අපරාධ කරන පොලිසිය

නිමල් අබේසිංහ

එකසිය හතලිස් නමවැනි පොලිස් සංවත්සරය සමරනු වස් 2015 වසරේ සැප්තැම්බර් 03 වන දින එවකට පළවු පුවත්පත්හි එම වසරේ පොලිස් තේමා පාඨය ලෙස දක්වා තිබුණේ නීතියයි, සාමයයි, මව්බිමේ ජීවයයි යන්නය. එම දැන්වීමෙහි තවත් උදාන වාක්‍යක් ද ඉස්මතු කර තිබුණි. රටක නිදහස ඒ රටේ සතුටයි. සතුට යනු මිනිසකු ජීවිත කාලය තුළ උපයන ඉහළම ධනයයි. පොලිසියේ අප, ඇප කැප වන්නේ ඒ සතුට නමැති ධනය ඔබ වෙනුවෙන් රැක දෙන්නටය.
කතාව නම් දොලාවෙන්ය
තකාව දෝලාවෙන් වුවත් ගමන පයින් බව ඉහත කියමන් අසන දකින කෙනකුගේ සිතට නැගෙන්නේ නම් එය පුදුමයක් නොවේ. වර්ෂ 2015 සිට 2017 දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව මෙසේ උපුටනය කළ හැකිය.
2015             2016              2017
වද හිංසා සිදු කිරීම                                                                                   311               286                251
නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම                           247              190                 198
නීති විරෝධී ඝාතන                                                                                  04                 03                  04
නීති විරෝධී ලෙස අතුරුදන් කරවීම සහ පැහැරගෙන යාම                        15                  11                  04
එකතුව                                                                                                   577               490                 457

මෙම සංඛ්‍යා ලේඛන අනුව ගතහොත් සාමාන්‍යයෙන් පෙනෙනුයේ 2015ට සාපේක්ෂව 2017 වන විට ඉහත අපරාධයන්හි අඩුවීමක් දක්නට ලැබෙව බවය. එහෙත් වධ හිංසා සිදු කිරීම් අත්අඩංගුවට ගැනීම් වැනි සිද්ධීන් වලින් සියල්ලම මානව හිමිකම් කොමිසමට පැමිණිලි වශයෙන් නොලැබෙන බව සැළකිය යුතුය. ඒ අතර සමහර වධ හිංසා කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් පිළිබද්‍ව කිසිදු ආකාරයේ වර්තා වීමක් සිදු නොවන්නේ එවැනි පුද්ගලයින් තමන්ට සිදු වූ දේ කිසිදු අයකුට නොපවසා නිශ්ශබ්දව සිටින බැවිනි.
2018 වසරේ හා 2019 වසරේ මේ දක්වා පොලිසියෙන් සිදුවූ අවනීතික ක්‍රියාවන් පිළිබඳව තවමත් ගණනය කිරීමක් සිදුව නැත. එනිසා එකී සංඛ්‍යාලේඛන ගැන කිසිදු අදහසක් අපට දැක්විය හැකි නොවේ. එහෙත් ආසන්න කාලවකවානුව තුළ පොලිසියේ ඉහළම ගණයේ නිලධාරින්ගේ සිට පොලිස් ස්ථානාධිපති සහ ඊට පහළ ශ්‍රේණිවල නිළධාරින් දක්වා පරාසයක නිලධාරින් වෙතින් සිදුවූ බිහිසුණු අපරාධ ගණනාවක් අසන්නට තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරු
කෝටිපති ව්‍යාපාරික ශ්‍යාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳ චෝදනා ලබා නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ තවත් පොලිස් නිලධාරින් පිරිසක් අධිකරණයෙන් දඬුවම් ලැබ සිරබත් කති. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තවමත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනුයේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ තොරතුරු සැඟවීම යන චෝදනාව යටතේ සැකකරුවෙකු ලෙසටය. මෙම සිදුවීම් දෙකම සිදුවන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය. එවකට මෙම ඉහළ නිලධාරින් දෙදෙනාම පෙනී සිටියේ තමන් පොලිස්පතිවරයාටත් වැඩියෙන් බලගතු අය බව ප්‍රදර්ශනය කරමින්ය. ඒ තරමටම ඔවුහු රාජපක්ෂවරුන්ගේ හුරතලුන් වී සිටියහ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළවම නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරද තවමත් සිටිනුයේ රක්ෂිත බන්ධනාගාරයේය. මෙයට අමතරව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය හා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත වූ පොලිස් පරීක්ෂකවරුන් පිරිසක්ද සිටියහ.
