කණ්ඩායම තේරීමට බූරු ගැසීම

රජිඳු කාශ්‍යප

 

ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් සංවිධානය වූ අන්තර් පළාත් සුපිරි තරගාවලියේ පළමු වටය මේ වන විට නිමා වී තිබේ. අවසන් තරගය මේ මස 11 වැනිදා පැවැත්වීමට නියමිත ය. ඒ ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර ය.
මේ සටහන තැබෙන විට තරගාවලියේ ඉතිරි ව ඇත්තේ තවත් තරග දෙකක් පමණි. ඒ අවසන් මහා තරගයත් තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා වූ තරගයත් ය. බලාපොරොත්තුව, නිමාවන මේ තරගාවලියේ දක්ෂතා මත ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම නම් ලෝක කුසලාන තරගාවලිය අවසානයේ කණ්ඩායම් ලැයිස්තුවේ අපට හිමි තැන ගැන ඇත්තේ විචිකිඡ්ජාවක් ම මිස අන් දෙයක් නම් නොවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම තරගාවලිය වෙනුවෙන් රුපියල් කෝටි ගණනින් වියදම් කිරීමට පිඹුරුපත් සකසා අවසන් ය. ඒ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට යැයි කියා ලක්ෂ ගණනින් වැටුප් ලබන පුහුණුකරුවෝ රොත්තක් රට පුරා ස්ථාපිත කර ඇති තත්ත්වයක ය.
තරගාවලියේ මෙතෙක් පැවති තරගවල ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමු. තරගාවලියේ පළමුවටය අවසන් වන විට වැඩිම ලකුණුලාභියා වී සිටින්නේ මහනුවර කණ්ඩායම නියෝජනය කළ දිමුත් කරුණාරත්න ය. ඔහු තරග 3කට ක්‍රීඩා කරමින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 165කි. දෙවැනි තැන ගාල්ල කණ්ඩායමේ ධනංජය ද සිල්වා (128) වෙතත් තෙවැනි තැන දඹුල්ල කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් (126) වෙතත් හිමිව ඇත. මේ තිදෙනා ම වරින් වර ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ තැනැත්තෝ ය.

කෙසේ වෙතත්, මේ දත්ත අනුව ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකාවේ කණ්ඩායම ගැන චිත්‍රයක් මවා ගැනීමට කිසිවෙක්ටත් අපහසු නැත. මේ සුපිරි පළාත් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාවේ සිටින සුපිරි ක්‍රීඩකයන්ගේ දක්ෂතා ය. ඉහත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනාට අමතරව තරගාවලියට සහභාගි වූ නවකයෝ කිහිප දෙනෙක්ගේ දක්ෂතා ද ඉහළින් ලැයිස්තු ගතව ඇත.
ඒ අනුව, ගාල්ල කණ්ඩායමේ මිනෝද් භානුක (120) කොළඹ කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය (116) මහනුවර කණ්ඩායමේ සංගීත් කුරේ (115) ගාල්ල කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි (114) සහ ගාල්ල කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන (105) ඊට පසුව ලැයිස්තු ගතව ඇත. මේ අතුරින් තරගාවලියේ එකම ශතකලාභියා ලෙසින් ලැයිස්තු ගත ව ඇත්තේ ෂෙහාන් ජයසූරිය ය. අපේ පිතිකරුවන්ගේ දක්ෂතා ඒ තරමට ම දුප්පත් ය.
තරගාවලියේ පන්දු යැවීමේදී පළමු තැන හිමි ව ඇත්තේ ගාල්ල කණ්ඩායමේ ලසිත් මාලිංගට ය. ඔහු තරග දෙකකට සහභාගි වී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 8කි. දෙවැනි තැන කොළඹ කණ්ඩායමේ අකිල ධනංජය (6) වෙතත් තෙවැනි තැන මහනුවර කණ්ඩායමේ කසුන් රාජිත (6) වෙතත් හිමි ව ඇත.
ඉන්පසුව ලැයිස්තුගතව ඇත්තේ මහනුවර කණ්ඩායමේ තිසර පෙරේරා (5) මහනුවර කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩර්සේ (5) ය. ඊට අමතරව සුරංග ලක්මාල් (කොළඹ) ජීවන් මෙන්ඩිස් (දඹුල්ල) දුෂ්මන්ත චමීර (ගාල්ල) චාමික කරුණාරත්න (කොළඹ) සහ ඉෂාන් ජයරත්න (දඹුල්ල) කඩුලු 4 බැගින් ලබාගෙන ලැයිස්තු ගතව ඇත.
මේ කරුණු අප ගෙනහැර පෑවේ අපේ රටේ ක්‍රිකට් තිබෙන තැන ගැන ඔබට චිත්‍රයත් මවාගැනීමට ය. රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කරමින් කඩිමුඩියේ සංවිධානය වන මෙවන් තරගාවලියක් මගින් ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වන කණ්ඩායමක් සොයා ගැනීමට ක්‍රිකට් පාලකයෝ උත්සාහ කරන්නේ මේ දක්ෂතා අනුව ය.
මේ දක්ෂතා අනුව කණ්ඩායමක් තෝරා ගන්නේ නම්, මේ උත්සාහය ම විහිළුවක් වී අවසන් ය. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ පමණක් නොවේ, කනිෂ්ඨ ක්‍රීඩකයෝ ද ඊට නුසුදුසු බවකි ඒ දක්ෂතා පෙන්නුම් කරන්නේ.

