අඥානකමට බෙහෙත් නැත

කාලිංගගේ දේශපාලන විග්‍රහය

මේ වන විට ලංකාවේ සමස්ත දේශපාලන ක්‍රමය තිබෙන්නේ මහජනයාගේ පිළිගැනීම අහිමි කරගත් හොඳටම කුණු වූ ක්‍රමයේ ක්‍රියාකාරීත්වය බිඳ වැටෙන්නට ආසන්න තත්ත්වයකය. ඊළඟ ජනාධිපතිවරණයේදී අලුත් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගත් පමණින් හෝ ඉන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින් අලුත් පාර්ලිමේන්තුවක් තෝරාපත්කරගත් පමණින් එම තත්ත්වහෙයි යහපත් වෙනසක් ඇතිවීමට හැකියාවක් නැත. ඒ සියල්ලෙන් විය හැකිව තිබෙන්නේ ඇතිව තිබෙන බිඳ වැටීමේ ක්‍රියාවලිය වර්ධනය වීම පමණකි.

දැන් රටේ තිබෙන දේශපාලන තත්ත්වය 2015 ජනාධිපතිවරණය පැවති කාලයේ පැවති තත්ත්වයට හෝ ඉන් පසුව පළාත් පාලන මැතිවරණය පැවති කාලයේ තත්ත්වයට කිසිසේත්ම සමාන නැත. ඒ අවස්ථා දෙකේදීම එක් කණ්ඩායමක් පරාජය කිරීමට හෝ තවත් කණ්ඩායමක් ජයග්‍රහණය කරවීමට මහජනයා අතර ලොකු උද්දාමයක් තිබුණි. දැන් තිබෙන තත්ත්වය ඊට මුළුමනින්ම වෙනස්ය. මහජනයා අතර සියලුම දේශපාලන පක්ෂ හා නායකයින් කෙරෙහි ඇත්තේ ඉහවහාගිය කලකිරීමකි. එම තත්ත්වය එළඹෙන මාස කිහිපය තුළ තව තව වර්ධනය විය හැකිය. පරණ නායකයින් දේශපාලන වශයෙන් මිය යමින් සිටිනුයේ නව නායකයින් ඉපදීමකින් තොරවය.

ජනාධිපතිවරණයකට තරග කරන්නට පිහිනන්නට සිදුවනු ඇත්තේ පැහැදිලි නිසල මුහුදක නොව හොඳටම කැළඹුණු ප්‍රචණ්ඩ මුහුදකය. දේශපාලන උජාරුව පිණිස කරන වියදම් වල අඩුවක් නැතත් රටේ ආර්ථිකය තිබෙන්නේ ඉතාමත් නරක තත්ත්වයකය.

දුප්පත් මිනිසුන්ගේ සිට ධනවත්ම මිනිසා දක්වා වන සියලු තරාතිරම්වලට අයත් ජනයා කෙරෙහි අර්ථික අර්බුදය පීඩාකාරී ලෙස බලපා තිබේ. ඒ සියලු දෙනා අතරින් වඩාත්ම පීඩාකාරී තත්ත්වයට පත්ව සිටින්නේ ග්‍රාමීය ජනතාවය. රටේ තරුණ පරපුර සිටින්නේද මුළුමනින් දේශපානයෙන් බැහැරව සිටින තත්ත්වයක. මහජනයා සියලු ආකාරයේ දේශපාලකයින් හා දේශපාලන පක්ෂ කෙරෙහි මීට පෙර කවරදාකවත් නොතිබුණ තරමේ විරෝධයක පසුවෙති. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයට යාව තිබෙන පොල්පිතිගම ප්‍රදේශයේ ගම්මුන් එම ගමට පැමිණි පොහොට්ටුවේ දේශපාලන කණ්ඩායමකට ඔවුන්ගේ බලවත් විරෝධය පළ කොට ආපසු යැවීමේ සිද්ධියක් වාර්තා වේ. එය මහින්ද රාජපක්ෂගේ බල ප්‍රදේශයක්ව පැවති අතර එම ප්‍රදේශවාසීන් එහිදී විරෝධය පළ කර තිබෙන්නේ එම පක්ෂයට පමණක් නොව සියලු පක්ෂ වලටය. මේ දේ වෙනත් තැන්වලද සිදුවිය හැකිය.

