මේක තමයි ලංකා දේශපාලනයේ ඒඩ්ස්. – ඇමැති චම්පික රණවක

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

රටේ දේශපාලනය ජනාධිපතිවරණයක් අරමුණු කරගනිමින් පෙළ ගැසෙමින් තිබෙනවා. මේ කාරණය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ සූදානම කොයි වගේද?

ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ ඉලක්කය වන්නේ කරුණු තුනක් ඉෂ්ට කරගැනීම. ඒකෙන් ප්‍රධානතම කාරණය තමයි පවුල්වාදයට ගජමිතුරුවාදයට යටවෙලා තියන රටේ දේශපාලනය නිපුණතාවට කුසලතාවට මුල්තැන දෙන තැනක් බවට පත් කිරීම. දෙක සෑම කෙනෙක්ම සංවර්ධනයේ සහ සමාජයේ හවුල්කාරයෙක් බවට පරිවර්තනය කිරීම. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා කියලාවත්, අංගවිකල වුණා කියලාවත්, විවිධ කුලවලට අයිති වුණා කියලාවත්, අතීතයේ කැරලිකාරයෝ වුණා කියලාවත් සමාජයෙන් යමෙක් එළියට දාන්න බෑ. තුන්වෙනි එක පරිසර තිරසරභාවය. මේ කරුණු තුන මේ ජනාධිපතිවරණයෙන් පසු ක්‍රියාත්මක විය යුතුයි කියන විශ්වාසය මත ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව ගොඩනඟා ගැනීමටයි අපි දැන් කැපවෙලා තියෙන්නේ.

මේ වෙන විටත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටිනවා. සාම්ප්‍රදායික දේශපාලකයන්ට එරෙහිව රටට අලුත් බලාපොරොත්තුවක් ලෙස හැඳින්වෙන ඔහුගේ මේ ඉදිරිපත්වීම ගැන මොනවගේ අදහසක්ද ඔබ දරන්නේ?

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ රටට අලුත් කෙනෙක් නෙවෙයි. ඔහු රාජපක්ෂ පවුල්වාදයේම බිහිසුණු කොටසක්. ඒ පවුල්වාදය ඇතුළේ මතුපිටින් පේන්න තිබුණු සංවර්ධනය යට තිබිච්ච ජාතික මංකොල්ලයේත්, භීෂණයේත් බලගතු හස්තයක්. යුද හමුදාව සතුව කොළඹ තිබුණු වටිනා අක්කර දහයක ඉඩම විකුණලා එයින් ලැබුණු මුදලින් තංගල්ල බේ හෝටලය ගැනීම, නාවික හමුදාව සතුව තිබිච්ච දවසකට මිලියන දහය ගානේ ලැබෙන ව්‍යාපාරය පුද්ගලික සමාගමකට ලබාදීම, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදි සිදුකරන ලද මිලියන දාහකට වැඩි වංචාව වැනි මහා වංචනික ක්‍රියාවලිය ඇතුලේ ක්‍රියාත්මක වෙච්ච ප්‍රධාන චරිතය ඔහුයි. ඒ වගේම මිනිස්සු බිය වැද්දීම බලහත්කාරය යන ක්‍රියාදාමයේ ප්‍රධාන සංකේතයත් ඔහුයි. ඒක එක්සත් ජාතික පාක්ෂිකයන්ට හෝ ජනමාධ්‍යවේදීන්ට පමණක් නෙවෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් මැති ඇමැතිවරුන් කරා පවා විහිදී ගිය භීෂණයක්. ඔය ඇතැම් මැති ඇමැතිවරුන් කතා නොකර හිටියට ඒ හැමෝම සම්බන්ධයෙන් ඒ වියරු භීෂණය එක විදිහටම ක්‍රියාත්මක වුණා. ඔහු අලුත් කෙනෙක්, අලුත් බලාපොරොත්තුවක්, පාක්ෂික දේශපාලකයෙක් නොවෙයි වගේ නොයෙක් කතා ඔහු කියනවා. ඒත් ඔහු බෙහෙවින්ම පාක්ෂික, බෙහෙවින්ම පවුල්වාදී, අතීත පවුල්කාමයේ නෂ්ටාවශේෂයක්. ඔහු කියනවා ඔහු මේ සමාජයට පිළිතුරක් කියලා. නෑ. ඔහු පිළිතුර නොවෙයි ප්‍රශ්නයේම කොටසක්. අද මේ සමාජය පෙළන භයානක ණයගැතිභාවයේ, කාලකණ්ණි පවුල්වාදයේ, ප්‍රජාතන්ත්‍රවාදය වැනසිලා ගොඩනැඟිලා තියන මේ පාතාල ක්‍රියාදාමයේ ප්‍රධාන වගඋත්තරකරුවෙක් ඔහු. ඒ නිසා ඔහුට මේ රට එක අඟලක් ඉදිරියට ගෙනියන්න බෑ.

