ලංකාව ගලවා ගත හැකිද?

වික්ටර් අයිවන්

ලංකාවේ තිබෙන්නේ මහජනයාද, මහජනයාගේ පොදු දේපළද, බලවතුන්ට රිසි ලෙස කොල්ලකන්නට ඉඩදෙන දූෂිත කොල්ලකාරී ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. එම දූෂිත ක්‍රමය, රාජ්‍ය හා එහි ආයතන ක්‍රමය කෙරෙහි පමණක් නොව, ආර්ථිකයේ සියලු අංශ කෙරෙහි සේ ම, අධ්‍යාපනය, මහජන සෞඛ්‍යය හා ගමනාගමනය වැනි මහජන සේවා අංශ කෙරෙහිත් විනාශකාරී ලෙස බලපා තිබේ. එම තත්ත්වය ජන ජීවිතය ශෝකාන්තයක් බවට පත් කොට රට කාලකණ්ණි රටක් බවට පත්කිරීමට හේතුවී තිබේ.

ලංකාව මුහුණ දී තිබෙන විස්තීර්ණ අර්බුදය නිදහස ලබාගැනීමේදී සම්පූර්ණ කරගත යුතුව තිබුණු ඓතිහාසික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට අසමත්වීම තුළ ඇතිවී ක්‍රමානුකූලව වර්ධනය වූ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. ලැබුණු නිදහස, දිනාගත් නිදහසකට වඩා තෑගි ලැබුණු නිදහසක් ලෙස සැලකිය හැකිය. ඒ නිසා නූතන ජාතිය ගොඩනගා ගැනීමක් සිදුනොවූ අතර පරිණත නායකයන් බිහිවීමක්ද සිදු නොවීය. ඒ නිසා වර්ග, කුල, ආගම් භේද අභ්‍යන්තර ගැටුම් ඇති කරන මහා සාධක ලෙස ක්‍රියා කළේය. නිදහස ලැබී වසර 10ක් යන විට වාර්ගික කෝලාහල ඇතිවී ඉන් තවත් වසර 20කට පසුව ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවන තත්ත්වයක් ඇතිවිය. එම ප්‍රචණ්ඩ ගැටුම් වර්ධනය වී රට මහා පරිමාණයෙන් හා දීර්ඝකාලීනව ලේ හලන රටක් බවට පත් කිරීමට හේතුවිය. ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් නිසා කිසියම් විශාල පිරිසක් මරණයට පත්වන විට ජීවත්වීමේ වාසනාව හිමිකරගත් සියලුදෙනාද අඩු වැඩි ප්‍රමාණයකට ආධ්‍යාත්මික වශයෙන් මියගියවුන් බවට පත් කැරිණි. ප්‍රචණ්ඩ ගැටුම් පැවති එම අශීලාචාර කාලයේදී ඇතිවූ විකෘතිය සමාජය කෙරෙහි පමණක් නොව, රාජ්‍ය හා එහි ආයතන ක්‍රමය කෙරෙහිද බලපෑවේය. වස්තු කොල්ලය, රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්විය. රාජ්‍යයේ ස්වභාවය චෞර හා මාංශ භක්ෂක ස්වරූපයක් ගනිමින් රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය වේගයෙන් ගරාහැලෙන තත්ත්වයකට පත්විය.

ප්‍රචණ්ඩ ගැටුම් හා අභ්‍යන්තර යුද්ධයක් පැවති කාලවකවානුවේදී ගරා හැලෙන තත්ත්වයක තිබූ රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාවක් නොතිබුණි. ප්‍රචණ්ඩ ගැටුම් අවසන්වීමෙන් පසු රාජ්‍යය තිබුණේ ලොකු ව්‍යුහමය ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමෙන් තොරව එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි තරම් අබල දුබල තත්ත්වයකය. එහෙත් ඒ දේ කිරීමට අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයා සේ ම එම නායකයා පරාජයට පත් කොට බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ නායකයෝ දෙදෙනාද අසමත් වූහ. රාජ්‍යයේ ඇතිවී තිබෙන බිඳ වැටීම හා ඒ ආශ්‍රයෙන් ඇතිවී තිබෙන අර්බුදය එහි ඵලයක් ලෙස සැලකිය හැකිය.

