සැඟවුන ආර්ථිකය සහ උගන්ඩාවේ ආදර්ශය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

ලෝකයේ ඕනෑම රටක වාර්ෂික අය-වැයේ විවෘතභාවය එම රටෙහි ඉදිරි ගමනට අතිශයින් වැදගත් වන්නේය. එහෙත් ශ්‍රී ලංකාව, අය-වැය ලේඛනයේ විවෘතභාවය පිළිබඳ තවමත් සිටින්නේ ඉතා පහළ මට්ටමකය. ආණ්ඩුව කුමක් වුවත් කිසිදු ආණ්ඩුවක්, මුදල් අමාත්‍යාංශය හරහා එම විවෘතභාවය ඉහළ නංවා ගැනීම උදෙසා ප්‍රමාණවත් කාර්යභාරයක් ඉටුකර ඇතැයි පිළිගත නොහැක. තොරතුරු සැඟවීම, ප්‍රමාණවත් තොරතුරු ලබා නොදීම, වැරදි තොරතුරු ලබාදීම, නිසි කලට නිසි සමාලෝචනයක් සිදු නොකිරීම; ශ්‍රී ලංකාවේ අය-වැයේ විවෘතභාවයට දැඩි ලෙස බලපෑම් එල්ල කරමින් තිබෙන්නා සේ ම එමගින් රට ආර්ථික සංවර්ධනය අතින් තව තවත් අගාධයට පත්වෙමින් තිබීම වැළැක්විය නොහැක. රටේ ප්‍රධාන මූල්‍ය ලේඛනය වන වාර්ෂික අය-වැය පිළිබඳ මෙරට රාජ්‍ය මූල්‍ය අංශයේ නිලධාරීන් සිටින්නේද ප්‍රශස්ත මට්ටමක නොව දුර්වල මට්ටමකය. වසර ගණනාවක් තිස්සේ ඒවා පෙනෙමින් තිබියදී වඩා නිවැරදි මාවතකට පිවිසීමේ දොරටු විවර කර ගන්නවා තබා වහා කළ හැකි මට්ටමේ තිබෙන සරල නිවැරදි කිරීම් පවා, නොසලකා හැරීමේ ප්‍රතිපත්තියක් මුදල් අමාත්‍යාංශය අනුගමනය කරමින් සිටින්නේය.
අය-වැයේ විවෘතභාවය
අන්තර්ජාතික අය-වැය සහයෝගීතාව විසින් 2006 වසරේ සිට ලෝකයේ රටවල අය-වැයේ විවෘතභාවය පිළිබඳ දර්ශකයක් සකස් කර ප්‍රසිද්ධියට පත් කරනු ලබන අතර, 2017 වසරේදී එම දර්ශකය තුළ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ලකුණු 100න් 44ක් පමණි. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් 3500 සිට 4500 දක්වා ඇති රටවල් 24ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 21 වන ස්ථානයයි. ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ ලකුණු 34ක් ලබා ගත් අසර්බයිජානයත්, ලකුණු 25ක් ලබාගත් ඇන්ගෝලාවත්, ලකුණු 3ක් ලබාගත් ඇල්ජීරියාවත් පමණි. එහෙත් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයක් පවත්නා ඇෆ්ඝනිස්ථානය, නේපාලය සහ උගන්ඩාව සිටින්නේද පිළිවෙළින් ලකුණු 49ක්, ලකුණු 52ක් හා ලකුණු 60ක් ලබාගෙන අය-වැයේ විවෘතභාවය අතින් ඉහළ මට්ටමකය. ඇෆ්ඝනිස්තානයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 550ක් වන අතර නේපාලයේ 849ක්ද, උගන්ඩාවේ 606ක්ද වේ. එහෙත් 2017දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඩොලර් 4074කි. අනෙක් පැත්තෙන් මෙම රටවල් 24 තුළ රටවල් 18ක ශ්‍රී ලංකාවට වඩා අඩු ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් පවතින්නේ වුවද අය-වැයේ විවෘතභාවය පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටී.
