලකිල්ලට නොගත් ව්‍යාපෘතියක් නිසාය. ගල්අඟුරු බලාගාරයකින් නිකුත් වන විෂ වායුවලින් පරිසරයට වන හානිය නිසාම ගල්අඟුරු නිධි සුලබව පවතින රටවල පවා ගල්අඟුරු බලාගාර භාවිතයෙන් ඉවත් කිරීම ප්‍රමුඛ කටයුත්තක් ලෙස දකී. එවැනි තත්ත්වයක් යටතේ විදුලිබල අර්බුදයට විසඳුමක් වශයෙන් ගල්අඟුරු බලාගාර ඉදිකිරීම රාජපක්ෂ ආණ්ඩුවෙන් හෝ වෙනත් ආණ්ඩුවකින් කළත් වැරදිය. දේශගුණික විපර්යාසයෙන් බැටකන රටවල් අතුරෙන් ඉහළම ස්ථානයේ සිටින ලංකාව වැනි රටකට එය කිසිසේත් සුදුසු වන්නේ නැත.

දෙවැනි කාරණය බැණුම් අහ අහ ඉදි කළ බලාගාරයෙන් අපේක්ෂා කළ ප්‍රතිඵලය ලැබෙන්නේ ද යන්නයි. රාජපක්ෂ පාලන සමයේ පවා එම බලාගාරය නිතර බිඳ වැටීම්වලට ලක්විය. මෙගාවොට් 900ක් ජනනය කිරීම සඳහා එම බලාගාරයේ විදුලිය ජනනය කිරීමේ යන්ත්‍ර කිසිවිටෙක ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නැත. මෙවර ජල විදුලියේ සැපයීම පහත වැටෙන විට බලාපොරොත්තු වූ ආකාරයට මෙම බලාගාරවලන් විදුලිය සැපයුම ලබාගත නොහැකි විය. විදුලිය කපා හැරීමට එක හේතුවක් එයයි. එක් බලාගාරයක වූ බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමෙන් පසුව එහි ගිය විදුලි බලශක්ති ඇමති රවි කරුණානායක මහතා නැවත විදුලිය වැටීමක් නොවන බවට උදම් අනා සමාජ මාධ්‍ය ඔස්සේ විදුලිය කපා හැරීමක් ගැන ආරංචි පැතිර වූ අය ගැන පරීක්ෂා කිරීමට සීඅයිඩියට භාර දී ඇතැයි තර්ජනය කෙළේ නොරොච්චෝලේ විදුලි සැපයුම දිගටම පවතීය යන බලාපොරොත්තුවෙනි. එහෙත් එම පුවත විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රචාරය වීමටත් පෙර විදුලිය බිඳ වැටීම් සිදු විය.

මෙම බලාගාරවල නිතර බිඳ වැටීම් සිදු වූ නිසා 2015 ආණ්ඩු වෙනසත් සමග ඒ ගැන පරීක්ෂා කොට වාර්තා කිරීමට ගල්අඟුරු විදුලි බලාගාර පිළිබඳ විශේෂඥතාවක් ඇති මහාචාර්ය කුමාර් ඬේවිඞ් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙළේය. එම කමිටුව පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ නමුත් සෑම කමිටු වාර්තාවකටම සිදුවන ආකාරයට එය ගියේ හමස් පෙට්ටියටය. මා දන්නා තරමින් එම වාර්තාව ප්‍රසිද්ධියට පත් කෙළේ හෝ නැත. මහාචාර්ය කුමාර් ඬේවිඞ් කතාබහ කරන අවස්ථාවල පැවසූ ආකාරයට එම බලාගාර තුනම ප්‍රමිතියකට අනුව ඉදි කර නැත. බොහෝ යන්ත්‍ර සූත්‍ර නොකඩවා ක්‍රියාත්මක කළ නොහැකි අබලි තත්ත්වයකට පත්ව ඇති නිසා එම බලාගාරයෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නම් ඒ සියල්ල ඉවත් කොට නව ප්‍රමිතියකින් යුත් යන්ත්‍ර සූත්‍ර ස්ථාපිත කළ යුතුය. එසේ කිරීමේදී විශාල වියදමක් දැරීමට අමතරව ප්‍රමිතියකින් තොර ඉදිකිරීම් සිදු කළ, ඒවා අනුමත කළ පුද්ගලයන්ට එරෙහිව නීති හෝ විනය ක්‍රියාමාර්ග ගත යුතුය. එම නිසා වඩාත් ආරක්ෂිත ක්‍රමය වන්නේ වාර්තාව කුණු කූඩයට විසිකර දමා නිහඬව සිටීමයි. එවැනි තත්ත්වයක් යටතේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම පමණක් දේශපාලන වාසි ලබාගැනීමට ප්‍රමාණවත් ය. එහෙත් ඉන් අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබාගත හැකි ද යන්න වැදගත් නොවේ.

