බහුරූ කෝලම් දේශපාලනයට විකල්පයක් සෙවීම

විමලනාත් වීරරත්න

 

අය වැය අවසන් වර කියවීමේදී ශ්‍රීලනිපය පක්ෂව හෝ විපක්ෂව ඡන්දය නොදී මගහැර සිටීම පිළිබඳව විපක්ෂය පැත්තෙන් දෝෂ දර්ශනයට ලක් නොවුණේ මහින්ද රාජපක්ෂ වෙතින් පමණි. ජී.එල්. පීරිස් ඡන්දය පැවැත්වුණු අප්‍රේල් 05 වැනිදාට පෙර මෙන්ම පසුත් කීවේ එජාපයේ අය වැය පරාජය කිරීමට ඡන්දය නොදෙන පිරිසක් සමග සම්මුතිවාදී වැඩපිළිවෙළක් වෙනුවෙන් කතා කිරීමෙහි පළක් නැති බවය. දැනට එම පාර්ශ්ව දෙක විටින් විට හමුවී කරගෙන යන සාකච්ඡාවල පදනමක් ඇති කිරීමට නම් ශ්‍රීලනිපය අය වැය පරාජය කිරීමට ඡන්දය දිය යුතුව තිබිණැයිද හෙතෙම කියයි. ශ්‍රීලනිපයේ හැසිරීම මහින්ද රාජපක්ෂගේ හැර පොහොට්ටු පාර්ශ්වයේ අන් සියල්ලන්ගේ විවේචනයට බඳුන් වී තිබෙන්නේ ඇයි? දැන් ජනපති සමග ඩීල් දමන්නේ මහින්ද රාජපක්ෂ නිසාද? නැතහොත් දෙදෙනා රයිගමයා සහ ගම්පලයා බවට පත්ව තිබෙන නිසාද? ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා කියා තිබුණේ ශ්‍රීලනිපය මෙවැනි තීරණයක් ගැනීම ජනපති හා විපක්ෂ නායක අතර අවබෝධයෙන් කළ එකක් බවය. එවිට පොහොට්ටුව අය වැය පරාජය කිරීමට තැත් කරද්දී එහි ආධ්‍යාත්මික නායකයා ජනපති සමග අමුතු අවබෝධයකට ගොස් ඇතැයි සිතිය නොහැකිද? නැතහොත් පොහොට්ටුකාරයන් කරන්නේත් බොරු රඟපෑමක්ද? යනාදී ප්‍රශ්න මෙහිදී මතුවීම නොවැළැක්විය හැකිය.

නොතේරුම් ගැනීම
පොහොට්ටු පාක්ෂිකයන් මේ තත්ත්වය තේරුම් ගන්නේ කෙදිනකද? මහින්ද සිය අනුත්තර නායකයා නිසා ඔහුගේ ඕනෑම ඩීල් දැමීමක් ඔවුන් පිළිගන්නවාද? එසේ නැතහොත් මේ සියලු චලනයන් දේශපාලනයේ තිරස්චීන ක්‍රීඩාවේ ස්වභාවය යැයි කල්පනා කරනවාද? මේ වනවිට ඉතා ප්‍රත්‍යක්ෂව පෙනෙන දෙය නම් මහින්ද රාජපක්ෂ ගෝඨාභයට ජනාධිපති ධුර අපේක්ෂකත්වය දීමට දක්වන නොකැමැත්තය. ඔහු අප්‍රේල් 06 වැනිදා කීවේ ද්විත්ව පුරවැසිකම ඇති කවුරුන්ට වුව අපේක්ෂකත්වය හිමි නොවන බවය. ඊළඟට ඔහු කීවේ ජනාධිපති සමග සාකච්ඡා කිරීමෙන් පසු අපේක්ෂකයා පත් කරන බවකි. ජනාධිපති මෙතෙක් ඔහුගේ අපේක්ෂකයා තෝරා ගැනීමේ සහායක සාධකයක් නොවීය. දැන් සහාය නොව ජනාධිපති එහි ප්‍රමුඛ සාධකය වී ඇති බවක් පෙනේ. මේවා සියල්ල ගෝඨාභය වටේ යැවීම පිණිස කියන කතා බව ඕනෑම කෙනකුට තේරෙයි. ගෝඨාභයට මෙම අවස්ථාව හිමි වුවහොත් මහින්ද මොනතරම් ආධ්‍යාත්මික නායකයකු වුවත්, ඔහු බිංදුවට වැටෙන බව ඉතා පැහැදිලිය. ඉන් ඔහුගේ සියලු ඉදිරි සැලසුම් අකර්මණ්‍ය වනු ඇත. දැනටමත් මහින්දගේ කේවට්ටයෝ එලෝ මෙලෝ නැතුව ගෝඨා වනති. මේ තත්ත්වය මහින්දට ඉවසිය නොහැකි වුවත් දැන් ඔහුට කරන්නට දෙයක් නැත. කළහැකි එකම දේ සිරිසේන සමග ගජේ ගැසීමය. මෛත්‍රී කඩදාසි කුට්ටමෙහි උඩින් තබාගතහොත් මහින්දට කපෝතියෙන් ගැලවිය හැකිය. පොහොට්ටුවේ ආධ්‍යාත්මික නායකකමද පරදුවට තබා මහින්ද වෙහෙසෙන්නේ තමන්ගේ හා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරගැනීමටය. මහින්ද පියකු ලෙස යහපත් වුවත් රාජ්‍ය නායකයකු ලෙස කිසිසේත්ම නොවටින්නේ මේ දෙබිඩි පිළිවෙත හේතුවෙනි.

