පාසල වධකාගාරයක් කරන විදුහල්පති

ඉදුනිල් උස්ගොඩ ආරච්චි

කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ සිසුවකුට 2012 වසරේ කෲර ලෙස සැලකීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගුරුවරියකට බන්ධනාගාර ගතවීමට සිදුවූයේය. 2014 වසරේ දී එම පාසලේම ශිෂ්‍යාවක වූ වෙනූෂා ඉමන්දි සියදිවි හානි කරගත්තාය. මෙම සිදුවීම් සිදුවන කාලයේ කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිව සිටියේ සමන් ඉන්ද්‍රරත්නය. මේ සිදුවීම් සම්බන්ධව සිදුවීම් දෙකටම අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රධාන වශයෙන්ම මෙම විදුහල්පතිවරයාට ද චෝදනා එල්ලවේ.

2012 වසරේ දී ගුරුවරියක සිසුවාට කෲර අන්දමින් සලකද්දී විදුහල්පතිවරයා ද සිදුකර තිබුණේ එම ශිෂ්‍යයාම පීඩනයට පත් කිරීමය. ගුරුවරියගෙන් එල්ලවූ පීඩා හමුවේ දරුවා පාසල් යාම ප්‍රතික්ෂේප කරද්දී මව පාසලට ගොස් සමන් ඉන්ද්‍රරත්න විදුහල්පතිවරයාගෙන් ඉල්ලන්නේ දරුවා පාසල් ඒම ප්‍රතික්ෂේප කරන බවත්, සාමාන්‍ය පෙළ විභාගයද ළංව ඇති බැවින් ගැටලුව සම්බන්ධව සොයා බලන ලෙසය. විදුහල්පතිගේ පිළිතුර වී තිබුණේ ‘ඉගෙන ගන්න ළමයි විතරයි ඉදිරියට යන්නේ. ළමයා ඉස්කෝලේ එන්න අකමැති නම් යන පැත්තකට ඔහේ යාවිනේ’ යනුවෙනි. එම සිදුවීමට සති කීපයකට පසු පැවති දෙමාපිය රැස්වීමක් අමතමින් විදුහල්පතිවරයා පවසා තිබුණේ අම්මා කෙනෙක් පැමිණ තමන්ට උපදෙස් දෙන්න උත්සාහ කළ බවයි. ඔහු එම අවස්ථාවේ එම සිදුවීම ප්‍රසිද්ධියේ දැඩි ලෙස විවේචනය කර තිබුණි. කෙසේ වෙතත් එම සිදුවීම් අවසානයේ එම දරුවාට පාසල එපා වී අවසානයේ මානසිකව ඉතා පහළ මට්ටමකට ඇද වැටී තිබුණි. ඔහුගේ දෙමාපියන්ට ද දරුවා පත්වූ තත්ත්වය හේතුවෙන් කරදර රැසකට මුහුණ දීමට සිදුව තිබුණි. අවසානයේ දරුවාගේ පියා ද හෘදයාබාදයකින් මිය යන්නේ මෙම කරදරවල දිගුවක් ලෙසය. “අන්තිමට දරුවා ඉස්කෝලේ යෑම නතර වුණා. දරුවා මානසිකව වැටුණා. එයා අපටත් වෛර කරන්න පටන් ගත්තා. මගේ මහත්තයාත් මේ ප්‍රශ්න නිසාම හෘද රෝගියෙක් වෙලා මිය ගියා. අපේ පවුලම මේ ප්‍රශ්නය නිසා විනාශ වුණා.”එම දරුවාගේ මව පැවසුවාය. ඔවුන්ට අධිකරණයෙන් අවසානයේ සාධාරණය ඉටු වන්නේ 2019 වසරේ ජනවාරි 31වන දාය. ඒ වන විට ඔවුන්ගේ ජීවිතවල බොහෝ දේ ඔවුන්ට අහිමිවී තිබුණි. එම දරුවාටත් එම පවුලටත් සිදුවූ විනාශයට ඉන් සාධාරණයක් ඉටු වූවා යැයි කිසිවකුට සිදුවූ වරදින් ගැලවිය නොහැකිය. ඒ ඔවුන්ගේ ජීවිතවලට සිදුව තිබෙන හානීන් නැවත පියවිය නොහැකි නිසාය.