දැන් සමස්ත ක්‍රමයේ ඇතිවී තිබෙන කඩා බිඳ වැටීම ක්‍රමයේ පැවැත්මට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම නිසා ඇතිවූ විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. දැන් ක්‍රමය තිබෙන්නේ ප්‍රතිසංස්කරණය කළ හැකි තැනක නොව, සරල ප්‍රතිසංස්කරණවලින් බේරාගත නොහැකි බිඳ වැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකි තත්ත්වයකය.

තුන්වැනි මාවත

ක්‍රමයේ ඇතිවී තිබෙන මෙම කඩා වැටීම කල්තියා දකින්නට ලංකාවේ සියලු දේශපාලන පක්ෂ අසමත් විය. පුනරුද ව්‍යාපාරය එම තත්ත්වය කල්තියා දකින්නට සමත් වූ එකම ව්‍යාපාරය ලෙස සැලකිය හැකිය. එම ව්‍යාපාරය අවුරුදු දෙකකට තරමක් වැඩි සිය කෙටි ඉතිහාසය තුළ ආරම්භයේ සිටම ක්‍රමයේ ඇතිවෙමින් තිබෙන බිඳ වැටීම හා එම තත්ත්වය මහජනයාට අවධාරණය කරන ලද අතර ක්‍රමයේ ඇතිවන්නට නියමිත බිඳ වැටීම රාජ්‍ය හා සමාජය ප්‍රතිනිර්මාණය කරගන්නා අවස්ථාවක් බවට පත්කර ගැනීමේ අවශ්‍යතාව මහජනයාට අවධාරණය කළ සංවිධානයක් ලෙස සැලකිය හැකිය. ඒ අර්ථයෙන් එම ව්‍යාපාරය සැලකිය හැක්කේ ක්‍රමයේ ඇතිවන්නට යන බිඳ වැටීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ, ඒ ගැන හැදෑරීමක යෙදුණු ව්‍යාපාරයක් වශයෙනි. එය ක්‍රමයේ ඇතිවෙමින් තිබෙන බිඳ වැටීම දකින්නේ ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගැනීම සඳහා ඉතිහාසය විසින් හිමිකරදී තිබෙන ස්වර්ණමය අවස්ථාවක් වශයෙනි. රටට අළු ගසා නැගී සිටීමට ලැබී තිබෙන මහඟු අවස්ථාවක් වශයෙනි. පුනරුද ව්‍යාපාරය ලංකාවේ දේවල් දකින හා විග්‍රහ කරන ආකාරය සේම එම ව්‍යාපාරය සමාජ, දේශපාලන තලයෙහි හා විශේෂ වශයෙන් මහජන ආකල්ප විෂයෙහි කරමින් තිබෙන අත්හදා බැලීම් සමාජ විද්‍යාඥයන්ගේ සේ ම මහජනයාගේද අවධානයට ලක්විය යුතුය.

මා එම ව්‍යාපාරයේ ක්‍රියාධරයකු වන නිසා ඒ ගැන මා ලියන දේවල් පාඨකයන් සලකා බැලිය යුත්තේ විවේචනාත්මකවය. එම ව්‍යාපාරය ආරම්භයේ වැඩ කිරීම සඳහා තෝරා ගත්තේ නගරබද ප්‍රදේශ නොව, සිංහල, දෙමළ, මුස්ලිම් දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයන්ය. එහි එක් අපේක්ෂාවක් වූයේ එම ගම්වල පවත්නා යථා තත්ත්වය තේරුම් ගැනීමය. තවත් අපේක්ෂාවක් වූයේ ඔවුන්ට උගන්වන අතර පෙරළා ඔවුන්ගෙන් ඉගෙන ගැනීමය. තුන්වැනි අරමුණ වූයේ ග්‍රාමීය නායකයන් ලෙස ක්‍රියාකිරීමට විභවයක් තිබෙන පුද්ගලයන් දැන හඳුනා ගැනීමය.

