නූතන වහල් වෙළඳාම

ප්‍රභාස්වර

ගේට්ස් පදනමේ 2018 වාර්තාවට අනුව, වර්ෂ 2050 වන විට ලොව අන්ත දුප්පතුන්ගෙන් 40%ක්ම වෙසෙනු ඇත්තේ, අප්‍රිකානු කලාපයේ රටවල් දෙකක් වන කොංගෝවේ හා නයිජීරියාවේය. අප්‍රිකාවේ සියලුම ග්‍රාමීය ගොවි ජනයා, සිය කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්නේ වැසි ජලය උපයෝගී කර ගනිමිනි. 1970 දශකයේ පටන් දිගින් දිගටම අපේක්ෂිත වැසි නොලැබී යාම හේතුවෙන් අප්‍රිකාව මහ නියඟයන්ට ගොදුරු වීම නොවැළැක්විය හැකි විය. එකළ නයිජිරීයාවේ දළ දේශීය නිෂ්පාදනයට 18.4%ක අගයක් එක් කළ එරට කෘෂිකර්මය, මේ වන විට 7.3% දක්වා පහත වැටී තිබෙන්නේ කලට වේලාවට වැසි නොලැබීම නිසාය. කෘෂිකර්මය මතම යැපුණු නයිජීරියාවේ හා කොංගෝවේ ජනතාව, නියඟය නිසා දුප්පත්කමේ පත්ලටම ඇද වැටුණි. එකම ජීවනෝපාය අහිමිව, කරකියාගන්නට දෙයක් නැති නැති තැන දැන් මොවුන් උත්සාහ කරන්නේ යුරෝපාකරයේ ධනවත් රටවලට කෙසේ හෝ පැන ගැනීමටය. පසුගිය වසර පහ තුළ පමණක් යුරෝපය බලා යෑමේ අපේක්ෂාවෙන් සහරා කාන්තාරය තරණය කළ අප්‍රිකානු තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව 650,000කි. ඥාති හිතමිත්‍රාදීන්ගෙන් ණයක් ලෙස මුදල් ඉල්ලාගෙන රට පනින්නට උත්සාහ කරන මෙම අසරණයින්ව යුරෝපයට පැටවීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන තිබෙන්නේ, යුරෝපයෙන් අප්‍රිකාව හා මැදපෙරදිගට හොරෙන් ආයුධ ගෙන්වන සහ අප්‍රිකාවෙන් යුරෝපයට නිතීවිරෝධි මත්ද්‍රව්‍ය යවන, ජාලගත මාෆියා සංවිධානයන්ය. ධනවත් දේශයන්හි හොඳ රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් දුප්පත් අප්‍රිකානුවන්ව මුලා කරන මොවුහු, තරුණයින්ව වැටුප් රහිතව හෝ සොච්චම් දීමනාවක් සහිතව වැඩ කරන වහලුන් ලෙසද, තරුණියන්ව ලිංගික වහලුන් ලෙසද විවිධ පාර්ශ්ව වලට විකුණා දමති.

සන්ඬේ ඉබාරට්
වත්මනෙහි 32 වැනි වියේ පසුවන නයිජීරියානුවෙකු වන සන්ඬේ ඉබාරට්, 2016 පෙබරවාරි මාසයේදී තම මව්බිම ඇතැර යුරෝපය බලා යාමේ සැලැස්ම හදන්නේ, මිනිස් ශ්‍රමය ජාවාරම් කරන හොර බෝට්ටුකරුවකු සමග එක්වය. මං මාවත් පැහැදිලිව දක්නට නොමැති නයිජර් කාන්තාර ඔස්සේ කැබ් රථයකින් ගමන් කොට, දකුණු ලිබියාවේ ගෝත්‍රික ගම්බිම් පසුකරමින්, මධ්‍යධරණි මුහුදේ දකුණු වෙරළට සැපත් වුණු පසු