නාගානන්දගේ ව්‍යවස්ථාවේ යථාර්ථය

වික්ටර් අයිවන්

සටන්කාමී නීති ක්‍රියාධරයකු ලෙස සැලකිය හැකි නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයේ කරන සටන්වලට අතිරේකව ව්‍යවස්ථාමය වෙඩිල්ලක්ද පත්තු කර තිබෙන අතර එම වෙඩිල්ල ලංකාවේ උගතුන් අන්දමන්ද කිරීමට හේතුවී තිබෙන බවක් පෙනේ. ඔහු තමන්ගේ ව්‍යවස්ථා වෙඩිල්ල හඳුන්වා තිබෙන්නේ Autochthony (ඔටොක්ටනි) constitution හෙවත් සහජාත ව්‍යවස්ථාව වශයෙනි. ව්‍යවස්ථාව හඳුන්වාදීමට ඉංග්‍රීසියෙන් යොදාගෙන තිබෙන පදය තේරුම් ගැනීමට තිබෙන දුෂ්කරතාවත්, ඊටත් වඩා එය උච්චාරණය කිරීමට තිබෙන දුෂ්කරතාවත් නාගානන්දගේ ව්‍යවස්ථා කතාවට ලොකු වටිනාකමක් ලබාදීමට බලපා තිබෙන්නේ යැයි ද කිව හැකිය. ඔහු ලංකාව සඳහා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමින් තිබෙන අතර ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට එම ව්‍යවස්ථා කෙටුම්පත ජනතාවට ඉදිරිපත් කරන බවත්, ඔහු ජනාධිපතිවරණයෙන් ජයගතහොත් එය ව්‍යවස්ථාවට මහජනයාගෙන් ලැබුණු අනුමැතියක් ලෙස සලකා ඒ මොහොතේ පටන් තමන්ගේ එම ව්‍යවස්ථාව රටේ ව්‍යවස්ථාව ලෙස සලකා ක්‍රියාකරන බවත් ඔහු කියයි.
ඔහුගේ එම ව්‍යවස්ථා න්‍යායවාදය මා මෙහි විවේචනයට ලක් කරන්නේ ඔහුට මොනයම් හෝ පිළිගැනීමක් තිබෙනවා නම් එය නැති කිරීමේ අරමුණින් නොව මෙවැනි විකාරසහගත අදහස් සමාජගත කරන්නට ඉඩදී බලා සිටීම සමාජයට කරන වරදක් ලෙස සලකාය. ඔහු කරමින් තිබෙන වරද ඔහුට අප්‍රසිද්ධියේ පෙන්වාදීමට උත්සාහ කළද ඒ මගින් තමන් කරන්නේ වරදක් බව ඔහු පිළිගත්තේ නැත.
දුරකතන කතාබහකදී මා ඒ ගැන ඔහුට කරුනු පැහැදිලි කරන්නට උත්සාහ කළ පළමු අවස්ථාවේදී ඔහු ඊට දක්වන ලද ප්‍රතිචාරය මගේ පුදුමයට හේතුවූවා පමණක් නොව විනෝදයටද හේතුවූ බව කිව යුතුය. ඔහු කියන ආකාරයේ ව්‍යවස්ථා සම්පාදනයකට දිය හැකි එකම නිදර්ශනයක්වත් ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසයේ නැති බවත් ව්‍යවස්ථා සම්පාදනයට පිළිගත් මූලධර්ම සේ ම සම්ප්‍රදායක්ද තිබෙන බවත්, ඒවා හැදෑරීමකින් තොරව එවැනි මතවාද මහජනතාව අතරට ගෙනයෑම වැරදි බවත්, මම ඔහුට කීවෙමි. ඔහු මට දෙන ලද ක්ෂණික පිළිතුර මෙසේය.
“ඔබ ජනමාධ්‍යවේදියෙක්. ඒ ගැන ඔබට දැනුම ඇති. ව්‍යවස්ථා සම්පාදනය ඔබේ විෂය නොවෙයිනේ. තමන් ඉදිරිපත් කරන දේ ගැන තමන්ට හොඳ වැටහීමක් තිබෙන බවත් එම න්‍යාය අනුමත කරන හා ඒ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥයන් දෙදෙනකුද සිටින බවත් ඔහු කීවේය.