ශ්‍රී ලංකාව සහ උගන්ඩාව
වැදගත් වන්නේ වාර්ෂික අය-වැය ලේඛන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ උගන්ඩාව සංසන්දනය කිරීමේදී හෙළිදරව් වන කරුණුය.
රජයේ මුදල්, පිළිබඳ කාරක සභාව අය-වැය ලේඛනයේ විවෘතභාවය සම්බන්ධයෙන් රටවල් දෙක පිළිබඳ සිද්ධි අධ්‍යයනයක නිරත වී ඇති අතර එහිදී අනාවරණය වන කරුණු ශ්‍රී ලංකාවේ ලැජ්ජාවට හේතුවිය යුතුය.
උගන්ඩාව සැලකෙන්නේ අඩු ආදායම් ලබන රටක් ලෙසය. එහෙත් ශ්‍රී ලංකාව අඩු, මැදි ආදායම් ලබන රටක් ලෙස සැලකේ. එහෙත් අය-වැය ලේඛනයේ විවෘතභාවය පිළිබඳ සැලකීමේදී උගන්ඩාව තුළ රාජ්‍ය මූල්‍ය අංශයේ, නිලධාරි කාර්ය සාධනය, ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය අංශයේ නිලධාරී කාර්ය සාධනයට වඩා ප්‍රශස්තය. අය-වැයෙහි විවෘතභාවය පිළිබඳ දර්ශකය සැකසීම ඇරඹුණු 2006 වර්ෂයේදී ශ්‍රී ලංකාව, දර්ශකය තුළ ලකුණු 47ක් ලබාගෙන සිටියදී උගන්ඩාව ලබාගෙන තිබුණේ ලකුණු 32ක් පමණි. 2008දී ශ්‍රී ලංකාව ලකුණු 64ක් ලබා ගනිද්දී, උගන්ඩාව ලකුණු 51ක් ලබා ගත්තේය. 2010දී ද උගන්ඩාව සිටියේ ශ්‍රී ලංකාවට පහළිනි. එහෙත් 2012දී ශ්‍රී ලංකාවේ අය-වැයේ විවෘතභාවය ලකුණු 46ක් දක්වා පහත වැටෙද්දී උගන්ඩාව ලකුණු 65ක් දක්වා ඉහළ යන්නේය. 2015දී ශ්‍රී ලංකාව ලකුණු 39ක් දක්වා තවත් පහත වැටිණි. උගන්ඩාව ලකුණු 62ක් ලබා ගත්තේය.
මෙම අය-වැය විවෘත භාවයට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ අය-වැයට අදාළ තොරතුරු ලබාගත හැකිවීමයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අවධාරණය කර ඇති පරිදි ශ්‍රී ලංකාව විවෘතව ලබා නොදෙන, නැතහොත් සීමිතව ලබාදෙන, අය-වැය තොරතුරු උගන්ඩාව පූර්ණ වශයෙන් හෙළිකර තිබේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට ලබා නොදෙන සහ ප්‍රකාශයට පත් නොකරන අය-වැය තොරතුරු මෙරට මුදල් අමාත්‍යාංශය සඟවාගෙන සිටීම, නොසලකා හැරිය හැකි කාරණයක් නොවේ.
