කුඩාවැල්ල ඝාතනයේ නොමැකුණ සටහන්

ශාන්ත විජේසූරිය

කුඩාවැල්ල ධිවර වරායට උදේ 7.20 ට පමණ කාටත් හොරා කඩා වැදුණු අවි ගත් තරුණයන් දෙදෙනෙක් එම වරායේ සිටි පිරිස් වලට ඉවක් බවක් නැතිව වෙඩි තැබූහ. වෙඩි හඬත් සමග ධීවර වරායේ සිටි පිරිස් පණ බේරා ගැනීම සදහා හිස් ලූ ලූ අත දුවන්නට වූහ. වෙඩික්කරුවෝ වෙඩි වැදී බිම වැටි සිටි වයි.ජී. ලතිෆ් උදය කුමාර හෙවත් සනා සහ ආර්.ජී. ශෂික් තිවංක යන දෙදෙනා ළඟට ගොස් නැවත වෙඩි තබනවා ඇසින් දුටුවෝ සිටිති. මේ සිද්ධිය වුණේ 2018 දෙසැම්බර් 25 වැනිදාය.
පසුව ඔවුන් හොණ්ඩා ඩිස්කවරි වර්ගයේ යතුරු පැදියක නැගී නිරුපද්‍රිතව පලා ගොස් තිබේ. එම වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ මුහුණ ආවරණය වන සේ හිස් වැසුම් පැළඳ ගෙන බව සී.ටී.සී. කැමරාවල සටහන් වී ඇත. මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ වෙරළ රක්ෂණ බලකායේ ආයුධ සන්නද්ධ භටයන් දෙදෙනෙක් සහ වාරය ආරක්ෂකයකු ද වරාය තුළ රැඳී සිට ඇත. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස්, අට දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
වෙඩි වැදුණූ වයි.ජී. ලතීෆ් උදය කුමාර්, ආර්.ජී. ශෂික් තිවංක, ජේ.එම්. සමීර සහ කංකානම්ගමගේ සඳුන් චාමර යන අය රෝහලට රැගෙන යද්දී මියගොස් සිටි බව වෛද්‍යවරුන් පැවසුවා යැයි ලතිෆ් උදය කුමාරගේ මස්සිනා වන යූ. එම්. අනිල් ඉන්දික රාවය සමග පැවසීය.
වෙඩි තබා ඝාතනය කළ ලතිෆ්, තිවංක සහ සමීර කුඩාවැල්ලේ උපත ලබා එහිම ජීවත් වූවෝ වෙති. බෙලිඅත්තේ උපන් සඳුන් චාමර ජීවත් වූයේ කොළඹය. දෙසැම්බර් 25 වනදා කුඩාවැල්ල වරායට ඔහු පැමිණියේ මාළු මිලදී ගැනීමටය. චාමර පාර්ලිමේන්තුවේ සේවය කළ අයෙකි. වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ, දෙදෙනෙක් ආබාධිතයින් බවට පත්ව ඇතැයි ද අනිල් අප සමග කීය. මෙම සමූල ඝාතනය සිදුකර ඇත්තේ කොන්ත්‍රාත් පදනම මත මාකදුරේ මධුෂ්ගේ ගෝල බාලයන් විසින් බව ජාතික පුවත්පත් මෙන්ම ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය මගින් ද ප්‍රචාරය කළේය.
විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙක් ඔහුට සහ ඔහුගේ පක්ෂයට හිත පක්ෂපාතී මාධ්‍යවේදීන් කීපදෙනෙක් ගෙදරට ගෙන්වා ගෙන කුඩාවැල්ල සමූල ඝාතනයේ වගකීම මධුෂ්ගේ කණ්ඩායම මත පටවා පොලිස් පරීක්ෂණ හමස් පෙට්ටියට දමා වසා දැමීමට එම දේශපාලනඥයා විසින් ගොතන ලද මෙම අපරාධයට මධුෂ්ලාගේ සම්බන්ධයක් නැහැ. මාධ්‍ය තමයි කිව්වේ මධුෂ් සම්බන්ධයි කියලා. කුඩාවැල්ල සමූල ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රෝහිත කියලා පුද්ගලයෙක් අපි අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තියනවා. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු සුපුන් කියලා පුද්ගලයෙක්. එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව තංගල්ල විශේෂ අපරාධ එකකයේ පොලිස් පරීක්ෂක නුවන් විජේතුංග අප හමුවූ අවස්ථාවේ පැවසීය.
