මගදී ප්‍රයත්නය වෙනස් කරන්නේ නෑ, මහාචාර්ය ජී.එල්. පීරිස් සභාපති – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද?

මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරලා නැහැ. තව මාස 7 1/2ක් විතරතියෙනවා. ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නිසැකයෙන් ප්‍රකාශ කර තිබෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරන අපේක්ෂකයා ඒ සියලුදෙනාම පිළිගන්නවා. ඒ අපේක්ෂයා ජයග්‍රහණය කිරීම සඳහා ඒ ඒ පක්ෂ කිසිදු මතභේදයකින් තොරව ඇප කැප වෙනවා කියලා.

රාජපක්ෂ පවුලේ කෙනකු හැරෙන්නට වෙනත් කෙනකු ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමට ඔබ පෙරමුණේ අදහසක් නැද්ද?

මහින්ද රාජපක්ෂ දන්නවා මිනුම් දණ්ඩ ජයග්‍රහණය කිරීමට උපරිම හැකියාව තිබෙන පුද්ගලයා. නම, පවුල් පසුබිම හා ඒ සියල්ලටම වඩා වැදගත්වන්නේ මිනුම් දණ්ඩ. ඒ අනුව එතුමා ඒ අපේක්ෂකයාව තෝරා ගන්නවා.

පොදුජන පෙරමුණ විසින් කලින් කලට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කරළියට ගෙනෙනවා. යම් යම් අවස්ථාවලදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ඔහු නොවේ කියලත් කියා සිටිනවා. ඒ තුළ ඒ මහතාගේ නම අවභාවිත කිරීමක් සිදුවෙනවා නේද?

නැහැ. කිසිසේත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් බොහෝම ශක්තිමත් වැඩපිළිවෙළක් කරගෙන යනවා. ඒ කියන්නේ වියත් මග වැඩපිළිවෙළ. ඒක විද්වතුන් එක්ක වාද කරලා රටේ අනාගතයට ගැළපෙන ප්‍රතිපත්ති සකස් කිරීමේ වැඩපිළිවෙළක්. එළිය වැඩපිළිවෙළ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඊට සම්බන්ධ කරුණු පිළිබඳව ජනතාව දීප ව්‍යාප්ත මට්ටමකින් දැනුවත් කිරීම සිදු කෙරෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පුළුල් ඉල්ලුමක් තිබෙන බව පැහැදිලියි. ඔහු ගැන බොහොම උණුසුම් පිළිගැනීමක් තිබෙනවා. ජනාධිපතිවරණයට අවශ්‍ය අඩිතාලම විධිමත් ලෙස සකස් කරගෙන තියෙනවා.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර සාකච්ඡා පැවැත්වෙනවා. පොදු ප්‍රතිපත්ති 20ක් අනුමත කරගෙන පොදු ප්‍රඥප්තියක් සකස් කරගෙන නව සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරගෙන යන බව පැවසෙනවා. එහි ප්‍රගතිය මොකක්ද?

