ඉන්දියානු මහ මැතිවරණය: දුස්තොරතුරුවලින් ඡන්දදායකයන් බේරා ගත හැකිද?

නාලක ගුණවර්ධන

ravaya@nalaka.org

ලෝකයේ දැවැන්තම ප්‍රජාතාන්ත්‍රීය මහමැතිවරණ පැවැත්වෙන්නේ ඉන්දියාවේ.
ලෝක් සභා නමින් හැඳින්වෙන එරට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත සභාවට මන්ත්‍රීවරුන් 545 දෙනෙක් පත් කර ගැනීම සඳහා නැවත වරක් මහ මැතිවරණයක් පැවැත්වීම 2019 අප්‍රේල් මස 11දා ඇරඹුනා.
මෙවර මහ මැතිවරණයට ලියාපදිංචි සමස්ත ඉන්දියානු ඡන්දදායක සංඛ්‍යාව මිලියන 900ක්. ලියාපදිංචි දේශපාලන පක්ෂ 500කට වැඩි ගණනක් දේශපාලන පොරපිටියට පිවිස සිටිනවා.
මෙම විශාලත්වය නිසා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ අදියර හතකින්. අප්‍රේල් 11 වනදා සිට මැයි 19 වනදා අතර කාලයේ. එම අදියර හතේම ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම සිදු කරන්නේ මැයි 23 වනදායි. ඉනික්බිති මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙනු ඇති.
මැතිවරණ ජයග්‍රාහකයන් තෝරා ගනු ලබන්නේ කේවල ඡන්ද ක්‍රමයට. එනම් ඡන්ද කොට්ඨාසයක වැඩිම වලංගු ඡන්ද සංඛ්‍යාව ලබන අපේක්ෂකයා ජය ගන්නවා.
වසර පහකට පෙර අවසන් වරට පැවැති ඉන්දියානු මහ මැතිවරණයේදී එවකට සිටි ලියාපදිංචි ඡන්දදායක සමස්තය වූ මිලියන 814.5 අතරින් 65.4% දෙනා ඡන්දය ප්‍රකාශ කළා. හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය(BJP)

ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මන්ත්‍රීධූර 336ක් ලබා ගනිමින් ජය ගත්තා. ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයට ලබා ගත හැකි වූයේ ආසන 59යි.
ගෙවී ගිය පස් වසරක නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයාගේ පාලන කාලයේදී ඉන්දියානු සමාජය මින් පෙර නොවූ විරූ තරම් දරුණු ලෙස බෙදීම්වලට සහ ධ්‍රැවීකරණයට ලක් වී තිබෙනවා.
නාමධාරී ඉන්දියානු ලේඛකයකු සහ කොන්ග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන ශාෂි තරූර්(Shashi Tharoor)

විග්‍රහයක් කරමින් පසුගිය සතියේ කීවේ මෙවර මහ මැතිවරණය ඉන්දියානු ජන සමාජයේ ආත්මීය මුල් අල්ලා ගැනීමට කෙරෙන අතිශය තීරණාත්මක තරගයක් බවට පත්වන බවයි.
මෙයට පසුබිම් වන දරුණු දේශපාලන යථාර්ථයක් තිබෙනවා. මෙවර ඉන්දියානු මැතිවරණයේ ලොකුම විවාදය පැවැත්වෙන්නේද ඒ වටායි.
ව්‍යවස්ථාවෙන්ම ඉන්දියානු රාජ්‍යය සම්පූර්ණයෙන් නිරාගමිකයි (secular state). වර්ග, ආගම් සහ ගෝත්‍ර විශාල සංඛ්‍යාවක් ජීවත්වන ඉන්දියාවේ, සියලු පුරවැසියන්ට එක හා සමාන අයිතිවාසිකම් ලබා දීම නිදහසෙන් පසු රට කරන්නට තේරී පත් වූ විවිධ දේශපාලන නායකයන්ගේ තිරසාර පිළිවෙතක් වුණා.
එහෙත් 2014 සිට එරට පාලනය කරන දැඩි මතධාරී BJP පක්ෂය මෙයට කැමති නෑ. ඔවුනට වුවමනා ඉන්දියාව හින්දු රාජ්‍යයක් බවට කෙමෙන් පරිවර්තනය කරන්නටයි. හින්දු අන්ත ජාතිකවාදී (හින්දුත්වා) දර්ශනයක් සමහර BJP