සූදු බදු හා විදේශ ණය පොලී
පසුගිය සතියේ ලිපියෙන්ද මා පෙන්වා දුන් පරිදි සූදු හා ඔට්ටු අය බදු පිළිබඳ, මෙවර (2019) අය-වැය ලේඛනයෙන් පාර්ලිමේන්තුව සහ ජනතාවට පැහැදිලිව දැනුම් නොදුන් තොරතුරු මුදල් අමාත්‍යාංශය සතුව තිබේ. අය-වැයේදී සැඟවූ එවැනි තොරතුරු රැසක්, මුදල් අමාත්‍යාංශය පසුව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට 2019 මාර්තු 11 වැනිදා ලබාදී තිබිණි. එහි දැක්වෙන පරිදි රුජිනෝ :ඍමවසබද* සූදු ක්‍රීඩාව පවත්වාගෙන යාමේ වාර්ෂික අය බද්ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 1 දක්වා පහත දමා ඇති අතර එයින් රාජ්‍ය ආදායම රුපියල් මිලියන 10කින් ඉහළ යන බව කියා තිබේ. කැසිනෝ ප්‍රවේශ බද්ද එක් අයකුගෙන් ඇමරිකානු ඩොලර් 100 සිට 50 දක්වා අඩුකර ඇති අතර, එයින්ද රාජ්‍ය ආදායම රුපියල් මිලියන 980කින් ඉහළ යන බව ප්‍රකාශ කර ඇත. අය බද්දේ අඩුවීම, වැඩිවීමක් ලෙස අයවැයේදී කළ නොමැග යැවීම තවත් දරුණු වන්නේ මෙම අඩු කිරීම නිසා ආදායම ඉහළ යන බව ප්‍රකාශ කිරීමය.
මුදල් අමාත්‍යාංශය මෙසේ ප්‍රකාශ කරන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සූදු හා ඔට්ටුවලින් මේ දක්වා අයකර ගැනීමට අසමත් වී ඇති සුවිශාල බදු කන්දරාව එකතු කර ගැනීමෙන්, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගත හැකිය යන උපකල්පනය මත නම්, එම සිතීම පවා තාක්ෂණිකව නිවැරදි වන්නේ නැත. මක්නිසාද එවැන්නක් දැක්විය යුතුව තිබෙන්නේ, බදු රැස්කර ගැනීමට දැක්වූ අසමත්කම නිවැරදි කරගන්නා ක්‍රියාමාර්ගයක් යටතේ මිස, බදු ප්‍රතිශතය අඩුකර රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමක් ලෙස නොවන්නේය. බදු අනුපාතය අඩුකර, එම බද්දෙන් රාජ්‍ය ආදායම වැඩිකර ගන්නේය යන්න පැවසීම උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරණ ශිෂ්‍යයකු පවා නොමග යවන්නක් ලෙස සැලකිය හැකිය.
තවත් නිදර්ශනයක් ලෙස, විදේශ ණය පොලී වියදම් පිළිබඳ, මුදල් අමාත්‍යාංශයේ වැරදි ඇස්තමේන්තු පෙන්වා දිය හැකිය. එක් වර්ෂයක පමණක් නොව, වසර ගණනාවක් පුරා එම ඇස්තමේන්තු වැරදිය. එම වරද කොතරම් විශාලද කිවහොත් 2013 සිට 2017 කාලයේ අනුමත කළ අය-වැය ඇස්තමේන්තුවලට වඩා විදේශ ණය සඳහා වන සත්‍ය පොලිය 33.8%කින් ඉහළ අගයක් ගන්නේය. 2012 සිට 2016 කාලය සැලකීමේදී පමණක් ගෙවීමට ඇති විදේශ ණය පොලිය 61.2%කින් අව ඇස්තමේන්තු කර තිබිණි. එහි තේරුම වන්නේ මුදල් අමාත්‍යාංශය අය-වැයේදී පාර්ලිමේන්තුව සහ මහජනතාවට කී ගෙවිය යුතු විදේශ ණය පොලියේ අගයට වඩා සත්‍ය අගය 61.2%කින් ඉහළ බවය.
විදේශ ණය සඳහා පොලී ගෙවීම්වල අය-වැයේ අගයන්හි හා සත්‍ය අගයන්හි පවත්නා වෙනස්කම් කොපමණද යන්න පහත වගුවෙන් පැහැදිලි කරගත හැක.

මෙම වැරදි නිසාම විදේශ ණය පොලී ගෙවීම් පිළිබඳ, ඇස්තමේන්තු කිරීමේදී පාර්ලිමේන්තුවට වෙනම ලිඛිත පැහැදිලි කිරීමක් කරන්නැයි 2018 අය-වැයට අදාළව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සිය වාර්තාවෙන් දැනුම් දී තිබුණත්, පසුගිය අප්‍රේල් 05 වැනිදා, 2019 අය-වැය සම්මත කරගන්නා තුරුත් එවැනි ලිඛිත පැහැදිලි කිරීමක් මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබුණේද නැත.
