“ගාමිණි ෆොන්සේකා මගේ සිනමා පාසලයි”

සහාය අධ්‍යක්ෂ – ෂෙල්ටන් කැකුළුවලගේ

සංවාදය – බෙනිල් ශාන්ත

ෂෙල්ටන් කැකු`ඵවලගේ 70 දශකයේ සිනමාවට සම්බන්ධවෙමින් සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ක්‍ෂේත්‍රයේ නම සනිටුහන් කරන්නේ, විශේෂයෙන්ම ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට බහුතරයක සහාය අධ්‍යක්ෂවරයා මෙන්ම රංගනයටද දායක වෙමිනි. පසුකලෙක සිනමා ක්‍ෂේත්‍රයෙන් දුරස් වුවද දැනට හැත්තෑවියේ පසුවන හෙතෙම රූපවාහිනී වැඩසටහන් සම්පාදනයට සහාය අධ්‍යක්ෂණයෙන් දායකත්වය සපයයි.

සිනමා ක්‍ෂේත්‍රය හා ඔබේ සබඳතාව සිදුවන්නේ කොහොමද?
පළමුවෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගෝඞ් කිං” (1976) චිත්‍රපටයට රඟපෑමෙන් සම්බන්ධ වුණා. ඒ වන විට මම වේදිකා නාට්‍යවල රඟපා තිබුණා. ධම්ම ජාගොඩගේ නාට්‍ය කණ්ඩායමේ සිටියා. ගෝඞ් කිං චිත්‍රපටයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ ධම්ම ජාගොඩගේ නාට්‍ය කණ්ඩායම ගෝඞ් කිං චිත්‍රපටයට සම්බන්ධ කරගත් නිසා. සයිමන් නවගත්තේගමගේ “සුබ සහ යස” නාට්‍යයේත් රඟපෑවා. ගෝඞ් කිං චිත්‍රපටයෙන් පසුව සුනිල් ආරියරත්නගේ සරුංගලේ (1979) චිත්‍රපටයේ රඟපෑවා. එහිදී ගාමිණී ෆොන්සේකාව හඳුනා ගැනීමට ලැබුණා.

ඊට පස්සේ?
ගාමිණී ෆොන්සේකා රඟපෑ තවලම (1981) චිත්‍රපටයේ රඟපාන්න මාව සම්බන්ධ කරගත්තා. ගාමිණී කිව්වා මගේ චරිතය වැඩි වෙන්න තිර රචනය සකසන බව. මම කිව්වා රඟපෑමට වැඩිය කැමති අධ්‍යක්ෂණය පැත්තට කියලා. ඒ නිසා තවලම චිත්‍රපටයේ දෙවන සහාය අධ්‍යක්ෂවරයා ලෙස මාව සම්බන්ධ කළා. ඇත්තටම එම චිත්‍රපටයේ තිරය පිටුපස අධ්‍යක්ෂවරයා ගාමිණී. නාමාවලියේ සඳහන් වන්නේ වෙනත් නමක්. පසුව ගාමිණී අධ්‍යක්ෂණය කළ “සාගරයක් මැද” (1981) චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය හා රඟපෑම කළා.
ගාමිණීත් එක්ක වැඩ කරන්න බෑ. ඔක්කෝම නීට් එකට තියෙන්න ඕනේ. ඔහු අපිට උගන්වනවා. ඔහු සමග වැඩ කරන්න බෑ කියලා සමහර අය දාලා යනවා. ගාමිණීට සිනමාවේ හැම විෂයයක් ගැනම ඉහළ දැනුමක් තිබුණා. හැම දෙයටම මැදිහත් වෙනවා. කෙසේ හෝ මම දිගටම ඔහු සමග වැඩ කළා.
සාගරයක් මැද චිත්‍රපටයේ මම රඟපෑවේ රෝහණ විජේවීරගේ චරිතය. කමල් අද්දරඅරච්චිව සංවිධානයෙන් එලවනවා. ඊට පසුව ඔහු ධර්මසේකරගේ කණ්ඩායමට එකතුවෙනවා. ධර්මසේකරගේ චරිතය රඟපෑවේ අමරසිරි කලන්සූරිය. ධර්මසිරි වික්‍රමරත්නගේ “හිමකතර” චිත්‍රපටය මම සහාය අධ්‍යක්ෂණය කළත්, චිත්‍රපට නාමාවලියේ සඳහන් වන්නේ ග්‍රැන්විල් රුද්‍රිගු ගේ නම. එවැනි දේවල් මේ ක්‍ෂේත්‍රයේ සිදුවෙනවා. එදා 70, 80 දශකවල සිනමා ක්‍ෂේත්‍රයේ හොඳට වැඩ තිබුණා. දැන් සමහර චිත්‍රපටවලට මට කතා කරනවා. මම ෂෙඩුල් එක හදලා දෙනවා. ඒත් අද වනතුරු නිහඬයි. කතා කරන්නේ නැ. ඉතින් මම නිහඬ වෙනවා. දැන් වැඩකරන්නේ ලේසි ක්‍රම වලටනේ.