මාගේ මෙම විවේචනයේ අරමුණ නාගානන්ද නිවැරදි කිරීම නොව, මහජනයා නොමග යැවීම වැළකීමය. ලංකාව තිබෙන්නේ ලොකු අර්බුදයකය. එම අර්බුදය ජයගැනීම සඳහා ආණ්ඩුකරණයේදී මහජනයාට ලොකු බලයක් ලබාදෙන ආණ්ඩුකරණයකට අපට යන්නට සිදුවන අතර ඒ අරමුණ දිනාගැනීම සඳහා මහජන ව්‍යවස්ථා සම්පාදනයකටද යන්නට සිදුවනු ඇත්තේය. ඒ නිසා ව්‍යවස්ථාව හා ව්‍යවස්ථා සම්පාදනය ගැන මහජනයාට අවබෝධයක් ලබාදීමේ අවශ්‍යතාවද මෙම ලිපියේදී සැලකිල්ලට ගෙන තිබෙන අතර ඊට අතිරේකව දේශපාලන විද්‍යාව හදාරනන්නටද ප්‍රයෝජනවත් වන ආකාරයට ලිවීමද උත්සාහ කර තිබේ.

ව්‍යවස්ථාව හා ව්‍යවස්ථා සම්පාදනය
සාමාන්‍ය නීිතිය හා ව්‍යවස්ථා නීතිය එක සමාන නොවන බව හා ව්‍යවස්ථාව උත්තරීතර නීතිය වන බව පෙන්වා දුන් පළමුවැන්නා ලෙස ඇරිස්ටෝටල් සැලකිය හැකිය. වැඩවසම් රාජාණ්ඩු ක්‍රමයක් පැවති කාලයේදී රාජ්‍ය බලය රජවරුන්ට දෙවියන්ගෙන් ලැබුණු බලයක් ලෙස සලකන ලදි. එම සිද්ධාන්තයේ දාර්ශනිකයා ලෙස සැලකෙන්නේ තෝමස් හොබ්ස් (1511-1769) ය. රජයට බලය ලැබෙන්නේ දෙවියන්ගෙන් නොව මහජනයාගෙන්ය කියන සිද්ධාන්තය ඉදිරිපත් කරන ලද දාර්ශනිකයා වන්නේ ජොන් ලොක් (1632-1704)ය. ඔහුට අනුව පරමාධිපත්‍යය බලය තිබෙන්නේ මහජනයාටය. ව්‍යවස්ථාව සැලකිය යුත්තේ පාලිතයින් පාලකයා සමග ඇතිකර ගන්නා ගිවිසුමක් වශයෙනි. එම මූලධර්ම දෙක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කෙරෙහිද ආණ්ඩුකරණය කෙරෙහිද ව්‍යවස්ථා සම්පාදනය කෙරෙහිද බලපා තිබෙන ඉතා වැදගත් ප්‍රධාන මූලධර්ම දෙකක් ලෙස සැලකිය හැකිය.
එම දේශපාලන හා දාර්ශනික ප්‍රවේශයේ විවිධ වැඩි දියුණු කිරීම් පසුකාලයකදී ඇති වුවද සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම එම මූලධර්ම මත ගොඩනගා තිබෙන්නේ යැයි කිව හැකිය. එක්සත් රාජධානිය (බි්‍රතාන්‍ය) ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම විෂයෙහි වසර 1400ක් තරම් වැනි දීර්ඝ කාලයක් තිස්සේ ඉතා වැදගත් සංකල්ප හා සම්ප්‍රදායයන් බිහිකළ වැදගත්ම දේශපාලන මධ්‍යස්ථානයක් ලෙස සැලකිය හැකිය. එහි ආණ්ඩුක්‍රමය අවුරුදු 1400ක් තරම් කාලයක් තිස්සේ ඇතිවූ පරිණාමයක ප්‍රතිඵලයක් වන අතර එය නෛසර්ගිකව වර්ධනය වූවක් ලෙසද සැලකිය හැකිය.