සඟවන සහ අසම්පූර්ණ තොරතුරු
ශ්‍රී ලංකාව ලබා නොදෙන, එහෙත් උගන්ඩාව ලබාදෙන අය-වැය තොරතුරු රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සිය සිද්ධි අධ්‍යයනයෙන් අනාවරණය කර තිබේ. ඒවා නම්, කාර්ය අනුව නැතහොත් ආංශික වර්ගීකරණය අනුව වැය ඇස්තමේන්තු තොරතුරු, විවිධ සාර්ව ආර්ථික කල්පිතයන්ගේ බලපෑම් පිළිබඳ තොරතුරු හා රජය විසින් රඳවා ගනු ලැබ ඇති මූල්‍ය වත්කම් මෙන්ම වැය ගෙවුම් හිඟ ඇස්තමේන්තු පිළිබඳ තොරතුරුය.
මීට අමතරව ශ්‍රී ලංකාව විසින් අසම්පූර්ණව ලබාදෙනු ලබන එහෙත් උගන්ඩාව විසින් සම්පූර්ණයෙන් ලබාදෙනු ලබන තොරතුරුද සංසන්දනය කර තිබීම නොසලකා හැරිය නොහැකිය. ප්‍රධාන මූල්‍ය මූලාශ්‍ර පිළිබඳ, යෝජිත අය-වැය හා රජයේ ප්‍රතිපත්ති ඉලක්ක අතර සම්බන්ධය පිළිබඳ ප්‍රතිඵලවලට අදාළ මූල්‍ය නොවන දත්ත සම්බන්ධයෙන් තොරතුරු එම ගණයට අයත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ මූල්‍ය වාර්තාකරණයේද දුර්වලතාවක් මෙම සිද්ධි අධ්‍යයනයේදී හෙළිදරව් වන්නේය. අය-වැය පිළිබඳ මධ්‍ය වාර්ෂික මූල්‍ය සමාලෝචන වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කරන්නේ නැත. එහෙත් උගන්ඩාව වර්ෂයේ මාස 8ක් ඇතුළත මුල් මාස 6 සඳහා සමාලෝචන වාර්තාවක් ප්‍රකාශයට පත් කරන්නේය.
උතුර හා බස්නාහිර
අය-වැය යනු අනාගත වර්ෂයේ රටක ආර්ථික සංවර්ධනය පිළිබඳ මූලික ලියවිල්ල වනවා සේ ම පවත්නා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සහ සංවර්ධන සැලසුමද වන්නේය. එහෙත් එමගින් ඇතැම් තොරතුරු මහජනතාවගෙන් සහ පාර්ලිමේන්තුවෙන් සඟවන්නේ නම් හා පැහැදිලි තොරතුරු ලබා නොදෙන්නේ නම්, එය කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවන්නේය. මක්නිසාද රටට නිවැරදි ගමනක් නොමැති බව මෙන්ම ආර්ථික කළමනාකරණයේ වියවුල එමගින් පැහැදිලි වීම නිසාය. පවත්නා ආණ්ඩුවටද නිවැරදි දර්ශනයක් හෝ ප්‍රායෝගික සැලැස්මක් නොමැතිවීම එමගින් පිළිබිඹු වන්නේය. අනෙක් පැත්තෙන් අය-වැය පමණක් නොව රජයේ මුදල් අවභාවිතය, විදේශ ආධාර අවභාවිතය ඉහළ මට්ටමක පවතින්නේ නම්, බොහෝ සංවර්ධන ව්‍යාපෘති ඉලක්ක ගත අවසානයක් කරා යන්නේ නැත. විගණකාධිපති ගාමිණී විජේසිංහ, රාවයට ප්‍රකාශ කර තිබුණේද රාජ්‍ය වියදමෙන් 25%ක් නාස්ති කරන බවය.