ෂෙල්ටන් මහත්තයාගෙ පාසල් කාලෙ ගෙවුණේ කොහොමද?
මගේ උපන් ගම කැලණිය. ධර්මාලෝක විද්‍යාලයට ගියේ. සතිස්චන්ද්‍ර එදිරිසිංහ මගේ පාසලේ හිටියා. සාමාන්‍ය පෙළ කළාට පසු පාසල් ගමන නැවතුණා. පසුව තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාව ලැබුණා. තාත්තා එහි රැකියාව කළ නිසා. ප්‍රසිද්ධ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වීමෙන් මට සයිමන් නවගත්තේගම හා මහාචාර්ය සුචරිත ගම්ලත් හඳුනාගන්න ලැබුණා. ඇවිදින පුස්තකාල වැනි ඒ උගතුන් ඇසුරෙන් පාසලින් ලබා ගැනීමට නොහැකි වූ දැනුමක් ලබාගැනීමට හැකිවුණා.
70 දශකයේ ක්‍ෂේත්‍රයට පිවිසුණු ඔබ 80 දශකයේදී ක්‍ෂේත්‍රයෙන් ඉවත්වුණා?
නැහැ. ඊට පසු මම ෆිල්ම් ලොකේෂන් එකේ වැඩ කළා. චන්ද්‍රන් රත්නම් “ෆිල්ම් ලොකේෂන්” ආයතනය පිහිට වූ විට ගාමිණී ෆොන්සේකා මාව ඔහුට හඳුන්වා දුන්නා. එහිදී මම විදේශ චිත්‍රපට දහයකට පමණ සම්බන්ධ වී වැඩ කළා.
එදා “බි්‍රජ් ඔන්ද රිවර් ක්වායි” චිත්‍රපටය ලංකාවේ රූගත කිරීම සඳහා පැමිණි විදේශීය චිත්‍රපට කණ්ඩායමට නවාතැන් පහසුකම් සපයා දුන්නේ චන්ද්‍රන් රත්නම්ගේ තාත්තා. එතකොට චන්ද්‍රන් රත්නම් පාසල් යන ශිෂ්‍යයෙක්. ඔහු විදේශ ගතවී වසර 28 කට පසුව ලංකාවට ඇවිත් “ෆිල්ම් ලොකේෂන්” එක ආරම්භ කළා. චන්ද්‍රන් රත්නම්ට ඉහළ කාර්මික දැනුමක් මෙන්ම සිනමාව පිළිබඳ ශිල්පීය දැනුමක් තිබුණා. 80 දශකය මුලදි දුටු ඔහුගේ “ආදර කතාව” (1981) චිත්‍රපටයේ සිංහල දෙමළ සංහිඳියාව පිළිබඳ හොඳට කියවුණා. අද රාජ්‍ය මට්ටමෙන් ආයාසයෙන් ගොඩ ගැනීමට උත්සාහ කරන “සංහිඳියාව” ඔහු දුරාතීතයේ සිනමාවෙන් අපූරුවට කළා. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස අදටත් ඔහු සාර්ථකයි.