එක්සත් රාජධානිය ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නැති රටවල් පහෙන් එකක් ලෙසද සැලකිය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නැති අනෙක් රටවල් හතරවනුයේ කැනඩාව, නවසීලන්තය, ඊශ්‍රායලය හා සෞදි අරාබියයි. විධිමත්ව ලේඛනගත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඒ රටවලට නැතත් ආණ්ඩුකරණයට අදාළ අණපනත් හා නීති ඒ රටවලටද ඇත්තේය. එක්සත් රාජධානියේ ආණ්ඩුක්‍රමයට ලිඛිත කොටසක් සේ ම අලිඛිත කොටසක්ද තිබෙන්නේය. ලිඛිත කොටස සමන්විත වන්නේ ප්‍රඥප්ති, පෙත්සම්, පාර්ලිමේන්තු පනත්, අධිකරණ තීන්දු හා රාජ්‍ය පාලනය පිළිබඳ ලියැවුණු ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ යනාදියෙනි. අලිඛිත කොටස සම්ප්‍රදායයන්ගෙන් හා පොදු නීතියෙන් සමන්විත වේ.
ඇමරිකා එක්සත් ජනපදය ලිබරල් න්‍යායවාදය අකුරටම පිළිපදිමින් ලිඛිත ව්‍යවස්ථාවක් සකස් කරගත් පළමු රට ලෙස සැලකිය හැකිය. ඒ 1784දීය. එතැන් සිට අද දක්වා විවිධ රටවල් සඳහා සකස් වී තිබෙන ලිඛිත ව්‍යවස්ථා සංඛ්‍යාව 200කටත් වැඩිවිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටක්ම පාහේ ව්‍යවස්ථා සම්පාදනය කරගෙන ඇත්තේ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් මගින් හෝ ව්‍යවස්ථාදායකය විසිනි. ව්‍යවස්ථා සම්පාදනය මහජනයාගේ පරමාධිපත්‍යය බලයට අදාළ දෙයක් වන නිසාම (විශේෂ තත්ත්වයක් යටතේ ජපානය හැර) සියලුම ව්‍යවස්ථා සම්පාදනයන් සිදුවී තිබෙන්නේ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය හෝ ව්‍යවස්ථාදායකවලදීය. මහජන සහභාගි මාදිලිය ව්‍යවස්ථා සම්පාදනයේ 21 වැනි සියවසේ පිළිගත් මාදිලිය වන අතර, ඒ මාදිලිය තුළ ව්‍යවස්ථා සම්පාදනයට මහජනයාටද ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගැනීමක් සිදුවේ.

ජපන් ව්‍යවස්ථාව
ජපානයේ ඇතිවූ තත්ත්වය පමණක් අන් රටවලට වඩා වෙනස්ය. ජපානය දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජය වූ පසුව 1945දී මැක් ආතර් සෙනවියා ජපානය සඳහා මිත්‍ර රටවල උත්තරීතර අණදෙන නිලධාරියා වශයෙන් පත් කරන ලදි. ජපානය අනාගතයේ ලෝක සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් නොවන තැනක තබා ගැනීම හා එහි වගකීම් සහිත ආණ්ඩුවක් ස්ථාපනය කිරීම මැක් ආතර් සෙනවියා වෙත පවරා දී තිබූ ප්‍රධාන වගකීමක් විය.
අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලෙස සෙනවියා ජපන් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ. හොඳ ව්‍යවස්ථාවක් තිබෙන නිසා අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව ජපන් අගමැතිවරයාගේ මතය වී තිබේ. එයට එකඟ වී නැති සෙනවියා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලෙස අගමැතිවරයාට නියෝග කර තිබේ. ඒ අනුව ව්‍යවස්ථාදායකයේ කමිටුවක් පත් කොට කෙටුම්පතක් සකස් කර ඇතත්, එයද මැක් ආතර් සෙනෙවියාගේ සතුටට හේතු නොවීම නිසා සෙනවියා සිය මූලස්ථානයේ නිලධාරීන් ලවා ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරවා ගත්තේය. එම කෙටුම්පත උභය මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කිරීමෙන් පසුව ජපන් අධිරාජ්‍යයා විසින්ද අනුමත කිරීමෙන් පසුව 1947 මැයි 3 වැනිදා සිට එය ජපානයේ ව්‍යවස්ථාව ලෙස ක්‍රියාත්මක විය.