පිටතින් ගොස් ගම්වල සාකච්ඡා සභා පවත්වන විට එම සාකච්ඡා සභාවලට සහභාගි වන ගම්මුන්ට කෑමබීමවලින් සංග්‍රහ කොට ආපසු යනවිට ඔවුන් අතට මුදලක්ද දිය යුතු බවත්, එම කොන්දේසි නොසපුරන කිසිවකුට ගම්වල සාකච්ඡා සභා පැවැත්විය නොහැකි බව ගම ගැන අප අසා තිබුණු ජනප්‍රිය කතාවක් විය. ගම්වලට දේශපාලන බලවතුන් සිටින බවත්, එම බලවතුන්ගේ අනුග්‍රහය නැතිව පිටස්තරින් එන අයට සාකච්ඡා සභා පවත්වන්නට ගම්මුන් ඉඩ දෙන්නේ නැති බවත් අප අසා තිබුණු තවත් ජනප්‍රිය කතාවක් විය. එහෙත් එම ජනප්‍රිය කතා දෙකම සත්‍යයක් නොවීය. අප ගම්වලට රැගෙන ගියේ දැනුම හා අදහස් පමණය. අවශ්‍ය පහසුකම් සපයන ලද්දේ සාකච්ඡා සූදානම් කරන ගම්වල ආධාරකරුවන් විසිනි. දැනුම හෝ අදහස් හැර අන් කිසිවක් ඔවුන් අපෙන් බලාපොරොත්තු වූයේ නැත. අනෙක් අතට අප මොන ගමකටවත් දේශපාලන බලවතුන්ගෙන් ලබාගන්නා අවසර මත හෝ අනුග්‍රහය මත ගොස් නැත. ගම් සිය ගණණකට ගොස් ඇතත්, එකම අප්‍රසන්න අත්දැකීමකට වත් මුහුණ දෙන්නට සිදුවී නැත.

ගම්මු ඔවුන්ගේ ජීවිතවලට අදාළ දේවලදී සවන් දීමට දක්ෂයෝය. අදහස් පළකරන්නට අවස්ථාවක් දුන් විට අදහස් පළකරන්නටද දක්ෂයෝය. නිරවුල්ව අදහස් පළකිරීමේ අපූරු හැකියාවකින්ද යුතුය. ඔවුන්ගේ විශ්වාසයට හේතුවී තිබෙන ජනප්‍රිය විශ්වාසයන් විවේචනයට ලක් කරන අවස්ථාවලදී පවා ඔවුන් උනන්දුවෙන් සවන් දෙනවා මිස කෝපවන්නේ නැත.

සාමාන්‍ය වශයෙන් ගත්විට දුෂ්කර ගම්මානවල මිනිසුන්ගේ ජීවිතද දුෂ්කරය. ඔවුන් කෘෂිකර්මයෙන් උපයන ආදායම් ප්‍රශස්ත තත්ත්වයක නොපවතී. මහවැලි වැනි විශාල සංවර්ධන ව්‍යාපාරවල ජීවත් වන මිනිසුන්ගේ පවා ජීවිත යහපත් කිරීමට එම සංවර්ධන ව්‍යාපාර හේතු වී නැත. තමන්ට තිබෙන ඉඩම් ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමටද ඔවුන් සමත් වී නැත. ඒ සඳහා ඔවුන්ට මගපෙන්වන ක්‍රමයක්ද නැත. ජල ගැලීම්, නියඟය වැනි ස්වාභාවික විපත්ද, බෝග වගාවන්ට හානි කරන වල් අලි, වල් ඌරන්, වඳුරන්, රිලවුන්, ඉත්තෑවුන්, මොනරුන් වැනි වල් සතුන්ද, සිත්පිත් නැති වෙළෙඳපොළ බලවේගයන්ද ඔවුන්ගේ ජීවිත දුක්ඛිත කිරීමට හේතුවී තිබෙන බලවේගයන් ලෙස සැලකිය හැකිය. ගෙවල් දොරවල්වල තිබෙන සියලුම බඩු මුට්ටු ලබාගෙන තිබෙන්නේ ෆිනෑන්ස් සමාගම්වලින් හෝ ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමයට ලබාගන්නා ණයවලිනි. ණයකරුවන් බොහෝ දෙනකු ණය ගෙවන්නට කපා හරිමින් තිබෙන්නේ ආහාර හා ඇඳුම් පැළඳුම් සඳහා කරන වියදම්ය.

