සුඩාන අර්බුදයේ ගමන්මග වෙනස් වෙයි

එස් නන්දලාල්

පසුගිය දෙසැම්බර් 16 දින සුඩානයේ උද්ඝෝෂණ ඇරඹුණේ තිරිඟුපිටි සහ පාන් මිල ඉහළයාමට විරෝධය පළකරනුවස් ය. එහෙත් ඒ විරෝධතා පසුව ජනාධිපති ඔමාර් අල්-බෂිර්ට එරෙහි ව්‍යාපාරයක් බවට පරිවර්තනය වූයේ ජනාධිපතිවරයා සුපුරුදු පරිදි පොලිසිය යොදවා එය මර්දනය කරන්නට උත්සාහ ගැනීමත් සමග ය. එහෙත් මෙවර විරෝධතා වඩා ශක්තිමත් විය. අප්‍රේල් මුල සතියේ විරෝධතාකරුවෝ විසින් ජනාධිපති මන්දිරය වටලන ලද අතර ජනාධිපතිවරයා පලවා හරින්නට තමන්ට සහාය දෙන ලෙස හමුදාවෙන් සහාය ඉල්ලා සිටියෝ ය. ක්‍රියාත්මක වූ හමුදාව ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඔහු ධුරයෙන් පහ කරන ලද බවට නිවේදනය කළෝ ය.

ජනාධිපතිවරයා අසුනින් ඇද දමන්නට කුමන්ත්‍රණය නොකළ හෙයින්ද ආණ්ඩුවක් පිහිටුවා රටේ පාලනය ගෙන යන්නට හමුදාවට හරිහමන් සැලසුමක් නැති හෙයින්ද සුඩාන අර්බුදය මේ වනවිට තිබුණාටත් වඩා උග්‍ර බවට පත් ව ඇති අතර දිශානතිය ද වෙනස් වී තිබේ.

අප්‍රේල් 11 දින සුඩාන රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටි එවකට එරට පළමුවන උප ජනාධිපති, ජනරාල් අහ්මඞ් අවාද් ඉබ්න් අඋෆ්, ජනාධිපති ඔමාර් අල්-බෂිර් ධුරයෙන් පහ කරන ලද බව නිවේදනය කළේ ය. ඔහු ජනාධිපති බෂිර්ගේ සමීපස්තයකු සේ සැලකෙයි. තමාට එරෙහිව නැගී එන මහජන විරෝධය හමුවේ බෂිර්ට නොසැලී සිටිනු නොහැකි වූයෙන් ඔහු පිහිට පැතූ එක් අයෙකි මේ ජනරාල් ඉබ්න් අඋෆ්. බෂිර් ඔහුට ආරක්‍ෂක අමාත්‍යධුරය මෙන් ම උප ජනාධිපතිධුරය ද පිරිනැමී ය. ඒ අනුව පාලනය ජනරාල් බින් අඋෆ් අතට මාරු වී ම ජනතාව දුටුවේ බෂිර්ගේ ම කුමන්ත්‍රණයක් ලෙස ය.

ව්‍යවස්ථාදායකය විසුරුවා හළ බවත්, වසර දෙකක් තමාගේ ප්‍රධානත්වයෙන් හමුදාව විසින් රට පාලනය කරනු ලබන බවත්, එම සංක්‍රාන්ති සමය අවසානයේ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වෙනු ඇති බවත්, මෙතැන් සිට සෑම දිනකම රාත්‍රි 10.00ට ඇඳිරි නීතිය පැනවෙනු ඇති බවත් ජනාධිපති ඒ සමග ම ඔහු නිවේදනය කරමින් ඔහු ‘දැන් ඉතින් විසිර යන ලෙස’ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

එහෙත් ජනතාව ඔහුගේ ඉල්ලීමට සවන් දුන්නේ නැත. මෙය කුමන්ත්‍රණයක් ලෙස හැඳින්වූ මිනිස්සු දැන් සිදුව ඇත්තේ බෂිර්ගේ රජයම වෙනස් ආකාරයකින් හමුදාව පවත්වාගෙන යන බවට චෝදනා කරති. එය හැඳින්වීමට ඉංග්‍රීසි මාධ්‍ය භාවිත කරන පදය deep state ය. එහි අරුත ගුප්ත රාජ්‍යය වැන්නකි. එසේම බෂිර් අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයට ඉදිරිපත් කළ යුතු ය යන ඔවුන්ගේ ඉල්ලීම ඉබ්න් අඋෆ් වෙත ඉදිරිපත් කළහ.

එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණය ඔහුට එරෙහි ව චෝදනා පත්‍රයක් සකස් කොට එය ඔහු අත පත් කරනු නොහැකි ව බලා හිඳී. එම අධිකරණයේ අභිචෝදක ලුයි මොරෙනෝ ඔකැම්පෝ මේ සිද්ධියේ දී බලවත් දුෂ්කරතාවට පත්ව සිටියි. 2008 ජූලි මාසයේ දී බෂිර්ට එරෙහිව නඩු පවරනු ලැබුවත් චූදිත විභාගයට ගෙන්වා ගත නොහැකි ය. ඔහුට එරෙහි චෝදනා වනුයේ සමූල මිනිස් ඝාතන, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුධ අපරාධ ය.
ධුර කාලය තුළ ම ජනාධිපතිවරයකුට යුධ අපරාධ චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

අන්තර්ජාතික අපරාධ අධිකරණය ක්‍රියාත්මකවීමේ මූලික ලියැවිල්ල වන ඔස්ලෝ සම්මුතියට සුඩානය අත්සන් තබා නොමැති හෙයින් අල්-බෂිර්ට එසේ මගහැර සිටින්නට හැකිවිය. ජනතාවගේ ඉල්ලීම වනුයේ 400,000ක් ඉක්මවන මිනිසුන් ඝාතනය කළ මේ පුද්ගලයාට එරෙහිව අන්තර්ජාතික වශයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.
විරෝධතාකරුවන්ගේ ඉහත ඉල්ලීම තමාට ඉටු කළ නොහැකි බව පවසමින් ඉබ්න් අඋෆ් ඊට පසුදින එනම් අප්‍රේල් 12 දින තමා දැරූ එක්දිනයේ තත්ත්වාකාර පාලක ධුරයෙන් ඉවත් වී එය ලුතිනන් ජනරාල් අබ්දෙල් ෆාටා අල්-බුහ්රාන්ට පැවරී ය.

අල්-බුහ්රාන්, හමුදා ඇටෑචිවරයා ලෙස චීනයේ සුඩාන් තානාපති කාර්යාලයයේ ද කලක් සේවය කොට ඇති පළපුරුදුකම් ඇති නිලධාරියකු බව පැවසේ. කලක් දේශ සීමා ආරක්‍ෂක සේවයේ නිලධාරියකුද, සුඩාන් හමුදා පුහුණුකරුවකු ලෙස ද සේවය කළ ඔහු අනෙක් අයට සාපේක්‍ෂ ව දූෂණ චෝදනා අඩු නිලධාරියකු බව සඳහන් ය.
මේ වනවිට සුඩානය අල්-බුහ්රාන්ගේ නායකත්වයෙන් යුත් මිලිටරි කවුන්සලයක් මගින් පාලනය කෙරේ. කැබිනට් මණ්ඩලය ලෙස ක්‍රියාත්මක වන මෙය අන්තර්වාර පාලක මිලිටරි කවුන්සිලය ලෙස ද හැඳින්වේ. බෂිර් සමයේ සිට සේවය කරමින් සිටින ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීම අරඹා ඇත. මුලින් ම වෙනස් කිරීමට භාජනය කරන ලද තනතුර වනුයේ රජයේ පොදු අභිචෝදක තනතුරයි. ඊට අමතරව සියලු මාධ්‍ය ආයතනවල මුල් පුටු ද පාලනතන්ත්‍රයට ගැළපෙන අයුරින් වෙනස් කරනු ලැබී ය. මේ ආකාරයටම හමුදාවේ ප්‍රධාන තනතුරු බොහොමයක මෙන් ම රහස් ඔත්තු සේවාවේ ද කාලයක් පුරා සිටින නිලධාරීන් ඉවත් කොට වෙනත් අය පත් කරන්නට ද පියවර ගනු ලැබ ඇත. පාලක කවුන්සිලයේ තනතුරු ද ඇතුළත් තවත් වෙනස්කම් ඉදිරියේ දී සිදුවනු ඇති බවත් ජනතාවට හිතවාදී තීරණ ගැනීම සිය අරමුණ බවත් තත්වාකාර පාලකයා විරෝධතාකරුවන් හමුවේ පවසා ඇත.

එහෙත් තවමත් සිය විප්ලවය ජයග්‍රහණය නොකළ බවත් ඒ නිසා විරෝධතාවල දිගටම නිරත විය යුතු බවත්, විරෝධතාකරුවන් හිඳ සිටින තැන්වලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බැවින් ඊට හසු නොවිය යුතු බවත් විරෝධතාවට නායකත්වය දෙන සුඩාන වෘත්තිකයන්ගේ එකමුතුව (SPA) ජනතාවට දන්වා ඇත. ‘විප්ලවය රැක ගන්න’යි එම සංවිධානය ජනතාවට ආයාචනය කරයි.

