රෝයල් ඉන්ස්ටිටියුට් හමුදා කඳවුරක්ද?

ඉඳුනිල් උස්ගොඩආරච්චි

 

රෝයල් ඉන්ස්ටිටියුට් නම් ජාත්‍යන්තර පාසලේ පාලකයින්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් එහි ඉගෙනුම ලබන දරුවන් නොයෙකුත් තාඩන පීඩනවලට ලක්වන බවට එම පාසලේ දරුවන්ගේ මාපියෝ චෝදනා කරමින් සිටින්නේ මීට කලකට පෙර සිටය. එය උච්චතම අවස්ථාවකට දැන් පැමිණ ඇති බව පෙනෙනුයේ පාසලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දොළොස් හැවිරිදි සිසුවකු පෙබරවාරි 26 වන දින හදිසියේ පාසලෙන් ඉවත්කර දැමීමත් සමගය. පෙබරවාරි 27 වැනි දිනට පාසලේ විනෝද චාරිකාව යෙදී තිබුණෙන් සිසුවා ඒ සඳහා ගෙවිය යුතු වූ රු. 3700ද ගෙවා තිබුණත් 26 වැනි දින එම මුදල ද නැවත ඔහු අත තබන පාසලේ පාලකයින් ඔහුට කියා තිබුණේ එම චාරිකාවට ඔහුට සහභාගිවීමට නොහැකි බවය. එදින ඔහු පංති කාමරයෙන් ඉවත් කර පාසලේ කාර්යාලය තුළ තැබීමට ද ඔවුන් ක්‍රියා කළ බවට එම දරුවා පවසා තිබුණි. 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා පෙබරවාරි 26 වැනි දින සිට පාසලෙන් ඉවත් කළ බවට 2019 පෙබරවාරි 25 දිනැතිව ලියාපදිංචි තැපෑලෙන් සිසුවාගේ නිවසට ලිපියක් යොමු කිරීමට පාසලේ පාලකයින් කටයුතු කර තිබුණත් ඒ වන විට එම ලිපිය නොලැබුණු බැවින් කිසිවක් නොදත් දරුවා ද පාසල් ගිය පසු ඔහුට මෙම සිදුවීමට මුහුණදීමට සිදුවූ බව දරුවාගේ මාපියෝ පවසති. දොළොස් හැවිරිදි දරුවකුගේ අධ්‍යාපනයට පමණක් නොව යහපත් මානසික තත්ත්වයට ද හානි පමුණුවමින් මෙවැනි ක්‍රියාවන්හි නිරතවීමට රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ පාලකයින් කටයුතු කරන්නේ මාපියන්ද පවසන පරිදි පාසල් ගාස්තු ගෙවීම ප්‍රමාදවීමක් වැනි හේතුවක් නිසා පමණක් නොවන බව පැහැදිලිය. එය මීට පෙර සිට සිදුවූ සිදුවීම් දාමයක අවසානයේ පුපුරා යෑමක් බව පැහැදිලිය. “දරුවා ඉවත්කරන බවට එවා තිබූ ලිපියේ සඳහන් වුණු පළමු වරද තුන් වරක් දැනුම්දීම් කර තිබුණත් පාසල් ගාස්තු නොගෙ වීමයි. දෙවන වරද දිගින් දිගටම පාසලට විරුද්ධව බොරු පැමිණිලි දැමීමයි. අනෙක පාසලට විරුද්ධව කරුණු තිස් හතරක් සහිතව පාරිභෝගික අධිකාරියට බොරු පැමිණිලි දැමීමයි. ඒ කාරණා හේතුවෙන් දරුවා ඉවත් කර තිබුණා. ඒත් පාසල් ගාස්තු ගෙවීමට තව දින තිබුණා.