ඔබේ මැදිහත්වීම ඇගැයීමට ලක්වූ අවස්ථා තිබෙනවා ද?
ලංකාවේ කිසිම උළෙලකින් මට සම්මානයක්වත් ආරාධනාවක්වත් ලැබී නැහැ. කොහොමත් අපි කැපී පෙනුණේ නැහැ. තිරෙන් පිටුපස පොඩි මිනිස්සු. චිත්‍රපටවලින් අයින් වුණාට පසු මම රූපවාහිනි නාට්‍යවලට සම්බන්ධ වුණා. පෝය නාට්‍ය වගේ ඒකාංගික නාට්‍ය ලියා තිබෙනවා.
“ධම්ම ජාගොඩ” රූපවාහිනියේ සිටින කාලේ රූපවාහිනියේ රැකියාවට කතා කළා. මම කිව්වා පිට වැඩකරන්න පු`ඵවන්නම් එන්නම් කියලා. එවිට ඔහු කිව්වා රූපවාහිනිය රජයේ නිසා බැහැ කියලා. ගාමිණීයි, නිහාල්සිංහයි, මණික් චන්ද්‍ර සාගරයි එකතු වෙලා චැනල් එකක් ආරම්භ කිරීමට මට කතා කළා. ඒත් ඒ වනවිට “සංඛපාලි” චිත්‍රපටය කරන්න ගිවිසුම අත්සන් කරලා තිබුණ නිසා නොහැකි වුණා.

චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හිතුවේ නැද්ද?
ඒ සඳහා අවස්ථා තුනක් පමණ ලැබුණා. ඒත් මගේ කැමැත්තක් තිබුණේ නැහැ. එදා ගාමිණී ෆොන්සේකාගේ “සාගරයක් මැද” චිත්‍රපටයට නඩුවක් දමා තිබුණා. ඒ කාලේ ආතර් යූ. අමරසේන එක්ක කළ ඉන්ටර්වීව් එකකදි ගාමිණී කියලා තිබුණා සිනමාව පිළිබඳ කලකිරී සිටින නිසා විදේශ ගතවෙන්න අදහසක් තිබෙනවා, ඒත් මගේ ෆිල්ම් එකේ ඇසිස්ටන් හැටියට වැඩ කළ ෂෙල්ටන්ගේ ෆිල්ම් එකේ රඟපාලයි මම යන්නේ කියලා.
ඒ කාලේ මම කළු සුදු ෆිල්ම් එකක් කරන්නත් සූදානමින් හිටියා. ප්‍රධාන චරිතය “පාදඩයෙක්.” ඉතින් මේ ගැන සිනමා පත්තරවලත් පළවුණා. පසුව මට නිෂ්පාදකයින් දහයක් පමණ කතා කළා. ඔවුන් මට බලන්න හින්දි චිත්‍රපටවල VHS පට දුන්නා. ඒ අනුව මගේ ස්ක්‍රිප්ට් එක කරන්න කිව්වා. මම ඒ තත්ත්වයට පත්වෙන්නෙ කැමති වුණේ නැති නිසා වැඬේ නැවතුණා.
චිත්‍රපට සංස්ථාවේ නිෂ්පාදන අංශයේ ප්‍රධානියා ලෙස පියසිරි ගුණරත්න හිටිය කාලේ ඔහු මගේ තිර පිටපත ගත්තා. පසුව දවසක සුදර්ශි එකේදී මගෙ කනට ඇහුණා ඔහු කෙනකුට කියනවා “මචං ස්ක්‍රිප්ට් එකත් කියෙව්වා. සුපර්” හොඳ සීන් ටිකක් තියෙනවා. මගේ ෆිල්ම් එකට කොහොම හරි ඒ ටික දානවා කියලා.
මම පසුවදාම සංස්ථාවට ගිහින් ඔහුගෙන් තිර පිටපත විමසුවා. ඔහු ආපසු දීමට අදිමදි කළ නිසා ඔහුට බැනවැදී පිටපත ලබා ගත්තා. ඒ වෙලාවේ ඒ අසල සිටි ඇන්තනි සී පෙරේරාට හා කේ. ඒ. ඩබ්. පෙරේරාට එම කතාව ඇසුණා. එම වැඬේ එතනින්ම නැවතුණා. ඊට පසුව සංස්ථාවේ පැත්තේ ගියේ නැහැ. එළියේදී නිහාල්සිංහ මහතාව හමුවී මේ කතාව කිව්වා.

