නායකයන්, ඇදහීම සහ සිරකිරීම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

වැදගත්වන්නේ පළමුව පවත්වන්නේ කුමන මැතිවරණයක්ද යන කාරණයටත් වඩා රටට තීරණාත්මක වෙනසක් අත්‍යවශ්‍ය වී තිබීම යැයි සිතිය හැක. මේ වෙනස අවශ්‍ය වී තිබෙන්නේ දැනට බොහෝ කලකට පෙර සිට වුවත් දැන් එම අවශ්‍යතාවයේ කඩඉමට රට පිවිස තිබෙන්නේ යැයි උපකල්පනය කළ හැකිය. සමස්ත ජනතාවටම පාහේ දැනෙමින් පවත්නා පීඩනයේ බොහෝ පොදු ලක්ෂණ ඇතත්, සියලුදෙනාටම පොදුවේ එකඟ විය හැකි පිළිතුරක් සොයා ගැනීම දුෂ්කරය.
අනෙක් පැත්තෙන් රටේ සමාජ ප්‍රශ්න මෙන්ම ආර්ථික ප්‍රශ්න සියල්ල ඇතිවූයේ එක් නායකයකු හෝ එක් දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස නොවන්නා සේ ම ඒවාට වගකිවයුත්තේ දේශපාලකයන් පමණක් යැයි නිගමනය කිරීමද මෝඩකමකි.

ආගම් සහ ඇදහිලි

දේශපාලනයේදී බොහෝ දෙනෙක් පක්ෂ, ආගම් සේ අදහති. ඇතැම්විට නායකයන් ආගම් සේ අදහති. අනෙක් පැත්තෙන්, තමන්ගේ ප්‍රතිවිරෝධයට ලක්වන දේශපාලන බලවේගවලට, පක්ෂ හා නායකයන්ට එරෙහි වන්නේද ආගමක් සේය. එය කොතරම්දැයි කිවහොත් තම ප්‍රතිවිරෝධයට ලක්වන, දේශපාලන බලවේගයක්, යම් කරුණක් සම්බන්ධයෙන් දක්වන අදහසට සමපාත වන අදහසක් නිදහසේ සිතන අයකු ප්‍රකාශ කළ විට පවා ඔහුවද එම ගොඩට දැමීමට තරම් ‘ඇදහිල්ල’ ප්‍රබල වී තිබේ. වැදගත් වන්නේ මෙවැනි දැඩි මතයක සිටින්නන් අතර කිසියම් සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වයක යෙදෙන, පක්ෂයක සාමාජිකයක් නොවන බව කියන, බොහෝ දෙනකුද සිටීමය. එයින් බොහෝ අය ආගම්වලට එරෙහි වන්නෝද වෙති. මෙවැනි ක්‍රියාකාරකම් එක්තරා ආකාරයක අන්තවාදයක් වන්නා සේ ම විද්‍යාත්මක ගමනකට බාධා කරන්නක් ලෙසද සැලකිය හැකිය.

නිදර්ශනයක් ලෙස ප්‍රති ත්‍රස්ත පනත් කෙටfුම්පත (Counter Terrorist) හා සම්බන්ධ කාරණයේදී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ප්‍රමුඛ කඳවුර මෙන්ම ජවිපෙද රාජ්‍ය නොවන සංවිධානවල සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක්ද ඊට එරෙහි විය හැක. එයින්, ජවිපෙ හෝ එම සිවිල් සමාජ ක්‍රියාකාරීන් මහින්දවාදීන් යැයි හෝ මහින්ද හා ජවිපෙ, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් යැයි හංවඩු ගැසිය හැකිද? අනෙක් පැත්තෙන් 2015ට පෙර කළ කී දෑ සහ ලැබූ පරාජය නිසාම මහින්ද රාජපක්ෂට හෝ එම කඳවුරට මානව හිමිකම් පිළිබඳව හෝ වෙනත් රටට අහිතකර යැයි සිතන ක්‍රියාකාරීත්වයන් පිළිබඳ කතා කිරීම හෝ ඒවාට එරෙහිවීමේ අයිතිය නැතිකර තිබේද? 2015 මහින්ද කඳවුර පරාජය කර, ‘යහපාලන ආණ්ඩුවක්’ පිහිටුවද බොහෝ මහජන අපේක්ෂා ඉටු නොකර තිබියදී පවා රටට යහපතක් යැයි සිතන දේ පිළිබඳ කතා කිරීමේ අයිතිය රනිල් – මෛත්‍රී කඳවුරු වෙත අහිමි කර දැමිය හැකිද?