යුරෝපයට යන බෝට්ටුව ඉබාරට්ව භාර ගනු ඇතැයි ජවාරම්කරු කියා සිටියේය. එහෙත් ලිබියාව වෙත ඔහුව රැගෙන ගිය සන්නද්ධ මාෆියාව, වෙන මැර කල්ලියකට තමන්ව විකුණා ඇතිවග ඉබාරට් දැනගත්තේ එම ත්‍රස්තයින් මරව මරවා සිය ශ්‍රමය සූරා කෑමට පටන් ගත් විටය. බානි වාලිඞ් නමැති කුඩා ලිබියානු නගරයේ ඉතා අපිරිසිදු ගබඩා සංකීර්ණයක් තුළ අප්‍රිකාවෙන් පැන එන සංක්‍රමණිකයින්, වහලුන් සේ තබාගෙන වැඩ ගැනීම ලිබියානු සන්නද්ධ කණ්ඩායම්වල පරිචයයි. ලිබියාවේ විවිධ වැඩබිම්වල උදේ පාන්දර සිට රෑ වනතුරු ශ්‍රමය වගුරන මොවුහු, දිවි රැක ගැනීමට ලැබෙන ආහාර වේල් තුන හා ජලය හැරුණු විට කිසිදු වැටුපක් නොලබති. එහෙත් ත්‍රස්ත කොන්ත්‍රාත්කරුවා, අප්‍රිකානුවන් කුලියට ගන්නා ලිබියානුවන්ගෙන් විශාල මුදලක් ඩැහැගනී. එක් රැයක ගබඩාවෙන් පැන යන්නට උත්සාහ කළ ඉබාරට් මැරයකුගේ අතට හසුවිය. එම අකීකරු ක්‍රියාවෙන් උදහස් වූ වහල් හිමියා, ගිනියම් කළ පිහියක් ගෙන ඉබාරට්ගේ වම් කම්මුල මත විශාල හංවඩුවක් ගැසුවේ ඔහු නැඟු විලාපය තඹයකට මායිම් නොකරමිනි. අමානුෂික ලෙස පහර දී වහලෙකු මරා දැමීම ඔවුන්ට සුළු දෙයකි. සංක්‍රමණික ස්ත්‍රීන් මොවුන්ගේ කෙළිබඩු බවට පත් වීම නොවැළැක්විය හැකිය.
ඉබාරට්ගේ මුහුණේ හංවඩු ගැසූ වහල් හිමියා, ඔහුව වහල් වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට යන වග තවත් කම්කරුවකුගෙන් දැනගත් මොහොතේ, හෙතෙම ලිබියාවේ පිහිටි ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ කාර්යාලය වෙත සිය වැඩබිමේ සිට කෙසේ හෝ පැන ගත්තේය. 2018 මාර්තු 22 දින, සන්ඬේ ඉබාරට් ඇතුලු වහල් සේවයේ යොදනු ලැබූ තවත් නයිජීරියානුවන් 148ක් ගුවන් මගින් යළිත් නයිජීරියාව වෙත යැවීමට ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය කටයුතු යෙදීය. නයිජීරියාවේ ලාගෝස් නුවර පිහිටි පුනුරුත්ථාපන මධ්‍යස්ථානයක රැඳෙමින් වෘත්තීය පුහුණු වැඩසටහනක වත්මනෙහි නියැලෙන සන්ඬේ ඉබාරට්, යුරෝපයට පැන ගැනීම හා අදාළ සිහිනය තවමත් අතහැර නොමැත. ලිබියාව හරහා නොගොස් වෙනත් පාරකින් රට පැනීම ඔහුගේ අභිලාෂයයි. ලිබියානු වහල් විලංගුවෙන් මිදුනද, නයිජීරියාව තුළ කිසිදු ජීවනෝපායක් සොයාගත නොහැකි හෙයින්, ඉබාරට් වැනි තරුණයන් යළි යළිත් වෑයම් කරන්නේ විදෙස්ගත වීමටයි.