ඩී. බී. නිහාල්සිංහ මහතා සමග චිත්‍රපට වල වැඩ කළාද?
නිහාල්සිංහ මහතා “සාගරයක් මැද” චිත්‍රපටය සංස්කරණය කළා. උදේට මම නිෂ්පාදන වාහනය අරගෙන යනවා නිහාල්සිංහ මහතාගේ ගෙදරට. එවිට ඔහු කියනවා වාහනය ආපසු යවන්න කියලා. එතන ඉඳලා අපි දෙන්නා පයින් යනවා ටවුන්හෝල් එකේ ලාල් දිසානායකගේ සංස්කරණ මැදිරියට. පයින් යන ඒ කාලය තුළ ඔහු මට සිනමාව ගැන උගන්වනවා. ඔහු ඈතින් ඈත අඩිය තබා ඇවිදින නිසා මට පිටුපසින් දුවමින් යන්න වෙනවා. නිහාල්සිංහ මහතා මට සංස්කරණ මූලධර්ම සියල්ල කියලා දුන්නා. මම ඉගෙන ගත්තා “ස්කිප්ට්” එකක් “එඩිට්” කරලා ලියන්න.
විජය ස්ටුඩියෝ එකේ ගාමිණීගේ “සක්විති සුවය” එඩිට් කළේ මීගමුවේ බර්නාඞ් රෙජිනෝල්ඞ්. ඔහු පැමිණෙන්නේ ප.ව. 6.00 ට. මම කලින් යනවා චිත්‍රාගාරයේ මැනේජර්, එඩී ජයමාන්න හමුවෙන්න. ඔහුට කියලා රෙජිනෝල්ඞ්ගේ පැමිණීම ප්‍රමාද කරවනවා. ඒ කාලය තුළ මම එඩිට් කරනවා. ටයිටස් තොටවත්තත් විදුලි බල මණ්ඩලයේ වාර්තා චිත්‍රපටයක් “එඩිට්” කරනවා. මම වැඩකරනවා බලන් ඉදලා ඔහු කියනවා “හා හා උඹ තනියෙන්ම යන්න හදනවා නේද? ඔහොම පලයං” කියලා.