පැරදීම
මෛත්‍රී තරගයට ඉදිරිපත් කර පැරදීම මහින්ද රාජපක්ෂට අනුව උපක්‍රමයකි. ගෝඨාගේ මුදුනට නැග වීරවංස වැනි අපකීර්තිමත් අඩල දේශපාලකයන් තමා නිශේධනය කරන ආකාරය මහින්ද රාජපක්ෂ ඉවසන්නේ නැත. මහින්ද සුළඟ ආදී කිසිම වැදගැම්මක් නැති නම් පට බඳිමින් මෙතෙක් ඔහු මුරුංගා අත්තේ තැබූ අය මේ වනවිට ගෝඨාභයට බෙර වැයීම මහින්ද කෙමෙන් අසාධ්‍ය රෝගියකු බවට පත් කරන්නකි. මහින්ද දැඩි සත්කාර ඒකකයට යනවිට ගෝඨාභය රජ ගෙදරට යන පය ඔසවා තිබීම මහින්ද ඉරි තැලී යන සංසිද්ධියකි. එබඳු අත්දැකීමකට වඩා ඕනෑම විදියක පරාජයක් වැලඳ ගැනීමට ඔහු හිත එකඟ කරගෙන සිටිනවා වන්නටද පුළුවන. රනිල්ටත් සමහරවිට තම පක්ෂයේ ජනාධිපති ධුරයට දුරින් සිටි අයකු ජයගෙන තමා හුදු සංකේත නායකයකු බවට පත්වීමට ඇති ඉඩ පිළිබඳ විචිකිච්ඡාවක් ඇතිව තිබෙන්නට පුළුවන. රනිල් ජනාධිපතිවරණ කිහිපයකින්ම පරාජය වූ නිසා ඔහුගේ අනුගාමිකයෝ පෙළෙනු ඇත්තේද පරාජිත මානසිකත්වයකිනි. එබැවින් ඔහුටත් කරු ජයසූරිය පිළිබඳව මහින්දගේ ගෝඨාභය ප්‍රශ්නයම තිබෙන්නට පුළුවන. ලංකාවේ ඡන්දදායකයෝ අප්සට් අශ්වයන්ට කප් ගහන්නට ඉඩදෙන පිරිසක් බව පෙනේ. ප්‍රශ්නය වන්නේ ලංකාව තෝරන අප්සට් අශ්වයන් හොඳටම අප්සට්වීමය. 2015දී ලංකා සමාජයට එම අත්දැකීම ලැබුණු අතර සිවිල් සමාජය යළ අප්සට් අශ්වයකු තේරීමේ මුව විටට පැමිණ ඇත.