ඒ සියලු නිදර්ශනවලින් පෙනෙන්නේ පුද්ගලයකු විසින් හදාගත් ව්‍යවස්ථාවක් මැතිවරණයකට ඉදිරිපත් කොට ලබන මැතිවරණ ජයග්‍රහණයෙන් පසු එම ව්‍යවස්ථාව එතැන් සිට එම රටේ ව්‍යවස්ථාව ලෙස සලකන ක්‍රමයක් මොනම රටකවත් සිදුවී නැති බවය. ලොව ඉතාමත් බිහිසුණු ඒකාධිපති පාලකයකු ලෙස සැලකිය හැකි හිට්ලර් පවා එවැනි දෙයක් කර නැත. ඔහු කළේ 1933දී බලයට පත් වහාම පළමු ලෝක යුද්ධය අවසන්වීමෙන් පසු හදාගෙන තිබුණ වෛමර් ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබූ පුරවැසියන්ගේ ආරක්ෂාව සඳහා වන ඇතැම් විධිවිධින ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ඇතිව සංශෝධනය කිරීමය.
නාගානන්ද ක්‍රියාවට නගන්නට අපේක්ෂා කරන ක්‍රමය ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ව්‍යවස්ථා විරෝධී වනවා පමණක් නොව, විකාරසහගත වන බවද කිව යුතුය. එවැනි ක්‍රමයක් ලංකාව සමස්ත ලෝකයේම පිළිකුලට හේතුවන රටක් බවට පත්කිරීමට හේතුවනු ඇතිවා පමණක් නොව, දැනටමත් ලොකු අවුලක පවත්නා ලංකාවේ ආණ්ඩුක්‍රමයද මහා විගඩමක් බවට පත් කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. ප්‍රධාන මැතිවරණයකට තරග කරන්නකු හා තමා හදාගත් ව්‍යවස්ථාවක කෙටුම්පතක් මැතිවරණයකට ඉදිරිපත් කොට එම මැතිවරණයෙන් ලබන ජයග්‍රහණයෙන් පසු එම ව්‍යවස්ථාව රටේ ව්‍යවස්ථාව ලෙස සලකා ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ විට ඊළඟට බලයට පත්වන්නාටද ඒ දේ කිරීමේ අයිතිය ලැබෙන්නේය. එසේ වූ විට හැම ආණ්ඩු මාරුවකටම පසු පරණ ව්‍යවස්ථාව අහෝසි වී අලුත් ව්‍යවස්ථා ඇතිවන විහිලුකාර තත්ත්වයකට රට පත්වන්නේය. රටවල් ව්‍යවස්ථාව හදා ගන්නේ කෙටිකාලීන අර්ථයෙන් නොව දීර්ඝකාලීන අර්ථයෙනි. ඇමරිකන් ව්‍යවස්ථාව වසර 230ක් පරණය. නෝර්වේ ව්‍යවස්ථාව අවුරුදු 205ක් පැරණිය. ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අවුරුදු 171ක් පැරණිය. නාගානන්ද යෝජනා කරන ක්‍රමය ස්ථාපිත වුවහොත් ලංකාව හැම වසර 5කට වරක් අලුතෙන් ව්‍යවස්ථා හදන රටක් බවට පත්වනු ඇත්තේය.
ව්‍යවස්ථාවකදී කෙටුම්පතේ තිබෙන අන්තර්ගතය පමණක් නොව, ව්‍යවස්ථාව සම්පාදනය කෙරුණු ආකාරයද වැදගත් කොට සැලකේ. මහජන සහභාගි ව්‍යවස්ථා සම්පාදන මාදිලිය 21 වන සියවසේ පිළිගත් ව්‍යවස්ථා සම්පාදන මාදිලිය වන අතර එම මාදිලිය තුළ තිබිය යුතු වැදගත්ම සංරචක දෙක ලෙස සලකනුයේ විවෘතභාවය හා මහජන සහභාගිත්වයයි. ව්‍යවස්ථා සම්පාදනයක එහි ආරම්භයේ සිට අවසානය දක්වා එහි සිදුවන සියලුම කටයුතු මහජනයාට පෙනෙන්නට තිබිය යුතු බව හා ඒ සියලු කටයුතුවලට සම්බන්ධවීමේ ඉඩක් මහජනයාට තිබිය යුතු බව ඉන් අදහස් වේ.

