සිනමා මාධ්‍යයේ සක්‍යතාවන් නව ඉසව්වකට ගෙන ගිය ‘Le Quattro Volte’

එම්.ඩී. මහින්දපාල 

මයිකලැන්ජිලෝ ප්‍රැමර්ටිනෝ (Michael Anjelo Frammartino) ඉතාලියේ මිලානෝ හි ජීවත්වන 42 හැවිරිදි කලාකරුවෙකි. හෙතෙම ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස සිය උසස් අධ්‍යාපනය අවසන්කළ ද පසුව ඡායාරූප ශිල්පයටත් ඉන් අනතුරුව Video Installation  කලාවටත් සම්බන්ධ විය. ‘Le Quattro Volte’  හෙවත්  ‘The Four Times’ නම්වූ ඔහුගේ දෙවැනි චිත්‍රපටය එක්තරා ආකාරයකින් තමන් කලක් ජීවත්වූ ඉතාලියේ දකුණු කලාබ්රියා හි කොලෝනියා  ( Colonia in South Calabria) නම්වූ සුන්දර එහෙත් දුප්පත් ග්‍රාමීය ප්‍රදේශය පිළිබඳව කළ වාර්තා චිත්‍රපටයත් සේ පෙනේ.

මෙම අසාමාන්‍ය සිනමාකෘතිය එක්තරා ආකාරයකින් විශ්වයේ කෙළවරක ඇති, කිසිවකුත් නොදත්, ඉපැරණි වත්පිළිවෙත් අනුගමනය කළ ජනකොටසක් කේන්ද්‍ර කරගත් චිත්‍රපටයක් බවට පත්ව ඇත. එය සැබැවින්ම සිනමා මාධ්‍යයේ හා චලන කැමරාවේ සක්‍යතාවන් එහි සීමා මායිම්වලින් ඔබ්බට ගෙනගිය නිර්මාණයක්සේ පෙනේ. සිනමා මාධ්‍ය බිහිවී දැනට ගතව ඇත්තේ වසර 150ටත් වඩා අඩු කාලයකි. එකී නවමු මාධ්‍යයේ සීමාමායිම් අතික්‍රමණය කිරීමට කලාකරුවන් නිරන්තර පර්යේෂණයන්හි යෙදෙනාකාරයක් පෙනී යයි. මයිකලැන්ජිලෝ ප්‍රැමර්ටිනෝගේ ‘Le Quattro Volte’  සැලකිය හැක්කේ ද එවන් උත්සාහයක් ලෙසයි.

එය සිනමාත්මක කාව්‍යයක් මෙන්ම කාලය හා අවකාශය පිළිබඳ සිතීමට ප්‍රේක්ෂකයා පොළොඹවන අපූර්වතම චිත්‍රපටයක් සේ පෙනේ. ප්‍රැමර්ටිනෝ උත්සාහ ගන්නේ ප්‍රේක්ෂකයා භෞතික ලෝකයෙන් ඔබ්බෙහි ඇති කිසියම් උත්තර යථාර්ථයක් වෙත ගෙනයාමට විය හැකියි. චිත්‍රපටය තුළ ආගමික සංඥා බහුලවුවද එය සාම්ප්‍රදායානුකූල ආගමික විශ්වාසයන් පිළිබඳ චිත්‍රපටයක් නොවේ එය සාම්ප්‍රදායානුකූල ආගමික දෘෂ්ටීන් අභිබවා යන්නාවූ සිනමාලංකාරයක් ගොඩනඟයි. එහි කිසිදු සංවාදයක් ඇතුළත් නොවීමද විශේෂත්වයකි. එබැවින් අපගේ පූර්ණ අවධානය රූපය හා ශබ්ද පථය වෙත යොමුවන්නේ නිරායාසයෙනි.

චිත්‍රපටයේ මුල් භාගයේ දී කැමරා චලනයන් ද සීමාවීම මෙන්ම කිසිදු සංගීත ඛණ්ඩයක් ඇසීමට නොලැබීමත් හේතු කොටගෙන අප එහි රූපාවලියට හා හඬ පටය වෙත දැඩි ලෙස අවධානය යොමු කිරීමට පෙළඹෙන්නේ නිරායාසයෙනි.