අනුගාමිකයන් සහ පක්ෂ සාමාජිකයන් තුළ තිබෙනවා.
ඔවුන් එරට ආගමික සහ වාර්ගික සුළුතරයන් දකින්නේ දෙවන පෙළ පුරවැසියන් ලෙසටයි. විශේෂයෙන්ම එරට ජනගහනයෙන් 15% නියෝජනය කරන මුස්ලිම් භක්තිකයන්, විජාතිකයන් හා ‘සතුරන්’ ලෙස සැළකීම මේ සමහර අයගේ නැඹුරුවයි.
මෙවර මැතිවරණයේදී හින්දු අන්ත ජාතිකවාදීන්ට යළිත් බලය ලැබේවිද? නැතහොත් වඩාත් මැදහත් සහ බහුවාර්ගික දැක්මක් ඇති දේශපාලන පක්ෂයක් හෝ සන්ධානයක් තේරී පත් වෙයිද? මෙයට පිළිතුරු ලැබෙන්නේ මැයි 23 දායින් පසුවයි. මිලියන 900ක ඡන්දදායකයන්ගේ මනසට පිවිස, ඔවුන් ඡන්දය දෙන ආකාරයට බලපෑම් කරන්නට සියලු දේශපාලන පක්ෂ සහ මතවාදී කණ්ඩායම් මේ දිනවල දැඩි උත්සාහයක නිරත වනවා.
සාම්ප්‍රදායික මැතිවරණ කැම්පේන් උපක්‍රම සියල්ලට අමතරව ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය යොදා ගැනීම ද ප්‍රබල ලෙස සිදු වනවා.
අපේ රටටත් වඩා ඉන්දියාවේ මැතිවරණ කැම්පේන් කරන්නේ වර්ගය, සමාජ පන්තිය සහ කුලය වැනි සාධක අනවශ්‍ය ලෙස හුවා දක්වමින්. මෙයට තවත් අමතර සාධකයක් මෙවර මහ මැතිවරණයේදී ප්‍රබල ලෙස මතු වී තිබෙනවා. එනම් සාවද්‍ය පුවත් සහ දුස්තොරතුරු (disinformation)

හරහා ඡන්දදායකයන් නොමඟ යැවීම සහ ‘අනෙකා’ පිළිබඳව උසිගැන්වීමයි.
අවසාන විනිශ්චයේදී මැතිවරණ කැම්පේන් කියන්නේ ඡන්දදායකයා තමන්ගේ පැත්තට නම්මවා ගැනීමයි. එයට අමතරව ප්‍රතිවාදීන් පිළිබඳව කලකිරීමක් හා පිළිකුලක් ඇති කරවීමයි. මෙය අලුත් දෙයක් හෝ ඉන්දියාවට පමණක් සීමා වූවක් නොවෙයි.
එහෙත් මෙවර ඉන්දියානු මැතිවරණ කැම්පේන්වලදි දේශපාලන චරිත සහ ඡන්ද අපේක්ෂකයන් පිළිබඳව බොරු ප්‍රචාර කරනවාට අමතරව, සමාජයේ ඇතැම් පිරිස් සහ ප්‍රජාවන් පිළිබදව අස්ථාන බිය සහ සැකය ප්‍රවර්ධනය කිරීමද සිදු කැරෙනවා.
විශේෂයෙන් හින්දු අන්ත ජාතිකවාදී දේශපාලන සන්නිවේදන සමහරකින් එරට වාර්ගික සහ ආගමික සුළුතරයන් මෙන්ම ස්වාධීන බුද්ධිමතුන් සහ සමාජ ක්‍රියාකාරිකයන් ගැන ද්වේෂසහගත බොරු ප්‍රචාර පතුරුවා හරිනු ලබනවා. මොවුන් සියලු දෙනා ‘භාරත මාතාවගේ සතුරන්’ ලෙසයි හුවා දැක්වෙන්නේ.
මෙය ගින්දරත් සමග සෙල්ලම් කිරීමක්. වාර්ගික ආතතීන් විටින් විට ප්‍රචණ්ඩත්වයෙන් පුපුරා යන සමාජයක, මැතිවරණ ජය ගැනීම සඳහා ජාති භේද හා ආගම් භේද වැපිරීම කෙතරම් භයානක වැඩක්ද?
2014දී මැතිවරණය ජය ගැනීමට දුන් පොරොන්දු රැසක් ඉටු කිරීමට මෝඩි රජයට නොහැකි වී තිබෙනවා. ආර්ථික වර්ධනය වැඩි කිරීම, රැකියා අවස්ථා ජනනය කිරීම සහ දුප්පත්කම පිටු දැකීම වැනි සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සිතූ තරම් ලෙහෙසි නොවූ නිසා, දැන් ජන මනස වෙනතකට හැරවීමට අවශ්‍ය වී ඇති. ජාතිවාදය සහ ආගම්වාදය ඉස්මතු කිරීම මෙන්ම පාකිස්ථානය ‘මහා සතුරා’ ලෙස හුවා දැක්වීම ද සූක්ෂම මැතිවරණ සන්නිවේදනයක උපක්‍රම විය හැකියි.
ජනමාධ්‍ය (විශේෂයෙන්ම ටෙලිවිෂන්) හරහා පාකිස්තානය ඉන්දියානු ජනරජයේ ’පරම හතුරා’ බව ඒත්තු ගන්වන්නට මෝඩි රජය මාස ගණනක සිට මහත් උත්සාහයක් දරනවා. ඉන්දියාවේ වෙසෙන මුස්ලිම් භක්තිකයන් දේශප්‍රේමී වන්නේ ඉන්දියාවට නොව පාකිස්ථානයටයි කියමින් බිහිසුණු ප්‍රචාරයන් ද විවිධ හින්දු අන්ත ජාතිකවාදී කණ්ඩායම් විසින් පතුරුවමින් තිබෙනවා.
2019 පෙබරවාරි 14දා ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ මරා ගෙන මැරෙන ආකාරයේ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දියානු විශේෂ පොලිස් බලකායේ භටයන් 40ක් මිය ගියා. මේ ප්‍රහාරයට Jaish-e-Mohammed නම් පාකිස්ථානයේ සිටින ත්‍රස්තවාදී කණ්ඩායමක් වගකීම භාර ගත්තා. මේ හරහා ඉන්දු පාකිස්තාන ආතතිය උත්සන්න වී තිබෙනවා. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ මේ දෙරට අතර යුද්ධයක් ඇති වුනොත් සිදු විය හැකි හානිය අති විශාලයි.
කාශ්මීර ප්‍රහාරය සිදු කිරීම සඳහා ‘පාකිස්තානු ත්‍රස්ත කණ්ඩායමට විශාල මුදලක් ගෙවීමට ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නම් නොකළ නායකයකු පොරොන්දු වී ඇති’ බවට කටකතාවක්,WhatsApp

