කෙටිකතා ලිවීම හිරේ යන වරදක්ද?

නිමල් අබේසිංහ

පාරාජිකා පාලියෙහි ප්‍රථම පාරාජිකය වන මක්කටී වස්තුව නම් කතාවතෙකි. එහි කොටසක් මෙලෙස උපුටනය කළෙමු.
එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහ වෙනෙහි වැඳිරියක ආහාරයෙන් පෙළොඹවා ඇය හා මෙවුන්දම් සෙවෙයි. ඒ වැඳිරි එන ඒ භික්ෂූන් දුරදීම දුටුවාය. දැක ඒ භික්ෂූන් වෙත පැමිණියාය. පැමිණ ඒ භික්ෂුන් ඉදිරියෙහි කටියද සැලුය. නඟුටද සැලුය. කටියද නැඟුය. (මොවුන්දම් ගලපෙන සේ) නිමිත්තද කළාය…. ඒ වැඳිරි එය අනුභව කොට ඒ මහණට කටිය නැඟුය. තෙල මහණ ඒ වැඳිරිය සමඟ මොවුන්දම් සෙවෙයි.

මේ කතාවට අනුව බුදුන් දවස සස්නේ විසූ භික්ෂුන් වුවද දුසිරිතෙහි ගැලී සිටිය බවට සාක්ෂි සැපයේ. මක්කටී වස්තුව හදිසියේ ගෙනහැර දක්වන්නට සිදුවනුයේ මේ වෙද්දී කෙටිකතා නිර්මාණයකින් බුද්ධාගමට අපහාසයක් සිදු වෙතැයි චෝදනාවට ලක්ව ලේඛකයකු සිපිරිගෙයි තපින බැවින්ය. කෙටිකතාව පළ වනුයේ මුහුණ පොත ඔස්සේය. ලේඛකයා ශක්තික සත්කුමාරය.

ශක්තික පවසන ආකාරයට ඔහු පළකළ කෙටි කතාව මුහුණු පොතේ පළ වී තිබී ඇත්තේ දින දෙක තුනකි. අනතුරුව ඔහු එය මුහුණු පොතෙන් ඉවත් කරගෙනද ඇත. කෙසේ වුවත් පොල්ගහවෙල ප්‍රදේශයේ භික්ෂූන් පිරිසක් විසින් පොල්ගහවෙල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොල්ගහවෙල පොලිසිය ඔහුව අප්‍රේල් 1 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව අධිකරණය විසින් අප්‍රේල් 09 වැනිදා දක්වා ශක්තික සත්කුමාර බන්ධනාගාර ගතකොට ඇත්තේය.

නිර්මාණයක සහ කැළෑපත්තරයක වෙනස හඳුනාගත නෙැහැකි ඔලමොට්ටල පොලිස් නිලධාරියකුට තමන්ට රිසි පරිදි නිර්මාණකරුවකුට එරෙහිව නඩු පැවරීමේ ඉඩ කඩ ඇති බව මෙම සිදුවීම ප්‍රකට කරවන්නකි. නිර්මාණකරුවකු චේතනාන්විතව කිසිවකුට අපහාස කිරීමක් අපේක්ෂා නොකරන අතර ඔහුගේ හෝ ඇයගේ අභිප්‍රාය උසස් කතා නිර්මාණයක් සිය පාඨකයා අතට පත් කිරීමය. ශක්තික සත්කුමාර නම් ලේඛකයා මේ වෙද්දී ස්වකීය කෙටිකතා, කවි හා ශාස්ත්‍රීය නිර්මාණ රැසක් බිහිකර ඇත්තෙකි. ඔහුගේ එකී නිර්මාණ ඉතා විශිෂ්ඨ ඒවා යැයි යන අස්ථානයේ අප නොසිටින නුමුදු නිර්මාණකරුවකු ලෙසින් ඔහුට නිර්මාණකරණයේ යෙදීමේ අයිතිය වෙනුවෙන් අප මෙහිදී කොන්දේසි විරහිතව පෙනී සිටිමු. එහිදී ඔහු විසින් මුහුණු පොතෙහි ප්‍රකාශයට පත් කරන ලද උක්ත කෙටිකතාව බුදුසමයට හෝ බුද්ධ චරිතයට අපහාසයක් සිදු කළේ යැයි යන අස්ථානයට කිසිවකුට පැමිණිය හැකිද යන පැනය මතුවෙයි. එයට හේතුව වනුයේ කිසියම් කතා නිර්මාණයක් විග්‍රහ කිරීමේදී ඒ ඒ පාඨකයාට හෝ විචාරකයාට අනුව එකී නිර්මාණ විග්‍රහ කිරීම, අරුත් ගැන්වීම සිදුවන බැවිනි. එහිදී සියල්ලන් අතර ඒකමතියක්ද ඇති නොවේ. අනෙක් අතින් කලා නිර්මාණයක් විග්‍රහ කිරීම හෝ අරුත් ගැන්වීමට ගණිතයේදී හෝ භෞතික විiවේදී මෙන් නිශ්චිත සූත්‍රද නොවේ. ගණිතයේදී 1ූ1ු2 යන්න නිශ්චිත පිළිතුරකි. කලාවේදී එසේ නොවේ.

