ශිෂ්‍යත්වය

 

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දෙමාපියන්ගේ විභාගය බවට පත්ව තිබුණත් ශිෂ්‍යත්වය වෙනස් කරනවාට දෙමාපියන්ගේ ඇත්තේ බියකි. ශිෂ්‍යත්ව විභාගය අද වනවිට ලෝකයේ අසාධාරණම විභාගය බවට පත්ව තිබුණත්, දෙමාපියෝ ඉතා කැමැත්තෙන් මැසිවිලි නොනගා එම අසාධාරණය භුක්ති විඳිති. එක් විෂයකට ලකුණු 80ක් ලබා ගත්තත් එනම් විෂයයන් දෙකටම ලකුණු 160ක් ලබා ගත්තත් මෙම විභාගයේ ඉලක්කය ජය ගත නොහැකිය. ඉලක්ක ජයගත්තා යැයි හැඟෙන්නේ එක් විෂයකට අඩුම තරමින් ලකුණු 90ක් හෝ ඊට වැඩියෙන් ලබාගත හැකි නම්ය. අනූවේ දෙකක් ගත්තත් රාජකීය විශාකා වැනි ඉලක්ක ළඟා කරගත නොහැකිය. ශිෂ්‍යයන්ටත් දෙමාපියන්ටත් හුස්මක් කටක් ගෙන සැහැල්ලුවෙන් සිනාසීමට නම් විෂයයන් දෙකටම 190ක්වත් ගත යුතුය. ඉදින් මෙය ලෝකයේ අසාධාරණය විභාගය නොවේ නම් වෙන කුමක්ද?
ජනපතිවරයා පසුගිය දවසක පහ වසර ශිෂ්‍යත්ව විභාගය වෙනස් කර එය 8 වසර විභාගයක් බවට පත්කිරීමට සැලසුම් කරන බව කීවේය. එමෙන්ම 8 වසර වනවිට දරුවකුගේ යම් වෘත්තීය මාර්ගයක්ද හඳුනා ගැනීම එම විභාගය වෙනස් කිරීමේ අරමුණ බව හෙතෙම කීවේය. සිසුවා දෙනු ලබන වෘත්තීය සංඥාව අනුව කොළඹ පාසලක ළමයකුට පොළොන්නරුවේ ඊට අදාළ පාසලක් 8 වසරෙන් පසු ලැබිය හැකි බවද ජනපති කීවේය. මෙය ආරම්භයේදී දෙමාපියන් තුළ නොසන්සුන් වාතාවරණයක් උද්ගත කළහැකි තීරණයක් වුවත් නිසි වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක කරන එවැනි වැඩසටහනකින් යම් ප්‍රතිඵලයක් ගතහැකි බව පෙනෙයි.
ශිෂ්‍යත්ව විභාගයේ අරමුණ වූයේ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනයට සමත්කම් දක්වන දරුවන්ට අත්වැලක් සැපයීම වුවත් පසුකාලීනව එය ජනප්‍රිය පාසලක් ලබාගැනීමේ මහරු සිහිනය සැබෑවක් කරගැනීම් අභිලාෂය උදෙසා විතැන් කැරිණි. 08/2019 චක්‍රලේඛය මගින් මේ තත්ත්වය වෙනස් කර යළිත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පමණක් ශිෂ්‍යත්වය අත්වැලක් බවට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව සෙසු දරු දැරියන්ට ශිෂ්‍යත්වය අනිවාර්ය නැත. ඔවුන්ට 5 ශ්‍රේණියෙන් පසු පාසල් සපයාදීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ වගකීමකි. මාසික ඉපැයීම රු. 54,000/-ට පහළ යන්න මෙහිදී අඩු ආදායම් ලෙස සැලකුණත් මෙරට විසම බදු ආර්ථිකය හේතුවෙන් මධ්‍යම මට්ටමේ රැකියාවන්හි නිරතවූවෝද අඩු ආදායම්ලාභීන්ගේ ධාරාවට වැටෙති. අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි ඉහත තීරණය අවසන් සැලසුම නොවනමුත් ඉදිරි වසර දෙක තුන ඇතුළත නව ක්‍රමය ක්‍රියාත්මක කරන විට මතුවිය හැකි සෙසු ගැටලු ගැන අමාත්‍යාංශය කල්පනා කළ යුතු වෙයි.