ඉතිහාසයේ ඉහළම විනිවිදභාවයකින් සිදුවූ ගනුදෙනුව මිග් යානා ගනුදෙනුව බවත් විවිධ කමිටු සහ අධීක්ෂණ යටතේ එය එසේ ක්‍රියාත්මක වූ බව ලිඛිත සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවත් ඔහු කියනවා?

මිග් යානා ගනුදෙනුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් ඉක්බාල් අතාස් මහත්තයා සවිස්තරාත්මක හෙළිදරව්වක් කළා. කොමිටි පත්කළාට මොකද ඒ මිලදී ගැනීම සඳහා යෝජනා කළ සමාගම ව්‍යාජ ලිපිනයක පවත්වාගෙන ගියේ. ඒ වගේම ඒ මිග් ගනුදෙනුවේදී ලබාගත් අමතර කොටස වන ඩොලර් මිලියන හත විදේශ බැංකු ශාඛාවක තැන්පත් කරලා තියන බව පරීක්ෂණවලින් පැහැදිලි වුණා. මේ ගනුදෙනුවට සම්බන්ධ යුක්රේනය ඇතුළු හැම රටකින්ම ඊට අදාළ තොරතුරු දැනටමත් ගෙනල්ලා ඉවරයි. එතුමා මේ හොරකම කළේ නෑ කියනවා නම් එතුමාට කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක්. මේකට ප්‍රධාන චූදිතයෙක් වන දැනට විදේශයක හැංගිලා ඉන්න එතුමාගේ ඥාතියකු වන උදයංග වීරතුංග ලංකාවට ගෙනල්ලා එතුමාගේ නිර්දෝෂීභාවය රටට හෙළිදරව්ව කරන්නයි තියෙන්නේ. එක එක පත්තරවලට කියන්න දෙයක් නෑ.

“2015 ජනවාරි 8” දේශපාලන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට, එහි ජනතා අභිලාෂ ඉටු කිරීමට කිසියම් වැඩපිළිවෙළක් ඉදිරි ජනාධිපතිවරණයේදී හෙළ උරුමය පාර්ශ්වයෙන් යෝජනා වෙනවද?