සිහිනය බොඳ වීම
22 හැවිරිදි නයිජීරියානු යෞවනියක වු ග්ලැඩිස්ට ඇගේ නැන්දා දිනෙක මෙසේ කීවාය. ‘මගේ හොඳ යාළුවෙක් ඉතාලියේ ටියුරින් නගරයේ බියුටි සැලොන් එකක් පවත්වාගෙන යනවා. හොර බෝට්ටුවකින් ලිබියාව හරහා ඉතාලියට යන්න ඔයා කැමතිනම්, ඒ ගමනට වැය වෙන සියලු වියදම් දරන්න මගේ යාළුවා කැමතියි.’ සුරූපි ග්ලැඩිස්, නැන්දාගේ එම යෝජනාවට එක පයින් කැමති වූවාය. ලිබියාවේදී ඇයව භාරගත් ජාවාරම්කරුවා ග්ලැඩිස්ව රැගෙන ගියේ ගණිකා මඩමකටය. කිසිවකු සමඟ යහන්ගත වීමට ග්ලැඩිස් අකමැති වූ හෙයින්, ආහාර හෝ ජලය නොදී ඇයව කළුවර කාමරයක සිරකර තැබීමට මඩමේ මැඩම් ක්‍රියා කළාය. කුසගින්න හා පිපාසය දරාගත නොහැකි තැන, ආහාර වේලක් හා වතුර බෝතලයක් වෙනුවෙන් ග්ලැඩිස් ඇගේ කන්‍යාභාවය ලිබියානු ගනුදෙනුකරුවකුට පූජා කළාය. විලිබිය හා ඔතෑනිකම නැතිවන තෙක් ඇයව ලිබියාවේ ගණිකා මඩම තුළ තබාගත් ජාවාරම්කරුවෝ, මාසයකට පසු ග්ලැඩිස්ව ඉතාලියේ ටියුරින් නුවර වෙත ගෙන ආහ. එහිදී නැන්දාගේ මිතුරිය ග්ලැඩිස් අමතමින් කියා සිටියේ, සැලොන් වැඩ මෙහි නොමැති බවත්, වීදි ගණිකාවක ලෙස සේවය කිරීමට සූදානම් නම් තමාට උදව් කළ හැකි බවත්ය. කළ හැකි දෙයක් නොවූයෙන් ග්ලැඩිස් එම යෝජනාවට එකඟ වූවාය. දුක එතැනින් අවසන් නොවීය. නයිජිරියාවේ සිට ඇය ඉතාලිය බලා ආ මුළු ගමනට තමන් අතින් යුරෝ 20,000ක් වියදම් වූ හෙයින්, විදී ගණිකාවක ලෙස වැඩ කොට වහාම එම ණය මුදල පියවන්නැයි නැන්දාගේ මිතුරිය ග්ලැඩිස්ට අණ කර සිටියාය. 2016 සිට 2017 දක්වා නයිජීරියානු තරුණියන් 16000ක් පමණ ලිබියාව හරහා ඉතාලිය වෙත පැමිණි අතර ඉන් 80%ක්ම විදී ගණිකාවෝ බවට පත් වූහ. ජාවාරම්කරුවන්ගේ ණය මුදල් ගෙවූ පසු, ඔවුහු තනි තනිවම ගණිකා වෘත්තියේ යෙදෙමින් ඉහළ ආදායම් උපයති. සමහරු තමන්ගේම ගණිකා මඩම් යුරෝපය තුළ අරඹති. සැලොන් එකක් පවත්වාගෙන යන බව කියමින් සුරූපී නයිජීරියානු යෞවනියන් යුරෝපය වෙත පසු කලෙක ගෙන්වාගන්නේ මෙවැනි මැඩම්ලා විසිනි. 1999 දී ග්ලැඩිස් මෙන් ගණිකා ජාවාරම් උගුලට හසුවුණු නයිජීරියානු කාන්තාවක වන ඉන්යාන් ඔකොකොන්, වත්මනෙහි ඉතාලියේ ටියුරින් නුවර මෙවැනි අසරණ තරුණියන් පුනරුත්ථාපනය කොට ඵලදායි රැකියාවලට ඔවුන් යොමු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි.
විදී ගණිකාවක ලෙස සේවය කොට ඉපැයූ මුදලින් ඉතාලි භාෂාව හා නීතිය උගෙන, පසු කාලෙක නීතිඥවරියක ලෙස දිව්රුම් දුන් වග ඉන්යාන් පවසයි. දැන උගත් සමාජ ක්‍රියාකාරිනියක වූ පසුව තම කාන්තා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ස්ථාපිත කොට පවත්වාගෙන යාමට ඉතාලි රජය මෙන්ම එරට රාජ්‍ය නොවන සංවිධාන පවා තමන්ට උදව් කළ වග ඇය කියයි. අද ග්ලැඩිස් ඇතුළු කාන්තාවන් 250කට ඉන්යාන් සිය සංවිධානය හරහා රැකවරණය සපයයි.