හම්බන්තොට වරාය, ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන ද කිවයුත්තේ මෙයමය. ආයෝජනයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ නොසලකා කරන ලද ඉදිකිරීම්වලින් සිදුවූයේ ණය කන්දරාව ඉහළ යෑම පමණි. ප්‍රවාහන ක්ෂේත්‍රයට හෝ ක්‍රිකට් ක්‍රීඩාවට ඉන් කිසිම යහපතක් සිදුවූයේ නැත. එම ඉදිකිරීම් අභියෝගයට ලක් නොවී දේශපාලන වාසි ලබාගැනීමට කරන ප්‍රකාශවලින් ජනතාවට සුගතියක් අත්වන්නේ ද නැත. එකම ප්‍රතිඵලය දේශපාලකයන්ගේත් ඔවුන්ගේ ප්‍රකාශ ඉවක් බවක් නැතිව ප්‍රකාශයට පත් කරන ජනමාධ්‍යයේත් කුහකභාවය ප්‍රකට වීම පමණි.

ගොබෙල්ස්ගේ න්‍යාය අනුව බොරුව දිගින් දිගටම කියාපෑමෙන් එය සත්‍යයැයි මායාවක් ඇති කිරීම එක අතකින් හාස්‍යයට කරුණක් වන්නාක් මෙන්ම එය තවත් ව්‍යසනයකට මග පෑදීමක් ද විය හැකිය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නාවලපිටිය පන්සලේ දී කළ අනෙක් ප්‍රකාශය අනුව ජනතාවට සෙත සැලසීමට රජගෙදර කුමන්ත්‍රණයකින් බලය අත්පත් කර ගත් ඔහුගේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අධිකරණයෙන් අක්‍රීය කිරීම ලොව කිසිම තැනක සිදුවූවක් නොවේ. ඉන් ඔහු අදහස් කරන්නේ ජනතාවට සෙත සැලසීමේ මුවාවෙන් කවර ආකාරයෙන් හෝ බලය ලබා ගැනීම සාධාරණය කිරීමය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩු බලය හිමිවිය යුත්තේ එරට ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා ගත් පක්ෂයට සහ එහි නායකත්වයට ය. වත්මන් ජනාධිපති පවසන ආකාරයට එම විශ්වාසය දිනා ගැනීමට අයථා ආකාරයෙන් උපයා ගත් මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කිරීමට සිදුවිය හැකිය. පවතින ක්‍රමය අනුව වැදගත් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත ලබන්නේ කුමන කණ්ඩායම ද යන්නයි. ඒ අනුව පාර්ලිමේන්තු බහුතරය පවතින්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණට බවට පැහැදිලි සාක්ෂි තිබිණ. ඒ පිළිබඳව සැකයක් පවතින්නේ නම් එය තහවුරු කර ගැනීමේ මාර්ග ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් ය. ඒ කිසිත් නොසලකා ජනාධිපතිගේ හිතුවක්කාර ව්‍යවස්ථා විරෝධී පියවරක් අභියෝගයට ලක් කිරීම ලොව කිසිම තැනක සිදු නොවූ දෙයක් ලෙස හැඳින්විය හැක්කේ තවත් ගොබෙල්ස් කෙනකුට පමණි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයේ වඩාත්ම අනතුරුදායක පැත්ත රටේ පවතින නීතියට අනියමින් කරන බලපෑමයි. ඔහුගේ අරමුණුවලට නොගැළපෙන්නේ නම් රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකිරීම වරදක් නොවේ. එම වැරැද්ද නිවැරදි කිරීමට අධිකරණයෙන් ගත් උත්සාහය ඡන්ද බලය අහිමි කිරීමකි. පසුගිය ඔක්තෝබර් 26 දින සිදුවූ රජගෙදර කුමන්ත්‍රණයට විසඳුම වන්නේ මැතිවරණයක් නැවත පැවැත්වීම බව ඔහුත් ඔහුගේ අනුගාමිකයනුත් ඉල්ලා සිටින්නේ ඒ අනුවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීන් කළ ඉල්ලීමක් අනුව අධිකරණය තීරණය කෙළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව සිදු නොවූ නිසා එය නීතියට පටහැනි ක්‍රියාවක් බවය. ඒ අනුව ජනාධිපති ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට සිදුවිය. එය කිසිසේත් ඡන්ද බලය අහිමි කිරීමක් හෝ මහින්ද රාජපක්ෂගේ “ජනතාවාදී” වැඩපිළිවෙළට එරෙහිවූවක් නොවේ. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කාරණයක් අර්ථ ගැන්වීමක් පමණි. එහෙත් එම කාරණය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට තේරුම් කරදීමට උත්සාහ කරන්නේ සම්පූර්ණයෙන්ම විකෘති ආකාරයට ය.