ජනවාරි 8 ප්‍රජාතන්ත්‍රවාදී වේදිකාව දැන් ඉවරයි. ඒ මොකද ඒ වේදිකාවෙන් සපුරාගන්න ඕනේ දෙයක් තිබුණා. ඒක තමයි ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලය පාලනය කිරීම. ඒක 19වෙනි සංශෝධනයෙන් සිදුවුණා. කාටවත් කියන්න බෑ ඒක එහෙම වුණේ නෑ කියලා. පහුගිය දින 52 සිද්ධියේදිත් ඔප්පු වුණේ පාර්ලිමේන්තුවේ සහයෝගයක් නැතිව ජනාධිපතිවරයාට ඉදිරියට යන්න බැරි ව්‍යවස්ථාවක් දැන් හැදිලා තියනවා කියන එක මහජනයාත්, අධිකරණයත් පිළිගැනීමයි. ජනාධිපති ධුරය සහ එහි අත්තනෝමතික බලය පිළිබඳව අවුරුදු හතළිහක් පමණ තිස්සේ මේ රටේ තිබුණු කථිකාව ඒ ජනාධිපතිවරණයෙන් සාක්ෂාත් කරගත්තා. ඉන් එහාට මේ රටට ජනමත විචාරණයකින් තොරව යන්න බැහැ. ජනාධිපති ධුරය සතුව තිබුණු අත්තනෝමතික බලතල දැන් නැති නිසා ධුරය අහෝසි කිරීම පිළිබඳ තිබුණු සටන් පාඨත් දැන් හුඟාක් දුර්වල වෙලා තියනවා. ඊළඟට ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් එතනින් කොහාටද යන්නේ කියන ප්‍රශ්නයත් තියනවා. මොකද පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය මත ස්ථාවර ආණ්ඩු හැදෙන්නේ නෑ. ඊළඟට ජනාධිපති ධුරය ගෙනාවට පස්සේ පළාත් සභා පිහිටෙව්වා, ජනාධිපතිවරයාගේ විධායක බලතල ක්‍රියාත්මක කරන ආණ්ඩුකාරවරයෙක් සමඟින්. ජනාධිපති ධුරය අහෝසි වුණාම ඒ ආණ්ඩුකාරවරයාගේ බලතලවලට මොකද වෙන්නේ? ඒ බලතල පළාත් සභාවල මහ ඇමැතිවරුන්ට යනවද? එතකොට මහ ඇමැතිවරුන් කොහොම ක්‍රියා කරයිද? ඒ වගේම රටේම ඡන්දවලින් තේරීපත්වෙන කෙනෙක් ජනාධිපති වෙන එකද හොඳ එහෙම නැත්නම් දිස්ත්‍රික්කයක මනාප ගත්ත කෙනෙක් රටේ නායකයා වෙන එකද වඩා හොඳ? ඔය වගේ ප්‍රශ්න තියනවා. මම හිතනවා පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිවරයාට ලබාදෙන ජනවරමත් එක්ක මේ 19 වෙනි සංශෝධනයෙන් යම් සමමිතියක් ඇතිවුණා. කාට හරි ඕනේ නම් මේ ධුරය අහෝසි කරන්න අනිවාර්යෙන්ම පැරණි පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට යන්න ඕනේ. ඒකට මේ දේශපාලන පක්ෂවලින් බහුතරයක් කැමැති නෑ. ඒ වගේම පළාත් සභාවල වෙනසක් ඇති කරන්න ඕනේ. ඒකටත් දේශපාලන පක්ෂවල කැමැත්තක් නෑ. ඒ නිසා සුදුසුම දේ තමයි දැන් තියන සමමිතිකභාවය තුළ ඉදිරියට ගමන් කරන එක.

ව්‍යවස්ථාපිත ක්‍රමයේ සැලකිය යුතු තරමේ වෙනස්කම් නොකොට කොහොමද රට ඉදිරියට ගමන් කරන්නේ?