ලොව රාජ්‍ය කිහිපයක් මේ වෙනස ගැන සිය අදහස් පළ කොට ඇත. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා එල්-සිසි දුරකතන මගින් අල්-බහ්රෙන් සමග සාකච්ඡා පවත්වා ඇති අතර සුඩානය නගා සිටුවන්නට සිය සහාය දෙන බව පවසා ඇත. උගන්ඩාව බලය පැවරීම ගැන අදහස් පළකොට නැතත් අල්-බෂිර් පිටුවහල් කරන්නේ නම් සිය රට ඔහු භාර ගැනීමට කැමැත්තෙන් සිටින බව එරට විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හෙන්රි ඔකෙලෝ ඔරියෙම් මාධ්‍යයට පවසා ඇත. දකුණු සුඩානයේ සාම සැලැස්මට අල්-බෂිර් නැතිවම බැරි පුද්ගලයකු බව උගන්ඩාවේ වැටහීමයි. දකුණු සුඩානයේ සාමය පතමින් 82 හැවිරිදි සුදොතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාප්මය ආචාර ධර්ම පද්ධතිය (papal protocol) උල්ලංඝනය කරමින් පසුගිය 12 දින තමන් බැහැ දැකීමට වතිකානයට පැමිණි දකුණු සුඩාන ජනාධිපති සල්වා කිර් මයදිත් (57) සහ උප ජනාධිපති රික් මචාර් (58) යන දෙදෙනාගේ පතුල් සිඹින කරන අයුරු දැක්වෙන විඩියෝ මාධ්‍යවල පෙන්වනු ලැබීය. පාප් වහන්සේ සුඩාන ජනාධිපතිවරයා අමතා සාමය පවත්වාගෙන යන්න’යි පැවසූ බවක් කිසිතැනෙක සඳහන් නොවේ. කෙසේවෙතත් බලයේ සිටිය දී අල්-බෂිර්ගෙන් දකුණු සුඩානයේ සාමයට ඉටු නොවූ මෙහෙවරක් බලයෙන් පහවූ පසු වේ ද යන්න සලකා බැලිය යුත්තකි. මෙහි දී උගන්ඩාවේ අභිප්‍රාය වී ඇත්තේ හේග් අධිකරණයේ නඩුවෙන් ඔහු ගලවා ගැනීම බව ප්‍රකට ය.

සුඩානයේ නව මිලිටරි පාලනය තමන් පිළිගන්නා බව එරට නියෝජ්‍ය විදේශාමාත්‍ය මිඛායෙල් බොග්දනොව් RT පුවත් සේවය විසින් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් පැවසූ බව සඳහන් ය.

අමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාවරය තරමක් වෙනස් ය. අල්-බෂිර් විසින් ඉරානය වැනි සිය පසමිතුරු රාජ්‍ය සහ අල්-ඛයිඩා වැනි ත්‍රස්ත සංවිධාන සමග පවත්වාගෙන යන ලද සබඳකම් නිසා අමෙරිකා එක්සත් ජනපදය දිගු කලෙක සිට සුඩානය ත්‍රස්ත රාජ්‍ය ලැයිස්තුවේ ඇතුළත් කොට ඇත. ඒ අනුව සම්බාධක ද පනවා තිබිණි. ඒ ලැයිස්තුවෙන් සිය නම කපා හැර සම්බාධක ඉවත් කරන ලෙස අල්-බෂිර් ආණ්ඩුව කලෙක පටන් අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලමින් සිටියේ ය. පාලනය වෙනස් වූ වහාම අමෙරිකා එක්සත් ජනපදය සුඩානයේ වත්මන් තත්ත්වාකාර (de Facto) පාලක අමතා ජනතාව අතට මෘදු ලෙස පාලන බලය පැවරීමකට ඔවුන් සූදානම් නම් ත්‍රස්ත රාජ්‍ය ලැයිස්තුවෙන් නම ද සම්බාධක ද ඉවත් කරන්නට තමන් සූදානම් බව දන්වා ඇත. එහෙත් සුඩාන පාලනයේ පිළිතුර වී ඇත්තේ එලෙස බලය මාරු කරන්නට තමන්ට දෙවසරක් ගතවනු ඇති බවයි. එයට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව පවසන්නේ එසේ නම් සිය රට සුඩානය කෙරේ දක්වන ආකල්පය එලෙසින් ම පවතිනු ඇති බවයි. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ද සිදු වූ වෙනස ගැන ප්‍රසාදය පළ කරන අතර ජනතාවට බලය මාරු කරන ලෙස මිලිටරි පාලනයට දන්වා සිටියි.

මේ අතර සුඩානයේ නව පාලනය අප්‍රිකා සංගමය දැඩි විවේචනයක් එල්ල කොට ඇති බව සඳහන් ය. එය විවේචනයකට එහා ගිය තර්ජනයක ස්වරූපය විදහා පායි. හමුදාව විසින් කුමන්ත්‍රණකාරී ලෙස පාලනය අල්ලා ගනු ලැබීම ජනතා අභිලාෂයන්ට ඉඳුරා පටහැනි බව පෙන්වා දෙන අප්‍රිකා සංගමය දින 15ක් තුළ පාලනය ජනතාව අතට මාරු කරන්නට පියවර ගතයුතු බව හමුදා කවුන්සිලයට දන්වා ඇත. එසේ කරනු නොලැබුවහොත් අෆ්‍රිකා සංගමයේ සුඩාන සාමාජිකත්වය ස්වයංක්‍රීය ව අවහිර වනු ඇත.