පාසලට විරුද්ධව පැමිණිලි දාන්න සිදුවුණේ පරිපාලනයේම වැරදි නිසායි. ඒවා බොරු පැමිණිලි නෙමෙයි. ඒ අය එවා තිබූ ලිපියට අනුව ළමයාගේ 7 වසර පළමු වාරය (ජනවාරි-අප්‍රේල්) වෙනුවෙන් රු. 37740ක මුදල ජනවාරි 10 වැනි දිනට පෙර ගෙවිය යුතුයි. එදාට පෙර ගෙවීමට නොහැකි අයට ජනවාරි 10-31 දක්වා කාලයක් දෙනවා. ඒ කාලය සඳහා 5%ක් වැඩිපුර අයකර ගැනීම සිදුවෙනවා. ජනවාරි 31 පසුවුවහොත් 15% ක් වැඩිපුර ගෙවිය යුතුයි. මම පසුගිය වසර දෙකක පමණ සිට මගේ ළමයි දෙන්නාටම ගෙවුවේ 15%ත් සමග එම කාලසීමාව තුළදීයි. තවත් මාපියන් එහෙම කළා. ඒත් මගෙන් පළිගන්න ඕනෑ නිසා මගේ දරුවා 2019.02.26 පාසලෙන් ඉවත් කළා” පාසලෙන් ඉවත් කළ දරුවාගේ පියා පවසන්නේ එවැන්නකි. ඔහුගේ වැඩිමල් දරුවාද පෙර පාසල් අවධියේ සිට නුගේගොඩ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලබා උසස්පෙළ හදාරා තිබිණ. වසර 16ක් පමණ සිට තම දරුවන් අධ්‍යාපනය ලැබූ පාසලට කිසිදු හිඟ මුදලක් නොමැතිව මිලියන ගණන් ගෙවා තිබෙන නමුත් වසරක පමණ කාලයක සිට සියලු දේ වෙනස්වීමට පටන් ගත්තේ හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එහි පරිපාලන අධ්‍යක්ෂ ලෙස එම පාසලට පැමිණීමත් සමග බව ඔහු පවසන්නේය. මෙම ජාත්‍යන්තර පාසලේ මාපිය සංගමයේ සාමාජිකයන් පිරිසක් පැවසූ අන්දමට මීට පෙරද පාසල තුළ යම් යම් ගැටලු ඇතිවූ අවස්ථා තිබුණත් ඒවා සාකච්ඡා මට්ටමෙන් විසඳා ගැනීමට හැකි තත්ත්වයක් පාසල තුළ තිබුණත් වසරකට පමණ පෙර සිට ඒ සියල්ල වෙනස් අතකට පෙරළී තිබිණ.

දරදඬු පාලනයක් පාසල තුළ ක්‍රියාත්මකවීමටත් දරුවන්ට හා මාපියන්ට ඒ අනුව නොයෙකුත් තාඩන පීඩනවලට මුහුණ දීමට සිදුවූ බවත් මාපියෝ චෝදනා නගති. විධිමත් ගිවිසුමක් තිබියදී ඊට පිටතින් කටයුතු කරමින් පාසල් ගාස්තු හදිසියේ ඉතා වැඩි අගයකින් ඉහළ දැමීම, ගෙවන මුදල්වලට නිසි ආකාරයේ තොරතුරු ඇතුළත් රිසිට්පත් නිකුත් නොකිරීම, දරුවන්ට පාසල තුළ පවතින ආරක්ෂාව පිළිබද ගැටලු , සනීපාරක්ෂක ගැටලු , පන්ති කාමරවල පවතින ප්‍රමිතිය පිළිබඳ ගැටලු ආදී ගැටලු රාශියක් පිළිබඳ රෝයල් ඉන්ස්ටිටියුට්හි මාපිය සංගමය විසින් පාසලේ පරිපාලනය වෙත ලිඛිතව දන්වමින් සාකච්ඡා අවස්ථා ඉල්ලා තිබුණ ද ඒ කිසිවකට වත්මන් පාලනය ඉඩ ලබා නොදුන් බවට ඔවුහු චෝදනා කරති. තම දරුවන්ට පාසල තුළ මුහුණදීමට සිදුවූ හිරිහැරවලට එරෙහිව ඇතැම් මාපියන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන්නේ ඒවා සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීමට කිසිදු අවස්ථාවක් හෝ නොලැබෙන තැනය. මේ වන විට පාසලෙන් ඉවත් කළ දරුවාගේ පියා ද තමන්ට පැමිණිලි කළ හැකි සෑම ස්ථානයකටම පැමිණිලි කරමින් තම දරුවන්ට සිදුවන හිංසනයන්ට සහනයක් බලාපොරොත්තු වුවත් අවසානයේ එහි විපාකය විදීමට දැන් සිදුවී තිබෙන්නේ ද ඔහුගේ දොළොස් හැවිරිදි දරුවාටමය. දරුවාගේ පියා පවසන පරිදි තමන්ගෙන් පළිග ැනීමට පාසලේ පාලක මණ්ඩලය සිදුකරන්නේ නොසිතූ මොහොතක තම දරුවා පාසලෙන් ඉවත්කර දැමීමය. “මීට පෙරත් පාසලේ විවිධ ගැටලු ඇතිවූ අවස්ථා තිබුණා. ඒ අවස්ථාවල පාසලේ මාපියන්ගේ සංගමය මැදිහත්වී පාසලේ සභාපති ජී.ටී. බණ්ඩාර සමග සාකච්ඡා මගින් එම ගැටලු විසඳා ගත්තා. හැබැයි වසරකට පමණ පෙර සිට පාසලේ පරිපාලන අධිකාරී ලෙස හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පත් වුණා.