කෘෂිකර්මයට අනුයුක්ත කර තිබෙන රාජ්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාව විශාල වුවත් ඔවුන්ට මෙම අහිංසක මිනිසුන්ගේ ජීවිත නගා සිටුවීමට අලෝක ධාරාවක් වීමට හැකිවී නැත.
අමතක නොවන අත්දැකීමක්

ගම්මුන්ට කිසියම් දෙයක් සත්‍ය බව පෙනුණු විට ඔවුහු ඒ වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටිති. ඒ සඳහා දැක්විය හැකි අමතක කළ නොහැකි අත්දැකීමක් මෙසේය. පුනරුද ව්‍යාපාරය ආරම්භ කළ මුල් කාලයේදී කලා වැව නියෝජ්‍ය විදුහල්පතිවරයකුගේ නිවසක මිදුලේ සාකච්ඡා සභාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණි. එයට තෝරාගත් ප්‍රදේශවාසීන් 50ක පමණ පිරිසක් සහභාගි වූ අතර සවස් කාලයේ පැවති එම සාකච්ඡා සභාවට පැමිණ අසුන්ගෙන සිටි අය අතර විජිතපුර රජමහ විහාරයේ නියෝජ්‍ය අධිපති හිමිද විය.

සාකච්ඡා සභාවේ අරමුණ පැහැදිලි කරන කතාව කළේ මාය. එය නිදහසින් ආරම්භ වී වර්තමානය දක්වා විකසිත වූ අර්බුදය පිළිබඳව විනාඩි 25ක පමණ කාලයක් තුළ කරන ලද විවරණයක් වී යැයි කිව හැකිය. මා මගේ අදහස් පළකිරීම අවසන් කළේ මාගේ අදහස් පළකිරීම ගැන හෝ වෙනත් යමක් කියන්නට ඇත්නම් ඒ ගැන අදහස් පළ කරන ලෙස සභාවෙන් කරන ඉල්ලීමකිනි.

ආරම්භක ප්‍රතිවිවේචනය ඉදිරිපත් කළේ විජිතපුර රජ මහා විහාරයේ නියෝජ්‍ය අධිපති ස්වාමීන්වහන්සේ විසිනි. උන්වහන්සේ පුනරුදය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස තේරුම් ගත්තා විය හැකිය. මෙහිදී පළවූ අදහස් ලංකාව පිළිනොගන්නා බවත්, ඒවා ලංකාවට නොගැළපෙන බවත් උන්වහන්සේ කීවේ මා පළ කළ අදහස් පිළිගන්නා එක් අයකු හෝ සභාවේ වේ නම් ඒ බව අත ඔසවා ප්‍රකාශ කරන ලෙස කියමිනි. එක නිමේෂයකින් සභාවේ සිටි සියලුදෙනා බාගෙට නොව ඉහළටම අත් එසවූවෝය. අත් දෙකම එසවූ කිහිපදෙනක්ද වූහ. එම දර්ශනයෙන් ස්වාමීන් වහන්සේද බිරාන්ත වූ තත්ත්වයකට පත්කිරීමට හේතුවූ බව පෙනෙන්නට තිබුණි. එම දර්ශනය මාද විස්මයට පත්කිරීමට හේතුවී තිබුණි. සභාවේ සියලුදෙනා කථිකයාගේ අදහස් අනුමත කරන තත්ත්වය තුළ තමන් වහන්සේද මේ ව්‍යාපාරයට එකතු වන බව ප්‍රකාශ කරමින් තමන් වහන්සේ යොදාගත් වෙනත් කාර්යයක් ඇති බව කියා උන්වහන්සේ සභාවෙන් පිටවී ගියේය.