තමන් කැමති දේ සියල්ලම නිවැරදි යැයි කීමද තමන් අකමැති ප්‍රතිවිරුද්ධ පිලේ සියල්ල වැරදි යැයි කීමද අවංක හෝ විද්‍යාත්මක ප්‍රවේශයක් යැයි සිතිය නොහැක. පරමාධිපත්‍යය බලය ඇත්තේ ජනතාවට බව පිළිගන්නේ නම් දියුණු කළයුත්තේ ස්වාධීන අදහස් දැරීමේ අයිතිය මිස තමන් නිවැරදි යැයි සිතන අදහස අනියම් බලහත්කාරයකින් හෝ අනුන් මත පැටවීම නොවන්නේය. එලෙස මත නිපදවා මහජනයාගේ මනස ඊට සමපාත කිරීමෙන්, බිහිකෙරෙන රාජ්‍ය පාලනයකින් පිළිබිඹු විය හැක්කේ ප්‍රකෘතියක් යැයි විශ්වාස කළ නොහැක. එවැන්නකින්, ඊට දැනුවත්ව සම්මාදම් වූ පිරිසකට වරප්‍රසාද හිමිවිය හැකි වුවත්, රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට හෝ රට ගොඩ නැගීමට වාසිදායක තත්ත්වයක් එයින් නිර්මාණය වේ යැයි සිතිය නොහැක.

මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් අයකු රටේ නායකයා වනවාට යම් අයකු අකමැති වන්නේ නම් එසේ විය යුත්තේ ඒ අයගේ වරප්‍රසාද අහිමි වේ යැයි බියකින් නොවිය යුත්තේය. නැතහොත් ඔහුට එදා සිට කැමති යැයි හෝ ඔහුට එදා සිට විරුද්ධ යැයි කියන, ඇදහිල්ලකට සමාන, අවිද්‍යාත්මක ප්‍රතිපත්තියකින් නොවිය යුත්තේය. මේ නායකයන් කිසිවකුටත් සාර්ථක ප්‍රතිපත්තියක් හෝ ප්‍රායෝගික සැලැස්මක් තිබේදැයි අවංකව ප්‍රශ්න කිරීම උදෙසා මේ ඇදහිලි බාධාවක් වන්නා සේ ම ඔවුන් කවුරුන් හෝ නිවැරදි මාවතකට පිවිසෙන්නේ නම් එය පිළිගැනීමටද එය බාධාවක් වන්නේය.

ශ්‍රීලනිපය ප්‍රමුඛ පෙරමුණු රට පාලනය කළ සමයන්හිදී මෙන්ම එජාපය ප්‍රමුඛ පෙරමුණු රට පාලනය කළ සමයන්හිදීද රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපොළ සොරකම් කිරීම, අල්ලස් ගැනීම, දූෂණයේ යෙදීම ආදිය වැළැක්වීම උදෙසා ස්ථිරසාර ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. ඒ උදෙසා ආචාර ධාර්මික පරිසරයක් තබා, දැඩි නීත්‍යනුකූල පරිසරයක් නිර්මාණය කිරීමට හෝ ආණ්ඩු කළ කිසිදු නායකයකු සමත් වූයේ යැයි කිව නොහැක. සොරකම, දූෂණය මෙන්ම නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවද සාපේක්ෂ වාසි – අවාසි පිළිබඳ කතා කළ හැකි වුවත් කිසිදු පාලක කඳවුරක් ස්ථිරසාර ප්‍රතිපත්තියක් මත රට ඉදිරියට ගෙන යෑමට කටයුතු නොකළ බවට විවාදයක් තිබිය නොහැකිය.