කෘෂිකාර්මික වහල්ලු
ඉතාලි වෘත්තීය සමිති ෆෙඩරේෂණයේ 2018 වාර්තාවට අනුව, නයිජීරියාවේ හා නැගෙනහිර යුරෝපයේ සිට ඉතාලිය වෙත පැමිණ සිටින නීති විරෝධි සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 132,000කි. මොවුහු ඉතාලියේ එළවළු, පළතුරු හා සත්ව ගොවිපලවල්හි කම්කරුවන් ලෙස (වීසා රහිතව) සේවය කරති. එක් අයකුට ලැබෙන දෛනික වේතනය යුරෝ 30ක් වුවද, කෑමබීම, ඉඳුම් හිටුම් වෙනුවෙන් වන වියදම් කපා හළ පසු අතට දෙන්නේ යුරෝ 4ක් (රුපියල් 788කි.) පමණි. මෙම වහල් ශ්‍රමය මෙහෙයවනුයේ ඉතාලි මාෆියා කල්ලියක් වන ‘කැපොරලාටෝ’ විසිනි. කැරලි ගැසීමට උත්සාහ කරන ශ්‍රමිකයන් සැනෙකින් අතුරුදන් කිරීම මොවුන්ට කජු කනවා වැනි වැඩකි. එහෙයින් එම වහල් සේවයෙන් ලෙහෙසියෙන් ගැලවී යා නොහැකිය. ඉතාලියේ තොග වෙළෙඳුන් තක්කාලි ගොවීන්ගෙන් තක්කාලි කිලෝවක් මිලදී ගන්නේ යුරෝ ශත 08කටය. එහි සැබෑ මිල විය යුත්තේ යුරෝ 02කි. ශත 08කට තක්කාලි කිලෝවක් මිල කිරීමට හැකි වී තිබෙන්නේ, ‘කැපොරලාටෝ’ විසින් නිර්දය ලෙස සූරාකන වහල් ශ්‍රමය, වගාව සඳහා දෛනිකව පැය 16ක් තිස්සේ යොදවන බැවිනි. වයින්, චීස්, පළතුරු, ඔලිව් තෙල් හා මස් ඉතා අඩු මිලකට ඉතාලි පාරිභෝගිකයාවෙත ලැබෙන්නේ ඉහත කී කෘෂිකාර්මික වහලුන්ගේ ලාභ ශ්‍රමය හරහාය. 2018 අගෝස්තුවේදී ඉතාලියේ පග්ලියා නුවර දී, ගොවිපලක සිට අප්‍රිකානු ශ්‍රමිකයින් පටවාගෙන ආ ට්‍රක් රථයක් තවත් ලොරියක ගැටීම හේතුවෙන් ට්‍රක් රියේ සිටි අප්‍රිකානුවෝ 16ක් එතැනම මිය ගියහ. කිසිදු ලියකියවිල්ලක් අත නොමැති මොවුන් බල්ලන් බළලුන් මෙන් වල දැමුනේ, අනන්‍යතාව තහවුරු කර ගත නොහැකි නිතී විරෝධී සංක්‍රමණිකයන් ලෙස හංවඩු ගසමිනි. 2017 නොවැම්බර් මාසයෙහි ලිබියාවේ සංක්‍රමණික කඳවුරක පැවැත්වුණු වහල් වෙන්දේසියක් සී. එන්. එන් මගින් ප්‍රදර්ශනය කළ පසු ලොව පුරා මහත් හා හෝවක් පැන නැගිනි. ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රන් කීවේ ක්ෂණික මිලිටරි මෙහෙයුමක් දියත් කොට ඔවුන් මුදාගත යුතු බවයි. එහෙත් දින කීපයක් ගත වූ පසු කාට කාටත් එම සිද්ධිය අමතකව ගියේය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව, ලොව පුරා වහලුන් ලෙස සේවය කරන ශ්‍රමිකයෝ මිලියන 40ක් සිටිති. මෙම වහල් වෙළඳාම මගින් ජවාරම්කාර මාෆියාවන් වාර්ෂිකව උපයන මුදල ඩොලර් බිලියන 150කි. මෙය දෙවැනි වන්නේ කුඩු හා ආයුධ වෙළදාමට පමණි. අයහපත් කාලගුණය, විරැකියාව හා දුප්පත්කම ලොව පවතින තුරු නීතිවිරෝධී සංක්‍රමණයට වැට බැඳිය නොහැකිය. ධනවත් රටවල් ඔවුන්ගේ සංක්‍රමණික නීති දිනෙන් දින තද කරති. අවි ආයුධ නිපදවීමට ඔවුන් වැය කරන ධන සම්භාරය දුගී රටවල් නඟා සිටුවීම පිණිස වැය කළහොත් හොර බෝට්ටුවලින් එම දේශයන් වෙත පනින්නට කිසිවෙකු උත්සාහ නොකරනු ඇත.