සේරක්කුලිය කුණු ගොඩක් වනු ඇත

රසික ගුණවර්ධන

තව නොබෝ දිනකින් අරුවක්කාරු කසල අංගනය විවෘත කරනු ඇත. එවිට කොළඹ කුණු රැගෙන ගොස් අරුවක්කාරුවේ බහාලනු ඇත. ඉනික්බිති කොළඹ කුණු නැති සුන්දර පුරයක් වනු ඇත. එහෙත් සේරක්කුලියේ මිනිසුන්ට උදාවන ඉරණම කුමක්ද? කොළඹ කුණු වලින් අපවිත්‍ර වන සේරක්කුලියේ මිනිසුන්ගේ ජීවිත පිරිසිදු වන්නේ කවදාද? ගැටලුව වෙනත් ආකාරයකින් ඉතිරිවනු ඇත. අප මේ මිනිසුන්ගේ අවනඩුව මුලින්ම පැවසු 2018 සැප්තැම්බර් මාසයට වඩා අද තත්ත්වය බොහෝ දරුණුය. එය පරිසරය, මෙන්ම බලපෑම් හා තර්ජන ආදී බොහෝ ස්වරූප වලින් වර්ධනය වී ගඳ ගහන තැනට පත් වී ඇත.

අරුවක්කාරුව-පුත්තලම සහ අරුවක්කරුව-සේරක්කුලිය

අරුවක්කාරුවේ කසල අංගනයට විරුද්ධව විශාල විරෝධතා ඇති බව අපි බොහෝ දෙනා දනිමු. එයින් ප්‍රමුඛ ලෙස මතුවී එන්නේ කොළඹ කුණු පුත්තලමට එපා” යනුවෙන් පුත්තලම නගරය කේන්ද්‍රගත කොටගෙන සිදුවන විරෝධතාවය දිනෙන් දින උග්‍ර වේ. කෙසේ හෝ කොළඹ කුණු අපට එපා යන සටන් පාඨය කෙතරම් දුරකට ප්‍රායෝගික දැයි විමසා බැලිය යුතුව ඇත.

කොළඹට කුණු එන්නේ කොළඹ ජීවත් වන මිනිසුන්ගෙන් පමණක් නොවන අතර දිනපතා කොළඹට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගෙන් කොළඹට කුණු එකතු වේ. ඒ නිසා කොළඹ කුණු අපට එපා යනුවෙන් ලංකාවේ මිනිසුන් පැවසීමට පටන් ගතහොත් මහත් උපද්‍රවයක් වනු ඇත. මක්නිසාද යත් වානිජ නගරක් වන කොළඹ කුණු බැහැර කිරීම සඳහා ඉඩක් නැති බැවිනි. ඒ නිසා මිනිසුන්ගේ ජන ජීවිතයට බාධාවන් නොවන ක්‍රමයකට කුණු වෙන තැනකට බැහැර කළ යුතුව ඇත. එසේ නම් මෙයින් පවසන්නේ අරුව්ක්කාරුවේ කුණු ව්‍යාපෘතිය සාධාරණ බව නොවේ. අරුවක්කාරුව විමසිය යුත්තේ සේරක්කුලිය සමගය.

අරුවක්කාරුව පිහිටා ඇත්තේ විල්පත්තු වනෝද්‍යානයට මායිම්වය, එසේම හොල්සිම් සමාගමේ සිමෙන්ති නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමට හෑරූ දැනට අතහැර දමා ඇති සිමෙන්ති වලවල් වලට ආසන්නවය. අනෙක් පසින් මායිම් වන්නේ පුත්තලම කලපුව සහ සේරක්කුලිය ගම්මානයයි. ගම් සීමාවේම මෙය නොකර මේ අරුවක්කාරු ව්‍යාපෘතිය ගම්මානයෙන් ඈතට ගෙන ගොස් අතහැර දැමූ සිමෙන්ති වලවල් ආශ්‍රිත ප්‍රදේශයේ ආරම්භ කිරීමේ හැකියාවක් ඇති බව සේරක්කුලියේ ගම්මු පවසති. ඔවුන් දිනෙන් දින එල්ල වන තර්ජන හේතුවෙන් අපට තොරතුරු සැපයීමේදී අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලීය.

