ක්ෂුද්‍ර මූල්‍ය විෂයේදී මහ බැංකුව වගකීම් විරහිත ඇයි

රසික ගුණවර්ධන

ජනමාධ්‍ය දිගින් දිගටම ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය විසින් මිනිස් ජීවිත බිළිගන්නා ආකාරය පිළිබඳව කෙතරම් පැවසුවද බලධාරීන් ඒ වෙනුවෙන් කිසිඳු පියවරක් ගන්නා සේයාවක් පෙනෙන්නට නැත. ඔවුන් සිටින්නේ තවමත් නිදි කිරමින්ය. බලධාරීන්ගේ ඒ නිදිකිරිල්ල හමුවේ මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය බිළිගෙන ඇති ජීවිත ගණන එකසිය හැත්තෑ එකකි. ක්ෂුද්‍ර මූල්‍ය ණය මේ තරමට මිනිස් ජීවිත වලට තර්ජනයක් වීමට බලපා ඇති ප්‍රධානතම හේතුව නම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා වන නියාමනයක් නොමැති වීමයි.
2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනතේ 37 වන වගන්තියට අනුව ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර කරගෙන යෑම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් හෝ ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස හෝ බලපත්‍රයක් ලබාගත යුතුය. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සඳහා බලපත්‍ර නිකුත් කළ යුතු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වන අතර ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සඳහා බළපත්‍ර නිකුත් කළ යුතු වන්නේ ස්වේච්ඡා සමාජසේවා සංවිධාන රෙජිස්ටාර්වරයා විසිනි.

ස්වේච්ඡා සමාජසේවා සංවිධාන රෙජිස්ටාර්වරයා ප්‍රකාශ කරන පරිදි ඔහු යටතේ බලපත්‍ර ලබා ගත් ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන ඇත. කෙසේ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන පරිදි මේ වන විට ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී එනම් නීත්‍යානුකූල එකඳු ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් ඇත්තේ නැත. එනම් දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලු ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ක්‍රියාත්මක වන්නේ නීතිවිරෝධී ආකාරයටය. මෙය මෙසේ වීම නිසැකයෙන්ම රට තවත් මූල්‍ය උගුලකට අත වැනීමක් වනු ඇත.
ශ්‍රි ලංකාව රටක් ලෙස කිසිඳු විටක අතීත සිදුවීම් හරහා පාඩම් ඉගෙන ගන්නා බවක් පෙනෙන්නට නැත. ගිණි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කනාමැදිරි එළියටත් බිය මුත් අපේ රටේ කිසිඳු කාරණයකදී ඒ බව දක්නට නැත. ලංකාවේ මූල්‍ය වංචා, අපරාධ මීට පෙර සිදු වී නැත්තා නොවේ. එසේම නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වී මහජනයා සේම රටද උගුලක සිර කළ මූල්‍ය ආයතන පිළිබඳව ද ඕනෑ තරම් අත්දැකීම් තිබේ. සක්විතිගේ කොල්ලය, පිරමීඩ ජාවාරම්, මෑතකදී සිදු වූ තවමත් විසඳුමක සේයාවක් නොපෙනෙන ඊ. ටී. අයි. මූල්‍ය ආයතනයේ වංචාව ආදී පාඩම් ඉගනීමට ඕනෑ තරම් නිදර්ශක ඇත. එහෙත් මහ බැංකුව ඒ කිසිඳු අවස්ථාවකින් පාඩමක් ඉගෙන නැති බව නැවත වතාවක් සනාථ වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කෙරෙහි ඔවුන් පෙන්වන හැසිරීම නිසාය.

මහ බැංකුව තමන් වෙත පැවරී ඇති බලය කිසිඳු ආකාරයකින් නීති විරෝධී ලෙස ක්‍රියා කරනා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලට එරෙහිව භාවිත කරන ආකාරයක් පෙනෙන්නට නැත. මක්නිසාද යත් දැනට ගණන් බලා ඇති ආකාරයට ලංකාව පුරා ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන දෙදහසකට අධික ප්‍රමාණයක් ඇති මුත්, ඒවා නියාමනයේ හෝ අධීක්ෂණයේ කිසිඳු කාර්යයක් මේ වන තෙක් මහ බැංකුව විසින් සිදු කර නොමැත. මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට අනුව දැනට ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ බලපත්‍ර ලබා ගැනීමට ඔවුන් වෙත ලැබී ඇති අයදුම් පත් ප්‍රමාණය 07 වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් සිටින්නේ ඒවා ඇගයීමට ලක් කරමින්ය. අප විසින් සොයා ගත් තොරතුරු වලට අනුව මහ බැංකුව වෙත බලපත්‍ර සඳහා අයදුම් පත් යොමුකර ඇති ආයතන මේ වන විටත් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර වල නිරත වන අතර ඔවුන් තවමත් එසේ ඒ ව්‍යාපාර වල නිරත වන්නේ ඔවුන්ට ඒ සඳහා හිමිවිය යුතු බලපත්‍රයක් නොමැතිවය. මේවා පිළිබඳව මහ බැංකුව සොයා නොබලන්නේ මන්දැයි අපට ඇත්තේ ගැටලුවකි. ශ්‍රී ලංකාවේ මුදල් සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුව මෙතරම් නොසැලකිළිමත් ලෙස ක්‍රියාත්මක වන්නේ රට සහ රටේ ජනතාව තව දුරටත් උගුලේ සිර කිරීමේ උවමනාවෙන්ද? මාධ්‍ය වේවා වෙනත් පුද්ගලයකු හෝ ආයතනයක් වේවා ඇඟිල්ලෙන් ඇන කියන තෙක් මහ බැංකුව නිදිකිරමින් සිටින විට වංචාකාරී මූල්‍ය ආයතන වල ගොදුරු බවට පත් වන්නේ අසරණ ජනතාවයි. මහ බැංකුව සොයා බලා නිවැරදිව සිය රාජකාරිය සිදු කරනවා නම්, ඔවුන්ට තමන් වෙත අනුමැතිය සඳහා එවා ඇති අයදුම්පත් 07 ගැනම පරීක්ෂණ ආරම්භ කළ හැකිය. ඔවුන් බලපත්‍ර රහිතව ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරවල නියැලුණු ආකාරය සොයා බලා ඊට විරුද්ධව ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකිය. එහෙත් සිදු නොවන්නේ එයයි. මහ බැංකුව මෙසේ ක්‍රියා කිරීම මගින් සිදු වන්නේ නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වූ අයතන නීත්‍යානුකූල කිරීමය. එය හරියට හොර අරක්කු මුදලාලිට පොලීසිය විසින් අරක්කු බලපත්‍රයක් ලබා දීම වැනිය. ඔහු බලපත්‍රය ලබා ගැනීමට පෙර සිදු කළ නීතිවිරෝධී ක්‍රියා කෙසේ නොසලකා හැරිය හැකිදැයි අප දන්නේ නැත.

ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන්නේ නීති විරෝධී මූල්‍ය සමාගම් වලට හසු නොවන ලෙස අවවාද කරමින් දැන්වීම් පළ කිරීම පමණි. මෙතරම් නීතිවිරෝධී ලෙස මහජනතාව පීඩාවට පත් කරමින් ක්‍රියාත්මක වන දහස් ගණනක් වූ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට විරුද්ධව ක්‍රියාත්මක වීමට ඔවුහු නොපෙළඹෙති.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ තමන්ට බලය පැවරී ඇත්තේ බලපත්‍ර ලබාගත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට හා අධීක්ෂණයට බවයි. මහ බැංකුවෙන් බලපත්‍ර ලබාගත් එකදු ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් හෝ නොමැති නිසා ඒ පිළිතුර මහ බැංකුවට ඇඟ බේරා ගැනීමට කදිම පිළිතුරකි. එසේ නම් ව්‍යංගයෙන් මහ බැංකුව පවසන්නේ බලපත්‍ර ලබා නොගන්නාතාක් ඕනෑම ආයතනයට හිතුමතේ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ නිරත විය හැකි බවද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිළ වෙබ් අඩවියේ සඳහන් වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සඳහා මහ බැංකුවේ පිහිටුවා ඇති දෙපාර්තුමේන්තුව ක්ෂුද්‍ර මූල්‍ය අධීක්ෂණ දෙපාර්තුමේන්තුව බවයි. එහෙත් මහ බැංකුවෙන් ඒ පිළිබඳව විමසන විට ඔවුන් ප්‍රකාශ කරන්නේ එවැනි දෙපාර්තුමේන්තුවක් මහ බැංකුවේ නොමැති බවත්, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අධීක්ෂණය මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන අධීක්ෂණ දෙපාර්තුමේන්තුවට බවත්ය. එහෙත් එම දෙපාර්තුමේන්තුව දැනට සිදුකර ඇති කාර්යයන් විමසීමේදී ඔවුන් සඳහන් කරන්නේ එම දෙපාර්තුමේන්තුව ලියාපදිංචිය සඳහා ලැබී ඇති ඉල්ලුම්පත් සලකා බැලීමත්, නියාමනය සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදුකිරීමත් යන කාර්යයන්හි නිරතවෙමින් සිටින බවයි.
තවමත් ශ්‍රී ලංකා මහ බැංකුව ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා මූලික කටයුතු සිදුකරමින් පවතිනවා නම් ඔවුන් නිසි නියාමනයක් සිදු කරන්නේ නිති විරෝධී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මිනිසුන්ගේ රීරි මාංශ උරා බීවායින් පසුව දැයි අපට අසන්නට සිදුවේ. මහ බැංකුවේ නිලධාරීන් මෙසේ නිදිකිරමින් කටයුතු කළද ඔවුන්ට ලැබෙන දීමනා සහ වරප්‍රසාද අතිමහත්ය. ලංකාවේ ජනතාවගේ බදු මුදලින් ඔවුන්ට ඉහළ වැටුප් හා වරප්‍රසාද වලට අමතරව විශ්‍රාම වැටුපක් සහ අර්ථසාධයක යන වරප්‍රසාද දෙකම හිමිවේ. එහෙත් ඔවුහු තමන්ට ලැබෙන වැටුපට සරිලන වගකීමක් මෙම විෂයේදී ඉටු කරනවා දැයි ඔබටම නැවත සිතා බැලිය හැක.

එසේම මහ බැංකුවම ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකාවේ මහජන තැන්පතු ලබා ගැනීමෙන් තොරව, ණය ලබාදීමේ ව්‍යාපාරයෙහි නිරත වන ආයතන නියාමනය සඳහා නියාමන අධිකාරියක් පිහිටුවා නැත. මෙය ඉතා සූක්ෂ්මව භාවිත කරමින් ඇතැම් ආයතන සහ පුද්ගලයන් මිනිසුන්ව පීඩාවට පත්කරමින් ක්‍රියා කරනු ලබයි. මහ බැංකුව හෝ රජය මෙසේ නිදැල්ලේ වංචාකාරී ආයතන වලට හැසිරෙන්නට ඉඩ ලබා දීම හරහා සිදු වන්නේ රටේ මූල්‍ය විනය තව දුරටත් පිරිහීමයි.