දිමුත්ට ඔටුනු පැළඳීම

රජිඳු කාශ්‍යප

මැයි මස 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙතෙක් නම් කර නොමැති වූව ද කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න නම් කර ඇත. මේ සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ද අනුමැතිය ලැබී ඇති බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන්ට ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් තිබී ඇති ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ නායකත්වයේ අර්බුදයයි. එබැවින් ය, කණ්ඩායම නම් කිරීමටත් ප්‍රථම මේ කඩිමුඩියේ නායකයෙක් නම් කරනු ලබන්නේ. ඒ අනුව ඔවුන්ට මෙතෙක් තිබී ඇති ලොකුම ප්‍රශ්නය අවසන් කර ඇත. එහෙත් මතුව පැවතියේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ අර්බුදයකට වඩා කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක් බවකි අපගේ අදහස.

කෙසේ වෙතත් දැන් නායකත්වයේ වගකීම දිමුත් කරුණාරත්න වෙත පැවැරී ඇත. ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග සිටිතැයි විශ්වාස කරන කණ්ඩායමක දිමුත් කරුණාරත්න වෙත ක්‍රිකට් තේරීම් කමිටුව විශ්වාසය තබන්නේ වෙනත් කළ හැකි කිසිවක් ම නොමැති තැන බැව් ය ආරංචි ය. කතාව අනුව නම් ඇන්ජලෝ මැතිව්ස් පුහුණුකරු චන්දික හතුරුසිංහ සිටින තාක් කල් නායකත්වයේ වගකීම බාර ගන්නේ නැත. ලසිත් මාලිංගට කණ්ඩායමේ වැඩි විශ්වාසයක් නැතිවාක් මෙන් ම චන්දික හතුරුසිංහගේ ද විශ්වාසයක් නොමැත. මේ තැනේ මීට පෙර සිටියේ දිනේෂ් චන්දිමාල් ය. එහෙත් මේ වන විට චන්දිමාල්ට නායකත්වයේ කෙසේ වෙතත් කණ්ඩායමේ ස්ථානයක් සොයා ගැනීමට ද නොහැකිවය ලතැවනුයේ.
එබැවින් විය යුතුය, මේ වෙනස. සිවු වසරක පමණ කාලයක් එක්දින පිටියේ වරම් නොලැබූ දිමුත්ට, එක් අතකින් බැලූ කල මේ ඇදී ඇත්තේ ජිම්කානා එකකි. එක්දින කණ්ඩායමේ ස්ථානයක් පවා නොමැති ව සිටි දිමුත්ට නායකත්වයේ ද වගකීම පැවැරෙන්නේ ය. ඒ එසේ මෙසේ තරගාවලියක නොව, ලෝක කුසලාන තරගාවලියක ය.

කෙසේ වෙතත් මේ නම් කිරීම හෙට අනිද්දා වන විට අර්බුදකාරී තත්ත්වයක් ද නිර්මාණය කළ හැකි ය. කණ්ඩායමේ දැනට සාමාජිකයන් අතර පවතින විරසකයන් අලුත් නායකත්ව අර්බුදය හමුවේ දී මතුවීම වැළැක්විය නොහැකි ය. එවැන්නක් සිදු වුවහොත් නායකයෙක් ලෙසින් දිමුත්ට ඊට, වඩාත් ශක්තිමත් ව මුහුණ දීමට හැකි විය යුතු ය.

නායකත්වය උපක්‍රමශීලි විය යුතු ය. සටන්කාමී විය යුතු ය. මේ දේවල් අපි ටෙස්ට් නායක දිමුත්ගෙන් නොදුටුවෙමු. එහෙත් තරග පරාජය වූව ද නායකත්වයේ උපක්‍රමශීලීත්වයත් සටන්කාමීත්වයත් අපි ලසිත් මාලිංග වෙතින් දුටුවෙමු. ඔහුට තනිව ම ගමනක් යා නොහැකි ය. එසේ වූව ද මාලිංග මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුක්කානම තමන් වෙත ලැබේයැයි විශ්වාසය තබා කටයුතු කළේ ය.