ඔට්ටු හා සූදු

මෙවරද 2019 අය-වැය කතාවේදී පවා ඔට්ටු හා සූදු බදු පිළිබඳ කළ ප්‍රකාශවලින් පාර්ලිමේන්තුව පමණක් නොව, රටම නොමග යවා තිබෙන්නේ නිර්ලජ්ජිත ආකාරයටය.
රුජිනෝ (Rujino) ක්‍රීඩාව සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියනය දක්වා වැඩි කරන බව අයවැය යෝජනාවල සඳහන්ය. එහෙත් එම සූදු ක්‍රීඩාව සඳහා දැනට පවත්නා වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 200ක් තරම් ඉහළ අගයක් බව සැඟවීම, සැලකිය හැක්කේ රටටම සත්‍ය වසන් කිරීමක් ලෙසය. කැසිනෝ (Casino) ප්‍රවේශ ගාස්තුව 2019 ජූනි 01 සිට එක් පුද්ගලයකුගෙන් ඇමරිකානු ඩොලර් 50ක් අය කරන බවද අයවැයේ සඳහන් වුවත් දැනට එක් පුද්ගලයකුගෙන් අය කරන ගාස්තුව ඇමරිකන් ඩොලර් 100ක් බව හෙළිදරව් කර නැත. අයවැයෙන් ලබාදී ඇති තොරතුරු මගින් මෙම ඔට්ටු හා සූදු අය බදු සංශෝධනවලින් රජයේ ආදායමට එල්ල වන බලපෑම සම්බන්ධයෙන්, දැනුවත්වම පාර්ලිමේන්තුව නොමග යවා ඇති බව අපැහැදිලි නැත. මෙම ඇතැම් බදු සංශෝධනවලින් රාජ්‍ය ආදායම පහළ යෑම සිදුවිය යුතු වුවත් රාජ්‍ය ආදායම ඉහළ යෑමක් ලෙස පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමෙන් රට නොමග යවා ඇති ප්‍රමාණය කොතරම්ද යන්න සිතාගත හැකිය.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කැසිනෝ මධ්‍යස්ථාන ගණන 4ක් වන අතර රුජිනෝ මධ්‍යස්ථාන ගණන 10කි. පසුගිය වසර ගණනාවකදී මෙම ව්‍යාපාරවලින් රැස් කර නොගත්, විශාල බදු ආදායමක් පැවතියද ඒ උදෙසා ගන්නා ක්‍රියාමාර්ග මුදල් අමාත්‍යාංශය, පාර්ලිමේන්තුවට දැනුම් දී නොමැත. එසේ දැනුම් දුන්නේ නම් ඒවා තව ආදායමක් සේ මෙවර අයවැයට එක් කළ හැකිව තිබුණා පමණක් නොව, එම දූෂණයේ තරමද මැනගත හැකිව තිබිණි. අනෙක් පැත්තෙන් එසේ ඔට්ටු හා සූදු ව්‍යාපාරවලින් වසර ගණනාවක් නිසි පරිදි බදු අයකර නොගත්තේ නම්, එයින් රාජ්‍ය ආදායමට වූ බරපතළ හානියට වගකිවයුත්තන් සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරාවි යැයි සිතිය නොහැක.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත්තේ, ඔට්ටු හා සූදු අය බදුවලට සම්බන්ධ අය-වැය යෝජනාවල ක්‍රියාකාරීත්වය මගින් රජයේ ආදායම් වැඩිවීම සහ අඩුවීම පිළිබඳ නිවැරදි ඇස්තමේන්තු වෙනම සකසා මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවය. නොගෙවූ බදු අඩු නොකළ යුතු බවත්, දඩ සමාවක් ලබා නොදිය යුතු බවත් එහි තවත් නිර්දේශයක් වන්නේය. මේ අනුව ඔට්ටු හා සූදු අය බදුවල කැපී පෙනෙන අඩු කිරීම් හා සම්බන්ධ අය-වැය යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂිත ඡන්දයක් ලබාගත යුතු බවත් කාරක සභාව අවසානයේ නිර්දේශ කර තිබේ.