මෙවන් තරගාවලියක් මගින් කණ්ඩායමක් නම් කළ හැකි නම් අප කළයුත්තේ සෑම සංචාරයක් ආසන්නයේ ම මෙවැනි තරග සංවිධානය කිරීම ය. විශේෂයෙන් ම ලෝක කුසලානයකකට සහභාගි වන කණ්ඩායමක් මේ දක්ෂතා අනුව සොයා ගැනීම ඔවුන්ගේ අනුමානය නම් අනෙක් තරගාවලිවලට ක්‍රීඩකයන් තෝරා ගැනීමට ද මෙවැනි තරග හෙට අනිද්දාද සංවිධානය වනු ඇත. අනෙක් අතට ක්‍රීඩකයන් පමණක් නොවේ අරුමය වෙන්නේ නායකයන් සොයා ගැනීමට ද මේ තරගාවලිය උපයෝගී කරගන්නා බැව් පැවසීම ය.
තරගාවලිය අනුව ක්‍රිකට් පාලකයන්ගේ සිහින නායකයන් වී ඇත්තේ දිනේෂ් චන්දිමාල් (කොළඹ) දිමුත් කරුණාරත්න (මහනුවර) ඇන්ජලෝ මැතිව්ස් (දඹුල්ල) සහ ලසිත් මාලිංග (ගාල්ල) ය. මේ අතුරින් ඇන්ජලෝ මැතිව්ස් හිටපු නායකයා ය. ඔහු නැවත නායකත්වය බාර නොගන්නා බවට ද කතාවක් ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන් පැවසූ කතා සත්‍ය නම් කණ්ඩායම් නායකයා ද පත් කරන්නේ මෙම තරගාවලියේ දක්ෂතා අනුව ය. මේ වන විට නායකත්වයට පත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ වැඩි අවධානය දිනා සිටින ක්‍රීඩකයා වන්නේ දිමුත් කරුණාරත්න ය. ඔහු එකී බලාපොරොත්තුවට ලකුණු රැස්කර අවසන් ය. එහෙත් විනය විරෝධී හැසිරීම මේ අවස්ථාවේ ඉදිරියට පැමිණියහොත් දිමුත් කරුණාරත්නට ඒ තැන අහිමි වෙන්නේ ය.

තරගාවලිය අනුව නායකයන් තෝරා ගැනීම ස්ථීර නම්, අපට සරලව සිතන්තනට වෙන්නේ පළාත් තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමේ නායකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයටද සුදුසු බවකි. එසේ නම් මේ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසකම් ලබා ඇත්තේ ලසිත් මාලිංගගේ ගාල්ල කණ්ඩායමත් දිනේෂ් චන්දිමාල්ගේ කොළඹ කණ්ඩායමත් ය. එසේ නම් දැනට නායකත්වයට තරගය ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ද?
මේ තරගාවලිය සංවිධානය වන්නේ ක්‍රීඩකයන් හෝ නායකයන් සෙවීමට වඩා මේ හරහා ලැබෙන කොමිස් මුදලින් තම පසුම්බි තර කර ගැනීම අරමුණු කර ගනිමින් විය යුතු ය. ඔවුන්ට එවැනි ලඝු තැනකට ගාල්විය යුතු නැත. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන පුහුණුකරුවෝ පඳුරකට පයින් ගැසුවත් වීසිවන තරමේ රට පුරා සිටින නිසාය. ඔවුන්ට නිශ්චිත වැඩ කොටසක් ඇත. එතැන දී මූලිකත්වය දී ඇත්තේ නවකයන් සොයා ඔවුන් ජාතික මට්ටමට හඳුන්වාදීම විය යුතු ය. එහෙත් මෙවැනි තරගාවලි මගින් ගම්‍ය වන්නේ ඔවුන්ගේ සේවය ද ඉටු නොවන බවක් නොවේ ද? නොමැති නම් ඔවුන් සොයා දෙන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු නොවන බවක් ද?

මේ දෙගොල්ලන් එක්ව ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායමක් සොයා ගැනීමට අමුතුවෙන් තරගාවලියක් පැවැත්වීමේ අවශ්‍යතාව මතුවන්නේ එකී කරුණු මත යැයි අප විශ්වාස කරමු. ඒ නිසාය අපට ලෝක කුසලානය තරගාවලියට සහභාගි කරවීමට ක්‍රීඩකයන් 15 දෙනෙක් නැත්තේ. එහෙත් රට වටා දිස්ත්‍රික් පුහුණුකරුවෝ, පළාත් පුහුණුකරුවෝ ලෙසින් පත්වීම් ලැබූවෝ කී දෙනෙක්ද? මෙවන් තත්ත්වයක් නම් පවතින්නේ මේ පුහුණුකරුවෝ කුමකට ද? තේරීම් කමිටුවක් කුමකට ද?
මේ කරුණු අනුව අපට සිතන්නට වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයෝ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමට යන්නේ බූරු කූට්ටම අනනා විලාසයෙන් බැව් ය. මේ අවුරුදු සමයේ තැන තැන හොර රහසේ බූරු ගැහීම සුලභ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයෝ ද මේ එළිපිට කරන්නේ එවන් බූරු ගැසීමක් යැයි අපට සිතේ. බුකිකරුවන්ගෙන් උපදෙස් ගන්නා ක්‍රිකට් පාලකයන් සිටිද්දී අපට එවන් දේකට එහා ගිය දෙයක් බලාපොරොත්තු විය හැකි ද?