පෙර තිබුණු තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා. දැන් අනෙක් අය කියන්නේ ඉහළින් නියෝග ඇවිත් තියනවා, ඒවා ක්‍රියාත්මක කළ යුතුමයි කියායි. ඔහු ආවාට පස්සේ පාසලේ දරදඬු පාලනයක් ගෙන යනවා. මේක දැන් හමුදා කඳවුරක් වගෙයි. අපි ඔහු සමග පෞද්ගලික තරහක් නැහැ, ඔහු අපි ආදරය කළ චරිතයක්. ඒත් ඔහු රෝයල් ඉන්ස්ටිටියුට් එකේ පරිපාලන අධ්‍යක්ෂ බවට පත්වී අත්තනෝමතික තීරණ ගෙන දෙමාපියන් සහ ළමයි පීඩනයට පත් කරද්දී මේජර් ජෙනරල්වරයා කියා අපට අදාළ නැහැ. ඔහු දැන් සිටින්නේ නොග ැළපෙන තැනකයි. ඔහුට ඒ සඳහා සුදුසුකමක් නැහැ. පාසලක දරුවන් සම්බන්ධ කටයුතු පාලනයට ඔහු ගැළපෙන්නේ නැහැ.” පාසලේ අධ්‍යාපනය ලබන සිසුවෙකුගේ පියකු එලෙස ප්‍රකාශ කළේය. 2018.10.09 වන දින පාසල් ගාස්තු නොගෙ වූ බව පවසමින් මෙම ජාත්‍යන්තර පාසලේ ළමයි 100ක් පමණ රැගෙන ගොස් වෙනත් පන්ති කාමර දෙකක සිරකොට දොරවල් අසල ආරක්ෂාවට ගුරුවරු යොදවා, එම දරුවන්ට අධ්‍යාපන කටයුතුවලට සහභාගිවීමට ඉඩ ලබා නොදෙමින් රෝයල් ඉන්ස්ටියුට් ජාත්‍යන්තර පාසල කටයුතු කර තිබූ බව එම දිනවල විවිධ මාධ්‍යවල ද පළ වූයේය. පාසලේ මාපියන් නීතියේ පිළිසරණ සොයා යන්නේ එම සිදුවීම් සමගය. “එදා ඉස්කෝලේ ඇතුළේ කළු ඇඳගත් විශේෂ ආරක්ෂක භට පිරිසක් යොදවා තිබුණා. මේ සිදුවීම ආරංචිවෙලා මව්පියන් ඉස්කෝලේ ළඟට ඇවිත් විදුහල්පති හමුවෙන්න අවසර ඉල්ලු වත් එදා යොදවා තිබුණ විශේෂ ආරක්ෂකයන් මව්පියන්ට පාසලට ඇතුළුවෙන්න ඉඩ දුන්නේ නැහැ.