මේ අරගලය ගෝඨාභය සාධකය
නායකයන් තුළ මෙම මානසික වශයෙන් වූ යටි බිම්ගත අරගලය ජනතාවගේ සුබ සිද්ධිය සඳහා නොවන බව 2015 යහපාලන ආණ්ඩුවෙන් පසු පැහැදිලිව පෙනෙන්නකි. 2015 යනු පොරොන්දු දේශපාලනයේ අවසන් ලක්ෂය ලෙස හැඳින්විය හැකිය. යළිත් පොදු අපේක්ෂකයකු පිළිබඳ බලාපොරොත්තුවක් ලංකාවේ සමාජයට ඇතැයි සිතිය නොහැකිය. එහෙත් පොදු අපේක්ෂකයා වැනි අර්ධ ව්‍යාජ හැඳින්වීම් වෙනුවට වැඩට දක්ෂ දෘඪ තීරණ ගන්නා නායකයකු ගැන රටේ යම් කොටසකට බලාපොරොත්තුවක් ඇත. ගෝඨාභය මීළඟ නායකයා විය යුතු බව කියන්නේ එවැනි පිරිසකි. එම පිරිස හුදු පුද්ගලයා දෙස මිස පුද්ගලයාගේ වටාපිටාව හා පැටිකිරිය දෙස විමර්ශනාක්ෂිය හෙළන බවක් නොපෙනේ. ඊළඟට උගත් යැයි පිළිගත හැකි ඉහළ වෘත්තිකයන් පිරිසකුත් ගෝඨාභය රටට ගැළපෙන නායකයා බව කියති. එම උගතුන්ද ඉහත තද නායකයෙක් ඕනෑ කියන සාමාන්‍ය ජනයා සේ ම වටපිට නොබලන බවක් පෙනේ. ගෝඨාභය ඔහුගේ සංවාදමය වැඩසටහන්වලදී ඒ ඒ වෘත්තිකයන්ගේ විෂය ප්‍රදේශවලට අවධානය යොමු කරනු දැකිය හැකිය. එය අඩුම තරමින් ප්‍රාමාණික උගතකු වන රනිල් වික්‍රමසිංහවත් නොකරන වැඩකි. මෙම ක්‍රියාවලිය තුළ වෘත්තිකයන් යම් කොටසකගේ අවධානය දිනා ගැනීමට ගෝඨාභය සමත් වී තිබේ. එහෙත් ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධනය විෂයේදී ඔහු කෙතරම් අදක්ෂ හා නොපැසුණු නිලධාරියකුදැයි ඔප්පු වූයේ ඔහුට එදිරිව එන ප්‍රතිරෝධවලදී ක්‍රියා කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීති විරෝධී හා අත්තනෝමතික ස්වභාවය හේතුවෙනි. ඔහුට බලය තිබෙන විට මහජන මුදල් තම පුද්ගලික කටයුත්තකට වැය කිරීම ගැන ගෝඨාභය වර්ණනා කරන උගතුන් කියන්නේ කුමක්ද? රතුපස්වල ජනයා වතුර ඉල්ලා කළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට ඔහුගේ අනුබලය ලැබිණි. ඒ ගැන ගෝඨාභයවාදීන් කියන්නේ කුමක්ද? වැලිකඩ ඝාතන විසිහත ගැන ගෝඨාභය වගකිව යුතුය. ඒ ගැන ගෝඨාභය තමයි මිනිහා කියන අය කියන්නේ කුමක්ද? නාගරික නිවාස පිළිබඳ ප්‍රශ්නයේදී මහජන අදහස් තුට්ටුවකට මායිම් නොකර හෙතෙම බුල්ඩෝසර් න්‍යායෙන් කටයුතු කිරීම ගැන ගෝඨාභය හිතවාදීන් කියන්නේ කුමක්ද? ලසන්ත වික්‍රමතුංග ඝාතනය වනවිට මෙරට ආරක්ෂක ලේකම්වරයා වන ඔහු ඒ පිළිබඳව නොසැලකිලිමත් ප්‍රකාශ මිස වගකීම්සහගත ප්‍රකාශයක් වසර දහයකින් පසුවත් සිදුකර නැති එක ගැන ගෝඨාභය සුළඟ ඉල්ලා සිටින අය කියන්නේ කුමක්ද? රටකට පෙර වැරදි මුළුමනින් අකා මකා ගමනක් යා හැකිද? පුද්ගලයකුටත් එය එසේමය. අංගුලිමාලත් බුද්ධ පුත්‍රයකු වූයේ ප්‍රතිශෝධන ක්‍රියාවලියකින් පසුවය. ගෝඨාභයට ඒ ප්‍රතිශෝධනය අවශ්‍ය නැද්ද යනුවෙන් ඔහුට ආ වඩන උගතුන්ගෙන් වෘත්තිකයනගෙන් මෙන්ම එළිය හා වියත් මගෙහි වග විභාගයක් නැති ජනසංඝයෙන් විමසමි. ගෝඨාභය