චිත්‍රපටය ආරම්භ වන්නේ චරිත දෙකක් හඳුන්වා දීමෙනි. එක් අයෙක් ගිනි අඟුරු පෝරණුවක වැඩකරන්නෙකි. එකී පෝරණුව අපට සිහි කරන්නේ ගිනි කන්දකි. අනෙක් චරිතය එළු රෑනක් බලා කියාගන්නා වයස්ගත පුද්ගලයෙකි. හෙතෙම සිය එළු රෑනද සමඟින් මනරම් භූමි ප්‍රදේශයක සැරිසරයි. අඟුරු පෝරණුකරු මින් අනතුරුව චිත්‍රපටය තුළ අපට දැකගැනීමට ලැබෙන්නේ බොහෝ පසු අවස්ථාවකදීයි. කැමරාව එළුවන් බලා කියාගන්නා මහල්ලා සමඟ ගමන් කරයි. ඔහුට වෙනත් කිසිදු මිනිස් ප්‍රාණියෙකු එක්ව නොසිටී. ඔහුගේ සහායකයා බවට පත්ව ඇත්තේ බල්ලෙකි. මහල්ලා සිය බල්ලා සමඟ ගමේ කෙලවර ඇති සිය වාසස්ථානය ඉදිරිපිට ඇති එළු කූඩුව තුළට උන් ගාල්කිරීමට උත්සාහ කරයි. චිත්‍රපටයේ පෙනී සිටින සෙසු චරිත වෙත කැමරාව කිසිවිටෙකත් සමීප නොවේ. එකී චරිත සැමකක්ම චිත්‍රපටයේ පුළුල් දර්ශන තලය තුළ අවශේෂ අංගෝපාංග බවට පත්ව ඇත.
දවසේ වැඩකටයුතු නිමාකරන මහල්ලා නින්දට යාමට පෙර කිසියම් අළු පැහැති කුඩක් වතුරේ දියකර පානය කරයි. එකී කුඩ ගමේ පල්ලියේ පොලොව අතුගෑ පසු එකතුකරගනු ලැබූ දූවිලි බැව් පසුව අපි වටහාගනිමු. පල්ලියේ සේවය කරන ආවතේවකාරියක විසින් ඒවා ඔහුට ලබාදෙන්නේ එළු කිරි වෙනුවටයි. මෙකී දූවිලි අංශු උදෑසන හිරුකිරණ පසුබිමේ පල්ලිය තුළ විසිරී ඇති චමත්කාරජනක දසුන අප නෙත ගැටේ.

කෙසේ වෙතත් මහල්ලා පසුදා උදෑසන වනවිට මියගොස් සිටී. එය මහ සිකුරාදා දිනයකි. පල්ලියේ දුක්ප්‍රාප්ති නාටකය රඟදැක්වීම සඳහා ගම්මුන් සූදානම් වේ. ඔවුහු වෛවාරණ ඇඳුම් පැළදුම්වලින් සැරසී පෙරහරකින් දේවස්ථානය කරා ඇදෙති. එහෙත් කැමරාව දේවස්ථානයේ ගොල්ගොතාව වෙත අප රැගෙන නොයයි. ඒ නෙුවට එය මියගිය බල්ලා සමඟ නිවස ඉදිරිපිට නතරවේ. බල්ලා එළු කූඩුව අසල නවතා ඇති ලොරිභාගයකට තබා ඇති අඩය කටින් ඇද ගලවා දමයි. ලොරි භාගය පසුපසට ඇදීගොස් එළු කූඩුවේ දොරටුව කඩා බිඳ දමයි. එළු රෑන සී සීකඩ විසිරෙති. මේ සියල්ල අප දකින්නේ ඉහළ කෝණී දුර රූපයකිනි. එළුවන් එකිනෙකා සිය ස්වාමියාගේ මළකඳ තැන්පත්කර ඇති කුටිය තුළට කඩා වදින්නේ මහල්ලාගේ මෘතදේහයට අවසන් ගෞරවය දැක්වීමට මෙනි. එය අතිශයින් හාස්‍යජනක සිදුවීමක් වුවද අපගේ ඇතුළු හදවත තදින් ස්පර්ශ කිරීමට සමත්වේ.
මින් අනතුරුව එළු රෑනේ ස්වාමීන් බවට පත් වන්නේ බූට්ස් පැළඳි නවීනත්යෙන් යුත් ආගන්තුක පිරිසකි. එහෙත් අපි ඔවුනගේ මුහුණු සමීපව නොදකිමු. එළිච්චියක් එළු පැටවෙකු බිහිකරයි. රෑල පිටුපසින් යන ඌ වරක් අතරමංවේ. ඌ උස පයිනස් ගසක් යට නතරවේ. උගේ සිරුර නිසසලවේ. සීත සෘතුව ළඟාවේ. ගස යට ඇති එළු පැටියාගේ සිරුර හිමෙන් වැසී යයි.