විදුලි බලය

විදුලි බල හා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳවද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ බරපතළ අවදානමකටය. 2025 වනවිට ගල්අඟුරු බලාගාරවලින් මෙගාවොට් 2000ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම විදුලිබල අමාත්‍යාංශයේ සැලසුම වුවත් සාම්පූර් හා හම්බන්තොට බලාගාර අත්හිටුවීම නිසා ඒවායින් අපේක්ෂා කළ මෙගාවොට් 500 අහිමි විය. ඒවා වෙනුවට එල්එන්ජී (ද්විකෘත ස්වභාවික වායු) සහ සූර්ය බලාගාර ඉදිකිරීමට තිීරණය කර තිබුණද ඒවා ක්‍රියාත්මක කරගෙන යන උදාසීන ආකාරය දෙස බලන විට අපේක්ෂා කළ ඉලක්කයට ළඟාවීමේ හැකියාවක් ඇත්තේ නැත.

මෙගාවොට් 31ක් ලබා ගැනීමට මොරගොල්ල ජල විදුලි බලාගාරය 2014දී ආරම්භ කර 2019 අවසන් කිරීමට නියමිතව තිබුණත්, එය 2016දී ආරම්භ කිරීම නිසා හා 2017 අවසානය වනවිටත් 9%ක් පමණක් නිමකර තිබීම නිසා ඒ උදෙසා ගත් ණය වෙනුවෙන් ගෙවීමට සිදුවූ දඩය රුපියල් මිලියන 28කට ආසන්නය. මෙගාවොට් 35ක ධාරිතාවක් සඳහා බ්‍රොඞ්ලන්ඞ්ස් ජල විදුලි ව්‍යාපෘතියද 2018දී අවසන් කිරීමට නියමිත වුවත් 2017 අවසානයේදීත් එහි ප්‍රගතිය වූයේ 43%ක් පමණි. මෙගාවොට් 120ක් සඳහා වූ උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය 2017 නිම කළ යුතු වුවද එම වර්ෂයේ නිම කර තිබුණේ ව්‍යාපෘතියෙන් 78%ක ප්‍රතිශතයක් පමණකි.

එසේ පැවතියදී 2017දී ලංකා විදුලිබල මණ්ඩලයේ බදු පෙර අලාභය රුපියල් මිලියන 45729ක් වූ අතර, එය 2016දී පැවති රුපියල් මිලියන 13191 හා සැසඳීමේදී මිලියන 32538කින් අලාභය ඉහළ යෑමකි. තෙල් මිලදී ගැනීම් වෙනුවෙන් ප්‍රමාද පොලී ගෙවීම 90%කින් ඉහළ යාමද මීට එක් හේතුවක් වී තිබිණි. ඒ සමගම, උපයන විට බදු සේවකයන්ගෙන් අය කරගත යුතුව තිබුණද 2010 සිට 2017 දක්වා ඒවා මණ්ඩලය විසින් ගෙවනු ලැබීම නිසා රුපියල් මිලියන 3294ක් තරම් විශාල නීති විරෝධී වියදමක් දරා තිබීමද නොසලකා හැරිය නොහැකිය. කැබිනට් තීරණ හා චක්‍රලේඛවලට පටහැනිව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත පමණක් 2017දී ලංවිම කාර්ය මණ්ඩලය වෙත ගෙවා තිබූ මුදල රුපියල් මිලියන 1930කි. එමෙන්ම වෙළෙඳ ණයගැතියන්ගෙන් ඇතුළු 2017 වර්ෂය වනවිට පැවති, මණ්ඩලයට පිටස්තර පාර්ශ්වයන්ගෙන් ලැබිය යුතු මුදල වන රුපියල් මිලියන 4481 අයකර ගැනීමට මණ්ඩලය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැත. අනෙක් පැත්තෙන් විදුලි පාරිභෝගික තැන්පතුවලට වර්ෂ 2ක් සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 1963ක පොලී මුදල වෙනුවෙන් කිසිදු වෙන් කිරීමක් කර තිබුණේද නැත. විදේශ ණය ආධාර යටතේ විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක කළ යුතුව තිබූ ව්‍යාපෘති, සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා ගෙවූ ප්‍රමාද ගාස්තුව පමණක් රුපියල් මිලියන 42කි.