කළ වැරදි සියල්ලට ඔහු දඬුවම් විඳිය යුතුය. දේශපාලනයට වැද්ද ගතයුත්තේ ඉන් අනතුරුවය. පෙර වැරදිවලට දඬුවම් නොලැබුණහොත් සිදුවන්නේ ඒවා දෙතුන් ගුණයකින් විශාලනය කර යළිත් කිරීමට ගෝඨාභය පෙළඹවීමය. මන්ද ඔහුට එරෙහිව දඬුවමක් හා අඩුම තරමින් ප්‍රමාණවත් විවේචනයක් හෝ නැති නිසාය. මේ තත්ත්වය තුළ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය තම පියාගේ ඝාතනයට ගෝඨාභය වගකිව යුතු බවට ඇමරිකාවේ අධිකරණයකට කළ පැමිණිල්ල ඉතා වැදගත්ය. ඔහු කළ පෙර වැරදිවලට ලංකාවේදී දඬුවම් නොකරන බව පැහැදිලිය. ජනාධිපතිවරයා මුළුමනින් ඒ තත්ත්වයට වගකිව යුතුය. ලසන්ත ගැන පැමිණිලි කිරීමෙන් නොනැවතී රතුපස්වල ඝාතන ගැනත්, වැලිකඩ ඝාතන විසිහත ගැනත් ගෝඨාභයට එරෙහිව අන්තර්ජාතික අධිකරණයේ පැමිණිලි කළ හැකිය. මේවායෙන් ලබාදෙන තීන්දුවලින් රට තුළ ලොකු දෙයක් කළ නොහැකි බව සැබෑ වුවත්, ගෝඨාභය වෙනුවෙන් අන්ධ වූ උගතුන්ගේ ඇස පාදා දීමටත්, අගතියට පත්වූවන් අප රටක් ලෙස අත් නොහරින බව කීමටත් එවැනි පියවරයන් වැදගත්ය. කොහොමටත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එවැනි පියවරයන්ට යා හැකිය. ඒවා රනිල්ලා, මෛත්‍රීලා කිසි දවසක කරන දේවල් නොවන බැවින් මේ කාරණයේදී රටට මහජන කේන්ද්‍රීය ක්‍රියාකාරීත්වයක් වුවමනාය.

වැඩිය නොකඩන ළමයි
ජවිපෙ කියන්නේ නව පෙරමුණකින් ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සැලසුමක් තිබෙන බවය. ඉහත උලාකෑ දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ තවම ලංකාවේ මුළුමනින් ප්‍රතික්ෂේප වී නැත. එසේ මුළුමනින් ප්‍රතික්ෂේප වී තිබේ නම් මහජනයාට ජවිපෙ මීට වඩා තරමක් හෝ වුවමනා වන්නට තිබුණි. එහෙත් ජවිපෙ හැමදාම වැඩිය කඩන නරක ළමයින්ගේ ලිස්ට් එකට නම නොදමා ගැනීමට යත්න දරමින් සිටියා විනා වැඩිපුර ටිකක් කඩාගෙන හෝ රටට ගමට කැපී පෙනෙන වැඩ සැලැස්මක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේ නැත. පූර්ණ දේශපාලන ජයග්‍රහණයක් ලබානොදෙන තාක් අපි අසරණයි සහෝදරවරුනි කියා ජවිපෙ කියන්නට පුළුවන. එහෙත් රට දියුණු කරන භෞතික සැලසුමක් සකස් කරන්නට අසරණවීම ප්‍රශ්නයක් නොවේ. මන්ද ළිඳෙන් ගොඩ එන සැටි අන් සියල්ලන්ටම වඩා සෙවිය යුත්තේ ළිඳේ වැටී සිටින එකාය. එවැනි වැඩ සැලසුමක් නොහදන්නේ ධනපති පක්ෂ එය පැහැර ගැනී යැයි බියෙන් නම් එය අස්ථාන බියකි. මන්ද ප්‍රධාන පක්ෂ දෙකට සැලසුම් ලැබුණත් ඒවා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට බැරි තරම් ඔවුන් දූෂිතය. දූෂණය අඟලක් දෙකක් නොව රියන් ගණනාවක් උස වැඩසටහන් මිස දූෂණය අවම කැරුණු වැඩසටහනක් දැන් ප්‍රධාන පක්ෂ දෙකටම නැත. එබැවින් දැනුම සොරකම් කළ හැකිය සහ බියකින් ජවිපෙ පෙළිය යුතු නැත.