ඉන්දීය රජය විසින්, උතුරේ නැවත පදිංචි කිරීම් සඳහා 2015, 2016 වසරවලදී රුපියල් මිලියන 6492ක මුදලක් නිවාස 46010ක ව්‍යාපෘතියක් උදෙසා ආධාර වශයෙන් ලබාදී තිබුණු අතර වර්තමාන ආණ්ඩුව එම ව්‍යාපෘතිය සාර්ථකව නිම කළේ නැත. එමෙන්ම 2015දී පාකිස්තානය, කසකස්තානය හා බහරේන් රුපියල් මිලියන 399.22ක මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කළ නිවාස 537ක ව්‍යාපෘතියද 2018 අගෝස්තු වනවිටත් නිමකර තිබුණේ නැත.
බස්නාහිර පළාත් සභාව විසින් ගම්පහ කලාපය තුළ අඩක් වැඩ නිම කළ පාසල් ගොඩනැගිලි 61ක් තිබූ බව 2016 විගණකාධිපති වාර්තාවේ සඳහන් වන අතර ඒ වෙනුවෙන් දැරූ වියදම රුපියල් මිලියන 278ක් විය. එමෙන්ම බස්නාහිර පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, 2012දී රුපියල් මිලියන 158ක වියදමින් මිලට ගෙන තිබූ කොන්ක්‍රීට් ඇඹරීමේ යන්ත්‍ර 2ක් හා රුපියල් මිලියන 6ක් වටිනා කර්බ්(Kerb)

යන්ත්‍රය 2014 නොවැම්බර් 08 වනවිටත් ප්‍රයෝජනයට නොගෙන අංගණයක ගබඩා කර තිබූ බව, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබිණි.
යුද්ධයෙන් පසුව, නැවත පදිංචි කිරීම් අත්‍යවශ්‍ය සමාජ ප්‍රශ්නයක් ලෙස ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළම ස්ථානයකට පැමිණ තිබියදී පවා ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය එම නිදර්ශනයෙන් පවා තේරුම් ගත හැකිය. රටේ එක් කෙළවරක කටයුතුවලට එවැනි සැලකීමක් හිමිවන විට අනෙක් කෙළවරේ – බස්නාහිර පළාතේ, පළාත් සභාව ක්‍රියාකරන්නේද, දරුවන්ට ඉගෙන ගැනීමට අත්‍යවශ්‍ය වන්නා වූ පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, වහා නිම කළ යුතු කාර්යයක් ලෙස සලකමින් නොවේ. මේවා නාස්තියේ, අකාර්යක්ෂමතාවයේ නිදර්ශන කීපයක් පමණකි. නාස්තිය, දූෂණය, සොරකම, අකාර්යක්ෂමතාව පිළිබඳ තවත් ඕනෑතරම් කරුණු, විගණකාධිපති වාර්තා, කෝප් කමිටු වාර්තා, ගිණුම් පිළිබඳ කාරක සභා වාර්තා ආදී රජයේ වාර්තා තුළින් පවා සොයාගත හැකිය. එහෙත් එම දූෂණයන්ට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම තබා, නිවැරදි කළ හැකිව තිබෙන ඒවාද නිවැරදි කරන ප්‍රතිපත්තියක් පවා ආණ්ඩුව අනුගමනය කරන්නේ නැත. රටක මූල්‍ය කළමනාකරණය, මූල්‍ය විනය, මූල්‍ය කාර්යක්ෂමතාව, මූල්‍ය විනිවිදභාවය ගොඩනැගිය හැකි, ආචාර ධාර්මික පරිසරයක් මෙන්ම නීතිමය පරිසරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වන්නා සේ ම ඒ වෙනුවෙන් උනන්දු වන අවංක මිනිසුන්ගේ සේවය ලබාගැනීමද අත්‍යවශ්‍ය වන්නේය.