2013.07.23 දිනැති ලිපියක් මගින් කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් එවකට කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිව සිටි සමන් ඉන්ද්‍රරත්නට දන්වා තිබුණේ, 2013.05.17 වන දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් එවන ලද අංක CA/05/13/04/2960 ලිපියෙන් ‘ඔබ පාසලේ ළමුන් විවිධ හේතූන් මත කායිකව හා මානසිකව හිංසනයට පත්ව ඇති බව දන්වා ඇත. පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට සුදුසු කායික හා මානසික වාතාවරණයක් පාසල තුළ ස්ථාපිත කර ළමුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙස මෙයින් දන්වමි.’ යනුවෙනි. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කුරුණෑගල, කළමනාකරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ද එහි පිටපත් යොමුකර තිබුණි.
කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේම අධ්‍යාපනය ලබමින් සිටි වෙනූෂා ඉමන්දි ශිෂ්‍යාව සියදිවි හානි කරගන්නේ 2014 වසරේ පෙබරවාරි 5 වනදාය. එම ශිෂ්‍යාවට විදුහල්පතිවරයා දිගින් දිගටම ප්‍රසිද්ධියේ බැණ වැදී තිබූ අතර ඉතා අසභ්‍ය වචන කියමින් ද ප්‍රසිද්ධියේ බැණ වැදී තිබුණි. පෙබරවාරි 4 වන දා ද ඇය විදුහල්පතිවරයා විසින් කරන නිවේදනයකට අනුව ඔහුගේ කාර්යාලයට ගෙන්වාගෙන තිබුණි. එදින ඇය නිවසට පැමිණ තිබුණේද ප්‍රමාදවීය. ඇය සියදිවි නසා ගැනීමට පෙර තම පියාට ලියා තිබූ ලිපියේ ද දිගින් දිගටම සදහන් කර තිබුණේ පාසලේ දී විදුහල්පතිවරයා විසින් අසාධාරණ ලෙස ඇයව පීඩනයට ලක් කිරීම තවත් ඉවසීමට නොහැකි තත්ත්වයකට පැමිණ තිබෙන බවය. ඇය එම ලිපිය අවසන් කරන්නේ මෙසේය. ‘මං අද කරගන්න දෙයින් මං හිතනවා තවත් ළමයෙක්ට මේ වගේ පහත් වැඩක් වෙන්නෙ නැති වෙයි කියලා.’ එම විද්‍යාලයේ එවකට විදුහල්පති ධූරය හොබවමින් සිටි සමන් ඉන්ද්‍රරත්න විසින් විදුහල්පති කාර්යාලයට යාබදව පාසල් ශිෂ්‍යන්ට දඩුවම් දීමට කාමරයක් පවත්වාගෙන ගොස් තිබූ බව ද එම සිදුවීමත් සමග අනාවරණයවේ.

“වෙනූෂා දක්ෂ ළමයෙක්. ඇය පොත පතේ වැඩට වගේම නැටුම්, ගැයුම්, වැයුම් වැනි විෂය බාහිර ක්‍රියාකරකම් වලටත් දක්ෂ ඒ හැමදේකම ඉදිරියෙන් හිටිය ළමයෙක්. කණිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක විධියටත් ඇය තේරී පත් වුණා. එම දක්ෂතාත්, හැඩරුවත් හේතුවෙන් එම විදුහල්පතිවරයා දරුවා එක්ක තරහක් ඇතිකර ගෙන තිබෙනවා. දරුවාගෙන් නිතරම පළිගැනීමටත්, ළමයි පන්දහසක් පමණ සිටින පාසලේ රැස්වීම ඉදිරිපිට අසභ්‍ය ලෙස බැණ වැදීමටත් එම විදුහල්පතිවරයා කටයුතු කර තිබුණා. මව පාසලට ගිය අවස්ථාවේත් ඇයට කතා කිරීමට අවස්ථාව දී තිබුණේ නැහැ. මේ සිදුවීම්වලින් ඇතිවූ කළකිරීම් එක්ක තමයි දරුවා සියදිවි හානි කරගැනීමට පෙළඹී තිබුණේ.” කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු පැවසුවේය. සුදුසුකම් තිබෙන පුද්ගලයන් සිටියදී දේශපාලන සම්බන්ධතා මත මෙවැනි අය සුදුසුකම් නොමැතිවුවද පත් කර තිබෙන බවත් කෙතරම් බලපෑම් පැමිණියද එම තරනතුරුවල රැඳී සිටින බවත් ඔහු සදහන් කරයි.