මධුෂ් කුඩාවැල්ල සමුල ඝාතනය මෙහෙවා ඇතැයි සමහර මාධ්‍ය ආයතන මගින් ජනතාව අතරට ගෙන ගිය තොරතුරු වැරදි බව පොලිස් පරීක්ෂණ මගින් තහවුරු කර ඇත. එසේ තිබියදීත් වැරැද්ද නිවැරදි කර අසාධාරණය වූවන්ට සාධාරණය කරනවා වෙනුවට එම ආයතන දේශපාලන අවශ්‍යතා මත මාධ්‍ය සදාචාරයන් ගණිකා වෘත්තීයේ යොදවමින් සිටී.
මෙම සමූල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මුලින් ජයවීර ලියන පටබැඳිගේ චමිල් නමැත්තකු තංගල්ල විශේෂ විමර්ශ එකකයෙන් මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව අත්අඩංගුවට ගනිද්දී චමිල්ගේ නිවසේ තිබී 9 එම් වර්ගයේ පිස්තෝලයක්, එම පිස්තෝලයට දමන ජීව උණ්ඩ තිහක් සහ ජීව අත්බෝම්බයක් සොයා ගෙන ඇත. චමිල්ව අත්අඩංගුවට ගත්තේ සමුල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිටය. එහෙත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ 9 එම් වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පමණි. චමිල්ගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් අත්බෝම්බය පොලිසිය ඔහුට නොදැමුවේ කුඩාවැල්ල ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් චමිල් හෙළි කළ නිසාද?
චමිල්ගෙන් ප්‍රශ්න කරද්දී, කුඩාවැල්ල සමූහ ඝාතනයට ආදාළව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය. ඒ අනුව පොලිසිය කසුන්ව අත්අඩංගුවට ගත්තේය. ඔහුගේ උපන් ගම කිරින්ද වන අතර කසුන් විවාහ වී ඇත්තේ බෙලිඅත්තෙනි. කසුන්ට එරෙහිව මිනීමැරුම් සහ මංකොල්ලකෑම් සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පහළොවක් පමණ විභාගවෙමින් පවතින බව බිංදු රාවය සමග පැවසීය.
කසුන්ව දින තුනක් තංගල්ල ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රඳවාගෙන ප්‍රශ්න කර ඇත. එහිදී ඔහු මහින්ද මුදලාලි ඇතුළු පවුල මරා දැමීමට කොන්ත්‍රාත් එක වළස්ගල සුපුන්ට ලබා දුන් බව පිළිගෙන තිබේ. ඒ අනුව තංගල්ල විශේෂ අපරාධ ඒකකය සුපුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වළස්ගල ඔහුගේ නිවසට ගොස් ඇත. විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් වළස්ගල සුපුන්ගේ නිවසට යන විට ඔහු නිවසින් පලා ගොස් තිබුණි.
සුපුන් නිවසින් පලා ගොස් තිබුණේ නිවසේ සවිකර තිබු සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ද විනාශ කර දමාය. එම දත්ත මකා දැමූ පුද්ගලයාද තංගල්ල විශේෂ අපරාධ ඒකකය මගින් පසුව අත්අඩංගුවට ගෙන ඇත. මකා දැමූ දත්ත පොලිසිය අයි.ටී. විශේෂඥයකු ලවා නැවත ප්‍රතිෂ්ඨාපනය කර බලද්දී, සුපුන් ගේ නිවසට ආ ගිය අයගේ තොරතුරු රැසක් ලබා ගැනීමට විශේෂ අපරාධ ඒකකය සමත් විය.
සුපුන් මාර්ග සංවර්ධන අධිකාරියේ රියදුරකු වශයෙන් සේවය කර ඇත. ඔහුව එම අධිකාරියේ රැකියාවට දමා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂය. සුපුන් නිල් බලකායේ සාමාජිකයෙකි. අපරාධ සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් ඔහුගේ නම පොලිස් පොත්වල පවා ලිය වී තිබේ. තංගල්ල විශේෂ අපරාධ කොට්ඨාසය මගින් රෝහිත කුමුදු කුමාර සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ සුපුන්ගේ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කර ලබාගත් තොරතුරු මතය.
