කපුටා සහ කොවුලා

ටිරන් කුමාර බංගගමආරච්චි

අප්‍රේල් මාසය මෝඩයාගේ දිනය සමග හාස්‍යයෙන් මතුවන භාග්‍යවත් මාසයකි. භාරතීය කියමනකට අනුව මේ මාසය සත්‍යය හෙළිදරව් වන මාසයකි. සාමාන්‍ය කාලයේදී කොවුලාත්, කපුටාත් වෙන්කර හඳුනා ගන්නට අපහසුයි. ඒ දෙදෙනාම එකම පැහැයෙන්. එකම ශරීර ලක්ෂණවලින් යුත් කුරුල්ලෝ. එහෙත් වසන්ත කාලය එළැඹි පසු කෝකිලයා නාද කිරීම අරඹනවා. එවිට අපට කොවුලාත්, කපුටාත් වෙන්කර හඳුනා ගැනීමට හැකි වෙනවා. වසන්ත කාලය හෙවත් බක් මාසය භාග්‍යවත් වෙන්නෙ මෙන්න මේ ‘ප්‍රඥාව පහළවීම’ හේතුවන බවයි. ඉන්දියානු කියමනේ විශ්වාසය.
අපටත් මේ බක් මාසයේ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදියෝ සහ බොරු ප්‍රජාතන්ත්‍රවාදියෝ හඳුනා ගැනීමට ලැබේවා. පසුගිය කාලයේ බොරු ප්‍රජාතන්ත්‍රවාදීන් වුණේ ජනපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුය. සැබෑම ප්‍රජාතන්ත්‍රවාදියා වූයේ අගමැති රනිල් වික්‍රමසිංහය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය විය. එහෙත් එය මේ වන විට ඇත්තක්ද? මේ ඇත්ත බොරුව හඳුනා ගැනීම ලෙහෙසි නොවේ.
ජනපති සිරිසේන මහින්ද රාජපක්ෂ සමග ආණ්ඩු කරන්නට ගිවිසුම් ගැසූ පසු බොහෝ අය රනිල්ට අනුකම්පා කරන්නට හේතු වූයේ රනිල් ඒ මොහොතේ අසරණ නිසාය. මේ අසරණකමින් රනිල් ගොඩ ගියේය. ඔක්තෝබර් 26 වැනිදා සිද්ධි දාමයත් සමග මහින්ද නැත්තටම නැතිවී ජනපති සිරිසේනද අවලංගු කාසියක් විය. එහෙත් ඒ පසුබිමෙන් රනිල් උපරිම ගොඩ ගියේය. අද හොඳට හෝ නරකට ශක්තිමත් දේශපාලන ගමනක් ඇත්තේ එජාපයටමය. මේ නිසාම ඊළඟ නායකයා වෙන කවුරුත් නොව තමන්ම යැයි රනිල් කල්පනා කරනවා විය යුතුය. ඔහු ඊට උචිත විදිහට කටයුතු කරමින්ද ඉන්නවා. දේශපාලන අනාථයන් වූ ජනපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ නැවත ඒ දෙපිරිස එකතු වනවාද නැද්ද යන්න කල්පනා කරමින් කල් මරනවා. ඒ දෙපිරිස දැන් දැන් නොපෑහෙන ගාණයි. ඔවුන්ට එකට ගමනක් නැති ගාණයි ගෝඨා එනවාද? බැසිල් එනවාද? වෙන කවුරු හෝ එනවාද? නැවත සිරිසේනම ජනපති වේද? නැතහොත් මේ රනිල්ගේ කාලයද? වැනි ප්‍රශ්න මිනිසුන් හෙම්බත් කරන බොරු ප්‍රශ්නය. ඒ කුමක් වුවත්, ඒ එකට යන දේශපාලන ප්‍රවාහයකි. මේ නිසා අප්‍රේල් මාසයේදීවත් මේ අය කට ඇරි කල කොවුලාද කපුටාද කියා වෙන්කර ගත යුතුයි. එයට නම් මේ හොඳ කාලයයි. අප්‍රේල් මාසයේ කුඩුකාරයකුව එල්ලනවා එල්ලනවාමයි කියූ ජනපති සිරිසේන එල්ලන්නේ කවද්ද? කාවද කියා සිතනවාට වඩා වැදගත් ජනතාව ලෙස අපි එල්ලී ඇති ලණුපොට හයියද නැද්ද කියා සිතන එකය. කපුටයි, කොවුලයි වෙන්කර හඳුනා ගන්නා එකය. බක්මහ භාග්‍යවත් වන්නේ එවිටය.