නායකයන්ගේ අභියෝගය සහ ජනතාවගේ අභියෝගය

මෙම නිදර්ශන දෙක පමණක් සලකා බැලුවද සොරකම, දූෂණය, අකාර්යක්ෂමතාව, බොරුව පිළිබඳ සමස්ත චිත්‍රයක් ඇඳගත හැකිය. මේවායින් අනාවරණ වන්නේ කාරණා කිහිපයක් පමණක් වුවද කිසිදු අමාත්‍යාංශයක්, රාජ්‍ය ආයතනයක් නිවැරදි පැහැදිලි දැක්මක් සහිතව, නිසි කළමනාකරණයක් යටතේ ක්‍රියාත්මක වන්නේ නැත. ශ්‍රී ලංකාවට තීරණාත්මක වෙනසක් අවශ්‍ය වන්නේ නිවැරදි ප්‍රතිපත්තියක් සහ ප්‍රායෝගික වැඩපිළිවෙළක් උදෙසාය. නැතහොත් එක් නායකයෙක් වෙනුවට වෙනත් නායකයකු ආදේශ කිරීමෙන් අර්බුදයට විසඳුම් ලැබේ යැයි විශ්වාස කළ නොහැක. ආගම් සේ පක්ෂ හෝ නායකයන් ඇදහීමෙන්, නැතහොත් ආගම් සේ පක්ෂ හෝ නායකයන් ප්‍රතික්ෂේප කිරීමෙන් එවැනි විසඳුමක් උදෙසා පොදු පදනමක් සකසා ගත නොහැකි බව අපහැදැලි නැත. රනිල්ට අකමැති අය ඔහුට බිය විය යුතු නැතුවාක් මෙන්ම ගෝඨාභයට අකමැති අය ඔහුට බියවිය යුතු වන්නේද නැත. කවුරුන් රටේ නායකයා වුවද මහජනයාගේ ප්‍රශ්නවලට, මහජනයාගේ විසඳුම් සහිත ප්‍රතිපත්තියක්, ප්‍රායෝගික සැලසුමක් හරහා ක්‍රියාත්මක කළ හැකි පරිසරයක් උදාකර ගැනීම අභියෝගයක් සේ රට ඉදිරියේ තිබේ. වරප්‍රසාද අඛණ්ඩව භුක්ති විඳීමේ හෝ වරප්‍රසාද යළි ලබාගැනීමේ පටු ආත්මාර්ථකාමී චේතනාවෙන් පමණක්ම බුද්ධිමතුන්, වෘත්තිකයන් මෙන්ම මහජනයාද ක්‍රියා කළහොත් යළි විවර වනු ඇත්තේ විනාශය කරා යන මාවතක් වීම වැළැක්විය නොහැකිය. පක්ෂවලට සහ නායකයන්ටද ඡන්දයක් ජයග්‍රහණය කිරීම බරපතළ අභියෝගයක් බවට පත්ව ඇති දේශපාලන පසුබිමක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇතැයි අනුමාන කළ හැකි අතරම නායකයන්ගේ එම සිරවීම මහජනයාට වාසිදායක මාවතක් කරා හරවා ගැනීමද ජයගත නොහැකි අභියෝගයක් යැයි සිතිය නොහැක.