පසුව රෝහිතගෙන් ප්‍රශ්න කරද්දී, කුඩාවැල්ල සමූහ ඝාතනය සඳහා යතුරු පැදිය පදවාගෙන ගියේ ඔහු බවට පිළිගෙන ඇත. මෙම සමූහ ඝාතනයට සහායකු වශයෙන් රෝහිතව සම්බන්ධ කරගෙන ඇත්තේ සුපුන්ය. ඔහු රෝහිතට ලක්ෂ පහක අත්තිකාරම් මුදලක් වැඬේට පෙර ලබා දී ඇත. රෝහිත යුද හමුදා විශේෂ බලකායට අනුයුක්තව අවුරුදු හතරක් සේවය කොට පලා ආ අයෙකි.
මෙම ලිපිය ලියන මොහෙත වන විටත් කුඩාවැල්ල සමූහ ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු වන සුපුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී නැත. ඔහුව රටින් පැන්නුවාද? නැතිනම් සුපුන් ජීවතුන් අතර සිටිනවා? යන්න පිළිබඳව ගැටලුවක් පවති.
මහින්ද මුදලාලි ඇතුළු බිංදු සහ ලතිෆ් මරා දැමීම සදහා කසුන්ට කොන්ත්‍රාත් එක ලබා දුන් දේශපාලනඥයකුගේ සහ තවත් කිපදෙනෙක්ගේ ද නම් ඔහු විසින් හෙළි කළ බව තංගල්ල පොලිසියේ වගකිවයුතු නිලධාරියෙක් මහින්ද මුදලාලි සමග පවසා ඇත.
පසුව කසුන්ගේ පාපොච්චාරණය අනුව පුද්ගලයන් කීපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල විමර්ශන එකකයේ ස්ථානාධිපති විජේතුංග තවත් නිලධාරීන් කිපදෙනෙකු සමග කුඩාවැල්ලට ගොස් ඇත. ඒ අතර වාරයේ කසුන් පොලිසියෙන් පැන ගොස් ඇත. එම ආරංචිය ලැබුණු විජේතුංග හිස් අතින් නැවත පොලිසියට පැමිණ ඇත. ඔහු පැන්නාද? නැතිනම් දකුණේ මැර දේශපාලන මාෆියාවට සම්බන්ධ නිලධාරියකු විසින් කසුන්ව පැන්නුවාද?
කසුන්ගේ පැන යෑම සම්බන්ධයෙන් තංගල්ල විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති විජේතුංග පවසන්නේ මෙවැනි කතාවකි.
“අපි කසුන්ව අත්අඩංගුවට ගත්තේ නැහැ. කුඩාවැල්ල සිද්ධියට අදාළව කසුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් අපට සැකයක් මතුවුණා. අපි ඔහුව පොලිසියට කැඳෙව්වා. ඔහු පොලිසියට ඇවිල්ලා හිටියා. පස්සේ මම එනකම් කසුන්ට පොලිසියේ ඉන්න කියලා, රාජකාරි කටයුත්තක් සඳහා එළියට ගියා. මම එනකොට ඔහු පොලිසියේ හිටියේ නැහැ.”
විජේතුංග එසේ පැවැසුව ද කසුන්ව බාරව සිටි තංගල්ල විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයකුගේ ද වැඩ තහනම් කර ඇත. කසුන්ව අත්අඩංගුවට ගත්තේ නැතැයි විජේතුංග ගසන්නේ පට්ටපල් කෙබරයකි. විජේතුංග කසුන්ව අත්අඩංගුවට ගෙන, ඒ බව පොලිස් පොතේ සටහන් නොතබා නීති විරෝධී ලෙස රහසිගත ස්ථානයක රඳවා ගෙන සිට ඇත.
පොලිසිය නීතියට පිටින් කටයුතු කරන්නට යෑම නිසා කුඩාවැල්ල සමූහ මිනිස් ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන කසුන්ට පැන යැමට අවස්ථාවක් උදා විය.
සුපුන් සහ රෝහිත කුඩාවැල්ල ධීවර වාරයට කඩා වැදී වෙඩි තබන අවස්ථාවේ කසුන් සිට ඇත්තේ චමිල්ගේ නිවසේය. ධීවර වරාය පැත්තෙන් රතිඤ්ඤා හඬ ඇසෙනවා යැයි චමිල් ගේ නංගි පවසද්දී නැහැ ඒ ඇසෙන්නේ රතිඤ්ඤා හඬක් නොව වෙඩි තබන හඬක් යැයි කියමින් කසුන් සෙරෙප්පු දෙක ද මග ගලවා දමා දුව ගොස් ඇත.