ජනාධිපතිවරයා කියා තිබුණේ හොඳ පාසලක් යන ඉලක්කය පෙරදැරිව කටයුතු කරන විට දරුවා දැනට ඉගෙන ගන්නා පාසලත් නරක පාසලක් ලෙස අර්ථ ගැන්වෙන බවය. ඔහු රටේ නායකයා ලෙස එය නොදන්නවාට පාසල් අතර එවැනි භේදයක් තිබේ. කොළඹ හා ප්‍රධාන නගරවල පාසල් සඳහා විශාල තරගයක් ඇතිවී තිබෙන්නේ එනිසාය. කොතරම් අසාධාරණ විභාගයක් වුවත් අද වනවිට ගම්වල කුඩා පාසල්වලින් ශිෂ්‍යත්ව හපනුන් විශාල පිරිසක් බිහිවෙති. ශිෂ්‍යත්ව ලකුණු මට්ටම කොළඹ පාසල්වලට අදාළව ඉතාම ඉහළට එසවී තිබෙන්නේ ශිෂ්‍යත්ව සමතුන්ගේ ප්‍රමාණය වැඩිවීමත් එම පාසල්වල කෝටාව කුඩාවීමත් නිසාය. මෙම නව වැඩපිළිවෙළ මගින් එම කෝටාව සාමාන්‍ය පන්තියේ දරුවන්ට නොලැබී එයත් වරප්‍රසාද ලත් පන්තියටම ලැබේදෝයි යන්න පිළිබඳව සංශයක් හට ගනී. මේ පිළිබඳව මූලික වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිරීක්ෂණය යොමු කළ යුතුය. විශේෂයෙන්ම කොළඹ පාසල්වල ශිෂ්‍යත්ව කෝටාව කොල්ලකෑමට ඇතැම් දේශපාලනඥයෝ දිගු කලක පටන් පිඹුරු පත් සකස් කළ බව නොරහසකි. මෙම ප්‍රයත්නය එම වැඩපිළිවෙළේ කොටසක් නොවීම වැදගත්ය. එමෙන්ම අතිදක්ෂ දරුවන් කොටසක් හෝ පහසුකම් ඇති පාසල් සොයා යන්නේ සෑම පාසලකම එක මට්ටමක් නැති නිසාය. නව ක්‍රමය අනුව ශිෂ්‍යත්වය අනිවාර්ය නැති දක්ෂ දරුවකු පවා කලාප අධ්‍යක්ෂ විසින් ලබාදෙන පාසලට යා යුතුය. මෙහිදී අත්හදා බැලිය හැකි දෙයක් නම් සියලුම මධ්‍ය මහා විද්‍යාලවල තත්ත්වය එක මට්ටමකට ගෙන දරුවන් හා දෙමාපියන් තුළ පාසල පිළිබඳ තිර විශ්වාසයක් ඇති කිරීමය. එය කලාප අධ්‍යක්ෂවරුන්ටත් පහසුවක් වනු ඇත. හරි හමන් අධ්‍යාපනයක් සිදු නොවන නොවිධිමත් පාසල් කොළඹ නගරයේ පවා තිබේ. තරගකාරී අධ්‍යාපන රටාවකට පුරුදු වී සිටි සිසු පරපුරක් ජනපති කියන මන්දගාමී දීර්ඝ සැලසුම් ක්‍රමයට කෙබඳු ප්‍රතිචාරයක් දක්වයිද? දෙමාපියන් කොතෙක් දුරට මෙම වෙනස පිළිගනීවිද? රටේ අධ්‍යාපනය වැනි උත්තර දේවල් කෙරෙහි වසර ගණනාවක් ඉදිරියට සිතා තීරණ ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක් බවද අවධාරණය කළ යුතුවෙයි.