මෙතෙක් දුරට සාකච්ඡා වට දෙකක් පවත්වලා තිබුණා. තුන්වන වටයටත් දින නියම කරලා තියෙනවා. තුන්වන වටය අප්‍රේල් 10 වැනිදා පැවැත්වෙනවා. ඔබ කී කතාව හරි. මෙතෙක් දුරට එකඟත්වයට පැමිණිලා තිබෙනවා. පොදුවේ පිළිගන්න පුළුවන් ප්‍රතිපත්ති 20ක්, පූර්විකාව කුමක්ද? තිරසාර කලක් පවතින සන්ධානයට යාමට නම් ඒ විදියේ එකඟත්වයක් තිබෙන්න ඕනේ ප්‍රතිපත්ති ආශ්‍රිතව. එහෙම නැතිනම් කෙටිකාලීනව පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා හෝ මහ මැතිවරණයක් පමණක් ඉලක්ක කරගෙන ගැට ගසා ගන්නා සන්ධානයක එහෙම ස්ථාවර භාවයක් නැහැ. ඒ නිසා තමයි අපි තීරණය කළේ එතැනින් පටන් ගැනීමට. ප්‍රතිපත්ති පිළිබඳ එකඟත්වයකට පැමිණීම. ඒක කෙරීගෙන යනවා. ඒ වගේම අපේ ශ්‍රීලනිප නියෝජිතයන්ට කියලා තිබෙනවා මේ වැඩපිළිවෙළ තුළ ප්‍රධාන අරමුණ තමයි විශ්වාසය ගොඩ නැගීම. ඒ විශ්වාසය ගොඩනැගිලා නැහැ කියන එක සම්බන්ධයෙන් යම් යම් ගැටලු තියෙනවා. එක ප්‍රධාන ගැටලුවක් තමයි අයවැය ලේඛනය දෙවන වර කියවීමේදී ශ්‍රීලනි පක්ෂය අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටියා. එසේ කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කළා. එතකොට අයවැය ලේඛනය පිළිබඳ දැඩි විවේචන ඉදිරිපත් කරමින් ඒ ගැන පතුරු ගසමින් කතා කළා පාර්ලිමේන්තුවේදී. හැබැයි වැදගත් වන්නේ ප්‍රකාශය නොව කෙරුවාවයි. ඒ තීරණාත්මක අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන වැඩපිළිවෙළකට තමයි ශ්‍රීලනිප අවතීර්ණ වුණේ. අවසාන ඡන්දය තියෙන්නේ අප්‍රේල් 5 වැනිදා. අපි බලාපොරොත්තු වෙනවා එදා වෙච්ච වැරැද්ද නිවැරදි කරගනියි කියලා. එහෙම නැතිනම් අපේ පාක්ෂිකයන් අහන ප්‍රශ්නය තමයි යූඇන්පියට විරුද්ධව පුළුල් සන්ධානයක් කොහොමද ගොඩනගන්නේ ඒක ආරක්ෂා කරන කණ්ඩායමක් සමග කියලා. ඒක සෑහෙන ප්‍රශ්නයක් තමයි. විශ්වසනීයභාවය ගොඩනැගීම සඳහා ඒ විදියේ ප්‍රශ්න විසඳා ගැනීම ඉතාමත් වැදගත් නිසා අපි උත්සාහ කරනවා.

පොහොට්ටුවේ සභාපති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට ඔබ කටයුතු කළ බව ජනමාධ්‍ය තුළින් ප්‍රචාරය වුණා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සාමාජික පත් ලබාදීම මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවුණා. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසිවීම සම්බන්ධ සිද්ධියේදී පොහොට්ටුවේ පක්ෂ සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳව ප්‍රතික්ෂේප කිරීමක් සිදුවුණා. ඇත්තෙන්ම පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු කළේ නැද්ද?

ඒක ප්‍රශ්නයක් නොවේ. ඒක වැදගත් වන්නේ මැතිවරණයක් කාලයකදී. මැතිවරණයක් එනකොට තමයි පක්ෂයකට බැඳිලා කටයුතු කරන්නේ. මේ රටේ දැන් මැතිවරණ නැහැ. සෑම මැතිවරණයක්ම කල් දානවා. පළාත් සභා මැතිවරණය අවුරුදු 1 1/2ක් කල් දැම්මා. දැන් පළාත් සභා නවයෙන් ඉතිරි වෙලා තියෙන්නේ හයයි. ඒ හයෙන් දෙකක් අප්‍රේල් මාසයේ අහෝසි වෙනවා. දකුණේ පළාත් සභාව අප්‍රේල් 9 වැනිදා. සබරගමු පළාත් සභාව අප්‍රේල් 20. එවිට පළාත් සභා දෙකක් අහෝසියි. මැතිවරණ පවත්වන්න රජයට කිසිම වුවමනාවක් නැහැ. ඒ තත්ත්වය තුළ පක්ෂයට බැඳීම එතරම් වැදගත් සාධකයක් වන්නේ නැහැ. පක්ෂයේ රැස්වීම් සංවිධානය කරනවා මන්ත්‍රීවරු. ඒ වගේම වෙනත් කටයුතු කරනවා. අවශ්‍ය වෙලාවට පක්ෂයට බැඳේවි. ඊළඟ කාරණය ඕනෑම මැතිවරණයකදී තරග කිරීම පොහොට්ටුවේ ලාංඡනයෙන්.

ඔබ කියා සිටියා පොහොට්ටුවේ ලකුණින් තරග කරන බව. ඒත් ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සාදාගෙන යනවා ප්‍රතිපත්ති 20ක් සමග. එවිට පොහොට්ටුවේ ලකුණට ශ්‍රීලනිපක්ෂයේ සාමාජිකයන් කැමතිද?

නැහැ. ප්‍රතිපත්තිවල ඒ ගැන නැහැ. 20 කියන්නේ ප්‍රතිපත්ති. ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය යනාදී දේවල් ගැන ප්‍රතිපත්ති. පක්ෂ ලාංඡනය ඒකට ඇතුළත් වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති 20 පිළිබඳව එකඟත්වයකට එළැඹෙන්න පුළුවන්.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂකත්වයට නම් කිරීම හා එසේ නොමැති නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඔබගේ මතය කුමක්ද?