පසුව පොලිසිය චමිල් ධීවර වරාය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට පැමිණි අවස්ථාවේ චමිල්ගේ නංගි මේ ගැන පොලිසියට පවසා ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය චමිල් ගේ නංගිගෙන් කටඋත්තරයක් ලබා ගෙන ඇත.
කසුන් තංගල්ලෙන් පැන යන්නේ තංගල්ල නගරයේ පිහිටි දේශපාලන මැදුරකටය. ඔහු එතැන් සිට රවීන්ද්‍ර උදය කුමාර හෙවත් බිංදුගේ ජංගම දුරකථනයට කතා කර පවසා ඇත්තේ තමන් හෝ දකුණු පළාත් සභාවේ අධීක්ෂණ මන්ත්‍රී ඩී.වී. උපුල් හෝ ලතිෆ් ඝාතනයට සම්බන්ධ නැති බවත් මේ සියලු ඝාතනවලට වගකිව යුත්තේ චමිල් බවත්ය.
මහින්ද මුදලාලි හෝ බිංදු හෝ ලතිෆ්ගේ ඝාතනයට පළාත් සභා මන්ත්‍රී උපුල් සම්බන්ධ යැයි කියන්නට ගියේ නැත. එහෙත් කසුන් කලබල වී ලතිෆ්ගේ ඝාතනයට තමන් හෝ උපුල් හෝ සම්බන්ධ නැතැයි බිංදුට දුරකතනයෙන් කතා කර කීම, හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමකි.
තංගල්ල නගරයේ නිවාසයකට තමන්ව රැගෙන ගොස් දින නමයක් රඳවාගෙන පහර දී ප්‍රශ්න කළ බවත් එහි දී කුඩාවැල්ල සමූහ ඝාතනයට පළාත් සභා මන්ත්‍රී උපුල් සම්බන්ධ යැයි ප්‍රකාශයක් කරන්නැයි තමන්ට තංගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති විජේතුංග තර්ජනය කළ බව පසුගියදා මාධ්‍ය හමුවක් තබමින් කසුන් ප්‍රකාශ කර සිටියේය.
තමන් රඳවාගෙන සිටි රහසිගත ස්ථානයට පොලිසිය පුද්ගලයින් පැහැර ගෙන ඇවිත් වධබන්ධන දී ප්‍රශ්න කරන බවත් ඔහු හෙළි කළේය. පැහැරගෙන ගොස් රඳවා තබාගෙන වධබන්ධන පැමිණුවා යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති කසුන් මානව හිමිකම් කොමිසමේ ද පැමිණිල්ලක් දමා ඇත.
කසුන්ව තංගල්ල දේශපාලන මැදුරෙන් කුරුණෑගලට රැගෙන යන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. එම මන්ත්‍රීවරයා ඔහුව රැගෙන යන්නේ, කුරුණෑගල වැඩිම තැබෑරුම් සංඛ්‍යාවකට හිමිකම් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගේ නිවසටය. එහි දී කසුන්ට නීතිඥ දොළවත්ත මුණ ගස්වා ඇති බවත් පසුව කසුන් මානව හිමිකමි කොමිසමට පැමිණිල්ලක් දමන්නේත්, ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන්නෙත් එදිනම සවස මාධ්‍ය හමුවක් පවත්වන්නේත් දොළවත්ත ගේ උපදෙස් අනුවය. මෙම මාධ්‍ය හමුවට දොළවත්ත ද සහභාගි විය. නීතිඥ දොළවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතිඥයාය.
මාධ්‍ය සංදර්ශනයෙන් පස්සේ කසුන් අතුරුදහන් විය. පෙබරවාරි 28 වනදා කෑගල්ල පොලිසිය මගින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගත් බව ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කළේය.
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සැකය පහව ගිය පසු නිදහස් කිරීම හෝ එසේ නිදහස් කිරීමට නොහැකි පුද්ගලයෙක් නම් එම සැකකරුගේ තොරතුරු අනාවරණය කරගන්නා තෙක්, රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පොලිසිය අනුගමනය කරන සමාන්‍ය ක්‍රමවේදය වේ.