එම සභාවේ මා ලියන දේවල් කියවා තිබුණ අයට සිටියා විය හැකිය. එහෙත් එහි සිටි කිසියම් පිරිසක් හෝ එම හිමිනම පළ කළ අදහස් අනුමත කළේ නම්, අපට ආපසු එන්නට සිදුවන්නේ පුනරුදය ව්‍යාපාරය විජිතපුරේ වළ දමාය. එහෙත් එහි සිටි සියලුදෙනා එම දුෂ්කර මොහොතේදී කොන්දේසි විරහිතව අපව ආරක්ෂා කළේය. එම ප්‍රදේශයේ අධිපති හිමි නම ආරක්ෂා කරනවා වෙනුවට පිටස්තරින් පැමිණි අප කිහිපදෙනා ආරක්ෂා කළේය.

ගමේ තිබෙන ජනප්‍රිය මතවාද නිවැරදි නොවේ නම් ඒවාට අනුගත නොවී ඒවා විවේචනය කරන පිළිවෙතක් අනුගමනය කළ යුතුය යන්න අප අතර ඇති කරගෙන තිබූ ප්‍රතිපත්තියක් විය. ඒ නිසා ගම සමග කරන සංවාදවලදී ඔවුන්ගේ සමහර පිළිගත් විශ්වාසයන් විවේචනය කරන ප්‍රවේශයක් පවත්වාගෙන යාමට අපට සිදුවිය. විශේෂයෙන් වී ගොවිතැනට තිබෙන බැඳීම අපි විවේචනය කළෙමු. ගමේ පවතින දුප්පත්කම කෙරෙහි වී ගොවිතැනද වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බවත් වී ගොවිතැන මත අනවශ්‍ය ලෙස රඳා පවතින තත්ත්වයෙන් ඉවත්වීමේ වැදගත්කම ඔවුන්ට අවධාරණය කරන්නට අපට සිදුවිය. තුන්වේලටම බත් කන ප්‍රතිපත්තියද අපේ විවේචනයට ලක්වූ වැදගත් මාතෘකාවක් විය.තුන්වේලටම බත් කන මිනිසුන් තමන්ගේ බඩවල්වල සීනි කර්මාන්තශාලා පවත්වාගෙන යන බවත් අඩුවෙන් බත් කන, වැඩියෙන් මාංසජනක ආහාර, එළවළු හා පලතුරු කන තැනකට මාරුවිය යුතු බව අපි ඔවුන්ට කීවෙමු. පරණ ගොවීන් බෝග වගාවන්ට හානි කරන සතුන් දඩයම් කොට උන්ගේ මස් ආහාරයට ගත් බවත් ඒ මගින් ප්‍රෝටීන් අවශ්‍යතා සපුරා ගන්නා අතර වන සත්ව ගහණය පාලනය කරගැනීම මගින් උන්ගෙන් කෘෂිකර්මයට සිදුවන හානිය පාලනය කර ගැනීමට ඔවුන් සමත් වූ බවත් පෙන්වා දෙමින් නැවත පරණ ප්‍රතිපත්තියට මාරුවීමේ අවශ්‍යතාව ඔවුන්ට පෙන්වා දෙන ලදි. ඒ දේවල් ඔවුන්ට ඉතා සංවේදී කාරණා වුවද, ඒ ගැන කරන විවේචනයක් ඔවුන්ගේ කෝපයට හෝ විරෝධයට හේතු වූයේ නැත.

දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කරන වැඩසටහන්වලදී පෙනී ගිය කරුණක් වනුයේ ලංකාවේ දේශපාලන පක්ෂ මැතිවරණ කාලවලදී හැර ගම්වලට නොයන බවය. ගම්වල කිසිදු වැඩ කිරීමක් නොකරන බවය. ඒ සියලුදෙනා දේශපාලනය කරන්නේ කොළඹ සිට රූපවාහිනී නාලිකාවලට පෙනෙන ලෙස පවත්වන ජනමාධ්‍ය සාකච්ඡා මගිනි. ඒ නිසා ගමේ යථාර්ථය ගැන හරි අවබෝධයක් ඔවුන්ට තිබිය නොහැකිය.