වසන්තය පැමිණේ. මෙවර ගම්මුන් නැවතත් එක්වී සිටින්නේ පල්ලියේ කප් සිටුවීමේ උත්සවයකටයි. ඔවුහු එක්ව එළු පැටියා මිය ගිය ස්ථානයේ වැඩුනු දැවැන්ත පයිනස් ගස කපා දමයි. අසල් වැසි නිවාස පේලියක වහලවලට ඉහළින් පයිනස් ගස එසවෙනු පෙනේ.

චිත්‍රපටය අවසක් වන්නේ ගිනි පෝරණුකරු ඇතුළු පිරිස ගසේ කඳ කැබලිවලට කපාකොටා පෝරණුව වෙත ගෙනයන ආකාරයත් ඉන් අනතුරුව එහි කොටස් පෝරණුව තුළ බහා අඟුරු බවට පත්වන ආකාරයත් විදහා දැක්වීමෙනි. එකී අගුරු නැවතත් ගම්මුන්ගේ එදිනෙදා කටයුතු සඳහා යොදාගන්නා ආකාරය පෙන්වමින් චිත්‍රපටය අවසන්වේ.
මෙම චිත්‍රපටය කෙනෙකුට කිසියම් ආකාරයක ධ්‍යානයකට සමවැදුනු ආකාරයකින් නැරඹීමට හැකියාවක් ඇති නිර්මාණයක් යැයි සිතේ. එහෙත් ප්‍රමැර්ටිනෝ තමාගේ චිත්‍රපටය හරහා ඉදිරිපත් කිරීමට උත්සාහ කරන මූලික අදහස එකවරම කෙනෙකුට වැටහී නොයාමට ඇත්තේ වැඩි ඉඩකඩකි. චිත්‍රපටයේ ප්‍රධාන සිරස්තලය එනම්; ‘Le Quattro Volte’ හෙවත් ‘The Four Times’ යන්න පයිතගරස් (Pythagoras) නම් ග්‍රීක දාර්ශනිකයා හා ගණිතඥයා ගේ දාර්ශනික උපුටනයකි. පයිතගරස් කලක් මෙම චිත්‍රපටයට පසුබිම් වූ කලාබ්රියා හි පිටුවහලෙකු සේ ජීවත්වූ බැව් කියැවේ. ඔහුගේ මතවාදයට අනුව සෑම වස්තුවකටම ආත්මයක් (soul)  ඇති බවත් එය එකකින් එකකට හුවමාරුවන්නක් බවත් කියැවේ. ඔහුට අනුව අප සැවොම එවන් ආත්ම සතරකින් යුතු වූවෝ වෙමු. ඒවා නම්; ඛණිජය (Mineral), උද්භිදය (Vegetable), සත්ත්වයා (Animal)  හා මනුෂ්‍ය (Human) ද වේ. මේ අනුව අප සතරවතාවක් අප ගැන දැන සිටිය යුතුවේය (we must know ourselves four times) යන්න ඔහුගේ ප්‍රවාදයයි. පයිතගරස් මෙකි ප්‍රවාදය එළි දක්වන්නට ඇත්තේ මෙම චිත්‍රපටයේ දැක්වෙන ප්‍රදේශයේ පැවැති යාතුකර්ම හා ගිනිඅඟුරු කර්මාන්තය නිරීක්ෂණය කිරීමෙන් විය හැකියි. සිනමාකරුවා සිය දෘෂ්ටිවාදය පදනම්කර ගන්නේ යටකී ප්‍රවාදයට අනුවයි.

එළුවන්.ගස හා අඟුරු රූපක පෙරබිමේ තබමින් සාම්ප්‍රදායට පිටුපාමින් මිනිස් රූප දුරස්තව තැබීම හරහා ප්‍රමැර්ටිනෝ අප වෙත සුන්දරවූත් විස්මයජනකවූත් සිනමාත්මක අත්දැකීමක් ගෙන ඒමට සමත්වේ.

The Gaurdian සඟරාවට පිලිප් ප්‍රෙන්ච් (Philip French) විසින් රචනා කළ ලිපියක් ඇසුරෙනි.