ලංකාවට අත්‍යවශයෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණයක් ඕනේ. පවුලෙන් රටේ නායකයන් තෝරන මේ කාලකණ්ණි වැඩවසම් ක්‍රමය වෙනුවට රටේ ජනතාව තුළින් නායකයන්ට මතුවෙන්න ඉඩ ප්‍රස්ථාව ලබාදෙන්න ඕනේ. මේ රටේ අතීතයේ සිද්ධ වුණේ කැරලි ගහලා සමාජය වෙනස් කරන්න උත්සාහ කිරීම්. දැන් සිද්ධ වෙලා තියෙන්නේ රටෙන් එළියට පැනලා තමන් වෙනස් වෙන්න උත්සාහ කිරීම්. එහෙම හිතපු 15%ක් අද පිටරට ඉන්නවා. එහෙම පැනගන්න අවස්ථාවක් නැති නිසා තව විශාල පිරිසක් මෙතැන තැවෙමින් ඉන්නවා. මේ රට මිනිස්සුන්ට ඉන්න හිතෙන තැනක් බවට පත කරන්න පැරණි දේශපාලන පන්තියට බැරි බව දැන් ඔප්පු වෙලා තියනවා. රටේ අනෙකුත් ක්ෂේත්‍ර ප්‍රජාතන්ත්‍රවාදයත්, නිපුණතාවත් නිසා ඉදිරියට යන්න පුළුවන් වෙලා තියනවා. මේ රටේ අගවිනිසුරු තෝරලා තියෙන්නේ අම්ම තාත්තාගේ උරුමයට නෙවෙයි කුසලතාවට. ඉංජිනේරුවෝ, දොස්තරලා ඒ ඒ තැන්වලට පත්වෙලා තියෙන්නේ කුසලතාව මත. රටේ පළමුවෙනි ව්‍යාපාරිකයන් දහදෙනා ගත්තාම තාත්තලාගේ හයියෙන් ආව අය නෙවෙයි කුසලතාවයේ හයියෙන් ආව අය. රටේ ඉහළම සංගීතඥයෝ, සිනමා ශිල්පියෝ, ක්‍රීඩකයෝ එතනට ඇවිල්ලා තියෙන්නෙත් එහෙමයි. හැබැයි කුසලතාව නැතිව එතනට ඇවිල්ලා තියෙන එකම සමාජ පන්තිය තමයි දේශපාලකයන් කියන්නේ. අපි මේක වෙනස් කරන්න ඕනේ. වික්ටර් රත්නායකගේ පුතා සින්දු කිව්වා. හැබැයි වික්ටර් රත්නායක වගේ බලගතු ගායකයෙක් වෙන්න බැරි වුණා. ඇයි ඒ ක්ෂේත්‍රයේ කුසලතාව නැති නිසා. ගාමිණී ෆොන්සේකාගේ පුතා රඟපෑවා. හැබැයි ගාමිණී ෆොන්සේකාට වැඩි මහා නළුවෙක් වෙන්න බැරි වුණා කුසලතාව නැති නිසා. ඒත් දේශපාලන ක්ෂේත්‍රයේ එහෙම නෑ. තාත්තගෙන් පස්සේ අංක එක පුතා. නැත්නම් බාප්පා, මාමා, නෑනා ඔය විදිහට යනවා. මේක ප්‍රාදේශීය සභාවේ තියනවා. පළාත් සභාවේ තියනවා. පාර්ලිමේන්තුවේ තියනවා. දැන් මේ ලෙඬේ ජනාධිපති ධුරයටත් ඇවිල්ලා තියනවා. මේක තමයි ලංකා දේශපාලනයේ ඒඞ්ස්. ඒඞ්ස් කියන්නේ ලිංගික ආශ්‍රිතව බෝවෙන රෝගයක් නේ. මේ නිසා තමයි රට ආපස්සට ගිහිල්ලා තියෙන්නේ. මේ කලාපයේ බොහෝ රටවල් ඉදිරිය බලා ආවේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයෙන්. ඒ කුසලතාවාදී විප්ලවය මේ රටේ කෙරෙන්න ඕනේ.

ජාතික හෙළ උරුමයට ඒ විප්ලවය සඳහා සැලැස්මක් තියනවාද?

අපි හැමවිටම හෙළ උරුමය හැටියටම කටයුතු කරන්නේ නෑ. අපි ඉන්නේ පක්ෂයක සීමාවේ නෙවෙයි ජාතික සීමාවේ. අපිට පක්ෂය අවශ්‍ය වෙන්නේ ඒ ජාතික සීමාවේ ඉලක්ක ජයගැනීම සඳහායි. අරමුණයි වැදගත්. අපිට පැහැදිලි වැඩපිළිවෙළක් තියනවා. අපි ඒක ඉදිරිපත් කරලා තියනවා. ජනතාවත් එක්ක අපි ඒ සංවාදය දැන් ආරම්භ කරලා තියෙන්නේ. සංවාදය ආරම්භ වෙලා විතරක් නෙවෙයි අපි අපේ අමාත්‍යාංශය හරහා ඒක කරලා රටට පෙන්වලා තියනවා ණය නැති අමාත්‍යාංශයක් කරන්නේ කොහොමද කියලා.

නාගරික සංවර්ධන අධිකාරියේ වැය ශීර්ෂය පරාජය වීම ඉදිරි වැඩකටයුතුලට බාධාවක් නොවේද?