එම සිදුවීමත් ඉන් පසු උද්ගතවන තත්ත්වයත් සමග වෙනූෂාගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ද මුහුණ දීමට සිදුව තිබූ ගැටලු ඛේදනීයය. ඔවුහු තවමත් ඒවායින් පීඩා විදින අතර වඩා පසුතැවිලි වන්නේ තම දියණිය වෙනුවෙන් යුක්තියක් ඉටුනොවීම මෙන්ම මේ වන විට එම විදුහල්පතිවරයා තවත් පාසලක සිසුන් මානසිකව පීඩාවට පත්කරමින් සිටීම පිළිබදවය. වෙනූෂාගේ අවසන් ප්‍රාර්ථනය වන්නේ තවත් ළමයෙකුට එවන් වරදක් සිදුනොවන්නට තමන් එම තීරණය ගන්නා බවය. එහෙත් එය එතැනින් අවසාන නොවන්නේ සමන් ඉන්ද්‍රරත්න විදුහල්පතිවරයා මීට වසරකට පමණ පෙර සිට කුරුණෑගල මලියදේව විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති ලෙස පත්වීම සහ ඒ සමග එම පාසලේද ඇතිව තිබෙන අර්බුදයන් නිසාය.

දෙමාපියන් සහ සිසුන්ද පවසන පරිදි මලියදේව විද්‍යාලයේ දී ද මෙම විදුහල්පතිවරයා ක්‍රියා කරන්නේ පෙර පුරුදු ලෙසය. පාසලේ මෙතෙක් පවත්වාගෙන ආ සම්ප්‍රදායන්ට පිටුපාමින් සහ සිසුන්ගේ මෙන්ම බොහෝ ගුරුවර ගුරුවරියන්ගේද මානසිකත්වය පහළට ඇද දමන අන්දමේ තීන්දු තීරණ ගනිමින් ඔහු කටයුතු කරන බවට ඔවුහු චෝදනා කරති. පාසලේ සිසුන්ගේ බාහිර ක්‍රියාකාරකම්, නිර්මාණශීලී කාර්යයන් පවා කඩාකප්පල් කර දැමීමට ඔහු කටයුතු කර තිබුණි. ඇතැම් දෙමාපියන් ළමා ආරක්ෂණ අධිකාරියේ උපදෙස්ද ලබා ගෙන තිබුණේ මෙම විදුහල්පතිවරයා තමන්ගේ දරුවන්ට සිදු කළ අසාධාරණකම් සහ එල්ල කළ පීඩා වලට විසදුම් නැති තැනය. සිසුන් සහ දෙමාපියන් ජාතික ළමා රක්ෂණ අධිකාරියට මෙම ගැටලු සම්බන්ධව ලිඛිතව ද දන්වා තිබුණි. ඇතැම් දෙමාපියන් පාසලට ගොස් විදුහල්පතිවරයා හමුවී සාකච්ඡා කිරීමට උත්සාහ කර තිබුණත් ඔහු විසින් ඊට ඉඩක් ලබා නොදෙමින් දෙමාපියන්ට සවන් නොදෙමින් කටයුතු කළ බව ඇතැම් දෙමාපියෝ අප සමග පැවසූහ. අවසානයේ ළමා ආරක්ෂණ අධිකාරියේ ද උපදෙස් මත තම දරුවන්ට සාධාරණය ඉටු කිරීමට ඇතැම් මව්වරුන්ට පොලීසියට පැමිණිලි කිරීමට පවා සිදුව තිබුණි. එවැනි අවස්ථාවක විදුහල්පතිවරයා පොලීසියේ දී පවසා තිබුණේ එම සිදුවීමට අදාළ ශිෂ්‍යයාට තමා එලෙස සැලකීමට හේතුව ශිෂ්‍යයා විසින් විදුහල්පතිවරයා අකමැති ගුරුවරියකගෙන් උත්සව සභාවක් ඇමතීමේ කතාවක් සකස්කිරීමේදී උපදෙස් ලබාගෙන තිබීමය. මේවා එක්තරා අතකට හාස්‍ය ජනක දේවල් ලෙස පෙනේ. එහෙත් ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන පාසලක විදුහල්පතිවරයකු මෙලෙස ක්‍රියා කිරීම එම පාසලේ දරුවන්ට බලපාන්නේ හාස්‍ය ජනක ලෙස නොවේ. ඇතැම් දෙමාපියන් පැවසූ පරිදි සමහර සිසුන් උපදේශනය සදහා ද යොමු කරවීමට ඔවුන්ට සිදුව තිබුණේ පාසලේ දී විදුහල්පතිවරයා විසින් එල්ලකරන පීඩනය දරාගැනීමට දරුවන්ට නොහැකිවූ බැවිනි. ඇතැම් සිසුන්ට මෙම විදුහල්පතිවරයා එල්ල කළ මානසික පීඩනය හමුවේ හිසේ කෙස් පවා ගැලවී යාමට පටන් ගත් බැවින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ අයුරු තවත් මවක් පැවසුවාය.