හරහා ශෙයා කෙරුණා. එසේම කොංග්‍රස් පක්ෂය බලයට ආවොත් ඉන්දියාවේ සිරගත කොට සිටින ත්‍රස්තවාදීන් ගණනාවක්ම නිදොස් කොට නිදහස් කිරීමට ගිවිසුමක් ඇතැයි ද ප්‍රචාරයක් ගෙන යමින් තිබෙනවා. (තහවුරු නොකළ මේ කතා, අපේ රටේ විටින් විට මතු වන ‘අලි කොටි ගිවිසුම්’ පිළිබඳ කතාවලට සමානයි!)
කොංග්‍රස් පක්ෂයේ නායකත්වය ගැන දූෂණ වංචා චෝදනා පැතිරවීමටද සමාජ මාධ්‍ය සහ චැට් වේදිකා දැඩි ලෙස යොදා ගැනෙනවා. උදාහරණයක් ලෙස හිටපු කොංග්‍රස් නායිකාව වන සෝනියා ගාන්ධි ලෝකයේ සිවු වන ධනවත්ම කාන්තාව බවත්, ඇය මේ තරම් මුදල් ප්‍රමාණයක් උපයා ගත්තේ මහා පරිමාණයේ මහජන මුදල් ගසා කෑමෙන් බවත් කියැවෙන රාවයක් එක්තරා පක්ෂග්‍රාහී ෆේස්බුක් පිටුවක් විසින් පතුර වනවා. මෙය අමූලික බොරුවක්.
කොංග්‍රස් පක්ෂය යළිත් බලයට ආවොත් මහජන මුදල් යොදා ගනිමින් රාජ්‍ය සහනාධාර සහ ශිෂ්‍යත්ව මුස්ලිම් ජනයාට විශේෂ වරප්‍රසාද ලෙස ලබා දීමේ රහසිගත සැලැසුමක් ඇතැයි ද සමහර ෆේස්බුක් පිටු සහ වට්ස්ඇප් රාවයන් ප්‍රකාශ කරනවා.
මේ කිසිවක් ගැන සාක්ෂි ඔවුන් ඉදිරිපත් කරන්නේ නැහැ. අපේ සමහර සිංහල පත්තර නිතර කියනවා මෙන් ‘විශ්වාස කටයුතු මූලාශ්‍රයකින්’ ලැබුණු බව පමණක් කියනවා!
අවාසනාවකට මේවා ගෙඩි පිටින් විශ්වාස කරන අය සිටිනවා. කලෙක පටන් පත්තර, රේඩියෝ හා ටෙලිවිෂන් විශාල සංඛ්‍යාවක් පැවතියත් ඉන්දියාවේ මාධ්‍ය සාක්ෂරතාව තවමත් ඇත්තේ සාපේක්ෂව පහත් මට්ටමකයි (ලංකාවේ අපිත් එහෙම තමයි!).
ඩිජිටල් තාක්ෂණය පැතිර ගිය ඉක්මනට ඩිජිටල් සාක්ෂරතාව දියුණු වී ඇත්තේ ද නැහැ.
මේ නිසා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා සාවi පුවත් සහ දුස්තොරතුරු තොග පිටින් ගලා ගියත්, ඒවා හඳුනා ගන්නට අවශ්‍ය හැකියාව ඇත්තේ ටික දෙනකුට පමණයි.
මහාමාධ්‍යවල අමූලික බොරු නිර්නාමික ලෙස පතුරුවා හැරීම සාපේක්ෂව දුෂ්කරයි. එමෙන්ම කුමන්ත්‍රණවාදී අර්ධ සත්‍යයන් සහ ප්‍රබන්ධයන් අභියෝගයට ලක්වීමට තිබෙන ඉඩ වැඩියි. මේ මේ නිසා මැතිවරණ කැම්පේන් සමයේ ඡන්දදායකයන් මුලා කරන තොරතුරු වැඩි ප්‍රමාණයක් මුදා හරිනු ලබන්නේ සමාජ මාධ්‍ය සහ චැට් වේදිකා හරහායි.
සමස්ත ජනගහනය බිලියන 1.36න (එනම් මිලියන 1,360) වන ඉන්දියාවේ, මේ වන විට ජංගම දුරකතන ගිණුම් බිලියන 1.14ක් තිබෙනවා. එනම් ගම් හා නගර සිසාරා ජංගම දුරකතන භාවිත කැරෙනවා. එරට ඉන්ටනෙට් භාවිත කරන ජන සංඛ්‍යාව මිලියන 566 පමණ වනවා (2018 අගදී). අපේ රටේ මෙන්ම බහුතරයක් දෙනා ඉන්ටනෙට් පිවිසෙන්නේ ස්මාට්ෆෝන් හරහායි.
ඉතා ලාභදායක ලෙස දත්ත පැකේජයන් වෙළඳපොලේ තිබෙන නිසා සමාජ මාධ්‍ය භාවිතය බෙහෙවින් ප්‍රචලිත වී තිබෙනවා. ඉන්දියාවේ ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 300ක්ද, WhatsApp භාවිත කරන අය මිලියන 240ක්ද මේ වන විට සිටිනවා. මෙම ගෝලීය සේවා දෙක සඳහාම තනි රටක වැඩිම පරිශීලක පිරිසක් ඉන්නේ ඉන්දියාවේ.
මැතිවරණ කැම්පේන් සදහා දුස්තොරතුරු යොදා ගන්නේ BJP