යාපනය විiා සිසුවියගේ සහ පැල්මඩුල්ල ප්‍රදේශයේ සිදුවූ තවත් ඝාතනයක් යන සිද්ධි ද්වය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මේ වන විටත් සිටිනුයේ රක්ෂිත බන්ධනාගාරයේය. බියගම විලේජ්හි හිමිකරුවා ඝාතන සිද්ධියට සම්බන්ධව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වන විමලසේන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තවත් පොලිස් නිලධාරියෙකි.
මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයාව සිටි අලවත්ත, පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරද්දී අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේව්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කෝපායි පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා බන්ධනාගාරගත වන්නේද එවැනි සිද්ධියකට වන අතර මේ වනවිට ඔහුට දඬුවම් නියම වී තිබේ. දිවුලපිටිය පොලිසියේද අපරාධ අංශයේ හිටපු ප්‍රධානියා අතුළු පිරිසක් තවමත් සිටිනුයේ ඝාතනයක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරයේය.
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනකු පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධියට අදාළව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් 15 දෙනකු තවමත් සිටිනුයේ රක්ෂිත බන්ධනාගාරයේය. මෙම සිද්ධියටම අදාළව එවකට දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන ද සිටිනුයේ අත්අඩංගුවට පත්වීමේ මුවවිටේය. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තවත් එවැන්නෙකි. ඔහුට එරෙහිව ඇත්තේ ජනාධිපතිවරයා සහ තවත් පිරිසත් ඝාතනය කිරීමට සැලසුම් කිරීම පිළිබඳ කුමන්ත්‍රණ චෝදනාවකි.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය ගතහොත් ඝාතන සම්බන්ධයෙන් ඉහළම නිලධාරීන් ඇතුලු සාමාන්‍ය නිලධාරීන් මෙතරම් පිරිසක් අත්අඩංගුවට පත් වු බවක් සඳහන්ව නැත. 1971සහ 1988,1989 වසර වලදී සිදුවූ කැරලි සමයන්හිදීත් උතුරේ පැවති යුධවතාවරණයේදීත් විශාල පිරිසක් මිය ගොස් තිබුණද එහිදී සිදු වූ මරණ වලට ඝාතන චෝදනා වලට පොලිස් නිලධාරීන් ලක් වී නොතිබුණි. කටකතා ඔස්සේ නම් එවැනි චෝදනා අපමණ තිබුණද ඒවා නීතිය ඉදිරියට පැමිනුණේ නැත. එහෙත් දැන් පවතින තත්ත්වය එසේ නොවේ. චෝදනා එල්ල වනවා සේම ඔවුන්ගෙන් සමහරකුට එරෙහිව නඩු පවරා වැරදිකරුවන්ව තිබේ. තවත් පිරිසක් සිටිනුයේ සැකකාර අවධියේය. තත්ත්වය එසේ වුවත් ඉහළම නිලධාරීන් පවා මිනිස් ඝාතන පසුබිමෙහි සිටීමත් ඇතමුන් වැරදිකරුවන් වී තිබීමත් සුළුකොට තැකිය හැකි නොවන දැඩි අවධානය යොමු විය යුතු බරබතළ සංසිද්ධියකි.