අපේ අමාත්‍යාංශය කියන්නේ කොළයක ගහපු ගැසට් එකක්. අපිට හරි හමන් විදිහට කිසිම ආයතනයක් තිබුණේ නෑ. අපි අපේ හයියෙන් මේ අමාත්‍යාංශය හදාගත්තේ අවුරුදු තුනක් ඇතුළත. සමහරු ගෝඨාභය මහත්තයා ගැන කතා කරනවා. ඒ කාලේ යුද හමුදාවේ හත්දාහක් හිටියා එයාට වැඩ කරගන්න. ඕනේ දෙයක් කරන්න මුදලුත් තිබුණා. බලයත් තිබුණා. එතුමා අවුරුද්දකට බිලියන පහමාර ගානේ වැඩ කළා. ඒත් අපි අවුරුද්දකට බිලියන විසිඑක ගානේ වැඩ කරලා තියනවා. මේ රටට ඉහළම ගණයේ ආයෝජන ගෙනල්ලා තියනවා. පෝර්ට් සිටි එක ගැන ලොකු විවේචන තිබුණා. රාවයේම දැම්මා කොළඹ ගිලා බහිනවා කියලා. ගිලා බැහැලා තියනවාද දැන්. කසළ ප්‍රශ්නයට විසඳුම් දීලා තියනවා. විරෝධතාවලින් වැඩක් නෑ. ඊළඟට අපි ලයිට් රේල්වේ එක ගේනවා. ඒක මේ රටේ ඇතිවෙන විශාල විප්ලවීය පරිවර්තනයක්. අපේ ටි්‍රලියන පහක ව්‍යාපෘතිවලට ආණ්ඩුවේ දායකත්වය ලබාගෙන තියෙන්නේ 20%කටයි. රට ණය කරන්නේ නැතිව කරලා තියනවා. නාගරික සංවර්ධන අධිකාරියේ වැය ශීර්ෂය පැරැද්දුවාට වැඩක් නෑ. එහි ඔක්කොම ආයතන භාණ්ඩාගාරයෙන් සල්ලි ගන්නේ නෑ. ප්‍රාග්ධන වියදම් නතර වීම විතරයි තියෙන්නේ. අපේ මුළු අමාත්‍යාංශයේම වැටුප මාසයකට මිලියන 9 යි. හැබැයි අපි ටි්‍රලියන 5ක් ව්‍යාපෘති කරනවා.

රාජපක්ෂ පවුල පිටරටවල තැන්පත් කළ විශාල ධනස්කන්ධයක් ඇති බවත්, පොදු අපේක්ෂකයා ජනාධිපති වූ පසු ඇතිවෙන නව පාලනය යටතේ ඒ ධනය රාජසන්තක කරලා එයින් ජනතාවට සහන දෙනවා කියලත් ‘ජනවාරි 8’ මැතිවරණ ව්‍යාපාර වේදිකාවලදී ඔබ අවධාරණයෙන් ප්‍රකාශ කළා. ඒ කිව්ව ආකාරයට මේ දක්වා මොනවද රාජසන්තක කළේ? ඒවායින් මොනවද ජනතාවට දුන්න සහන?

මේ ආණ්ඩුව කරන ප්‍රධානීන් කිහිප දෙනෙක් එකතු වෙලා රාජපක්ෂලාට දඬුවම් නොදෙන්න මුලින්ම තීරණය කළා. සමහරු රාජපක්ෂලාගේ හොර සල්ලිවලින් සාක්කු පුරවා ගත්තා. අතීතයේ කළ වැරදිවලට දඬුවම්දීම නැවැත්තුවා. ඊළඟට වර්තමානයේ ඒගොල්ල හොඳින් හිටියේත් නෑ. ඒගොල්ලොත් හොරකම් කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණේ ඉතාමත් නින්දිත විදිහට සිදුකළ මහ බැංකු බැඳුම්කර වංචාවෙන්. ඒ මගින් ආර්ථිකයට බලපෑම් කළා විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ ඇස් පනාපිට පුද්ගලික දේපළ හොරට ගහගත්තා. එක්සත් ජාතික පෙරමුණට තිබුණු ලක්ෂ පනහක ඡන්ද ඒ හරහා ලක්ෂ 35කට බැස්සෙව්වා. මේ වංචනිකයන්ට දඬුවම් නොදීමේ ක්‍රියාවලියට පැහැදිලිවම ජනාධිපතිත් අගමැතිත් වගකිව යුතුයි. ඒ ගැන අපිට ඡන්දය දීපු ජනතාවගෙන් අපි සමාව ඉල්ලනවා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ රාජපක්ෂලා හොරකම් කළේ නෑ කියලා. අර කවුද කිව්වා වගේ හොරුන් අල්ලන්න ආව ආණ්ඩුව හොරු ඇල්ලුවා. අපිට සාක්ෂි තියනවා ඒවාට.