බළපෑම

අරුවක්කාරු කසල අංගනයේ සිට සේරක්කුලිය ගම්මානයට ඇත්තේ මීටර් එකසිය පනහක පමණ දුරකි. එනම් සේරක්කුලිය ගම්මානය පිහිටා ඇත්තේ අරුවක්කාරුව පෙනෙන මායිමේය. ඒ නිසා අරුවක්කාරුවෙන් එල්ල වන සියලු බළපෑම් වලට මුලිම ගොදුර වන්නේ මේ සේරක්කුලියේ මිනිසුන්ය. සේරක්කුලිය ධීවර ගම්මානයකි. එනම් සේරක්කුලියේ මිනිසුන්ගෙන් 95% පමණ ජීවත් වන්නේ ධීවර රැකියාවෙනි. මුලිම කණ කොකා හඬලා ඇත්තේ ඔවුන්ගේ ජීවන වෘත්තියටය. සේරක්කුලිය ගම්මානය මුහුණලා ඇත්තේ පුත්තලම කලපුවටය. සේරක්කුලියේ මිනිසුන් පවසන ආකාරයට ඔවුන් ධීවර කටයුතු සිදු කරනා කලපු ඉසව්වේ දැන් ඇත්තේ මාලු හිඟයකි. එදිනෙදා මාලු අල්ලා ජීවිත සරි කරගත් ඔවුන්ට දැන් ඇල්ලීමට කලපුවේ මාලු නොමැති තත්ත්වයක් උදා වී ඇත. ගම්මුන් පවසන ආකාරයට කලපුවට මේ නස්පැත්තිය සිදු වී ඇත්තේ අරුවක්කාරුවේ ඉදිකිරීම් පටන්ගත්තායින් අනතුරුවය. ඒ බව අපටද අත්දකින්නට හැකි විය. ඉදිකිරීම් ආරම්භ කර සිදු කරගෙන යමින් පැවති. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ විටින් විට කලපුවට ඉදිකිරීම් භූමියේ සිට ගලා ආ මඩ සහිත ජල ප්‍රමාණය විශාලය. වැඩ බිමෙන් ඉවත් කරන සියලු අපවිත්‍ර ජලය ඉවත් කරණු ලැබුවේ කලපුවටය. ඒ සඳහා වැඩ බිමේ සිට කලපුව දෙසට කපා තිබූ විශාල කාණු අපට දැකගත හැකි විය. එසේ කපා තිබු කාණු නිසා කලපුවට පැමිණියේ මඩ සහිත අපජලය පමණක් නොව, කඳු බෑවුමේ පිහිටා තිබුණු මඩ තට්ටු සමඟ එය වැසි ජලයද විය.
එසේ දිගින් දිගටම කාලාන්තරක් තිස්සේ අප ජලය කලපුවට ගලා ඒම නිසා කලපුවේ රසායනික සංයුතිය වෙනස් නොවේ යැයි කාටනම් පැවසිය හැකිද? එසේම දිගින් දිගටම මඩ තට්ටු ගලා ඒම හේතුවෙන් කලපුව ගොඩනොවී තිබේද? කලපුවක ඇත්තේ විශාල ජෛව විවිධත්වයකි. අරුවක්කාරු කසල අංගනය විසින් සිදුකර ඇත්තේ ඒ ජෛව විවිධත්වය විනාශ කොට දැමීමය.

මෙලෙස කලපුවට හානිවූවා කියා දෛනික දිවිය අසරණ වන්නේ අරුවක්කාරුවේ මිනිසුන්ගේ පමණක් නොවේ. පුත්තලම කලපුවෙන් යැපෙනා සියලු දෙනාගේම ජීවිත ඇත්තේ අනතුරේය. ඉස්සෝ කර්මාන්තය, ලුණු කර්මාන්තය, ධීවර කර්මාන්තය ඇතුලු පුත්තලම කළපුවෙන් යැපෙනා සියල්ලන්ටම මෙය තර්ජනයකි. එහෙත් ඒ පිළිබඳව කිසිඳු බලධාරියකු වගවනවා පෙනෙන්නට නැත. එපමණක් නොව පුත්තලම කලපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ඩෝල්පින් මත්සයන් නැරඹීමට ඉතාම ප්‍රසිද්ධ මුහුදු ප්‍රදේශයකි. අවසානයේ එයටද බලපෑමක් එල්ල වුවහොත් අනතුරේ වැටෙන්නේ ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තයයි.

එපමණක් නොව ඉදිකිරීම් කටයුතු අවසාන අදියරයේ පවතින මේ කාලයේ තවත් දුක් ගැහැට විඳින්නට සේරක්කුලියේ මිනිසුන්ට සිදු වී ඇත. ඔවුන් පවසන පරිදි ඉදිකිරීම් භූමියේ දැන් සිදුවන කුමක් හෝ ඉදිකිරීම් කටයුත්තක් නිසා ගම්මානය විවින් විට විශාල ලෙස දෙදරීමට ලක් වේ. ඒ නිසා ගම්මානයේ නිවාස පවා දෙදරුම් කයි. එහෙත් මේ වන විට ඒ සඳහා කිසිවකු කිසිඳු විසඳුමක් ලබා දී නොමැත. චම්පික රණවක ඇමතිවරයා පවසන්නේ අරුවක්කාරුවේ ඉදිවන කසල බහාලුම අන්තර්ජාතික ප්‍රමිතියේ එකක් බවයි. එසේ නම් ඇමතිවරයාගෙන් අපට අසන්නට ඇත්තේ මිනිසුන්ගේ ජීවිත අනතුරේලා ඔවුන්ගේ එදිනෙදා ජීවන වෘත්තීන් අනතුරේ හෙලීම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලද යන්නයි.
මිනිසුන් පාරට බසින්නේ මෙන්න මේ කියනා කාරනා නිසාය. තමන්ට එදිනෙදා ජීවත් වීමට ඇති රැකියා පෙනිපෙනී අහිමිවී යන තැන ඇස් කන් පියාගෙන සිටින්නට නොහැක නිසාය. ඒ වෙනුවෙන් සටන් කළ නිසාය.