තුන්වන වාරය වෙනුවෙන් පාසල් ගාස්තු ගෙවන්න තිබුණේ 15% දඩ මුදලත් එක්ක නොවැම්බර් මාසයේ ආරම්භයට දින දෙකකට කලියෙනුයි. ඒත් දින තිබියදී දරුවන් හිරකර තිබුණා.” රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ නුගේගොඩ ශාඛාවේ ඉගෙනුම ලබන දරුවකුගේ පියෙක් අප සමග පැවසුවේය. ඔවුන් පවසන අන්දමට පාසල් ගාස්තු ප්‍රමාද වූ විට 15%ක මුදලක් වැඩිපුර ගෙවීමට  සිදුවන අතර ඒ මුදලද සමග පාසල් ගාස්තු ගෙවීමට තවත් දින තිබියදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නතර කර පන්ති කාමරවලින් ඉවත් කරගෙන ගොස් එලෙස රඳවා තැබීමට මෙම පාලකයින් කටයුතු කර තිබිණ. මේ පිළිබඳ ආරංචිය ලද විගස ඇතැම් මාපියන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයද අමතා පැමිණිලි කර තිබේ. එහෙත් ඔවුන්ගේ දරුවන් පවසා තිබුණේ පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ ඔවුන් හිරකර තිබූ පංති කාමර තුළට එබී බලා ළමයින්ගෙන් කිසිවක් නොවිමසා ගුරුවරුන්ගෙන් පමණක් විමසා නැවත හැරී ගොස් තිබූ බවකි. “මේ සිදුවීම අපි මිරිහාන කාන්තා හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න 2018.10.09 ගියත් ළමයාත් එක්ක ඇවිත් පැමිණිලි කරන්න කියලා එතැනින් කීවා. ඒ නිසා මාපියන් පිරිසක් ළමයි එක්කරගෙන ගිහින් පැමිණිලි කළා. මමත් 2018.10.10 දරුවාත් එක්ක ගිහින් පැමිණිලි කළා. ඒ වගේම එදාම ජාතික ළමා ආරක්ෂණ අධිකාරියටත් පැමිණිලි කළා. ඒත් කිසිම තැනකින් මේ ගැන කිසිම පියවරක් ගත්තේ නැහැ. ඒ නිසා මම 2018.11.02 වැනිදා පොලිස්පතිතුමාගේ සහන මැදිරියට පැමිණිලි කළා. 2018.12.05 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත් පැමිණිලි කළා.” මේ වන විට පාසලෙන් ඉවත් කර තිබෙන දරුවාගේ පියා පවසයි. හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ආගමනය සමග පාසලේ සිදුවන අකටයුතුකම් පිළිබඳ ඇතැම් මාපියන් නීතිමය කටයුතු කිරීමට පෙළඹී තිබුණද අවසානයේ මෙම හිටපු මේජර් ජෙනරාල්වරයාගේ බලපෑම් හේතුවෙන් ඔවුන් ඒවා නතර කළ ද තමන් පමණක් නොබියව දිගින් දිගටම නීතිමය කටයුතු කිරීමට ඉදිරිපත්වීම හේතුවෙන් පාසලේ පරිපාලනය තම දරුවාගෙන් පළිගැනීමට කටයුතු කරමින් සිටි බවට ඔහු චෝදනා නගයි. ඔහු අවස්ථා තුනකදී පොලිස්පතිවරයාගේ සහන මැදිරියට ද පැමිණිලි කර තිබුණි. පසුව ජාතික පොලිස් කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇත.