ඊළඟ පාලන කාලයේදි කරන බවට ඉදිරි ජනාධිපතිවරණ වේදිකාවේ මොනවද අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ?

මේ රටේ අත්‍යවශ්‍යයෙන්ම වෙනස් විය යුතු තැන් දෙකක් තියනවා. දූෂණ වංචා ක්ෂේත්‍රයේ නිශ්චිත ක්‍රියාදාමයක් නැති එක වෙනස් විය යුතුයි. මම දැක්කා වාර්තාවක තියනවා මිලියන 2700ක් වියදම් කරලා අල්ලස් දූෂණ කොමිසම අල්ලලා තියෙන්නේ මිලියන 10ට වඩා වැඩි එකම එක හොරකමයි කියලා. ඒ ආයතනයට දොස් කියලා වැඩකුත් නෑ. එයිට ලොකු හොරකම් අල්ලන්න තාක්ෂණික හැකියාවක් ඒකට නෑ. නිකන් පොලිස් නිලධාරීන් කීපදෙනෙක් විතරයිනේ ඉන්නේ. මේ ළඟදි එක්තරා අලුත් ව්‍යාපෘතියක අල්ලස් දූෂණ ගැන හොයන්න කියලා එහි ප්‍රධාන ඉංජිනේරුවාව කොමිසමට කැඳෙව්වා. එයාගෙන් සාක්ෂි විමසන්න ආව පොලිස් නිලධාරි මහත්තයාගේ පළවෙනි ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඒ ව්‍යාපෘතිය මොකක්ද කියලා එයාට පැහැදිලි කරලා දෙන්න කියන එක. ඒ මහත්තයාගේ කටඋත්තරය ලියලා තියෙන්නේ එයාමයි. මේකට නීති රීති විතරක් ගෙනල්ලා වැඩක් නෑ තාක්ෂණික දැනුම ඇති ශක්තිමත් යාන්ත්‍රණයක් ඇති කරන්න ඕනේ. ඊළඟට අධිකරණය. අධිකරණය ස්වාධීන කළා. හැබැයි අධිකරණය අපක්ෂපාතී ද? කාර්යක්ෂම ද? මේ වෙන කොටත් නඩු හත්ලක්ෂ පනස් දාහක් ගොඩ ගැහිලා තියනවා. ඒ ප්‍රශ්නය විසඳන්නය කියලා තමයි අධිකරණ ක්ෂේත්‍රයේ පඩි වැඩි කළේ. දැන් ඒ පඩි වැඩි කිරීම ආණ්ඩුවට පාරාවළල්ලක් වෙලා. අනෙකුත් සේවාවන් උද්ඝෝෂණය කරනවා ඊට සාපේක්ෂව ඒවායෙත් පඩි වැඩිකරන්න කියලා. මම හිතනවා අග්‍රවිනිශ්චයකරු ඇතුළු මේ අය කල්පනා කරන්න ඕනේ අවුරුදු තුනකින්වත් නඩුවක් අහලා ඉවර කළ හැකි කාර්යක්ෂම ක්‍රමයක් ගැන. මේ රටේ යුක්තිය ඉටුවෙන්නේ නෑ. අපිට පේනවා සමහර ධනපතියන්ගේ නඩු, කූට විදිහට හම්බකරපු මිනිස්සුන්ගේ නඩු ඉහළ උසාවියට දානවා. වාරණ නියෝග ගන්නවා. හත්අට මාසයකින් කල් යනවා. නීතිඥයන්ගේ දින පොත්වලට අනුව උසාවිවල නඩු අහන රටක් වෙන්න බෑ මේක. ජනතාවගේ දිනපොතට යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ. අධිකරණයේ ඒ ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. ඊළඟ පාලනයකින් එය අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුත්තක්.