කසුන් කෑගල්ල පොලිසියට හෝ කෑගල්ල අධිකරණයට අවශ්‍ය පුද්ගලයෙක් නොවේ නම්, ඔහු තංගල්ල පොලිසියෙන් පැන ආ බව ප්‍රකාශ කර තිබියදීත්, කුඩාවැල්ල සමූහ ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය ප්‍රශ්න කිරීම සදහා සොයමින් සිටින බව දැන දැනත් කසුන්ව තමන්ට බාර නොදී දිගින් දිගටම රිමාන්ඞ් කිරීම අසාමාන්‍ය සිද්ධියක් බව පොලිස් පරීක්ෂක විජේතුංග අප සමග වැඩිදුරටත් පැවැසීය.
මෙම සමූල ඝාතනයේ ඝාතකයන් අල්ලා ගැනීම සඳහා තංගල්ල විශේෂ අපරාධ ඒකකයට උපදෙස් දෙමින් කටයුතු කළ, හම්බන්තොට දිස්ත්‍රිකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මාරු කිරීමට තැත් කිරීම ද මෙම නාටකයේම කොටසකි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුදැනුම යටතේ එම මාරුවීම සිදුකර ඇති බවත් පසුව ජනාධිපතිවරයාගේ සමීපතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ඉල්ලීම මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මාරු කිරීම අවලංගු කර ඇති බවත් දැන ගන්නට ලැබේ.
තිරයෙන් පිටුපස සිට මෙහෙයවූ කුඩාවැල්ල සමුහ ඝාතනයේ දේශපාලන භුමිකාව පොළා පැන ඇත.
පළාත් සභා මන්ත්‍රී උපුල් ලතිෆ් ඝාතන සිද්ධියට සම්බන්ධයක් නැතිනම්, කුඩාවැල්ල සමූහ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඝාතකයන් වෙනුවෙන් රැයක් දවාලක් නොමැතිව තාත්තලා පුතාලා වෙහෙසෙන්නේ මන්ද යන්න අගතියට පත් මහින්ද මුදලාලිගේ පවුල නගන ප්‍රශ්නයකි.
මන්ත්‍රි උපුල් මහින්ද මුදලාලි ගේ මස්සිනා වේ. ජන්දවල දී මහින්ද මුදලාලි සහ ඔහුගේ බාල පුත් වයි.ජී. මහේෂ් උදය කුමාර හෙවත් කලනි පොඞ්ඩා උපුල්ට ලක්ෂ ගණන් අත දිග හැර වියදම් කළේය. උපුල් ලක්ෂ ගණන් අතමාරු කරගත්තේ වෙඩි තබා ඝාතනය කළ ලතිෆ් ගෙනි. ලතිෆ්ව ඝාතනය කරන්ට පෙර ඔහු උපුල්ට ණයක් වශයෙන් ලක්ෂ පහලොවක මුදලක් දී ඇතැයි ලතිෆ් ගේ සහෝදරයෝ පවසති.
මෙම ඝාතනයට පෙර ඔවුන් අතර කුල ඥාතීත්වයට අමතරව කුළුපගු මිත්‍රත්වයක් ද පැවත ඇත. මුල දී මෙම සමුහ ඝාතනය මධුෂ් ගේ ගිණුමට බැර කර එම ඝාතනයේ සැබෑ වගකිව යුත්තන් වසන් කිරීමට සමහර මාධ්‍ය කොන්ත්‍රාත් එකක් බාර ගෙන තිබුණි.