ළමා හා කාන්තා මූලස්ථානයට, නැවත මිරිහාන ළමා හා කාන්තා ඒකකයට පැමිණිලි ඉදිරිපත් කර අවසානයේ නීතිපතිවරයාට, ජනාධිපතිවරයාට ද ඔහු ලිපි මගින් මෙම අර්බුදය පිළිබඳ දන්වා තිබුණි. ඒ වන විට 2018 වසරේ වාර අවසාන විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ප්‍රගති වාර්තා ද එම සිසුවාට ලබා නොදෙමින් ඔහුගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටි බවට ද දරුවාගේ පියා චෝදනා කළේය. තම දරුවාගේ වාර විභාගයේ පිළිතුරු පත්‍ර සහ ප්‍රගති වාර්තා ලබා නොදීමට පරිපාලන අධ්‍යක්ෂ කමල් ගුණරත්න විසින් උපදෙස් දුන් බව ජනවාරි 14 වැනි දා විදුහල්පතිවරයා හමුවූ අවස්ථාවේ තමන්ට පැවසූ බැවින් එදින ද ඔහු නැවතත් මිරිහාන පොලිසියේ කාන්තා හා ළමා ඒකකයට පැමිණිලි කර තිබේ. එයින් ද කිසිදු සාධාරණයක් නොවූ තැන ඔහු ඒ පිළිබඳව ජනවාරි 25 වැනි දින පොලිස් මූලස්ථානයට ද පැමිණිලි කර ඇත. 2019.01.17 දින පාසලේ පාලනාධිකාරිය විසින් තමාට දුරකථන ඇමතුමක් ගෙන පාසලට එරෙහිව පවරා ඇති බී 3282/18 නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, පසුව සුහදව පැමිණ විදුහල්පති හමුවන ලෙස තර්ජනය කළ බව ඔහු ප්‍රකාශ කරයි. ඒ සම්බන්ධයෙන් ද ඔහු මිරිහාන පොලීසියට පැමිණිලි කිරීමට ගියද පාසලට විරුද්ධව ඔවුන්ට කළ හැක්කක් නොමැති බව දන්වා තිබුණෙන් ඔහු අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන්ගේ සහයවීමේ ජාතික අධිකාරියේ ස්ථානාධිපතිවාරයාට පැමිණිලි කර ඔහුගේ උපදෙස් මත 2019.01.27 දින මිරිහාන කාන්තා හා ළමා ඒකකයේ  WCIB 2 383/259 යටතේ පැමිණිල්ලක් කර ඇත. පසුව ඔහු මේ සම්බන්ධයෙන් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියට ද ලිඛිතව දන්වමින් තමන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා තිබුණි. හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හමුදාවේ නිලතල යොදාගනිමින් රෝයල් ඉන්ස්ටිටියුට් පාසලේ දරුවන්ටත් එහි මාපියන්ටත් හිරිහැර කරන බැවින් ඊට එරෙහිව පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් ඔහු විසින් 2019.02.01 දින යුද හමුදාපතිවරයාට ද ලිපියක් යොමු කර තිබුණි. දරුවා පාසලෙන් ඉවත් කළ බවට අධ්‍යාපන අමාත්‍යාංශයට ද දැන්වූ පසු 2019.03.09 වැනි දින අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (නොවිධිමත් හා විශේෂ අධ්‍යාපන) කේ.ඒ.ඩී. පුන්‍යදාස විසින් රෝයල් ඉන්ස්ටිටියුට්හි සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබේ. “ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය හා 1939 අධ්‍යාපන ආඥා පනතේ 185 අධිකාරිය යටතේ අධ්‍යාපන අමාත්‍යතුමාට පැවරී ඇති බලතල යටතේ නිකුත් කරන ලද 1963/30 දරන අනිවාර්ය අධ්‍යාපන නියෝග අතිවිශේෂ ගැසට් නිවේදනය හා ඊට අදාළ අධ්‍යාපන ලේකම්ගේ චක්‍රලේඛය අනුව අවුරුදු 5-16 වයසේ සිටින සෑම ළමයකුටම අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කර ඇති අතර අදාළ වයසේ ශ්‍රී ලංකාව තුළ කිනම් හෝ පාසලක අධ්‍යාපනය ලබන යම් ශිෂ්‍යයකු/ශිෂ්‍යාවක විනය හේතු හෝ මොනයම් කරුණු මත පාසලකින් ඉවත් කරන්නේ නම් ඒ සඳහා අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය ලබාගැනීම ද අනිවාර්ය වේ.” ලෙස එම ලිපියේ සඳහන් කර ඇත.

අදාළ ශිෂ්‍යයාගේ අධ්‍යාපන අවස්ථා ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ සම්බන්ධ ගැටලු ඇත්නම් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සමග සාකච්ඡා කරන ලෙසත් එහි සඳහන්ය. දරුවාගේ අධ්‍යාපන අවස්ථා සැලසීමට කටයුතු නොකරන්නේ නම් නීතිමය පියවර නොගැනීම සඳහා කරුණු ඇත්නම් කරන ලෙසත් ඒ සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් කඩිනමින් එවන ලෙසත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා අප රෝයල් ඉන්ස්ටිටියුට් පාලනාධිකාරී කමල් ගුණරත්න දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට වාර ගණනක් උත්සාහ කළ ද ඒ සෑම අවස්ථාවකම ඔහු රැස්වීමක යැයි පවසමින් දුරකථනය විසන්ධි කළේය. රෝයල් ඉන්ස්ටිටියුට්හි සභාපතිවරයා වන ජී.ටී. බණ්ඩාර ඇමතීමට ද පාසලේ දුරකථන අංකයන් ඔස්සේ උත්සාහ කළද කිසිවකු ඊට ඉඩකඩ ලබා නොදුන්නේය. නුගේගොඩ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති ජේ.එස්.ඒ.එස්. මල්ලව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ මෙවැන්නකි. “මේ පාසල් පවත්වාගෙන යන්නේ පාසල් ගාස්තුවලින්. ඒ ළමයාගේ පාසල් ගාස්තු ගෙවා නැහැ. මතක්කිරීම් කීපයක් කර තිබුණා. පසුව පාසලෙන් ඉවත්කර ගන්නා ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තව ලිපියක් යවලා තියනවා. ඊට ප්‍රතිචාර ලෙස පොලීසියට ගෙන්වා තිබෙනවා. අපිට විරුද්ධව පැමිණිලි කීපයක් දාලා තියනවා. පාසල අස්ථාවර කිරීමට උත්සාහයක් දරනවා. මේ ළමයාට අසාධාරණයක් කළේ නැහැ. අස්වීමේ සහතිකය ලබා දීමට කොන්දේසි කීපයක් තියනවා. ඒක දෙන්න නම් මුදල් ගෙවා අවසන් කළ යුතුයි. ඔහු මුදල් ගෙවූ පසු අපි අස්වීම් සහතිකය ගෙනිහින් පොලීසියට භාර දෙනවා.” එහෙත් දරුවාගේ පියා ඇතුලු තවත් මාපියන් පිරිසක් පැවසුයේ ගාස්තු ප්‍රමාදවී ගෙවන විට ගෙවිය යුතු 15්‍රක මුදලත් සමග එම වාර අවසානයට පෙර ඇතැම් අය මුදල් ගෙවීම සිදු කරන බවයි. එසේ ගෙවන අය අතර තවත් අය සිටින නමුත් එම කාල සීමාවටත් ප්‍රථම මෙම දරුවා ඉවත් කිරීමට කටයුතු කරන්නේ ඔහු විසින් දිගින් දිගටම කරන ලද පැමිණිලි හා චෝදනා හේතුවෙන් ඔහුගෙන් පළිගැනීමේ චේතනාවෙන් බවයග ඔහු ඉවත්කරන බවට ලබා දුන් ලිපියේ ද සදහන් වන්නේ පාසල් ගාස්තු නොගෙවීම පමණක්ම නොවේ. පාසලට විරුද්ධව කරන ලද පැමිණිලිත් එම ඉවත් කිරීමට හේතුවූ බව එම ලිපියේ සදහන්වේ.