පෑනෙන් පොතෙන් සෙල්ලම
නීතිය ඉක්මවා ගොස් තමන්ට රිසි සේ ඕනෑම අයකුට නඩුවක් පැවරිය හැකි බවට සෑම පොලිස් නිලධාරියකු තුළම පවතින්නේ උද්දාමයකි. ඒ බව සනාථ කරවන සුලභ කතාවක් තිබේ. ‘පෑනයි පොතයි තිබෙන්නේ අපේ අතේ’ යන්නය. මේ කතාව ලඝු කොට සැලකිය යුත්තක් නොවේ. කිසිදු පොලිසියකට නොගිය අහිංසකයකුට වුව ගංජා මිටියක් හෙරොයින් පැකට්ටුවක්, කසිප්පු බෝතලයක් මතු නොව අත් බෝම්බයක් සන්තකයේ තිබුණේ යැයි චෝදනා කර උසාවියට දක්කන්නට මේ අයට අවස්ථාව තිබේ. එවැනි සිදුවීම්ද නැතිවාමත් නොවේ. එවැනි නිවැරදි පුද්ගලයකු පවා චෝදනාවලින් නිදහස් වන්නට තිබෙන අවකාශය අඩුය. එසේ තිබුණද ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවේ.
ඉහළ නිලධාරීන්ගේ අතකොළු වීම
රත්ගම සිදුවීම ගතහොත් ඔවුන් ක්‍රියාකර ඇති ආකාරය දෙස බලද්දී ඇතැමි විට ඔවුන් සිය ඉහළ නිලධාරීන්ගේ වුවමනාවට එම සිද්ධියට සම්බන්ද වූවාද යන ප්‍රශ්නය පැන නගී. එවැනි සිදුවීම් කීපයක්ම පසුගිය කාලයේදී රාවයටද වාර්තා විය. පොල්ගහවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා ශක්තික සත්කුමාර නම් නිර්මාණකරුවා අධිකරණයට ඉදිරිපත් කරමින් චෝදනා නඟා තිබෙන ආකාරය ඊට එක් නිදසුනකි.
ශ්‍රී ලංකා රජය විසින් අත්පත් කර ඇති අන්තර් ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුව 2007 අංක 56 දරන පනතේ 3 වගන්තිය යටතේ හා දණ්ඩනීති සංග්‍රහයේ 291 (ආ) යටතේ ශක්තිකට එරෙහිව චෝදනා නඟා තිබේ. විශේෂයෙන්ම 2007 අංක 56 දරණ අයි. සී. සී. පී. ආර්. පනත පනවා ඇත්තේ නිර්මාණකරණයේ යෙදෙන්නන්ට එරෙහිව ක්‍රියා කිරීමට නොවේ.
රොහල්ගතව නොසිටි පුද්ගලයකු රෝහල්ගතව සිටින්නේ යැයි අධිකරණයට ව්‍යාජ තොරතුරු දක්වමින් තවත් පුද්ලයකු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට මාතර දික්වැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා උත්සාහ දරා තිබුණේද මෙවැනිම ආකාරයටය. නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණිලි පාර්ශ්වයේ කාන්තාවන් තිදෙනකුට මහ මගදී අඩන්තේට්ටම් කරමින් අත්අඩංගුවට ගැනීමට සිය නිලධාරින් යොදවා උත්සාහ කර තිබූ සිද්ධියද එබන්දකි. එහිදී මෙම කාන්තාවන් සිදුකළ වැරැද්ද ලෙස ස්ථානාධිපතිවරයා සලකා තිබුණේ ඔවුන්ගේ පැමිණිල්ලට සාධාරණයක් ඉටු නොවූ බැවින් ගම්පහ පොලිස් අධිකාරීවරයා මුණගැසී පැමිණිලි කරන බව පැවසීමය.
වේයන්ගොඩ නායිවල උසස් තාක්ෂණ ආයතනයේ සිසුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමද මේ හා සමානම සිද්ධියකි. එය සිදුකර තිබුණේ වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාය. සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී එයට සම්බන්ධ වූ නැති බවට පැහැදිලි සාක්ෂි තිබූ ශිෂ්‍යයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම එම සිද්ධියයි. අවම වශයෙන් එදින පන්ති වලටවත් සහභාගී නොවූ බව එකී සිසුවා තහවුරු කළද ඒ ගැන මායිම් නොකර ඔහුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ කුමන හෝ බලවතකුගේ බලපෑමක් නිසා විය යුතුය.