පාසල හදන්න යැයි පවසමින් මෙම විදුහල්පතිවරයා මලියදේව විද්‍යාලයට පත් කර තිබෙන්නේ ද දැන් ඔහු සුපුරුදු පරිදිම අත්තනෝමතික පාලනයක් ගෙන යමින් සිටින්නේ ද ඔහුට ඊට අවශ්‍ය දේශපාලන රැකවරණය ද ලැබෙන නිසා බව පෙනෙයි. “මේ විදුහල්පතිවරයාට පෞරුෂයක් තියන ළමයි පේන්න බැහැ. තව කොයි ළමයා බිල්ලට යාවිද දන්නේ නැහැ. සමහර දෙමාපියන් මේවා ගැන සොයන්නේ බලන්නේ නැති අවස්ථා තියනවා. එහෙම ළමයින්ට මේවා කියන්න කෙනෙක් නැහැ, දරා ගන්න බැහැ. මේ දේවල් තවත් වෙන්න දීලා වගකිව යුතු අය බලාගෙන ඉන්නවා. වෙනූෂා වගේම තවත් දරුවෙක්ගේ ජීවිතයක් අවසන් වුණොත් මාධ්‍යත් ඒක මුල් පුවත කර ගනීවි. ඒත් දෙයක් වෙන්න කලියෙන් විසදුමක් ලබා දෙන්න කවුරුවත් උත්සාහ කරන්නේ නෑ.” ඒ මලියදේව විද්‍යාලයේ සිසුවෙකුගේ මවක් අප සමග පැවසූවකි.
එම විදුහල්පතිවරයා සිසුන් පමණක් නොව ගුරුවර ගුරුවරියන් ද මානසිකව පීඩනයට ලක් වන අන්දමේ කටයුතු සිදු කරන බවට ඇතැම් ගුරුවරු චෝදනා කරති. ඇතැම් ගුරුවරු සමග අමනාපකම් නිර්මාණය කරගනිමින් එම ගුරුවරුන්ගේ උදව් ඇතිව සිසුන් යම් නිර්මාණයක් කරයි නම් ඒවාද කඩාකප්පල් කිරීමට එම විදුහල්පතිවරයා කටයුතු කරමින් සිටින බව ඇතැම් ගුරුවරු පවසති. දෙමාපියන් චෝදනා කරන්නේ වසරකට පමණ පෙර වැඩ බලන විදුහල්පතිවරයෙකු ලෙස මෙම විදුහල්පති පත්වූ පසු ඇති වූ වාතාවරණය පිළිබදව අධ්‍යාපන අමාත්‍යාංශයටත් ජනාධිපතිවරයාටත් ලිඛිතව දැන්වූ නමුත් සිදුවූ යහපතක් නැති බවය. ජාතික පාසල් සදහා විදුහල්පතිවරු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඉදිරියේදී පැවැත්වෙන බැවින් එහිදී මෙම විදුහල්පතිවරයා ඉවත්වනු ඇති බැවින් එතෙක් ඉවසන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැවසූ බව දෙමාපියෝ කියති.