එහෙත් එතෙක් මාලිංග සතු වූ නායකත්වයේ ඔටුන්න ක්‍රිකට් පාලකයන් විසින් දිමුත් වෙත පිරිනමන්නේ මාලිංග සතුව පැවති කිසිවක් ම දිමුත්ගෙන් බලාපොරොත්තු ව නොවේ. ඔහුගේ සුවිශේෂීත්වය වී තිබුණේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ වගකීම මැනවින් ඉටු කරනු ඇතැයි යන විශ්වාසයයි. එසේ ම දිමුත්ගේ නායකත්වය යටතේ කණ්ඩායම එක්ව කටයුතු කරනු ඇතැයි යන විශ්වාසය ද ඔවුන් සතු වන්නට ඇත. එය දිමුත්ට ඉටු කළ හැකි නම් තරගයක උපක්‍රමශීලිත්වයත් සටන්කාමීත්වයත් අනෙකුත් ක්‍රීඩකයන් විසින් කණ්ඩායමට ලබා දෙනු ඇත. එය ලබා ගැනීමට නම් දිමුත් ඊට උපායශීලි විය යුතු ය.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලිය සහභාගී කරවන කණ්ඩායම අප මෙතෙක් දන්නේ නැත. එය බොහෝ දුරට ඉදිරි දින දෙක තුනේ දී සිදු වෙනු ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීති අනුව ඊට සහභාගි වන සෑම කණ්ඩායමක් ම අප්‍රේල් මස 23 වැනි දිනට ප්‍රථම නම් කළ යුතු ය. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන්ට මේ කණ්ඩායම නම් කර ගැනීමේ අර්බූදය ය මේ පමාවට හේතුව වී ඇත්තේ.

ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමේ අර්බුදය මතුවෙන්නේ ඔවුන් එක්දින තරගවල දී පිට පිට ම ලත් පරාජයන් හේතුවෙනි. එය වඩාත් ඉහළට මතු වෙන්නේ දකුණු අප්‍රිකාවේ දී එක්දින තරග 5ක දී පිට පිට ම ලත් පරාජයයි. එතැන් සිට කණ්ඩායමේ බොහෝ වෙනස්කම් සිදු කරන්නේ යැයි හෝ වෙනස් කළ යුතු යැයි ක්‍රිකට් පාලකයෝ පැවැසූ හ.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අර්බුදයකට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරක කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරග විසඳුම් විමසීමේ දී එහි ප්‍රගතියක් පෙන්විය හැකි තැනක් නැත. අපි 2018 වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය වෙතින් ලත් පරාජයන් දෙකක් ද වෙයි. එම තරගත් සමගින් නිමා වූ වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ එක්දින තරග 20කට සහභාගි වී ඇති අතර ඉන් ජය ගත හැකිව ඇත්තේ තරග 3ක් පමණි.

මේ අර්බුදයන් හඳුනාගෙන කණ්ඩායමක් නම් කිරීම ක්‍රිකට් තේරීම් කමිටුවේ වගකීම විය යුතු ය. කෙසේ වෙතත් ක්‍රිකට් තේරීම් කමිටුවේ ද මීට පෙර අදහස වී තිබුණේ නායකත්වයේ වෙනසකට වඩා කණ්ඩායමේ සංයුතියේ වෙනසකි. සුපිරි පළාත් තරගාවලිය ද ඊට ඈඳාගන්නේ එබැවිනි. අවාසනාවකට මෙන් එහි ද කිසිදු ප්‍රගතියක් නැත. එසේ වූව ද මේ වන විට කාරණා කටයුතු සිදු වෙමින් පවතින්නේ තේරීම් කමිටුවට අවශ්‍ය ආකාරයකට නොවන බැව් ය ආරංචි ය.

මේ කටයුතු සිදු කිරීමේ දී මේ අවස්ථාවේ කිසිවෙක් දිමුත් කරුණාරත්න මේ අර්බුදයේ ගමන් සඟයෙක් කර ගත යුතු නැත. එසේ ම මාලිංගවත් මැතිව්ස්වත් වග උත්තරකරුවන් කරගත යුතු නැත. එහි වගකීම ක්‍රිකට් පාලකයන්ට වැඩි වශයෙනුත්, ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් පැවැරෙන්නේ ය. එසේ ම දිමුත් කරුණාරත්න ද මේ අර්බුදය තමන්ට වාසි වෙතැයි සැලකෙන ආකාරයට බාරගත යුතු නැත. ඔහු තමන් වෙත පැවැරුණ වගකීම, වගවීමෙන් කරගෙන යෑමට ඉටා ගත යුතුය. ඔහුට මේ ලැබී ඇත්තේ ජිම්කානා එකකට වඩා දෙකොන පත්තු කළ විලක්කුවක් බැව් වටහා ගත යුතුව ඇත. එබැවින් අපට නම් සිතෙන්නේ, දිමුත්ට පැවැරී ඇති පළමු කාර්ය වන්නේ කණ්ඩායමේ මතුව පවතින විරසකත්වයන් සමනය වන ලෙසින් කටයුතු කිරීම ය. විශේෂයෙන් ම මතක් කළ යුතු වන්නේ ක්‍රීඩකයන්ගේ බිරින්ඳෑවරුන් කස්තිරම් අල්ලා විනාශ කළ ක්‍රිකට් සුහදතාව තව තවත් වර්ධනය වන ආකාරයෙන් කටයුතු කිරීම නොව ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීම වඩාත් ගෝචර බැව් ය.

එසේ නොවුව හොත් දිමුත්ට ද සිදු වෙන්නේ මේ අර්බුදයේ ම ගිලීමට ය. එය තීරණය කිරීම දිමුත්ට ම බාර ය.