ස්ව ශක්තිය මත විශ්වාසය තැබීම

ඈත දුෂ්කර ගම්මානවලට යමින් මිනිසුන් දැනුවත් කරන වැඩසටහනක් රට පුරා පවත්වාගෙන යෑමට සංවිධාන යන්ත්‍රයකට අතිරේකව ඒ සඳහා විශාල වියදමක්ද දරන්නට සිදුවේ. ඒ වියදම් සොයා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය ආරම්භක අවස්ථාවේදීම විසඳාගත යුතුව තිබුණ දුෂ්කර ප්‍රශ්නයක් විය. පුනරුදයට එකතු වී සිටි කෙනකු ඒ බව කල්තියා දකින්නට සමත්වීම නිසා දෝ අපේ අරමුණ කරා යන ගමනට අවශ්‍ය බරපැන ජාත්‍යන්තර ආධාර සංවිධානයකින් ලබාගත යුතුයි කියන යෝජනාව අපට අනියම් ලෙස ඉදිරිපත් කළේය. මෙවැනි වැඩසටහනකට ජාත්‍යන්තර ආධාර සංවිධානයකින් ආධාර ලබාගැනීම පහසු දෙයක් බවද අපි දැන සිටියෙමු. ජාත්‍යන්තර ආධාරවලට විරුද්ධ නැතත්, පුරුනදය ව්‍යාපාරය වැනි ව්‍යාපාරයක් ජාත්‍යන්තර ආධාර මත රඳා පවත්නා තත්ත්වයකට පත් නොවිය යුතු බව බහුතරයේ මතය විය. ජාත්‍යන්තර ආධාර මත යැපෙන තත්ත්වයකට පත්වූ විට පුනරුද ව්‍යාපාරයද විදේශ ආධාර මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානයක තත්ත්වයකට පත්වේ. ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට තිබෙන පිළිගැනීම යහපත් නැත. එසේම විදේශ ආධාර ව්‍යාපාරයක් දූෂිත කිරීමට හේතුවිය හැකිය. අනෙක් අතට දේශීය වශයෙන් තම වියදම් පියවාගත නොහැකි ව්‍යාපාරයක් සැලකිය හැක්කේ දේශීය වශයෙන් හොඳින් මුල් බැස නොගත් ව්‍යාපාරයක් ලෙසය. මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන විදේශ ආධාරවලින් හෝ කළු සල්ලිවලින් හෝ නොයැපෙන ස්වශක්තිය මත පදනම් වූ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්නට තීරණය කරන ලදි. එම තීරණය ගැන ඇසූ එක් ප්‍රකට විචාරකයකු තවත් අයකු සමග හාස්‍යයෙන් කියා තිබුණේ පුනරුද ව්‍යාපාරය තුන් මාසයක් අල්ලාගෙන සිටීමට සමත් වෙතොත්, තමා පුනරුදයට නොමිලේ වැඩ කරන පූර්ණකාලීනයකු වන බවය.

පුනරුද ව්‍යාපාරය මාස තුනක් නොව වසර දෙකයි මාස තුනක් දක්වා වන මෙම කාලය තුළ වැඩකර තිබෙන්නේ තමන්ගේ පොකට්ටුවලින්ද පුනරුදයට සම්බන්ධ විවිධ පුද්ගලයන්ගෙන් ලැබෙන ආධාරවලිනි. දුර බැහැර යන ගමන් බිමන්වලදී තමන්ගේ මෝටර් රථය අපට දෙන හෝ තමන්ගේ මෝටර් රථයෙන් අප රැගෙන යන සංස්කෘතියක් ස්ථාපිත වී තිබෙන්නේ යැයි කිව හැකිය. පුනරුද ව්‍යෘපාරයට සම්බන්ධ විවිධ පුද්ගලයන් විවිධාකාරවලින් පුනරුදයට ලබාදී තිබෙන දායකත්වයන්ගේ තරම අතිවිශාලය.