සහජාත ක්‍රමය
දැන් අපට නාගානන්දගේ ඔටොක්ටනී Autochthony හෙවත් සහජාත ක්‍රමය ගැන සොයා බැලිය හැකිය.
බැලූ බැල්මට තේරුම් ගැනීමට හෝ උච්චාරණය කිරීමට පහසු නැති Autochthony යන්න ග්‍රීක පදයක් වන අතර දේශීය හෝ භූමියෙන් උපන් යන්න එහි සරල තේරුමයි. මෙම පදය ව්‍යවස්ථා සම්පාදනයේදී යොදා ගැනෙන්නේ යටත්විජිත තත්ත්වයක තිබී නිදහස ලබා ගත්, එහෙත් කිරීටයට ඇති නෛතික බැඳීමෙන් නිදහස් වීම සඳහා යොදා ගැනෙන ව්‍යවස්ථා සම්පාදන ක්‍රමවේද හැඳින්වීම සඳහාය. එම පදය යොදා ගනිමින් ඒ සඳහා වන නෛතික න්‍යාවාදය හඳුන්වා දෙන ලද්දේ හාන්ස් කෙල්සන් (Hans Kelson)

(1881-1973) විසින්ය. ඔස්ත්‍රියාවේ ව්‍යවස්ථාවේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේද ඔහුය. යටත්විජිත තත්ත්වයක තිබූ රටවලට එම යටත්විජිත හිමිකරගෙන තිබූ අධිපති රට නිදහස ලබා දුන්නේ තවදුරටත් කිරීටයට නෛතික බැඳීමක් ඇතිවන ආකාරයටය. නිදහස ලබාදීම සඳහා යොදාගත් ව්‍යවස්ථාව හෝ අන පණත් අනුව ඒ රටවල් අලුත් ව්‍යවස්ථාවක් හදාගත යුතුව තිබුණේද පරණ ව්‍යවස්ථාවට අනුකූලව යමිනි. ඒ නිසා කිරීටයට තිබෙන බැඳීමෙන් නිදහස්වීම පිළිබඳ දුෂ්කර ප්‍රශ්නයකට මුහුණදීමට ඒ රටවලට සිදුවී තිබුණි. තිබෙන ව්‍යවස්ථාවට ඇතුළත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රමයෙන් බැහැරවී කිරීටයට තිබෙන සියලු නෛතික බැඳීම්වලින් නිදහස්වීමට පුළුවන්කමක් ලැබෙන ව්‍යවස්ථා සම්පාදන ක්‍රමයක් නිදහස ලබන රටවල්වලට අවශ්‍ය වී තිබුණි. ඒ සඳහා තෝරාගත හැකි විකල්ප ව්‍යවස්ථා සම්පාදන මාර්ගයක් සඳහා මාර්ගය කියා දුන් න්‍යායවාදියා වන්නේ හාන්ස් කෙල්සන්ය. ඔහු ඒ මගින් පෙන්වා දුන්නේ පිරිසිදු නෛතික ක්‍රියාවලියක් මගින් තිබෙන නෛතික පද්ධතියෙන් අලුත් නෛතික පද්ධතියකට මාරුවිය හැකි බවය. අයර්ලන්තය කෙල්සන්ගේ එම න්‍යායවාදය අත්හදා බලන ලද පළමු රට ලෙස සැලකිය හැකිය.