සහාය අධ්‍යක්ෂවරයකු ලෙස එදා ඔබේ කාර්යය වූයේ කුමක්ද?
චිත්‍රපටයේ හැම පැත්තක් ගැනම සොයා බලා රූපගත කිරීම සඳහා සුදානම් කළ යුතු වුණා.
අධ්‍යක්ෂ ලෙස ගාමිණී සෙට් එකට ඇවිත් “ෂෙල්ටන් ගුඞ් මෝනිං” කියන කොට මම “ඕකේ” කියන්න ඕනේ. න`ඵ නිළියන්ට ඩයලොග් දීලා, පුහුණුවීම් කරලා තියන්න ඕනේ. රූප ගත කළාට පසු, “ඩබින්” වලට “එඩිටින්” වලට ගාමිණී එන්නේ නැහැ. මම ඒ ගැන සොයා බලනවා. ඒ කාලේ න`ඵ නිළියන්ගේ හොඳ කැපවීමක් තිබුණා. මම ගාමිණී එක්ක අවුරුදු 12 ක් වැඩ කළා. ඒත් අපි දෙන්නා එකට සිටින එක ඡායාරූපයක්වත් නෑ.
“සෙට්” එකේදී ගාමිණීට තරහා ගියහම පෙන්නන්නේ නෑ. “ෂෙල්ටන් පස්සේ ගමු” කියනවා. මම ටිකක් වෙලා බලාගෙන ඉඳලා ළඟට ගිහින් “සර් සිගරට් එකක් දෙන්න” කියනවා. (සාමාන්‍යයෙන් මම ඔහුගෙන් සිගරට් ඉල්ලනේ නැහැ. මම ළඟයි සිගරට් තියෙන්නේ, ඔහු ඉල්ලන වේලාවට දෙන්න) එවිට ඔහු “පලයන් යන්න” කියලා විහි`ඵවට කියනවා. ඔන්න මූඞ් එක හරියනවා. මම සිගරට් එකක් දෙනවා.
ඒ කාලේ මර්වින් ජයතුංග, වීණා ජයකොඩි, ෆරීනා ලායි, සොමි රත්නායක වැනි න`ඵ නිළියන් සියල්ලටම හවසට මම පසුවදාට තිබෙන දෙබස් දෙනවා. ඔවුන් රාත්‍රියේ සියල්ල පාඩම් කරනවා. ඒ කාලේ එහෙම කැපවීමක් තිබුණා.

“සක්විති සුවය” චිත්‍රපටයේ දේශීය සිනමාවේ ප්‍රථම නිළිය වු රුක්මණි දේවියත් රඟපෑවා. ඇය පිළිබඳ මතක මොනවාද?
රුක්මණි දේවී සුපිරිම නිළියයි. ඒවගේම යහපත්. මම ඇය සමග වේදිකා නාට්‍ය වලටත් සම්බන්ධ වී තිබෙනවා. ඒ ධර්මසිරි වික්‍රමරත්නගේ “ඔන්න බබෝ ඇතින්නියා” නාට්‍යයේ.
ඇය මියයාමට පෙර දින නුවර සිට අපි එකම වාහනේ ආවේ. නිට්ටඹුවේදි ටික වේලාවක් නතර කළා. අපේ ගෙදරත් ගියා. පසුව ඇය සමග සුදර්ශි එකට ආවා පාන්දර 04 ට පමණ. මාතර යා යුතු නිසා සංගීත සංදර්ශනයකට. ඒ ගිහින් ආපසු එන ගමනේදි තමයි ඇය අනතුරකට ලක්වුණේ. ඇය මිය යන විට “සක්විති සුවය” චිත්‍රපටයේ රගපෑම් අවසන් කර තිබුණා.
රුක්මණි රඟපෑමේදී සිංහල දෙබස් ඉංග්‍රීසියෙන් ලියා ගන්නවා. සක්විති සුවය චිත්‍රපටයේ ඇය මඩුගල්ල වලව්වේ ළමාතැනී. ගාමිණී ටැක්සි ඩ්‍රයිවර්. විජය කුමාරතුංගත් රඟපෑවා. විජය හිත හොඳ මනුස්සයා. අපිත් එක්ක සහෝදරත්වයෙන් සිටියා. මම වලව්වේ සේවකයෙක් ලෙස රඟපෑවා. ඒක වුණේ අහම්බෙන්. ‘එරල් කෙලී’ සේවකයකුට කෙනෙක් ගෙනාවා. ඒ චරිතයට විජය සමඟ කතා කරන්න දෙබස් ගොඩක් තිබුණා. ඒ මනුස්සයාට ඒවා කරන්න බැරි වුණා. ඉතින් ගාමිණීට තරහා ගියා. “ෂෙල්ටන් ඇක්ටිං කිව්වා” ඉතින් මම කලිසම ගලවලා සරම ඇඳලා රඟපෑවා. මේකප් කළේ ‘ශේෂා පලිහක්කාර.’
තිර රචනය අනුව ගන්න තිබෙන දර්ශන ගාමිණී හිතෙන් ෂොට් කිහිපයකට වෙන් කර ගන්නවා. පසුව ඔහු තීරණය කරනවා කැමරාව තැබිය යුතු තැන. කැමරාවට දැමිය යුතු ලෙන්ස් එක කියනවා. ඒ අනුව රූප රාමුව ‘ගාමිණී’ තීරණය කරනවා. බොහෝ විට වැඩකරන්නේ ඩොනල්ඞ් කරුණාරත්න සහ වාමදේවන් සමග. ඔවුන් ඔහුට හොඳට ගැළපුණා.