ඒවා පුද්ගලිකව තීරණය කරන්න පුළුවන් ප්‍රශ්න නොවේ. ඒවා සාමූහිකව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා කරලා එකඟත්වයට පැමිණිය යුතු කරුණු. එක පුද්ගලයකුගේ මතය නොවේ එතැනදි වැදගත් වෙන්නේ. හැබැයි අවසාන තීරණය මහින්ද රාජපක්ෂ මහතාගේයි.

පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර සාකච්ඡා අසාර්ථක වුවහොත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට ඉඩකඩක් තිබිය හැකියි. ඒ පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද?

අවසානයේදී ඒ කාරණය පිළිබඳ තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. දිනන අපේක්ෂකයා අපි දමනවා කියලා කියා තිබෙනවා. ශ්‍රීලනිපය සමග කෙරීගෙන යන සාකච්ඡා අසාර්ථක වුවහොත්, ඒ ගැන උපකල්පනය කිරීමට හේතුවක් නැහැ. අපේ පැත්තෙන් නිශ්චිතව සද්භාවයෙන් තමයි සාකච්ඡාවකට ගියේ. අපේ අරමුණ එජා පක්ෂයට එරෙහි දැවැන්ත බලවේගයක් ගොඩ නැගීම. ඒ සඳහා අපි ඇප-කැප වෙනවා. ඒ ප්‍රයත්නය මගදි වෙනස් කරන්නේ නැහැ, චේතනාව එකක් නිසා.

යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගතවීමට කටයුතු කළහොත් ඔබලාගේ ජනාධිපති අපේක්ෂකයාට එය අහිතකර ලෙස බලපානවා නේද?

අපි එහෙම හිතන්නේ නැහැ. ඒ කතාව 2018.02.10 වැනිදා පැවති මැතිවරණය සම්බන්ධයෙන් සලකා බැලුවහොත් අනිවාර්යයෙන්ම පරදිනවා. අපට කිසිසේත් දිනන්න බැහැ කිව්වා. මොකද්ද ප්‍රතිඵලය වුණේ? මුළු රටේම ඡන්ද කොට්ඨාසවලින් 71%ක් අපේ පක්ෂය විසින් දිනා ගත්තා. එවිට අපේ පක්ෂය පිහිටුවලා මාස 16ක කාලයක් පමණයි ගතවී තිබුණේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුග්‍රහය සහ මාර්ගෝපදේශකත්වය යටතේ බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාශීලීභාවය, ඇපකැපවෙලා වැඩ කිරීමේ ශක්තියත් නිසා තමයි පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේ. ඒකෙන් ඉස්සෙල්ලා කියපු න්‍යාය නිෂ්ප්‍රභ වෙනවා. ඔය කතාව ඔය විදියටම තිබුණා. එක්කාසු වෙන්න, එක්කාසු වෙන්න කියලා. එක්කාසු වුණේ නැතිනම් නියත පරාජයක් කියලා. ලෝක ඉතිහාසයේ කිසිම දේශපාලන පක්ෂයක් මාස 16ක් තුළ ලබා නොගත් ජයග්‍රහණයක් අපි ලබා ගත්තා. ඒ නිසා ඒ කතාව අපි පිළිගන්නේ නැහැ. ඒක බොරුවක්.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඔබ පෙරමුණේ ස්ථාවරය කුමක්ද?