පක්ෂය සහ අනුගාමිකයන් පමණක් නොවෙයි. කොංග්‍රස් පාක්ෂිකයන් මෙන්ම වෙනත් දේශපාලන පක්ෂවල අනුගාමිකයන් සමහර දෙනා ද බොරු සමාජගත කිරීමේ නිරතව සිටිනවා.
එසේ වුවද ජාතිවාදය සහ ආගම්වාදය මත පදනම් වූ නූතන කටකතා පැතිරවීමට කොංග්‍රස් පක්ෂය දායක වනවා කීමට සාක්ෂි නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ දේශපාලන ප්‍රතිමල්ලවයන් ගැන අතිශයෝක්ති සහ සෘණාත්මක ප්‍රචාර පැතිරවීමයි.
ප්‍රධාන පක්ෂ දෙකටම ඩිජිටල් හැකියාව සහ පරිකල්පන ශක්තිය හොඳට තිබෙන තරුණ තරුණියන් ගෙන් සමන්විත ‘සයිබර් හමුදා’ සිටින බව එරට ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සොයා ගෙන තිබෙනවා.
ඉන්දියානු ඩිජිටල් මාධ්‍ය විශ්ලේෂණය කරන MediaNama.com නම් ප්‍රකට වෙබ් අඩවිය පවත්වාගෙන යන මාධ්‍යවේදී නිකිල් පාවා කියන්නේ බොරු පැතිරවීම නීතියෙන් වරදක් නොවුවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි ලෙස හානි කරන බවයි.