ජිනීවා ගමන
වසරින් වසර ජිනීවා ගමනත් ලොකු කතාබහක් වී තිබේ. එහෙත් කතාවට ඇරුණු කොට දෙයක් ඉන් ඉතිරිවේද? ජිනීවා ප්‍රශ්නයේදී සිංහල සමාජය කතා කරන තරම් දෙමළ ජාතික සන්ධානය පෙනී සිටින බව පෙනේද? ඒ පිරිස මේ ප්‍රශ්නයේදී උපරිමය යොදනවා යැයි පෙනෙන්නේ නැත.
සිංහල ජනයාටත් වඩා දෙමළ ජනයාට පසුගිය සතිය වැදගත්ය. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිසාය. පසුගියදා ජිනීවාහි පැවති 40 වැනි සැසිවාරයේදී සම්මත වූ යෝජනාවේ සඳහන් වන නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් වෙත අවධානය යොමුව තිබුණු බව පෙනුණි. එයද දෙමළ ජාතියට වැදගත්ම දේ එම යෝජනාහී පළමු යෝජනාව ක්‍රියාත්මකවීමයි. එනම් යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ බවට චෝදනා නැගෙන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා, විදේශීය විනිසුරුවන් සමගින් දෙමුහුම් අධිකරණ පිහිටුවීම. එහෙත් දකුණේ දේශපාලනය ඊට කැමති නැත. මේ නිසාම මේ වසරෙත් එය සිදුවේද නොවේද යන්න ජාති දෙකටම දෙපැත්තේ සිට කල්පනා කළ හැකියි. තර්ක කළ හැකියි. මෙරට දේශපාලනයේ මෙන්ම ජිනීවා ප්‍රශ්නයේද අවසානයේ ඇත්තේ මෙරට දේශපාලන කඹ ඇදිල්ලමය. ඒවා අද මුදලට හෙට ණයට පන්නයේ වැඩ වී ඇත.
ශ්‍රී ලංකා රජය මගින් මෙම යෝජනාව සඳහා මෙවරද සම අනුග්‍රහය දක්වා සිටියද දෙමුහුම් අධිකරණයක් ස්ථාපනය කිරීමේ අදහස රජය මගින් ප්‍රතික්ෂේප කරයි. ඒ එවැනි යාන්ත්‍රණයක් සඳහා ශ්‍රී ලංකා ව්‍යවස්ථාව මගින් ඉඩ නැති බව ප්‍රකාශ කරමිනි. එහෙත් දෙමළ ජාතිය සිටිනුයේ එවැනි දෙයක් ව්‍යවස්ථාව මගින් කළ හැකි යන තැනය. දෙපැත්තට බෙදී තර්ක කරනවා හැර එන පාර ජිනීවා යන තෙක් විසඳුමක් නම් නැත. ලංකා රජයේ තර්කය එවැන්නක් ව්‍යවස්ථානුකූලව කළ නොහැකි බව වුවද දෙමළ ප්‍රජාව කියනුයේ එවැන්නක් කළ හැකි බවය. ඊට ඔවුන් පෙන්වන උදාහරණද සාධාරණය.
2005 වසරේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා විසින් ඉන්දීය විනිසුරු ජී.එන්. භගවතීගේ සභාපතිත්වය යටතේ ජාත්‍යන්තර ස්වාධීන අද්විතීයන්ගේ කණ්ඩායම (11GEP) පත් කිරීම පෙන්වයි. ඒ අනුව බලන විට විදෙස් විනිසුරුවරුන් දෙමුහුම් අධිකරණයක් පැවැත්වීමට නොහැකියාවක්ද නැත.

ජාත්‍යන්තරය විශ්වාස කිරීම
මොන දේ වුවත් තවමත් මහ ජාතිය විදිහට සිංහලයාට දෙමළ ජාතිය දිනාගැනීමට නොහැකි වූ බව කිව යුතුයි. යුද්ධයෙන් පසුව නැවත පදිංචි කිරීම් හා ඉඩම් මුදාහැරීම මෙන්ම දේශපාලන සිරකරුවන් සහ අතුරුදහන් වූවන් සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මහින්ද ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවද අපොහොසත්ය. ඒ අනුව දෙමළ ජනතාවගේ ප්‍රශ්න මේ සිංහල ආණ්ඩු මායිම් නොකරන බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ නිසාම දෙමළ ජනයා ජාත්‍යන්තර සහය ඉල්ලන තැනට තල්ලු වී ඇත.
මේ තත්ත්වය තුළ සිංහල දේශපාලන කපටින් ගාණටම දෙමළ ජාතික සන්ධානයද පත්ව ඇති බව පෙනෙන්නට ඇත. මහින්ද ආණ්ඩුව පැත්තකින් තැබූ කල යහපාලන ආණ්ඩුව සමග ගත් කල දෙමළ ජාතික සන්ධානයට ඇත්තේ පුදුමාකාර බැඳීමකි. අද දෙමළ ජාතික සන්ධානය සහ එජාපය යනු ගහට පොත්ත මෙන්ය. එහෙත් එවන් තත්ත්වයක් තුළ පවා දෙමළ ජාතික සන්ධානය දෙමළ ජාතිය වෙනුවෙන් ක්‍රියාකරනවාද යන්න ගැන කුකුසක් පවතී. ඔවුහුද දකුණේ දේශපාලකයන් තරමටම බලයට ගිජු ගිජුළිහිණියන් වී සිටිති.
අද එජාපයට දේශපාලනය කරන්නට දෙමළ ජාතික සන්ධානය වුවමනාමය. ඊට සරිලන සහාය ඔවුන්ද ලබා දේ. ඒ නිසාම ඔවුන්ද කෙරුමන් වී ඇතත්, ඒ තම ජාතිය වෙනුවෙන් ඒ ප්‍රශ්න ජය ගැනීම වෙනුවෙන් නම් නොවේ.
ඒ නිසා දෙමළ ජනයාට වුව කපුටන්, කොවුලන් හඳුනා ගැනීමට පහසු වේවායි පතමු.