තංගල්ලේ දිසා අපරාධ විමර්ශන අංශයද තවත් නීති විරෝධි රඳවා ගැනීමක් සිදුකර තිබූ බව තහවුරු වේ. ඒ තංගල්ලේ කුඩාවැල්ලේ සිදුවු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු දින අටක් අධිකරණයට ඉදිරිපත් නොකර රඳවා තබා ගැනීමය. මෙවැනිම සිදුවීමක් මෑත කාලයේදී මිනුවන්ගොඩ හා හුංගම පොලිසිවලින්ද සිදුව ඇති බව අසන්නට තිබේ.
නැවත ලිපියේ ආරම්භ්‍යට ගියහොත් පොලිසිය 2015 වසරේදී තමන්ගේ තේමා පාඨය තුළින් මෙන්ම උදාන වාක්‍ය තුළින්ද රටේ ජනතාවට දායාද කිරීමට උත්සාහ කළ සතුට එයාකාරයෙන්ම පුදකරන්නට අසමත් වූයේ ඇයි? එකී සංකල්පයන් අකුරු හා වචනවලට පමණක් සීමා වූවක්ද යන ප්‍රශ්නය මතුවේ. එලෙසම එය සහේතුක පැනයක්ද වේ.
නීතියෙන් එපිටට ගොස් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් කෙරෙනුයේ අපරාධ මර්දනය කිරීමට යන්න පොලිසියේ ඇතැම් පාර්ශ්ව වලින් ප්‍රතිඋත්තරය මෙහිදී ලැබෙන්නට ද පුළුවන. එය සැලකිය හැක්කේ තම නොහැකියාව වසා ගන්නට කරන උත්සාහයක් විනා ගැටළුවේ සැබෑ ස්වභාවය හඳුනාගෙන දෙන පිළිතුරක් ලෙස නම් නොවේ.
මේ ගැටළුව ආශ්‍රිතව සමාජ ආර්ථික දේශපාලනික මෙන්ම සංස්කෘතික කාරණා තිබෙන බව ඇත්තකි. එනිසා ගැටලුවට විසඳුම සැපයීමේදී මේ සියලු කාරණ සැළකිල්ලට බදුන් කළ යුතුය. එය පැවරෙන්නේ ප්‍රතිපත්ති සම්පාදකයින් වෙතය. එය සැළකිල්ලට බදුන් නොකිරීම පොලිසියට තවත් ඉහඳ පනුවන් ගැසිමට ඉඩ තැබීම විනා වෙනකක් නොවේ. මෙහිදී යල් පිනූ නීති රීති යාවත්කාලීන කිරීමද අත්‍යවශයය. උදාහරණයක් ලෙස ගතහොත් මේ වන විටත් භාවිතාවට ගැනෙන දණ්ඩ නීති සංග්‍රහය ගත හැකිය. එහි 291 (ආ) හි සඳහන් වන්නේ මහරජතුමාණන්ගේ යටත් වැසියන් ……. යනුවෙනි. වත්මනෙහි ශ්‍රී ලංකාව තුළ පවතින්නේ රාජාණ්ඩුවක් නොවේ. එහිම 251 වගන්තිය නාමකරණය සඳහන් වන්නේ ආණ්ඩුවේ කූට මුද්දර විකිණීම යනුවෙනි. එහිම 252 වගන්තියෙ නාමකරණය කූට ලෙස තැනුණු ආණ්ඩුවේ මුද්දරයක් ස්වාමීත්වයෙහි තබා ගැනීම ලෙසද 253 කූට මුද්දරයක් බව දනිමින්ම කූට ආණ්ඩුවේ මුද්දරයක් සැබෑ මුද්දරයක් ලෙස පාවිච්චි කිරීම ලෙසිනි. කලින්ද සඳහන් කළ පරිදි ජාත්‍යන්තර සම්මුතීන් අනුව පනවන ලද අණ පනත් වලින් අපේක්ෂිත අරමුණු වලට පටහැනිව වෙනත් අරමුණු ඉටු කිරීම සඳහා පොලිසියට රිංගා යෑමට තිබෙන සිදුරු මැකීමද වැදගත් කාරණයකි.