ජනාධිපතිවරණයේදී විය හැකිව තිබෙන එක දෙයක් වනුයේ තරඟ කරන කිසිවකුට 50% සීමාව පසු කරන්නට බැරි තත්ත්වයක් ඇති වීමය. එසේ වුවහොත් පහසුවෙන් ලිහාගත නොහැකි ව්‍යවස්ථා අර්බුදයකට රට මැදිවනු ඇත. ප්‍රාතිහාර්යයක් බඳු දෙයක් මගින් 50% සීමාව ඉක්මවා ජය ගන්නට කිසිවකු සමත් වුවද ඔහුද ඉක්මනින් දේශපාලන විගඩම්කාරයකුගේ ස්වරූපයට පත්විය හැකිය. මන්ද යත් අලුතින් තේරි පත්වන ජනාධිපතිවරයාගේ තත්ත්වය පරණ ජනාධිපතිවරයාගේ තත්ත්වයට බොහෝ වෙනස් වන බැවිනි. 19 වැනි සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට රජයේ සකලවිධ බලය තිබුණේය. ඔහුට කළ නොහැකි වූයේ ගැහැනියක් පිරිමියෙක් කරන්නටත්, පිරිමියෙක් ගැහැනියක් කරන්නටත් පමණි. 19 වැනි සංශෝධනයෙන් පසු දැන් ජනාධිපතිවරයාට විධායක බලය නැත. දැන් ජනාධිපති විශාල ප්‍රමාණයකට විලියම් ගොපල්ලව වැනි නාම මාත්‍රික ජනාධිපතිවරයකුට සමානය. යහපාලන ආණ්ඩු කාලයේ ඒ වෙනස ලොකුවට නොපෙනෙනුයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිගේ තටු කපන වැඩසටහන ක්‍රියාවට නගන ලද යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන නායකයකුවීම නිසාය. ඒ නිසා ජනාධිපති ධුරයේ මහේශාක්‍ය පෙනුම පවත්වාගෙන යාමට ඔහුට හැකිවිය. එහෙත් ඊළඟට පත්වන ජනාධිපතිවරයාට ඒ හැකියාව ලැබෙන්නේ නැත.

එම තත්ත්වය ඉදිරියේ ඊළඟ ජනාධිපතිවරයාට කළහැකි විශේෂ කාර්යභාරයක් නැත. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තෙක් අගමැතිවරයා මත රඳා පවතින්නට ජනාධිපතිවරයාට සිදුවේ. පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂය ජයගැනීමට සමත් වෙතොත් ජනාධිපතිවරයාගේ තත්ත්වය තරමක් යහපත් වනු ඇතත් නැවත ජනාධිපතිවරයාට 19ට පෙර භුක්ති විඳි බල පරාක්‍රමය භුක්ති විඳින්නට නම් හැකිවන්නේ නැත.

තේරී පත්වන ජනාධිපතිවරයාට ලොකු බලයක් ලැබෙන්නේ නැති බව හා ඔහු නාමමාත්‍රික ජනාධිපතිවරයකුගේ තත්ත්වයට සමාන බව ජනතාව අවබෝධ කරගත්විට හා වෙනදා මෙන් නොව දැන් ඔහුට වැඩ කිරීමෙන් ලබාගත හැකි ලොකු ද්‍රව්‍යමය වාසි නැති බව ජනතාව අවබෝධ කරගත් විට ජනාධිපතිවරණය සඳහා ජනතාව අතර පවත්නා උද්යෝගය තවදුරටත් හීනකරන සාධකයක් ලෙස ක්‍රියා කරනු නොවැළැක්විය හැකිය.

සාමාන්‍යයෙන් ක්‍රමය මෙවැනි ලොකු අවුලකට ගිය අවස්ථාවකදී දේශපාලන නායකයන් කළයුත්තේ මැතිවරණ කාලසටහනකට අනුව වැඩ කිරීම නොව ක්‍රමයේ තිබෙන අවුල නිරාකරණය කරගැනීමේ අවශ්‍යතාවට ප්‍රමුඛ වැදගත්කමක් ලබාදෙමින් ක්‍රියා කිරීමය. ගුවනේ තිබෙන ගුවන් යානයක සංඥා පද්ධතියේ බිඳ වැටීමක් ඇතිවූ විට ගුවන් නියමුවා කළයුත්තේ ඊට ප්‍රමුඛ වැදගත්කම ලබාදී ළඟම ඇති ගුවන් තොටුපොළේ යානය බස්සවා එය නිවැරදි කර ගැනීමය. එහෙත් ලංකාවේ දේශපාලන නියමුවන් කල්පනා කරන බව පෙනෙන්නේ සංඥා ක්‍රමයේ බිඳ වැටීමක් ඇතත්, කාලසටහනට අනුව ගමනාන්තය දක්වා ගමන් කිරීමෙන් පසු සංඥා පද්ධතිය හදාගත යුතු බවය. ඔවුන් සෙල්ලම් කරමින් සිටින්නේ මගීන්ගේ ජීවිත සමග පමණක් නොව ඔවුන්ගේ ජීවිතද සමගය.