මේ ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමා හරිම පැහැදිලිව ප්‍රකාශ කළා දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ යන අය සමග පැවති සාකච්ඡාවලදී එතුමා කියා සිටියේ එයයි. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් තිබුණා ඒක අහෝසි කරනවා කියලා. හැබැයි ඒක දැන් රටේ තියෙන තත්ත්වය අනුව හුදකලාව කරන්න පුළුවන් දෙයක් නොවේ. ඒ සමගම රටේ ස්ථාවරභාවය සහ මනා පාලනය රැක ගැනීම සඳහා තව දේවල් දෙකක් ඒ සම්බන්ධයෙන් ගැට ගැසිලා තිබෙනවා. ඒ දෙක සම්බන්ධයෙන් සංශෝධන එන්න ඕනේ. ඒ දෙකම ඉදිරිපත් කළ යුතුයි. එකක් තමයි මැතිවරණ ක්‍රමය. මේ මැතිවරණ ක්‍රමය නිසා බිහිවන්නේ ඉතාමත් දුර්වල ආණ්ඩුවක්. සමානුපාතික ක්‍රමය නිසා. එවන් තත්ත්වයක් තුළ පාලනතන්ත්‍රයට ශක්තියක්, ස්ථාවරභාවයක් දෙන්නේ විධායක ජනාධිපති ධුරය. ඒක ඉවත් කරනවා නම් අනිවාර්යයෙන් මැතිවරණ ක්‍රමය මූලික වශයෙන් සංශෝධනයකට භාජනය විය යුතුමයි. එහෙම නැතිනම් රට තවත් අරාජික තත්ත්වයකට පත්වෙනවා. ඒ වගේම 13 වන සංශෝධනයෙන් බිහිවෙච්ච පළාත් සභා බලතල පළාත් සභා සම්බන්ධව රජයේ තියෙන බැඳීම සම්බන්ධව සමගාමී ලැයිස්තුව වැනි දේවල් සම්බන්ධයෙන් සිතා බලන්න සිද්ධ වෙනවා. පළාත් සභාවල භූමිකාව සහ විධායක ජනාධිපති ධුරයේ භූමිකාව අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. විධායක ජනාධිපති ධුරය නැතිව මුකුත්ම නොකරනවා නම් එවිට වෙන්නේ රට දිසා ක්‍රමයකට ගමන් කිරීමයි. ඒකට ඉඩ තිබෙනවා. ඒ ඔක්කෝම එක්කාසු කරන සිමෙන්ති බදාමය තමයි විධායක ජනාධිපති ධුරය. එතකොට ඒ සියලුම පළාත් පාලනය කරන්නේ ජනාධිපතිවරයා. ආණ්ඩුකාරවරුන් හරහා. ජනාධිපති ධුරය අහෝසි කළහොත් එක් එක් පළාත් සභාවක් ඒ අයගේ ඉලක්ක අනුව කටයුතු කරාවි. ඒ අනුව එකට ගැට ගසන ආයතනය අහෝසි වෙනවා. ඒ නිසා තමයි ඔය කියන ලද කාරණා තුන එකට ගැට ගැසිලා තියෙන්නේ. විධායක, ජනාධිපති ධුරය, මැතිවරණ ක්‍රමය සහ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවල භූමිකාව. ඉතින් ඒ තුනම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. එකක් අරගෙන බැහැ.

තුන්වන වතාවටත් ශ්‍රීලනිපය අයවැය සම්මත කිරීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහොත් එය පොහොට්ටුව නිර්මාණය කිරීමට අපේක්ෂිත සන්ධානයට බලපානවාද?

අනිවාර්යයෙන්ම බලපානවා. පොහොට්ටුව කටයුතු කරන ආකාරය සාම්ප්‍රදායානුකූලව දේශපාලනය කරන ආකාරයට වඩා වෙනස්. තීරණ ගැනීමේ ක්‍රියාදාමය ජනිත වන්නේ බිම් මට්ටමේ පාක්ෂිකයාගෙන්. ඉහළ තලයෙන් තීරණ අරගෙන ඒවා බලහත්කාරයෙන් පාක්ෂිකයාට පැටවීමේ සම්ප්‍රදායයක් අපේ පක්ෂය තුළ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාවේ නැවුම් ගතියක් පෙන්වන සුවිශේෂ ලක්ෂණයක් ඒක. අපි කොහොමද අපේ පාක්ෂිකයන්ට පහදලා දෙන්නේ ශ්‍රීලනිපය අවංකව එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගයක් ගොඩනැගීමට ඇප කැපවෙලා තියෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ අයවැය ලේඛනයට විරුද්ධවත් ඡන්දය දීමට සූදානම් නැතිනම් ඒකෙන් කියැවෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආරක්ෂා කරනවා කියන එක නේ. ඉතින් එහෙමනම් සමස්ත වැඩපිළිවෙළේ වටිනාකම සහ විශ්වසනීයභාවය පිළිබඳව අපිව පාක්ෂිකයා ඒත්තු ගැන්වීම අසීරු කටයුත්තක් වෙනවා එහෙම වුණොත්. අපි බලාපොරොත්තු වෙන දෙය තමයි එහෙම නොවීම. දෙවන වර කියවීමේදී වෙච්ච වරද හරි ගස්සා ගැනීමට අවස්ථාවක් තිබෙනවා. ඒ වරද හරිගස්සා ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.