බෞද්ධ සාහිත්‍යයේදී ජාතක කතා තුළ පවා ලිංගිකත්වය පිළිබිඹු කරන ජාතක කතා තිබේ. එවන් ජාතක කතා පන්සිය පනස් ජාතකයෙන් (නියත වශයෙන්ම ජාතක කතා ඇත්තේ 449) ඉවත් කළ යුතුයැයි කිසිදු බෞද්ධයකු මේ වන තුරුත් යෝජනා කර නොමැත. මළමිනී සමඟ සංසර්ඝයේ යෙදුණු භික්ෂූන ගැන පුවත් බෞද්ධ සාහිත්‍යයේ තිබෙද්දී ඒවා අශිෂ්ට හෝ ව්‍යාජ ඒවා යැයි කිසිදු බෞද්ධයකු ප්‍රතික්ෂේප කිරීමක්ද නොවේ. බුදුන් විසින් විවිධ අවස්ථාවන්හි පනවා ඇති විනය කරුණු අන්තර්ගත විනය පිටකයේ ඇති එළදෙනුන් බල්ලන් වැනි සතුන් ඇති කිරීම භික්ෂුන්ට අකැප බවට පනවා ඇත්තේ ඇයිද යන්න ගැන අදහසක් ඇතිකර ගැනීම අයෙකුට අපහසුවක් නොවේ.

 

උපත් පාලන කොපු සන්තකයෙ තබා ගැනීම වරදක් ලෙස දක්වමින් අධිකරණයේ නඩු පැවරීමට තරම් මුග්ධ පොලිස් නිලධාරින්ට නිර්මාණයක් විග්‍රහ කරගැනීමට තරම් ප්‍රශස්ත බුද්ධියක් තිබේ යැයි අපට උපකල්පනය කළ නොවේ. අනෙක් අතින් නිර්මාණ කරුවෙක් කිසියම් නිර්මාණයක් කරනුයේ පොලිස් නිලධාරීන් ලවා දණ්ඩ නීති සංග්‍රහය අපරාධ නීති සංග්‍රහය හෝ වෙන් නීතියකට අනුව විග්‍රය කර ගැනීමට නොවන බව මේ නිලධාරීන් නොදනිති. ඒ නොදැනීම උද්දච්චකමක් බවට හරවා ගනිමින් නිර්මාණකරුවන් දංගෙඩියට දක්කන්නට ඔවුන් ක්‍රියා කරනුයේ එහෙයිනි.

ශක්තික සත්කුමාර සම්බන්ධ සිද්ධියේදී ද දැන ගන්නට තිබෙන තොරතුරු අනුව ඔහු තමන්ට චෝදනා කළ භික්ෂූන් ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ කෙටි කතාව මුහුණු පොතෙන් ඉවත් කර ගන්නා බවය. එයින් පසුව සිද්ධිය ඉදිරියට යෑමක් පිළිබඳව පැමිණිලිකාර භික්ෂූන් වහන්සේලා තුළ තිබී නැත. මෙහිදී ශක්තිකට එරෙහිව නඩු පැවරීමේ ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිවරයාය. ඔහු පවසා ඇත්තේ එහෙම කොහොමද? මේක මෙතනින් නැවැත්තුවොත් ඉදිරියේදී තවත් මිනිස්සු මේ වගේ කෙටි කතා ලියයි. ඒක නවත්වන්න නඩුවක් දාන්න ඕනෑ. යනුවෙන් මේ නිලධාරියා පැවසීයැයි තොරතුරු ඇත.

පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිවරයා දුරතකතනය ඔස්සේ අමතා මේ ගැන විමසන්නට ලියුම්කරු උත්සාහ කළ විට ඔහු කීවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසන ලෙසටය. මෙයින් පවා පෙනෙනුයේ සම්ප්‍රදායික උද්දච්ච පොලිස් නිලධාරියකුගේ ගති ලක්ෂණ විනා වෙනකක් නොවේ.