ඒ සම්බන්ධයෙන් විමසූ විට විදුහල්පතිවරයා ප්‍රකාශ කළේ “ර්‍මුදල් නොගෙවීම නිසා පමණයිග හුගක් දෙනෙක් ගෙවලාග මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මෙහි පරිපාලන අධ්‍යක්ෂකයි. ඔහු සමග මේ පැමිණිලි කරන පුද්ගලයාට පෞද්ගලික ගැටලු තිබිය හැකියි. මීට පෙර ගැටලු පැමිණි විට අපි සාකච්ඡාකර විසදගෙන තිබෙනවා. උඩින් නියෝගයක් ආවාම ඒවා අපි පිළිපැදිය යුතුයි. ඒ නිසා ඒවා දෙමාපියන් සමග සාකච්ඡා කර කටයුතු කරනවා. මම හැමවෙලාවේම ළමයාගේ පැත්තෙන් බැලීමට උත්සාහ කරනවා. මේ ළමයාගෙන් ඇහුවොත් කියාවි මම කවදාවත් එයාට හිරිහැරයක් කර නැහැ කියලා. ඒ ගැන වගකීමකින් මට කියන්න පුළුවන්., යනුවෙනි. පාසලේ දෙමාපියන් ද පවසන්නේ හිටපු මේජර් ජෙනරාල් මෙම තනතුරට පැමිණීමට පෙර සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්ණ විසදාගත්තද දැන් ඉහළින් නියෝග ලැබුණු බව පවසමින් දැඩි තීරණ ක්‍රියාත්මක කිරීමට පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බව පාසලක් යනු හමුදා කදවුරක් ලෙස පාලනය කළ යුතු ස්ථානයක් නොවන අතර දැන් පාසල තුළ පවතින්නේ එවන් වාතාවරණයක් බවට ඔවුහු චෝදනා කරති.

පාසලක අධ්‍යාපනය ලැබීමට පැමිණෙන දරුවන්ට අධ්‍යාපනය ලැබිය යුතු වන්නේ හමුදා පාලනයක් යටතේ නොව ළමා අධ්‍යාපනය පිළිබද විධිමත් පුහුණුවක් ලද පිරිසක් මගිනි. මෙවන් සිදුවීම් හරහා කඩාවැටෙන දරුවන්ගේ අධ්‍යාපනය පමණක් නොව යහපත්ව පැවති මානසික තත්ත්වය ද යළි යථා තත්ත්වයට පත් කිරීම පහසු නොවනු ඇත. මෙරට ජාත්‍යන්තර පාසලක හෝ වෙනත් පාසලක ඉගෙනුම ලබන මෙරට පුරවැසියන්ට සිදුවන අසාධාරණයක දී බලධාරීන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබදව ද තිබෙන්නේ බරපතල ගැටලුකාරී තත්ත්වයක් බව පැහැදිලිය. මේවා නිසි නියාමනයක් යටතට පත් කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් සකස්වීමට ඉතා කඩිනමින් සිදුවිය යුතුව ති‍බේ.