එහෙත් ඉන් කියවෙන්නේ බරපතළ කාරණයකි. එනම් රටේ පවතින නීතිය නොසලකා ඔවුන්ගේ දේශපාලන වුවමනාවට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවත් එය අර්ථ ගැන්විය යුත්තේ තම දේශපාලන වුවමනාව අනුවය යන අදහස තහවුරු කිරීමය. ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරේ සිටියදී ක්‍රියා කෙළේද ඒ ආකාරයෙනි. ව්‍යවස්ථාදායකය සම්පූර්ණයෙන්ම ඔහුගේ අණසකට යටත් කර ගත් අතර අධිකරණයේ සමහර තීන්දු ඔහුගේ අභිමතයට නොගැළපුණ විට අධිකරණය මට්ටු කිරීමට ද පියවර ගත්තේය. ඔහුගේ වැඩපිළිවෙළට එරෙහිව නඩු තීන්දු දුන් නිසා හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරෙන් ඉවත් කිරීමට දෝෂාභියෝගයක් ගෙන ආවේය. එම ක්‍රියා පටිපාටිය නැවැත්වීමට අධිකරණය ගත් උත්සාහය තම විධායක බලය යොදා අකර්මණ්‍ය කෙළේය. ඔහුගේ වුවමනාව වටහා ගත් අධිකරණය ද ඉන් පසුව ක්‍රියා කෙළේ විධායකයට අවශ්‍ය ආකාරයටය. මෙම තත්ත්වය කෙතරම් දුරට ගියේ ද යත් දෝෂාභියෝගයෙන් පසුව ඔහු පත් කළ අග්‍ර විනිශ්චයකාරවරයා ඔහුගෙන් පසුව බලයට පත් ජනාධිපති සිරිසේන මහතා වෙත ගොස් සිරිසේන මහතාට කැමති ආකාරයට නඩු තීන්දු ලබා දීමට පොරොන්දු වී සිය තනතුර ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියේය.

බලයට ඇති කෑදරකම නිසා සත්‍යය විකෘති කිරීමටත් ජනතාව කුමන ආකාරයෙන් හෝ මුලා කිරීමටත් දේශපාලකයන් තුළ ඇති විකෘති ආශාව කිසියම් දේශපාලන පක්ෂයකට හෝ නායකයෙකුට සීමා වූවක් නොවේ. මෙම උන්මත්තකභාවය ලිබරල් ආර්ථික ක්‍රමයත් සමග සෑම දේශපාලන වර්ණයකම වඩාත් කැපී පෙනෙන්නට විය. සම්පූර්ණ රාජ්‍ය යන්ත්‍රයම ධනය ඉපයීමේ මාර්ගයක් බවට පත් කරගත් අතර පරමාධිපති බලය හිමියැයි පවසන ඡන්දදායකයා එම ක්‍රමයේම දාසයෙක් බවට පත්කර ගැනිණ. පුරවැසියාට ඇති එකම අයිතිය මැතිවරණයකදි ඡන්දය දීමට සීමාවිය. ඔහුගේ ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන් ගැන හෝ රාජ්‍ය පාලනය ගැන කිසිදු බලපෑමක් ඡන්දදායකයාට කළ නොහැකිය.

මෙම තත්ත්වය පහසු වූයේ පුරවැසියා වෙනුවෙන් සීමිත මට්ටමෙන් හෝ ක්‍රියාත්මක වූ ආයතන සහ සංවිධාන ව්‍යුහයන් දුර්වල කිරීමෙනි. නැතිනම් ඒවා දේශපාලකයන්ගේ අවශ්‍යතාව ඉටු කරන මහජන මුදලෙන් නඩත්තු වන මෙවලම් බවට පත් කිරීමෙනි. මෙම තත්ත්වය අඩුපාඩු සහිතව හෝ නිවැරදි කිරීමට ගත් උත්සාහයක් වූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වුවහොත් එය ඉවත් කරන බවට දැනටමත් සපථ කර ඇත. එම නිසා ජනතාවගේ පරමාධිපති බලයත් ජාතියේ අනාගතයත් ගැන උනන්දු වන ජනතාව මෙම දේශපාලකයන් වදාරණ දෙයින් කියවෙන දේ තේරුම් ගත යුතුය.