බි්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස්වීම සඳහා දකුණු අයර්ලන්තයේ ජනයා කරන ලද අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් 1922 ඇති කරගත් ඇන්ග්ලෝ අයිරිෂ් ගිවිසුම මගින් දකුණු අයර්ලන්තයට නිදහස ලබාදෙන ලදි. එහෙත් දකුණු අයර්ලන්තයට ලැබී තිබුණු ව්‍යවස්ථාව අනුව දකුණු අයර්ලන්තය නෛතික වශයෙන් බි්‍රතාන්‍ය කිරීටයට බැඳී සිටි රාජ්‍යයක් විය. නාමික වශයෙන් හෝ පැවති එම පරාධීන තත්ත්වය අයර්ලන්ත නායකයන්ගේ සතුටට හේතු නොවීය. 1933දී අයර්ලන්ත ව්‍යවස්ථාදායකය සම්මත කරගන්නා ලද අණපනත් කිහිපයක් මගින් බි්‍රතාන්‍යයට තිබුණු නෛතික බැඳීමෙන් ඉවත් විය. එහෙත් බි්‍රතාන්‍යය ඊට බාධා කරන තැනකට ගියේ නැත. ඉන්පසු අයර්ලන්තය 1922 ව්‍යවස්ථාව වෙනුවට 1937දී නව ව්‍යවස්ථාවක් ඇති කර ගත්තේය.
අයර්ලන්ත අත්දැකීම්ද සැලකිල්ලට ගනිමින් හාන්ස් කෙල්සන්ගේ න්‍යාය ඉතාමත් විධිමත් ලෙස ක්‍රියාවට නගන ලද රට ලෙස සැලකිය හැක්කේ ඉන්දියාවය. බි්‍රතාන්‍ය, ඉන්දියාවට නිදහස ලබාදෙන ලද්දේ 1947 නිදහස් පනත මගිනි. ඒ පනතින් බි්‍රතාන්‍ය ඉන්දියාවට ව්‍යවස්ථාවක් හදාගැනීමේ අයිතිය ලබාදී තිබුණද පනතේ විධිවිධාන අනුව හදන ව්‍යවස්ථාවට බි්‍රතාන්‍ය ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ලබාගත යුතුව තිබුණි. ඒ නෛතික බැඳීම මගහැරීම සඳහා ඉන්දියාව කළේ නිදහස් පනතින් එන විධි විධාන නොසලකා විධිමත් ලෙස ඇතිකර ගන්නා ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් කිරීටයට කිසිම නෛතික බැඳීමක් නැති ඉන්දියාවේ මහජනයාට පරමාධිපත්‍යය බලය ලබාදෙන ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමය.
ව්‍යවස්ථා සම්පාදනයේදී ඔටොක්ටනී යන පදය යොදා ගන්නේ විදේශ බලවතුනට තිබෙන නෛතික බැඳීම නිසා පවතින ආණ්ඩුක්‍රම ව්‍යස්ථා රාමුවෙන් බැහැරට ගොස් එම බැඳීමෙන් නිදහස් වන ආකාරයට සකස් කරගන්නා ව්‍යවස්ථා සම්පාදන ක්‍රම හැඳින්වීම සඳහාය. එසේ නැතුව නාගානන්ද අර්ථ දක්වා තිබෙන ආකාරයට තමන් හදාගන්නා ව්‍යවස්ථාවක් මැතිවරණයකට ඉදිරිපත් කොට මැතිවරණයෙන් ලබන ජයග්‍රහණය ව්‍යවස්ථාවට ලැබෙන ජන අනුමැතියක් ලෙස සලකා එතැන් සිට එම ව්‍යවස්ථාව රටේ ව්‍යවස්ථාව ලෙස සලකා ක්‍රියාකරන හිතුවක්කාරී ක්‍රමයකට නොවේ. නාගානන්ද යෝජනා කරන ක්‍රමය ව්‍යවස්ථා විෂයෙහි රට අවුල් ජාලයකට තල්ලු කරන බලයට පත්වන හැම පාලකයකුටම තමන් කැමති අලුත් ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදෙන ඉතාමත් අවලස්සන නොහොබිනා ක්‍රමයක් ලෙස සැලකිය හැකිය.
නාගානන්ද සටන්කාමී සමාජ ක්‍රියාධරයෙකි. එහෙත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන ඔහුගේ දැක්ම අන්ත පසුගාමී හා ප්‍රතිගාමී එකක් ලෙස සැලකිය හැකිය.