චින්තනය

පුනරුද ව්‍යාපාරය අනාගමික හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන් පෙනී සිටින බහුත්වවාදී ව්‍යාපාරයකි. එය සිංහල, දෙමළ සමාජයේ තිබෙන කුල ක්‍රමය සලකන්නේ වර්ග තුළ බෙදීම් ඇති කරන මනුෂ්‍ය ගෞරවය කෙළසන මුළුමනින් අකා මකා දැමිය යුතු දුෂ්ට ක්‍රමයක් ලෙසය. වර්ග භේද හා ආගම් භේද සලකන්නේද ජාතික සමගිය අවුල් කරන ගැටුම් ඇති කරන ආවේග විශේෂ දෙකක් ලෙසය. සියලු පුරවැසියන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන, සියලු වර්ග හා ආගම්වලට අයත් ජනයාට සම්බන්ධ වාර්ගික හා ආගමික අනන්‍යතා ආරක්ෂා කරගැනීමට ඉඩ ලබාදෙන රාමුවක් තුළ ලාංකීය ජාතිය ගොඩනගා ගත යුතු බව එය විශ්වාස කරයි. ජාතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිමත් සමාජ පරිසරයක් ඇති කිරීම සඳහා නිදහසේ සිට රටේ සිදුවී තිබෙන වැරදි සොයා බලන, වින්දිතයන් සුවපත් කරන හා ඔවුන්ට යුක්තිය ඉටුකරන වැඩසටහනක අවශ්‍යතාව වෙනුවෙන්ද පෙනී සිටී.

එය සමාජ, දේශපාලනයේ පූර්ණ විපර්යාසයක්ද ආර්ථිකයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් වෙනුවෙන්ද පෙනී සිටී. එය දැන් පවත්නා ක්‍රමය තුළ ජනාධිපතිවරණවලට හෝ මහ මැතිවරණවලට තරග කොට බලය අල්ලා ගැනීම මගින් අපේක්ෂා කරන විපර්යාස දිනාගත හැකි වේ යැයි විශ්වාස කරන්නේ නැත. එය විශ්වාස කරන්නේ පිටත සිට කරන විපර්යාසයකට පසුව මිස ඊට පෙර මැතිවරණවලට තරග නොකළ යුතු බවය.

ලංකාවේ පවත්නා දූෂිත හා පරපීඩාකාමී දේශපාලන ක්‍රමය දීර්ඝකාලීන පැවැත්මක් ඇති ශක්තිමත් ක්‍රමයක් ලෙස විශ්වාස කරන්නේද නැත. එය විශ්වාස කරන්නේ ක්‍රමයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා වර්ධනය වීම තුළ දැන් එය අප ඇස් ඉදිරිපිටම කඩා වැටෙමින් තිබෙන ක්‍රමයක් ලෙසය. ඇතිවී තිබෙන එම බිඳ වැටීම ප්‍රයෝජනයට ගනිමින් සමස්ත ක්‍රමය ප්‍රතිනිර්මාණය කිරීම ව්‍යාපාරයේ ප්‍රධාන දේශපාලන අපේක්ෂාව ලෙස සැලකිය හැකිය.

සුදුසු ජනාධිපති ආණ්ඩුක්‍රමයක්ද නැතිනම් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක්ද යන ප්‍රශ්නය ආණ්ඩුක්‍රම විෂයෙහි ලංකාව විසඳාගත යුතුව තිබෙන ලොකුම ප්‍රශ්නය ලෙස සලකන්නේද නැත. ලංකාවේ ජනාධිපති ක්‍රමය දූෂිත වනවා සේ ම පාර්ලිමේන්තු ක්‍රමයද දූෂිතය. මෙම ක්‍රම දෙකේ ඇති දූෂිත ව්‍යුහයන් වෙනස් කිරීමෙන් තොරව එක් දූෂිත ක්‍රමයකින් තවත් දූෂිත ක්‍රමයකට මාරුවීම තෝරාගත හැකි හොඳ විසඳුමක් නොවන්නේය.

ව්‍යවස්ථා සම්පාදන විෂයෙහිදීද ව්‍යවස්ථාදායකයට සීමා කළ ව්‍යවස්ථා සම්පාදනයක් ඒ සඳහා තෝරා ගැනීමට තිබෙන හොඳම මාදිලිය ලෙස සලකන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාජ ගිවිසුමකි. නැතහොත් පාලකයන් හා පාලිතයන් අතර ආණ්ඩුක්‍රමයක් හා පාලනයක් සඳහා ඇතිකර ගන්නා ගිවිසුමකි. පාර්ලිමේන්තුටව සීමා කළ ව්‍යවස්ථා සම්පාදනයක් සැලකිය හැක්කේ පාලකයන් ඒකපාර්ශ්විකව හදා ගන්නා ගිවිසුමක් ලෙසය.