ගාමිණී ෆොන්සේකා සමග චිත්‍රපටවල වැඩ කිරීමෙන් සිනමා ක්‍ෂේත්‍රය පිළිබඳ ඔබට අමතක නොවන අත්දැකීම් ලැබෙන්න ඇති?
තවලම චිත්‍රපටයේ සිට ඔහුගේ හැම චිත්‍රපටයකටම වගේ සම්බන්ධ වුණා. අත්දැකීම් සම්භාරයක් ලැබුවා. ගාමිණී සමග හොඳ ඇසුරක් තිබුණා. දැන් වගේ දුරකථන තිබුණේ නැහැ. ඔහු වාහනය එවනවා මගේ නිවසට. රියදුරු කියනවා මාව එක්කන් එන්න කිව්වා කියලා. සවස 3.00 ට විතර ගාමිණීගේ නිවසට යනවා. පසුවදා එළිවෙලා තමයි ගෙදර එන්නේ.
එළිවෙනකම් ලෝකයේ තිබෙන හොඳම චිත්‍රපට මට පෙන්වනවා. එතකොට තිබුණේ VHSපට. එම චිත්‍රපට වල රූප භාවිතය, ශිල්ප ක්‍රම පිළිබඳ පැහැදිලි කර දෙනවා. ඒ අතරේ අපි දෙන්නා ඩි්‍රන්ක් එකක් ගන්නවා. විස්කි තමයි ඔහු බොන්නේ. ගාමිණීගේ අම්මයි, නෝනයි මට කියනවා අපේ මහත්තයා සිනමාවේ මෙච්චර කල් ඉඳලා තිබුණත් ඔයත් එක්ක තරම් කා එක්කවක් හිතවත් වුණේ නැහැ කියලා.
මම ඔහු කියන දේට එරෙහිව තර්ක කරන්න ගියේ නැහැ. මට අවශ්‍ය වුණේ ඉගෙන ගන්න. ඒ නිසා අපි අතර දැඩි හිතවත්කමක් ගොඩ නැගුණා. ඔහු මගේ සිනමා පාසලයි. පසු කාලයේ මම සිනමා පාඨමාලාවල ආරාධිත දේශන වලට සම්බන්ධ වුණා. දන්න සියලු දේ ඒ දරුවන්ට කියා දෙනවා. ඒ නිසා ඔවුන් අතර මා ගැන විශාල ගෞරවයක් ඇති වී තිබෙනවා.

දැන් ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?
දැන් මගේ වයස අවුරුදු 70යි. දැනටත් වැඩ කරනවා. පසුගිය කාලේ රූපවාහිනියට ඌව පළාත පිළිබඳ වාර්තා වැඩසටහනක් කළා. ඒක දැකලා අපිට කතා කළා වයඹ පළාත පිළිබඳවත් එකක් කරන්න කියලා. අම්පාර රෝහල පිළිබඳවත් වාර්තා වැඩසටහනක් කළා. ඒවායේ මම කළේ සහාය අධ්‍යක්ෂණය.
මට දරුවන් තිදෙනෙක් සිටිනවා. ලොකු පුතා ටෙලිනාට්‍යවල කලා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනවා. පොඩි පුතා සහ දුව කලාවට සම්බන්ධ නැහැ.