එසේම ව්‍යාපෘතිය ආරම්භ කරන සමයේ ප්‍රකාශ කර තිබුණේ කොළඹ සිට අරුවක්කාරුවට අපද්‍රව්‍ය ගෙන එනු ලබන්නේ දුම්රිය යොදා ගනිමින් බවයි. එහෙත් දැන් පවසන්නේ දුම්රිය මඟින් කසල රැගෙන ඒම වියදම් සහගත නිසා මහා මාර්ගයේ මුද්‍රා තබන ලොරි රථ ඔස්සේ කොළඹ සිට අරුවක්කාරුවට අපද්‍රව්‍ය ගෙන එන බවයි.

එය කෙතරම් දුරට ප්‍රායෝගික කාරණාවක් ද සහ ඵලදායී කාරණාවක්ද යන්න විමසා බැලිය යුතුය. කොළඹ සිට අරුවක්කාරුවට ඇති දුර කිලෝමීටර එකසිය හැට අටකි. එම දුර ගමන් කිරීමට ගූගල් සිතියම පවසන පරිදි පැය තුනකුත් විනාඩි පනස් දෙකක් ගතවේ. එසේම දිනකට බස්නාහිර පළාතෙන් ඉවතලන බවට සැලකෙන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 1873කි. මේ ප්‍රමාණය ප්‍රවාහනය කිරීමට අප දළ වශයෙන් ටොන් එකක ධාරිතාවය ඇති ලොරි රථ දහසක් යොදා ගන්නවා යැයි අනුමාන කළ හොත් එයින්ම පැහැදිළි වන්නේ මෙහි ඇති දුෂ්කරතාවයයි. රජයම ප්‍රකාශ කරන ආකාරයට ලංකාවේ මාර්ග පද්ධතියේ ධාරිතාවය දරාගත හැක්කේ නැත. එසේනම් අප ප්‍රයෝගිකව දන්නා කාරණාව නම් ලංකාවේ මාර්ග වල ඇති විශාල තද බදයයි. ඒ අතරට මෙසේ කුණු ලොරි එකතු වූ විට කුමකින් කුමක් වේද?

මර්ධනය

කෙසේ වෙතත් මහජන විරෝධතා එල්ල වන විට රජය සිදු කළේ මර්ධනයයි. සේරක්කුලියේ මිනිසුන් තමන්ගේ දුක කියා පාරට පැමිණිවිට සිදු කළේ ඔවුන්ව පොලිස් අත්තඩංගුවට ගැනීමයි. මිනිසුන් මර්ධනය කරනවා විනා ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් ලබා දීමට කිසිවකු කටයුතු කළේ නැත. එසේ කරන බවක් පෙනෙන්නටද නැත. පුත්තලමේදී ජනාධිපතිවරයා හමුවීමට පුද්ගලයන් පිරිසක් උත්සාහ දැරුවේ වෙනත් කිසිඳු සරණක් ඔවුන්ට ලැබී නොමැති නිසාවෙනි. එවිට පොලීසිය සිදු කළේ ඔවුන්ට පන්න පන්නා පහර දීමයි. එසේම පරිසරය රැක ගැනීමට කියා පරිසර ඇමතිකම තමන්ට පවරාගත් ජනාධිපතිවරයා ඇමතිකම ගත්තායින් පසු සිදු කළ යමක් නැත. ඔහු සිදු කළ එකම කාරණය නම් පරිසරය විනාශ වන විට ඇස් කන් පියාගෙන නොදැක්කා සේ සිටීම පමණි. තවදුරත් ඔහු සිදු කරමින් සිටින්නේ ද එයමය.

එසේම මේ ව්‍යාපෘතිය පිටුපස සිටින අනෙක් දේශපාලනඥයා නම් චම්පික රණවක ඇමතිවරයාය. ඔහු තමන්ගේ නාගරික සංවර්ධන අධිකාරිය යොදා ගනිමින් සංවර්ධන යැයි පවසමින් විවිධ දෑ සිදු කරති. මතු පිටින් බැලූ කළ ඒවා අපූරුය. එහෙත් ඔහුද නැවත වරක් රඟ දක්වමින් සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් රංගනයයි. ගෝඨාභය ඔහුගේ පරමාදර්ශය වී ඇත. අරුවක්කාරුවේදී ද ඔහු රඟ දක්වමින් සිටින්නේ ගෝඨාභයගේ භූමිකාවය. ඔහු සේරක්කුලියේ මිනිසුන්ට පවසා ඇත්තේ ඔවුන් මේ ව්‍යාපෘතියට ඉඩ ලබා නොදුන හොත් තමන් හමුදාව යොදා හෝ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි.

තව නොබෝ දිනකින් කොළඹ කුණු නොමැතිවනු ඇත. සේරක්කුලිය කුණු ගොඩක්වනු ඇත.