පුනරුද ව්‍යාපාරය නාගානන්ද කොඩිතුවක්කුගේ ස්වයං ජාත (Autochthony – ඔටොක්ටනී) ව්‍යවස්ථාවක් පිළිබඳ අදහස ක්‍රමය පිළිගත්තේ නැත. ඔහු එහිදී විශේෂ ඓතිහාසික අවස්ථාවකදී ව්‍යවස්ථා සම්පාදනය සඳහා යොදා ගත් ක්‍රමයක් හැඳින්වීම සඳහා යොදා ගත් සංකල්ප පදයක් තමන් හදන්නට අපේක්ෂා කරන ඒකාධිපති ව්‍යවස්ථාවකට ගාම්භීර පෙනුමක් ලබාදීම සඳහා යොදාගෙන තිබෙන බව පෙනේ. ඔහු යෝජනා කරන ආකාරයේ ව්‍යවස්ථාවක් සඳහා වන එකුදු නිදර්ශනයක්වත් නූතන ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසය තුළ හමුවන්නේ නැත. පුනරුද ව්‍යාපාරය පෙනී සිටිනුයේ ව්‍යවස්ථා සම්පාදනයේ 21 වන සියවසේ පිළිගත් මාදිලිය වන සහභාගි ව්‍යවස්ථා සම්පාදන මාදිලියක් වෙනුවෙනි. එය ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන වැඩසටහනට පමණක් සීමා නොවූ සමස්ත ක්‍රමයේ පූර්ණ පරිවර්තනයක් සඳහා යොදාගත හැකි මාදිලියකි.

ආණ්ඩුක්‍රමයක් ඇතිකර ගැනීමේදීද මහජනයාට ඔවුන්ගේ පරමාධිපත්‍යය බලය මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමේ රාමුවකට සීමා කරන ආණ්ඩු ක්‍රමයකටද පුනරුද ව්‍යාපාරය එකඟවන්නේ නැත. එය පෙනී සිටින්නේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියට අතිරේකව ව්‍යවස්ථාදායකයට යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය මහජනයාට ලබාදෙන ආණ්ඩුක්‍රමයකටය. මේ ක්‍රමය කලක් ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමයට පමණක් සීමාවූ දෙයක් ලෙස පැවතියද පසුව ඒ ක්‍රමය ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ජනපද රාජ්‍යයන් සඳහාද ඉතාලියේ ජර්මනියේ හා තවත් සමහර රටවලද ඒවාහි ආණ්ඩුක්‍රමවලට ඇතුළත් කරගෙන තිබෙන ආණ්ඩුකරණයේදී මහජනයාට ලොකු බලයක් ලබාදෙන වැදගත් අංගයක් ලෙස සැලකිය හැකිය. එවැනි ක්‍රමයක් ඇති කිරීම මගින් දේශපාලකයන්ට ලැබී තිබෙන අනවශ්‍ය වැදගත්කම අඩු කළ හැකි අතර රාජ්‍ය වෙලාගෙන තිබෙන දූෂණයද නැති කොට සක්‍රිය ක්‍රියාකාරිත්වයකින් යුතු පුරවැසි බලයක් ඇති කළ හැකිය.

ගඳ ගහන තරමටම කුණුවී බිඳ වැටෙන තත්ත්වයක තිබෙන ලංකාවේ දේශපාලන ක්‍රමයේ පූර්ණ විපර්යාසයක් සඳහා ප්‍රචණ්ඩ විප්ලවයක් අවශ්‍යවන්නේ නැත. අවශ්‍යවන්නේ මහජනයා දැනුවත් කරමින් ඔවුන් ජාලගත කොට නූතන තාක්ෂණයද යොදා ගනිමින් ඔවුන්ගේ සාමූහික ශක්තිය සාමකාමී ලෙසත්, විනයගරුක ලෙසත් මුදාහරින විප්ලවයකි.