“මේ විදුහල්පතිවරයා මම දන්නා කෙනෙක්. මම වැඩ සිටින පන්සල ඉදිරිපිට දවසක් රෑ මේ විදුහල්පතිවරයා ආව වාහනයක ළමයෙක් හැප්පිලා අනතුරක් සිදුවුණා. ඒ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර ප්‍රශ්නය විසඳාගන්න මමත් උදව් කළා. ඒ අවස්ථාවේ විදුහල්පතිවරයා බීමත්ව රිය පැදවූ බව දැනගැනීමට ලැබුණා. මම හිතන්නේ මොහු කවදාවත් හැදෙන්නේ නැති අයෙක්. තමන්ගේ තනතුර මුල්කරගෙන අනෙක් අයට ඉතාම පහත් සහ නින්දා ලෙස සලකන කෙනෙක් බව දැන් ඔප්පු වී ඉවරයි. ළමයි කීපදෙනෙක්ම මම හමුවී කියූ දේවල් අහද්දී ඇයි මේ පුද්ගලයා ළමයින්ට එවැනි දේවල් කරන්නේ කියලා මට කළකිරීමක් ඇති වුණා. මම ඒ ළමයි පොලීසියට යොමු කළේත් නැහැ, මොකද පොලීසියට යොමු කළත් වැඩක් නැහැ. පොලීසියේ ඉන්නේ පාසලේම ආදි ශිෂ්‍යයෝ. ඒ අය බලන්නේ පාසලේ නම රැක ගැනීමට මිස මේවාට විසදුම් දීමට නොවෙයි. ඒත් ළමයින්ට සිදුකරන මේ හිංසනය නැවැත්විය යුතුයි. විදුහල්පතිවරයෙක් මේ විධියට හැසිරෙද්දී ළමයින්ට ඒවා දරා ගන්න බැහැ. ඒ නිසා සියදිවි හානිකරගැනීමට පවා ඉඩ තියනවා. මම දන්නා එක් ළමයෙක් මේ වන විටත් උපදේශනය ලබා ගන්නවා. ළමා ආරක්ෂණ අධිකාරියටත් තොරතුරු ලබා දී තිබෙනවා. ළමයින්ට හිංසා කරන මෙවැනි අය මේ ආයතනවල තැබීම සුදුසු නැහැ. වගකිව යුතු අය මේ ගැන සොයා බලා මෙවැනි අය ඒවායින් ඉවත්කර සුදුසු අය පත් කළ යුතුයි. එසේ නොවුණොතින් තවත් ළමයින්ගේ ජීවිත අනතුරක වැටෙනවා. ඔනෑම මොහොතක ළමයින් වෙනුවෙන් අපි පෙනී සිටින්න සූදානම්.” ඒ කුරුණෑගල ප්‍රදේශයේ හිමිනමක් රාවයට කළ ප්‍රකාශයකි.

එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ වැඩබලන විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න රාවයට පැවසුවේ මෙවැන්නකි. “මට කියන්න තියෙන්නේ මම එද්දී තිබුණු පාසල නෙමෙයි දැන් තියෙන්නේ, මම ඒක තවදුරටත් විධිමත් කරලා තියනවා. ඒ වගේම මම ළමයින්ගේ අධ්‍යාපනය, ක්‍රීඩා, විනය ගැනත් අවදානය යොමු කරලා තියනවා. සමහර ළමයින්ට ගැලපෙන්නේ නැති වැඩසටහන් මම නවත්වලා තියනවා. සමහර ළමයි, දෙමාපියෝ මම එක්ක අමනාප වෙන්න පටන් ගත්තේ එතැනින්. හැබැයි අලුත් වැඩ ගොඩක් මම ඉස්කෝලේ පටන් ගත්තා මිසක් නවත්වලා නෑ. මම ඇවිත් ක්‍රීඩා, සංවිධාන රාශියක් පාසලේ පටන් ගත්තා. ළමයින්ට ඒවාට පහසුකම් මම සපයා තිබෙනවා. කීපදෙනෙකුගේ අවශ්‍යතා ඉටු වුණේ නැති නිසා මේවා කියනවා.”
ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ද ඔහුට මෙවැනි චෝදනා සම්බන්ධයෙන් ලිඛිතව දන්වා තිබෙන අතර දෙමාපියන්, සිසුන් විවිධ ආයතනවලට පැමිණිලි කිරීම් සම්බන්ධයෙන් විමසූ විට ඔහු දැක්වූයේ මෙවැනි පිළිතුරකි. “මෙහෙම දෙයක් තියනවා. සමහර අවස්ථාවල සමහර දේවල් අපිට තදින් බලන්න වෙනවා. ළමයි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන නිසා මම සපත්තු පවා ගලවලා ඒවා ගේනවාද බලනවා. එහෙම ගෙනාව ළමයි පුනරුත්ථාපනය කරලාත් තියනවා. විභාග පාස් කරවලා තියනවා.” පාසලේ ළමයින්ට අසභ්‍ය ලෙස බැණ වැදීම වරදක් ලෙස තමාත් පිළිගන්නා අතර තමන් එලෙස බැණ වැදුනා යැයි නොසිතන බව ද ඔහු පවසයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ සමන් ඉන්ද්‍රරත්න කියන පුද්ගලයා කුරුණෑගල ජෝන් කොතලාවල පාසලට පැමිණෙන්නේ ද හමුදා නිළයක් තිබෙනවා යැයි කියා ගනිමින් පාසල හදන බව කියමින් බවය. එවැනි නිළවලින් සෑදිය හැක්කේ හමුදාව මිස පාසල් නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය. “ඒ පාසලේ වෙනමම කළුවර කාමරයක් පවත්වාගෙන යමින් ළමයි බය කරගනිමින් ඔහු කටයුතු කර තිබුණා. ළමයි බය කර හදන්න බැහැ කියන එකට හොදම උදාහරණයක් බවට එම පුද්ගලයාගේ ක්‍රියා කලාපය පත්ව තිබුණා. එයින් ළමයි දෙදෙනෙකුගේ ජීවිතවලට හානි වුණා. එක් අයෙකුගේ ජීවිතයත් නැති වුණා. ඒ වගේම ඒ පවුල්වල අනෙකුත් සහෝදරියන්ටත් මේවා නිසා හානි සිදුවුණා. ළමයින්ගේ පැත්තෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරනවා වෙනුවට අධ්‍යාපන අමාත්‍යාංශයත් මෙවැනි පුද්ගලයන් රැකීමට කටයුතු කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වගේ දේවල් සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂණ වෙන්නේ නැහැ. මෙවැනි ප්‍රශ්නවලටදී ඇත්තට මැදිහත් වෙනවා නම් අධිකරණවලට නොගොස් ගුරුවරුන්ටත් දඩුවම් විදීමට සිදුනොවන විධියට මේවා නිරාකරණය කරගන්න පුළුවන්. ළමයි සුරක්ෂිත වන ආකාරයේ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නැහැ.”ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේය.

පාසල්වල දී දරුවන්ට එල්ලවන දැරිය නොහැකි පීඩන හමුවේ ඔවුන්ගේ අධ්‍යාපනය කෙසේ වෙතත් ජීවිත ද තිබෙන්නේ අනතුරේය. ඇතැම් දරුවන්ට මෙවන් සිදුවීම් හමුවේ දිරි දීමට කිසිවෙකු නොසිටිය හැකිය. අමානුෂික අන්දමින් සැලකීම් දරුවන්ගේ මනසට දරා ගත හැකි වන්නේ එක්තරා සීමාවක් දක්වා පමණකි. පාසල්වල සිටිය යුතු වන්නේ දරුවන්ගේ කුසලතාවයන් හදුනා ගනිමින් ඔවුන්ගේ අධ්‍යාපනය මෙන්ම මානසික මට්ටම ද පෞරුෂයද ඉහළට එසවිය හැකි අන්දමේ මානසිකත්වයක්, පුහුණුවක් සහිත විදුහල්පතිවරු සහ ගුරුවරුය. එසේ නොමැතිව දේශපාලන බලය මත පත්වන නුසුදුස්සන් නොවේ. එවැනි වගකීම් විරහිත පත්වීම් හා පත්කිරීම් හේතුවෙන් සිදුවන විනාශය බලපාන්නේ වත්මන් පරපුරට පමණක් නොවේ. එබැවින් අදාල බලධාරීන්, පාලකයන් තමන් අතින් ඉටු විය යුතු වගකීම් වහා ඉටු කළ යුතුව තිබේ.
“මට මගේ දරුවා නැති වෙලා ඉවරයි. මගේ දරුවගේ අවසන් ප්‍රාර්ථනය වුණේත් තවත් ළමයෙක්ට මේ දේ නොවේවි කියන එකයි. තවත් දරුවෙක්ට ඒ දේ වෙන්න ඉඩ දීලා නිලධාරීන් බලා ඉන්නේ ඇයි?” වෙනූෂාගේ මව තවමත් කදුළු සලමින් විමසන්නීය.