මෙම සමුහ ඝාතනයට දවස් ,සති. සහ මාස ගණන් ගෙවෙද්දී, එම සමුහ ඝාතනය පිටුපස සිටින්නේ පළාත් සභා මන්ත්‍රි ඩී.වී. උපුල් යැයි ලතිෆ් ගේ ඥාතින් මෙන්ම කුඩාවැල්ල ජනතාවද චෝදනා කරන්නට පටන් ගෙන ඇත. ඔහුට එල්ල වී ඇත්තේ බරපතළ චෝදනාවකි. එම චෝදනාව සම්බන්ධයෙන් උපුල් රාවයට කියන්නේ මේ වැනි කතාවකි
කුඩාවැල්ල සිද්ධියට මා සම්බන්ධ කියලාගමේ අය කියනනේ පොලිසියෙන් කියපු නිසා. කසුන් කියලා පුද්ගලයෙක්ව පැහැර ගෙන ඇවිල්ලා, දින නමයක් රහසිගත ස්ථානයක රඳවාගෙන පහර දීලා කියලා තියෙනවා ඩී.වී. උපුල් කුඩාවැල්ල සිද්ධියට සම්බන්ධ යැයි කියන්න කියලා. අයි.පී. විජේතුංග තමයි කසුන්ට එහෙම කියලා තියෙන්නේ. පොලිසිය කියන්නේ ජාරාවට වැඩ කරන පිරිසක්. මේ ඝාතන සිද්ධියට මම තංගල්ල පොලියේ හැමෝම කියලා තියෙනවා මේ ඝාතන සිද්ධියට මම සම්බන්ධයි කියලා. අපට විරුද්ධ දේශපාලන පක්ෂයකින් විජේතුංග සල්ලි අරගෙන මේ වැඬේ කළා වෙන්න පුළුවන්. මගේ පුතාගේ වාහනයට කුඩු දාන්න හැදුවා. මැරුණු ලතිෆ්ගෙන් මම ගනුදෙනු පවා අරගෙන තියෙනවා. මහින්ද මුදලාලිට බෝට්ටු තියෙනවා. කොමිස් ගන්නවා, මට බෝට්ටුත් නැහැ. කොමිස් කරන්නෙත් නැහැ. මහින්ද මුදලාලි කරන ව්‍යාපාර මම කරන්නේ නැහැ. ඒ නිසා අපි දෙගොල්ලෝ අතරේ ප්‍රශ්නයකුත් නැහැ. මහින්ද මුදලාලි කියන්නේ මගේ මස්සිනා. මැරුණ සමීර මගේ බාප්පාගේ දුවගේ පුතා වෙනවා. මගේ හැමදේටම යන කොල්ලා. මම අපේ රැලේ නායකයා. රැලේ නායකයා විධියට ලතිෆ්ගේ අවමංගල පෙරහැරේ ප්‍රභු සේසත අරගෙන ගියේ මම. මේ සිද්ධියට මගේ සම්බන්ධයක් නැහැ. මේ ගැන පරික්ෂණයක් කරන්න කියලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලීමකුත් කළා.
පසුගියදා සිදුවූ මිනිස් ඝාතනත් සමග ඉදිරියෙදී එකින් එකා මරා ගන්නා යුද පිටියක් බවට කුඩාවැල්ල පත් වෙතැයි කුඩාවැල්ල ධීවර ජනතාව තුළ බලවත් බියක් පවති.
වෙඩි තබා ඝාතනය කළ ලතිෆ් උදය කුමාර, කලනි වෙළෙඳ ව්‍යාපාරයේ අධිපති වයි.ජී. මහින්ද මුදලාලීගේ පුත්‍රයෙකි. මහින්ද මුදලාලි දරුවන් පස්දෙනෙක්ගේ පියෙකි. ඔහුට පිරිමි දරුවන් තිදෙනෙක් සහ ගැහැනු දරුවන් දෙදනෙක් සිටියි. වෙඩි තබා ඝාතනය කළ ලතිෆ් පවුලේ හතරවැනියා වේ. ඔහුට කවුරුත් ආදරේට කතා කළේ සනා කියාය.
මහින්ද මුදලාලි කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහුගේ වෙළෙඳ ව්‍යාපාරය සතුව බහු ධීවර යාත්‍රා (ට්‍රොලර්) 21ක් ඇත. මහින්ද මුදලාලි මාළු ව්‍යාපාරිකයෙකු ලෙස කරළියට පැමිණෙන්නේ සුනාමියෙන් පසුවය.
මහින්ද මුදලාලි හා ඔහුගේ පුතුන් කෙටි කලක් ඇතුළත කුඩාවැල්ල ධීවර වාරයේ කෙළිකාරයන් බවට පත් වන්නේය. ඔවුන් යටතේ සේවකයන් එකසිය පනහක් පමණ පිරිසක් සේවය කළහ.
මහින්ද මුදලාලි මාළු විකුණා දිනකට ලබා ගන්නා කොමිස් මුදල ලක්ෂ තුනක් හතරක් විය. සමහර දවස්වලට එය ලක්ෂ පහ ඉක්ම විය.
කුඩාවැල්ල සමූහ ඝාතනය බිංදුලා අනාගතයේදී දේශපාලන වශයෙන් අභියෝගයක් වෙතැයි සිතු පිරිසකගේ වැඩකි.