රාජපක්ෂ පාලන කාලයේදී සිදුවූ මාධ්‍යවේදීන් ඝාතන කිරීම්, අතුරුදහන් කිරීම් සහ ජනමාධ්‍යයට එරෙහි ප්‍රහාර රාශියක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන්නට ආණ්ඩුව අසමත් වුණේ ඇයි?

මුල ඉඳන්ම ජනාධිපතිතුමත් අගමැතිතුමත් රාජපක්ෂ පවුලේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ කියන තුන්දෙනා අත්අඩංගුවට ගන්නේ නෑ කියන එක මත පදනම් වෙලා කටයුතු කිරීමේ ප්‍රතිඵලය තමයි ඒක. 2015 ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාරගත්තේත්, මහින්ද රාජපක්ෂ මේක බාර දුන්නේත් නිකන් කියලා මම හිතන්නේ නෑ. රාජපක්ෂ පවුලේ අයට විරුද්ධව නඩු පවරන්නේ නෑ කියලා යම් ඇෂුවරන්ස් එකක් අරගෙන තමයි ඒක කළේ. ඒකේ ප්‍රතිඵල තමයි අද මේ රට එක පැත්තකින් භුක්ති විඳින්නේ. ඒ වගේම අගමැතිගේ පාර්ශ්වයෙනුත් රාජපක්ෂ පවුල ගලවා ගැනීමේ මෙහෙයුම් තිබුණා. ඒකට අපිට ඕනේ තරම් උදාහරණ තියනවා. මේක නිසා මේ ආණ්ඩුවට ඡන්දය දුන්න අය කම්පනයකින් ඉන්නේ. ඒක තමයි පහුගිය පළාත් පාලන මැතිවරණයේදී මතුවුණේ.

ජනාධිපති – අගමැති දෙදෙනා ඔය කියන ආකාරයෙන් කටයුතු කළා නම් ඔවුන් බලයට පත්කරන්න විශාල භූමිකාවක් කළ පක්ෂයක නායකයෙක් විදිහට ඔවුන් නිවැරදි මාවතට ගන්නට ඔබ මොනවද කළේ?

සැලකිය යුතු අරගලයක් කළා. 2015 ජනවාරි 21 වෙනිදා රැස්වුණු පළවෙනි කැබිනට් මණ්ඩලයටම විශේෂ උසාවි ඇති කරලා මේ නඩු විභාග කරන්න ඕනේ කියන යෝජනාව මම ඉදිරිපත් කළා. ඒ යෝජනාව එදා ප්‍රතික්ෂේප වුණා. අවුරුදු හතරකට පස්සේ තමයි ඒක නැවත ක්‍රියාත්මක වුණේ. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න ගිය වෙලාවේ මමත්, වෛද්‍ය රාජිත සේනාරත්නත් ඒකට විරුද්ධ වුණා. ඒවා නොතකා අගමැතිගේ වුවමනාවට ඒ පත් කිරීම කළා. මම හත් වතාවක් කැබිනට් පත්‍රිකා ගෙනල්ලා තියනවා උසාවිවල දූෂණ සහ ප්‍රතිස්ංස්කරණ සම්බන්ධයෙන්. මට අයිති නැති වුවත් මේ විෂය මම දන්න නිසා අද තියන බලශක්ති අර්බුදයේ අනතුර ගැන මම 2017 ඉඳන් විටින් විට ප්‍රකාශ කරලා තියනවා. ඒවා බීරි අලින්ට වීණා වයනවා වගේ තමයි වුණේ. මේ නිසා අද රටත් ආර්ථිකයත් හැම පැත්තෙන්ම බිඳවැටිලා තියනවා. ඒකට අවුරුදු විස්සකට තිහකට කලින් හිටිය ඇමතිලාට බැනලා වැඩක් නෑ. පහුගිය අවුරුදු හතරේ අපේ ආණ්ඩුව මේකට වගකියන්න ඕනේ.