ජවිපෙ මුහුණ පා ඇති ඊළඟ ප්‍රශ්නය වන්නේ ඔවුන් නංගිටයි මටයි ගෙඩි දෙක්වත් නොකඩන මට්ටමේ ළමයි බව පෙනුණත් ජනතාව එම ශික්ෂාව කරා රොද නොබැඳීමය. ජනතාවට ඕනෑ හුදු ශික්ෂාවක් නොවන බව ඉන් පෙනෙයි. සමහරවිට යම් පමණකට හොරකමත් කරන වැඩත් කරන යන ස්ථාවරය ජනතාව ගෙන ඇතැයි සිතිය හැකිය. එය හොඳ තත්ත්වයක් නොවුණක් ක්‍රමය විසින් ශේෂ කරන ලද්දකි. විශේෂයෙන්ම 77 එජාප ආණ්ඩුව නිරත වූයේ එම අභ්‍යාසයෙහිය. පසුකාලීනව ආණ්ඩු හොරකම විතරක් කිරීම පිළිබඳව ජනතාව පසුවන්නේ මහත් නොකැමැත්තෙනි. ප්‍රධාන පක්ෂ කෙරෙහි ඒසා නොකැමැත්තක් තිබියදීත් ජනයා ජවිපෙ දෙසට නොහැරෙන්නේ මන්ද යන්න ගැන ජවිපෙ විමසිලිමත් වී තිබේද? ජවිපෙ සිය ප්‍රචාරක ව්‍යාපෘතිවලින් අපේක්ෂා කරන්නේ ජනතාව ආකර්ෂණය කරගැනීමය. එසේ නම් ඒ සමගම දේශපාලන සංදර්භයේදීත් ජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ගතයක් කෙරෙහි ඔවුන් අවධානය යොමු කළ යුතුය. එහෙත් ඔවුන්ගේ විද්වත් බලමුළුව පවා නව ආකෘතියකට අනුගත නැත. ජවිපෙ සමාජවාදය සොයාගෙන යන පැරණි ආයතන ව්‍යුහයකින් හා අන්තර්ගතයකින් මුදවා ගැනීමේ වගකීම ඒ සියල්ලන්ටම තිබේ.

රටට අවශ්‍ය කුමක්ද?
අද රටට අවශ්‍ය ඕනෑම කෙනකුට ඇතුළු විය හැකි හා පිටවිය හැකි මහජන දේශපාලන ආයතනයකි. ඉන් අදහස් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් වී තිබීමය. ඊළඟට රටේ මහජන ආයතන පද්ධතියේ නිරවුල් ක්‍රියාකාරීත්වයක් එහි යහපැවැත්මට අත්‍යවශ්‍යය. මේ කරුණු දෙක ඉෂ්ට කිරීම විෂයෙහි සාම්ප්‍රදායික හා වැඩවසම් අර්ථයෙන් කටයුතු කරන දේශපාලන සංස්ථාවට කාර්යභාරයක් නැත. කාර්ය භාරයක් තිබෙන්නේ මහජන කේන්ද්‍රීය වැඩපිළිවෙළකටය. එවැනි වැඩපිළිවෙළක නියමු කාර්යභාරය ඉටුකළ යුත්තේ පුද්ගලයා නොව දැනුම් පද්ධතියක් හා ඉන් ඉපැදුණු ශික්ෂණය විසිනි. එවැනි ක්‍රියාවලියකට පිටි බලය සැපයීමට ජවිපෙ ප්‍රමුඛ සමාජ ප්‍රගතිශීලී අදහස් දරන සමාජ වුවමනාවන් ප්‍රකට කරන කුඩා දේශපාලන පක්ෂවලට හැකිය. එවැනි ව්‍යාපාරයක් පළමුව යායුතු සමාජ ප්‍රතිසංස්කරණ වෙතය. පූර්ණ ව්‍යුහාත්මක සමාජීය වෙනසකට මෙම මූල ප්‍රතිසංස්කරණ පදනම සකසනු ඇත.